නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් වර්ගවාදී නඩ උසිගැන්වෙයි

සුජීව අමරනාත් විසිනි, 2017 ජූලි 28

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව කොලඹ ආන්ඩු විසින් ගෙනගිය තිස්වසරකට ආසන්න වර්ගවාදී යුද්ධයේ අවසන් සමයේ දෙමල ජාතික තරුනයන් ඇතුලු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ ව නාවික හමුදා කොමදෝරුවරයෙකු වන ඩී. කේ. පී. දසනායක ජූලි 12දා අත්අඩංගුවට ගැනුනි. පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් අත්අඩංගුවට ගත් දසනායක නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකයා ලෙස කටයුතු කර තිබේ. ඔහු නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ සහ පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්වලට වගකිව යුතු නාවික හමුදාවේ විශේෂ කන්ඩායම් දෙකක් භාර නිලධාරියා ලෙස ද ක්‍රියා කර ඇත.

අතුරුදහන් කරන ලද 11 දෙනා අතරට කොටහේන, මරදාන, දෙමටගොඩ යන කොලඹට ආසන්න පුද්ගලයන් හා අරිප්පු හා ත්‍රිකුනාමලය යන උතුරු හා නැගෙනහිර පලාත්වල අය ද අයත් ය. ඉන් පස් දෙනෙකු ම තරුන ශිෂ්‍යයන් ය. කොලඹ දී පැහැරගත් අය, කොලඹ චෛත්‍ය පාරේ, නාවික හමුදාවට අයත් ‘පිට්ටු බම්බු’ ගොඩනැගිල්ලේ පලමුව රඳවාගත් බවත්, පසු ව ඔවුන් ව, ත්‍රිකුනාමලයේ නාවික තටාකාංගනයේ “ගන්සයිඩ්” නමැති පොලව යට පිහිටි අඳුරු සිරකුටියක රඳවා තබා අතුරුදහන් කෙරුනු බවත් වාර්තා වෙයි.

2008-2009 සමයේ සිදු වූ මෙම සිද්ධියට අදාල ව 50 කට අධික පිරිසකගෙන් ප‍්‍රශ්න කර ඇතැයි වාර්තා වන අතර, ඒ අතර හිටපු නාවික හමුදාපතිවරයෙකු ඇතුලු ඉහලපෙලේ නාවික හමුදා නිලධරයන් කිහිප දෙනෙකු ම සිටී. යුද සමයේ අතුරුදහන් කිරීම් පිලිබඳ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මිලිටරි නිලධරයන්ගෙන් ජ්‍යෙෂ්ඨතම තානාන්තරය දැරුවේ දසනායක යයි කියනු ලැබේ. අත්අඩංගුවට පත්වන විටත් ඔහු, ආරක්ෂක මාන්ඩලික ප‍්‍රධානීන්ගේ කාර්යමන්ඩලයේ සාමාජිකයෙකි.

වර්ගවාදී යුද කාලසීමාව තුල අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව නිශ්චිත ව ම ගනන් බලා නැතත් අතුරුදහන් වූවන් පිලිබඳ ව පිහිටුවා ඇති කොමිෂන් සභා කාර්යාලයට පැමිනිලි 20,000කට අධික ප‍්‍රමානයක් ලැබී තිබේ. ත්‍රිවිධ හමුදාවන් මෙන් ම, ඒවාට සම්බන්ධ පැරාමිලිටරි කන්ඩායම් ද විසින් සිදුකරන ලද පැහැරගැනීම්වලට ලක්වූවන්ගෙන් බහුතරයක් දෙමල තරුනයන් වන අතර දේශපාලන විරුද්ධවාදීන් ද ඒ අතරට අයත් ය.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, 2014 ඔක්තෝබර් මාසයේ නිකුත් කල වාර්තාවකට අනුව, 1989 වසරේ සිට ශ්‍රී ලංකාවේ 34,000 ක් දෙනා අතුරුදහන් වී ඇත. ඒ වන විට, ඉන් 16,000 ක් පිලිබඳව ඥාතීන් විසින් වාර්තා කොට තිබුනි. එයින් සියයට 58 ක් ම වයස 18-29 තරුනයෝ වෙති.

කෙසේනමුදු, අතුරුදහන් වූවන් පිලිබඳ ව සෙවීමට කිසිදු පියවරක් නො ගැනීම සහ උතුරු පලාත තුල වර්ධනය කෙරෙන පොලිස්-මිලිටරි මර්දනයට එරෙහි ව ආන්ඩුවටත්, ආන්ඩුව බලයට ගෙනඒම සඳහා දරදිය ඇදි දෙමල ජාතික සන්ධානයටත් එරෙහිව වැඩෙන මහජන විරෝධය කෙරෙහි උත්සුක ජනාධිපති සිරිසේන, මේ මස 20 වන දා, ඊනියා “අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාල පනත” ට අත්සන් කලේ ය. ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ, යුද ජයග‍්‍රහනය වෙනුවෙන් “දිවි දුන් හා වීරියෙන්” ක්‍රියාකල “රනවිරුවන්” හෝ ඒ සඳහා දේශපාලන නායකත්වය දුන් කිසිවෙකු කිසිදිනක පාවා නො දෙන බවට නැවත නැවතත් පිලින දෙන තත්වයක් තුල, මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ අතරින් දහස් ගනනක් වූ “අතුරුදහන් කිරීම්” පිලිබඳව සැබෑ අනාවරනයක් හෝ “අතුරුදහන්වූවන්ගේ” ඥාතීන්ට කවර සහනයක් හෝ මෙම ඊනියා කාර්යාලයෙන් නොලැබෙන බව පැහැදිලිය.

මෙම තතු තුල දිසානායක අත්අඩංගුවට ගැනීම වනාහි, මිලිටරියේ පුද්ගලයන් කීප දෙනෙකුට වරද පටවා රුදුරු යුද අපරාධ වසන් කිරීමට ආන්ඩුව දරන ප‍්‍රයත්නයේ කොටසකි.

කෙසේ නමුදු, සිංහල වර්ගවාදී නඩ විසින් දසනායක අත් අඩංගුවට ගැනීම තම දෙමල විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නැංවීම සඳහා ඩැහැගෙන ඇත. මෙය “රනවිරුවන්” බිලිදීමේ පියවරක් බව ඔවුහු කියා සිටිති. ඔවුන් අතරින් ඉදිරියෙන් ම සිටින සංවිධානයක් වන, ජාතික නිදහස් පෙරමුනේ (ජානිස) නායක විමල් වීරවංශ මාධ්‍යයට පැවසුවේ, දසනායක අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා “සතුටු කිරීම” පිනිස බවයි.

මෑතක දී මෙරටට පැමිනි එක්සත් ජාතීන්ගේ නියෝජිත බෙන් ඉමර්සන්, ශ්‍රී ලංකා ආන්ඩුව යුද අපරාධ සම්බන්ධයෙන් තම සංවිධානය අපේක්ෂා කල පරිදි ක්‍රියා කර නැතැයි ප‍්‍රකාශ කල අවස්ථාවේ එයට ජානිස විරුද්ධත්වය පෑවේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් ලියමිනි. ජානිස මාධ්‍ය ප‍්‍රකාශක පියසිරි විජේනායකගේ නමින් යැවූ එම ලිපියෙන් කියා සිටියේ, “ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට අතපොවන නව-අධිරාජ්‍යවාදයේ නියෝජිතයෙකුගේ නරුම ප‍්‍රකාශයක් ලෙස එක හෙලා හෙලා දකින බව” යි.

එල්ටීටීඊ “ත‍්‍රස්තවාදයෙන්” රට මුදාගෙන දැන් පවත්නා “සාමය හා සංහිඳියාවට” පාර කැපූ නිසා “රනවිරුවන්” දඩයම් කිරීම නතර කල යුතු බව සිංහල වර්ගවාදීන්ගේ තර්කය යි. වර්ගවාදී නඩයේ ගුරෙකු වන දයාන් ජයතිලක දිවයින පුවත්පතට ලියූ ලිපියක මෙසේ කියයි: “ෆැසිස්ට් ත‍්‍රස්තවාදයෙන් අප ව විමුක්ත කරගෙන, අපේ රට යලි එක්සේසත් කොට සාමය ගෙන ආ, අපේ සන්නද්ධ හමුදාවන්ට විශේෂ නියෝජිත කාර්යාලයක් හරහා දඬුවම් කිරීමට ජිනීවාහි දී පොරොන්දු වූ, ආන්ඩුවේ නායකයන්ගේ දාසභාවයට හා විදේශිකයන්ගේ නව-විජිතවාදී නියෝගයන්ට එරෙහි මේ රටේ ස්වෛරී ජනතාවගේ ඉවසීම සීමාව ඉක්මවා” ඇති බව යි. මෙහි අර්ථය වන්නේ “රනවිරුවන්” කල කවර අපරාධයක් වුව ද කම්කරු පන්තිය හා පීඩිත ජනයා ඉවසා වැදෑරිය යුතු බව ය.

ජයතිලකගේ ඉවසීමේ සීමාව ඉක්මවනු ලබන්නේ, ලොව පුරා මෙන් ම දකුනු ආසියානු කලාපයේ ද කම්කරු පන්තියේ හා අනෙකුත් පීඩිත ජන කොටස්වල වැඩෙන අරගල සමස්ත ධනපති ක‍්‍රමයට ම එරෙහි ස්වාධීන දේශපාලන අරගලයක් බවට පත් වේ ය යන භීතිය විසිනි. වර්ගවාදීන් පෙරට බැස ඇත්තේ, හිටපු ජනාධිපති රාජපක්ෂ නියෝජනය කරන සිංහල-බෞද්ධ ෆැසිස්ට් බලවේග පාරට බස්සවා කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ වර්ධනය වන අරගල තලා කුඩුපට්ටම් කොට මිලිටරි-පොලිස් ආඥාදායකත්වයකට පාර කපා ගැනීමට පාලක පන්තියේ කොටසකට ඉඩ සලසා දීමට යි.

කම්කරුවන්, තරුනයන්, සිසුන් හා අවශේෂ පීඩිතයන් මෙම අන්තරායන් හඳුනාගෙන, වර්ගය, ජාතිය, ආගම යනාදී තමන් ව බෙදාලන සියලු රේඛා කපාගෙන සමාජවාදී සමානතා පක්ෂය, මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනගමින්, සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදිය යුතු ය.

Share this article: