මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳව සසප ස්වාධීන පරීක්ෂන කමිටුව වතු රැස්වීමක් පවත්වයි

අපේ වාර්තාකරු විසිනි, 2017 ජුලි 14

මීතොටමුල්ලේ කුනු කන්ද නායයාමෙන් සිදුවූ විනාශය ගැන සමාජවාදී සමානතා පක්ෂය (සසප} විසින් දියත් කර ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනය පිලිබඳව ප‍්‍රදේශයේ ජනයා දැනුවත් කිරීමට සහ ඊට මහජන සහයෝගය ලබා ගැනීම සඳහා සසප ජුලි 9 වෙනිදා මීතොටමුල්ල පාර අසල වතු රැස්වීමක් පැවැත්වීය. අප්‍රේල් 14 වෙනිදා මීතොටමුල්ල කුනුකන්ද පුපුරායාමෙන් සිය ගනනක් එම ව්‍යසනයට ගොදුරු වූ අතර මරනයට පත්වූ ගනන 32ක් බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇත. තවත් පිරිසක් අතුරුදහන් විය. නිවාස සිය ගනනක් සහ දේපල විනාස විය. නිවාස අහිමි වූ බොහෝ දෙනෙකුට තවමත් නිවාස ලැබී නැත.

රැස්වීමට සම්බන්ධවූවන්ගෙන් කොටසක්

රැස්වීමට පෙර සසප සාමාජිකයෝ කසල කන්ද කඩා වැටී නිවාස අහිමිවූ සිය ගනනක් පවුල් අතරින් කොටසක් පදිංචි කර සිටින කොලොන්නාව, සාලමුල්ලේ ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්නයේ හා මීතොටමුල්ල නිවැසියන් අතර උද්ඝෝෂනයක යෙදුනාහ. එහිදී, උද්ඝෝෂකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල පල කෙරුනු ශ්‍රී ලංකාවේ කසල අර්බුදය පාලක පන්තිය ඇතිකල තවත් මාරක ව්‍යසනයක් යන ලිපිය ඇතුලු ලිපි ගනනාවක් බෙදා හැරියහ. ව්‍යසනයට මුහුනදුන් මීතොටමුල්ල ප‍්‍රදේශයේ දුගී නිවැසියන්, කම්කරුවන් හා ගෘහනීන් කන්ඩායමක් රැස්වීමට සහභාගී විය.

කුනු කන්ද නාය යාමෙන් මිය ගිය මුලු ගනන තවමත් අවිනිශ්චිත බව රැස්වීමේ මුලසුනේ සිටි සසප සාමාජික අරවින්ද කීවේය. “නිවාස සිය ගනනක් ද ජීවිත ද විනාශ කරමින් සිදු වූ ව්‍යසනය වත්මන් හා පසුගිය ආන්ඩු හා බලධාරීන් වගකිව යුතුයි. කුනු කන්ද ඉවත් කරන ලෙස ඉල්ලමින් 2011 සිට මහජනයා උද්ඝෝෂන කලා. ආන්ඩුව පොලිස් ප‍්‍රහාර මගින් ඒවා යටපත් කල” බව ඔහු ප‍්‍රකාශ කලේය.

සසප සාමාජික අරවින්ද

“ආන්ඩුව දැන් උත්සාහ කරන්නේ ව්‍යසනයේ වගකීම මහජනයා මත පැටවීමට. සසප දියත් කර ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අරමුන ව්‍යසනයේ සබෑ මූලයන් හෙලිදරව් කර ධනපති ආන්ඩුවල මෙවන් අපරාධයන්ට එරෙහිව කම්කරුවන් හා පීඩිතයන් ගතයුතු ක්‍රියා මාර්ගය පැහදිලි කිරීම” බව ඔහු පැවසුවේ ය.

සසප සමාජික ෆරීඩා ඉම්රාන්

සසප සමාජික ෆරීඩා ඉම්රාන් දෙමල බසින් කතා කරමින් ලාභ ලැබීමේ පදනම මත පිහිටි ධනේශ්වර ක‍්‍රමය යටතේ සමාජ සේවා සඳහා වියදම් කපා හරිමින් ලෝකය පුරා මහජනතාව ව්‍යසනයන්ට ගොදුරු කරන බව පෙන්වා දුන්නාය.

“මෑතකදී ලන්ඩන් නුවර ග්රෙන්ෆිල්හි මහල් නිවාස සංකීර්නයක් ගිනි ගැනීමෙන් සිය ගනනක් මිය ගියා. එය එම නිවාස අලූත් වැඩියා නොකිරීමේ හා නිසි ආරක්ෂන ක‍්‍රම නොතිබීමේ ප‍්‍රතිපලයක්. සුපිරි ධනවතුන් සිටින මෙම ප‍්‍රදේශයෙන් දුගී නිවැසියන් පලවා හැරීමට ආන්ඩුවලට හා බලධාරීන්ට අවශ්‍යව තිබුනා” යයි පැවසූ ෆරීඩා සාමාන්‍ය මහා ජනතාව සඳහා තනා ඇති කොලඹ, කොලොන්නාව, සාලමුල්ල, ලක්සඳ සෙවන ඇතුලු මහල් නිවාස ද ප‍්‍රමිතියකින් තොරව ගොඩ නගා ඇති බවත් ලෝකය පුරා දුගී ජනතාව සමාන ප‍්‍රශ්නයන්ට මුහුන දෙන බවත් පෙන්වා දුන්නාය.

සසප දේශපාලන මන්ඩලයේ සමාජිකා විලානි පීරිස්

සසප දේශපාලන මන්ඩලයේ සමාජිකා විලානි පීරිස් අවසාන කතාව කරමින් මීතොටමුල්ල කුනු කන්ද නායයාමේ ව්‍යසනයට මහින්ද රාජපක්ෂගේ මෙන්ම සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුවද වගකිව යුතු බව පෙන්වා දුන්නාය.

“2009 සිට කසල ටොන් 800 ත් 1200ක් පමන දිනකට මීතොටමුල්ලට ගෙනැවිත් දමමින් මහජනයාගේ ජීවිත විනාශ වන කොන්දේසි නිර්මානය කලේ ධනපති ආන්ඩු සහ ඒවායේ බලධාරීන් විසින්. ඇතැම් විද්වතුන් ඒ සම්බන්ධයෙන් කල අනතුරු ඇඟවීම් ඔවුන් මුලුමනින් ම නොතකා හැරියා. මෙම ව්‍යසනය ධනපති ආන්ඩු විසින් දැනුවත්ව සුදානම් කල එකක්. ඔවුන්ගේ සැලැස්ම මෙම ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් කර විදේශ ආයෝජකයන්ට එම ඉඩම් පැවරීම” බව ඇය පැවසීය.

ආන්ඩුව දැන් කොමිටියක් පත්කර සැබෑ තත්වය වසන් කිරීමටත් මහජනයාගේ විරුද්ධත්වය යටපත් කිරීමටත් උත්සාහ කරන බව ද ඇය කීවාය.

“මීතොටමුල්ලෙන් ආන්ඩුව නතරවෙලා නැහැ. අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවමින් හා පොලීසිය හා හමුදාව යොදා මහජන උද්ඝෝෂන මඩිමින් විවිධ ප‍්‍රදේශවලට අනාරක්ෂිත ලෙස කසල බැහැර කිරීමට ආන්ඩුව කටයුතු කරනව. කසල පමනක් නෙමෙයි ගංවතුර හා ඩෙංගු වසංගතය බරපතල සමාජ ප‍්‍රශ්නයක්. දසදහස් ගනනක් ජනයා ඒවායෙන් පීඩා විඳිනවා. ආයෝජකයන්ගේ සහ මහ ධනපතියන්ගේ අවශ්‍යතාවයන් ගැන මිස මහජනතාවගේ සෞඛ්‍ය ඇතුලු සමාජ අවශ්‍යතාවයන් ගැන මොනම තැකීමක්වත් ධනපති ආන්ඩුවට නැහැ” යි විලානි පැවසුවාය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂ කරන්නේ මීතොටමුල්ල විනාසයට තුඩුදුන් සැබෑ ප‍්‍රශ්න යට ගසා ආන්ඩුවට බලපෑම් දැමීම සහ නඩු පැවරීම් මගින් විනාශයට ගොදුරු වූ ජනයාගේ ප‍්‍රශ්නවලට විසඳුම් සම්පාදනය කර ගත හැකියයි ඔවුන් තුල මිථ්‍යාවක් වගා දිගා කිරීම බව ඇය කීවාය.

නිවැසියන් හා සාකච්ඡා කරමින්

පෙසප ක්‍රියා කාරියෙකු වන නුවන් බෝපගේ මූලිකත්වයෙන් යුතු කුනු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය කලේ මෙම මිථ්‍යාවට මීතොටමුල්ල ජනයා කොටුකර තැබීම බව විලානි පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය ක්‍රියාවට දමන සමාජ සුබසාධන කප්පාදුව ඇතුලු ප‍්‍රහාර ලෝකයේ හැම රටකම පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයේ කොටසක් බව ඇය පෙන්වා දුන්නාය.

1940 ගනන් හා 1950 ගනන්වලදී ලංකාව තුල ට්‍රොට්ස්කිවාදීන් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වා සමාජ අයිතීන් දිනා ගැනීමට සටන් කල බව පෙන්වාදුන් ඇය 1964දී ලංකා සමසමාජ පක්ෂය ධන්පති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට එක්වී කම්කරු පන්තියේ ස්වාධීනත්වය පාවා දුන් බවත් ධනපති එක්සත් ජාතික පක්ෂයට බලයට ඒමට කොන්දේසි සකසා දුන් බවත් සඳහන් කලාය. එම ආන්ඩුව නිදහස් වෙලඳ ආර්ථික ප‍්‍රතිපත්තිය ක්‍රියාවට දමමින් සමාජ සේවා විනාශ කිරීමේ වැඩකටයුතු පෙරට ගෙන ගිය බවද ඇය පෙන්වා දුන්නාය.

“ලෝක ධනවාදය බරපතල අර්බුදයකට මුහුන දීලා. ධනපති පාලක පන්තීන් එම අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන්නේ එහි බර කම්කරු පන්තිය හා දුප්පත් මහ ජනතාව මත පටවල. සමාජ වියදම් කප්පාදුව හා කම්කරු පන්තිය විසින් අතීත අරගල මගින් දිනාගෙන ඇති සියලු අයිතීන්ට පහරදීම සිදුවන්නේ ඒ අනුව” බව විලානි කීවාය.

ධනපති ක‍්‍රමය තුල කම්කරු පන්තිය හා දුගී මහජනතාව මුහුන දෙන ප‍්‍රශ්නවලට විසඳුම් නැති බවත් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් සම්පාදනය කර ගත හැක්කේ ධනපති පන්ති පාලනය අහෝසි කර සමාජවාදී ආර්ථික පිලිිවෙතක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් කිරීමෙන් පමනක් බව ඇය අවධාරනය කලාය. කම්කරු පන්තියේ නායකත්වය යටතේ නාගරික දුගීන්, ගම්බද ගොවීන් හා තරුනයන් බලමුලු ගන්වා ගනිමින් ඒ සඳහා සටන් වදින ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය ඇය පැහැදිලි කලාය.

රැස්වීමෙන් පසු සාකච්චාවට සම්බන්ධවූ ගෘහනියක් කියා සිටියේ එම ඉඩම් සංවර්ධන කටයුතු වලට අවශ්‍ය බව කියමින් ඉඩම්වලින් ඉවත් වන ලෙස 2013 දී රාජපක්ෂගේ ආන්ඩුව දනුම් දුන් බවය.

“මගේ ලමයි පස්දෙනෙක් එකතුවෙලා මෙම නිවස හදා ගත්තේ. අපිට ලක්ෂයක් ගෙවලා යන්න කිව්වා මහල් නිවාසයකට. හුන්ඩුවක් වගේ එක ගෙයයි ලැබෙන්නේ. අපි කැමතිවුනේ නැහැ.” ඇය කීවාය.

“අද අපි ඉන්නේ නැවත මේ කුනු කන්ද පිපිරීමක් හෝ ගිනි ගැනීමක් ඇතිවිය හැකි තත්වයක. නමුත් දැන් අපිට යන්න කියන්නේ නැහැ. නිවසක් දෙන බවක් කියන්නෙත් නැහැ. අපි අනවසර නිවැසියොලූ. රටේ පුරවැසියන්ට නිවසක් ලබා දෙන එක ආන්ඩුවෙ වගකීමක්” ඇය පැවසීය.

කුමුදු නම් ගෘහනියක් සාකච්චාවට සම්බන්ධවී නාය යෑමට කලින් කුනු කන්ද දිරාපත් වෙන්න කියලා රතන හාමුදුරුවො බවුසර් පහකින් කෙමිකල් එකක් ගැස්සෙව්වා. ඒ ගහලා සති දෙකක කාලයක් තුල කුනු කන්ද වේගයෙන් දිරාපත් වෙමින් පහල බැස්සා. කුනු කන්දේ බර බොල් පොලවට උහුල ගන්න බැරිවයි ඉවුරු ඉරිතලල ගෙවල් කඩා වැටුනේ.

“කැලනි ගඟට බහින්නෙ මේ කුනු කන්ද හෝදන් යන ජරාව. අපේ වසම්වල ජනයාට දන්සලක්වත් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. කෑම වලට විශබීජ මුසුවෙන නිසා සනීපාරක්ෂාව නැහැ කියලා. එතකොට අපි එදිනෙදා උයා පිහාගන කන කෑම ගැන මොකක්ද කරන තැකීම? ඉස්සරහ ගෙදර පුංචි ලමයෙක් ගිය අවුරුද්දෙ ඩෙංගු හැදිලා මැරුනා. ඩෙංගු වලින් පසුගිය අවුරුදු කිහිපයේ තිස් ගනනකට වඩා මැරුනා”.

”දැන් [මෙගාපොලිස් ඇමති] චම්පික රනවක අපේ මලමිනී උඩින් මේක “හරිත උයනක්” කරන්න හදනවා. අනවසර ඉදිකිරීම් කියලා අපේ දෙමව්පියොත් උන්නු, අපි පොඩි කාලෙ ඉඳං හැදුනු වැඩුනු ඉඩම්වලින් බල්ලො බලල්ලු ගානට අපිව එලවනවා. අපේ ගෙවල් අවදානම් කලාපයට ඇතුලත් වුනත් ඒ බවක් දැනුම් දීලා නෑ. අපි කැමති නෑ මේ කුනු ගොඩට යට වෙලා මැරෙන්න.” ඇය කීවාය.

ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එම් මොහිදීන් ප‍්‍රකාශ කලේ “නාය යෑමට කලින් කුනු කන්දට ගහපු කෙමිකල් එක නිසා පලාතේ වෙනස්කම් ඇතිවුනා. රාහුල විද්‍යාලයට පිටුපසින් දහම්පුර හරියෙන් ඇලේ ජලය පිටාර ගැලුවා. දනහිස ලඟට වතුරදාලා සමහර අය ගෙවල්වලින් ඉවත්වුනා. සමහර ගෙවල් පුපුරල කැඩුනා. ඇලේ යට පස් තට්ටු උඩට මතුවීම නිසා ජල ගැල්ම සිදුවුන බවයි දකින්ට තිබුනෙ.” පරීක්ෂනයක දී මේ කරුනු ද සලකා බැලිය යුතු බව ඔහු කීවේය.

Share this article: