සයිටම් නඩු තීන්දුව සහ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සටන

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 පෙබරවාරි 13

පසුගිය 31 වන දා අභියාචනාධිකරනය ලබා දුන් නඩු තීන්දුවක් මගින්, මාලඹේ පිහිටි දකුනු ආසියානු තාක්ෂන සහ වෛද්‍ය ආයතනයෙන් (සයිටම්) පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට, ශ්‍රී ලංකාව තුල වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා ලියාපදිංචිය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කෙරුනි.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරිනියක් විසින් ලියාපදිංචිය සඳහා යොමුකල අයැදුම්පතක් වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව පසුගිය වසරේ ජුනි මාසයේදී ඇය විසින් ගොනුකල පෙත්සමක් විභාග කරමින් මෙම නියෝගය නිකුත් කෙරුනේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, වෛද්‍යවරුන් සහ කථිකාචාර්යවරුන් ඇතුලු බහුතර මහජනතාව පෙලපාලි, රැස්වීම් සහ පිකටින් ආදී විවිධ මාධ්‍යයන් හරහා සයිටම් වෙත තම විරෝධය පලකරමින් සිටි පසුබිමකය.

අභියායචන විනිසුරු විජිත් මලල්ගොඩ ගේ සහාපතිත්වයෙන් සහ විනිසුරු එස්. තුරෙයිරාජා ගේ සහභාගිත්වයෙන් යුත් ද්වි-පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබූ මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු මලල්ගොඩ කියා සිටියේ, වෛද්‍ය ආඥා පනතේ 29(2) වගන්තියට අනුව සයිටම් හි වෛද්‍ය උපාධිධරයෙකුට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට කවර හෝ බාධාවක් නොමැති බවයි. 2011 අගෝස්තු 30 හෝ ඒ ආසන්න දිනක, එවකට සිටි උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින්, 1978 හි අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 25(A) කොටසේ එන ප‍්‍රතිපාදන යටතේ සයිටම් ආයතනය උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස පිලිගෙන ඇති බවත්, එම තීන්දුව වෙනස් කිරීමට අදාල ඇමතිවරයා විසින් කවර හෝ පියවරක් ගෙන නොමැති බවත් ඔහු තවදුරටත් පැවසීය.

”උසස් අධ්‍යාපන ඇමතිවරයා ඉක්මවා යන බලයක් වෛද්‍ය සභාවට නොමැති”බවත්, ”වෛද්‍ය සභාව විසින් වෛද්‍ය ආඥා පනතේ 19 වන වගන්තිය උල්ලංඝනය කොට ඇති”බවත් අධිකරනය ප‍්‍රකාශ කලේය.

මෙය ඉතා දුරදිග යන ඇඟවුම් සහිත නඩු තීන්දුවකි. එමගින් උසස් අධ්‍යාපන ඇමතිවරයා සතු අධිකාරවත් බලතල නීතිමය වශයෙන් තහවුරු කෙරෙන අතර, විශේෂයෙන් ම ආන්ඩුව විසින් ක්‍රියාවේ යොදමින් සිටින අධ්‍යාපන පුද්ගලීකරන වැඩපිලිවෙල වේගයෙන් ඉදිරියට ගෙනයාම සඳහා, ඇමතිවරයාගේ සහ ආන්ඩුවේ අත ශක්තිමත් කෙරෙයි. එපමනක් නොව, මෙය ඉදිරි අධිකරන ක්‍රියාදාමයන් සඳහා පූර්වාදර්ශයක් ද සපයමින් පුද්ගලීකරනයට එරෙහි විරෝධතා තලා දැමීම සඳහා නිසැකවම යොදා ගනු ඇත.

නඩු තීන්දුවට දින දෙකකට පෙරාතුව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී විවෘතවම ප‍්‍රකාශ කලේ ”පෞද්ගලික විශ්වවිද්‍යාල නගාසිටුවීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය” බවයි. ”සයිටම් සඳහා අවසර ලැබුනහොත් තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල 5 ක් ආරම්භ කරන” බව මාස කිහිපයකට මත්තෙන් ඔහු මාධ්‍ය වෙත පවසා තිබුනි. ඊයේ පැවති ප‍්‍රසිද්ධ රැස්වීමකදී තර්ජනාත්මක ස්වරයෙන් කිරිඇල්ල කියා සිටියේ, වෛද්‍ය සභාව අධිකරන තීන්දුවට අනුව ක්‍රියා නොකලහොත්, ”අධිකරනයට අපහාස කිරීමේ” චෝදනාව යටතේ සභාවේ සාමාජිකයන් අධිකරනය ඉදිරියට පමුනුවන බවයි. දැනටමත්, සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුලු එහි සාමාජිකයන් තීන්දුව සම්බන්ධයෙන් තම විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, උසාවි තීන්දුව සහ ආන්ඩුවේ පිලිවෙත් සම්බන්ධයෙන් මහජනතාව අතර බලගතු විරුද්ධත්වයක් වැඩෙමින් පවතී. විශ්වවිද්‍යාල සිසුන් තදින්ම කෝපගැන්වී ඇති අතර ඔවුහු වඩ වඩා පෙරලිකාරි වී සිටිති. අධ්‍යාපනයේ පෞද්ගලිකරනයට එරෙහි ව මෙන්ම සිය අධ්‍යාපන අයිතීන් කප්පාදු වී යාම පිලිබඳව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ඇත්තේ බරපතල විරෝධයකි. රුදුරු රාජ්‍ය මර්දනය නොතකමින්, නඩු තීන්දුවට එරෙහි විරෝධතා පාගමන් සහ රැස්වීම් වලට දහස් ගනන් සිසුහු සහභාගි වෙමින් සිටිති.

තීන්දුවට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) පසුගිය 3 වනදා කැඳවූ සංකේත වැඩ වර්ජනයට විශාල සහභාගිත්වයක් පැවති අතර, ”දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්” දක්වා යාමට සූදානම් බව එම සංගමය ප‍්‍රකාශ කර ඇත. එහෙත් මෙහිලා රවෛනිස මැදිහත්වීම අධ්‍යාපනයේ පෞද්ගලිකරනයට එරෙහිව අංශුමාත‍්‍රික හෝ විරෝධයක් ගැබ්කර නොගනී. පෞද්ගලිකරනයට තම එකඟතාව ප‍්‍රසිද්ධියේ පවසා ඇති මෙම සංගමය දිගටම එල්ලී සිටියේ සයිටම් හි ප‍්‍රමිතිය මඳකම පිලිබඳ කරුනෙහි ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් ”නිසි ප‍්‍රමිතිය ඉල්ලන” රවෛනිස හි උද්ඝෝෂනය පැහැදිලි ලෙසම ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවෙලට තල්ලුව දෙන්නකි. ඔවුන්ගේ විරුද්ධත්වය හුදෙක්ම ගලා එන්නේ, රජයේ වෛද්‍ය වෘත්තීය වනාහි සමාජයේ අද්විතීය ක්ෂේත‍්‍රයක් යන්න ඉස්මතු කරමින් සිය වරප‍්‍රසාද සුරක්ෂිත කරගැනීම සඳහා දරන උත්සාහය තුලිනි. ඒ සඳහා ඔවුන් දමන වහන්තරාව ”අඩු ප‍්‍රමිතියෙන් යුතු වෘත්තිකයන් ඇතුලුවීමෙන් වෛද්‍ය ක්ෂේත‍්‍රය බේරා ගැනීම”යි.

රවෛනිස පවසන්නේ නිසි ප‍්‍රමිතියක් නැති වෘත්තිකයන් වෛද්‍ය ක්ෂේත‍්‍රයට ඇතුලු වීම ”රෝගී ජනතාවගේ ජීවිත පිලබඳ ප‍්‍රශ්නයක්” බවයි. ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත‍්‍රය තුල දියත් කෙරී ඇති නිමක් නැති කප්පාදුව හේතුවෙන් රජයේ රෝහල් වෙත යන රෝගීන්ට දශක ගනනාවක් මුලුල්ලේ මුහුන දීමට සිදුව තිබෙන දුක්ඛදායක තත්වය ගැන මුනිවත රකින රවෛනිස ”රෝගී ජනතාවගේ ජීවිත” ගැන දක්වන මෙම ”අනුකම්පාව” අන්තයටම කුහක එකකි.

නඩු තීන්දුවට රවෛනිස දක්වන ප‍්‍රතිචාරය ධනේශ්වර සංස්ථාපිතයට සිය පරිපූර්න යටත්කම ප‍්‍රදර්ශනය කරන්නකි. එම සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මාධ්‍ය වෙත පැවසුවේ ”තමන්ට ලැබෙන තොරතුරු අනුව තීන්දු දෙන උසාවිය වැරදි නැති බවත් වැරැද්ද වන්නේ පෙත්සමේ වගඋත්තරකරුවකු වන සෞඛ්‍ය ඇමතිවරයා උසාවියට නිසි තොරතුරු ලබාදීම මගහැරීම” බවත්ය.

සිය ඉදිරි ක්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත්කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ රවෛනිස නියෝජිතයන් ප‍්‍රකාශ කලේ ”සයිටම් උපාධිධරයන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමෙන් ඇතිවන ප‍්‍රතිවිපාක පිලිබඳ ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කර ඇති අතර හිටපු ජනාධිපතිතුමා ඇතුලු ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුන සමග සාකච්ඡා කර තිබෙන බවත් ඔවුන්ගේ සහය ද තමන්ට ලැබෙන” බවත්ය. එම කන්ඩායම් ඇතුලු පිලිගත් දේශපාලන පක්ෂවලද, බහුජන ව්‍යාපාර වලද සහය ඇතිව සයිටම් ට එරෙහිව ”ජාතික පෙරමුනක්” ගොඩනගන බව රවෛනිස කියයි.

බලයට පැමිනීම සඳහා කැසකවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන ”ඒකාබද්ධ විපක්ෂය” සහ ජවිපෙ, නඩු තීන්දුවට එරෙහිව වැඩී ඇති පුලුල් මහජන විරෝධය ගසාකෑමට මාන බලමින් සිටිති. සයිටම් ආරම්භ කෙරුනේද එය නීතිගත කිරීම සඳහා පිඹුරුපත් සකසනු ලැබුවේද පැවති රාජපක්ෂ ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවෙල යටතේය. දැන් එය අහෝසි කරගැනීම සඳහා රවෛනිස නින්දිත අයුරින් සහාය පතන්නේ එම ගහලයන්ගෙන්ම ය.

සයිටම් ආයතනයට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර පවත්නා විරෝධයේ මුදුන අරක්ගෙන සිටින්නේ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන අවිශිබමය සහ ඊටම අනුබද්ධ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සංගමයයි (වෛපීශික්‍රිස). මෙම සංගම් පෙරට පැන සිටින්නේ, පාගමන්, සත්‍යග‍්‍රහ සහ අත්සන් එකතුකිරීම් ආදී ක්‍රියාවන්ගෙන් සමන්විත ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල සිසුන් සිරකොට අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහි කම්කරු පන්තිය සැබෑ මහජන ව්‍යාපාරයක් දෙසට සිසුන්ගේ හැරීම කෙසේ හෝ වැලැක්වීමටයි.

රාජපක්ෂ යටතේ අරඹන ලදුව සිරිසේන-වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුව විසින් වඩාත් සවිමත්ව ක්‍රියාවට නගමින් සිටින අධ්‍යාපන කප්පාදුව සහ පෞද්ගලීකරනය වනාහි, 2008 න් ඇරඹි බිඳවැටීමක් තුලින් ගමන් කරන ධනේශ්වර ලාභ පද්ධතිය කම්කරු-පීඩිත මහජනතාවගේ වියදමෙන් රැක ගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය දරමින් සිටින මංමුලා සහගත ප‍්‍රයත්නයේ කොටසකි. පසුගිය අයවැයෙන් අධ්‍යාපනය සඳහා වන ප‍්‍රතිපාදනයන් රුපියල් බිලියන 100කින් කපා හරිනු ලැබුවේ ඊට සමගාමීවය.

අධ්‍යාපනය ඇතුලු අනෙකුත් සමාජ අයිතීන් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් දිනා ගැනීම හෝ දිනාගත් අයිතීන් රැක ගැනීම සඳහා කිසිඳු හෝ අවකාශයක්, අර්බුදයට ලක්ව මර ලතෝනියේ පවත්නා ධනේශ්වර ක‍්‍රමය තුල ඉතිරිව නොමැත. මෙය මුලුමනින්ම වසන් කරන අවිශිබම, ධනේශ්වර ක‍්‍රමය තුල ඉහත කී ප‍්‍රහාරයන් ආපසු හැරවිය හැකිය යන මිථ්‍යාව වපුරමින් සිසුන් විරෝධතා දේශපාලනය තුල සිරකොට තබා ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කර දීමේ දැනුවත් ව්‍යායාමයක නිරතව සිටී. එහිම කොටසක් ලෙස අධ්‍යාපනය පුද්ගලී කරනයට එරෙහිව කල යුතු අරගලය පසෙක ලා සිසු විරෝධය හුදු සයිටම් විරෝධයක් බවට හැරවීමට මොවුහු ක්‍රියා කරති.

ලාභය සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතාවය සඳහා නිෂ්පාදනය ප‍්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලට ද, එය ක‍්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටද සටන් කිරීම අධ්‍යාපන අයිතිය රැක ගැනීම හා ගුනාත්මක අධ්‍යාපනයක් වර්ධනය කිරීම සඳහා ඇති එකම විකල්පය වේ. සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය පෙරදැරි කරගෙන මෙම විකල්පයට සටන් කරයි.

අවිශිබම දේශපාලනයේ අන්ත බංකොලොත්භාවය සයිටම් තීන්දුවෙන් යලි සනාථ කෙරී ඇති නමුදු, හැකිතාක් කන්ඩායම් එකතු කරගෙන ආන්ඩුවට ”ලොකු බලපෑමක්” එල්ල කල හැකි ”පුලුල් බලවේගයක්” ගොඩනැගීම නම් වූ කුප‍්‍රකට සූත‍්‍රය තොරොම්බල් කරමින් අවිශිබම පසුගිය දා නුගේගොඩ දී රැස්වීමක් පැවැත්වීය. මෙම ”පුලුල් බලවේගය” සඳහා කැඳවාගෙන තිබුනේ, රාජපක්ෂගේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ”ඒකාබද්ධ විපක්ෂයේ” අන්ත දක්ෂිනාංශික නඩ, වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට සෘජුව සහ වක‍්‍රව ක්‍රියා කල එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වම්මුන් සහ නිර්මාල් රංජිත් දේවසිරි වැනි ඊනියා සිවිල් ක‍්‍රියාධරයන් ය.

අවිශිබමය සහ එය පෙලගැසී සිටින ප‍්‍රතිගාමී-අවස්ථාවාදී හවුල මෙම ක‍්‍රියාමාර්ගයට සටන් කිරීමට ඉඳුරාම විරුද්ධව සිටියි.

Share this article: