ශ‍්‍රී ලංකාව: ව්‍යාජ වාම-නසසප ධනපති පක්ෂ සමග සන්ධානයන් සමරයි

Sri Lanka: Pseudo-left NSSP celebrates alliances with capitalist parties

පානි විජේසිරිවර්ධන විසිනි, 2017 පෙබරවාරි 1

ශ‍්‍රී ලංකාවේ ව්‍යාජ වාම පක්ෂයක් වන නව සම සමාජ පක්ෂය (නසසප) එහි අවස්ථාවාදී ඉතිහාසය සැමරීමට එය පිහිටුවීමෙන් 39 වසරක් සම්පූර්නවීම පිලිබඳ පැවැත් වූ රැස්වීමක් යොදා ගත්තේය. තම පක්ෂය ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම” පිනිස එක්සත් ජනපද ගැති වර්තමාන ආන්ඩුවට දිගටම සහයෝගය දෙන බව ප‍්‍රකාශ කල පක්ෂ නායක වික‍්‍රමබාහු කරුනාරත්න, ධනේශ්වර පක්ෂ සමග එබඳු සන්ධානයන් පිලිබඳ නසසපයේ දීර්ගකාලීන වාර්තාව උත්කර්ෂයට නැංවීය.

නසසපය 1978 පිහිටුවනු ලැබුවේ, කම්කරු පන්තියට විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන දෙමින්ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව, පලමුව 1964 දී සහ යලි 1970 දී ඇටවූ සභාග ආන්ඩු තුල රැඳී සිටි ලසසප නායකයන් කන්ඩායමක් විසිනි. එය 1977 ලැබූ දැවැන්ත මැතිවරන පරාජයෙන් පසු කරුනාරත්න ලසසපයෙන් භේද වූ නමුත්, ශ‍්‍රී ලංකා ධනේශ්වරයේ එක් හෝ තවත් කන්ඩායමක ට කම්කරුවන් හා තරුනයන් යටත් කිරීමේ එහි පන්ති සහයෝගතාවාදී ද්‍රෝහී ක‍්‍රියාමාර්ගයෙන් කැඩුනේ නැත.

”ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය සමග ඒකාබද්ධ වීම” මගින් ”ප‍්‍රතිගාමී බලවේග පරාජය කර ප‍්‍රගතිශීලී බලවේග ජයග‍්‍රහනය කරවීමට” නසසපය ට අවශ්‍ය වූ බවත් ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයෙන් පසු අප පෙරට යමින් සිටින” බවත් සංවත්සර රැස්වීමේ දී කරුනාරත්න ප‍්‍රකාශ කලේ ය.

නසසප නායකයාගේ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය” වනාහි 2015 ජනවාරි මැතිවරනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර මෛත‍්‍රිපාල සිරිසේන බලයට දමාගැනීමය. රාජපක්ෂ බලයෙන් නෙරපීම ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී” හෝ ”විප්ලවයක්” හෝ නොවේ. එය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහගේ සහයෝගය ඇතිව වොෂින්ටනය විසින් තිරයට පිටුපසින් ක‍්‍රියාත්මක කල පාලන තන්ත‍්‍ර මාරුවකි.

නසසපය, සෙසු ව්‍යාජ වාම කන්ඩායම්, වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන සහ ශාස්ත‍්‍රාලිකයන් සමග පෙල ගැසී රාජපක්ෂ ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය හෙලා දැකීමේ දී හා සිරිසේනගේ සහ එජාපයේ ඒ හා සමාන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වාර්තාව ආවරනය කිරීමේ දී කසකරුවන් ලෙස ක‍්‍රියා කලේය.

නසසපයේ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී” වාචාල කතාවල වංචනික ස්වභාවය එලිදරව් කල හා රාජපක්ෂ සහ සිරිසේන යන දෙදෙනාම ජීවන කොන්දේසිවලට පහරදීම තීව‍්‍ර කරන බවට අනතුරු අඟවමින් කම්කරු පන්තියේ දේශපාලනික ස්වාධීනත්වය සඳහා සටන් කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. වොෂින්ටනය සිරිසේනට සහයෝගය දුන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳ උත්සුකය නිසා නොව, බීජිනය සමග රාජපක්ෂට පැවති සම්බන්ධකම් වලට ඇති විරුද්ධත්වය නිසා මෙන්ම, චීනයට එරෙහි යුද්ධයක් සඳහා වන ප‍්‍රහාරාත්මක සුදානම් කිරීම් වලට ශ‍්‍රී ලංකාව අන්තර්ග‍්‍රහනය කර ගැනීමේ අවශ්‍යතාව නිසා බව සසප පෙන්වා දුන්නේ ය.

පසුගිය වසර දෙක තුල, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටින කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමේ දී සහ කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ හා දුගීන්ගේ වැඩෙන විරුද්ධත්වයට මුහුන දීමේදී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ආරක්ෂා කිරීමේ තම උද්ඝෝෂනය ව්‍යාජ වම්මුන් විසින් තීව‍්‍ර කර ඇත. කම්කරුවන් හා දුගීන් ගේ මැදිහත්වීම රාජපක්ෂට ”ෆැසිස්ට් බලවේග” ගොඩ නැගීම ට උදව් කිරීමක් ලෙස කරුනාරත්න මෙම අරගල හෙලා දුටුවේ ය. ප‍්‍රමුඛත්වය දිය යුත්තේ ආන්ඩුව ආරක්ෂා කිරීමට යැයි ඔහු අවධාරනය කලේ ය.

යථාර්තයේ දී, සිරිසේන-වික‍්‍රමසිහ ධනපති ආන්ඩුවට කම්කරු පන්තිය යටත් කිරීම මගින්, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනයවීම ට නසසපය බාධා කරයි. එසේ කිරීම මගින් නසසප, එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ වම්මු, යලි බලයට ඒම පිනිස සිංහල වර්ගවාදය අවුස්සමින් වැඩෙන සමාජ අසන්තෘප්තිය ගසාකෑමට උත්සාහ කරන රාජපක්ෂට සෘජුව ම සහයෝගය දෙති.

”ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය සමග එක්සත් පෙරමුනක්” බව ප‍්‍රකාශ කරමින් කොලඹ ආන්ඩුවට ඔහු දෙන සහයෝගය වසන් කිරීමට උත්සාහ කරන කරුනාරත්න, ”ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් දෙන ලද උදාහරනය මෙය” බව පැවසීය. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සමග නසසපයේ තථ්‍ය දේශපාලන සන්ධානය සහ ”එක්සත් පෙරමුන” පිලිබඳ මාක්ස්වාදී උපාය අතර කිසිදු සම්බන්ධයක් නැත.

කවර එක්සත් පෙරමුනක දී වුවත් පක්ෂයේ හා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය අතිශයින් ම වැදගත් බව ලෙනින් සහ ට්‍රොට්ස්කි නිරන්තරව ම අවධාරනය කලහ. එක්සත් පෙරමුනක අරමුන වූයේ කම්කරු පන්තිය සහ එහි සංවිධාන ආරක්ෂා කිරීමට අවශ්‍ය සංයුක්ත පියවරයන් ගැනීමය.

සටන් පාඨ හා ක‍්‍රියාමාර්ග කවලම් කර ගැනීමක් නො තිබිය යුතු අතර පක්ෂයට, එහි තාවකාලික පාර්ශවකරුවන් විවේචනය කිරීමේ අයිතිය තිබිය යුතු විය.

නසසපය කරන්නේ හරියට ම එහි ප‍්‍රතිවිරුද්ධ දේ ය. 2015 ජනාධිපතිවරනයේදී හා මහ මැතිවරනයේ දී සිරිසේන හා වික‍්‍රමසිංහ ලැජ්ජා විරහිතව ප‍්‍රවර්ධනය කල එය, කම්කරු පන්තිය තුල කෝපය වර්ධනය වෙද්දී දිගට ම එසේ කර ඇත. එහි ප‍්‍රතිපලයක් ලෙස ආන්ඩුවේ ඉහල උපදේශක කමිටුවකට කරුනාරත්න ඇතුලත් කර ගත් අතර විවේචන හෙලා දැකීමේ හා ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය” උත්කර්ෂයට නැංවීම සඳහා රජයේ පත‍්‍රයක නිත්‍ය කොලමක් දෙනු ලැබීය.

නසසපය ”එක්සත් පෙරමුනු ක‍්‍රියාමාර්ගය” දැඩිව අනුගමනය කර ඇති බවත් එහි ප‍්‍රතිපලයක් ලෙස මහ ජනයා මුහුනදෙන ප‍්‍රශ්න ජය ගැනීමේ දී බොහෝ ජයග‍්‍රහන ලබා ගත් බවත් කරුනාරත්න සංවත්සර රැස්වීමේ දී කයිවාරු ගැසුවේ ය. ඇත්ත වශයෙන් ම ශ‍්‍රීලනිපය හා එජාපය සමග නසසප ”එක්සත් පෙරමුනු” වල ඉතිහාසය කම්කරු පන්තිය සඳහා එකකින් පසු තව විනාශයක වාර්තාවකි.

1978 ලසසපය තුලින් මතු වූ නසසපය කම්කරුවන් ශ‍්‍රීලනිපයට යටත් කල අතර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන් සහ 1983 රට වාර්ගික යුද්ධයකට ඇද දැමූ විසකුරු දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් සම්බන්ධයෙන් ජේ.ආර්. ජයවර්ධනගේ නව එජාප ආන්ඩුව හෙලා දුටුවේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සමග යුද්ධයෙන් රට අර්බුදයකට ඇද වැටුනු බැවින් ජයවර්ධන ”වටමේස සාකච්ඡාවක්” සඳහා විරුද්ධ පක්ෂ වලට ආයාචනා කලේ ය.

නසසපය ට ජයවර්ධන ආන්ඩුවේ හිරිහැර කිරීම් තිබියදීම ”වාර්ගික ප‍්‍රශ්නයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් සෙවීම සඳහා 1985 ඔහු අපට කතා කල විට කිසිදු දෙගිඩියාවකින් තොරව ඔහුගේ (ජයවර්ධනගේ) ආරාධනය පිලිගත්” බව පසු ගිය මාසයේ රැස්වීමේ දී කරුනාරත්න කීවේ ය.

නසසපය ආන්ඩුවට දිදුලන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වර්න ආලේප කරමින් සිටිය දී, එල්ටීටීඊ ය නිරායුද කිරීමට හා දෙමල ජනතාව මර්දනය කිරීම සඳහා ”ඉන්දියානු සාමසාධක” හමුදා එවීමට ජයවර්ධන හා ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි 1987 ජූලි මාසයේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කලහ.

ඉන්දියානු හමුදාව දිවයිනේ උතුරේ සහ නැගෙනහිර දෙමල ජනතාව මර්දනය කරන අතර කම්කරු පන්තියට එහි සංවිධාන වලට විරුද්ධව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා මුදා හැරීමට ආන්ඩුවට හැකි විය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හමුදාව සමග ඒකාබද්ධව 1987-88 කාල පරිච්ඡේදයේ ගිවිසුමට එරෙහිව ගෙන ගිය එහි වර්ගවාදී උද්ඝෝෂනය ට විරුද්ධ වූ කම්කරුවන්, වෘත්තීය සමිති නායකයන් හා දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කලේ ය.

හමුදාවේ සහ ජවිපෙ තුවක්කුකරුවන්ගේ මිනීමරු ප‍්‍රහාරයන් ට එරෙහිව සසප පුර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) කම්කරු පන්තියේ පක්ෂ හා සංවිධාන වල අව්‍යාජ එක්සත් පෙරමුනක් කැඳවුම් කලේ ය. අර්ථභාරිලෙස ම, නසසපය කැඳවුම ප‍්‍රතික්ෂේප කල අතර චන්ද්‍රිකා කුමාරතුංග ගේ ශ‍්‍රී ලංකා මහජන පක්ෂය (ශ‍්‍රීලමප) ඇතුලත් වූ එක්සත් සමාජවාදී සන්ධානයට (එසසං) සම්බන්ධ වන ලෙස විකොසට අවධාරනය කලේ ය.

එසසං ධනේශ්වර ශ‍්‍රීලමප සමග දේශපාලන සන්ධානයක් පමනක් නොව, කම්කරු පන්තිය ත‍්‍රස්ත කරන එම රාජ්‍ය බලඇනි සමග පෙල ගැසී වැඩකරන බව පෙන්වා දෙමින් විකොස එම යෝජනාව ප‍්‍රතික්ෂේප කලේය. ”ජවිපෙ සතුරාට විරුද්ධව සටන් කිරීමට කඳවුරු” පිහිටුවීම ගැන කරුනාරත්න පුරසාරම් දෙඩුවේ ය. එසසං ආන්ඩුවෙන් ආයුධ සම්පාදනය කෙරුන ”මහජන විප්ලවවාදී රතු හමුදාව” (ප‍්‍රා) නමින් කන්ඩායමක් පිහිටුවා රාජ්‍ය බලඇනි සමග සහයෝගයෙන් කටයුතු කලේ ය.

කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා ජවිපෙ සමග එකට වැඩ කල එජාප ආන්ඩුව ජවිපෙ නායකයන් සහ එහි සාමාජිකයන් පමනක් නොව, 60,000 ක පමන ගම්බද තරුනයන් ඝාතනය කෙරුනු නිර්දය රාජ්‍ය ත‍්‍රස්ත ව්‍යාපාරයක් මුදා හලේ ය. එජාපය ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී” යැයි ප‍්‍රවර්ධනය කිරීම හා හමුදාව සමග එකට වැඩ කිරීම නිසා මෙම ඝාතනයන් ට නසසපය ද වගකිව යුතු ය.

එජාප අත්තනෝමතික පාලනය කෙරෙහි විරුද්ධත්වය වර්ධනය වූ විට, ශ‍්‍රීලමප යලි ශ‍්‍රීලනිප සාමාජිකයන් සමග ඒකාබද්ධ කල කුමාරතුංගට සහයෝගය දීමට නසසප මාරු විය. ඔහු ගේ වෘත්තියට බෙහෙවින් අවශ්‍ය වූ ගැම්ම ලබාදෙමින් කතරගම ”පූජා නගරයට” 1990 සංවිධානය කල ”මානව හිමිකම්” පා ගමනක් සංවිධානය කිරීමට ශ‍්‍රීලනිපයේ නැගී එන නායකයෙකු වූ රාජපක්ෂ සමග සම්බන්ධවීම ගැන සංවත්සර රැස්වීමේ දී කරුනාරත්න යලි මතක් කලේ ය.

එජාපයේ ආඥාදායක විධික‍්‍රමයන් හෙලා දුටු නසසපය 1994 මැතිවරනයේ දී ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ එහි ජනාධිපති අපේක්ෂිකා කුමාරතුංග ට සහයෝගය දුන්නේ ය. කුමාරතුංග ”සාමය” සහ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ගැන පොරොන්දු කඩකර එල්ටීටීඊය ට එරෙහි යුද්ධය තීව‍්‍ර කල විට ඇය ට එරෙහි විරුද්ධත්වය වර්ධනය විය. 1980 ගනන් වල දී තම නායකයන් ඝාතනය කල සංවිධානය වූ ජවිපෙ දෙසට පලමුව හැරුන නසසපය අනතුරුව ”සාමයේ” පක්ෂය ලෙස 2000 ගනන් වල දී එය විසින් ම ප‍්‍රවර්ධනය කර ගත් එජාපය දෙසට යොමු විය.

කුමාරතුංග විස්ථාපනය කරමින් ශ‍්‍රීලනිප නායකත්වයට පත් වූ රාජපක්ෂ 2005 ජනාධිපතිවරනය ජයග‍්‍රහනය කිරීමෙන් අනතුරුව 2006 දී එල්ටීටීඊය ට එරෙහි යුද්ධය යලි ආරම්භ කලේ ය. එමෙන් ම, ඔහුගේ ආන්ඩුව පැහැරගැනීමේ හා ඝාතනය කිරීමේ විසකුරු ව්‍යාපාරයක් දියත් කලේ ය. සිය ගනනක් දෙමල ජනයා, මාධ්‍ය විවේචකයන් හා දේශපාලන විරුද්ධවාදීන් ”අතුරුදහන්” කෙරුනි. නැතහොත් ප‍්‍රසිද්ධියේ මරා දැමුනි.

මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස ඔහුව පින්තාරු කරමින් කරුනාරත්න සහ එසප නායක සිරිතුංග ජයසුරිය රනිල් වික‍්‍රමසිංහ සමග ”නිදහසේ වේදිකාව” පිහිටු වී ය. 1980 ගනන් වල එජාප ආන්ඩුවේ ඇමතියෙකු ලෙස වික‍්‍රමසිංහ යුද්ධයට හා 1988-90 රාජ්‍ය ත‍්‍රස්තයට වගකිව යුතු විය. 2001 සහ 2004 අතර අගමැති ලෙස ඔහු කම්කරු පන්තියේ සමාජ අයිතීන්ට හා ජීවන කොන්දේසි වලට සමස්ත ප‍්‍රහාරයක් එල්ල කලෙහි ය.

”රාජපක්ෂ ෆැසිස්ට්වාදය දෙසට යමින් සිටි” නිසා සහ ”රනිල් සටන් කරන ක‍්‍රමය නිරීක්ෂනය කිරීමෙන් පසු” එජාප නායකයා ට සහයෝගය දීමට තීන්දු කල බව පසුගිය මාසයේ රැස්වීමේ දී නසසප නායකයා කීවේ ය. 2014 නොවැම්බර් වන තුරු රාජපක්ෂ ගේ ”ෆැසිස්ට්” ආන්ඩුවේ ජ්‍යෙෂ්ට ඇමතියෙකු ව සිටි සිරිසේන බලයට පත් කිරීම මගින් ”අප සටන දිනූ” බව ට ඔහු ජයග‍්‍රාහී ලෙස පුරසාරම් දෙඩුවේ ය.

කම්කරු පන්තියේ හා දුගීන්ගේ අරගල තලා දැමීමට එය හමුදාව, පොලීසිය සහ අධිකරනය යොදා ගනිද්දී ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී” සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ වංචනික ක්ෂමාලාපියකු ලෙස කරුනාරත්න ක‍්‍රියා කරයි. රැකියා ආරක්ෂා කර ගැනීම පිනිස අරගලයේ යෙදී සිටි හම්බන්තොට වරාය කම්කරුවන්ට විරුද්ධව ආන්ඩුව පසුගිය මාසයේ නාවික භටයන් සහ පොලීසිය යෙදෙව්වේය. එම කම්කරුවන් රාජපක්ෂ ආන්ඩුව විසින් රැකියාවට ගත්තවුන් බවත්, පුද්ගලීකරනය රටේ නය ප‍්‍රශ්නය විසඳීමේ ක‍්‍රියාවක් බවත් කියමින් කරුනාරත්න මෙම ප‍්‍රහාරය යුක්තිසගත කලේ ය.

එමෙන් ම, චීනයට එරෙහිව එය යුද්ධය සූදානම් කරද්දී වොෂින්ටනය සමග ආන්ඩුව සමීප දේශපාලන හා හමුදා සම්බන්ධකම් ඇතිකර ගැනීම ගැන කරුනාරත්න වචනයක්වත් කතා කරන්නේ නැත. නිශ්ශබ්දතාවය අහම්බයක් නොවේ. ලිබියාවේ, සිරියාවේ සහ යුක්රේනයේ පාලන තන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුම වැනි එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් කෙරෙන මැදිහත්වීම් සහ යුද්ධ වල දී නසසපය හා ව්‍යාජ වාම සංවිධාන ජාත්‍යන්තරව ම යුද්ධයේ සහ අධිරාජ්‍යවාදයේ ගැත්තන් බවට පත්ව ඇත.

නසසප යේ හා සෙසු ව්‍යාජ වාම පක්ෂ වල දිගුකාලීන හා ද්‍රෝහී වාර්තාව ගැන අත්‍යාවශ්‍ය නිගමන ඇතිකර ගැනීමට දැන් කාලය එලඹ ඇත. කම්කරු පන්තියට එහි ජීවන කොන්දේසි ආරක්ෂා ගැනීමට සහ යුද්ධයේ වැඩෙන තර්ජනය ට එරෙහිව සටන් කල හැක්කේ ධනපති පන්තියේ සියලුම කන්ඩායම් හා නසසපය වැනි ඔවුන්ගේ ක්ෂමාලාපීන් ගෙන් කැඩී වෙන්වීමෙන් පමනි. දිවයිනේ 30 අවුරුද්දක සිවිල් යුද්ධයට හා කම්කරු පන්තියේ හා දුගීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට සහ ජීවන කොන්දේසි වලට එරෙහිව ගැඹුරු වන ප‍්‍රහාරයට අනුප‍්‍රාප්තික ශ‍්‍රීලනිප සහ එජාප ආන්ඩු වගකිව යුතු ය.

අන් සියල්ලට මත් වඩා, අත්‍යවශ්‍ය වන්නේ ජාත්‍යන්තර සමාජවාදය සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය මත පාදක වූ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමය. ධනේශ්වර පක්ෂ වලට නිරන්තරව විරුද්ධ වූත් ජාත්‍යන්තරව හා කලාපය පුරා සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩ නැගීමට කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් කලාවූත් සසප වාර්තාව අධ්‍යයනය කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

Share this article: