අවිශිබමය සයිටම් විරෝධයේ නමින් ධනපති කන්ඩායම් සමග සන්ධානයක් අටවයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 පෙබරවාරි 16

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) පෙබරවාරි 9 වනදා සයිටම් පෞද්ගලික විද්‍යාලයට විරෝධය පෑම සඳහා නුගේගොඩ දී පැවැත්වූ ”සිසු-ජන රැලිය” අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අරගලයක් වර්ධනය කිරීමට එරෙහිව සිසුන් ධනපති ව්‍යාපාරයක් පිටුපස කොටුකිරීමේ පියවරකි.

කෙටි දැනුම් දීමකින් සිසුන් හාර දහසක් පමන මෙම රැස්වීමට ගොනුවී සිටියේ අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමේ දැවෙන උවමනාව ප‍්‍රදර්ශනය කරමිනි. දින කීපයකට පෙර සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරනියකගේ පෙත්සමක් විභාග කල අභියාචනා උසාවියක් එය පිලි ගනිමින් දුන් තීන්දුව එම ආයතනයට නීතිමය රැකවරනයක් දීම සඳහා ආන්ඩුව විසින් යොදා ගැනෙන තතු යටතේ සිසුහු තව දුරටත් කෝප ගැන්වී සිටියහ.

එහෙත්, ධනපති ආන්ඩු අධ්‍යාපනය පුද්ගලීකරනය සඳහා ගෙනයන ප‍්‍රතිපත්ති බලපෑම් දමා වෙනස් කර ගත හැකිය මිථ්‍යාව වපුරමින් අවුරුදු ගනනාවක් තිස්සේ එකපිට එක විරෝධතා උද්ඝෝෂන ගෙන යන අවිශිබම නායකයන් සිය දේශපාලන බංකොලොත්කම ප‍්‍රදර්ශනය කරමින් රැස්වීමේ වේදිකාවට මෙවර වඩම්මා ගෙන සිටියේ නිදහස් අධ්‍යාපන අයිතියට සතුරු සංවිධාන රොත්තකි.

ඉන් එක සංවිධානයක් නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අධ්‍යාපනය හා අනෙකුත් රාජ්‍ය අංශ පුද්ගලීකරනයට තමන් විරුද්ධ නැති බව අවධාරනය කරන සංවිධානයකි. අනෙක් සංවිධානය, අධ්‍යාපනය පුද්ගලීකරනය පෙරට ගෙන ගියාවුත් සයිටම් ආරම්භ කලාවුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කරගත් ඒකාබද්ධ විපක්ෂයයි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් කතා කල එහි සභාපති නවීන් ද සොයිසා ”වෛද්‍ය සභාවේ වාර්තාව පිලිඅරගෙන සයිටම් අහෝසි කරන්න යයි” ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ තමන් ඊට විරුද්ධවන්නේ එහි ”අඩු ප‍්‍රමිතිය” නිසා මිස පුද්ගලීකරනයට විරුද්ධ නිසා නොවන බව අවධාරනය කිරීමටයි.

ඒකාබද්ධ විපක්ෂයේ අන්ඩක් වන මහජන එක්සත් පෙරමුනේ නායක දිනේෂ් ගුනවර්ධන ද රැලිය ඇමතීය. ”ඒකාබද්ධ විපක්ෂයේ හඬ” වෙනුවෙන් තමා පෙනී සිටින බව පැවසූ ගුනවර්ධන ”රනිල්ගේ මුර්ග ප‍්‍රහාරය ඉදිරියේ ශිෂ්‍යයන් සමඟ සිටගන්නා” බව කියා සිටියේය. අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව උද්ඝෝෂනයට ආ සිසුන්ගේ ඔලු පැලූ, තම අයිතීන් වෙනුවෙන් සටන් කල කම්කරුවන් හා දුගීන් දුසිම් බාගයක් ඝාතනය කල, කුරිරු ලෙස යුද්ධයක් හා මර්දනයක් ගෙනගිය රාජපක්ෂගේ ආන්ඩුවේ ඇමතියෙක් ලෙස තමන් සිටි බව ඔහු යට ගැසුවත් සිසුන්ට නම් අමතක නැතුවාට සැක නැත. එහෙත්, අවිශිබම දැන් රාජපක්ෂ ප‍්‍රමුඛ කන්ඩායම නිදහස් අධ්‍යාපනය රැකීමට කැපවී ඇති බවට පින්තාරු කර දීමට ඉදිරිපත්වී සිටිති.

ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට දරදිය ඇදීමේ අපකීර්තිමත් වාර්තාව සහිත ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වෙනුවෙන් සහභාගී වූ කේ.ඩී. ලාල්කාන්ත රැස්වීම අමතා ප‍්‍රකාශ කලේ ”උසස්පෙල සමත් සියලු සිසුන්ට විශ්වවිද්‍යාල වරම් ලබාදිය හැකි පොදුජන ආන්ඩුවක් බිහිකිරීම දක්වා මෙම අරගලය දීර්ඝ කිරීමට” තමන් සහය වන බවයි. තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමට ජවිපෙ ඉව අල්ලන බව එලෙස අඟවා සිටි ලාල්කාන්ත සිසුන් ඊට ගොනුකර ගැනීමට සිය කතාව එල්ල කර ගත්තේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන බලයට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සමග පෙල ගැසුනු ජවිපෙ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව තම බලය තහවුරු කර ගැනීමට ඇටවූ ජාතික විධායක සභාවට ද හවුල් විය. ජවිපෙ දැන් ආන්ඩුවට එරෙහිව රට පුරා ඇවිලී යන කම්කරුවන් ඇතුලු අවශේෂ පීඩිත කොටස් වල අරගලවල මුදුනට පැන ගැනීමට වලිකයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන අනුරුද්ධ ප‍්‍රදීප් කර්නසූරිය ජාතික හෙල උරුමය වෙනුවෙන් කතා කලේය. කර්නසූරිය කලකට ඉහත ප‍්‍රකාශ කලේ ”උසස් පෙල විභාගයෙන් සමත්වන එහෙත් විශ්වවිද්‍යාල වරම් නොලබන ශිෂ්‍යයන් පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත යාම වලක්වමින් යම් ගාස්තුවක් අයකර රජයේ විශ්වවිද්‍යාල වලට බඳවාගත යුතු” බවයි. මෙය රජයේ විශ්ව විද්‍යාලවලට ද ගාස්තු අයකිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දීමේ කපටි යෝජනාවකි.

අවස්ථාවාදී හා ධනපති සංවිධාන සමග අවිශිබම පෙල ගැස්වීම සඳහා එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) කථික දුමින්ද නාගමුව අවිශිබමයේ ක්‍රියාකලාපය උත්කර්ෂයට නගමින් ප‍්‍රකාශ කලේ ”ආන්ඩුවේ තීරන ආපසු හරවන්නේ කෙසේද කියා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අද කදිම උදාහරනයක් සපයා ඇති” බවයි. ” ඕනෑම දෙයක් පටන්ගන්න වෙන්නේ කොනකින්. ශිෂ්‍ය ව්‍යාපාරය නියම තැනින් පටන් අරගෙන තියෙනවා” යයි නාගමුව කීවේය.

අවසාන කථිකයා වූ අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර ප‍්‍රතිගාමීන් රැලක් කැඳවාගෙන තමන්ගේ මූලිකත්වයෙන් අටවාගත් සන්ධානය කිසිදු හිරිකිතයක් නොමැතිව බෞතිස්ම කලේ ”ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මෙතක් බිහිකල පුලුල්ම වේදිකාව” ලෙස ය. නිදහස් අධ්‍යාපන අයිතියට විරුද්ධ කන්ඩායම් සමග පෙලගැසීම ආවරනය කර ගැනීමට ඔහු තැත් කලේ ”අවසානය දක්වා සටන් කරන බවට” පුච්චානම් දොඩවමිනි.

පෙසප ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් සිසුන් හා දුගීන් කොටුකිරීමට ධනපති කන්ඩායම් ද සම්බන්ධ කර ගත් ග්‍රීසියේ සිරිසා බඳු වමේ පෙරමුනක් ඇටවීමට ක්‍රියා කරන පක්ෂයකි. මෙම පක්ෂය අවිශිබම යොදාගන්නේ එබඳු පෙරමුනක් ඇටවී ගැනීමේ පිනුම් පිත්තක් ලෙසය. මෙම දේශපාලනය ප‍්‍රතිගාමීන් සමග අත්වැල් බැඳ ගන්නා සැටි නුගේගොඩ රැලියෙන් ඇස්පනාපිට පෙන්නුම් කර ඇත.

රැලියට සහභාගීවූ සංවිධාන අතර විවිධ නොඑකඟතා තිබියේ වුවද ඔවුන් අතර පොදු එකඟතාවක් පැවතුනි. එය වනාහි, අධ්‍යාපන අයිතිය ඇතුලු සියලු සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකගැනීම වෙනුවෙන්, එම අයිතීන්ගේ කප්පාදුවේ මූලය වන්නාවූ ලාබය සඳහා නිෂ්පාදනය කරන ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ක‍්‍රමයක් ඇති කිරීම සඳහා සටන් කිරීමට මෙම සංවිධානවලට පවතින සතුරුකමයි.

එබැවින් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ශාඛාව ලෙස ලංකාව තුල ඒ සඳහා සටන්වදින එකම ව්‍යාපාරය වන සමාජවාදී සමානතා පක්ෂයටත් (සසප) සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයටත් පහර දීමට රැලියේ ඉඩකඩ වෙන්කොට තිබුනි.

රැලියේ කතා කල පශ්චාත් නුතනවාදී කන්ඩායමක් වන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නියෝජිත දිනූක සපුතන්ත්‍රී සිය කතාව අවසන් කලේ ”ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය පිලිබඳ විචාරය දෘෂ්ටිවාදාත්මක තලයේ කලයුත්තක්” වන බවත් ”ට්‍රොට්ස්කිවාදී සහෝදරවරු ඒ ගැන නොදන්නා” බවත් කියමිනි. ඔහුගේ ඊනියා දෘෂ්ටිවාද තලය නම් ධනවාදය පෙරලා දමා නිෂ්පාදනය සමාජවාදී ආකාරයට සංවිධානය කල හැකි විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අත්හැර ධනපති පන්තියට දෘෂ්ටිවාදී පැහැදිලි කිරීමක යෙදීමයි! එනම්, ධනපති ක‍්‍රමයට එරෙහි අරගලය ඇත හැරීමයි.

සසප සහ සසජාතශි රැලියට සහභාගිවී සිටි ශිෂ්‍යයන් අතර ”නව වසර උදාවේ සසජාතාශි වෙතින් සිසුන්ට සහ තරුනයන්ට කෙරෙන කැඳවුමක්” යන ශීර්ෂය යටතේ පලකල ප‍්‍රකාශනයේ පිටපත් දහසක් බෙදා හරිමින් ඔවුන් සමඟ සාකච්ඡාවක යෙදී ගත්තේය. ධනපති ක‍්‍රමය විසින් දියත්කර ඇති ප‍්‍රහාරයේ මූලය පැහැදිලි කෙරුනු එම ලියවිල්ල ඊට එරෙහිව ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරී සමාජවාදය සඳහා සටන් කල යුතු බවට බලගතු කැඳවුමක් කර තිබුනි.

රැස්වීමේ මැදිහත්වූ සසප සහ සසජාතශි නියෝජිතයන් සමඟ සාකච්ඡා කල සිසුන් කෝපයෙන් යුතුව ප‍්‍රකාශ කලේ රාජපක්ෂ ආන්ඩුව පෞද්ගලිකරනය ක්‍රියාත්මක කරද්දී ඊට සහයෝගය දුන් පිරිස් දේශපාල වාසි ගැනීම සඳහා සයිටම් විරෝධයට හේත්තු වී ඇති බවත් තමන් ඊට දැඩි ලෙස විරුද්ධ බවත්ය. එක් සිසුවෙක් මෙසේ පැවසීය: ”දිනේෂ් ගුනවර්ධන වගේ අය මේකට සම්බන්ධ කරගැනීම ගැන අපි තදින්ම විරුද්ධයි. ජවිපෙ සම්බන්ධයෙනුත් එහෙමයි. ඒ කන්ඩායම් තම තමන්ට දේශපාල වාසි ගන්න සයිටම් විරෝධයේ එල්ලිලා ඉන්නවා.”

”අපිට තේරෙනවා මේ එකතු වෙලා ඉන්න කන්ඩායම් කියන්නේ එක එක දේවල් බව. අපි ඒවා මුල සිටම දැක්කා එත් සයිටම් අහෝසි කරගැනීම සඳහා බලපෑමක් එල්ල කිරීමේ නමින් තමයි මේ විදිහට අවිශිබමය කන්ඩායම් එකතු කරලා තියෙන්නේ,” ඔහු තව දුරටත් සඳහන් කලේය.

කැලනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සමාධි මෙසේ සඳහන් කලාය: ”වෛද්‍ය අධ්‍යාපනය පමනක් නොවෙයි සමස්ත අධ්‍යාපනයම පෞද්ගලිකරනය නොවිය යුතුයි කියන එකයි මගේ මතය. අපි අද සයිටම් එකට විරුද්ධව උද්ඝෝෂන කරනවා වුනත් තවත් පෞද්ගලික අධ්‍යාපන ආයතන ඕනෑ තරම් තියෙනවා. ශිෂ්‍යයන්ට හුදකලාවී ඊට විරුද්ධව සටනක් කරන්න බැහැ කියන එක පැහැදිලියි”.

Share this article: