ලංවිම වෘත්තීය සමිති සන්ධානය ප්‍රෝඩාකාරී උපවාසයක

රොහන්ත ද සිල්වා, 2017 දෙසැම්බර් 21

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට (ඒවෘසස) අයත් සමිතිවල නායකයන් විසින් ලංවිම කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දින කිහිපයක සිට උපවාසයක් ආරම්භ කර ඇත. සමිති සන්ධානය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අතර, වැටුප් විෂමතා ඉවත් කිරීම, වැටුප් වර්ධකයක් ලබා දීම හා 2015 දී ඇති කර ගත් අවබෝධතා ගිවිසුමේ කොන්දේසි කි‍්‍රයාවට දැමීම ද වේ.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස), පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේස) හා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජාතික සේවක සංගමය (ජාසේස) ඇතුලු සමිති 30ක් මෙම වෘත්තිය සමිති සන්ධානයට අයත් ය.

සමිති සන්ධානයට අනුව 2014 නොවැම්බර් මස විධායක ශ්‍රේනියේ ඉන්ජිනේරුවන්ට ලබා දුන් වැටුප් වර්ධනයට අනුව, ඔවුන්ගේ වැටුප සියයට 30 සිට සියයට 120 දක්වා වැඩි වී ඇත. ඒ අනුව පහල ශ්‍රේනි හා විධායක ශ්‍රේනි අතර වැටුප් පරතරය සියයට 1:9 අනුපාතයකින් පුලුල් වී ඇත. සමිති සන්ධානය ඉල්ලා සිටින්නේ එය මුලින් පැවති 1:6 අනුපාතයට පහත හෙලන ලෙස යි.

වර්ජනයේ නියුතු සමිති නායකයන් හා කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අතර සිකුරාදා පැවති සාකච්ඡාවේ දී ඉල්ලීම් ලබා දෙන බවට ලංවිම බලධාරීන් පොරොන්දු වූනත්, ඒවා ලිඛිත ව ලබා දීම සඳුදාට කල් දමා ඇත. පාලනාධිකාරය පවසා ඇත්තේ පලමුව අධ්‍යක්ෂ මන්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු පොරොන්දුව ලිඛිත ව ලබා දෙන බව ය. එතෙක් උපවාසය නතර කිරීම සඳහා ලංවිම බලධාරීන් කල ඉල්ලීම, සමිති විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

මෙම ඉල්ලීම් මත ම ලංවිම කම්කරුවන් සැප්තැම්බර් මාසයේ 13 වෙනිදා අඛන්ඩ වැඩ වර්ජනයකට එලැඹුන නමුත් සතියකට පසු ආන්ඩුව සමග සම්මුතියකින් සමිති නායකයන් විසින් වර්ජනය පාවාදෙනු ලැබුවේ ආන්ඩුව යෝජනා කල සියයට 4 ක සොච්චම් දීමනාවකට හා වර්ජිත දින ගනන කම්කරුවන්ගේ වාර්ෂික නිවාඩුවලින් හිලව් කිරීමට ද එකඟ වෙමිනි. වර්ජනය නතර කිරීම කෙරෙහි කම්කරුවන්ගෙන් බරපතල විරුද්ධත්වයක් මතු විය.

ලංවිසේස ප‍්‍රධාන ලේකම් හා සමිති සන්ධානයේ කැඳවුම්කරුවෙකු වන රන්ජන් ජයලාල් පාවාදීම වහංගු කලේ “දෙපැත්තටම අවාසියක් නොවන ලෙස” වර්ජනය අවසන් කල බව මාධ්‍යයට ප‍්‍රකාශ කරමිනි.

වෘත්තීය සමිතිවල පාවාදීමෙන් අත ශක්තිමත් කර ගත් ලංවිම බලධාරීන් වර්ජනයේ යෙදුන කම්කරුවන්ට විරුද්ධව මර්දනයක් දියත් කර ඇත. වර්ජනය තුල කැපී පෙනුන සටන්කාමී කම්කරුවන් දඬුවමක් ලෙස වෙනත් සේවා ස්ථානවලට මාරු කිරීමටත්, වාර්ෂික නිවාඩු ඉතිරිව නැති කම්කරුවන්ගේ වර්ජිත දින ගනන වැටුප් රහිත නිවාඩු ලෙස සලකා වැටුප් කප්පාදුවක් ක්‍රියාවට දැමීමටත් පියවර ගෙන ඇත. එක දිනයක් හෝ වැටුප් රහිත නිවාඩු ලබාගෙන තිබුනහොත් ඉතිරි වූ වෛද්‍ය නිවාඩු සඳහා කරන ගෙවීම් කප්පාදු කෙරෙයි. එමෙන් ම වැටුප් රහිත එක දිනයක් වෙනුවෙන් වාර්ෂික ප‍්‍රසාද දීමනාවෙන් සියයට 10 ක් ද වැටුප් රහිත නිවාඩු 10 ඉක්මවා ලබා ගෙන තිබුනොත් මුලු ප‍්‍රසාද දීමනාව ම ද අහිමි වෙයි. පහල ශ්‍රේනිවල සේවකයන්ගේ අතිකාල දීමනා අනුමත නොකරන බවට සහ පසුගිය දිනවල පැවති වැහි කුනාටු ආපදාවෙන් සිදු වූ බිඳවැටීම් යතා තත්වයට පත්කිරීම සඳහා කල අතිකාල සේවාවන් සඳහා පවා දීමනා අනුමත කර නැති බව ට සමිති නායකයෝ මැසිවිලි නගති.

ලංවිම සමිති සන්ධානයේ නායකයන් විසින් කම්කරුවන් පන්ති ක්‍රියාවකට කැඳවුම් නොකර ප්‍රෝඩාකාරී උපවාසයක් ආරම්භ කර ඇත්තේ සැප්තැම්බර් මාසයේ වර්ජනය නතර කිරීමේ දී ලංවිම බලධාරීන් හා ආන්ඩුව දුන් පොරොන්දු ඉටු නොකොට, ඒ වෙනුවට වර්ජිත කම්කරුවන්ට එරෙහිව පලි ගැනීමක් මුදා හැර ඇති තත්වය තුල කම්කරුවන් අතර වර්ධනය වන නොසන්සුන්තාව දිය කර හැරීමේ දැනුවත් තැතක් ලෙසය. මෙය සමිති නායකයන්ගේ දැනුවත් කුමන්ත‍්‍රනයකි.

අපොස සාමාන්‍ය පෙල විභාගය පැවැත්වෙන නිසා වර්ජනයකට නොයන බවට සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කර ඇති ප‍්‍රකාශය බොරුවකි. සත්‍යය නම්, වර්ජනයක් කැඳවුම් කලොත් එය තමන්ගේ පාලනයෙන් පිට පැන ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පරිවර්තනය වෙතැයි ජයලාල් ඇතුලු සමිති නායකයන් භීතියට පත්ව ඇති බවයි.

වසර තුනකට ආසන්න කාලයක් මෙම ඉල්ලීම් මත ආන්ඩුවට සහ ලංවිම බලධාරීන් ට බලපෑම් දැමීමේ නානාවිධ නිස්සාර විරෝධතා වලට කම්කරුවන් කොටු කරමින් පුද්ගලීකරනය ඇතුලූ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව ලංවිම කම්කරුවන්ගේ දැනුවත් අරගලයක් ඇතිවීම සමිති නායකයන් විසින් වලකා ඇත. ඉංජිනේරු ඇතුලු විධායක ශ්‍රේනි සහ පහල ශ්‍රේනිවල සේවකයන් අතර විරසකයක් නිර්මානය කර ඇත්තේ ද විධායක ශ්‍රේනිවල සමිති නායකයන් සහ සමිති සන්ධාන නායකයන් විසින්ම ය.

ලංවිම සේවකයන් මුහුන දෙන මුලික ප‍්‍රශ්නය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලැස්මේ කොටසක් ලෙස ලංවිම පුද්ගලීකරනය කිරීම මගින් තම රැකියා සහ සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප‍්‍රහාරයයි. සේවාවන් පිටට පැවරීම, අඩු වැටුපට කොන්ත‍්‍රාත් කම්කරුවන් බඳවා ගැනීම සහ අතිකාල කැපීම ඇතුලු කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීම සිදුවන්නේ එහි කොටසක් ලෙසය. ඊට එරෙහිව පැන නගින කවර හෝ අරගලයක් ධනපති රාජ්‍යයේ මුලු බලය යොදා තලා දැමීමට නො පැකිලෙන බව වරාය, තෙල්, තැපැල්, සෞඛ්‍ය, ලංවිම හා දුම්රිය ඇතුලු මෑත පැවති අරගල වලදී ආන්ඩුව කම්කරුවන්ට දී ඇති පනිවුඩයයි. එමෙන්ම, ආන්ඩුවේ මෘග මර්දනය ඉදිරියේ නිවට ලෙස යටත් වී එම අරගල පාවාදීම සමිති නිලධරයේ පිලිවෙත බවට පත්ව ඇත.

Share this article: