ගෑස් මිල ඉහල දැමීමට එරෙහිව මෙක්සිකෝව පුරා විරෝධතා පැතිර යයි

Protests against gas price hikes spread across Mexico

2017 ජනවාරි 5

එන වසරේ සිට පාරිභෝගික මිල ගනන් සියයට 14 සිට 20 දක්වා වැඩි කරමින් ගෑස් සහනාධාරය කපා දැමීමට ජනාධිපති එන්රික් පෙනා නීිටෝ ජනවාරි 01 වනදා ගනු ලැබූ තීරනයට එරෙහිව දස දහස් ගනනින් මෙක්සිකානුවන් වීදි වලට බැස ඇත. එල් ගැසොලිනාසෝ (ගෑස් මිල ඉහල දැමීමට එරෙහි විරෝධතා) රටෙහි සෑම ප‍්‍රදේශයකටම පැතිරී යමින් ගතවන සෑම දිනයක් පාසාම වර්ධනය වී ඇත. විරෝධතාවය මෙක්සිකානු පාලක පන්තිය තුල දේශපාලන අර්බුදයක් අවුලුවා ඇත. ”ගැසොලිනාසෝස් (ගෑස් මිල ඉහල දැමීම) සමග සමාජ නොසන්සුන්තාවය පිටාර යා හැකි සහ දරාගත නොහැකි මහජන විරෝධයක් දක්වා පරිවර්තනය වීමේ ලක්ෂ්‍යයට වර්ධනය වෙමින් තිබේ” යැයි අඟහරුවාදා එක්ස්සෙල්සියෝර් කතුවැකියකින් කියයි.

මෙම විරෝධතාවන්ගෙන් බොහොමයක් කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ මධ්‍යම පන්තික කොටස්වල ස්වයංසිද්ධ ක්‍රියාවන් ය. බදාදා රාත්‍රිය වන විට, ඉන් පෙර දින පොලීසිය විසින් පිරිසිදු කොට තිබූ නගරාන්තර ප‍්‍රධාන මහා මාර්ග නැවත වරක් ට‍්‍රක් රථ රියදුරන්, ටැක්සි රියදුරන් සහ අනෙකුත් විරෝධතාකරුවන් විසින් අවහිර කරමින් පැවතුනි.

පොලීසිය දුසිම් කීපයක් අත් අඩංගුවට ගෙන ඇත. බදාදා ඔවුහු මෙක්සිකෝ නගරයේ විරෝධතාකරුවන්ට අභිමුඛ වූහ.

චිහුආහුවා, ඩුරාන්ගෝ, මොරෙලෝස් සහ බජා කැලිෆෝනියා වල පිහිටි සිය පිරිසැකසුම් සහ බෙදා හැරීමේ මධ්‍යස්ථාන එකොලහක ”තීරනාත්මක තත්ත්වයක්” නිර්මානය කරමින්, ට‍්‍රක් රථ රියදුරන් සහ විරෝධතාකරුවන් එම මධ්‍යස්ථාන අවහිර කොට තිබූ බව රජයට අයත් බලශක්ති සමාගමක් වන පෙට්රොලියෝස් මෙක්සිකානෝස් සමාගම ඊයේ වාර්තා කලේය. විරෝධතාවය අඛන්ඩව පැවතුනහොත් ගුවන්තොටුපලවල් පවා වසා දැමීමට සිදු වනු ඇති බවට සමාගම අනතුරු ඇඟවූ අතර නල මාර්ග විනාශ කිරීම් සම්බන්ධ සිදුවීම් ද වාර්තා කෙරුනි. නගරයේ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන සේවයේ බොහොමයක් වසා දමමින්, ගුවාදලාජාරා, ජැලිස්කෝ හි බස් රියදුරන් විසින් ගැසොලිනාසෝ සම්බන්ධිත පලමු වැඩ වර්ජනය බදාදා දිනයේ කැඳවනු ලදී. අනෙකුත් නගර වල විරෝධතාවයන්ට ගුරුවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ නියෝජිතයන් සම්බන්ධ විය.

ගෑස් පිරවුම්හල් සිය ගනනක් ඒවා හිමි සමාගම් විසින් වසා දමා ඇති අතර, රට පුරා ගෑස් පිරවුම්හල් දුසිම් ගනනක් විරෝධතාකරුවන් විසින් වාඩිලාගෙන ඇත. විශේෂයෙන්ම, වැඩිම ජනගහනය සහිත මෙක්සිකානු ප‍්‍රාන්තය වන මෙක්සිකෝ නගරයේ, වෙරාකෘස් තෙල් නිශ්පාදන ප‍්‍රාන්තයේ සහ ප්යුබ්ලා හි නිශ්පාදන කේන්ද‍්‍රයේ විරෝධතාවයන් සුවිසල් විය. සියුඩෑඩ් ජුආරෙස් හි විරෝධතාකරුවන් එක්සත් ජනපදයට වූ දේශ සීමා මාරුවක් අවහිර කලේය.

එලැඹෙන සති අන්තයේ වැඩ වර්ජන මාලාවක් කැඳවුම් කොට ඇති අතර ඉන් බොහොමයක් කැඳවා ඇත්තේ වෘත්තීය සමිති සහ ගොවි කන්ඩායම් විසිනි. මෙම විරෝධතාවයන් පැමිනෙන්නේ මෙක්සිකානු ආර්ථිකය තීරනාත්මක මොහොතක පැවතියදී ය.

මෙක්සිකෝව තුල මෝටර් රථ කම්හලක් ඉදිකිරීමටමට වූ ඩොලර් බිලියන හයක සැලසුම් අවලංගු කොට ඩෙට්රොයිට් වලින් පිටත පවත්නා තම කම්හලක එම මුදල් ආයෝජනය කරන බව ෆෝර්ඩ් මෝටර් රථවාහන සමාගම අඟහරුවාදා නිවේදනය කලේය. ජනාධිපති ලෙස තේරී පත්වූ ට‍්‍රම්ප් යටතේ වඩාත් සාධනීය වූ එක්සත් ජනපද නිශ්පාදන ව්‍යාපාරික පරිසරයක් නිර්මානය වන තතු තුල එම හැරී ගැනීම සිදු කල බව ෆෝර්ඩ් ප‍්‍රධාන විධායක නිලධාරී මාර්ක් ෂීල්ඩ් ප‍්‍රකාශ කලේය. ට‍්‍රම්ප් එදිනම මෝටර් රථ නිශ්පාදනය මෙක්සිකෝවට මාරු කිරීම සම්බන්ධයෙන් ජෙනරල් මෝටර්ස් සමාගම විවේචනය කලේය.

ෆෝර්ඩ් සමාගමේ තීරනය පිලිබඳ පුවත මෙක්සිකානු පුවත් සිරස්තලයන්හි අධිකාරිය දැරූ අතර, එය ට‍්‍රම්ප් පරිපාලනය විසින්, එජ මත පදනම් වූ නිශ්පාදන සැපයුම් ජාලය තුල මෙක්සිකෝවේ වැදගත්කම දරුනු ලෙස අඩුකරනු ඇති බවට සහ මෙක්සිකෝවෙන් සිදුවන ආනයන වලට බදු පනවනු ඇති බවට භීතිය වර්ධනය කලේය. මෙක්සිකානු නිශ්පාදන සහ සේවා අපනයන වලින් සියයට අසූ එකක් ම එජ යට ඇදී යයි.

ෆොර්ඩ් හි තීරනය සහ වෙලඳ යුද්ධයක් පිලිබඳ භීතිය හේතුවෙන් පෙසෝව තවත් දුබල වූයේ ඊයේ එහි අගය ඩොලර් 21.40 ක නව පහලකට ඇද වැටෙමිනි. දුබල වෙමින් පවතින පෙසෝව සහ ඉහල යන උද්ධමන පීඩනයන්, ගෑස් සහනාධාරය අඩු කිරීමත් සමග එක්ව බරපතල ආර්ථික අන්තරායන් වර්ධනය කරයි. දැනටමත් ආසන්න වශයෙන් සියයට 5 ක් දක්වා උද්ධමනය ඉහලට ප‍්‍රතිශෝධනය කරමින් මූල්‍ය සමාගම් විසින් කප්පාදුවට ප‍්‍රතිචාර දක්වා ඇත. මෙක්සිකෝවේ මධ්‍යම බැංකුව, 2016 වර්ෂය තුල දැනටමත්, සිය පොලී අනුපාතය 2009 සිට ඉහලම මට්ටමට ගෙන එමින් කිහිප වරක් ඉහල දැම්මේය.

පාරිභෝගික මිල ගනන් රොකට්ටුවක වේගයෙන් ඉහල යන අතරම වැටුප් පරයන උද්ධමනයක් නිර්මානය වීම හේතුවෙන් ගැඹුරින්ම දරිද්‍ර මෙක්සිකානු කම්කරු පන්තියට දරාගත නොහැකි තත්ත්වයක් නිර්මානය කෙරී ඇත. මෙක්සිකෝවේ ඔටෝනොමස් විශ්ව විද්‍යාලය විසින් සිදුකල මෑත කාලීන අධ්‍යයනයක් විසින් 2012 දී ජනාධිපති පෙනා නයිටෝ බලයට පත්වීමේ සිට දල මෙක්සිකානු ක‍්‍රය ශක්තිය සියයට 11.1 කින් හැකිලී ඇති බව වාර්තා කොට ඇත. සිව් දෙනෙකුගෙන් යුත් පවුලක පෝෂනය සදහා අවශ්‍ය මූලික ආහාර මල්ලේ මිල දර්ශකය දිනකට පෙසෝ 218.06 කට (ඩොලර් 10.19 කට) එනම් දෛනික අවම වැටුප මෙන් තුන්ගුනයක් දක්වා ඉහල ගොස් ඇත.

මෙක්සිකෝව ලෝකයේ ප‍්‍රධාන තෙල් නිපවන රටවල් වලින් එකක් වුවද අවම වැටුපක් උපයන කම්කරුවකු ගෑස් ටැංකියක මිල උපයා ගැනීමට දින 12 ක් වැඩ කල යුතුය. ඉන්ධන මිල ගනන් වල ඉහල යාම සියල්ලටමත් වඩා අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තියුනු මිල ඉහල යාමකට තුඩු දෙනු ඇත. යෝජිත ගෑස් මිල ඉහල දැමීම හේතුවෙන් 2017 පලමු සති දෙක තුල පමනක් පාරිභෝගික මිල දර්ශකය සියයට දශම අටකින් ඉහල යනු අති බවට බ්රෝකරේජ් ෆයිනැමෙක්ස් සමාගම නිවේදනය කලේය.

පසුගිය දශකය පුරා ප‍්‍රධාන වශයෙන්ම ඇමරිකානු බැංකු සහ සමාගම් මගින් මෙක්සිකෝවේ ශ‍්‍රම සහ ස්වභාවික සම්පත් සූරාකෑම ඉහල දැමීමට එරට පාලක පන්තිය නිර්දය ලෙස ක්‍රියාත්මක වී ඇත. තෙල් කම්කරුවන්ගේ දැවැන්ත වැඩ වර්ජනයකින් පසු 1938 ජනසතු කරන ලද පෙමෙක්ස් සමාගම පෞද්ගලීකරනය කිරීමට වූ ආන්ඩුවේ හැරී ගැනීම අවසන් කරන මෙන් විරෝධතාකරුවන් ඉල්ලයි. තෙල් සඳහා වූ රාජ්‍ය ඒකාධිකාරිය ආන්ඩුව විසින් 2013 දී නිල වශයෙන් අවසන් කලේය.

පෙනා නීටෝ ගේ පරිපාලනය සිය සංගත හිතවාදී අධ්‍යාපන ප‍්‍රතිසංස්කරන වලට එරෙහිව වූ විරෝධතා සහ වැඩ වර්ජන ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කොට ඇත. 2014 දී දේශීය සහ මධ්‍යම පොලීසිය හා භට කන්ඩායම් අයෝට් සිනාපා වල ශිෂ්‍ය ගුරුවර ගුරුවරියන් 43 දෙනෙකු පැහැර ගෙන මරා දැමූහ. පසුගිය වසරේ ඔඇක්සකන් ගුරුවරුන් ගෙන ගිය මසකටත් වඩා දිගු වැඩවර්ජනය අතරතුර නොක්සිත්ලන් වල ගම්වැසියන් සහ ගුරුවරු දුසිම් ගනනක් පොලීසිය විසින් මරා දැම්මේය. පෙනා නීටෝ යනු ජනතාවගෙන් සියයට 25 ක් පමනක් අනුමත කරන නූතන මෙක්සිකානු ඉතිහාසය තුල වඩාත්ම අප්‍රසාදයට පත් ජනාධිපති වේ.

එබඳු ව්‍යාපාරයක් ක්ෂනික සමාජ නැගීටීමකට උත්තේජනය සපයනු ඇති බවට බියෙන් ගැසොලිනාසෝ වලට එරෙහි ව්‍යාපාරය මත ප‍්‍රචන්ඩ කඩා පැනීමක් සදහා නියෝග කිරීමෙන් ආන්ඩුව තවමත් වැලකී සිටී. සමාජ පිපිරීමක විභවය පිලිබඳව අනතුරු අඟවමින් මෝලස් වල ආන්ඩුකාර ග්රැකෝ රමිරේස් අඩුවැටුප් සහිත කම්කරුවන්ට හදිසි වැටුප් වැඩිවීමකින් ආන්ඩුව විරෝධතාවයට ප‍්‍රතිචාර දැක්විය යුතු බවට යෝජනා කලේය.

වර්ධනය වන අර්බුදයට ආමන්ත‍්‍රය කිරීම පිනිස සිය නිවාඩුව අවලංගු කිරීම සදහා ජනාධිපති පෙනා නීටෝට පසුගිය බදාදා බල කරනු ලැබිනි. ජාතික වශයෙන් විකාශනය වූ කථාවක ඔහු ”අපේ ආර්ථිකයේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම” අත්‍යවශ්‍ය හෙයින් සහනාධාර අඩුකිරීමේ තීරනය අවලංගු නොකරනු ඇති බවට අවධාරනය කලේය.

එකී කථාවේදීම පෙනා නයිටෝ මතු එන ට‍්‍රම්ප් පරිපාලනය සමග සම්බන්ධතා වර්ධනය කිරීම ඉලක්ක කරගත් ප‍්‍රධාන අමාත්‍ය මන්ඩල සංශෝධනයකින් විදේශ අමාත්‍යවරයා ලෙස හිටපු මුදල් ඇමති ලුයිස් වයිඩ්ගරේ නැවත පත්වෙනු ඇති බවට නිවේදනය කලේය. ”ප‍්‍රයෝජනවත් වැඩ සම්බන්ධතාවක පදනමක් අපට ස්ථාපනය කර ගත හැකි වන පරිදි, ට‍්‍රම්ප් පරිපාලනයේ පලමු දිනයේ සිටම සංවාදයක් සහ සම්බන්ධතාවයක්” පවතිනු ඇති බවට මෙම පත්වීම සංඥා කලේ යැයි පෙනා නීටෝ ප‍්‍රකාශ කලේය.

ජනාධිපතිගේ අධම ප‍්‍රකාශ මගින් මෙක්සිකානු කම්කරු පන්තිය තුල විරෝධය තවදුරටත් ප‍්‍රකුපිත කෙරෙනු ඇත. මෙක්සිකානු කම්කරුවන්ගේ සමීප පවුල් සාමාජිකයන් දස මිලියන සංඛ්‍යාවක් එක්සත් ජනපදය තුල ජීවත්වන අතර, ට‍්‍රම්ප් පරිපාලනය යටතේ ඔවුහු පිටමං කිරීමකට මුහුන දී සිටිති. එජ මැතිවරන ව්‍යාපාරය අතරතුර මෙක්සිකෝ නගරයේ ට‍්‍රම්ප් සහ පෙනා නීටෝ අතර හමුවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් වයිඞ්ගරේ පුලුල් අප‍්‍රසාදයකට පත්ව සිටී. සැප්තැම්බර් මුල එනම් එම හමුවෙන් සතියකට පසු මුදල් ඇමති ධුරයෙන් ඔහු ඉල්ලා අස්විය.

විරෝධතාවයන් වර්ධනය වෙමින් තව දුර ඉදිරියට යනු ඇතිද නොඑසේ නම් පූර්ව සමාජ ව්‍යාපාරයන් ට සිදුකලාක් මෙන් ඇන්ඩ්රෙස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ සහ ඔහුගේ මොරේනා පක්ෂයට සම්බන්ධිත වෘත්තීය සමිති විසින් ගෙල සිර කරනු ඇතිද යන්න තවමත් නිශ්චිත නැත.

ගෑස් සහනාධාරය කප්පාදු කිරීමට එරෙහි සටන්කාමී විරෝධතා එක්සත් ජනපදයද ඇතුලුව ලෝකය පුරා පන්ති අරගලයන් යලි පැන නැගීමේ ප‍්‍රකාශනයන්ය. බිලියනපතියන්, හිටපු ජෙනරාල්වරුන් සහ අර්ධ ෆැසිස්ට්වාදී දේශපාලනඥයන්ගෙන් සමන්විත තම කබාලය සමග එක්ව, සමාජ සුභසාධනයන් සහ කම්කරු පන්තියේ ජීවන තත්ත්වය මත ට‍්‍රම්ප් විසින් එල්ල කිරීමට සූදානම් කෙරෙන කුරිරු ප‍්‍රහාරය, ඇමරිකානු සහ මෙක්සිකානු කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකට බල කෙරෙන කොන්දේසි නිර්මානය කරමින් මෙක්සිකානු දේශ සීමාව හරහා කම්කරු පන්තික අරගල රැල්ලක් ජනිත කෙරෙනු ඇත.

මෙක්සිකානු කම්කරුවන්ට තම රටතුල සිදුුවෙමින් පවත්නා සමාජ ප‍්‍රතිවිප්ලවයට විරුද්ධ වීමට පවත්නා එකම මාවත වනුයේ ලෝකය පුරා, ප‍්‍රථමව සහ ප‍්‍රමුඛව, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිය පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ වීමයි. දැවැන්ත ලාභ සඳහා සංගත විසින් විකුනනු ලබන නිපැයුම් සැලකූ කල, බොහෝ විට එකම නිපැයුමේ විවිධ කොටස් නිපදවමින් උතුරු ඇමරිකාව පුරා කම්කරුවන් එකම සැපයුම් ජාලය තුල තම ශ‍්‍රමය වගුරුවයි.

තම රටේ ධනපති පන්තිය මෙක්සිකානු ජාතික වාදය අවුස්සන අතරම කම්කරු පන්තියේ වියදමින් තමාම ධනවත් වීමට එජ අධිරාජ්‍යවාදය සමග එක්ව වැඩ කරමින් සිටින බව මෙක්සිකානු කම්කරුවන් විසින් වටහා ගැනීමට අවශ්‍ය වේ. නැෆ්ටා ප‍්‍රතිපාදන හරහා හෝ වෙලඳ යුද්ධය හරහා හෝ රැකියා සඳහා එකිනෙකාට එරෙහිව සටන් කිරීමට සහ වැටුප් සඳහා තරග කිරීමට කම්කරු ජනතාව තල්ලු කෙරෙනතාක් දුරට කලාපය තුල ජීවන කොන්දේසි අඛන්ඩව පහල වැටෙනු ඇත.

ඇමරිකානු කම්කරුවන්, ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් පතුරන වර්ගවාදී සහ ස්වෝත්තමවාදී බොරු මෙන්ම, එජ වෘත්තීය සමිති සහ ජාතිකවාදී විෂ සමග ”වාම” පූච්චානම් මුසු කරන බර්නි සැන්ඩර්ස් බදු පුද්ගලයින් ප‍්‍රතික්ෂේප කල යුතුය. ”නව ලෝකයේ”, එනම් උතුරේ සිට මධ්‍යම ඇමරිකාව හරහා දකුනු ඇමරිකාව දක්වා, කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම ලෝක විප්ලවයේ ප‍්‍රධාන මූලෝපායික කර්තව්‍යයකිි. එය ලතින් ඇමරිකාව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීම ඉල්ලා සිටී.

එරික් ලන්ඩන්

Share this article: