එක්සත් ජනපද අභියාචනාධිකරනය ට්‍රම්ප්ගේ සංචාර තහනම බලගැන්වීම අත්හිටුවයි

US Appeals Court bars enforcement of Trump travel ban

පැට්‍රික් මාටින් විසිනි, 2017 පෙබරවාරි 10

විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත අභියාචනාධිකරන මඬුල්ල 9දා සවස, මුස්ලිම් බහුතරයක් සහිත රටවල් හතක තාවකාලික සංචාර තහනම මෙන්ම කුමන රටකින් හෝ සරනාගතයින් රටට ඇතුලුවීම තහනම් කරමින් ට‍්‍රම්ප් නිකුත්කල ආඥාව බලගැන්වීම අත්හිටුවන හා ජනාධිපතිගේ ”විමසිය නොහැකි” බලතල ගැන ට‍්‍රම්ප් ආන්ඩුවේ ප‍්‍රකාශ ඉවත දමන අධිකරන නියෝගයක් නිකුත් කලේය.

3.0 වශයෙන් දුන් තීන්දුවට, 1980දී එවක ජනාධිපතිව සිටි ජිමී කාටර් විසින් පත් කරන ලද විලියම් කැන්බි, 2001දී ජොර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් පත්කරන ලද රිචඩ් ක්ලිෆ්ටන්, 2013දී බරක් ඔබාමා විසින් පත් කරන ලද මිචෙල් ෆ‍්‍රීඩ්ලන්ඩ් යන විනිසුරුවන් අත්සන් තබා ඇත. පෙබරවාරි 3දා වොෂින්ටනයේ සියැටල්හි ෆෙඩරල් විනිසුරු ජේම්ස් රොබට් විසින් නිකුත් කරන ලද තාවකාලික අත්හිටුවේ නියෝගය වහාම අකුලන ලෙසට ට‍්‍රම්ප් පාලනය කල ඉල්ලීම ඔවුහු ප‍්‍රතික්ෂේප කලහ.

විනිසුරු මඬුල්ල මෙසේ පැවසූහ: ”ආන්ඩුව තම අභියාචනය සඳහා සාර්ථක කරුනු දැක්වීමක් කර නැතුවා පමනක් නොව, බලගැන්වීම අත්හිටුවන නියෝගය ඉවත් නොකිරීමෙන් පිරිමැසිය නොහැකි හානියක් සිදුවන බව ද සනාථ කිරීමට අසමත්වී ඇති බැවින් අපි, (ජනාධිපතිගේ) හදිසි නියෝගය එසේම තිබෙන්නට හැරීම ප‍්‍රතික්ෂේප කරමු.”

පිටු 29න් සමන්විත තීන්දුව, ට‍්‍රම්ප් පාලනයේ නෛතික තත්වය හා ගැඹුරු විවේචනයන්ට තුඩුදී ඇති සාධකමය ප‍්‍රකාශ ද සැලකිල්ලට ගෙන ඇත. සංචාර තහනම අත්හිටුවීමෙන් ඇමරිකානු ජන ජීවිතය හෝ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන බව සනාථ කරන සාක්ෂි ආන්ඩුව විසින් ඉදිරිපත් කර නැති බව විනිසුරුවෝ කියා සිටියහ. ඊට පටහැනි ලෙස, සංචාර තහනම යලි පැනවුවහොත්, තම පුරවැසියන්ට හා ආයතන වලට පුුලුල් හා පිරිමැසිය නොහැකි හානියක් සිදුවීම මත තහනමට එරෙහි නඩු මගින් වොෂින්ටන් හා මිනසෝටා ප‍්‍රාන්ත ලබාගෙන ඇති තීන්දු අනුමත කර ඇත.

අභියාචනාධිකරන තීන්දු මගින් සංචාර තහනම මත පැන නැගී තිබෙන ගැටුම අවසන් වනු නැත. නීතිමය අර්ථයෙන් එය, නඩුවේ ගොනු කල සාක්ෂි පිලිබඳ අවසන් තීන්දුව නොවන අතර එය හුදෙක්, නඩුව පූර්න වශයෙන් තීන්දු කෙරෙන තෙක් ක්‍රියාත්මක වන සංචාර තහනම අත්හිටුවීමක් පමනි.

විනාඩි කිහිපයක් තුල ජනාධිපති ට‍්‍රම්ප් ඊට ප‍්‍රතිචාර දැක්වීය. ට්වීටර් සටහනකින් ඔහු කියා ඇත්තේ, ”උසාවියේදී හමුවෙමු, අපගේ ජාතියේ ආරක්ෂාව පරදුවට තැබී ඇත!” අලුතෙන් දිව්රුම් දුන්, දැඩි සංක‍්‍රමන විරෝධියෙකු වන නීතිපති ජෙෆ් සිශන්ස් යටතේ ඇති අධිකරන දෙපාර්තමේන්තුව නිල හෝ නොනිල වශයෙන් නිකුත්කල ප‍්‍රකාශයකින් කියා ඇත්තේ තමන්, ”තීන්දුව විමර්ෂනය කර ඊට ඇති විකල්ප සලකා බලන” බවය.

එක් පියවරක් විය හැක්කේ ආන්ඩුව අභියාචනාධිකරන තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට යාමය. කෙසේ වෙතත් අධිකරනයේ විනිසුරු ඇන්ටොනින් ස්කේලියාගේ අභාවයෙන් පසුව වසරක් තිස්සේම නමවෙනි විනිසුරුවෙක් නොමැතිව නඩු විමසීමේදී එවක දුන් තීන්දු බොහෝවිට 4-4 ලෙස බෙදී ගියේය. සමසේ බෙදී ඇති අධිකරනයට, නමවෙනියා පත්කිරීම මගින් අත්හිටුවීමේ තීන්දුව නිෂ්ප්‍රභ කිරීමේ ඉඩ පවතී.

සමහර දක්ෂිනාංශික නීති නියෝජිතයින් විධායක නියෝගය ඉවත්කර ගන්නා මෙන් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත. අධිකරන තීන්දුවෙන් පෙන්වාදී ඇති පරිදි එහි විවිධ තාක්ෂනික ගැටලු පවතියි. සෙශන්ස් ද ඇතුලු ට‍්‍රම්ප්ගේ කැබිනට් සාමාජිකයින් හා කොන්ග‍්‍රස් සභාවේ නායකයින් විමසා විධායක නියෝගය යලි පනවන ලෙස ඔවුන් කියා ඇත. මෙම පියවර නිසා, ආන්ඩුව වෙනුවෙන් තීරනාත්මක ඡන්දය පාවිච්චි කිරීමට, පස්වෙනි විනිසුරු ලෙස බලාපොරොත්තු තබා සිටින නීල් ගෝසුක් ට‍්‍රම්ප් විසින් නම් කරනු ලබන තෙක් ශ්‍රේෂ්ඨාධිකරන විමසුම ප‍්‍රමාද විය හැකිය.

තුන්වන විකල්පය නම්, සතිය තුල ට‍්‍රම්ප් සිය ග‍්‍රාම්‍ය භාෂාවෙන් නිකුත් කරනු ඇති ප‍්‍රකාශ වලින් පදනම දමාගනිමින්, අධිකරන තීන්දුව කෙලින්ම උල්ලංඝනය කිරීමය. එය ඇමරිකාවේ දේශපාලන පද්ධතිය තුල ගැටුම ව්‍යවස්ථාමය අර්බුදයක මට්ටමට නංවනු ඇත. නිසැකවම ”යමක් සිදුවුවහොත් ඔහුට (විනිසුරු රොබට්) හා අධිකරන ක‍්‍රමයට චෝදනා කරන්න” යන ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ව්‍යවස්ථාපිත සම්මතයන් ඉවත දමා, මිලිටරියේ හා පොලිසියේ පිටුබලය සහිත ආඥාදායක තන්ත‍්‍රයක් ගොඩනැගීම පිනිස කුමන හෝ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් නිමිත්ත කර ගැනීමට ධවල මන්ඳිරය සූදානම්ය.

ගත යුත්තේ කුමන ක්‍රියාමාර්ගයක් ද යන්න මත ඇමරිකානු පාලක පන්තිය තියුනු ලෙස බෙදී සිටිති. අධිකරන තීන්දුවට පැය කිහිපයකට පෙර සීඑන්එන් නාලිකාවේ පෙනී සිටිමින්, ට‍්‍රම්ප්ට එරෙහි මිලිටරි බුද්ධි අංශයේ කොටස් වෙනුවෙන් කථා කල, හිටපු ජාතික බුද්ධි මන්ඬල අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර්, සංචාර තහනමක් පැනවීම යුක්තිසහගත කල හැකි මොනම ත‍්‍රස්තවාදී තර්ජනයක් ගැන හෝ තමන් නොදන්නා බව කියා සිටි අතර, තහනමෙන් මැද පෙරදිග තුල සහචරයින් සමග ඇමරිකාවේ හොඳහිත පලූදුවී ඇති බවටත්, එය අන්තවාදී මුස්ලිම් කල්ලි වලට බඳවා ගැනීමේ මෙවලමක් ලෙස යොදාගැනෙනු ඇති බවටත් අනතුරු ඇඟවීය.

”ඊනියා නඩුකාරයා” හා අභියාචනාධිකරනයේ විභාගය ”පිලිකුල් සහගත” බව කියා සිටිමින් කල ට‍්‍රම්ප්ගේ ට්විටර් සටහන් ගෝරනාඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට ට‍්‍රම්ප්ගේම තේරීම වන ගෝර්සුක් ද පෙනී සිටියේය. දහවෙනි මන්ඬලයේ අභියාචනාධිකරන විනිසුරු වරයෙකු වන ගොර්සුක්, ඩිමොක‍්‍රටික් සෙනේට් සභිකයෙකුට පවසා ඇත්තේ, විනිසුරුවන්ට එරෙහි එවන් ප‍්‍රහාර ”සිත් පාරවන” හා ”දිරිසුන්කරවන” බවය.

ට‍්‍රම්ප් බලයට පත්වී සති තුනක් ඉක්ම යන විට මතුව තිබෙන දේශපාලන ගැටුමේ උත්සන්නකම, අභියාචනාධිකරන තීන්දුවේ භාෂාව තුලමත් පිලිබිඹුවේ. පැයක් පුරාවට පැවති පෙබරවාරි 7 වන දින වාචික කරුනු දැක්වීමේ විභාගයේදී උසාවිය, ට‍්‍රම්ප් ආන්ඩුවේ නීති සංක්ෂිප්තයන් තුල ඉදිරිපත් කල තර්ක විතර්ක ක‍්‍රමානුකූලව සුන් කර දැමීය.

”කුමන ආකාරයක හෝ ආගන්තුකයින් ඇතුලුවීම තහනම් කිරීමේ විමසිය නොහැකි බලයක්” ජනාධිපති සතුව ඇති බවට ආන්ඩුව කරන ප‍්‍රකාශ ඉවත දමමින් විනිසුරුවන් තිදෙනා තීරනය කලේ, විධායක නියෝගය පිලිබඳව තීන්දුවක් දීමට දිස්ත්‍රික් උසාවියට බලය ඇති බවය. ජාතික ආරක්ෂක ප‍්‍රශ්න වලදී අධිකරනය දේශපාලන අංශ කෙරෙහි වෙනස් ලෙස පෙනී සිටිය යුතු බව හුදෙක් ආන්ඩුව කියා සිටිනවා පමනක් නොවන බව දක්වමින් ඔවුන් සටහන් කර ඇත්තේ, ”ඒ වෙනුවට ආන්ඩුව ගෙන ඇත්තේ, විශේෂයෙන්ම ජාතික ආරක්ෂක උත්සුකයන් සැලකිල්ලට ගන්නා කල, සංක‍්‍රමන ප‍්‍රතිපත්තිය ගැන ජනාධිපතිගේ තීරන විමසිය නොහැකිය යන ආස්ථානයයි. එම තීරන ව්‍යවස්ථාපිත අයිතීන් හා (ඉන් සලසා ඇති) ආරක්ෂාවන් සමග ගැටෙන අවස්ථාවල පවා එසේ විය යුතු බවයි.”

ට‍්‍රම්ප්ගේ ක්‍රියාවන් හා ඔහුගේ ආන්ඩුවේ නීතිමය තර්කවල ඇඟවුම් සලකුනු කරන භාෂාව ගැන ඔවුන් සඳහන් කරන්නේ: ”අපගේ ව්‍යවස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍ර”වාදයේ මූලික ව්‍යූහයටම පටහැනිව යන, විමසිය නොහැකි යන ප‍්‍රකාශයට රුකුල් දෙන කිසිදු පූර්වාදර්ශයක් ඇත්තේ නැත” යනුවෙනි.

ෆෙඩරල් ආන්ඩුව විසින් ”ජාතික ආරක්ෂාවේ” නාමයෙන් යුක්තිසහගත කරමින් ක්‍රියාත්මක කල පියවර ප‍්‍රතික්ෂේප කල අධිකරන තීන්දු මාලාවක් එහි අඬංගු වේ. මෙයට, බුෂ් ආන්ඩුවේ විරෝධය මධ්‍යයේ 2008 වසරේ දුන් බුමඩියන් තීන්දුව ද ඇතුලත්ය. ඒ අනුව ගුවන්තනාමෝ බේහි රඳවා ඇති සිරකරුවන්ට, හබෙයාස් කෝපුස් ආඥාවක් ඉල්ලීමේ අයිතිය හා ඔවුන් දිගටම රඳවා තබාගැනීම ගැන අධිකරන පරික්ෂනයක් ඉල්ලීමේ අයිතිය තහවුරු කරන ලදී. අධිකරන ක්‍රියාවලියේ මේ අදියරේදී, සංචාර තහනම දිගටම අත්හිටවුවහොත්, ආන්ඩුවට පිරිමැසිය නොහැකි හානියක් සිදුවන බව සනාථ කරන පිලිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීම පැවරෙන්නේ ෆෙඩරල් ආන්ඩුවට බව විනිසුරුවන් සඳහන් කරන අතර එම දෙකෙහිදීම ආන්ඩුව එසේ කිරීමට අසමත්ව ඇති බව කියා සිටියි.

ඇමරිකානු පුරවැසියන්ට පමනක් නොව, නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන්ට හා නීතිමය කඩදාසි නොමැති වුවත් ඇමරිකානු දේශයෙහි ජීවත්වන්නවුන්ට ද යෙදිය හැකි සංචාර තහනමෙන්, ව්‍යවස්ථාපිත අවශ්‍යතා පිලිබඳ නියමිත ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කෙරෙන බවට වොෂින්ටන් හා මිනසෝටා ප‍්‍රාන්තවල තර්ක මත මේ තීන්දුව දැඩි අවධාරනයක් යොදා ඇත.

ඇමරිකාවට ඇතුලු වීමට උත්සාහ කරන සරනාගතයින්ට පවා, ජනාධිපතිට ප‍්‍රතික්ෂේප කල නොහැකි, ”ෆෙඩරල් ආඥා මගින් ස්ථාපිත ක්‍රියාවලීන්” යටතේ අයිතීන් ඇත. ”විධායක ආඥාවෙන් පහර වදින බොහෝ පුද්ලයින්ට හෝ සියලු දෙනාට, පවතින නීතිය පිලිබඳ වගන්තිය යටතේ, කිසිදු අයිතියක් නැතැයි” යන ට‍්‍රම්ප් පාලනයේ ප‍්‍රකාශ විනිසුරුවන් විසින් ඉවත දමනු ලැබින.

නීත්‍යානුකූලව ස්ථිර වැසියන්ගේ අයිතීන් ව්‍යවස්ථා විරෝධීව ප‍්‍රතික්ෂේප කිරීමේ ට‍්‍රම්ප් පාලනයේ උත්සාහයන් කෙරෙහි විනිසුරුවන් දක්වා ඇත්තේ යම් ආකාරයක සතුරු ආකල්පයකි. ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලිධාරීන්ගේ විරෝධය මධ්‍යයේ, ඒවා පසෙක දමා කටයුතු කල ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ප‍්‍රධාන උපදේශකයා වන ස්ටෙෆන් කේ බැනන්, මෙම හරිත කාඩ්පත් ලාභීන් ද විධායක නියෝගයට යටත් කරන ලෙස බල කලේය. අවාසිදායක උසාවි නියෝග මාලාවකින් පසුව ධවල මන්ඳිරය, ස්වදේශික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම් යටතේ, මාන්ඬලික ප‍්‍රධානී රෙන්ස් ප්‍රීබස් විසින් කරන ලද ප‍්‍රකාශ වලින් එම නියෝගය ”යලි අර්ථදැක්වීමට” උත්සාහ කලේය. අවසානයේදී ධවල මන්ඳිර නීතිඥයෙක් වන ඩොනල්ඩ් එෆ්. මැක්ඝාන් යොදවා, නියෝගය හරිත කාඩ්පත් හිමියන්ට වලංගු නොවන බවට ”බලය ලත් මගපෙන්වීමක්” නිකුත් කලේය.

විනිසුරුවෝ මෙසේ ලිවූහ: ”කෙසේ වෙතත් මේ අවස්ථාවේදී, විධායක නියෝගය නීත්‍යානුකූල ස්ථිර වැසියන්ට තවදුරටත් අදාල නොවේය යන ආන්ඩුවේ තර්කය මත රැඳෙන්නට පුලුවන් කමක් නැත. ජනාධිපති විසින් අත්සන් තබන ලදුව, ප‍්‍රාන්ත පාලනයේ අභියෝගයට ලක්ව ඇති විධායක ආඥාව අවලංගු වන පරිදි, එය සංශෝධනය කිරීමට ධවල මන්දිරයේ නීතිඥයාට ආන්ඩුව බලය පවරා නැති තත්වය හමුවේ එම යෝජනාව පල දරනු නැත.”

”විධායක ආඥාව බලගැන්වීමේ වගකීම දරන සියලු විධායක අංශ නිලධාරීන්, එය පිලිබඳව ධවල මන්ඳිරයේ නීතිඥයාගේ අර්ථ දැක්වීම පිලිගැනීමට බැඳී සිටින බවක් ද ආන්ඩුව කියා නැත. ධවල මන්ඳිර නීතිඥයා ජනාධිපති නොවේ, ඔහු මොනම හෝ විධායක දෙපාර්තමේන්තුවක ප‍්‍රධානත්වයක් දරන්නේ ද යන්න පවා අපි නොදනිමු. තව ද විධායක ආඥාව පිලිබඳව ආන්ඩුවේ මාරුවන අර්ථදැක්වීම් වල එලියෙන්, ධවල මන්ඳිර නීතිඥයා බලය ඇති හා බැඳී සිටින අයෙක් වුවත්, ඔහු දැන් කරන අර්ථ දැක්වීම මෙම ක්‍රියාවලියේ ක්ෂනික අදියර පසුකර පැවතිය හැකි ද යන්න අපට කිව නොහැකිය.”

මුස්ලිම්වරුන් ඉලක්ක කර ඇති නිසාවෙන් පලමුවන සංශෝධනයේ ආයතන පරිපාටිය, ට‍්‍රම්ප්ගේ විධායක ආඥාවෙන් උල්ලංඝනය කර ඇති බවට කෙරෙන ප‍්‍රකාශ ගැන අධිකරන තීන්දුව කියන කාරනය බැ?රුම්ව ගත යුතුය. මුස්ලිම්වරුන් ගැන කිසිදු සඳහනක් නොකෙරෙන හා ට‍්‍රම්ප්ගේ ප‍්‍රසිද්ධ කථාවල කිසිවක් නොපැවසෙන ආඥාවෙහි ලිඛිත අර්ථයෙන් පමනක් ඔහුගේ අරමුනු ඇඟවුම් කෙරෙන බවට කෙරෙන ධවල මන්ඳිරයේ ප‍්‍රකාශ එය මුලුමනින්ම බැහැර කරයි.

විනිසුරුවෝ මෙසේ ලියති. ”අරමුන පිලිබඳ සාක්ෂි, අභියෝගයට ලක් කෙරී තිබෙන නීතියේ මුහුනතට ඔබ්බෙන්, ආයතන හා සමාන ආරක්ෂාව පිලිබඳ වගන්තිය අගැයීම තුල සලකා බැලිය යුතුය යන්න මනාව තහවුරු කර තිබේ යයි ප‍්‍රාන්ත අධිකරනය බරපතල චෝදනා මතු කර තිබෙන අතර වැදගත් ව්‍යවස්ථාමය ප‍්‍රශ්න මතු කරයි.” එහෙත් ඔවුන්, ඒ ප‍්‍රශ්නය ගැන තවදුරටත් අදහස් පල කිරීමෙන් වලකින අතර ඒ පිලිබඳ සැබෑ සාකච්ඡාවක් ඉදිරි විභාග කිරීම් තුල මතු කිරීමට ඉතිරිකර තිබේ.

Share this article: