ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” ප‍්‍රතිපත්ති හා ගෝලීය පරිමානව ආර්ථික ජාතිකවාදයේ පැනනැගීම

Trump’s “America First” policies and the global eruption of economic nationalism

නික් බීම්ස් විසිනි, 2017 පෙබරවාරි 21

රුසියාව හා ඇතැයි කියනු ලබන පුටින් සමග ට‍්‍රම්ප්ගේ බැඳීම් පිලිබඳ ප‍්‍රශ්නය මත ආන්ඩුව ද ඔත්තු සේවා ආයතන හා මාධ්‍ය ද මැදිකරගත්, වොෂින්ටනය තුල පැනනැගී ඇති සටන, බොහෝ සිරස්තල වලට මාතෘකාව වී ඇති අතර, ආර්ථික පෙරමුනේ ඇතිව තිබෙන ගැටුම වැදගත්කම අතින් අඩුවක් නැත.

බි‍්‍රතාන්‍යයේ හා යම් තරමකට යුරෝපයේ ද මූල්‍ය ප‍්‍රාග්ධනයේ හොරනෑව වන ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය මේ මස මුල, ට‍්‍රම්ප්ගේ “ඇමරිකාව පලමුව” හා පුවත්පත සඳහන් කරන ඔහුගේ “වෙලඳාම පිලිබඳ ව්‍යභිචාරයන්” කෙරෙහි ප‍්‍රතිචාර දක්වමින්, ට‍්‍රම්ප් ආන්ඩුව වර්තමානයේ අනුගමනය කරන සිය පිලිවෙත දිගටම ගෙන යන්නේ නම්, “එය ගෝලීය වෙලඳාම හා මූල්‍ය ක‍්‍රමය වර්තමානයේ පැහැදිලිවම මුහුනපා ඇති අන්තරාය” උග‍්‍ර කරනු ඇති බවට අනතුරු ඇඟවීය.

පුවත්පත, අසාමාන්‍ය ලෙස දැඩි භාෂාවක් යොදාගැනීමේ ක්ෂනික හේතුව, ජර්මනියට වාසිවන ආකාරයෙන් යුරෝව සැලකිය යුතු තරම් පහත් අගයක් පවත්වාගන්නා බවට කෙරෙන ට‍්‍රම්ප් ආන්ඩුවේ ප‍්‍රකාශයන්ය. එය ඇමරිකාව සමග වෙලඳාමේදී ජර්මනියට අතිරික්තයක් ලබා දෙයි.

“බිගැන්වීමට මුහුන දීම පිනිස සූදානම්ව, තමන් අතර බෙදීම් ඇති කිරීමට ඇමරිකාවට ඉඩ නොදීම” සඳහා කතුවැකිය අනෙක් රටවල් කැඳවුම් කරයි.

පුවත්පත ඊට වඩා දුර නොයන නමුත් මෙම ආස්ථානයේ තර්කනය පැහැදිලිය. සලකනු ලබන ඇමරිකානු ප‍්‍රහාරයන්ට මුහුන දීමට මේ රටවල් ඒකාබද්ධ වන්නේ නම්, ඊලඟ අඩිය වන්නේ, ඇමරිකාවට එරෙහිව එල්ල කෙරෙන වෙලඳ හා ආර්ථික ගිවිසුම් ගොඩනගා ගැනීමයි. එය වනාහි, 1930 ගනන් වල මහා අවපාතයට තුඩු දෙමින් දශක දෙකක පරාසයක් තුල ඇතිවූ දෙවන ලෝක යුද්ධය සඳහා කොන්දේසි සකසන ලද ආර්ථික හා මුල්‍ය සන්ධාන ඇතිකර ගැනීම දෙසට තබන ප‍්‍රධාන අඩියක් වනු ඇත.

කිසිවෙකුත් මේ දක්වා එවන් සන්ධාන ගොඩනැගීමට පියවර ගෙන නැත. එහෙත් වැසූ දොරවල් පිටුපස සිදුවෙමින් ඇති මේ පිලිබඳ සාකච්ඡා ප‍්‍රසිද්ධියේ සාකච්ඡාවට ගැනීම ඉදිරියේදී සිදුවනු ඇත.

පසුගිය මාසයේ ඬේවෝස්හි පැවති ලෝක ආර්ථික සමුලුවේදී නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයට කථා කරමින්, යුරෝ කන්ඬායමේ මුදල් ඇමතිවරුන්ගේ සභාපති, ජෙරොන් ඩිජ්සෙල්බ්ලොම්, දිශානතිය පිලිබඳව සිදුවිය හැකි මූලික මාරුවීම් පෙන්නුම් කලේය. “අප හැම විටම පැවසුවේ ඇමරිකාව අපගේ හොඳම මිතුරා බවය. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් අප ඉගෙන ගන්නේ එය තවදුරටත් එසේ නොවන බව නම්, නිසැකවම යුරෝපය නව මිතුරන් කරා හැරෙනු ඇත.”

“චීනය ඒ සම්බන්ධ ප‍්‍රබල අපේක්ෂකයෙකි. ආයෝජන පිලිබඳව සලකන කල චීනය, දැනටමත් යුරෝපය තුල පවත්වාගෙන යන සම්බන්ධය ඉතා ඉහල හා පුලුල් වන එකකි. ඔබ තම මිතුරන් ඉවත දමන්නේ නම් මිතුරන් අලුත් මිතුරන් කරා හැරීම ගැන පුදුම විය යුතු නැත.”

ට‍්‍රම්ප් ආන්ඩුව සැලකිලිමත්වනතාක් දුරට චීනය හා යම් දුරකට ජර්මනිය, ඇමරිකාවේ ආර්ථික අනුහසට තර්ජනයක් හා ප‍්‍රධාන ආර්ථික විරුද්ධවාදීන්ය. රුසියාව සමග වඩා විවෘත ගැටුමක් සඳහා බල කරන මිලිටරියේ කොටස් හා ඔත්තු සේවා සංස්ථාපිතය සමග ගැටුමට තුඩුදී ඇති ප‍්‍රධාන කාරනය ආන්ඩුවේ මෙම දිශානතියයි.

ට‍්‍රම්ප් විවිධ අවස්ථාවන්හිදී, චීනය මූල්‍ය මගඩිකාරයෙක් ලෙස හඳුන්වා එරට ඇමරිකාවට කරන අපනයන සඳහා සියයට 45ක් තරම් ඉහල තීරු බදු පනවන බවට තර්ජනය කර ඇත. ඔහු නිශ්චිත ප‍්‍රතිපත්ති තවමත් ගෙනහැර දක්වා නැත. මේ දක්වා ඔහු තම ආස්ථාන ට්වීටර් සටහන් ලෙස ඉදිරිපත් කරමින් සිටියි. ආන්ඩුවේ යටින් පවතින ආස්ථාන හා පිලිවෙත් ද ඒවා ඔස්සේ ආන්ඩුව ඉදිරියට තල්ලු කරන කි‍්‍රයාවලීන් ද පසුගිය සැප්තැම්බරයේදී, එවක කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කටයුතු පිලිබඳ මහාචාර්ය පීටර් නවාරෝ හා ව්‍යාපාර වස්තු ආයෝජක විල්බර් රොස් විසින් ලියා පල කල ට‍්‍රම්ප්ගේ ආර්ථික සැලසුම් පිලිබඳ ලේඛනයේ ඇතුලත්ව ඇත.

මැතිවරනයෙන් පසුව නවාරෝ ට‍්‍රම්ප්ගේ ජාතික වෙලඳ මන්ඩල ප‍්‍රධානියා බවට ද විල්බර් රොස් වානිජ්‍යය ලේකම් බවට ද පත්ව සිටියි.

වසර 1947-2001 දක්වා කාලය තුල ඇමරිකාවේ දල දේශීය නිෂ්පාදිතය සියයට 3.5ක වාර්ෂික අනුපාතයකින් ඉහල නැගි නමුත් 2002 පටන් සාමාන්‍ය වර්ධනය සියයට 1.9 දක්වා පහත වැටී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. එය 2002 පූර්වයෙන් පැවති ඓතිහාසික සම්මතයෙන් සියයට 45ක අඩුවීමකි.

පහත් වර්ධන අනුපාතය “නව සාමාන්‍යය” බවට කෙරුනු ඔබාමා පාලනයේ ප‍්‍රකාශ ඔවුහු බැහැර කරති. එම ආස්ථානය “පරාජකවාදී” යයි හංවඩු ගසමින් ඔවුන් කියා ඇත්තේ, පහත් වර්ධනය, ඉහල බදු ද වැඩි කල නියාමනය ද නැෆ්ටා වෙලඳ ගිවිසුම හා ලෝක වෙලඳ සංවිධානයට චීනය ඇතුලත් කරගත් ගිවිසුම ද ඇතුලු “අසාර්ථක ලෙස එලඹගත් වෙලඳ ගිවිසුම් මගින් ඇති කල රිනාත්මක බලපෑම්වල” ප‍්‍රතිපලය වූ බවයි.

පසුව ඔවුන් සඳහන් කරන්නේ, බිල් ක්ලින්ටන් යටතේ සිදුවූ, “නීති විරෝධී ආකාරයට චීන සහනාධාර ලැබූ ආනයන වලින් ඇමරිකාවේ වෙලඳපොල උතුරා යාම, දැවැන්ත හා අසාධ්‍යව වෙලඳ හිඟයකට තුඩුදුන්” බවය.

චීනය ලෝක වෙලඳ සංවිධානයට ඇතුලුවීම, “ඇමරිකාවේ කර්මාන්තශාලා ගලවා විදේශයන්හි ස්ථානගත කිරීම ද අපගේ ආර්ථිකයේ ප‍්‍රතිශතයක් ලෙස, ඇමරිකාවේ දේශීය ව්‍යාපාර ආයෝජන අනුක‍්‍රමයෙන් හීනවී යාම ද වේගවත්” කල බව ඔවුන්ගේ තර්කයයි. වසර 1999-2003 දක්වා චීනයට ගලා ගිය වාර්ෂික ඇමරිකානු ආයෝජන ඩොලර් බිලියන 1.6ක ස්ථාවර මට්ටමේ පැවතුනු අතර 2004-2008 දක්වා එය බිලියන 6.4ක් දක්වා වැඞී ගියේය.

වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන්ගේ තර්කයට අනුව, චීනයට ගලා ගිය ආයෝජන අරමුදල් නිසා එරටට ලෝක වෙලඳ සංවිධානයට ඇතුලුවීමේ හැකියාව ලබාදුන් අතර, ඇමරිකානු ආර්ථික වර්ධනය දිගු කාලීනව මන්දගාමී වීමට ප‍්‍රධාන හේතුව බවට ද පත් විය.

එසේම කතුවරු, ලෝවෙසං නීති රෙගුලාසි වලට ද පහර දෙති. වැට් හෙවත් එකතුකල අගය මත යුරෝපීය ආන්ඩුවල බදු පැනවීමට හසු නොවී ඇමරිකාවට කෙරුනු ආනයනයන්ට ප‍්‍රති පක්ෂව, මෙම බදු වලට යටත්ව ඇමරිකාවෙන් යුරෝපයට කෙරුනු ආනයන, ඇමරිකානු ව්‍යවසායන්ට කල අසාධාරනයේ ස්වරූපය යයි පවසති. ආනයන මත බදු පැනවීමේ හැකියාව පිලිබඳ ට‍්‍රම්ප් පාලනය තුල කෙරෙන සාකච්ඡාවන්හි පදනම සකස් කලේ එම නිගමනයන්ය.

ඇමරිකානු නිර්යාතයන්ට අසමාන ලෙස සැලකීම “වැට් සෙල්ලම” පිලිබඳ නිදසුනක් බව ඔවුහු කියති. බදු පැනවීමේදී ඇමරිකානු නිර්යාත සඳහා සමාන ලෙස සැලකිය යුතු යයි ඇමරිකාව ඉල්ලා සිටිය යුතුය.

“ලෝකයේ විශාලතම ආනයනකරු හා තුන්වන විශාලතම නිර්යාතකරු සම්බන්ධ නොවන්නේ නම් ලෝවෙසං පුස්සක් වනු ඇත, එසේ නම් මේ අකටයුත්ත අවසන් කර සිදුර වසා දැමීමට අපට ලීවරයක් තිබී ඇත. දැන් ද අපට ලීවරයක් තිබේ. සාමාජිකයෙකු ලෙස ඇමරිකාව නැතිව ලෝවෙසං තිබීමේ අර්ථිකයක් නැත.” තර්ජනයක් ද සහිතව ඔවුහු පවසති.

මූල්‍ය මගඩිකාරයෙකු ලෙස චීනය හෙලාදකින ට‍්‍රම්ප් පාලනයේ ආස්ථානය මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබේ. එහෙත් නවාරෝ හා රොස් යුරෝපීය මූල්‍ය සංගමය ගැන කථාකරද්දී ඊට වඩා සැර බල නොකරති.

”යුරෝව ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොල තුල නිදහසේ ගලා යද්දී, එම ක‍්‍රමය, ජර්මානු මාර්ක් මුදල තවමත් පැවතුනානම් තිබිය යුතු මට්ටමෙන් ජර්මානු මුදල හකුලුවා ඇත.” ඔවුන්ට අනුව ඇමරිකාව, ජර්මනිය සමග කරන වෙලඳාමෙන් විශාල හිඟයකට මුහුනපා ඇත්තේ ඒ නිසාය, ජර්මනියේ වැටුප් සාපේක්ෂව ඉහල මට්ටමක පවතින නමුත් එරට 2015දී ඩොලර් බිලියන 75ක අතිරික්තයක් ලැබීය.

ගෝලීය වෙලඳපොල සඳහා තරඟයේදී ඇමරිකාවේ තත්වය ට‍්‍රම්ප් ආන්ඩුව විසින් දැකගන්නා ආකාරය සාරාංශ ගතකරන පැහැදිලි කිරීමක් එයින් සපයා ඇත. “පලමුව ඇමරිකාව” න්‍යායපත‍්‍රය විවේචනය කරන අයට පිලිතුරු දෙමින් ඔවුහු මෙසේ ලියති: “ට‍්‍රම්ප්ගේ වෙලඳ ප‍්‍රතිපත්ති වෙලඳ යුද්ධය අවුලූවනු ඇති බව කියා සිටින අය, දැනටමත් අප වෙලඳ යුද්ධයක පැටලී සිටින බව අමතක කරති. එය වනාහි පටන්ගැනීමටත් පෙර ඇමරිකානු ආන්ඩුව යටත්වූ යුද්ධයකි.”

ඔවුන් හඳුන්වන ආකාරයේ “වඩාත් තුලනාත්මක වෙලඳාමක්” අනුගමනය කරන්නේ නම් ඇමරිකානු වෙලඳපොලට, තම වෙලඳ සහකරුවන් මත රඳා පවතිනවාට වඩා ඔවුන්ට ඇමරිකානු වෙලඳපොල මත රඳා පවතින්නට සිදුවනු ඇති බැවින් වැඩි සහයෝගිතාවක් පවත්වාගෙන යා හැකි යයි ඔවුහු කියා සිටිති.

ට‍්‍රම්ප්ගේ බොහෝ ප‍්‍රතිපත්ති මෙන්ම නවාරෝ හා රොස් විසින් ගෙනහැර දක්වා ඇති වෙලඳ යුද්ධයේ න්‍යායපත‍්‍රය ද ඔබාමා පාලනයේ ප‍්‍රතිපත්ති වලින් බිඳීමක් නොව සලකුනු කරන්නේ, එහි මූලික යොමුව පවතින අතරම ගුනාත්මක පුලුල් වීමකි.

ඔබාමා පාලනය යටතේ ඇතිකරගන්නා ලද, අන්තර් පැසිෆික් හවුල්කාරිත්වය හා යුරෝපය සම්බන්ධ එහි දිගුව ලෙස පවතින අන්තර් අත්ලාන්තික වෙලඳ හා ආයෝජන හවුල්කාරිත්වය, එයට අත්සන් තබන රටවලට විශාල ඇමරිකානු වෙලඳපොලට පිවිසීමේ වරප‍්‍රසාදය හිමිවන අතර, ඇමරිකාවට එම රටවලින් සහන කඩාගැනීමේ හැකියාව ද සහිතය.

එම යෝජිත වෙලඳ ආයෝජන ගිවිසුම් විශේෂිතවම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව වෙලඳ සබඳතා පාලනය කල, ගැට් හෙවත් තීරුබදු හා වෙලඳාම් සම්බන්ධ පොදු ගිවිසුම හා පසුව ලෝක වෙලඳ සංවිධානය යටතේ පවත්වාගෙන ගිය එක් රටකට හිමිවන සහනයක් අනෙක් රටවලට ද හිමිවිය යුතුය යන පර්යාය කටුගා දමනු ලැබේ. එම ප‍්‍රතිපත්තිය පිලිගනු ලැබුවේ, 1930 ගනන්වල සුවිශේෂී සන්ධාන ගොඩනැගීමෙන් ලෝක ආර්ථිකයට හා වෙලඳ පර්යායට සිදුකල හානිය වටහාගැනීමක් ලෙසය.

2014දී යෝජිත ගිවිසුම්වල තර්කනය ගෙනහැර දක්වමින් ඔබාමාගේ වෙලඳ නියෝජිත මයිකල් ෆ්රොහමන්, Foreign Affairs විදේශ කටයුතු පිලිබඳ ප‍්‍රධාන ලිපියක සඳහන් කලේ, “වෙලඳ ප‍්‍රතිපත්ති ජාතික ආරක්ෂක ප‍්‍රතිපත්තියයි” යනුවෙනි. ගිවිසුම්වල අරමුන, “ගෝලීය ආර්ථිකයේ තුනෙන් දෙකක් කරා නිර්බාධිත ප‍්‍රවිෂ්ටයක් සලසා දෙන පරිදි, ඇමරිකාව ගිවිසුම්වල හරි මැද පිහිටුවීමයි.”

ඔහු තවදුරටත් පැහැදිලි කලේ, පශ්චාත් යුද්ධ පර්යාය තවදුරටත් නොසෑහෙන බව හා ඇමරිකාව තවදුරටත් “දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව භුක්ති විඳි අධිකාරවත් තත්වය නොදරන බවයි.” අන්‍යොන්‍ය වැටහීමක් සහිත තත්වයන් කරා යොමුවී වැඩ කරන වෙලඳ හවුල් “අලුතෙන් ගොඩනැගිය යුතුය.” වෙනත් වචන වලින් කිවහොත්, තම ආර්ථික ජරපත්වීම සිය එදිරිවාදීන්ගේ වියදමෙන් පිරිමසාගත හැකි තැනකට ඇමරිකාව පත් කරන නව යාන්ත‍්‍රනයක් ගොඩනැගීමයි.

ට‍්‍රම්ප්ගේ පිලිවෙත ද යොමුව ඇත්තේ මේ න්‍යායපත‍්‍රයම ඉදිරියට ගෙනයාමටය. ඒ වෙනත් රූපයකිනි. යටින් දිවෙන ගාමක බලය පැහැදිලිව දැකගත හැකිය. පලමුව, ආර්ථික වර්ධනය හැකිලී ඇත්තේ ඇමරිකාවේ පමනක් නොව ලෝකයේමය. 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව දියුනු ආර්ථිකයන් අර්බුද පූර්ව මට්ටමේ පැවතියා නම් තිබිය යුතුවූ මට්ටම වඩා හයෙන් එකක් සිහින්වී ඇති බවට ගනන් බලා ඇත.

හැකිලීම ලෝක වෙලඳාම තුල වඩාත් කැපී පෙනේ. 2012 පටන් ලෝක වෙලඳාම වසරකට සියයට තුනකට මඳක් අඩු ප‍්‍රමානයකින් වර්ධනය වී ඇත. එය පූර්ව දශකයන්හි වර්ධනයෙන් අඩකටත් අඩු මට්ටමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 1985 හා 2007 අතර ලෝක වෙලඳාම ගෝලීය දල දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රසාරනය මෙන් දෙගුනයක සාමාන්‍ය වේගයකින් වර්ධනය විය. පසුගිය සිව් වසර තුල එය වර්ධනය වුනේ ඊට යාන්තම් වැඩි මට්ටමකිනි. “ආර්ථික කටයුතු වලට සාපේක්ෂව, වෙලඳ පරිමාවේ එවන් දිගට ඇදෙන මන්දගාමී වර්ධනයක්, පසුගිය දශක පහ තුල දැකගත නොහැකිවූ තරම්ය”

ට‍්‍රම්ප් බලයට පත්වීමට පෙරාතුව පවා ලෝක වෙලඳ සංවිධානය, ආරක්ෂනවාදී පියවරයන්ගේ නැගී ඒමක් සටහන් කලේය. 1930 ගනන්වල පිලිවෙත් මගහැරීමට පිලිනදී සිටි ජී 20 කන්ඬායමේ සාමාජිකයින්, පසුගිය ඔක්තෝබර් මාසය දක්වා වූ පස් මාසය තුල, මසකට සාමාන්‍යයෙන් වෙලඳ තහංචි 17ක් බැගින් කි‍්‍රයාත්මක කර ඇත. එම තත්වය විස්තර කෙරුනේ, “සැබෑ හා යලි යලිත් කනස්සල්ල දනවන” දේ ලෙසය.

වෙනත් වචන වලින් කිවහොත්, ට‍්‍රම්ප් හා ඔහුගේ “පලමුව ඇමරිකාව” යන සැම එකෙක්ම සැමටම එරෙහිව යන ආර්ථික ජාතිකවාදයේ හා යුද්ධයේ පිලිවෙතේ නැගීම, යම් ආකාරයක නොමග යෑමක් නොව, පසුගිය දශකය පුරා ලෝක ධනවාදී ආර්ථිකය තුල ගොඩනැගෙමින් පැවති ප‍්‍රවනතාවක ගුනාත්මක වර්ධනයකි. එය දැන් පුපුරන සුලු බලයකින් මතුපිටට කඩා වදිනවා පමනි.

Share this article: