නව වසර උදාවේ සසජාතශි වෙතින් සිසුන්ට සහ තරුනයන්ට කෙරෙන කැඳවුමක්

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප‍්‍රකාශය ( ශ්‍රී ලංකාව) , 2017 ජනවාරි 25

කම්කරු පන්තියේ ඓතිහාසික විභවය පිලිබඳ වපුරන සංශයන් පුපුරුවා හරිමින්, එලැඹෙන දැවැන්ත කම්පනයන් විසින් ලෝක කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයන්ට යොමු කරනු ඇත.

2017 වසර උදාවීමත් සමග, ඔබ පිවිස ඇත්තේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම තීන්දු කෙරෙන ප‍්‍රගාඪ සමාජ සහ දේශපාලන කම්පනයන්ගේ යුගයකට යි. විශ්ව විද්‍යාලයන් හි ශාස්ත‍්‍රාලයීය පන්ඩිතයන්, ශිෂ්‍ය සංගම් නායකයින් සහ ධනවත් මධ්‍යම පන්තිකයන්ගේ ප‍්‍රති-මාක්ස්වාදී ව්‍යාජ-වාම දේශපාලන සංවිධාන විසින් කම්කරු පන්තියේ ඓතිහාසික විභවය පිලිබඳ වපුරන සංශයන් පුපුරුවා හරිමින්, එලැඹෙන දැවැන්ත කම්පනයන් විසින් ලෝක කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයන්ට යොමු කරනු ඇත.

1991 සෝවියට් සංගමය බිඳ විසිරවූ අවස්ථාවේදී ”ධනවාදයේ විජයෝත්ග‍්‍රහනය” ප‍්‍රකාශයට පත් කරමින් ඉතිහාසයේ අවසානය නිවේදනය කල එක්සත් ජනපදයේ ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා වැනි ඊනියා ශාස්ත‍්‍රාලිකයන්ගේ අනාවැකිවලට සපුරා ප‍්‍රතිකූලව, 2016 න් අවසන් වූ පසුගිය විසිපස් වසර ගෙවී ගියේ ලෝක ධනේශ්වර පද්ධතියේ ගැඹුරු වන අභ්‍යන්තර පරස්පර විරෝධතා තියුනුම ආකාරයෙන් ප‍්‍රකාශයට පත් කරමින් ඉහත දැක්වූ ආකාරයේ ප‍්‍රගාඪ දේශපාලනික, සමාජ සහ ආර්ථික අර්බුදයන් මාලාවක් ජනිත කරමිනි.

ලෝක ධනවාදයට, ගෙවීගිය 2016 වසර, අපායගත වසරක් විය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත කෙරුනු ලෝක දේශපාලනයේ සියලු ව්‍යුහයන් බිඳවැටීමේ අද්දරක පවතී. තීව‍්‍ර වන කලාපීය ආතතීන් ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් අතර සෘජු හා විවෘත ගැටුම් බවට පරිවර්තනය වෙමින් පවතී. එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට ඩොනල්ඩ් ට‍්‍රම්ප් තේරී පත්වීමත් සමග පලමුව සටන් වදින්නේ චීනය සමග ද? නැතහොත් රුසියාව සමග ද යන කරුන මත එරට පාලක පන්තිය කටුක විවාදයක නියැලී සිටින අතර ජර්මනිය, දෙවන ලෝක යුද්ධයෙන් පසු නියැලී සිටි ”සාමවාදය” අවසන් කරමින් තම ආර්ථික ශක්තිය මිලිටරි බලය බවට පරිවර්තනය කරමින් සිටී.

ගෙවීගිය දශක කීපය තුල මහජනතාව අත් දුටුවේ ලෝක ජනගහනයෙන් අතිශය අල්පතර කොටසකගේ දූෂිත පොහොසත් වීම, මහා පරිමාන අසමානතාව හා පුලුල් දරිද්‍රතාව, මිලියන සංඛ්‍යාත ජීවිත බිලිගත් නිමක් නැති ආක‍්‍ර‍්‍රමනකාරී යුද්ධ, මර්දනකාරී රාජ්‍ය ආයතන නිර්දය ලෙස තර කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රීය පාලන ආකෘතීන්ගේ දිරාපත් වීම, ඝාතන හා වධබන්ධන අධිරාජ්‍යවාදී විදේශ පිලිවෙතෙහි මූලික උපකරන හැටියට ආයතනගත කිරීම හා සංස්කෘතියේ සෑම අංශයක ම පොදු පරිහානිය යි.

සමාජ ප‍්‍රතිවිප්ලවය

2008 දී පුපුරා ගිය මූල්‍ය අර්බුදය මගින් ඉහත සන්තතීන් වඩාත් වේගවත් කෙරී සමස්ත ධනේශ්වර පද්ධතිය බිඳවැටීමක් තුලින් ගමන් කෙරෙන තතු තුල, ශ්‍රී ලංකාව ද ඇතුලු ලොවපුරා පාලක පන්තීහු, කම්කරු පන්තිය තම අතීත අරගල මගින් දිනාගත් සමාජමය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ලම උදුරා ගනිමින් සිටිති. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ගමනාගමනය ඇතුලු සේවා දැවැන්ත ලෙස කප්පාදු කරමින් ඒවා ලාභ ඉපැයීමේ ක්ෂේත‍්‍රයන් බවට වේගයෙන් පත් කෙරෙමින් පවතින අතර විරැකියාව, දරිද්‍රතාව සහ කුසගින්න මුලු ලොවම වෙලා ගනිමින් පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව යටතේ ශ්‍රී ලංකාව තුල කම්කරුවන් සහ තරුනයන් අත් විඳින්නේ වෙනස් තත්වයක් නොවේ.

පසුගිය රාජපක්ෂ ආන්ඩුව මෙන් ම මෙම ආන්ඩුව ද රටෙහි ”ආර්ථික වර්ධනය” අති මූලික වශයෙන් පාදක කොට ඇත්තේ සෘජු විදේශ ආයෝජන මත යි. ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා රටවල් අතර පවත්නා රුදුරු තරඟය හමුවේ ආන්ඩුවට ඇත්තේ එක් විකල්පයකි. එනම් දැඩිම මර්දනයකින් යුත් ලාභ ශ‍්‍රම වහල් කඳවුරු නිර්මානය කර දෙමින් ආයෝජකයන් දිරි ගැන්වීමයි. තරුනයන්ට රැකියා උත්පාදනය කර දීම තම අරමුන යැයි ප‍්‍රකාශ කරමින් ආන්ඩුව අර අදින්නේ රැකියා විරහිත දහස් සංඛ්‍යාත තරුනයන් මෙම ශ‍්‍රම වහල් කඳවුරු තුලට ගාල් කිරීමටයි.

ජාත්‍යන්තර රැඩිකලීකරනය සහ රාජ්‍ය මර්දනය

ධනේශ්වර අර්බුදය විසින් ජනිත කෙරෙන්නේ අධිරාජ්‍යවාදී යුද්ධ සහ ඉහත දැක්වූ සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාර පමනක් නොවේ. එමගින් කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය ද නිර්මානය කරයි. රටක් රටක් පාසා වැඩවර්ජන සහ උද්ඝෝෂන වර්ධනය වෙමින් පවතින අතර එමගින් කම්කරු පන්තියේ වැඩෙන සටන්කාමීත්වය ප‍්‍රකාශයට පත් කෙරෙයි.

මෙම ජාත්‍යන්තර රැඩිකලීකරනය ශ්‍රී ලංකාව තුල කැපී පෙනෙන ආකාරයෙන් ප‍්‍රකාශයට පත් වෙමින් පවතී. තම රැකියා අනතුරේ හෙලමින් වෘත්තීය සමිති සහ කොම්පැනිකරුවන් අතර අත්සන් කෙරුනු ”සාමූහික ගිවිසුම” ට එරෙහිව වතුකම්කරුවන් දහස් ගනනක සහභාගිත්වයෙන් පැන නැගුනු ස්වයංසිද්ධ අරගලය, රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා හම්බන්තොට මාගම්පුර වරායේ කම්කරු වර්ජනය, තම ඉඩම් පවරා ගැනීමට එරෙහි හම්බන්තොට ගොවි උද්ඝෝෂනය සහ රාජ්‍ය අංශයෙහි සේවයේ නියුතු මිනිස්බල කම්කරුවන් තම සේවය ස්ථිර කරගැනීම සඳහා ගෙනයමින් පවත්නා අරගලය මෙන්ම තම අධ්‍යාපන අයිතීන්ට නොකඩවා එල්ල වන ප‍්‍රහාරයන්ට එරෙහිව සිසුන් ගෙනයන උද්ඝෝෂන එහි ප‍්‍රකාශනයන් ය.

මෙම වැඩෙන අරගලයන් සම්බන්ධයෙන් ඒ ඒ රටවල පාලක පන්තීන්ගේ ප‍්‍රතිචාරය වන්නේ දෘඩතර මර්දනය සහ ඊට අවශ්‍ය නව මර්දන නීති පනවමින් පොලිස් රාජ්‍යයන් දෙසට වේගයෙන් පියවර තැබීමයිි. ශ්‍රී ලංකාව තුල සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නංවමින් සිටින්නේ මෙම වැඩපිලිවෙලයි.

පසුගිය දා මාගම්පුර වරාය කම්කරුවන් ගේ වැඩ වර්ජනය මැඩීම සඳහා ආන්ඩුව ගත් කුරිරු පියවර වනාහි, සිය අයිතීන් වෙනුවෙන් සටන් වදින කවරෙකු හෝ සම්බන්ධයෙන් ආන්ඩුවේ ප‍්‍රතිචාරය කුමක්ද යන්න පිලිබිඹු කෙරුනු දැනුවත් අනතුරු ඇඟවීමකි. ඉන් සති කීපයකට පසු, හම්බන්තොට දී ගොවීන්ට ද පසුගිය සතියේ කොලඹ නගරයේ දී සරසවි සිසුන්ට ද එල්ල කල කුරිරු ප‍්‍රහාරයන්ගෙන් එම අනතුරු ඇඟවීම සනාථ කෙරුනි.

ශිෂ්‍ය සංගම් නායකත්වයේ සහ ව්‍යාජ-වමෙ හි ප‍්‍රතිගාමිත්වය

එනමුදු, නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම පක්ෂයන් ඇතුලු ලොවපුරා පවත්නා ව්‍යාජ-වාම සංවිධාන සියල්ලම ධනේශ්වර ක‍්‍රමයේ වත්මන් පද්ධතිමය බිඳ වැටීම සපුරා ප‍්‍රතික්ෂේප කරමින් ඉන් මතු කෙරෙන බලගතු අන්තරායන්, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී තුන්වන ලෝක යුද්ධයක අන්තරාය, කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් වසන් කරති. එපමනක් නොව, අධිරාජ්‍යවාදීන් තම මූලෝපායික අවශ්‍යතා සඳහා අන් රටවල් තුල කෙරෙන බලහත්කාරී සහ ප‍්‍රකෝපකාරී මැදිහත්වීම් වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සලුපිලි අන්දවමින් ඒවාට පූර්න සහාය ලබා දෙති.

චීනය මිලිටරිමය සහ ආර්ථික වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපාය වන ”ආසියාවට හැරීම” ට ශ්‍රී ලංකාව ඒකාග‍්‍ර කර ගැනීම සඳහා වොෂින්ටනය තම අත යොදා 2015 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුල සිදුකල තන්ත‍්‍ර මාරුවට ඉහත දැක්වූ ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම පක්ෂ සියල්ලම මෙන්ම, පෙසපය විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ද සෘජුව සහ වක‍්‍රව සහාය දුන්හ.

තම අධ්‍යාපනික සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටින සිසුන්, විරෝධතා දේශපාලනය තුල, එනම් ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් එම ප‍්‍රහාර ආපසු හැරවිය හැකිය යන මිථ්‍යාව තුල සිර කර ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කරදීමේ ප‍්‍රතිගාමී කාර්යයෙහි අවිශිබම අඛන්ඩව නිරතව සිටී.

1917 සහ 2017 අතර සමාන්තරයන්

අධිරාජ්‍යවාදී ලෝක යුද තර්ජනය, ලොවපුරා පාලක පන්තීන් විසින් දියත් කෙරෙන සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරයන් සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වේගවත් රැඩිකලීකරනය සැලකූ කල, 2017 වසරත්, මීට ශතවර්ෂයකට පූර්වයෙන් වූ 1917 වසරත් අතර බලගතු සමාන්තරයන් පවතී.

ලෝක යුද්ධයට සහ සමාජ ප‍්‍රතිවිප්ලවයට කම්කරු පන්තියේ ප‍්‍රතිචාරය විය යුත්තේ කුමක්ද යන්න ප‍්‍රායෝගිකව සනාථ කල ශ්‍රේෂ්ඨ ඓතිහාසික සිද්ධිය, එනම් 1917 ඔක්තෝබර් විප්ලවය වනාහි හුදු රුසියානු ප‍්‍රපංචයක් නොව, ලෝක ධනේශ්වර පද්ධතියෙහි අභ්‍යන්තර පරස්පර විරෝධතාවන් පුපුරා යාමෙහි ප‍්‍රතිඵලයකි. පලමුවන ලෝක යුද්ධයේ බිහිසුනු සංහාරය මැද පුපුරා ගිය එම රුසියානු විප්ලවය, ධනවාදය පෙරලා දමා සූරා කෑමෙන් හා යුද්ධයෙන් තොර ලෝකයක් නිර්මානය කල හැකි බව ගැඹුරින්ම සනාථ කොට විසිවන සියවසේ විප්ලවවාදී අරගලයන්ට අත්‍යවශ්‍ය දේශපාලන ආවේශය සම්පාදනය කලේය.

අද දින ලෝක ධනේශ්වර පද්ධතියෙහි අභ්‍යන්තර පරස්පර විරෝධතා වඩාත් තීව‍්‍ර වී ඇති බැවින් ප‍්‍රතිඵලය විය හැක්කේ වඩාත් ප‍්‍රගාඪ පුපුරා යාමකි: එය යුද්ධය හෝ විප්ලවය විය හැක. එය යුද්ධය ලෙසින් පුපුරා යන්නේ නම් එය මුලුමහත් මිනිස් වර්ගයාම මිහිතලයෙන් අතුගා දමන න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇත. එය වැලැක්විය හැක්කේ ලෝක කම්කරු පන්තිය සමග එක්ව ඔක්තෝබර් විප්ලවයේ ගමන් මග, එනම් ලෝක සමාජවාදී විප්ලවයේ ගමන් මග ගැනීමෙන් පමනකි.

මේ මග ගැනීම සඳහා කම්කරු පන්තිය දෙසට හැරීමෙන් සිසුන් සහ තරුනයන් වලකා සිටින අවිශිබම ඇතුලු ශිෂ්‍ය සංවිධාන වල සහ ව්‍යාජ-වාම පක්ෂවල ධනේශ්වර ගැති දේශපාලනය හෙලිදරව් කොට සිසුන් සහ තරුනයන්, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ ලෝක යුද-විරෝධී ව්‍යාපාරයක් තුල බලමුලු ගැන්වීමට, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සහ සමාජවාදී සමානතා පක්ෂය තම ජාත්‍යන්තර සගයන් සමග එක්ව සටන් වදී.

ලෝක යුද තර්ජනයට සහ නාසිවාදය යලි ප‍්‍රවර්ධනය කිරීමට එරෙහිව, ජර්මනියේ සසජාතශි ශාඛාව ඉහත ඉදිරි දර්ශනය මත පදනම්ව ගෙනයන ධෛර්ය සම්පන්න අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස, එරට ප‍්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන බර්ලිනයේ හුම්බෝල්ට් සරසවියේ ශිෂ්‍ය පාර්ලිමේනතුව තුල ආසන තුනක් දිනා ගැනීමට සමත් විය. එලෙසම, එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අන්ත දක්ෂිනාංශික පිලිවෙත් වලට, විශේෂයෙන්ම ආගමනික කම්කරුවන්ට පනවා ඇති රුදුරු තහංචි වලට එරෙහිව එක්සත් ජනපදයේ සසජාතශි සංවිධානය කරන ප‍්‍රසිද්ධ රැලිවලට සිය ගනන් කම්කරුවන් සහ තරුනයන් සහභාගි වෙමින් සිටී. මෙම වැදගත් වර්ධනයන් මගින් පිලිබිඹු කෙරෙන්නේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ ලෝක යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ බලගතු ශක්‍යතාවයි.

එම ආස්වාදයෙන් සහ අවබෝධයෙන් යුතුව ඔබ විශ්ව විද්‍යාලයේ හෝ අධ්‍යාපනික ආයතනයේ සසජාතශි ශාඛාවන් ගොඩ නගමින් ඓතිහාසික වශයෙන් අත්‍යවශ්‍ය කෙරී පවතින මෙම අරගලයට එක්වන ලෙස එලැඹුනු නව වසර ආරම්භයේදී අපි ඔබට ඇරැයුම් කරන්නෙමු.

Share this article: