ශ‍්‍රී ලංකා ආන්ඩුවේ ආයෝජන පනතට පලාත් සභා විරුද්ධ වෙති

Provincial councils oppose Sri Lankan government’s investment bill

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 31

නව විදේශ ආයෝජන පියවරයන් සම්බන්ධව, ශ‍්‍රී ලංකා ආන්ඩුව සහ පලාත්සභා අතර ආතතිය පසුගිය සති කිහිපය තුල ගැඹුරු වී ඇත. විදේශ ආයෝජන උනන්දු කරන නව පියවරයන් මාලාවක් ආයතන ගත කිරීම කොලඹ ආන්ඩුව විසින් යෝජිත “සංවර්ධන (විශේෂ විධිවිධාන) පනතේ” අරමුන වේ.

පනත සම්මත කෙරුනොත්, “ආර්ථික සංවර්ධනය” සම්බන්ධ සියලුම කටයුතු අලුතෙන් පත් කෙරෙන ජාතික ප‍්‍රතිපත්තිය හා ආර්ථික කටයුතු පිලිබඳ ඇමතිවරයාගේ අතේ මධ්‍යගත වනු ඇත. රටේ කවර හෝ ප‍්‍රදේශයක් “ආර්ථික සංවර්ධන ප‍්‍රදේශයක්” ලෙස ප‍්‍රකාශ කිරීමට හා එම කලාපය තුල කරනු ලැබිය හැක්කේ කිනම් කටයුතු ද යන්න තීරනය කිරීමේ බලය ඇමතිට තිබේ.

පනත දැනටමත් අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කරනු ලැබ පෙබරවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුදු පලාත්සභා නවයෙන් අටක් ම එය ප‍්‍රතික්ෂේප කර ඇත. ජනවාරි 24 වෙනිදා පනතට චන්දය විමසීමට නියමිත නැගෙනහිර පලාත්සභාව ද එයට විරුද්ධවීමට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමට පෙර පලාත්සභා විසින් අනුමත කල යුතු ය.

විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ පියවරයන් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටුම් බලයට පත්වී දෙවසරකට ආසන්න වෙමින් සිටින කොලඹ ආන්ඩුවේ අස්ථාවර ස්වභාවය පිලිබඳ තවත් ඉඟියකි.

රටේ ප‍්‍රධාන ධනේශ්වර දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂ (එජාප) යේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රීලනිප) යේ සන්ධානයක් වන ඊනියා “ජාතික සම්මුති ආන්ඩුව” 2015 ජනවාරි මාසයේ බලයට පත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් නෙරපීම පිනිස එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදු කෙරුන පාලන තන්ත‍්‍ර මාරුවකිනි. අගමැති රනිල් වික‍්‍රමසිංහ එජාපයේ නායකයා වන අතර මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රීලනිපයේ නායකයා ය.

සිරිසේන සහ වික‍්‍රමසිංහ බලයට ඒමට පෙරාතුව තේරී පත් වූ පලාත්සභාවල තවමත් බහුතරය වන්නේ රාජපක්ෂගේ ආධාරකරුවෝය. රාජපක්ෂ ශ‍්‍රීලනිප නායකයා නොතකන අතර ඔහු නිල නොවන “ඒකාබද්ධ විපක්ෂය” නමින් හඳුන්වන පාර්ලිමේන්තු කන්ඩායමක නායකයා ද වේ. නව සංවර්ධන පනත ප‍්‍රතික්ෂේප කල පලාත්සභාවලින් හතක්ම මෙහෙයවනු ලබන්නේ ශ‍්‍රීලනිපය නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසිනි.

ආන්ඩුව “පලාත්සභාවලට පනත ඉදිරිපත් කිරීමට පෙර මහ ඇමතිවරුන්ගේ තනතුරු යාවත් කාලීන කර ඔවුන්ගේ අදහස් ලබාගත යුතුව තිබුනි. එහෙම කලානම් පලාත්සභා විසින් පනත ප‍්‍රතික්ෂේප කරනු නොලබන අතර සිදු වූ දෙයින් ආන්ඩුව අපහසුවට පත් නොවනු ඇත” යි නියෝජ්‍ය මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමාව අයදින ආකාරයෙන් බදාදා පැවති මාධ්‍ය සාකච්චාවක දී කීවේ ය.

විදේශ ආයෝජන වලට එකම තැනකින් සේවා පහසුකම් සැපයීමකට එජනිස සහයෝගය දෙන නමුත් “සුපිරි බලතල සහිත ඇමතිවරයෙක් නිර්මානය කිරීමට ඉඩ නොදෙන” බව ධීවර ඇමති හා එජනිස ප‍්‍රධාන ලේකම් මහින්ද අමරවීර ද සති පතා රාවය පත‍්‍රයට ප‍්‍රකාශ කලේ ය.

ආර්ථික වර්ධනය දිරිගැන්වීම සඳහා පුලුල් බලතල නව ඇමතිට හිමිවනු ඇත. උදාහරන වසයෙන් ආයෝජන මන්ඩලය, අපනයන සංවර්ධන මන්ඩලය, තොරතුරු තාක්ෂනය සහ සිවිල් ගුවන් අධිකාරිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, ජල සම්පාදන මන්ඩලය හා සංචාරක මන්ඩලය ඇතුලු ආන්ඩුවේ ආයතන රාශියකට ඉහලින් කටයුතු කිරීමේ බලතල නව ඇමතිට දීමට පනතේ 17 වෙනි වගන්තියෙන් යෝජනා කර තිබේ.

ඇමති විසින් පත් කරනු ලබන නව ඒජන්සියේ අධ්‍යක්ෂට දැනට පලාත්සභාවල අධීක්ෂනය යටතේ පවතින ප‍්‍රාදේශීය සංවර්ධන ආයතන ඇතුලු සෙසු ආයතනයන් වෙත නියෝග නිකුත් කල හැකිය.

ආයෝජකයන් ලියාපදිංචි කිරීම ද නව අමාත්‍යංශය යටතට ගැනෙයි. ලියා පදිංචි වූ වහාම ආයෝජන සමාගමට අවශ්‍ය සියලුම ඉඩම් ලබා ගත හැකි අතර ඉඩම් අන්සන්තක කිරීමේ දී පවතින නීති වලින් සීමා පැනවීමක් සිදු නො වේ. එය පෙර නො පැවති විශේෂ පහසුකමකි.

ඔවුන් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාරික අංශයෙන් සේවයට බඳවා ගත් නිලධාරීන් වුව ද නව ඒජන්සියේ සාමාජිකයන් ට පනත යටතේ ඔවුන් කරන ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට නෛතික මුක්තිය ලැබෙයි. එවැනි ක‍්‍රියාවක් නීති විරෝධී ක‍්‍රියාවක් ලෙස සලකා වරද කරුවෙකු කෙරෙන ඒජන්සියේ කවර හෝ සාමාජිකයෙකු ට නියම කරන දඩ මුදල රජය විසින් ගෙවනු ලබයි.

නව සංවර්ධන අමාත්‍යාංශය සහ එයට හිමි වන පෘතුල බලතල, විදේශ ආයෝජනයන් ආකර්ෂනය කර ගැනීම සඳහා ආන්ඩුවේ මංමුලාසහගත උත්සාහයන් තවදුරටත් ඉස්මතු කරයි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 1978 “විවෘත ආර්ථික” පිලිවෙත් දකුනු සහ නැගෙනහිර ආසියාවේ සෙසු රටවලට පෙරාතුව ක‍්‍රියාවට දැමුන ද, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි දසක තුනක යුද්ධය නිසා ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමෙන් බොහෝ විදේශීය ව්‍යාපාරිකයන් අධෛර්ය කෙරුනි.

2009 දී යුද්ධය අවසන් වූ විට මේ හා සමාන විදේශ ආයෝජන පනතක් රාජපක්ෂ ආන්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නමුත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකින් එය වලකනු ලැබීය. එහි සමහර වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන නිසා යෝජිත පනත ජාතික ජනමත විචාරනයකින් අනුමත කරගත යුතු බව අධිකරනය නියෝග කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව එයට ප‍්‍රතිචාර දැක්වූයේ දෝෂාභියෝගයකින් අගවිනුසුරු නෙරපීමෙනි. අගවිසුරු තනතුර ආන්ඩුවේ හෙන්චයියන් අතරින් පිරවූ නමුත් ජනාධිපතිවරනය නිසා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැලකුනි. ඒ හා සමාන ව්‍යවස්ථා අර්බුදයක් දැන් මෝදුවෙමින් තිබේ.

මෙම ආතතීන් සමනය කිරීමේ උත්සාහයක් ලෙස අගමැති වික‍්‍රමසිංහ යෝජිත පනත ගැන සාකච්චා කිරීමට පලාත්සභා මහ ඇමතිවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවූ අතර සමහර සංශෝධනයන් කිරීමට පොරොන්දු විය.

ඔවුන් රාජපක්ෂ තන්ත‍්‍රය යටතේ කල ආකාරයට පලාත්සභා මෙම පියවරයන් ඉදිරියේ යටත් විය හැකි නමුත්, ගැඹුරු වන ලෝක ආර්ථික අවපාතය, අපනයන පහත වැටීම හා ඉහල යන නයවල බලපෑම යටතේ ශ‍්‍රී ලංකා ආර්ථිකය සීග‍්‍රයෙන් පහත වැටෙමින් තිබේ. 2013 ඩොලර් මිලියන 993 සිට 2015 දී 681 දක්වා අඩුවෙමින් මෑත වසර වල දී ශ‍්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.

ඔක්තෝබර් මාසයේ කල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක දී ආන්ඩුව “මහා පරිමාන සෘජු විදේශ ආයෝජන සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම කෙරෙහි යොමුවිය යුතු” හා “සාධනීය ආයෝජන පරිසරයක් නිර්මානය කිරීම ...... හා ව්‍යාපාර ආරම්භ කිරීම පිනිස වර්ධනය අත්පත් කර ගැනීමේ මාවතේ පවතින බාධක ඉවත් කල යුතු බව” අගමැති වික‍්‍රමසිංහ කීවේය.

සංවර්ධන (විශේෂ විදිවිධාන) පනත පිටුපස පවතින මංමුලාසහගත ආර්ථික දැක්ම මෙයයි. ලාබ ශ‍්‍රම “ආර්ථික සංවර්ධන කලාප” 45 පිහිටුවීම, ප‍්‍රධාන රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, කම්කරු නීති “ප‍්‍රතිසංස්කරන” කිරීමට හා “ව්‍යාපාර වර්ධනය” සඳහා පහසුකම් සම්පාදනය කිරීමට ආන්ඩුව සැලසුම් කරයි.

දකුනු සංවර්ධන කලාපය සඳහා හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් අක්කර 15,000 වෙන්කරන බව ආන්ඩුව නිවේදනය කර තිබේ. ඔවුන්ගේ ඉඩම් විදේශ ආයෝජකයන්ට දීමේ යෝජිත සැලැස්මට එරෙහිව ප‍්‍රදේශයේ දුගී ගොවීහු දහස් ගනනක් මේ මාසයේ මුල විරෝධය පල කලහ.

ආන්ඩුව එහි නව විදේශ ආයෝජන පිලිබඳ නීති සඳහා පලාත්සභා වල සහයෝගය දිනා ගැනීමේ විවිධාකාර උපාමාරු හා දොරගුලු ලා ගත් කාමර තුල කැත ගනුදෙනු කෙරෙන නමුත්, දුගී ගොවීන්ගේ අව්‍යාජ උත්සුකතාවයන් සහ දුග්ගැනවිලි පහ වී නොයනු ඇත.

Share this article: