සමාජවාදය සහ රුසියානු විප්ලවයේ ශත සංවත්සරය: 1917-2017

Socialism and the centenary of the Russian Revolution: 1917-2017

2017 ජනවාරි 3

1. ලෝක ධනවාදය හමුවේ අවතාරයක් හොල්මන් කරයි: ඒ රුසියානු විප්ලවයේ අවතාරය යි.

මෙම වසර, පෙබරවාරි විප්ලවයෙන් ඇරඹී ඔක්තෝබරයේ “ලොව හෙල්ලූ දස දවසින්” කූටප‍්‍රාප්තියට පැමිනි 1917 ලෝක-ඓතිහාසික සිදුවීම් දාමයෙහි -තාවකාලික ආන්ඩුව පෙරලා දමා ව්ලැඩිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ශෙවික් පක්ෂය රුසියාව තුල දේශපාලන බලය අත්පත් කරගැනීමෙහි- ශත සංවත්සරය සලකුනු කරයි. මිලියන 150 ක ජනතාවක් සහිත රටක් තුල ධනවාදය පෙරලා දැමීම හා ඉතිහාසයේ පලමු කම්කරු රාජ්‍යය පිහිටුවීම විසි වැනි සියවසේ වැදගත් ම සිදුවීම විය. එය, යන්තම් 70 වසකට ප‍්‍රථම 1847දී කාල් මාක්ස් සහ ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල ප‍්‍රකාශයට පත් කරන ලද ඓතිහාසික ඉදිරිදර්ශනය භාවිතයේදී සනාථ කලේ ය.

අවුරුද්දක කාලයක් තුල මිලියන සංඛ්‍යාත ගොවි ජනතාව තමන් වටා රැලි කරගත් රුසියානු කම්කරු පන්තියෙහි නැගිටීම, අර්ධ-වැඩවසම් පරමාධිකාරී රාජවංශයෙහි සියවස් ගනනක් පැවැති පාලනය අවසානයකට ගෙන ආවා පමනක් නො වේ. කම්කරු සභා (සෝවියට් සභා) මත පදනම් වූ ආන්ඩුවක් ස්ථාපිත කරමින් “සාර්ගේ සිට ලෙනින් දක්වා” රුසියාව පිනූ අසාමාන්‍ය පිම්ම, ධනවාදය හා අධිරාජ්‍යවාදය විසින් ලොව සෑම කොටසක ම පීඩාවට පත් කරනු ලැබූ කම්කරු පන්තියේත් පොදුජනයාගේත් විඤ්ඤානය ඉහල නැංවූ ලෝක සමාජවාදී විප්ලවයක ආරම්භය සලකුනු කලේ ය.

පලමු ලෝක යුද්ධයේ භයංකර සංහාරය මැද පිපිර ගිය රුසියානු විප්ලවය, ධනවාදයෙන් ඔබ්බෙහි, සූරාකෑමෙන් හා යුද්ධයෙන් තොර ලෝකයක් නිර්මානය කිරීමේ හැකියාව සනාථ කලේ ය. 1917 හා ඉන් ඉක්බිති සිදුවීම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානයට ගැඹුරින් කාවැදී, ලොව සිසාරා ශීඝ‍්‍රයෙන් පැතිර ගිය විසිවැනි සියවසේ විප්ලවවාදී අරගල සඳහා අත්‍යවශ්‍ය දේශපාලන ආවේශය සම්පාදනය කලේ ය.

2. බොල්ශෙවික් පක්ෂය 1917 දී බලය සඳහා වූ සිය අරගලය පාදක කලේ ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් මත ය. අවසාන විග‍්‍රහයේ දී, රුසියාව තුල සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික පදනම මුල් බැස පැවතියේ, ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියෙහි ජාත්‍යන්තර පරස්පරවිරෝධයන් තුල - අන් සියල්ලට වඩා, යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය සහ නූතන ලෝක ආර්ථිකයෙහි අතිශයින් ඒකාග‍්‍රිත ස්වභාවය අතර ගැටුම තුල බව එම පක්ෂය හඳුනාගත්තේ ය. එහෙයින් රුසියානු විප්ලවයේ ඉරනම රඳා පැවතියේ, සෝවියට් රුසියාවේ දේශසීමාවන්ගෙන් එපිටට කම්කරු බලය ව්‍යාප්ත වීම මත ය. ට්‍රොට්ස්කි ඉතා පැහැදිලි ව විස්තර කල පරිදි:

සමාජවාදී විප්ලවය ජාතික සීමාවන් තුල පරිපූර්නත්වයට පත් වීම ගැන සිතීමට වත් නොහැකි ය. ධනේශ්වර සමාජ අර්බුදයෙහි ප‍්‍රධාන හේතූන් අතර එකක් වන්නේ එය විසින්, නිර්මානය කෙරුනු නිෂ්පාදන බලවේග, ජාතික රාජ්‍යයේ රාමුව සමග තවදුරටත් සමහන් කල නොහැකි වීම යි. එක් අතකින් අධිරාජ්‍යවාදී යුද්ධ ද අනිත් අතින් ධනේශ්වර යුරෝපා එක්සත් ජනපදයක් පිලිබඳ මනෝරාජ්‍යය ද මේ තුලින් පැනනගී. සමාජවාදී විප්ලවය ජාතික තලයෙහි ඇරඹී, ජාත්‍යන්තර තලයෙහි දිගහැරී, ලෝක තලයෙහි පරිසමාප්ත වෙයි. එනයින්, වචනයේ වඩා අලුත් හා පෘථුලතර අරුතකින් සමාජවාදී විප්ලවය, නොනවතින විප්ලවයක් බවට පත් වේ: එය පරිපූර්න වන්නේ අපේ සමස්ත ග‍්‍රහලෝකය පුරා ම නව සමාජය ලබන විජයග‍්‍රහනයෙන් පමනි. [The Permanent Revolution නොනවතින විප්ලවය (ලන්ඩන්: නිව් පාක් පබ්ලිකේශන්ස්, 1971), 155 පිට]

3. බොල්ශෙවික් පක්ෂයේ, සෝවියට් සංගමයේ සහ විසිවැනි සියවසේ සමාජවාදී විප්ලවයෙහි ඉරනම රඳා පැවතියේ, අශමනීය ඉදිරිදර්ශන දෙකක් අතර පැවැති ගැටුමෙහි ප‍්‍රතිඵලය මත යි: ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් 1917 දී හා සෝවියට් සංගමයේ මුල් වසරවල දී ඉදිරිපත් කරන ලද විප්ලවවාදී ජාත්‍යන්තරවාදය සහ සෝවියට් කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත් ස්ටැලින්වාදී නිලධරයේ ප‍්‍රතිගාමී ජාතිකවාදී වැඩපිලිවෙල ඒ දෙකයි. සෝවියට් සංගමය තුල ක‍්‍රියාත්මක වූ විනාශකාරී ආර්ථික පිලිවෙත්වලටත්, දසක ගනනාවක නිලධාරීවාදී ආඥාදායකත්වය හා දුෂ්පාලනයට පසු 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් කූටප‍්‍රාප්තියට පැමිනි, කම්කරු පන්තියේ ව්‍යසනකාරී ජාත්‍යන්තර පරාජයන්ටත් යටින් පැවතියේ “තනි රටේ සමාජවාදය” පිලිබඳ ස්ටැලින්ගේ ප‍්‍රතිමාක්ස්වාදී ඉදිරිදර් ශනයයි.

එහෙත් සෝවියට් සංගමයෙහි අවසානය රුසියානු විප්ලවය හෝ මාක්ස්වාදී න්‍යාය අවලංගු කලේ නැත. සත්තකින් ම, විප්ලවය ස්ටැලින්වාදීන් විසින් පාවාදෙනු ලැබීමට එරෙහිව ගෙන ගිය අරගලය තුල දී ලියොන් ට්‍රොට්ස්කි, “තනි රටේ සමාජවාදය” පිලිබඳ ජාතික වැඩපිලිවෙලෙහි ප‍්‍රතිවිපාක පෙරදැක තිබිනි. ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් 1938 දී පිහිටුවනු ලැබූ හතරවැනි ජාත්‍යන්තරය, සෝවියට් සංගමය බිඳවැටීම වලක්වාගත හැක්කේ ස්ටැලින්වාදී නිලධරය පෙරලා දැමීමෙන්, සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි තහවුරු කිරීමෙන් හා ලෝක ධනවාදය විප්ලවවාදී ව පෙරලා දැමීම සඳහා අරගලය පුනර්ජීවනය කිරීමෙන් ම පමනක් බවට අනතුරු ඇඟවී ය.

4. අධිරාජ්‍යවාදී නායකයින් හා ඔවුන්ගේ දෘෂ්ටිමය හවුල්කරුවන් 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය විසුරුවා හැරීමට ප‍්‍රතිචාර දැක්වූයේ ප‍්‍රීති ප‍්‍රමෝදයෙනි. ඔවුන්ගෙන් එකෙකුදු මේ සිදුවීම පෙරදැක නොතිබුනේ ය යන කරුන, ඔවුන් එහි “නොවැලැක්විය හැකි බව” නිවේදනය කිරීමෙන් වැලකූයේ නැත. තමන්ගේ නාසයෙන් ඔබ්බට දුර නොපෙනුනු ඔවුහු තම පන්ති ගර්වයට සරිලන පරිදි විසි වැනි සියවස යලි අර්ථකථනය කරන න්‍යායයන් හිටිවන නිර් මානය කලෝ ය. පාලක ප‍්‍රභූවේත් ඔවුන්ගේ ශාස්ත‍්‍රාලීය කුලීකරුවන්ගේත් සියලු ස්වයං මුලාකාරී මනස්ගාත හා මුග්ධත්වය සිය ඉහලම ප‍්‍රකාශනය සොයාගත්තේ ෆ‍්‍රැන්සිස් ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය” පිලිබඳ ප‍්‍රවාදය තුල ය. ඔක්තෝබර් විප්ලවය ඉතිහාසයෙහි සාමාන්‍ය, එනිසා ම සදාකාලික ධනේශ්වර ගමන් මගෙන් ඉවතට සිදුවුනු අහඹු විගමනයක් (ඉවත යාමක්) බව ඔහු තර්ක කලේ ය. ධනවාදී ආර්ථිකයේත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත් ස්වරූපයෙන් මනුෂ්‍ය වර්ගයා වර්ධනයේ ඉහල ම හා අවසාන අදියරට අවතීර්නව සිටිති. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, කම්කරු බලය හා ලෝක ආර්ථිකය සමාජවාදී අයුරින් ප‍්‍රතිසංවිධානය කිරීම මත පදනම් වූවක් තියා, ධනවාදය සඳහා විකල්පයක් පිලිබඳ මොන ම සිතිවිල්ලක් වත් තිබිය නොහැකි ය.

යාවජීව ස්ටැලින්වාදියකු වූ එරික් හොබ්ස්බෝම්, ෆුකුයාමාගේ අනාවරනය අනුමත කරමින්, ඔක්තෝබර් විප්ලවය ද විසිවැනි සියවසේ විප්ලවවාදී හා ප‍්‍රතිවිප්ලවවාදී නැගිටීම් ද අවාසනාවන්ත අහම්බයන් හැටියට ඉවත දැමී ය. පලමු ලෝක යුද්ධය පුපුරා ගිය 1914 සහ සෝවියට් සංගමය විසුරුවා හල 1991 අතර පැවතියේ, නොමග යැවුනු “අන්තයන්ගේ යුගය” යි. “කෙටි විසි වැනි සියවස” සමන්විත වූයේ එයිනි. අනාගතයේ කුමක් සිදු වනු ඇද්ද යන්න හෝ විසි එක් වැනි සියවස කෙටි හෝ දිගු වේ ද යන්න කීමට හොබ්ස්බෝම් ඉදිරිපත් නො වී ය. එක් දෙයක් ගැන පමනක් ඔහු නිශ්චිත විය: 1917 සිදුවීම්වලට මොන ම අන්දමකින් හෝ සංසන්දනය කල හැකි සමාජවාදී විප්ලවයක් යලි කිසි දිනක සිදු වනු නැත.

5. ෆුකුයාමා “ඉතිහාසයේ අවසානය” නිවේදනය කොට අවුරුදු විසි පහක් ගත ව තිබේ. හිතේ හැටියට ලෝකය කොල්ල කෑමට ඉඩ දුනහොත් ධනවාදයට සාක්ෂාත් කරගත හැක්කේ කුමක්දැයි ප‍්‍රදර් ශනය කිරීමට සමාජවාදී විප්ලවයේ තර් ජනයෙන් විමුක්තිය ලදැයි කියන ලද, පාලක පන්තියට අවස්ථාවක් හිමි විය. එහෙත් මේ නාඩගම්වල ප‍්‍රතිඵලය කුමක් ද? කෙටි ජයග‍්‍රහන ලැයිස්තුවකට පහත දැක්වෙන දෑ ඇතුලත් වනු ඇත: ලෝක ජනගහනයෙන් අතිශය අල්පතර කොටසකගේ දූෂිත පොහොසත් වීම, මහා පරිමාන අසමානතාව හා පුලුල් දරිද්‍රතාව, මිලියන සංඛ්‍යාත ජීවිත බිලිගත් නිමක් නැති ආක‍්‍රමනකාරී යුද්ධ, රාජ්‍යයේ මර් දනකාරී ආයතන නිර් දය ලෙස තර කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රීය පාලන ආකෘතීන්ගේ දිරාපත් වීම, ඝාතන හා වධබන්ධන අධිරාජ්‍යවාදී විදේශ පිලිවෙතෙහි මූලික උපකරන හැටියට ආයතනගත කිරීම හා සංස්කෘතියේ සෑම අංශයක ම පොදු හායනය.

6. සෝවියට් සංගමයේ වැටීමෙන් සියවස් කාලකට පසු සමස්ත ලෝකය ම, ප‍්‍රගාඪ ආර්ථික, දේශපාලනික හා සමාජීය අර්බුදයකට මුහුනපා සිටින බව ප‍්‍රතික්ෂේප කල නොහැකි ය. පසුගිය සියවසේ නොවිසඳුනු පරස්පරවිරෝධතා සියල්ලක් ම පුපුරනසුලු බලයකින්, ලෝක දේශපාලනයෙහි මතුපිටට යලි කඩාවදිමින් තිබේ. 1917 සිදුවීම් අලුත් හා තියුනු සමකාලීන අදාලත්වයක් අත් කර ගනිමින් සිටී. ගිනිය නොහැකි තරමේ ප‍්‍රකාශන සංඛ්‍යාවක් තුල වික්ෂිප්ත ධනේශ්වර විචාරකයෝ, 2017 දී ලෝකය සහ 1917 දී ලෝකය අතර පවත්නා සමාන්තරයන්ට අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිති.

“කැරලිකාරීත්වය යලි පැමින ඇතැ” යි ඉකොනොමිස්ට් සඟරාවේ ඒඩ්‍රියන් වූල්ඩ්‍රිජ්, නව වසර පිලිබඳ එහි පූර්ව දර්ශනය තුල අනතුරු අඟවයි. “රුසියානු විප්ලවය නිපදවූ සමානකම්, ලෝකයට සැනසිලිදායක නොවන තරම් සමීප ය.” ඔහු මෙසේ ලියයි: “මෙය වූ කලි කාලකන්නි ශතසංවත්සරයන්ගේ අවධියකි. මුලින් ම, 2014 දී ලිබරල් පර්යාය සුනුවිසුනු කල පලමු ලෝක යුද්ධයේ ශතසංවත්සරය පැමිනියේ ය. ඉන් පසු 2016 දී මිලිටරි ඉතිහාසයේ වඩාත් ලේ වැකි ගැටුම්වලින් එකක් වූ සොම් සටනෙහි (Battle of the Somme) සංවත්සරය යි. 2017 දී ලෙනින් රුසියාවේ බලය අල්ලාගෙන අවුරුදු 100 සපිරෙයි.”

ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දේවාරෝපනය ලෙස තමන් කලෙක හරසර දැක්වූ එක්සත් ජනපදය දැන් “අසමත් රාජ්‍යයක්” හැටියට හඳුන්වන්නේ අනෙකෙකු නො ව ෆුකුයාමා ම ය. “ඇමෙරිකානු දේශපාලන පද්ධතිය දුෂ්‍යාධ්‍ය බවට පත් ව ඇති” අතර එය “මෑත දසක කිහිපය තිස්සේ ජරාජීර්න වී ඇත. ඒ, මනා ව සංවිධානය වූ ප‍්‍රභූන් තම අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීම සඳහා, ක‍්‍රියාකාරීත්වය බිඳවැටී ඇති තන්ත‍්‍රය උපයෝගී කර ගනිද්දීය” යි ඔහු ලියයි. අවසාන වසයෙන් ෆුකුයාමා මෙසේ අනතුරු අඟවයි: “අප ජීවත් වෙන්නේ පරම්පරාවකට පෙර කොමියුනිස්ට්වාදයේ බිඳවැටීම සමග නිසි කාලයට සංසන්දනය කෙරෙනු ඇති දේශපාලන විදාරනයක් තුල වීමේ ඉඩකඩ [අපට] බැහැර කල නොහැකි ය.”

7. ලෝක ධනවාදයට, 2016 වසර, අපායගත වසරක් විය. දෙවැනි ලෝක යුද්ධයේ අවසාන වසරවල හා එයින් ඉක්බිති ස්ථාපනය කෙරුනු ලෝක දේශපාලනයේ සියලු ව්‍යුහයන් බිඳවැටීමේ උච්ච අදියරක පවතී. ආර්ථික ගෝලීයකරනයෙහි දෘඪතර ක‍්‍රියාවලීන් සහ ජාතික රාජ්‍යයෙහි සීමා බන්ධන අතර පරස්පර විරෝධය, ලෝක දේශපාලනය ධාවනය කරයි. 2016 වූ කලි, බ්‍රෙක්සිට් ඡන්දය හා දක්ෂිනාංශික ජාතිකවාදී පක්ෂවල වර්ධනය තුල ප‍්‍රකාශයට පත්, යුරෝපා සංගමයේ වේගවත් වන කඩාවැටීමේ වර්ෂය විය.

පසුගිය වසර, තුන් වැනි ලෝක යුද්ධයක් ඇති වීමේ විභවය හා හැකියාව පවා බොහෝ පොත්, සඟරා හා පුවත්පත්වල විවෘත ව ම සාකච්ඡා කෙරෙන තරමට මිලිටරි ආතතීන්ගේ නිර්දය තීව‍්‍ර වීම ද අත්දුටුවේ ය. ලොව සිසාරා අපමන කලාපීය ආතතීන් එන්න එන්න ම ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් අතර ඍජු හා විවෘත ගැටුම් බවට පරිවර්තනය වෙමින් තිබේ. කවුරු කා සමග සටන් වදී දැයි නිශ්චිත ව කීමට කිසිවකුටත් බැරි ය. එක්සත් ජනපදය පලමුව චීනයට එරෙහි ව පියවර තබන්නේ ද නැතහොත් එම ගැටුම රුසියාව සමග ගනුදෙනු බේරාගන්නා තුරු කල් තැබිය යුතු ද? ඇමෙරිකානු රාජ්‍යයෙහි ඉහල ම තලයේ කටුක විවාදයට ද ගැටුමට ද විෂය වී ඇත්තේ නිශ්චිත ව ම මේ ප‍්‍රශ්නය යි. පශ්චාත්-දෙවැනි ලෝක යුද්ධ අවධියේ සමීපතම මිත‍්‍ර රාජ්‍යයන් අතර පවා හට ගෙන ඇති භූදේශපාලනික හා ආර්ථික තරඟයේ ඝර්ෂනය, එම සන්ධාන ඛාදනය කරමින් තිබේ. ජර්මනිය, සිය ආර්ථික ශක්තිය මිලිටරි බලය බවට පරිවර්තනය කරමින් ද තම පශ්චාත් නාසි “සාමවාදයේ” අවසාන ශේෂයන් හලා දමමින් ද සිටී.

8. ගෝලීය ධනවාදී පද්ධතියෙහි අර්බුදය එහි වැඩි දියුනු ප‍්‍රකාශනය සොයාගන්නේ, එහි හරි මැද ඇති එක්සත් ජනපදය තුල ය. වෙනත් මොන ම රටකටත් වඩා සෝවියට් සංගමය විසුරුවා හැරීමෙහි ප‍්‍රධාන ප‍්‍රතිලාභියා තමන් බව සලකාගත්තේ එක්සත් ජනපදය යි. පලමු බුෂ් ජනාධිපති, අනභියෝගී අධිපති වසයෙන් එක්සත් ජනපදය ක‍්‍රියාත්මක වන “නව ලෝක පර්යායක්” වහා ම ප‍්‍රකාශයට පත් කලේ ය. සුපිරි මිලිටරි බලවතා ලෙස එක්සත් ජනපදය, තම උත්සුකයන්ට අනුව ලෝකය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙම “ඒකධ‍්‍රැව නිමේෂයේ” පල නෙලාගනු ඇත. එහි මූලෝපායඥයින් සිහින මැව්වේ හුදෙක් නව ඇමෙරිකානු සියවසක් පිලිබඳව නො ව, බොහෝ ඇමෙරිකානු සියවස් පිලිබඳ ව ය! ප‍්‍රමුඛ පෙලේ විදෙස් පිලිවෙත් මූලෝපායඥයකු වූ රොබර්ට් කැප්ලන්ගේ වචනවලින් කියතොත්:

“අපේ විදෙස් පිලිවෙත වඩාත් සාර්ථක වත් ම, ලෝකය තුල ඇමෙරිකාවට වැඩි ගාමක බලයක් ලැබෙනු ඇත. මෙලෙස අනාගත ඉතිහාසඥයින්, රෝමයට හා ඉතිහාසය පුරා පැවති අන් සෑම අධිරාජ්‍යයකට ම වඩා එය [එක්සත් ජනපදය] කෙතරම් වෙනස් වුවත්, විසි එක් වැනි සියවසේ ජනරජයක් හැටියට සේ ම අධිරාජ්‍යයක් හැටියට ද එක්සත් ජනපදය දෙස ආපසු හැරී බැලීමේ වැඩි ඉඩක් තිබේ. දසක හා සියවස් ගනන් ගතවෙද්දී එක්සත් ජනපදයට, හතලිස් තුනක් නොව සියයක් නැතහොත් 150ක් පවා ජනපතිවරුන් සිට ඇති කල්හි, ඔවුන් යට ගිය දවස රෝමන්, බයිසැන්තියානු, ඔටෝමන් ආදී අධිරාජ්‍යවල පාලකයින්ගේ මෙන් දීර්ඝ ලැයිස්තු තුල පෙනී සිටින කල්හි, පුරාතන යුගය සමග පවතින සාදෘශ්‍යය අඩු නො ව වැඩි වනු ඇත. විශේෂයෙන් රෝමය, කැලඹුනු ලෝකයක් තුල මඳ පමනක නිරාකූලතාවට අනුබල දීම සඳහා අධිකාර බලය යොදාගැනීම පිලිබඳ ආදර්ශයක් වෙයි.” [Warrior Politics: Why Leadership Demands a Pagan Ethos, විරු දේශපාලනය: නායකයින් අශිෂ්ඨත්වයේ ඌරුවක් ඉල්ලා සිටින්නේ මන්ද (නිව් යෝක්, රැන්ඩම් හවුස්, 2002), 153 පි.]

9. 2002 දී ලියන ලද කැප්ලන්ගේ අධිරාජ්‍යයට ස්තෝත‍්‍රය, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කොට, 2003 දී දෙවැනි ඉරාක යුද්ධයට සූදානම් වෙද්දී ඇමෙරිකානු පාලක පන්තිය තුල බලපැවැත්වූ අඩ-උමතු චිත්ත ස්වභාවය පිලිබඳ සාක්ෂි සපයයි. ඇමෙරිකානු පාලක පන්තිය, ලඟාවෙමින් පැවති අගාධය දේදුන්නක් හැටියට වරදවා තේරුම්ගත්තේ ය. “ඒකධ‍්‍රැව නිමේෂය” සත්තකින් ම, කෙටි ම කෙටි ඓතිහාසික අන්තර් නාටකයකට මඳක් වැඩි යමක් වූ අතර නව “ඇමෙරිකානු සියවස” නොනැසී පැවතියේ දසකයකටත් බෙහෙවින් අඩු කාලයකි.

ඇමෙරිකානු පාලක පන්තිය සෝවියට් සංගමය විසුරුවා හැරීම කෙරෙහි දැක්වූ ප‍්‍රමුදිත ප‍්‍රතිචාරයෙන් ප‍්‍රකාශ වූයේ, ඓතිහාසික තත්වය පිලිබඳ ව්‍යසනකාරී වැරදි කියැවීමකි. සෝවියට් සංගමයෙන් එල්ලවන අනතුරක බාධාවෙන් තොර ව, එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යයෙහි දසක ගනනක ඛාදනය ආපසු හැරවීම සඳහා තමන්ට මිලිටරි බලය යෙදවිය හැකි වෙතියි පාලක ප‍්‍රභූහු තෙමේම ඒත්තු ගන්වා ගත්හ. මේ සාවද්‍ය ගනන්බැලීම, ලොව පුරා දැවැන්ත පරිමානයෙන් ඇමෙරිකානු මිලිටරි මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා පදනම සම්පාදනය කලේ ය. එය එකක් පසුපස තවෙකක් වශයෙන් ව්‍යසනයන්ට පාර කැපුවේ ය. සැප්තැම්බර් 11 න් වසර පහලොවකට පසු ප්‍රෝඩාකාරී “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සිරියාවේ තන්ත‍්‍ර මාරුවක් සඳහා වූ ඇමෙරිකානු මෙහෙයුමේ අන්ත පරාජයෙන් කූටප‍්‍රාප්ත වූ අවුල් ජාලයකට මැද පෙරදිග ඇද දමා තිබේ.

10. පසුගිය සියවස් කාර්තුවෙහි මිලිටරි ව්‍යසනයන්, එක්සත් ජනපදයෙහි ගෝලීය ආර්ථික ආයාමයේ පිරිහීම මගින් සංකීර්න කරනු ලැබ තිබේ. මෙය පුලුල් ජනතාවගේ ජීවන තත්වයන් කඩාවැටීම තුල වඩාත් ඍජු ප‍්‍රකාශනයක් අත්කරගෙන ඇත. ආර්ථික විද්‍යාඥ තෝමස් පිකටි, එමෑනුවෙල් සයස් සහ ගේබ්‍රියෙල් සුක්මාන් මෑත දී ඉදිරිපත් කල වාර්තාවකට අනුව, එක්සත් ජනපද ජනගහනයේ පහල අර්ධයට බදු ගෙවීමට පෙර ජාතික ආදායමෙන් ලැබෙන පංගුව 1980 පැවැති සියයට 20 සිට අද සියයට 12 දක්වා පහල වැටී ඇත්තේ, මුදුනේ සිටින සියයට එකෙහි පංගුව සියයට 12 සිට 20 දක්වා - හරියට ම එහි කනපිට හැරීම හැටියට - ඉහල ගොස් ඇති අතර ය. දසක හතරක් තිස්සේ, පහල අර්ධයේ සැබෑ ආදායම පල් වෙමින් පැවති අතර ඉහල සියයට එකෙහි ආදායම සියයට 205 කින් ද සියයට 0.001 හි ආදායම සියයට 636 ක දැවැන්ත පරිමානයෙන් ද ඉහල නැග තිබේ.

ඇමෙරිකානු තරුන පරපුර පවුල් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා සරිලන ආදායමක් ඉපැයීමට හෝ දෙමාපියන්ගේ නිවෙස්වලින් බැහැරවීමට නොහැකි ව නය බරෙහි ගීලී සිටිති. 1970 දී 30 හැවිරිදි අයගෙන් සියයට 92ක් ඔවුන්ගේ දෙමාපියන් එම වයසේදී ඉපැයුවාට වඩා වැඩි ආදායමක් ඉපැයූ අතර 2014 දී එසේ ඉපැයුවේ සියයට 51ක් පමනි. මිලියන සංඛ්‍යාත ඇමෙරිකානුවෝ සෞඛ්‍ය පහසුකම් ප‍්‍රමානවත් නො වීමෙන් පීඩා විඳිති. සියදිවි නසාගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය හා සමාජ අර්බුදයේ අනෙකුත් සාධක හේතුවෙන් මරන සංඛ්‍යාව බරපතල ලෙස ඉහල යාම නිසා දසක දෙකකට වැඩි කාලයක් තුල පලමු වරට 2015 දී සමස්ත ආයු අපේක්ෂාව පහල වැටිනි.

11. ඇමෙරිකානු සමාජය වඩවඩාත් අසමාන බවට පත් ව තිබියදී, තව මත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකී පවතින්නේ ය යන ව්‍යාජය පවත්වාගැනීම එරට දෘෂ්ටිවාදීන්ට එන්න එන්න ම දුෂ්කර වී තිබේ. වර්ගය, ජනවාර්ගිකත්වය, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය මත කේන්ද්‍රගත වන අනන්‍යතා දේශපාලනයෙහි මූලික කාර්යයක් ව ඇත්තේ, අවධානය එක්සත් ජනපදයේ ගැඹුරු පන්ති විභේදනයන් කෙරෙන් ඉවතට හැරවීම යි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනය විසින් එක්සත් ජනපදයේ කතිපයාධිකාර පාලනයේ යථාර්ථය එහි සම්පූර් න ජුගුප්සාජනක නිරුවත සහිත ව අනාවරනය කරනු ලැබ තිබේ. කෙසේ වතුදු අවධාරනය කල යුත්තේ, ට‍්‍රම්ප් යනු මැතිවරන දිනය දක්වා පැවැති, පලුදු සහිත වුවත් සාරභූත වසයෙන් ශිෂ්ටසම්පන්න සමාජයකට, අයුතු ලෙස මැදිහත් වූ අපරූපියෙක් නොවන බවයි. දේපොල වෙලඳාම්, මූල්‍ය, සූදු කෙලිය හා විනෝදාස්වාද කර්මාන්තයන්ගේ සාපරාධී හා රෝගී සංයෝගයෙහි නිෂ්පාදිතය වන ට‍්‍රම්ප් වූ කලි, ඇමෙරිකානු පාලක පන්තියේ නිර් ව්‍යාජ මුහුනුවර යි.

12. එලඹෙන ට‍්‍රම්ප් පරිපාලනය එහි අරමුනු හා ඊට අයත් පුද්ගලයින් අතින් ගත් කල, කතිපයාධිකාරයෙහි කැරැල්ලක ගුනාංග සහිත වෙයි. විනාශය තීන්දු කෙරුනු සමාජ පන්තියක් සිය අවසානය කරා ලඟා වෙද්දී, ඉතිහාසයේ රලපහරට මුහුන දීමට එය දරන ප‍්‍රයත්නය තුල, සිය බලය හා වරප‍්‍රසාද දිගු කලක් තිස්සේ ඛාදනය වීම ආපසු හැරවීමට දරන වෑයමක ස්වරූපය ගන්නේ ඉඳ හිට නො වේ. සමාජ හා ආර්ථික පරිවර්තනයෙහි දෘඪතර බලවේග සිය පාලනයේ පදනම් කා දැමීම ඇරඹීමට පෙර, එම පන්තිය වරෙක භුක්ති විඳි තත්වය (නැතහොත් එසේ යැයි ඔවුන් සිතන තත්වය) කරා කොන්දේසි ආපසු හැරවීමට උත්සාහ දරයි. 1640 විප්ලවය පුපුරා යාමට පෙර වසර 11ක් තිස්සේ චාල්ස් I පාර්ලිමේන්තුව කැඳවීම අවහිර කලේ ය. 1789 විප්ලවය අද්දර ප‍්‍රධාන මන්ඩලය (Etats-General ) පැරිසියේ දී රැස් වූ විට, 1613 පටන් පිරිහෙමින් පැවති වරප‍්‍රසාද යලි තහවුරු කරගැනීමට වංශාධිපතිත්වය බලාපොරොත්තු විය. එක්සත් ජනපදයේ සිවිල් යුද්ධයට ප‍්‍රථම වහල් ක‍්‍රමය රට පුරා ව්‍යාප්ත කිරීමට දකුනේ ප‍්‍රභූහු ප‍්‍රයත්න දැරූහ. 1861 සම්ටර් බල කොටුවට පහර දීම, වහල් හිමියන්ගේ කැරැල්ලක් බවට පත් වූ ආරම්භක ප‍්‍රහාරය සලකුනු කලේ ය.

“ඇමෙරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු” යන ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිඥාවෙන් භාවිතයේ දී අදහස් කරන්නේ, දසක ගනනක මහජන අරගල තුලින් අත් කර ගැනුනු, කම්කරු පන්තියේ ජීවන තත්වයන් ඉහල නැංවූ සමාජ ප‍්‍රතිසංස්කරනවලින් යමක් ඉතිරි ව ඇත් නම් එය අතුගා දැමීම යි. “ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම” ට‍්‍රම්ප්ගේ මනසෙහි ආධ්‍යාහාර කරනුයේ, ආදායම් බදු කොමියුනිස්ට්වාදී ද ව්‍යවස්ථා විරෝධී ද වන්නේ යැ යි ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කල, 1890 ගනන්වල තතු කරා රට ආපසු ගෙන යාම යි. ට‍්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල, 1913 දී ආදායම් බදු පැනවීම සහ කම්කරුවන්, පුලුල් ජනතාව හා පරිසරය සූරාකෑම මත සීමා පනවමින්, ඉන් පසු සිදු කෙරුනු සමාජීය නීති සම්පාදනය හා නියාමනය වූ කලි, හිතේ හැටියට මුදල් ඉපැයීම සඳහා පොහොසතුන්ට ඇති අයිතියට එරෙහි ව එල්ල කෙරුනු ප‍්‍රහාරයකි. රාජ්‍ය අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය හා අවම වැටුප, සමාජ ආරක්ෂනය, මෙඩිකෙයාර්, මෙඩිකේඩ් (සෞඛ්‍ය සහන) හා වෙනත් සමාජ සුබසාධන වැඩසටහන් ස්ථාපිත කිරීම, පොහොසතුන් වෙතින් මුල්‍ය සම්පත් ඉවතට හරවා යැවීමකි. කෝටි ප‍්‍රකෝටිපතියන්ගේ කැබිනට්ටුවක් පත් කරගනිමින් පොහොසතුන්ගේ ආන්ඩුවක්, පොහොසතුන් විසින්, පොහොසතුන් සඳහා පවත්වාගෙන යාමට ට‍්‍රම්ප් අදහස් කරගෙන සිටී.

ට‍්‍රම්ප් සිය ධනවත් ගජ මිතුරන් පසෙකින් හිටපු ජනරාල්වරුන් හා අමු ෆැසිස්ට්වාදීන් කල්ලියක් කැබිනෙට්ටුවට කැඳවා, සිය ප‍්‍රධාන උපදේශකයින් හැටියට තෝරාගෙන තිබේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා නිර්බාධිත ව සහතික කිරීම මත පදනම් වූ විදෙස් පිලිවෙතක් වර්ධනය කිරීම ඔවුන්ගේ කාර්යය වනු ඇත. “පලමුව ඇමෙරිකාව” සටන් පාඨය පුනරුත්ථාපනය කිරීමේ සැබෑ අරුත මෙය යි. එරට අධිරාජ්‍යවාදී න්‍යායපත‍්‍රයට වැඩි වැඩියෙන් ම්ලේච්ඡ ස්වරූපයක් ආරෝපනය කරනුයේ, ඇමෙරිකානු ආර්ථික අධිකාරයේ ජරපත් වීම විසිනි. වෝල් වීදියේ මූල්‍ය සම්පාදකයින්ගේත් රාජ්‍ය ඔත්තු සේවා ඒජන්සිවලත් දූෂිත සන්ධානය වන ඩිමොක‍්‍රටික් පක්ෂය, ට‍්‍රම්ප් පිලිබඳ සිය විවේචනය කේන්ද්‍රගත කලේ, ඔහු රුසියාව කෙරෙහි පල කරතියි කියැවෙන, “මෘදු බව” මත ය. ඔවුන්ට බිය වීමට හේතුවක් නැත. ට‍්‍රම්ප් පරිපාලනය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකයන් සමග ගැටෙන භූදේශපාලනික සහ හෝ ආර්ථික උත්සුකයන් සහිත සියලු රටවල් සමග ගැටුම් නොකඩවා උත්සන්න කෙරෙනු ඇත.

13. ජාත්‍යන්තර හා දේශීය ප‍්‍රකාශන තුල පිලිබිඹු වන ට‍්‍රම්ප්ගේ පිලිවෙත්, ධනේශ්වර පාලක ප‍්‍රභූන්ගේ දකුනට ගමන් කිරීමක් සලකුනු කරයි. ට‍්‍රම්ප්ගේ නැගීමට සමාන්තර ව, ප‍්‍රන්සයේ ජාතික පෙරමුන, ජර්මනියේ පෙගිඩා, ඉතාලියේ තරු පහේ ව්‍යාපාරය සහ බ්‍රෙක්සිට් වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදුනු එක්සත් රාජධානියේ ස්වාධීනතා පක්ෂයේ දේශපාලන අනුහසෙහි වැඩීම සිදු විය. ජර්මනිය තුල පාලක පන්තිය නත්තල් උත්සව සමයේ බර්ලීනයේ වෙලඳපොලකට එල්ලවූ ප‍්‍රහාරය යොදාගනිමින් සිටින්නේ, ඕල්ටර්නේටිව් ෆෝ ජර්මනි (ජර්මනියට විකල්පයක් සංවිධානය) විසින් මෙහෙයවනු ලබන සංක‍්‍රමනික විරෝධී උද්ඝෝෂනය උත්සන්න කිරීමට ය. මේ ක‍්‍රියාවලියෙහි දේශපාලනික හා ආර්ථික සාරය, ලෙනින් පැහැදිලි කල පරිදි, අධිරාජ්‍යවාදයේ ස්වභාවය තුලම ගැබ් ව තිබේ:

“අධිරාජ්‍යවාදය යනු පරපෝෂිත හෝ ජරපත් වෙමින් පවතින ධනවාදය ය යන කරුන, අන් සියල්ලට පෙර, ජරපත් වීමට පවතින නැඹුරුව තුල ප‍්‍රකාශයට පත් වෙයි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය මත පාදක වූ පද්ධතිය යටතේ පවතින සෑම ඒකාධිකාරයක ම ස්වභාවය මෙය යි. ප‍්‍රජාතාන්ත‍්‍රික-සමූහාන්ඩුවාදී සහ ප‍්‍රතිගාමී-රාජාන්ඩුවාදී අධිරාජ්‍ය ධනේශ්වරයන් අතර වෙනස මැකී යන්නේ, ඔවුන් දෙවර්ගය ම පන පිටින් කුනු වන බැවිනි ...” [ Lenin Collected Works, ලෙනින්ගේ එකතු කල කෘති හි, “අධිරාජ්‍යවාදය හා සමාජවාදය තුල භේදය”ලිපියෙනි , 23 වෙලුම (මොස්කව්: ප‍්‍රගති ප‍්‍රකාශකයෝ, 1977), 106 පිටුව]

දැවැන්ත සමාගම් හා බැංකු නියෝජනය කරමින් සම්පත්, වෙලඳ මාර්ග හා වෙලඳපොල මත පාලනය සඳහා රාජ්‍යයන් සටන් වැද සිටින අතර සෑම ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලයක් ම යුද්ධයට සූදානම් වෙමින් සිටී. ඒ සමග ම ජාතිකවාදය සරන යාමෙහි අරමුන, ඒ ඒ රට තුල පන්ති ගැටුම් ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා පදනම නිර්මානය කරගැනීම ය.

14. අධිරාජ්‍යවාදී යුද්ධ නිර්මානය කරන්නා වූ ධනවාදී අර්බුදය ම, කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය ද සමාජවාදී විප්ලවයේ වර්ධනය ද නිර්මානය කරන්නේ ය. ට‍්‍රම්ප් ජනාධිපති ධුරය උසුලනු ඇත්තේ ගැඹුරු හා සමනය කල නොහෙන පන්ති ගැටුම්වලින් ඉරිතැලුනු රටක ය. ඒ හා සමාන කොන්දේසි ලොව පුරා බලපවත්වයි. මෑතක කෙරුනු අධ්‍යයනයක්, යුරෝපයේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් නැතහොත් මිලියන 118 ක්, දරිද්‍රතාවෙන් හෝ සමාජ කොන්වීමෙන් පෙලෙන බව සොයාගත්තේ ය. ස්පාඤ්ඤයේ දරිද්‍රතා රේට්ටුව සියයට 28.6ක් වන අතර ග‍්‍රීසියේ එය 35.7 කි. මේවා යුරෝපා සංගමය හා බැංකු විසින් සාහසික කප්පාදු පියවර සඳහා ඉලක්ක කරගනු ලැබ ඇති රටවල් වෙයි. ලොව පුරා රැකියා විරහිත තරුන ජනගහනය මේ වසරේ දී මිලියන 71 දක්වා ඉහල නැගිනි. 2013 න් මෙපිට එම සංඛ්‍යා ඉහල නැගුනු පලමු අවස්ථාව මෙය යි. වෙනිසියුලාවේ මහජන දරිද්‍රතාව හා අතිඋද්ධමනය ආහාර කැරලි අවුලුවා තිබේ. චීනයෙහි වැඩවර්ජන හා වෙනත් ස්වරූපවල උද්ඝෝෂන තුල කම්කරු පන්තියේ වැඩෙන සටන්කාමීත්වය ප‍්‍රකාශයට පත් වෙයි. රුසියාව ඇතුලත, ධනවාදය පුනස්ථාපන කිරීමේ කම්පනය හා ඉන් පසු හටගත් දිරිසුන්භාවය, දැන් අලුත් සමාජ සටන්කාමීත්වයකින් යටපත් වෙමින් තිබේ. අත්‍යන්ත සමාජ අසමානතාව හා පූටින් විසින් නායකත්වය සැපයෙන ධනවාදී පාලනයේ චෞරතන්ත‍්‍ර ස්වරූපය, නොකඩවා වැඩෙන ප‍්‍රතිරෝධයට මුහුන පා සිටී.

15. මේ දක්වා, දේශපාලන දක්ෂිනාංශය, ස්වෝත්තමවාදී වාචාල සටන් පාඨ යොදාගනිමින්, කම්කරු පන්තියේත් මධ්‍යම පන්තියේ පුලුල් ස්තර තුලත් පවතින සමාජ අසංතෘප්තිය ගසා කා තිබේ. එහෙත් ස්වෝත්තමවාදී දක්ෂිනාංශික ප‍්‍රතිගාමී පක්ෂවල ආරම්භක සාර්ථකත්වයන් රඳා පැවතුනේ, දේශපාලන නරුමත්වය, වංචාව හා “වම” හැටියට පෙනී සිටින සංවිධානවල බංකොලොත්කම මත ය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, ස්ටැලින්වාදීන්, වෘත්තීය සමිති නිලධරයින් සහ සුලුධනේශ්වර හා හරිතයින්, ජර්මනියේ වාම පක්ෂය, ග‍්‍රීසියේ සිරිසා, ස්පාඤ්ඤයේ පෙඩිමොස් වැනි ප‍්‍රති-මාක්ස්වාදී පක්ෂ පෙලක් මේ අතර වෙයි. එක්සත් ජනපදයේ ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕගනයිසේෂන් (අයිඑස් ඕ) සහ ප‍්‍රන්සයේ නව ධනේශ්වර-විරෝධී පක්ෂය (එන්පීඒ) ඇතුලු බොහෝ රාජ්‍ය ධනවාදී හා පැබ්ලෝවාදී සංවිධාන ද මීට එකතු කල යුතු ය. මේ මධ්‍යම පන්තික ප‍්‍රතිගාමී සංවිධානවල සමස්ත දේශපාලන ශක්තිය ම වැය කෙරෙනුයේ, මාක්ස්වාදය විකෘත කිරීම මගින් කම්කරු පන්තිය මංමුලා කොට, ධනවාදයට එරෙහි එම පන්තියේ අරගලයට බාධා පමුනුවනු පිනිස ය.

16. එහෙත් සිදුවීම්වල පීඩනය, කම්කරු පන්තිය වමට ධාවනය කරවයි. ලොව වටා බිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් අතර කෝපාවිෂ්ඨ හා සටන්කාමී මනෝගතියක් වැඩෙමින් පවතී. පන්ති අරගලයේ පුනර්ජීවනයක ද සමාජවාදය හා මාක්ස්වාදය පිලිබඳ උත්සුකයෙහි අලුත් වීමක ද ලකුනු පහල ව තිබේ. ඩිමොක‍්‍රටික් පක්ෂ ප‍්‍රාථමික මැතිවරනවල දී මිලියන 13 ක් ජනයා සමාජවාදී ය යි කියාගත් බර්නි සෑන්ඩර්ස්ට සහාය පල කරමින් ඡන්දය දුන්නේ, ඔහුගේ අවස්ථාවාදී දේශපාලනය නිසා නො ව, ඔහු “බිලියනපති පන්තිය” හෙලාදැකීමත් “දේශපාලන විප්ලවයක්” කැඳවුම් කිරීමත් හේතුවෙනි. මෙය වූ කලි ගෝලීය ධනවාදයේ ස්වභාවය විසින් ම අනවනු ලැබූ ජාත්‍යන්තර ක‍්‍රියාවලියක කොටසකි. පන්ති අරගලය ශක්තියෙන් හා දේශපාලන ආත්ම අවබෝධයෙන් වැඩෙද්දී, වැඩි වැඩියෙන් ජාතික රාජ්‍යයන්ගේ සීමාවලට උඩින් පැන යාමට නැඹුරු වනු ඇත. සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු වූ වර්කර් ස් ලීගය 1988 තරම් ඈත දී සඳහන් කල පරිදි, “පන්ති අරගලය එහි ආකෘතියෙන් පමනක් ජාතික වන අතර එය සාරයෙන් ජාත්‍යන්තර අරගලයක් ම වන්නේ ය යන්න බොහෝ කලක් තිස්සේ මාක්ස්වාදයේ මූලික ප‍්‍රස්තුතයක් විය. කෙසේ වතුදු, ධනේශ්වර වර්ධනයේ අලුත් ලක්ෂන අනුව, පන්ති අරගලයේ ආකෘතිය පවා ජාත්‍යන්තර ස්වරූපයක් ගත යුතු වෙයි.”

17. කෙසේ වුව ද, කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්‍යතාව පිලිබඳ විශ්වාසය, දේශපාලන උදාසීනත්වය යුක්තිසහගත කිරීමක් නො වේ. ධනවාදී ජාත්‍යන්තර අර්බුදයේ උච්චතම අවධිය සහ කම්කරු පන්තියේ දේශපාලන විඤ්ඤානය අතර සුවිශාල විසමතාවක් පවතින බව නොතකා හැරීම වගකීම් විරහිත වනු ඇත. මෙහිලා දැවැන්ත අන්තරායක් පවතින බව පිලිගත යුතු වෙයි. සමාජවාදී විප්ලවයකින් තොර ව, මිනිස් ශිෂ්ටාචාරයේ ම අඛන්ඩ පැවැත්ම ප‍්‍රශ්නයට ලක් ව තිබේ. මෙම යුගයෙහි අතිමූලික දේශපාලන කර්තව්‍යය සමන්විත වන්නේ වෛෂයික සමාජ ආර්ථික යථාර්ථය සහ ආත්මීය දේශපාලන විඤ්ඤානය අතර පරතරය ජයගැනීමෙනි. මෙය සාක්ෂාත් කරගත හැකි ද?

18. මෙම ප‍්‍රශ්නයට පිලිතුරු සැපයිය හැක්කේ ඓතිහාසික අත්දැකීමෙහි පදනම මත පමනි. විසි වැනි සියවසේ සියලු සුවිශාල නැගිටීම් මධ්‍යයේත්, ඉතිහාසය විසින් මතු කරනු ලැබූ කර්තව්‍යයන්ගේ මට්ටමට කම්කරු පන්තිය නැගගැනීම සම්බන්ධයෙන් ඇත්තේ එක නිදසුනක් පමනි: ඒ ඔක්තෝබර් විප්ලවය යි. මේ යුගයේ මහා ගැටලුවලට මුහුන දීමේ දී එම ඓතිහාසික සිදුවීම අධ්‍යයනය කිරීම හා එහි පාඩම් උකහා ගැනීම අනිවාර්ය වෙයි.

රුසියානු විප්ලවයේ සියවස සමරන මේ වසර තුල, සමකාලීන දේශපාලනය හා ඓතිහාසික අත්දැකීම අතර ප‍්‍රගාඪ අන්තර් ඡේනයක් ද අන්තර් ක්‍රියාකාරීත්වයක් ද පවතී. 1917 විප්ලවය පැන නැංගේ පලමු ලෝක යුද්ධයේ අධිරාජ්‍යවාදී ව්‍යසනය තුලිනි. සාර් වාදී පාලනය පෙරලා දැමීමෙන් පසු හටගත් දේශපාලන වාසුලිය මධ්‍යයේ, කම්කරු පන්තිය ඇතුලත අධිකාරවත් බලවේගය ලෙස බොල්ශෙවික් පක්ෂය නැගී ආවේ ය. එහෙත් 1917 දී බොල්ශෙවිකයන් ඉටු කල ක‍්‍රියාකලාපය, කම්කරු පන්තිය තුල සමාජවාදී විඤ්ඤානයේ වර්ධනය උදෙසා ද නිවැරදි විප්ලවවාදී ඉදිරිදර්ශනය නිර් නය කරගැනීම සඳහා ද සිදු කෙරුනු දීර්ඝ හා දුෂ්කර අරගලයක ප‍්‍රතිඵලය විය.

19. එම අරගලයෙහි තීරනාත්මක මූලිකාංග මෙපරිදි ය: 1) දාර්ශනික විඤ්ඤානවාදයට හා ප‍්‍රති-මාක්ස්වාදී ප‍්‍රතිසංස්කරනවාදයට එරෙහි ව, කම්කරු පන්තියේ අධ්‍යාපනය හා විප්ලවවාදී භාවිතයේ න්‍යායික පදනම ලෙස අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය ආරක්ෂා කොට විස්තාරනය කිරීම; 2) කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීමට බාධා පැමිනවූ හෝ ඊට වල කැපූ අවස්ථාවාදයේත් මාධ්‍යමිකවාදයේත් අනේකවිධ රූපාකාරවලට එරෙහි ක්ෂමා විරහිත අරගලය; සහ 3) 1917 දී බලය සඳහා අරගලය කරා බොල්ශෙවික් පක්ෂය දිශාගත කල මූලෝපායික ඉදිරිදර් ශනය, වසර බොහෝ ගනනක් තිස්සේ, තේරුම් බේරුම් කරගැනීම. මෙහි අවසානයට සඳහන් කෙරුනු ක‍්‍රියාවලිය තුල දී, ඊට පෙර දසකය තුල ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරනු ලැබූ නොනවතින විප්ලව න්‍යාය, ලෙනින් විසින් පිලිගනු ලැබීම, අන්තර්වාර ආන්ඩුව පෙරලා දැමීම කරා ගමන් කල මාස කිහිපයේ දී බොල්ශෙවිකයන්ගේ මූලෝපායට මග පෙන්වූ තීරනාත්මක ප‍්‍රගමනය විය.

20. 1917 ඔක්තෝබර් මස සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය සනාථ කලේ, කම්කරු පන්තිය දේශපාලන බලය අත්පත් කරගැනීම අවසාන විග‍්‍රහයේ දී, කම්කරු පන්තිය තුල මාක්ස්වාදී පක්ෂය ගොඩනැගීම මත රඳා පවතින බව යි. කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය කෙතරම් විශාල හා බලගතු වුව ද, ධනවාදයට එරෙහි එහි විජයග‍්‍රහනයට මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයේ සවිඤ්ඤානික දේශපාලන නායකත්වය අවශ්‍ය කෙරේ. සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය සාක්ෂාත් කරගැනීමේ වෙනත් මගක් නැත.

මෙකී දේශපාලන අනිවාර්යතාව හඳුනාගැනීම, මේ ශත සංවත්සරයේ දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කටයුතුවලට මග පෙන්වනු ඇත. ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය, මාක්ස්වාදී න්‍යාය හා දේශපාලනය සඳහා පුලුල් ශ‍්‍රාවකත්වයක් නිර්මානය කරන විට, රුසියානු විප්ලවය පිලිබඳ දැනුම පුලුල් කිරීම සඳහාත්, අර්බුදය විසින් දේශපාලනික ව අවදි කොට රැඩිකලීකරනය කෙරෙන කම්කරු පන්තියේත් තරුනයින්ගේත් අලුත් ස්තරයන්ට “ඔක්තෝබරයේ පාඩම්” පිලිබඳ අධ්‍යාපනය ලබා දීම සඳහාත් ජාත්‍යන්තර කමිටුව එයට හැකි සියල්ල කරනු ඇත.

2017 වසර ඇරඹෙද්දී, විප්ලවවාදී අරගලය තුල ක‍්‍රියාශීලී වෙමින්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය හැටියට හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට එක් වන මෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දහස් සංඛ්‍යාත පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු. රුසියානු විප්ලවයේත් 1917 ඔක්තෝබර් විජයග‍්‍රහනයේත් 100 වැනි සංවත්සරය සැමරීමේ වඩාත් උචිත හා ඵලදායී ක‍්‍රමය මෙය යි.

ඩේවිඩ් නෝර්ත් සහ ජෝසෆ් කිෂෝර්

Share this article: