ශිෂ්‍ය ක්‍රියාකාරිකයා පැහැර ගැනීමට එරෙහි විරෝධතාව මැඩීමට පොලිස් ප‍්‍රහාරයක්

නවීන් දේවගේ විසිනි, 2017 ජූලි 24

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීමට එරෙහිවත්, අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසත් බල කරමින් ජූලි 22 වන දා ලිප්ටන් වටරවුමේ දී සිසුන් ආරම්භ කල “සත්‍යග‍්‍රහ” විරෝධතා ක‍්‍රියාව කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරනයෙන් වාරන නියෝගයක් ලබා ගෙන අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කොට පහර දී විසුරුවා හැරීමට පොලිසිය ජූලි 23 සවස් වරුවේ දී කටයුතු කලේ ය. මෙම ප‍්‍රහාරයෙන් ශිෂ්‍යයන් ගනනාවක් තුවාල ලැබූ අතර තවත් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔවුන් එදින රාත්‍රියෙහි ඇප මත මුදා හැර තිබේ.

සෙනසුරාදා පා ගමනින් ලිප්ටන් වට රවුමට රැස් වූ ශිෂ්‍යයෝ එහි තාවකාලික ඉදි කිරීමක තම සත්‍යග‍්‍රහ ව්‍යාපාරය ආරම්භ කලහ. මෙහි රැස්ව සිටි සිසුන්ට ඉරිදා පාන්දර වාහනයකින් පැමිනි මැරයන් පිරිසක් විසින් ගල්වලින් පහරදී ඇත.

පසුගිය බ‍්‍රහස්පතින්දා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ දී “සයිටම් විරෝධී ජන පවුර සංවිධානය” පැවැත් වූ සාකච්ඡාවකට සහභාගී වී එලියට පැමිනි රයන් ජයලත් සුදු වෑන් රියකින් පැමිනි නාඳුනන පිරිසක් බලහත්කාරයෙන් ඇද ගෙන යාමට තැත් කලහ. නමුත් අවට සිටි අයගේ මැදිහත් වීමෙන් එම ප‍්‍රයත්නය අසාර්ථක විය. පසුව පොලීසිය සඳහන් කර ඇත්තේ සිවිල් ඇඳුමින් පැමිනි පුද්ගලයන් රහස් පොලිස් නිලධාරීන් බවයි.

ජූනි 21 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමේත්, එහි මහජන දේපලවලට හානි කිරීමේත් චෝදනා ඉදිරිපත් කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් බිය වැද්දීම් සහ අත්අඩංගුවට ගැනීම් මාලාවක් ආන්ඩුව හා පොලීසිය විසින් උසි ගන්වා ඇත. දැනටමත් ශිෂ්‍යයෝ හයදෙනෙක් අත්අඩංගුවේ පසු වෙති. ජයලත් ද මේ දඩයමට නියමිත වී සිටින සිසුවෙකි.

ජයලත් පැහැර ගෙන යාමට තැත් කිරීමේ සිද්ධිය මහජනයා අතර අප‍්‍රසාදයට තවතවත් තුඩු දෙතියි බියෙන් එය ආන්ඩුව අපහසුතාවට ලක් කිරීමට සිදු කල “කුමන්ත‍්‍රනයක් බව” මුදල් ඇමති මංගල සමරවීර ප‍්‍රකාශ කලේය. පොලීසිය භාර නීතිය, සාමය හා දක්ෂින සංවර්ධන ඇමති සාගල රත්නායක සිද්ධිය ගැන පරීක්ෂනයක් කරන ලෙස පොලිස්පතිට නියෝග කල බවක් ද සඳහන් විය.

එහෙත්, ඉරිදා පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී පොලීසියේ මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුනසේකර එම වෑන් රථය කොලඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත එකක් බවත්, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජකාරී කටයුතු කරන්නේ සිවිල් ඇඳුමින් බවත් ප‍්‍රකාශ කරමින් සිසුවා පැහැර ගෙන යාමට තැත් කිරීම යුක්තිසහගත කලේය. ඔහු තවදුරත් සඳහන් කලේ, ඒ සඳහා අධිකාරී බලය ඔවුන්ගේ හැඳුනුම්පතින් ලබා දී තිබෙන බවත් පොදු දේපල පනතට අදාල වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අනවශ්‍ය බවත් ය. නමුත් පොලිස් නිලධාරීන් අතින් රාජකාරිමය අඩුපාඩුවක් සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා ද අත්අඩංගුවට ගැනීමට බාධා කල පිරිස සම්බන්ධයෙන් ද පරීක්ෂනයක් ආරම්භ කොට ඇති බව ගුනසේකර පැවසීය. .

මරදාන පොලිසිය යයි පවසමින් සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පසුගිය දිනෙක රාත්‍රියේ ගාල්ල වඳුරඹ ජයලත්ගේ නිවසට පැමින ඔහුගේ පියාට තර්ජනය කොට ඇත. තමන් සම්බන්ධයෙන් දිගින් දිගටම තර්ජනාත්මක ඇමතුම් ලැබෙන බව ජයලත් මාධ්‍යට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත. නාඳුනන කන්ඩායම් “සුදු වෑන්වලින්” පැමින පැහැර ගෙන යාම් සම්බන්ධයෙන් ලංකාව තුල අපකීර්තිමත් ඉතිහාසයක් ඇත. එය පන්ති අරගල මැඬීමේ කුප‍්‍රකට පිලිවෙතකි. පසුගිය යුද්ධ සමය තුල එය සුලභ සිදුවීමක් විය.

මේ අතර, සිසුන්ට එරෙහි මර්දනය ගැන විරෝධය පෑමට හා සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට බලකරමින් අඟහරුවාදා එක් දින සංකේත වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ නිවේදනය කලේය.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම මුල් කර ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ධනපති හා වර්ගවාදී පක්ෂ කීපයක් සමග එක්ව ගෙන යන්නේ මෙම මර්දනයන් ඉදිරියේ කම්කරුවන්, සිසුන් හා වෛද්‍යවරුන් දේශපාලනිකව නිරායුද කරන වැඩ පිලිවෙලකි. ආන්ඩුවට බලපෑම් දමා තත්වය වෙනස් කරගත හැකිය යන මිත්‍යාවක් ඔවුහු තොරොම්බල් කරති. එහෙත්, ධනපති ආන්ඩුව හා පොලීසිය මර්දනකාරී මැදිහත් වීම උත්සන්න කරමින් සිටියි. මේ සියල්ල, ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට නැංවීමේ දී පැන නැගෙන පන්ති අරගල මර්දනය කිරීමේ පූර්ව රංගයන් ය.

එහෙත් පොලිසිය ගෙනයන මේ මෘග ප‍්‍රහාරයන් නැවතත් ඔප්පු කර තිබෙන්නේ තීව‍්‍ර වන ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය හමුවේ ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි බවයි.

Share this article: