ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගම සේවකයන් 150 ක් රැකියාවෙන් නෙරපයි

සුසර විස්කම් සහ බී. රාජපක්ෂ විසිනි, 2017 ජනවාරි 30

ආයතනය ඉදිරිපිට උද්ඝෝෂනයක යෙදී සිටින කම්කරුවෝ

ටයර් අපනයන සමාගමක් වන ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් පුද්ගලික සමාගම එහි සේවකයන් 150 ක් ජනවාරි 13 සිට රැකියාවෙන් දොට්ට දමා ඇත. සමාගමේ පාලකයන් විසින් ජනවාරි 13 වෙනිදා උදේ පැමිනි කම්කරුවන්ට ආයතනයට ඇතුලු වීමට ඉඩ දී නැත. පසුව සේවයෙන් නෙරපූ බවට කම්කරුවන් 66 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ප‍්‍රධාන ඇතුලුවීමේ දොරටුව අසල සිමෙන්ති කනුවක අලවා ඇති අතර සෙසු අය ට ද සේවයට වාර්තා කිරීමට සමාගමේ පාලකයන් ඉඩ නොදෙන බව කම්කරුවෝ කීහ. සේවයෙන් නෙරපූ බව සඳහන් කම්කරුවන්ගේ නම් ලැයිස්තුවට යටින් නිල මුද්‍රාවක් රහිතව ”මෙයට පාලානාධිකාරය” යනුවෙන් පමනක් අත්සන් තබා ඇති නමුත් ඔවුන් සේවයෙන් නෙරපීමට හේතු නිලවශයෙන් දැනුම් දී නැත.

සමාගමේ මානව සම්පත් කලමනාකරු සහ අධ්‍යක්ෂ හමු වී සේවයෙන් දොට්ට දැමීමට හේතු කම්කරුවන් විසින් විමසා ඇතත් කිසිදු පිලිතුරක් දී නැත. මේ අතර මිනිස් බල සමාගමකින් කුලියට ගත් කම්කරුවන් යොදාගෙන සමාගමේ වැඩ කටයුතු කරගෙන යන බව කම්කරුවෝ පවසති.

කම්කරුවන් පැවසූ ආකාරයට මෙම සමාගමේ පෙර අයිතිකරු වර්තමාන මුදල් ඇමති රවී කරුනානායක ය. දැන් එය ඔහුගේ දියනියක් වන ඔලෙලා කරුනානායකට පවරා ඇත. සමාගමේ අධ්‍යක්ෂ ද ඇයයි.

නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ජනවාරි 13 වෙනිදා සිට කම්කරුවෝ ආයතනය ඉදිරිපිට උද්ඝෝෂනයක යෙදී සිටිති. ඔවුන්ගේ උද්ඝෝෂනය කුමන්ත‍්‍රනකාරී ලෙස කඩා කප්පල් කර ඔවුන් සමාගම අසලින් ඉවත් කිරීමට සමාගම් පාලකයන් උත්සාහ කරයි. ජනවාරි 23 ප‍්‍රධාන දොරටුව අසල පෙට‍්‍රල් බෝම්බ තැබීම එහි කොටසක් බව කම්කරුවෝ කියති. පෙට‍්‍රල් පිරවූ බෝතල වලට වීදුරු කැබලි සහ තවත් ද්‍රව්‍ය යොදා ඊට රතිඤ්ඤා බට්ටෙක් සම්බන්ධ කර සැකසූ එබඳු බෝම්බ හතරක් තිබූ බව ඔවුහු කීහ. පොලීසිය උද්ඝෝෂනයේ යෙදී සිටින කම්කරුවන් 40 දෙනෙකුගෙන් පමන ඒ සම්බන්ධව ප‍්‍රශ්න කර ඇත. තමන් නිර්දෝෂී බවත් උද්ඝෝෂනය කඩාකප්පල් කිරීම පිනිස සමාගමේ අනුග‍්‍රහය ඇතිව කිසියම් පිරිසක් විසින් එය කරන්නට ඇති බවත් ඔවුන් පොලීසියට පවසා ඇත.

පසුගිය මාස කිහිපය තුල නිෂ්පාදන දිරිදීමනාව, නිපුනතා දීමනාව, ඵලදායිතාවය ඉහල දැමීමේ දීමනාව ඇතුලු සියලු දිරිදීමනාවන් කප්පාදු කොට ඇති අතර වාර්ෂික වැටුප් වර්ධක ද ගෙවා නැත. සමාගමෙන් ලබා දෙන ආහාරවල ගුනාත්මක තත්වය ද පහත වැටුනු බව කම්කරුවෝ කීහ.

පසුගිය මාස කිහිපය තුල මෙම ප‍්‍රශ්න ”සුහදව” විසඳා ගැනීමට උත්සාහ කලත් එය ඉටු නොවුන බව ග්ලෝබල් ස්ටාර් සමාගමේ වෘත්තීය සමිති සභාපති ශාන් (සම්පුර්න නම සඳහන් කිරීමට ඔහු අකමැති විය) පැවසුවේ ය.

සේවකයන් සියලු දෙනාම ජනවාරි 11 දා පාලකයන් හමු වී කල සාකච්ඡාවේ දී ”ගැටලුවලට විසඳුම් ඉදිරි දිනවල” ලබාදෙන බවට වාචිකව පොරොන්දු වී 13 වෙනිදා දොට්ට දැමූ බව ද ඔහු කීවේ ය. එය සමාගමේ පාලකයන් විසින් කල්යල් බලා කල දොට්ට දැමීමක් බව පැහැදිලිය.

රැකියාව අහිමිවීම නිසා තම දරුපවුල් නඩත්තු කල නොහැකි තත්වයකට කම්කරුවන් මුහුන දී සිටිති. මීට අමතරව බැංකුවලට නය වී ඇති අය ඒවා ගෙවා ගත නොහැකි තත්වයකට ද පත්ව සිටිති. තමන් මුහුන දී සිටින දුෂ්කර තත්වය ගැන කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ට විස්තර කලහ.

රුවන් ජයන්ත තිදරු පියෙකි. ”මගේ දුවලා තුන්දෙනාම ඉස්කෝලේ යන අය. රක්ෂාව නැතිවුනොත් බරපතල ප‍්‍රශ්නයකට මුහුන දෙන්න වෙනවා. අපි ඉන්නෙත් කුලී ගෙයක. මාසේ කුලිය රුපියල් 7000 ක්. කලින් මගේ මාසේ පඩිය රුපියල් 35,000 පමන ලැබුනා. නමුත් පසුගිය මාස කිහිපයේ දීමනා කැපීම නිසා 22,000 ට පමන අඩු වුනා. පඩියෙන් වියදම පිරිමහගන්න බැරි නිසා ස්වයං රැකියාවකුත් කරන්න හිතාගෙන බැංකු නයක් ගත්ත. මාසික වාරිකය රුපියල් 9,500 ක්. දැන් ඒක ගෙවාගන්න විදිහක් නැහැ”

ප‍්‍රසන්න ලාල් ෆොර්ක්ලිෆ්ට් ඔපරේටර් වරයෙකි. ”මගේ පඩිය වැඩිකරනවා කියලා පාලනාධිකාරය කිව්ව නිසයි මං ඒ රක්ෂාව භාර ගත්තේ. නමුත් අවුරුදු දෙකක් ගිහිල්ලත් ශතයක්වත් වැඩි කලේ නැහැ. යාබද ඉඩමේත් මේ සමාගමට අයිති ජීඑල්ටී කියල වැඩපොලක් තියෙනවා. ඒකේ කරන්නේ කිරිපිටි සහ රෙදිපිලි අපනයනයට සුදානම් කිරීම. වැඩි දෙනෙක් කාන්තාවෝ. පඩිය ඇරෙන්න වෙනත් දීමනා නැහැ. වැඩි පඩි ඉල්ලීමත් ගෙවන පඩිය ගැන කාටවත් කීමත් තහනම්. වෘත්තීය සමිතියකට බැඳීමත් තහනම්. ඒවා කඩකලොත් රක්ෂාවෙන් අස්කරනවා”.

ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගම ආරම්භ කලේ 2013 බව ප‍්‍රසන්න නමැති කම්කරුවෙක් කීවේය. ”මම මේකේ ආරම්භක සේවකයෙක්. කම්කරුවන්ට කිසිම අයිතිවාසිකමක් නැති නිසා අපි 2015 දි නිදහස් වෙලඳ කලාප සංගමයේ ශාකාවක් පිහිටෙව්වා. ඒකට මූලිකත්වය ගත්තේ මම. ඒ නිසා මගේ වැටුප බාගෙකින් විතර කැපුවා. රුපියල් 30,000 මාසික වැටුප 18,000 දක්වා කැපුවා. ඒකෙන් කොහොමත් ජීවත් වෙන්න බැහැ. මෝටර් බයිසිකලේ මාස කිහිපයක ෆිනෑන්ස් ගෙවල නැහැ”. නිල ඇඳුම අනිවාර්ය කරලා ඒ සඳහා රුපියල් 7600 පඩියෙන් කපා ගන්නා බවත් ආරක්ෂක හිස්වැසුම් හෝ වෙනත් කිසිදු ආරක්ෂක පහසුකමක් නොදෙන බවත් ඔහු කීවේ ය. මෙම ගැටලු ගැන මීගමුව සහ කොලඹ කම්කරු කාර්යාලවලට සහ සීදුව පොලීසියට මව් සංගමය විසින් පැමිනිලි කලත් ඒ ගැන කල විභාග කිරීම් වලට සහභාගී නොවී පාලකයන් මග හැරිය බව ඔහු පැවසුවේ ය.

ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු අරගලයක් සංවිධානය නොකර කම්කරු කාර්යාල සහ පොලිසියට පැමිනිලි කිරීමේ නිස්සාර වැඩවලට ඔවුන් යොමු කල ඇන්ටන් මාකස් ඇතුලු නිදහස් වෙලඳ කලාප සහ පොදුසේවක සංගමයේ (නිවෙක හා පොසේසං) සහ ග්ලෝබල් ස්ටාර් ශාඛා සංගමයේ නායකයෝ පාලකයන් සමග කරන ”සුහද” සාකච්ඡා මගින් ප‍්‍රශ්න විසඳා ගත හැකිය යන මිත්‍යාවක කම්කරුවන් හිර කර තැබූහ. දැන් රැකියාවෙන් දොට්ට දමා ඇති කම්කරුවන්ගේ අරගලය මුලුමනින් ම හුදකලා කර ඇත.

රැකියා රැක ගැනීම සඳහා ගනු ලබන ඉදිරි පියවරයන් කුමක් දැයි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් විමසූ විට ග්ලෝබල් ස්ටාර් ශාකාවේ සභාපති පැවසුවේ ”අවශ්‍ය වුනොත් පාර්ලිමේන්තුව දක්වා පෙලපාලියක් යාමට හා නීති මගින් කල හැකි හැම දෙයක් ම කරන” බවට මව් සංගමය පොරොන්දු වී ඇති බවය.

ග්ලෝබල් ස්ටාර් සමාගමේ කම්කරුවන්ගේ රැකියාවලට එල්ල වී ඇති ප‍්‍රහාරය ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය මුහුන දී ඇති අර්බුදයත් සමග බැඳුන එකකි. ශ්‍රී ලංකාවේ රබර් අපනයනය 2014 සිට අඛන්ඩව පහත වැටෙමින් තිබේ. එය රබර් කර්මාන්තකරුවන්ගේ සහ අපනයන කරුවන්ගේ ලාබය පහත වැටී සෘජුව බලපා ඇත. ඔවුන් එම පාඩුවේ වාඩුව ගන්න උත්සාහ කරන්නේ කම්කරුවන් ගෙනි. ග්ලෝබල් ස්ටාර් සමාගමේ කම්කරුවන්ගේ වැටුප්, දීමනා හා වෙනත් පහසුකම් කප්පාදු කෙරී ඇත්තේ එහි කොටසක් ලෙසය. ස්ථීර කම්කරුවන් ඉවත් කර කොන්ත‍්‍රාත් කම්කරුවන් කුලියට ගැනීම මගින් සමාගම බලාපොරොත්තු වන්නේ වියදම් කප්පාදු කර ලාබ ඉහල දමා ගැනීමට ය. එය ලෝක පරිමානව සිදුවන ක්‍රියාවලියකි.

සමිතිවල සහයෝගය ඇතිව වතු සමාගම් විසින් දෙලක්ෂයකට අධික තේ වතු කම්කරුවන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි ඔක්තෝබර් මාසයේ අත්සන් කල වැටුප් සාමූහික ගිවිසුම මගින් බරපතල ලෙස කප්පාදු කෙරුනේ ද ඒ අනුවය. ආන්ඩුව ධනපති සමාගම්වල මෙම කප්පාදු පිලිවෙත්වලට සෘජුව සහය දෙයි. කම්කරුවන්ගේ අරගල දුෂ්ට ලෙස මර්දනය කිරීමට හමුදාව, පොලීසිය සහ අධිකරනය යොදවයි. විදේශ ප‍්‍රාග්ධනය කැඳවා ගැනීමේ මංමුලාසහගත ප‍්‍රයත්නයක යෙදී සිටින මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවට වෙනත් විකල්පයක් නැත.

එහෙයින්, පාලකයන් සමග කරන ”සුහද” සාකච්ඡා මගින්, පාර්ලිමේන්තුව ලඟට පෙලපාලි යාමෙන් හෝ නීති මගින් ග්ලෝබල් ස්ටාර් හෝ කම්කරු පන්තියේ කවර හෝ කොටසක අයිතීන් දිනා ගත නොහැකිය. මාකස් ඇතුලු නිවෙක හා පොසේසං නායකයන් මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව වර්ධනය වූ කම්කරු පන්තියේ විරුද්ධත්වය අවමංගත කොට වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි පාර්ශ්වයයන් ය. එමෙන් ම 2008 පුපුරා ගිය ලෝක අවපාතය තුල ලාබ රැක ගැනීම පිනිස නිවෙක හා පුද්ගලික අංශයේ සෙසු සමාගම් විසින් ක්‍රියාවට දැමුනු කප්පාදු පිලිවෙත් වලට බැකිම දීමට රාජපක්ෂ ආන්ඩුව යලි පන ගැන්වූ ජාතික කම්කරු උපදේශක සභාවට ගාල් වී නිවෙක හා පොසේසං නායකයෝ ඒවාට ද සහයෝගය දුන්නෝය.

කටුනායක ජැක් ලංකා හා බියගම ඇන්සල් ලංකා ඇතුලු කර්මාන්ත 500 ක් පමන එකල වසා දැමුනි. ජැක් ලංකා සහ ඇන්සල් ලංකා කර්මාන්ත ශාලා දෙකේ කම්කරුවන්ගේ අරගල හුදකලා කොට පාවා දුන් නිවෙක හා පොසේසං නායකයෝ අවසානයේ ඔවුන් නඩුවලට කොටු කිරීම මගින් ඔවුන්ගේ රැකියා මුලුමනින් ම අහිමි කෙරුනි.

නිවෙක හා පොසේසං යේ නායකයන් ගිල්ලවන මිත්‍යාවන් පිටුපස ගියොත් ග්ලෝබල් ස්ටාර් කම්කරුවන් ට ද අත් වනු ඇත්තේ එම ඉරනම ම ය. ඒ නිසා ඔවුන් කලයුත්තේ ආන්ඩුවට හා ග්ලෝබල් ස්ටාර් සමාගමට බලපෑම් දැමීමෙන් හා ධනපති නීතිය තුලින් රැකියා රැක ගත හැකි යැයි සමිති නායකයන් වපුරන මිත්‍යාව ප‍්‍රතික්ෂේප කර තමන් මෙන් ම රැකියා, සේවා කොන්දේසි ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර එල්ල වීමේ තර්ජනයට මුහුන දී සිටින කම්කරු පන්තිය සමග ඒකාබද්ධ ව එම අයිතීන් දිනා ගැනීමේ කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමය. එය ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ අරගලයක් විය යුතුය. ධනපති රාජ්‍යයේ, ධනපති හාම්පුතුන්ගේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උපකරන බවට පත් වී ඇති වෘත්තීය සමිති එවන් අරගලයකට පරම ලෙස සතුරු ය. එහෙයින් එවන් අරගලයක් සංවිධානය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පිහිටුවා ගන්නා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු මගිනි.

Share this article: