සිරියාවේදී අයිසිස් ලැබූ පරාජයෙන් පසුව ඇමරිකාව හා රුසියාව අතර ආතතිය ඉහල නගී

US-Russia tensions mount after ISIS’s defeat in Syria

බිල් වෑන් ඕකන් විසින්, 2017 දෙසැම්බර් 11

තමන්ගේ පොදු සතුරා යයි කියනු ලබන, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (අයිසිස්) මිලිෂියාවන් ඉරාක-සිරියානු දේශසීමාවේ දෙපැත්තෙන්ම පලවා හැර ඇති බව පෙනීයද්දී, සිරියාවේ යුප‍්‍රටීස් ගංගාධාරයට ඉහලින් පියාසර කරන දෙපාර්ශවයේම ප‍්‍රහාරක යානා ප‍්‍රකෝපකරනයන්හි යෙදෙන බවට වොෂින්ටනය හා මොස්කෝව එකිනෙකාට චෝදනා කර ගනිති.

පෙන්ටගනයේ ප‍්‍රකාශ කෙලින්ම ඇඟවුම් කරන්නේ, සිරියාව තුල ආතතීන් තියුනු වෙමින් තිබෙන බවය. එය පිටතට ද පැතිරගොස්, ලෝකයේ ලොකුම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර කියා නිමකල නොහැකි විනාශයකට තුඩු දෙන සෘජු මිලිටරි ගැටුමකට හැරෙනු ඇත.

කටාර්හි පිහිටි ඇමරිකානු ගුවන් හමුදා මූලස්ථානයේ අනදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩැමියන් පිකාට් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, “රුසියාවේ ගුවන් නියමුවන් හිතාමතාම අප පරීක්ෂාවට ලක්කරනවා ද නැතිනම් අප ප‍්‍රතික්‍රියා දැක්වීමට පොලඹවනවා ද එසේත් නැතිනම් ඒවා අව්‍යාජවම අත් වැරදීම් ද යන්න නිගමනය කිරීම අපගේ ගුවන් නියමුවන්ට වඩ වඩාත් දුෂ්කරවී ඇත” යනුවෙනි. “බරපතලම කනස්සල්ල වී ඇත්තේ, රුසියානු ගුවන් යානා අපගේ ගුවන් හෝ ගොඩබිම් හමුදාවන්ට තර්ජනයක් සේ දැකගැනීමත් සමග අපට ඒවා වෙඩිතබා බිම හෙලීමට සිදුවිය හැකි වීමය.”

9දා පලවූ ටයිම්ස් ලිපිය ලියා ඇත්තේ, මැද පෙරදිග ආධිපත්‍යය සඳහා රුසියාව සමග වඩාත් ආක‍්‍රමනික වන්නාවූ ගැටුම හා සිරියාවේ ඇමරිකානු මිලිටරි මැදිහත්වීම ගැනය. පෙන්ටගනය මෑතකදී, කලින් ප‍්‍රකාශකර තිබුන සංඛ්‍යාව මෙන් සිව් ගුනයකටත් වැඩි ඇමරිකානු සෙබලු 2000ක් සිරියාව තුල යොදවා ඇති බව පිලිගත්තේය. ඔවුන්ගේ ප‍්‍රකාශිත අයිසිස් පරාජය කිරීම සම්පූර්න වන තෙක් යයි කියනු ලබන මෙහෙයුම අවසන් වන තෙක්, හමුදා ආපසු ගැනීමට අදහස් නොකරන බව ඔවුන් ඇඟවුම් කරයි.

ටයිම්ස් පත‍්‍රය වමාරනු ලබන්නේ, යුප‍්‍රටීස් ගංගාවට නැගෙනහිරෙන්, ඇමරිකානු ඒ-10 ගුවන් සහායක ප‍්‍රහාරක යානා දෙකක් සමග “ගැටෙන තරම් සමීපයෙන්” එස්යූ-24 රුසියානු ප‍්‍රහාරක ජෙට් යානයක් ගමන් ගැනීමත්, ඇමරිකාවේ කුලීකාර ගොඩබිම් හමුදාවන් හා ඔවුන්ගේ ඇමරිකානු “පුහුනුකරන” විශේෂ කාර්ය බලකා හමුදාව ඉහලින් තවත් රුසියානු ගුවන් යානයක් විනාඩි 30ක කාලයක් තිස්සේ සැරිසැරීම ගැන පෙන්ටගනය වපුරන කථාවන්ය. එම ක්‍රියාවන් “වෙඩිතබා බිම හෙලීමට තරම් හේතුවන” දේ බව ඇමරිකානු නිලධාරීහු පවසති.

එම පෙන්ටගන් නිලධාරීන්ම උපුටා දක්වමින් ටයිම්ස් වාර්තා කලේ, එදින හය වතාවකට වැඩියෙන් රුසියානු යානා සිදුකල උල්ලංඝනය කිරීම් හමුවේ, සිය යානා යුප‍්‍රටීස් ගඟේ දෙපස රඳවා තැබීමට වොෂින්ටනය හා මොස්කෝව අතර ගිවිසුමක් ඇතිවිය හැකි බවයි.

“යම් අවදානමක් තිබේ. ඔවුන්ගේ අභිලාශය සිරියාව සඳහා අවසාන රාජ්‍යය වෙනුවෙන් මෙය යොදාගැනීමය. අප මෙහිදී පරීක්ෂාකාරී විය යුතුය. රුසියානුන් මෙහි සිටින්නේ සිරියානු ආන්ඩුවට සහාය දැක්වීමටයි.” සිරියාවේ හා ඉරාකයේ ඇමරිකානු ගුවන් යුද්ධයේ අනදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජෙෆ්රි හැරිගන් පුවත්පතට එසේ පවසා තිබුනි.

ජෙනරාල්වරයා හෝ ටයිම්ස් පත‍්‍රය නොකියන්නේ, වොෂින්ටනය සිරියාව තුල මැදිහත්ව ඇත්තේ, අත්‍යන්තයෙන්ම ප‍්‍රතිවිරුද්ධ අරමුනු සඳහා බවය. සීඅයිඒ, තුර්කිය, සව්දි අරාබිය හා අනෙකුත් සුන්නි ගල්ෆ් රාජාන්ඩු විසින් මුදල් දී සන්නද්ධ කරන ලද සුන්නි ඉස්ලාමීය මිලිෂියාවන් මත රැඳී සිටි නිකායවාදී ත‍්‍රස්තවාදය මත පාදකවූ, 2011 පටන්ගත් තන්ත‍්‍ර මාරු මෙහෙයුම පවත්වාගෙන යාමටය. අල්කයිඩාවට සම්බන්ධ මෙම කොටස් පරාජයට පත්වීමෙන් පසුව ඇමරිකානු අධිරාජ්‍යවාදය, සිරියාවේ කුර්දි වයිපීජී මිලිෂියාව විසින් මෙහෙයනු ලබන සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමුදා, එනම් නව කුලී හමුදාවන්ට පිටුබලය දෙනු ලබන බවය. මෙම කාරනයම කලාපය තුල ආරවුල් ගිනියම් කරයි. විශේෂයෙන්ම ඇන්කාරාව දශක ගනනාවක් තිස්සේ ගෙනයන ලේවැකි ප‍්‍රතිත‍්‍රස්තවාදී මෙහෙයුමට විරුද්ධ තුර්කි කුර්දිවරුන්ගේ පීකේකේ සංවිධානයේ දිගුවක් ලෙස තුර්කිය වයිපීජීය සලකනු ලබන තතු තුලය.

රුසියානු ගුවන් බලයේ ද ඉරානය, ලෙබනන් හෙස්බුල්ලා ව්‍යාපාරය හා අනෙකුත් ෂියා මුස්ලිම් වරුන්ගේ ද සහාය ලබන, ජනාධිපති බෂර් අල්-අසාද්ගේ සිරියානු ආන්ඩුවට හිතවත් හමුදා, රටෙන් බොහොමයක්ම තම පාලනයට ගෙන ඇත. තමන්ගේ ප‍්‍රධාන අරමුන වන තන්ත‍්‍ර මාරු මෙහෙයුම ගෙනයාමත්, රුසියාවේ හා ඉරානයේ කලාපීය අනුහස වලකාලීමත් ඉලක්ක කරගත් මිලිටරි මෙහෙයුම් මගින් තමන්ගේම බල වැයික්කි සකසා ගැනීම වොෂින්ටනයේ අධිෂ්ඨානයයි.

දිගු කලක් ඇමරිකානු අධිරාජ්‍යවාදයට ගැති රාජ්‍යයක්ව පැවති ඊජිප්තුව තුල, රුසියානු ප‍්‍රහාරක යානා නතරකර තැබීමට ජෙනරාල් අල් සිසිගේ ඊජිප්තු තන්ත‍්‍රය විසින් මොස්කෝව සමග මෑතකදී ගිවිසුමක් ඇතිකර ගැනීම ද කලාපීය ආතතිය තවදුරටත් ඉහල නංවා ඇත.

ටයිම්ස් ලිපිය පලවීමෙන් පසුව රුසියානු මිලිටරිය ද ඊට තදින් ප‍්‍රතිචාර දක්වා ඇත. නැගෙනහිර සිරියාවේ එම ප‍්‍රදේශයේදීම සිය ගුවන් යානාවකට ඇමරිකානු ප‍්‍රහාරක යානාවල තර්ජනයට මුහුනපෑමට සිදුවූ බවට එය චෝදනා කරයි. රුසියානු හමුදා ප‍්‍රකාශකයෙකු, අයිසිස් මධ්‍යස්ථාන වලට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව බාධා කල බවට චෝදනා කලේය.

“නිදසුනක් ලෙස විශේෂයෙන්ම නොවැම්බර් 23දා රුසියානු එස්යූ-25 ප‍්‍රහාරක යානා දෙකක් ත‍්‍රස්තවාදී කඳවුරක් විනාශ කිරීමේ මෙහෙයුමක යෙදී සිටියදී, ඇමරිකානු එෆ්-22 යානයක් පැමිනියේය. එය ගිනි බෝම්බ පුපුරවා හරිමින් සිය ගුවන් තිරිංග ක්‍රියාත්මක කර සටනකට සූදානම් විය. ඇමරිකානු යානාව පසුබැස්සේ, රුසියාවේ එස්යූ-35එස් ජෙට් යානාවක් එහි පැමිනීමත් සමග ය.” රුසියානු හමුදා ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝ කොනෂෙන්කෝ මාධ්‍ය වෙත පැවසීය.

සිරියානු ආන්ඩුවේ හෝ එක්සත් ජාතීන්ගේ පවා අවසරයකින් තොරව, ඇමරිකානු හමුදාව සිරියාව තුල කටයුතු කරන්නේ නීති විරෝධීව බව පවසමින් ඔහු, සිරියාවේ අහස පාලනය කරනු ඇතැයි යන පෙන්ටගනයේ අභිමතය උපහාසාත්මකව බැහැර කලේය. ”(සිරියාව තුල) ප‍්‍රකෝපකාරී ගුවන් ගැටුම් නිර්මානය නොකර, ඉරාකයේ ත‍්‍රස්තවාදීන් තුරන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන” ලෙස ඔහු ඇමරිකානු මිලිටරියෙන් ඉල්ලා සිටියේය.

“සිරියානු ආන්ඩුවේ හමුදා කටයුතු වලට බාධා කිරීම කෙරෙහි යොමු කල” ඇමරිකාවේ මෙහෙයුම්වල මූලික ප‍්‍රතිපලය වී ඇත්තේ “රකා (ප‍්‍රදේශය) එහි ජනතාව ද සමග වනසා දැමීම” බව පවසමින් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සිරියාවේ ඇමරිකානු මෙහෙයුම් වලට චෝදනා නැගීය.

සිරියාවේ මිලිටරි ක්‍රියාන්විතයන් මුල්කරගෙන වොෂින්ටනය හා මොස්කෝව අතර හුවමාරු වන චෝදනා හා ප‍්‍රති චෝදනා මධ්‍යයේ, පසුගිය මාසයේදී තුර්කියට එකතුවූ සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමුදාවේ හිටපු නිල ප‍්‍රකාශක ටලාල් සිලෝ රොයිටර් ප‍්‍රවෘත්ති සේවය වෙත පැවසුවේ, ඔක්තෝබරයේදී වටලන ලද රකාහි කොටුවී සිටි දහස් ගනනක් අයිසිස් භටයින් ඉවත්කර ගැනීමට ඇමරිකාව එකඟවූ බවය. 4000ක් පමන බස් රථ වලට පටවා නගරයෙන් ඉවත්කල අතර ඉන් 500ක් අයිසිස්වරුන් බව ඔහු පැවසීය.

මීට පෙර බීබීසීය පල කල වාර්තාවක් සිලෝගේ සංඛ්‍යා මගින් සනාථ කරනු ලැබින. මෙම ඉවත් කිරීමට සහභාගීවූ අයෙකුගෙන් ලැබූනු තොරතුරු ගෙනහැර දක්වමින් එය කියා සිටියේ, අවි ආයුධ විශාල ප‍්‍රමානයක් ද සහිතව අයිසිස් සාමාජිකයින් ප‍්‍රවාහනය කල ට‍්‍රක් රථ 50, බස් 13, හා අයිසිස් රථ 100 සැතපුම් හතරක් දුරට පැතිර තිබුන බවයි.

රකාහි දරුනු සටන් පවතින බවට පෙන්ටගනය හා එහි කුලී හමුදාවන් කල ප‍්‍රකාශ, අයිසිස්වරු ඉවත්ව යන කාලය තුල නගරයට මාධ්‍යවේදීන් ඇතුලුවීම වැලැක්වීමට යොදාගත් “රඟපෑම්” පමනක් බව සිලෝ මාධ්‍ය වෙත පැවසීය.

වොෂින්ටනය අයිසිස්වරු ඉවත් කිරීමට සහාය වුනේ, රකා වැටලීම ඉක්මනින්ම අවසන් කර, කුර්දි මිලිෂියාවන් හා ඔවුන්ගේ ඇමරිකානු විශේෂ මෙහෙයුම් “උපදේශකයින්” ඉරාක දේශසීමාවට සමීප සිරියාවේ ප‍්‍රධාන තෙල් හා ගෑස් නිධි පිහිටි ඩියර් එසෝ ප‍්‍රදේශයට යැවීමට ඔවුන් අධිෂ්ටාන කරගෙන සිටි නිසා බව ඔහු පැවසීය. ඇමරිකාවේ අරමුන, දේශසීමා වසා දමා, ඉරානයට සිරියාව කරා ඇති ගොඩබිම් පිවිසුම අවහිර කිරීමෙන් එහි බලපෑම් කඩාකප්පල් කිරීමය.

තුර්කි මාධ්‍ය සමග පැවති වෙනම හමුවකදී සිලෝ පැවසුවේ, ඇමරිකානු සැලසුමට අනුව, “(අයිසිස්) ත‍්‍රස්තවාදීන් අල් බුකමාල් (ඉරාක දේශසීමාව සමීපයේ) වෙත ගොස් ආන්ඩුවේ හමුදාවන්ගේ ගමන නතර කල යුතු විය.”

ඔහු පැවසුවේ, ඇමරිකාව හා එහි කුලී හමුදා, අයිසිස් වරුන්ට පලා යාමට පහසුකම් සැලසූ පලමු තැන රකාව නොවූ බවය. එය තුන්වන අවස්ථාවයි. 2016දී උතුරු ඇලෙප්පෝ ප‍්‍රාන්තයෙහි මන්බිජ් අල්ලා ගැනීමේදී අයිසිස්වරුන් 2000ක් ඉවත් කෙරුනි. “ප‍්‍රජාතන්ත‍්‍ර හමුදා, එක්සත් ජනපදය හා මන්බිජ් මිලිටරි කවුන්සිලය ඩයෙශ් (අයිසිස්) සාමාජිකයින්ට ආරක්ෂාව සලසමින් ඔවුන්ට ජරාබ්ලූස් දෙසට යෑමට ඉඩ සලසා දුන්නේය. මෙය පලමු ගිවිසුමයි.” ඔහු පැවසීය.

ඉන් පසුව යුප‍්‍රටීස් ගඟ අසබඩ අල් ටබාක් අල්ලා ගැනීමේදී ඇමරිකාව හා එහි කුලී හමුදා, අයිසිස් භටයින් 500ක් ඉවත්කර ගැනීම පිලිබඳව සාකච්ඡුා පැවැත්වූහ. ඉහත සිදුවීම් දෙකේදීම ඉස්ලාම්වාදීන්ට, ඔවුන් සතු අවි ආයුධ රැගෙන යාමට ඉඩ සලසා දෙනු ලැබින.

සිරියාවේ ඉහල පෙලේ ඇමරිකානු නිලධාරීන් හා මිලිටරි නායකයින් සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති සිලෝගේ පාපොච්චාරනය, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පිලිබඳ තවත් තුච්ඡ හෙලිදරව්වකි. අයිසිස් සංවිධානයමත් මැද පෙරදිග තුල වොෂින්ටනයේ මැදිහත්වීමෙහි නිර්මානයකි. තෙලින් පොහොසත් කලාපයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනුහස තහවුරු කර ගැනීමේ අරමුන සහිත මිලිටරි ආක‍්‍රමනයේ තවත් මෙවලමක් ලෙස එය සේවය සැලසීය.

Share this article: