ඇමරිකානු සාප්පු සංකීර්නයන් හි කුලප්පුව: පන්ති ආතතීන් පුපුරා යන තැනක

Panic at America’s malls: Class tensions at the breaking point

2016 දෙසැම්බර් 28

සඳුදා දිනයේ එක්සත් ජනපදය පුරා සාප්පු සංකීර්නයන් පහලොවකට වැඩි ගනනක පැතිර ගිය ව්‍යාකූලත්වය සහ සන්ත‍්‍රාසය, 2016 වසර අවසානය වන විට ඇමරිකාවේ සමාජ ජීවිතයේ ආතති සහගත සහ පුපුරන සුලු ස්වභාවය පෙන්නුම් කරයි.

වසරේ වඩාත්ම කාර්යය බහුල සාප්පු සවාරි දිනක ඇරඹුන මෙම කුලප්පුව අවසන් වූයේ, සමූහ වශයෙන් පාරිභෝගිකයින් ඉවතට ගෙනයාම, දුසිම් ගනන් අත්අඩංගුවට ගැනීම, නෙයෙකුත් හානි සහ සම්පූර්න සාප්පු සංකීර්නයන්ම පොලිස් අත්අඩංගුවට ගැනීමෙන්ය.

සන්නද්ධ පොලීසිය, ප‍්‍රධාන වශයෙන් කම්කරු පන්තික ප‍්‍රදේශ වල පිහිටි සාප්පු සංකීර්න ගනනාවක තරුනයින් ඉවත් කලේය. තුවක්කු සහ හමුදා හිස් ආවරන වලින් සන්නද්ධ වූ පොලිසිය, තරුන කන්ඩායම් මැඩලීමට පැමිනෙන විට, වෙලඳසැල් වල රැස්ව සිටි අය කලබලයට පත්ව සී සීකඩ දිව යන ආකාරය වීඩියෝ දර්ශන මගින් දැකගත හැකි විය.

තරුන පිරිස් සැලසුම් සහගත ලෙස ඒකරාශී කල බවට සලකුනක් නැතත්, වෙන් වෙන් සිදුවීම් එකට එකතු කල විට, අපූර්ව රටාවක් මතුවේ.

සාප්පු සංකීර්නයන්හි තදබදය වැඩිම දහවල් කාලයේදී සිය ගනනක් තරුනයන් අතර සමාජ මාධ්‍ය ජාලයන්හි පලවූ තොරතුරු අනුව, “ගුටි කෙලි” පටන් ගත්තේය. ඔවුන්ගෙන් බොහොමයක් උසස් පාසල් වල ශීත ඍතු නිවාඩුව ගත කරමින් සිටි අයයි. පැමිනෙන පිරිස් ටිකෙන් ටික ඉහල යාමට පටන් ගත්තේය.

ආරංචි කටින් කට පැතිර ගිය අතර භීතිය රජ කිරීමට පටන් ගත්තේය. වෙඩි තැබීමේ සිද්ධි පිලිබඳ දූෂමාන ආරංචි වේගයෙන් පැතිරිනි. කලබලයට පත්වූවන් විශාල ශබ්ද වෙඩි හඬවල් ලෙස විස්තර කලේය. “තුවක්කුවක්!” යනුවෙන් මිනිසුන් කෑ ගසා ඇති බවට බොහෝ වාර්තා පල විය. දහස් ගනන් මිනිස්සු, තම වාහන වලට ගොඩවී ආරක්ෂාව ලැබීම සඳහා සාප්පු සංකීර්න වලින් පලා යාමට තැත් කිරීමේදී තුවාල ලැබූහ.

පුටුවක් පොලවේ ගැසීමෙහි ශබ්දය වෙඩි තැබීමක් ලෙස වරදවා වටහා ගැනීමෙන් නිව් ජර්සි, එලිසබත් හී සාප්පු සංකීර්නයක ඇති වූ “අවුල් සහගත භීතියක් සහ සියල්ලෝම එක වර සීසී කඩ දිව යාම” ගැන ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තා පල විය. පොලීසිය සාප්පු සංකීර්නය වටකරමින් එයට ඇතුලු වී සිදු කල ඉවත් කිරීම නිසා අට හැවිරිදි සහ දොලොස් හැවිරිදි දරුවන් දෙදෙනෙකු තුවාල ලැබූහ.

පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලැබූ නිව්යෝර්ක් හී ගාඩ්න් සිටි හි මිනිසුන් රැසක් වෙඩි තැබීමක් සිදුවෙමින් ඇතැයි වරදවා වටහා ගනිමින් පොලීසියට දැන්වීමෙන් පසු “කලබැගෑනියක්” යයි ඇසින් දුටු අයගේ ප‍්‍රකාශ පල විය. මිනිස්සු “කෑගසමින් සාප්පු සංකීර්නයෙන් ඉවතට දිව ගියහ. ඇතැම් අය සාප්පු සංකීර්නය තුල යමෙක් තුවක්කුවක් ඇතිව සිටි බව කියා සිටීමත් සමග සිය ජීවිත ආරක්ෂාව ගැන බියක් පැතිර ගියේ” යයි වර්ජිනියා හි ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති සංවිධානයක් වාර්තා කලේය.

පොලීසිය ටෙනසී ප‍්‍රදේශයේ මෙම්පිස්හි සාප්පු සංකීර්න දෙකක් හිස් කල අතර ගුටිබැට හුවමාරුකර ගැනීම් හා වෙඩි තැබීම් පිලිබඳ චෝදනා මත පසුව තරුනයන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත්තේය. සීඑන්එන් වාර්තාවට අනුව ටෙනසී ප‍්‍රදේශයේ චැටනූගා හීදී තරුනයන් රතිඤ්ඤා පත්තු කර “භීතියක්” ඇති කලේය. ඔහියෝ ප‍්‍රදේශයේ බ්රෙන්ට්වුඩ් කොට්ඨාශයෙන් පිටත ක්ලීව්ලන්ඩ් හීදී පොලීසිය සාප්පු සංකීර්නයක් වසා දැමූ අතර “වෙනත් කලහකාරී අයෙකු සමග ඔට්ටු වෙමින් සිටි නිලධාරියෙකුට පහර දීමට උත්සහ කිරීම නිසා” තරුනයෙකු අත් අඩංගුවට ගත්තේය. පිරිස් විසුරුවා හැරීමට පොලීසිය ගම්මිරිස් විදින තුවක්කු යොදා ගත්තේය.

දුප්පත් කමින් බොහෝකොටම පීඩාවට පත්ව ඇති නගරයක් වන කනෙක්ටිකට්හි හාට්ෆෝඩ් හී අවුරුදු 14 සිට 16 දක්වා වයස් වල පසුවන තරුනයන් පස් දෙනෙක් ආසන්නයේ පිහිටි මැන්චේස්ටේර් හි සාප්පු සංකීර්නයකදී අත්අඩංගුවට ගත්තේය. එහිදී නිලධාරීන් ආසන්න අධිකරන බල ප‍්‍රදේශයෙන් අතිරේක සහය ඉල්ලා සිටි අතර රැස්ව සිටි සිය ගනන් තරුන පිරිස් විසුරුවා හැරීමට හදිසි ප‍්‍රහරයක් එල්ල කලේය. මීට සමාන සිද්ධීන් ෆාමින්ග්ටන්, කනෙක්ටිකට්; අව්රෝරා, ඉලිනොයිස්; ෆොර්ට් වෝත්, ටෙක්සාස්; සිරකියුස්, නිව් යෝර්ක්; මොන්රෝවිල්, පෙන්සිල්වේනියා; ටෙම්පි, ඇරිසෝනා; ඉන්දියානාපොලිස්, ඉන්දියානා හී සිදු විය. එමෙන්ම තරුනයන් 500 කට වඩා වැඩි ගනනක් වෙනත් තරුනයෙකු රඳවා ගැනීමට උත්සාහ ගනිමින් සිටියදී එය “සේවයෙන් බැහැරව සිටි පොලිස් නිලධාරියෙකු යටත්කරගත්” බව පොලීසිය වාර්තා කල කොලරාඩෝහි අව්රෝරා ප‍්‍රදේශය ද මීට ඇතුලත්ය.

අවුරුදු විසි පහක කාලයක් තුල සිදුවූ වඩාත්ම මාරක වෙඩිතැබීම් රැල්ලෙන් චිකාගෝ නගරය සෙලවී ගිය අතර එමගින් එකොලොස් දෙනෙකු මියගොස් 53 දෙනෙක් තුවාල ලැබීය. නත්තල් දිනයට පෙර දා සහ නත්තල් දිනයේ එම සිදුවීම් වාර්තා විය. ඩීඑන්ඒඉන්ෆෝ වාර්තා කරන ආකාරයට “මෙම සිදුවීම් පසුපස ඇත්තේ සමාජ සේවාවන් කැපීම, විරැකියාව, බලාපොරොත්තු විරහිතභාවයේ විසකුරු සම්මිශ‍්‍රනයකි.”

සාප්පු සංකීර්න කැලඹීම් වලට පැය කිහිපයකට පෙර සහ විනාශකාරී චිකාගෝ සති අන්තයෙන් පසුව ඔබාමා සමග ඔහුගේ හිටපු මැතිවරන ව්‍යාපාර කලමනාකරු වන ඩේවිඩ් ඇක්සල්රොඩ් විසින් සීඑන්එන් ජාලයේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී. බොහෝ සිනා සහ ඉච්ඡා බස් මධ්‍යයේ ඔබාමා සිය ජනාධිපති ධූර කාලය අගැයු අතර සමාජ සාධාරනත්වය උදෙසා සටන් කරන අයෙක් ලෙස තෙමේම පෙනී සිටියේය. “මම ජනාධිපතිවෙලා හිටපු සම්පූර්න අවුරුදු අටක කාලය තුල ඇමරිකාවේ ගරුත්වය හැම ආකාරයෙන්ම එසේම තියෙනවා කියල මම තර්ක කරනවා.” ඔහු ප‍්‍රකාශ කලේය.

දෙසැම්බර් 16දා පැවති ඔහුගේ වසර අවසාන මාධ්‍ය හමුවේදී ඔබාමා, “පසුගිය අට වසර තුල අප කෙතරම් නම් දුරක් පැමින ඇත් ද? බොහෝ මිනුම් වලට අනුව අපේ රට, අප පටන්ගන්නා කාලයේ තිබූනාට වඩා ශක්තිමත් සහ සමෘද්ධිමත්. එය මගේ අනුප‍්‍රාප්තිකයා වෙනුවෙන් තබා යාමට මා ආඩම්බර වන තත්වයක්.” යයි පැවසීය.

සිය පාලනය අවසාන වෙමින් තිබියදී ඔබාමා ද සංස්ථාපිත මාධ්‍ය ද විසින් අඳිනු ලබන ඇමරිකාවේ අලංකාර චිත‍්‍රය, සාප්පු සංකීර්න සිදුවීම් මගින් බොරුවක් බව එලිදරව් කෙරේ. එකිනෙකින් හැතැම්ම සියගනනක් ඈතින් පිහිටා ඇති එකිනෙකට වෙනස් ස්ථාන පහලොවක සිදුවූ එම කුඩා කැරලි, ඇමරිකාව සම්බන්ධයෙන් යම් කිසිවක් ගැඹුරෙන්ම වැරදී තිබෙන බව පෙන්නුම් කරයි.

කොලරාඩො ප‍්‍රදේශයේ අවුරෝරාහි සඳුදා කලහය ඇතිවූයේ, 2012 ජුලි මාසයේ ජේම්ස් හෝම්ස් විසින් මිනිසුන් දොලොස් දෙනෙක් ඝාතනය කොට 70 දෙනෙකුට තුවාල සිදු කල සාප්පු සංකීර්නයේදීම ය. ඔබාමා සිය ධුරයේ වැඩ බාර ගත් දින පටන් පාසල් වල සිදු කල වෙඩි තැබීම් වලින් පමනක් 122ක් මිය ගොස් ඇත. ආන්ඩුව ඊට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, පුහු කයිවාරු සහ පොලිස් මිලිටරීකරනය සමගිනි.

තමන්ගේ ක්ෂනික ආරක්ෂාව පිලිබඳ උත්සුකයන්, සාප්පු සවාරියේ යෙදෙමින් සිටි අය පලායාමට පොලඹවනු ලැබුන ද යටින් දිවෙන නොසංසුන්තා, ඇමරිකානු ජීවිතයේ සියලු අංශ වසාගෙන ඇති ගැඹුරු ආර්ථික අසමානතාව විසින් හසුරුවන සමාජ සබඳතා තුල මුල් බැසගෙන ඇත.

සියලු මානව සබඳතා භාන්ඩ විකිනීම සහ මිලදී ගැනීම හරහා බේරුම් කෙරෙන්නේය යන රුදුරු සත්‍යය යට ගැසීම මගින් මාධ්‍ය, නිවාඩු සමය එලඹෙද්දී ඇතිවූ ප‍්‍රචන්ඩත්වය සහ පැතිර ගිය භීතිය, වතාවතක් බවට පත් කරයි. නත්තල් සමයේදී මෙම ක‍්‍රියාවලිය උත්සන්න තත්වයකට පත් වෙද්දී -සිල්ලර වෙලඳාමේ ලාභය හෝ පාඩුව තීරනය කරන කාලය- එමගින් නිර්මානය කෙරෙන පොදු ආතතිය සහ ඉච්ඡා භංගත්වය සමග, මානව සම්බධතා වෙලඳ භාන්ඩකරනය කිරීම ධනවාදය යටතේ ඇති සියලු සමාජ සම්බධතා වලට අත්‍යවශ්‍ය වේ.

ඇමරිකා එක්සත් ජනපදය යනු, මුල්‍ය කතිපයාධිකාරීත්වයක් විසින් ආර්ථික සහ දේශපාලනික යන දෙවිධියෙන්ම පාලනය කරනු ලබන රටකි. මිනිසුන්ගෙන් අති මහත් බහුතරයකට ඔවුන්ගේ සමාජ අවශ්‍යතා ප‍්‍රකාශ කිරීමට කිසිදු මාර්ගයක් නොමැත. ව්‍යාපාර විසින් පාලනය කෙරෙන මාධ්‍ය, මහ ව්‍යාපාරික පක්ෂ දෙක සහ වෘත්තීය සමිති ඇතුලු සියපු නිල ආයතන, සමාජ විරෝධතාව හිරකිරීමට සහ ව්‍යාපාරික ලාභ ඉහල නැංවීමට කැපවී සිටී.

වයස අවරුදු පහලොවක් සහ ඊට අඩු පාසැල් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අඩක්ම, ඇමරිකාව යුද්ධයක පැටලී නොසිටි දිනයක කිසිදා ජීවත් වී නොමැත. යුද්ධයට, දරිද්‍රතාවට, රාජ්‍ය සෝදිසි කිරීම් වලට සහ සිය සම්පූර්න දැනුවත් ජීවිත කාලයම අරක්ගෙන සිටින පොලිස් ප‍්‍රචන්ඩත්වයට විරුද්ධ, දේශපාලන සංස්ථාපිතය විසින් සම්පූර්නයෙන් අතහැර දමන ලද, ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා තේරීමට චන්දය දිය හැකි වයසේ පසු වූ මෙම තරුනයෝ, “සමජවාදියෙකු” යයි තෙමේම ප‍්‍රකාශ කර ගත් බර්නි සෑන්ඩර්ස්ට, හිලරි ක්ලින්ටන්ට වඩා නවයට එකක් වශයෙන් පරතරයක් ඇතිව චන්දය ප‍්‍රකාශ කලෝය.

ඇක්සල්රොඩ් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔබාමා, ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම ප‍්‍රතිගාමී පාලනය බවට පත්වීමේ සහතිකයක් ද සහිත නව ට‍්‍රම්ප් පරිපාලනයේ ස්වභාවය ගැන වචනයක්වත් කතා නොකලේය. සති තුනකට පසුව, ඉවැන්ජලිකයන්, ජෙනරාල්වරුන්, ෆැසිස්ට්වාදීන් සහ සමීප ඥාතීන්ගෙන් සැදුම්ලත් ට‍්‍රම්ප් සහ ඔහුගේ බිලියනපතියන්ගේ දේශපාලන කල්ලිය, විධායක අංශය පාලනය කරනු ඇත. එලඹෙන පරිපාලනය, න්‍යෂ්ටික අවි තරඟය උත්සන්න කරන බවටත්, සමාජ ආරක්ෂනය, සෞඛ්‍ය, සහ රාජ්‍ය අධ්‍යාපනයට පහර ගැසීම, සහ මිලියන ගනනක් සංක‍්‍රමනික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් රටින් නෙරපීමටත් පොරොන්දු වී ඇත.

මේ නිවාඩු සමයේ කම්කරුවන්ගෙන් අති මහත් බහුතරයකගේ පංගුව, ඔබාමාගේ ස්වයං තෘප්ත සහ නරුම ශුභවාදයටවත්, කොටස් වෙලඳ පොලෙහි අන්ධ සාර්ථකත්වයටවත් දායක වූයේ නැත. 2017 එලඹෙමින් තිබියදී සඳුදා දින ඇමරිකානු සාප්පු සංකීර්න වල සිදුවීම් සලකුනු කරන්නේ, ගැඹුරු සමාජ කම්පනය ගැන ඉඟියකි.

වසර අවසාන වන විට ඇමරිකාව තුල බලපවත්නා මනෝභාවය, කම්පනය සහ තවමත් දේශපාලන ප‍්‍රකාශනයක් අත් කර නොගත්, මතුව එන සටන්කාමීත්වක් සමග එක් වූ ඉච්ඡා භංගත්වගෙන් යුතු එකකි. අවශ්‍ය වන්නේ පැමිනෙමින් තිබෙන සමාජ පිපිරුම, විප්ලවීය සහ සමාජවාදී දිශාවකට හැරවීම සඳහා මූලිකත්වය ගන්නා කම්කරු පන්ති ව්‍යාපාරයකි.

එරික් ලන්ඩන්

Share this article: