ඩිමොක‍්‍රටිකයෝ ට‍්‍රම්ප් කෙරේ විරෝධය රුසියානු විරෝධී ව්‍යාපාරය පිටු පස පෙලගැස්සීම ට උත්සාහ කරති

Democrats seek to channel opposition to Trump behind anti-Russia offensive

2017 පෙබරවාරි 16

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ පදවි ප‍්‍රාප්තියෙන් පසුව ගතවූ මාසය තුල එකිනෙකින් වෙන්වූ සන්තතීන් දෙකක් මතුවී තිබේ. අලුත් ආන්ඩුවේ ෆැසිස්ට්-වර්ගයේ පිලිවෙත් වලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද පැනනැග තිබෙන විරෝධතා වලට මිලියන ගනන් ජනයා සහභාගී වෙති. ඔවුන් ඉදිරියට තල්ලු කරනු ලබන්නේ, ට‍්‍රම්ප් පාලනය සංක‍්‍රමනිකයන් ට විරුද්ධ ව එල්ල කොට ඇති ප‍්‍රහාරය කෙරේ ද බිලියනපතියන් සහ සමාජ ප‍්‍රතිගාමීන් ගෙන් පුරවන ලද ට‍්‍රම්ප්ගේ කැබිනට්ටුව කෙරේ ද ගැඹුරින් ම පැන නැග තිබෙන සැබෑ කෝපය සමගිනි.

ඒ සමගම, මාධ්‍ය බොහොමයක් ද දේශපාලන සංස්ථාපිතයේ ප‍්‍රමුඛ අංශ ද ට‍්‍රම්ප්ට එරෙහිව ඊට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක මෙහෙයුමක් පෙරට ගෙන යමින් සිටිති. එක්සත් ජනපද බුද්ධි අංශ සමග සමීපව වැඩකරමින් සිටින, සංස්ථාපිතයේ ට‍්‍රම්ප් විරෝධී කොටස් උත්සාහ කරන්නේ, ට‍්‍රම්ප්ට එරෙහි කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ විරෝධය ගසා කමින්, එය තම අධිරාජ්‍යවාදී සහ යුදවාදී න්‍යායපත‍්‍රය පිටුපස පෙලගස්සා ගැනීමටය.

ට‍්‍රම්ප් ගේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් ඉල්ලා අස් වීමෙන් පසුව ගිය බදාදා, වොෂිංටන්පෝස්ට් පුවත් පතේ පලවූ කතුවැකියක්, පාලක පන්තියේ සාරභූත විදේශ ප‍්‍රතිපත්ති උත්සුකයන් සටහන් කලේ ය. එම පුවත්පත මෙසේ සඳහන් කලේ ය: “අලුත් ජාතික ආරක්ෂක උපදේශකයෙක් පත්කරගැනීම මගින් ට‍්‍රම්ප් ට තමාගේ නිල කාලයේ මුල් මාසය තුල දී සිදු කරගත්, හානිය සුව කරගත හැකිය.” එම පුවත්පත තවදුරටත් මෙසේ පවසයි: “ගිය දෙසතිය තුල එක්සත් ජනපදයේ විදෙස් පිලිවෙතින් විෂම අපසරනයන් යයි පෙනී ගිය තමාගේ යම් පියවරයන් පිලිබඳව පිලිගතහැකි නිවැරදි කිරීම් ගනනාවක්ම ට‍්‍රම්ප් මහතා විසින් ගනු ලබනු දැකගත හැකි වූ අතර, ඔහු විසින් නිවැරදි කරගත යුතු වූ කාරනා ගනනාවක් ම ඉතුරුව පවතී.” එහි අර්ථය, අන් සියල්ලටත් වඩා යුරෝපීය බලවතුන් සමග සබඳතා වර්ධනය කර ගැනීමත්, තමා “පුටින් මහතා කෙරේ ගන්නා භයානක ලෙස සම්මුතිශීලි ආකල්පය” වෙනස් කර ගැනීමත් ය. ”

ගනන් නැති පුවත් පත් කතුවැකි, කේබල් පුවත්, රාතී‍්‍ර මාධ්‍ය සාකච්ඡුා දර්ශන (ටෝක් ෂෝ ), රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික දේශපාලකයන්, එම පිලිවෙතම යලි යලිත් මතු කෙරේ.

රුසියානු භීතිකාවෙන් දරුනු ලෙස පෙලෙන්නෙකු වන රිපබ්ලිකානු සෙනෙට් මන්ත‍්‍රී ලින්ඞ්සේ ග‍්‍රැහැම් 15දා කියා සිටියේ, ට‍්‍රම්ප් ගේ ඡන්ද ව්‍යාපාරයත්, රුසියානු ඔත්තු සේවා නිලධාරිනුත් අතර සම්පර්කයන් ‘භයානක අන්තරායක්’ බවත් එවැන්නක් ස්වාධීන ද්විපාක්ෂික පරීක්ෂනයකට භාජනය කල යුතු බවත් ය.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ වාම අංශය නියෝජනය කර බව කියන සෙනෙට් මන්ත‍්‍රී එලිසබත් වොරන් ප‍්‍රකාශයකින් කියා සිටියේ, ට‍්‍රම්ප් “රුසියාව සමග තම පාලනාධිකාරය පවත්වන ගනුදෙනු පිලිබඳව ඇමරිකානු ජනයාට පූර්න විස්තරයක් ඉදිරිපත් කල යුතුව ඇති” බව කි, “කොංගස් සභාව තම ඔලුව වැල්ලේ ඔබා ගෙන නොසිට රුසියාව පිලිබඳ උභය පාක්ෂික, පාර දෘශ්‍ය පරීක්ෂනයක් පැවැත්විය යුතු ව ඇත. අපේ ජාතික ආරක්ෂාව පරදුවට තැබී ඇත.”

නමට ස්වාධීනව සිට, දැන් සෙනෙට් ඩිමොක‍්‍රටිකයන් ගේ නායකත්වය ට ඔසොවනු ලබා ඇති බර්නි සැන්ඩර්ස්, “රුසියාව ට‍්‍රම්ප් සහ ඔහුගේ ඡුන්ද ව්‍යාපාරයට සහාය දුන්නා” යන්න පිලිබඳව සෙනෙට් බුද්ධි කමිටුව විසින් “තරයේ පරික්ෂා කල යුතුව ඇතැයි, ඉල්ලා සිටියේ ය.” හිලරි ක්ලින්ටන්ට පක්ෂව දැඩි උද්ඝෝෂනයක් ගෙන ගිය, දැන් ඩිමොක‍්‍රටික් පක්ෂය අනුව යන, ලේඛනඥ මයිකල් මූර් මෙසේ ට්වීට් කර තිබුනි: “රුසියානු ගැති ද්‍රෝහියා [ ට‍්‍රම්ප්] ‘ඉවත්ව පලයන්’ කියන එකෙන් උඹට තේරෙන්නේ නැත්තේ මොන කොටස ද ? ... .”

ඩිමොක‍්‍රටිකයෝ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමට අපේක්ෂා කරති. සමාජ ආතතීන් රඳවාගෙන, ඒවා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය වීම වැලැක්වීම ඔවුන්ගේ උවමනාවයි. ඒ සමගම ට‍්‍රම්ප් ආන්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය, ‘නිවැරදි කර ගෙන’ එය සීඅයිඒ සංවිධානය සහ ඔබාමා විසින් ආරම්භ කරන ලද රුසියාවට සතුරු ආර්ථික, දේශපාලන සහ මිලිටරි මෙහෙයුම ට ගැලපෙන පරිදි සකසා ගැනීමට ඔවුන්ට අවශ්‍යව ඇත.

ට‍්‍රම්ප්ට රුසියාව සමග පවත්නේ යයි කියනු ලබන සම්බන්ධතා වලට සිය විරුද්ධත්වය යොමු කල, වෝල් වීදියේ අපේක්ෂිකාව වූ ක්ලින්ටන්ගේ මෙහෙයුම පිටුපස සමාජ අසමානතාවයට එරෙහි මහජන කෝපය හරවා යැවීමට සැන්ඩර්ස් ගිය වසරේ ඉටුකල සුවිශේෂ කේන්ද්‍රීය භූමිකාව හා සම්බන්ධව ගත් කල්හි, ඔහුගේ වත්මන් ප‍්‍රතිචාරයේ සුවිශේෂ අර්ථය ඉස්මත්තට එයි.

ඩිමොක‍්‍රටික් කොන්ග‍්‍රස් සභිකයින් පවත්වන කොට්ඨාශ බද රැස්වීම්වල දී පුපුරා යමින් තිබෙන මහජන විරෝධය සමනය කිරීමට කටයුතු කරන ලෙස, 14දා ඩිමොක‍්‍රටික සෙනෙට් රැස්වීමකදී පක්ෂ නායකයන් සැන්ඩර්ස් ගෙන් ඉල්ලා සිටි බව වාර්තා විය. සෙනෙට් මන්තී‍්‍ර ජෝ මන්චින් ට අනුව, ඩිමොක‍්‍රටික් සුලුතරයේ නායක චාල්ස් ශූමර් ද තවත් අය ද සැන්ඩර්ස්ට කියා සිටියේ, කෝපය “නිවැරදි අගලට -එනම් තනිකර ඩිමොක‍්‍රටිකයන් දෙසට- යොමු කර දිය හැකි” එකම තැනැත්තා සැන්ඩර්ස් විය හැකි බවය.

ක්ලින්ටන්ගේ දක්ෂිනාංශික මෙහෙයුම ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහනයට මගපෑදූ පසු ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රථම පතිචාරය වූයේ, අනුගත වී සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටීම ය. ඩිමොක‍්‍රටිකයෝ විරෝධය අධෛර්ය කිරීමට ද “සාමකාමී ආකාරයකට බලය පැවරීම” සහතික කරලීමට ද හැකි හැම දෙයක්ම කලෝ ය.

ජනපති වරනය සියලු පැති “එකම කන්ඩායමක ට අයත් අභ්‍යන්තර පොරයක් ය”යි ඔබමා නිවේදනය කලේ ය. ඔහු ද ක්ලින්ටන් ද ට‍්‍රම්ප්ට “සකල සාර්ථකත්වයක් ම” ප‍්‍රාර්ථනය කල අතර සැන්ඩර්ස් නිවේදනය කලේ, තමා ද අනෙකුත් සෑම ප‍්‍රගතිශීලියෙක්ම ද “වැඩකරන පවුල්වල ජීවන තත්වය දියුනු කරලීමට ”ට‍්‍රම්ප් සමග එක්ව වැඩ කිරීමට සූදානම්ව සිටින බවය. අලුත් පාලනයේ අන්ත දක්ෂිනාංශික ස්වභාවය වසං කල ඔවුහු, ට‍්‍රම්ප් සමස්ත ඡන්දයෙන් ලත් පරාජයේ අර්ථභාරය යට ගැසූහ.

කෙසේ වෙතත් ට‍්‍රම්ප්ගේ පදවි ප‍්‍රාප්තිය ට ඉක්බිති ව වහාම ඇතිවූ, මිලියන සංඛ්‍යාත ජනකායක් ආකර්ෂනය කර ගත් විරෝධතා පෙලපාලි, 2003 ඉරාක ආක‍්‍රමනය ට පසුව ඇතිවූ පුලුල්තම ජාත්‍යන්තර පෙලපාලි ය. මේ පෙලපාලි වලට ඉක්බිති සතිය තුල, අලුත් ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී, ආගාමික-විරෝධී විධායක නියෝගයන්ට එරෙහිව, රට පුරා ගුවන් තොටුපලවල විරෝධතා පැනනැගුනි. සාරභූත වශයෙන් ප‍්‍රගතිශීලි සහ වාමාංශික ස්වභාවයක් දරන්නාවූ මෙම විරෝධතා රටපුරා නොනැවත පැතිරෙමින් පවති.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා ඇති පරිදි මෙම විරෝධතා, ස්වාධීන කි‍්‍රයාමාර්ගයකින් තොර වන අතර දේශපාලනිකව අධිකාරය දරන්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයට වාරුවී ඇති සංවිධානයි. මෙනිසා ඒවා යටපත් කරනු ලැබීමේ හා සීඅයිඒ සංවිධානයේ ද පෙන්ටගනයේ ද යුදවාදී පිලිවෙත් පිටුපස පෙල ගැස්සීමේ ද “කතිකාව” යුද්ධයට පක්ෂ දිශාවකට යොමු කිරීමේ ද අනතුර පවතී.

ඩිමොක‍්‍රටික් පක්ෂය උත්සාහ කරන්නේ හරියටම මෙන්න මේ දේ කර ගැනීමට ය. රුසියාව සමග ෆ්ලින්ගේ දුරකතන කතා සහ ට‍්‍රම්ප්ට පුටින් සමග ඇතැයි කියන සබඳතා යොදාගෙන තිබෙන්නේ, මුස්ලිම්-විරෝධී තහනම ද ආගාමිකයන්ට පහර දීම ද අලුත් ආන්ඩුවේ ෆැසිස්ට් ලක්ෂන ද ට‍්‍රම්ප් ආන්ඩුව අරක් ගෙන සිටින සමාගම් විධායකයන්, බැංකුකාරයන් සහ හිටපු මිලිටරි ප‍්‍රධානීන් සහිත කල්ලිය පිලිබඳ මහජන සාකච්ඡාව වසං කිරීමට ය.

රුසියානු විරෝධී මෙහෙයුම හරි ගියොත් කුමක් සිදු වේ ද ? ඩිමොක‍්‍රටික් පක්ෂය සහ එය වටා රොක්වී සිටින සංවිධාන කැපවී සිටින්නේ ව්‍යසනකාරී විපාක සහගත පිලිවෙතකට ය. ඔවුන් සලකනු ඇත්තේ න්‍යෂ්ටික අවි සහිත රුසියාව සමග යුද්ධය අවුලූවා ගැනීම මහා විජයග‍්‍රහනයක් හැටියටය.

පාලක පන්තියක් විසින් පැහැදිලි ව නිර්නය වූ කම්කරු පන්තික ස්වභාවයක් ද සමාජවාදී වැඩපිලිවෙලක් ද රහිත වූ මහජන ව්‍යාපාරයක්, සිය ප‍්‍රතිගාමී අරමුනු ඉටු කරගැනීම වෙනුවෙන් යොදා ගැනුනු ප‍්‍රථම වතාව ද මෙය නොවනු ඇත. ඊජිප්තුව තුල 2013 දී දක්ෂිනාංශික මුස්ලිම් සහෝදරත්ව ආන්ඩුවට එරෙහිව පුපුරාගිය යෝධ පෙලපාලි, මිලිටරිය සහ එහි දේශපාලන ඒජන්තයන් විසින්, එක්සත් ජනපද සහාය ලත් ඒකාධිපති හොස්නි මුබාරක් පෙරලා දැමීමෙන් අවුරුදු දෙකක් ඇතුලත, මිලිටරි ඒකාධිපතිත්වයක් යලි පිහිටුවීම සඳහා යොදාගන්න ලදී.

ඉමහත් දේශපාලන අන්තරායන් මතුකර ඇත. ට‍්‍රම්ප් පාලනයේ මුර්ග ස්වභාවය, බුද්ධි අංශයන්හි ඉන්නා එහි විරුද්ධවාදීන් ගේ ප‍්‍රතිගාමී බව අඩුකරන්නේ නැත. ඔවුහු විදේශයන්හි වඩාත් පුලුල් සහ වඩාත් ලේ වැකි යුද්ධ ඇරඹීමට පමනක් නොව, රට තුල කම්කරු පන්තියට එරෙහි යුද්ධයට ද සැරසෙමින් සිටි. යුරේසියාව මත ඇමරිකානු ආධිපාත්‍යය පිහිටුවාගැනීම සඳහා රුසියාවට විරුද්ධ යුද්ධය නොපමාව සුදානම් කලයුතුය යි කියා සිටින එම චින්තන මන්ඩලම දැවැන්ත යුද වියදම් උදෙසා සමාජ සේවාවන් සහ විශ‍්‍රාම වැටුප් මහා පරිමානයෙන් කප්පාදු කල යුතු යයි ද කියා සිටිති.

කම්කරු පන්තියට යුද්ධය ඕනෑ නැත. රුසියාව හෝ චීනය සමග යුද්ධයට හෝ මැද පෙරදිග යුද්ධය උත්සන්න කිරීමට මහජන සහයෝගයක් කිසිසේත්ම ඇත්තේ නැත. සමාජ අසමානතාවට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට පුලුල් විරුද්ධත්වයක් පවතී.

කම්කරු පන්තියේ රැඩිකලීකරනය ට සවිඥානක සහ සංවිහිත දේශපාලන රූපයක් දිය යුතුව ඇත. උග‍්‍රවන්නාවූ දේශපාලන අර්බුදය සහ සමාජ විරෝධතා වැඞී ඒමෙන් ඉස්මතු කරන්නේ, විප්ලවවාදී නායකත්වය පිලිබඳ තීරනාත්මක ප‍්‍රශ්නයයි.

ජෝසප් කිෂෝර් විසිනි

Share this article: