ඖෂධ සමාගම් විසින් උග්‍ර ලෙස ඖෂධ මිල ඉහල දැමීම ඇමරිකානු සෙනේට් වාර්තාවේ විස්තර කෙරේ

US Senate report details price-gouging by pharmaceutical companies

සයිඩා ග‍්‍රීන් විසිනි, 2017 ජනවාරි 6

ප‍්‍රමුඛ පෙලේ ඖෂධ සමාගම් හතරක්, හෙජ් අරමුදල් (ඉහල ලාභ අනුපාතිකයක් වෙනුවෙන් දැඩි අවදානම් සහිත ආයෝජනයන්හි යෙදෙන සීමිත සාමාජිකයින් සහිත, නියාමනයට හසු නොවන අරමුදල් - පරිවර්තක) ආකාරයට ක‍්‍රියාකර ඇති අතර ඖෂධ හිඟයක සහ ජිවිත අවදානමක කොන්දේසි නිර්මානය කරන, ඖෂධ ඒකාධිකාරයක් ඇති කිරීම සඳහා නිශ්චිත ව්‍යාපාර ක‍්‍රමවේදයන් අනුගමනය කර ඇති බව මෑතකදී නිකුත් වූ ඇමරිකානු සෙනට් මන්ඩල විමර්ශනයක් මගින් හෙලිදරව් කෙරින.

ටියුරින් ඖෂධ, රෙට්‍රොපින්, වැලීන්ට් ජාත්‍යන්තර ඖෂධ සහ රොඩෙලීස් චිකිත්සක යන සමාගම් දශක ගනන් පැරනි, පේටන්ට් තහනමින් මිදුනු ඖෂධ නිෂ්පාදනය සහ බෙදාහැරීම ඒකාධිකාරයට නතු කරගැනීම ඉලක්ක කරගත් අතර නිරන්තරව මිල ඉහල දමමින්, පන අදින රෝගීන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය සේවා සම්පාදකයන් ප‍්‍රාන ඇපයේ රඳවා ගත්හ.

නඩු විභාග තුනකින් ද ගනන් නැති සම්මුඛ සාකච්ඡාවලින් ද සමාගම් විසින් සිතාසි ලෙස යොදාගත් මිලියනයකට වැඩි ලිපි ගොනු විමර්ශනයන්ගෙන් ද වටලනු ලබමින් 2015 නොවැම්බරයේදී වයෝවෘද්ධවීම පිලිඹඳ විශේෂ සෙනේට් කමිටුව විමර්ශනය ආරම්භ කලේය. මෙම ඖෂධ නිෂ්පාදනය කරන්නේ ලාභ සහතික කරන විශේෂ නිර්නායක සැපිරේ නම් පමනක්ය යන අයිතිය අත්පත් කර ගනිමින් සමාගම්, ලාභ තරකර ගැනීමේ පංච විධ ව්‍යාපාර මොඩලයක් අනුගමනය කර ඇත.

පලමුව සියලූ ඖෂධ සඳහා ඇමරිකාව තුල එක් නිෂ්පාදකයෙකු පමනක් සිටිය යුතු විය. එමගින් ඒකාධිකාරී නිෂ්පාදනය සහතික කෙරෙනු ඇත. දෙවනුව සියලුම ඖෂධ ඒ තත්වයෙන් පවතින හොඳම ප‍්‍රතිකාරක ඖෂධ විය යුතු විය. එමගින් අධික ලෙස ඉහල යන මිල ගනන් අබිමුව වුව ද වෛද්‍යවරුන්ට එම ඖෂධ නියම කිරීමට බල කෙරේ. තුන්වැනුව උග්‍ර ලෙස ඉහල දැමූ මිලට බලපෑම් කල හැකි අන්දමේ විරෝධයක් පල කිරීමෙහි අසමත්, කුඩා සහ හුදෙකලා රෝගී කාන්ඩ වලට පමනක් ඖෂධ ලබාදිය යුතු විය.

ඉන් පසු වෙලඳ නාම රහිත ඖෂධ වැඩිදියුනු කිරීමට යොදාගත හැකි සාම්පල ලබාගැනීමට තරගකරුවන්ට ඇති අවකාශ ඇහිරීම සඳහා ඖෂධ ලබා ගැනීම පාලනය කරමින් හෝ තරගකරුවන්ට අඩු ආකර්ෂනයක් සහිත, දුප්පත් සහ රක්ෂනාවරන රහිත රෝගීන් ඉතිරි කර, වැඩි වාසි සහිත රෝගීන් දැඩි සීමාසහිත “රෝගී සහන වැඩසටහන්” හරහා වෙන්කර ගැනීම මගින්, සමාගම් වෙලඳපලට නාස්ලනුව දැම්මේය. සමාගම් එක් වසරක් තුල මිලියන සිය ගනනින් වැඩිපුර ඩොලර් පොදි ගසමින්, ආක‍්‍රමනකාරී ලෙස මිල ඉහල දැම්මේය. සමාගම් හතරෙන් එකක්වත් ඖෂධ වැඩිදුර පර්යේෂනයට සහ වැඩිදියුනු කිරීම වෙනුවෙන් එක සතයක් හෝ ආයෝජනය කර නැත.

එක් සිද්ධියකදී සාකච්ඡාවට බඳුන් වූ ඖෂධ සමාගම රෝගයක් සඳහා පවතින හොඳම ඖෂධයත් ඒ සඳහා වූ හොඳම විකල්පයත් යන දෙකම ඒකාධිකාරයට නතු කර ගත්තේය. 2010 දී වැලීන්ට් ඖෂධ සමාගම ශරීරයට තඹ අවශෝෂනට ඇති නොහැකියාව ලෙස හඳුනාගෙන ඇති දුර්ලභ ජානමය සංකූලතාවක් වන විල්සන් රෝගය - උපරිම වශයෙන් ඇමරිකාව තුල සිටින්නේ රෝගීන් 3000කි - සඳහා පවතින හොඳම ප‍්‍රතිකාර දෙක වන ක්යුප‍්‍රිමයින් (පෙනිසිලමයින්) සහ සිප‍්‍රයින් (ට‍්‍රයිඑන්ටයින් හයිඩ්රොක්ලෝරයිඩ්) යන ඖෂධ ද්විත්වය අත්පත් කර ගත්හ. ප‍්‍රතිකාර නොලැබුනහොත් විල්සන් රෝගය දරුනු මස්තිශ්ක හානි, අක්මාවේ දුර්වලතා සහ මරනයට හේතු විය හැකිය. 2010 දී එක මසක ප‍්‍රතිකාර සඳහා මෙම ඖෂධ ද්විත්වය පිලිවෙලින් ඩොලර් 445ක් සහ 652ක් මිල විය. 2015 දී ඒවා පිලිවෙලින් ඩොලර් 26,200 සහ ඩොලර් 21,300 ට නැංගේය - මිල සියයට 3000 කින් ඉහල යාමකි.

රක්ෂන සමාගම් වාරික ඉහල නංවද්දී ඉහල යන සෞඛ්‍ය ආරක්ෂන වියදම් සහ නය මුදලින් පියවාගන්නා වියදම් වලට මුහුන දී සිටින පවුල්වලට බල කෙරෙන්නේ, ඊලඟ මිල ඉහල යාමට හෝ වෙනත් අකරතැබ්බයකට බියෙන්, ඖෂධ වේල් අතහැරීමට හෝ ඖෂධ රැස් කර තබා ගැනීමටයි. පුන්‍යාධාර සිඳී යනු ඇත. සමාගම් විසින් ක‍්‍රියාත්මක රෝගී සහන වැඩසටහන් වෙත යැවෙන මුල්‍යාධාර අයදුම්පත් ප‍්‍රතික්ෂේප වනු ඇති අතර රක්ෂන සමාගම් සිය පැකේජ වලින් ඖෂධ ආවරනය ලෙහෙසියෙන්ම කපා හරිනු ඇත. මේ ගැන හඬ නැගීම, ඖෂධ සමාගම් විසින් සමස්ත නිෂ්පාදනයම නවතා දැමීමකට හේතු වනු ඇතැයි ඇතැම් රෝගීන් සහ වෛද්‍යවරු බිය පල කලහ.

මිල ඉහල යාමේ ගොදුරක් බවට පත් වූවකු වන පැටි‍්‍රක් මෙල්වින්, 2014 දී විල්සන් රෝගයට ගොදුරුව ඇතැයි අනාවරනය වූ තරුන පියෙකි. මසක ඖෂධ සඳහා ඩොලර් 20,000 ක සම්මාදම් මුදලක් වැය කල යුතු තැනට වැඩ සලසමින්, සිය සෞඛ්‍ය රක්ෂන සමාගම ඖෂධය සඳහා කරන ගෙවීම අඩුකර දමන තුරු, ඔහු සයිප‍්‍රින් ලබාගනිමින් සාමාන්‍ය ජිවිතයක් ගතකලේය. ඖෂධ නොමැතිව සතියක් ගතවෙද්දී මෙල්වින්ගේ කල්පනා ශක්තිය හීන වී ගිය අතර අවසානයේදී අබල දුබල බවට පත් ඔහුට රැකියාවෙන් ඉවත් වී ආබාධිත ආධාරලාභීන්ගේ ගොඩට වැටීමට බල කෙරින. වැලීන්ට් සමාගමේ රෝගී සහන වැඩසටහනෙන් මුල්‍ය ආධාර ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ රාජකාරිය සිය මවට බාර කිරීමට ඔහුට සිදුවූ අතර ඔහුගේ රැකියාවේ සිදුවූ වෙනස හේතුවෙන් එය අවුල්විය. මෙල්වින් 2015 සැප්තැම්බර් මාසයේදී දරුනු ආඝාතකට ගොදුරුව මිය ගියේය.

එවක වැලින්ට් හි ප‍්‍රධාන විධායක නිලධාරි මයිකල් පිය’සන් සෙනේට් කමිටු පරීක්ෂනයකදී, රෝගීන්ගේ ජීවිත ප‍්‍රාන ඇපයට තබාගැනීමේ සිය “නිදහස් වෙලඳපල ක‍්‍රමෝපාය” , සයිප‍්‍රින් වල මිල සහතික කරගැනීමට සහ ඉහල දැමීමට ආයතනය ගත් තීරනයේ එක සාධකයක් වූ බව පිලිගත්තේය.

මෙම සමාගම් බොහොමයක් මෙහෙයවන්නේ වෝල් වීදියේ සාමාජිකයන්ය. රෙට්‍රොපින් සහ ටියුරින් ඖෂධ සමාගම් දෙකම මෙහෙයවෙන්නේ හිටපු හෙජ් අරමුදල් කලමනාකාරවරයෙකු සහ “ධනපතියෙක්” ලෙස තමාව හඳුන්වාගන්නා මාර්ටින් ශ්ක්රේලි විසිනි. ශ්ක්රේලි ම තම අනුප‍්‍රාප්තිකයා ලෙස තෝරා බේරා ටියුරින් සමාගමට පත් කර ගත් රොන් ටයිල්ස්, තමන් පොහොසත් වීමට ආයතනයේ සම්පත් කඩා වඩා ගැනීම සහ පෙර පැවති හෙජ් අරමුදලකින් ආයෝජකයන්ට ගෙවීම් කිරීමට වරදකරු වී රෙට්‍රොපින් සමාගමෙන් දොට්ට දැමීමට පෙර රෙට්‍රොපින් සමාගමේ ආයෝජන තැරැව්කරුවෙකු ලෙස ශ්ක්රේලි සමග වැඩකල අයෙකි.

රොඩෙලිස් සමාගමේ සිද්ධියේදී සෙනේට් විමර්ශනය, තමන් සහ තමන්ගේ ලොකුම ආයෝජකයා වන ඇවීගෝ හෙල්ත්කෙයා කැපිටල් අතර සීමාවන් “ප‍්‍රායෝගිකව අදෘශ්‍යමාන” බව පිලිගත්තේය. සමාගම් එක අවස්ථාවකදී විද්‍යුත් තැපැල් ලිපින ද හුවමාරු කරගත්හ. ජ්‍යෙෂ්ට කලමනාකාරීත්වය ඖෂධ අත්පත් කරගැනීම සමතයකට පත්කර ගැනීමට ඇවීගෝ විද්‍යුත් තැපැල් ලිපිනයක් යොදාගත් අතර රොඩෙලිස් හි ඉලක්ක වෙලඳපල විශ්ලේෂන, ඇවීගෝ හි නම යටතේ නියම කෙරින.

තමන් ඉලක්ක කරන ඖෂධ සිය පංච විධ ව්‍යාපාර මොඩලයේ සෑම අංශයකටම කෙතරම් හොඳින් ගැලපෙන්නේද යන්න පැහැදිලි කරන විශ්ලේෂනයන් සිය ආයෝජකයන්ට ඉදිරිපත් කරමින්, මෙම සමාගම් හෙජ් අරමුදල් ආකාරයට ක‍්‍රියාත්මක වේ. එක් රැයකදී ටියුරින් සමාගම ඩැරප්රීම් (පයිරිමෙතමයින්) ඖෂධයේ මිල ඉහල දැමීම පිලිබඳ සිය ආයෝජකයින්ට යැවූ විද්‍යුත් තැපෑලක ශ්ක්රේලි මෙසේ ලිවිය. “මම හිතන්නේ එය [ආදායම] දැවැන්ත එකක් වේවි. අපි බෝතලයක මිල ඩොලර් 1700 සිට ඩොලර් 75000ට ඉහල දැම්මා. ඉතින් 5000ක් [රෝගීන්] අලුත් මිලට බෝතල් ගනිද්දී, ආදායම ඩොලර් 375, 000, 000ක් - ඒ ඔක්කොම වගේ ලාභය. මම හිතන්නේ ඒ වගේ අවුරුදු තුනක් හෝ ඊට වැඩියෙනුත් එයි. අපි ඔක්කොටම නියම ආයෝජනයක් වෙයි.”

ඩැරප්රීම් 1953 දී වැඩිදියුනු කෙරුනු අතර මොලය සහ අවයව වල හානි වලට, ඒඩ්ස් ආසාදිතයන් වැනි පිරිහුනු ප‍්‍රතිශක්තිකරන පද්ධතියක් සහිත වැඩිහිටියන්ගේ සහ ලදරුවන්ගේ අන්ධ භාවයට සහ මරනයට හේතු විය හැකි ආසාදනයක් වන ටොක්සොපල්ස්මොසිස් සඳහා ප‍්‍රතිකාරය විය. ටියුරින් සමාගම ඩැරප්රීම් අලෙවි කලේ පෙත්තක් ඩොලර් 750ක මිලකටය. ඇමරිකාවෙන් පිටත එහි මාත‍්‍රාවකට වැයවන්නේ සත 10ක් වැනි සොච්චම් මිලකි. ඖෂධය පිලිඹඳ ටියුරින් සමාගමේ විශ්ලේෂනයක සඳහන් කෙරුනේ, වෛද්‍යවරු ඩැරප්රීම් සඳහා “නිසි විකල්පයක් ගැන කල්පනා කිරීමේදී අන්දමන්ද වනු ඇති” බවයි. තවත් පූර්ව ලාභ නිර්න වාර්තාවක සඳහන් වූයේ ඖෂධය ඇස්තමේන්තු ගත වාර්ෂික ආදායම වන ඩොලර් මිලියන 180 මෙන් 30 ගුනයක් ජනනය කරනු ඇති බවයි.

ඖෂධ සමාගම් රෝගී සහන වැඩසටහන් ස්ථාපනය කිරීම යනු, එම වැඩසටහන් පාරිභෝගිකයන් රඳවා තබාගැනීමේ අංශ ලෙස ක‍්‍රියාත්මක කරවමින්, වෙලඳපල පංගුව පුලුල් කිරීම සහ පාලනය කිරීම සඳහා සුදානම් කල වැඩකි. උදාහරනයක් ලෙස එම වැඩසටහන් වලදී රක්ෂන සමාගමට තමන්ගේ අතින් සම්මාදම් කලයුතු පංගුව ගෙවීමට උපකාර ලෙස රක්ෂනය කරනු ලැබ සිටින රෝගීන් අතර වවුචර පත් බෙදා හැරෙන්නේ ඖෂධ ලබාගැනීමේ අපහසුව ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමට රෝගීන් අධෛර්යමත් කිරීම සහ බිල් පතේ ඉතිරිය ඩැහැ ගන්නා රක්ෂන සමාගමෙන් අඛන්ඩ ආදායම් ලැබීම සුරක්ෂිත කරගැනීම සඳහාය. ඖෂධ සමාගම් සිය පංගුව ගෙවීම සඳහා රෝගීන්ට සහාය වීම වෙනුවෙන් 2015 දී යොදවා ඇති ඩොලර් බිලියන 7ක මුදල හා සසඳන කල, 2010 එම වියදම ඩොලර් බිලියන 1ක් පමනි. වැලින්ට් සමාගම සලකද්දී ඔවුන්ගේ රෝගී සහන වැඩසටහන යම් සෘනාත්මක ප‍්‍රසිද්ධියක් ලැබීම වැලැක්වීමට සමාජ ජාල දෙස ක‍්‍රියාකාරී ලෙස ඇස ගසා සිටියේය.

ආන්ඩුවෙන් ආධාර ලබන මෙඩිකේඩ් සහ මෙඩිකෙයා වැනි සෞඛ්‍ය සේවා වැඩසටහන් හරහා රෝගීන්ට ප‍්‍රතිකාර කරන ඇතැම් ෆාමසි වලට සහ සෞඛ්‍ය සේවා සපයන්නන්ට වට්ටම් මිලට ඖෂධ ලබාදීමට අන කෙරෙන ඇමරිකානු නීතියට, ඖෂධ සමාගම් ගරු නොකරයි. ටියුරින් සමාගමේ විධායක නිලධාරී මයිකල් ස්මිත් සේවකයින්ට උපදෙස් දුන්නේ, ඩැරප්රීම් සඳහා කෙරෙන එවන් ඉල්ලීම් නොතකා හරින ලෙසයි. රොඩෙලීස් සමාගම, “340බී නිරාවරනය (බාහිර රෝගීන් සඳහා වන සෞඛ්‍ය ආරක්ෂන සංවිධානවලට සහනමිලට ඖෂධ ලබාදීම සඳහා ඖෂධ සමාගම් වලට පනවා ඇති නීතියකි - පරිවර්තක) සීමාකිරීමට” උපදෙස් දුන් උපදේශන සමාගමක් වන ඇවලරි හෙල්ත් වෙතින් පිරිනැමීමක් ලබා ගත්තේය.

ස්ථාවර ආදායමක් සහිත ඇමරිකනුවන්ගෙන් බහුතරයක්, එනම්, සියයට 60ක් සහ ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙන් සියයට 90ක්, නිර්දේශිත ඖෂධ ලබාගනිති. 2016 දී පමනක් නිර්දේශිත ඖෂධ මිලදී ගැනීම් සඳහා ඩොලර් බිලියන 328ක් වියදම් කෙරී අතර ඉන් ඩොලර් බිලියන 50ක් කෙලින්ම රෝගියාගේ සාක්කුවෙන් වැය කර ඇත. පසුගිය වසර නවය පුරා වාර්ෂික සාමාන්‍ය සියයට 1.8ක් වූ නිර්දේශිත ඖෂධ සඳහා වියදම ඉහල යාම හා සසඳන කල, 2012 දී එම අගය සියයට 11.5 කින් ඉහල ගොස් ඇත. ඉහල යන ඖෂධ මිල නිසා අමාරුවේ වැටී සිටින රෝහල්වලට, තමන් ප‍්‍රමුඛතාව දුන් ඖෂධ අඩුවෙන් ගබඩා කරගැනීම නිසා විකල්ප ප‍්‍රතිකාර අත්හදා බැලීමට සහ නව නීති රෙගුලාසි සම්පාදනය කිරීමට බලකෙරී ඇත. ලාභ සඳහා නොවන රෝහල් වලට බල කෙරී ඇත්තේ, අයවැය හිඟයට හිලව් වීම සඳහා ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන් කප්පාදු කිරීමට හෝ සම්පුර්නයෙන් වසා දැමීමටයි.

“වෙලඳපල තරගකාරීව තබාගැනීම සඳහා” වෙලඳ නාම රහිත ඖෂධ අනුමැතිය කඩිනම් කිරීමට හෝ තාවකාලිකව ඇතැම් ඖෂධ ආනයනය කිරීමට අවකාශ සැලසීම පිළිබඳ බල රහිත යෝජනාවකින්, වාර්තාව අවසන් කෙරේ. පන අදින්නන් සහ රෝගීන් සිය ගනනක් කායිකව අබල දුබලයින් කල ඇතැම් ඛේදනීය සිද්ධීන් වලට කිසිඳු සමාගමක් හෝ ඒවායේ විධායකයින් මුල්‍යමය වශයෙන් සාපරාධී වග උත්තරකරුවන් කෙරී නැත.

ඇමරිකාව තුල සංසරනය වන නිර්දේශිත ඖෂධ වලින් සියයට 89ක් සමන්විත වන වෙලඳ නාම රහිත ඖෂධ පවා ඖෂධ සමාගම්වල මිල ඉහල දැමීමෙන් ගැලවෙන්නේ නැත. 2009 සිට 2014 දක්වා වෙලඳ නාම රහිත ඖෂධ වලින් අඩුතරමින් 300ක මිල දෙගුන කෙරී ඇති අතර එයින් 48ක මිල අඩුතරමින් සියයට 500කින් ඉහල ගොස් ඇත.

Share this article: