ඊස්රායලය- පලස්තීනය හා “රාජ්‍ය දෙකේ විසඳුම”

Israel-Palestine and the “two-state solution”

2016 දෙසැම්බර් 30

ඊස්රායල්-පලස්තීන ගැටුමට “රාජ්‍ය දෙකක විසඳුමක්” සඳහා එක්සත් ජනපද සහාය හිමිවන බව නැවත තහවුරුකරමින්, රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් බදාදා කරන ලද කතාව, ප්‍රයෝජනවත් දේශපාලන ප්‍රබන්ධයක් ආරක්ෂා කිරීමකට වඩා වැඩි දෙයකි. එම ප්‍රතිපත්තිය අත හැරීම, මුලු මැද පෙරදිග කලාපය පුරා එක්සත් ජනපදයට නොඅඩු පරිද්දෙන් ඊස්රායලයට ම ද විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එන බවට එය අනතුරු ඇඟවීමකි.

බටහිර තීරයේ හා නැගෙනහිර ජෙරුසලමේ ඊස්රායල් ජනපද ව්‍යාප්ත කිරීම විවේචනය කරමින්, පසු ගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටීම වෙනුවට, තම නිෂේධ බලය පාවිච්චි නො කිරීම සම්බන්ධයෙන්, බෙන්ජමින් නෙතන්යාහුගේ ඊස්රායල් ආන්ඩුව සමග එක්ව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද නව පාලනාධිකාරය, ඔබාමා පාලනය හෙලා දැක ඇත. කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටිකයන් විශාල කන්ඩායමක් ද ඔවුන් සමග එක්වී ඇත.

එක්සත් ජනපද තීරනය ගනු ලැබුවේ, පලස්තීන ජනතාවගේ අනාගතය පිලිබඳ උත්සුකය මත නොවේ. තම කතාවේ දී කෙරී පැහැදිලි කර ඇති පරිදි, එක්සත් ජනපදය හැමවිට ම ඊස්රායලයේ ප්‍රධාන ආධාරකරුවා වී සිටියේ ය. එය දිරිමත් කරනු ලැබුවේ, “කලාපය තුල එක්සත් ජනපද අවශ්‍යතා ඉදිරියට ගෙනයාමේ” කොටසක් ලෙස, “රාජ්‍ය දෙකක විසඳුම” පවත්වා ගැනීමේ ප්‍රයත්නයෙනි.

කෙරී මෙසේ ප්‍රකාශ කලේ, සිරියාව තුල සිය තන්ත්‍ර මාරු මෙහෙයුම කඩා වැටීමෙන්, එක්සත් ජනපදයේ තත්වය සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති කොන්දේසි යටතේ, “රාජ්‍ය දෙකේ විසඳුම” නිල වසයෙන් අතහැර දැමුවහොත්, එය තවත් ප්‍රධාන පරාජයක් වනු ඇතැයි යන කනස්සල්ල නිසාය.

තමන්ගේ ම රජ්‍යයක් ස්ථාපිත කිරීම මගින් පලස්තීනුවන් සමග සාමය පිලිබඳ මායාව පවත්වා ගෙන යා යුතු බවට කෙරී හා ඔබාමා පාලනාධිකාරය උත්සුක වන්නේ එමඟින්, එක්සත් ජනපදයේ ධනපති අරාබි සහචරයන්ට එල්ල වන සමාජ හා දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීමට ඉඩ ලැබෙනු ඇති නිසාත්, තෙල්වලින් ආඪ්‍යව මැද පෙරදිග සිසාරා තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් වොෂින්ටනයට මෙම ප්‍රතිගාමී ආන්ඩු උපයෝගී කර ගැනීමට හැකිවන නිසාත් ය.

විශේෂයෙන් ම සිය කර් තව්‍යය, “එක්සත් ජනපදය ආරක්ෂා කිරීම” බව අවධාරනය කරමින් කෙරී පැවසුවේ, “රාජ්‍ය දෙකේ විසඳුමට” විකල්පය ලෙස, බටහිර ඉවුරේ සම්පූර් න ඊස්රායල් යටත්විජිත ආධිපත්‍යය පිහිටුවීම “වේගයෙන් යතාර්ථයක් වෙමින් පවතින” කොන්දේසි හමුවේය. “එසේ කිරීමෙන්, අප උනන්දුවක් දක්වන කලාපය තුල, වඩා විශාල ගැටුම් හා අස්ථාවරත්වය ඇති කරන බිහිසුනු ගතිකයක ග්‍රහනය ට ඉඩ දෙමින් , අපගේ වගකීම්වලින් අත හෝදා ගැනීමක් වනවා ඇතැ” යි ඔහු අනතුරු ඇඟවී ය.

තම පාර් ශවයෙන් ගත් විට ඊස්රායල් ආන්ඩුවට, බලයක් නැති එක්සත් ජාතීන්ගේ යෝජනාව, සරලවම නොසලකා හැරිය හැකිය. මෙම යෝජනාවට බලගැන්වීමේ යාන්ත්‍රනයක් නොමැති අතර, තම කතාවේ දී කෙරී සඳහන් කල පරිදි එය සාමාන්‍යයෙන්, එක්සත් ජනපදය ද ඡන්දය දීමෙන් වැලකී සිටි දශක ගනනාවක් ආපස්සට යන ඒ ආකාරයේ යෝජනා සමඟ එකට පෙල ගැසෙනු ඇත.

එහෙත් ඊස්රායලය එසේ නො කිරිමට තීරනය කලේ, එලඹෙන ට්‍රම්ප් පාලනාධිකාරයෙන් ප්‍රතිපත්තිමය වෙනසක්, එනම් රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය අතහැර දමනු ඇතැයි යන බලාපොරොත්තුව මතය. සිය පුද්ගලික බංකොලොත් කම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඩේවිඩ් ෆ්‍රීඩ්මාන් ඊස්රායලයේ තානාපති ලෙස පත්කිරීම මගින් ට්‍රම්ප්, සිය පාලනාධිකාරයේ යොමුව සංඥා කොට ඇත.

ඇත්ත වසයෙන් ම රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය ඉවත දැමීමක් වන, එක්සත් ජනපද තානාපති කාර් යාලය තෙල් අවිව් නගරයෙන් ජෙරුසෙලමට ගෙනයාමට සහාය පල කරන ෆ්‍රීඩ්මාන්, බටහිර ඉවුරේ ඊස්රායල් ජනපද සඳහා දීර්ග කාලයක් තිස්සේ අරමුදල් රැස්කරන්නෙකි.

එවැනි පියවරක් එක්සත් ජනපදයේ පමනක් නො ව ඊස්රායල් රාජ්‍යයේ ම ද උත්සුකයන් අනතුරේ හෙලන බවට කෙරී අනතුරු ඇඟවී ය. “ඉරානයේ කඩාකප්පල් කිරීම් වලට එරෙහි පොදු අවශ්‍යතා” මත ඊස්රායලය සමග නව සම්බන්ධතාවකට අරාබි නායකයින් සූදානම් බව සැබෑවක් වුවත්, එවැනි සහයෝගිත්වයක් සඳහා බලාපොරොත්තු රඳා පවත්නේ, “රාජ්‍ය දෙකේ විසඳුම දිසාවට තබන අර්ථවත් පියවර” මත යයි ඔහු පැවසී ය.

කෙසේ නමුත් වත්මන් ඊස්රායල් සභාග ආන්ඩුව “බොහෝ අන්තවාදී කන්ඩායම් විසින් දිරි ගන්වනු ලබන න්‍යායපත්‍රයක් සහිත, ඊස්රායල් ඉතිහාසයේ වඩාත් ම දක්ෂිනාංශික ආන්ඩුවක්” වන අතර, “ ඊස්රායල් ඉතිහාසයේ කිසිම ආන්ඩුවකට වඩා ජනපද පිහිටුවීමට එය කැපවී ඇතැ යි” කෙරී පැවසී ය.

මුලු “මහා ඊස්රායලයම” මත එවැනි තනි රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ඊස්රායලය ට ම අතිවිශාල ගැටලු ඇති කරනු ඇතැ යි කෙරී අනතුරු ඇඟ වීය. වාඩිලාගැනීම ස්ථීර ලෙස නිල වසයෙන් ස්ථාපිත කෙරුනොත්, පලස්තීන අධිකාරය සරලවම විසිරී යනු ඇත. එවිට පුලුල් විරෝධතාවන්ට හා මහජන අසහනයට ඊස්රායලය ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැ යි යන ප්‍රශ්නය මතු කෙරේ. පලස්තීනුවන් අතර වඩ වඩා ප්‍රචන්ඩකම් හා වැඩෙන අපේක්ෂා භංගත්වය, “අන්තවාදීන් සඳහා සාරවත් පදනමක් නිර්මානය කරනු ඇත.”

ඊස්රායල් ආන්ඩුව හා ඉවත් ව යන ඔබාමා පාලනාධිකාරය අතර බේදය, පශ්චාත් යුද්ධ දේශපාලන පර්යාය බිඳවැටීම පිලිබඳ තවත් ප්‍රකාශනයකි. එක්සත් ජනපදයේ පිටුබලය ලැබ, ඊස්රායල් රාජ්‍යය ස්ථාපිත කිරීම, එම පර්යායේ අත්‍යාවශ්‍යක සංරචයක් විය.

ඊස්රායල්-පලස්තීන ගැටුම සඳහා “රාජ්‍ය දෙකේ විසඳුම” වැනි එම පර්යාය හා එය පවත්වා ගැනීමට ඉතා තීරනාත්මක වී ඇති දේශපාලන සම්බන්ධතාවන්ගේ විභව බිඳවැටීමක විනාසකාරී ප්‍රතිවිපාක සම්බන්ධ අනතුරු ඇඟවීමක් කෙරීගේ කතාවට අන්තර් ගත විය.

එහෙත් සෑම ගැටුමක් හා අර්බුදයක් මෙන් ම එය ද දේශපාලන ප්‍රබන්ධ දවා අලු කිරීමේ දී සහ යටින් පවතින සාරභුත යතාර්ථය හෙලිදරව් කිරීමේ දී වටිනා අධ්‍යාපනික කාර්යභාරයක් ඉටු කර යි.

මිථ්‍යාවන් දෙකක් දැන් හෙලිදරව්වී ඇත.

පලමුව, හොලෝකෝස්ටයේ භීෂනයන්ට පසු ඊස්රායල් රාජ්‍ය පිහිටුවීම, යුදෙව් ජනතාවට සාමය හා ආරක්ෂාව තහවුරු කරනු ඇති බවට කෙරුනු ප්‍රකාශයයි. සියොන්වාදයේ ව්‍යාප්තවාදී හා යටත්විජිතවාදී ප්‍රතිපත්තිය, නිරතුරුව යුද්ධයේ අනතුර මධ්‍ය යේ ජීවත් වෙන කලාපයේ අනෙකුත් ජනතාව සමග ඊස්රායල් ජනතාව කොටවනු ලැබේ. ව්‍යාප්තවාදයේ මිල ගෙවනු ලැබ ඇත්තේ, ලෝකයේ වඩාත් ම අසමාන සමාජයන්ගෙන් එකක් නිර්මානය කරමිනි. ලියොන් ට්‍රොට්ස්කි අනතුරු අඟවා ඇති පරිදි, සියොන්වාදී රාජ්‍ය නිර්මානය කිරීම, යුදෙව් ජනයාට ලේවැකි උගුලක් බව ඔප්පු කෙරී ඇත.

දෙවැනුව, ඊනියා “රාජ්‍ය දෙකේ විසඳුම” හෙලිදරව් කර ඇත්තේ, අධිරාජ්‍ය වාදීන් සහ ධනේශ්වර අරාබි තන්ත්‍ර අතර ගිවිසුම් හා උපාමාරු ගනනාවක් හරහා පලස්තීන ජනතාවට සාමය හා ආරක්ෂාව ලබා ගත හැකි බවට සහ සියොන්වාදී ආන්ඩුවේ මර් දනය අවසන් කල හැකි බවට කෙරෙන ප්‍රකාශයේ සම්පූර් න බංකොලොත්කම යි.

කෙසේ නමුත් මෙම ප්‍රබන්ධ දෙක හෙලිදරව්වීම, මැද පෙරදිග සිසාරා යුදෙව්වන්, පලස්තීනුවන් සහ කම්කරුවන් හා ගොවීන් සඳහා විසඳුම් මාවත පෙන්නුම් කරයි: ආගමික හෝ වාර්ගික බෙදීම් මත පාදකව ශඛ්‍ය නොවන ජාතික ධනේශ්වර තන්ත්‍ර ඇතිකිරීම සඳහා නො ව, සමාජවාදී ලෝක විප්ලවයේ කොටසක් ලෙස මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා අරාබි හා යුදෙව් කම්කරුවන්ගේ එක්සත් අරගලයක් වර්ධනය කිරීම එම මාවත යි.

නික් බීම්ස්

Share this article: