නව ගිවිසුම යටතේ කෙරෙන වැටුප් කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් අතර විරෝධය ඇවිලෙයි

එම්. දේවරාජා විසිනි, 2017 පෙබරවාරි 16

නව වැටුප් ගිවිසුම යටතේ වැඩ ඉලක්ක ඉහල දැමීම මගින් කෙරෙන වැටුප් කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් අතර විරෝධය වැඩෙමින් ඇත. පෙබරවාරි 7 වෙනිදා නානුඔය උඩරදැල්ල හා ජනවාරි 10 වෙනිදා ආගරපතන ග්ලාස්ගෝ වත්තේ කම්කරුවෝ සිය ගනනක් වැටුප් කප්පාදුවට එරෙහිව උද්ඝෝෂන වල නිරත වූ අතර දෙසැම්බර් මාසයේ කඳපොල පාර්ක් වත්තේ කම්කරුවෝ මාසයකට ආසන්න කාලයක් වර්ජනය කලහ. එම වර්ජනයට 800 ක් පමන කම්කරුවෝ සහභාගී වූහ.

ආන්ඩුවේ මැදිහත්වීමෙන් වතු සමිති සහ සමාගම් අතර ඔක්තෝබර් මාසයේ අත්සන් කෙරුන වතු ගිවිසුම මගින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 620 සිට රුපියල් 730 දක්වා රුපියල් 110 කින් ඉහල දැමුන බව මෙම තුන් පාර්ශ්වය විසින් ම අඬබෙර ගසා කියූ නමුත් ඇත්තට ම සිදුවන්නේ වැඩ ඉලක්ක ඉහල දැමීම් මගින් ඔවුන්ගේ වැටුප් කප්පාදු කිරීමකි. ඉහත සඳහන් වතුවල කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කර ඇත්තේ දිනකට නෙලිය යුතු තේ දලු කිලෝ 18 ක් සම්පූර්න කිරීමට හා මාසයේ නියමිත වැඩ දින ගනනින් සියයට 75 ක් සම්පූර්න කිරීමට අසමත්වන වන අයට නිෂ්පාදන හා පැමිනීමේ දිරිදීමනා කපා හැරීමෙනි.

මෙලෙස දෛනික වැඩ ඉලක්කය සම්පූර්න කිරීමට අසමත් වන කම්කරුවන්ගේ රුපියල් 140 නිෂ්පාදන දිරිදීමනාව අහිමි කිරීමෙන් දෛනික වැටුප රුපියල් 590 දක්වා කප්පාදු කෙරෙයි. මාසයේ නියමිත වැඩ දින ගනනින් සියයට 75 ක් සම්පූර්න කිරීමට අසමත් වුනොත් පැමිනීමේ දීමනාව ලෙස ලැබෙන රුපියල් 60 ත් කම්කරුවන්ට අහිමි වන්නේ ය.

වැටුප් කප්පාදුව පිලිබඳව වෘත්තීය සමිති, වතු සමාගම් සහ ආන්ඩුව කෙරෙහි කම්කරුවන් තුල ඇත්තේ බලවත් කෝපයකි.

”වෘත්තීය සමිති කිව්වා අපේ වැටුප රුපියල් 110 කින් වැඩි වුනා කියල. ජනවාරි මාසේ අපිට ලැබුනේ රුපියල් 590 යි. කිලෝ 18 කඩන්න බැරි වුන නිසා නිෂ්පාදන දීමනාව කපලා. පහුගිය අවුරුද්දේ අපි වර්ජනය කලේ දෛනික වැටුප රුපියල් 1000 කරන්න කියල. නමුත් වෘත්තීය සමිති අපේ අරගලය පාවල දුන්න. ආන්ඩුවයි, සමිතියි දෙගොල්ලම එකතුවෙලා අපිව රැවට්ටුව” උඩරදැල්ල වත්තේ කම්කරුවෝ මාධ්‍ය වලට ප‍්‍රකාශ කර තිබුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල ග්ලාස්ගෝ වත්තේ මනක්කායක්කරසි ප‍්‍රකාශ කලේ වෘත්තීය සමිති ආන්ඩුවේ ඇමතිකම් ගැනීම පිනිස එකිනෙකා අතර කාකොටා ගත්තත් කම්කරුවන් රැවැට්ටීමේ දී ඔවුන් සියලු දෙනාම එකට එකතු වන බවය.

”මැතිවරන කාලෙට ඒ ගොල්ල ඔක්කොම අපිව බලන්න එනවා. ඇවිල්ල බොරු පොරොන්දු දෙනවා. අපේ පඩිය රුපියල් 730 දක්වා වැඩි කලා කිව්වට නිෂ්පාදන දීමනාවයි, පැමිනීමේ දීමනාවයි දෙකම කැපිල වත්තේ බොහොමයක් කම්කරුවන්ට ලැබෙන්නේ රුපියල් 530 යි. ජනවාරි 10 දා වර්ජනය කලේ ඊට විරුද්ධව. දෙසැම්බර් මාසේ පඩිය ගැනීමත් අපි ප‍්‍රතික්ෂේප කලා”.

”කම්කරු කොමසාරිස් එක්ක සාකච්චා කරලා ප‍්‍රශ්නය විසඳනව කියල වත්තේ තලවර්ල කිව්වා වර්ජනය නතර කරන්න කියල. කම්කරු කොමසාරිස්ට පෙන්නන්න කියල දෙසැම්බර් මාසේ අපේ පඩි ලයිස්තුවෙයි වැඩ විස්තර සටහන් කරන කාඞ් එකෙයි පොටෝ කොපිත් ගත්ත. ඒත් විසඳුමක් ලැබුනේ නැහැ. වර්ජනය නතර කරන්න ඒගොල්ලෝ බොරුවක් කරලා තියෙන්නේ. කම්කරු කොමසාරිස් එක්ක කරනවයි කිව්ව සාකච්චාව රංග පෑමක් විතරයි” ඔහු වැඩි දුරටත් කීවේ ය.

වැටුප් කැපීමෙන් රුපියල් 350,000 පමන අමතර ලාභයක් ඒ මාසය තුල වතු පාලකයන් විසින් උපයාගෙන ඇති බව ද ඔහු පැවසුවේ ය. ”වෘත්තීය සමිති මේ වැඩවලට උදව් කරනවා. කලින් වගේ නෙමෙයි වෙන්නේ මොකද්ද කියල අපි හොඳට ම ඒ ගොල්ල ගැන පරීක්ෂාවෙන් ඉන්නේ” ඔහු කීවේ ය.

තිදරු මවක් වන නිරන්ජනී පැවසුවේ ”වියලි කාලගුනයක් පවතින ජනවාරි-මැයි මාස වල දී දලු අඩු යි. දවසකට උපරිම වසයෙන් කඩන්න පුලුවන් කිලෝ 14 ක් පමනයි. ඒ නිසා නිෂ්පාදන දීමනාව කප්පාදු වුනාම කම්කරුවෙකුට මාසෙකට රුපියල් 3000 ක් අඩු වෙනවා. පැමිනීමේ දීමනාව කැපුනොත් තවත් රුපියල් 1200 ක් විතර අඩු වෙනවා අපිට දැන් කලින් ලැබුන රුපියල් 620 වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ දවසේ පඩිය රුපියල් 730 කියන එක බොරුවක්.”

ඉහල යන ජීවන වියදමත් එක්ක ලැබෙන ආදායම ජීවත් වීමට කොහෙත් ම නොසරිලන බව ඇය පැවසීය. ”කෑමට වියදම් වෙනවට අමතරව ලමයි ඉස්කෝලේ යවන්න මාසෙකට රුපියල් 2000-3000 ක් විතර ඕන. පහසුකම් තියෙන ගෙයක් නැහැ. අපි මේ ආන්ඩුවට චන්දෙ දුන්න සහනයක් ලැබෙයි කියල හිතල. නමුත් ලැබුන දෙයක් නැහැ. ආන්ඩුවයි, සමාගමුයි එක්ක එකතු වෙලා සමිති අපිව රවට්ටනවා” ඇය කීවා ය.

පාර්ක් වත්තේ කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කලේ ද වෘත්තීය සමිති විසිනි. වෘත්තීය සමිති විසින් අරගලය හුදකලා කිරීම හා එය නතර කරන ලෙසට බල පෑම් කිරීම නිසා ඔවුන්ට වර්ජනය නතර කර ආපසු වැඩට යාමට බල කෙරුනි. අතපසුවීමකින් වැටුප් කප්පාදුවක් සිදු වී ඇති බව කම්කරුවන්ට ඒත්තු ගැන්වීමට සමිති නායකයන් උත්සාහ කරන බවට කම්කරුවෝ චෝදනා කලහ.

වැටුප් කප්පාදුව සිදුවන්නේ වතු පාලකයන් ගේ අතපසු වීමක් නිසා නොවේ. එය නව වැටුප් ගිවිසුමට අනුව වෘත්තීය සමිතිවල දැනුවත්කම හා සහයෝගය ඇතිව කෙරෙන කප්පාදුවකි.

නව වැටුප් ගිවිසුමේ දී රුපියල් 140 ක් ව පැවති පැමිනීමේ දීමනාව 60 දක්වා අඩු කර රුපියල් 140 නිෂ්පාදන දිරිදීමනාවක් අලූතෙන් හඳුන්වා දෙන ලදී. එමෙන් ම ”වැඩ ප‍්‍රමානයන්/ඉලක්කයන් පසුගිය ක්‍රියාකාරකම් මත පදනම් ව වතු මට්ටමේ වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුවල උපදෙස් හා එකඟතාවය ඇතිව” ඉහල දැමීමට වතු සමාගම් වලට ඉඩ සලසන වගන්තියක් ද සමිතිවල අනුදැනුම සහ සහයෝගය ඇතිව ඊට ඇතුලත් කෙරුනි. වතු සමාගම් දැන් වැටුප් කප්පාදුව ක්‍රියාවට දමන්නේ ගිවිසුමේ මෙම කොන්දේසි උපයෝගී කර ගැනීමෙනි.

මෙම කොන්දේසි සහිත වැටුප් ගිවිසුමට අත්සන් කල ලංකා කම්කරු කොන්ග‍්‍රසය, පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සමිතිය හා විපක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා ආන්ඩුවේ පාර්ශවකරුවන් වන ජාතික කම්කරු සමිතිය , ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය සහ කඳුරට ජනතා පෙරමුන ඇතුලු සියලුම වතු සමිති සහයෝගය දුන්නා පමනක් නොව, 2015 මාර්තු මාසයේ අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම සමාගම් විසින් මාස 18 ක් ප‍්‍රමාද කරනු ලැබීම නිසා එම කාලයට කම්කරුවන්ට හිමි විය යුතු හිඟ මුදල් ද අතහැර දැමීමට ආන්ඩුවේ ඉල්ලීම මත ඔව්හු එකඟ වූහ.

ගිවිසුම බල පවත්වන ඉදිරි වසර දෙක තුල වතු කම්කරුවන් අඳ ගොවියන් හා සමාන සූරාකෑමකට ගොදුරු කෙරෙන නිෂ්පාදනය මත පාදක වූ යෝජිත නව වැටුප් ක‍්‍රමය වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව මුලුමනින් ම ක්‍රියාවට දැමීමට ද වතු සමාගම් ඉලක්ක කරගෙන ඇත.

වතු කම්කරුවන් මත වැඩ වේගවත් කිරීම හා වැටුප් කප්පාදුව ඇතුලූ ප‍්‍රහාරයන් ක්‍රියාවට දැමෙන්නේ තේ සහ රබර් අපනයන ආදායම පහත වැටීමෙන් වතු සමාගම් මුහුන දී ඇති අර්බුදය මෙන් ම ධනපති ආන්ඩුවේ ආර්ථික අර්බුදය වඩ වඩා ගැඹුරු වන තතු තුලය.

ෆෝර්බස් සහ තේ බ්රෝකර්වරුන්ගේ වෙලඳපොල වාර්තාවට අනුව 2016 ලංකාවේ තේ අපනයනය වසර 14 ක් තුල පහල ම මට්ටමට අඩු වී ඇත. වාර්තාවට අනුව 2016 දී තේ අපනයනය කිලෝ ග්රෑම් මිලියන 287.2 කි. එය 2002 න් පසු වාර්තා වූ පහල ම අපනයන මට්ටටයි. අපනයන ආදායම සියය ට 5. 3 කින් එනම් 2015 දී ඩොලර් බිලියන 1.33 සිට 2016 දී බිලියන 1.26 දක්වා පහත වැටී ඇත.

මෙම අර්බුදය තුල පාඩු ලබන වතු නව ආයෝජකයන් ට පැවරීමට හා සොච්චම් ඉඩම් කැබැල්ලක් දීම මගින් වතු වලින් කම්කරුවන් උගුල්ලා දැමීමේ සැලැස්මක් ද ආන්ඩුව අතේ ඇත. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑත දී කල ප‍්‍රකාශයකට අනුව ”වතු කම්කරුවන්ට පදිංචිය පිනිස පර්චස් 7 බැගින් වූ ඉඩම් කැබලි දීමට” හා ”වතුවලින් එලියට ගිහිල්ල ඔවුන් වෙනත් රැකියාවන් වෙත යොමුවන තත්වයක් නිර්මානය කිරීමට” ආන්ඩුව අපේක්ෂා කරයි.

මෙය වතු කම්කරුවන් දස දහස් ගනනින් වතු වලින් පලවා හරිමින් ඔවුන් රැකියා වලින් නෙරපීමේ හා ඔවුන් අතීත අරගල මගින් දිනාගෙන මෙතෙක් භුක්ති විදින සීමිත සමාජ ප‍්‍රතිලාබ පවා අහිමි කෙරෙන දුෂ්ට සැලැස්මකි.

Share this article: