ජී 20 සමුලුවට පෙරාතුව

චීනයට එරෙහි යුද්ධ තර්ජනය ගෙන ඒ්මට හා එරට හුදකලා කිරීමට උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම් ඇමරිකාව ගසා කයි

Ahead of G20 summit: US exploits North Korean missile test to threaten war and isolate China

2017 ජූලි 06

උතුරු කොරියාව විසින් ජුලි මස 4 දා හඳුන්වන ලද ඉන්ටර්කොන්ටිනන්ටල් බැලිස්ටික් මිසයිලය (අයි.සී.බී.එම්) විදීමේ අත්හදා බැලීම, ජර්මනියේ මතු පැවතීමට නියමිත ජී 20 සම්මේලනයේ අවධානය පියොන් යැන්ග් තන්ත‍්‍රය සමග ඇති චීනයේ සහයෝගය හෙලාදැකීමේ ප‍්‍රයත්නයක් සඳහා වොෂින්ටනය ඩැහැගත්තේ ය.

ට‍්‍රම්ප් පරිපාලනයේ “ඇමරිකාව පලමුව” ආරක්ෂනවාදී ආස්ථානයට ප‍්‍රතිචාර වශයෙන් ප‍්‍රධාන යුරෝපීය බලවතුන් චීනය සමග සමීප යුරෝසියානු සබඳතා සඳහා යලි පෙලගැසීමක් සමුලුව තුල ආධිපත්‍ය දරනු ඇතැයි ගනන් බැලිනි. මෙයට පෙරාතුව රුසියාව සහ චීනය අතර සාකච්ඡා ද නිදහස් වෙලඳ එකඟතා සඳහා යුරෝපීය සංගමය (යු.ස) සහ ජපානය අතර කැපවීමද, එමෙන්ම වැඩි දියුනු සබඳතා පිලිබඳව ජර්මනිය සහ චීන නිලධරයන් අතර ඉහල මට්ටමේ සාකච්ඡා ද සිදු වී තිබින.

දැන් ඉහත සඳහන් පියවරයන් පසුපසට තල්ලු කිරීම සඳහා අදහස් කරන වොෂින්ටනය ජී-20 ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරු කොරියාවට එරෙහිව තම යුද්ධය ගොඩ නැගීම සමග පෙල ගැසෙන ලෙසත් ය. මෙහි අරමුන වන්නේ ජර්මනිය සහ යු.සං. එක කඳවුරකට ගෙන ඒම සඳහා ඇවිස්සීමටත් චීනය සහ රුසියාව හුදකලා කිරීමටත් ය.

“එක්සත් ජනපදයේත්, දකුනු කොරියාවේත් ජපානයේත් නගරවලට තාප න්‍යෂ්ටික අවි ප‍්‍රහාර එල්ල කිරීමේ” උතුරු කොරියානු සෘජු තර්ජනය යන එ.ජ. තානාපතිනිය නිකී හේලි විසින් ප‍්‍රකාශ කරන ලද කාරනාව සඳහා බීජිනයට වගකීම පැවරීම සඳහා වොෂින්ටනය ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීම භාවිතා කලේය.

නිවැරදි ඉලක්කයට ලඟාවේ යයි කියනුම කෙසේ වෙතත්, තාප න්‍යෂ්ටික මිසයිල හිසකින් උතුරු කොරියානු මිසයිල සන්නද්ධ කල හැකිද යන්න ගැන ආයුධ විශේෂඥයින්ට කෙසේවත් පැහැදිලි නැත. ධවල මන්දිරයත් පෙන්ටගනයත් සහ බොහෝමයක් ඇමරිකානු මාධ්‍ය කෙසේවෙතත් ප‍්‍රකාශ කරන්නේ පරීක්ෂනය වනාහි ක්ෂනික සහ යුදවාදී ප‍්‍රතිචාරයක් අවශ්‍ය කරන සංක‍්‍රමනීය සිද්ධියක් බව යි.

නැවත වතාවක් නැගෙනහිර ආසියාවේ ඒකමතික ඇමරිකානු ප‍්‍රහාරයක් සහ ඛේදජනක යුද්ධයක් සිදුවිය හැකි බවට තර්ජනය කරමින්, හේලි උතුරු කොරියාවට එරෙහිව “අපගේ සැලකිය යුතු හමුදා බලයයන්” භාවිතා කිරීමට ඇමරිකාව සූදානම් බව අවධාරනය කලාය. ඌන සංවර්ධිත සහ දුගී බවෙන් පෙලෙන රටට එරෙහිව එල්ල කෙරෙන සමස්ථ ආර්ථික වටලෑමක් සඳහා මුලූ ලෝකයත්, සියල්ලටමත් වඩා චීනයත් හවුල් කර ගැනීම සඳහා ඉල්ලා සිටීම වොෂින්ටනයේ අරමුන බව ඇය අවධාරනය කලාය.

“එක්සත් ජාතීන්ගේ සංගමයේ සම්බාධකවල වැඩි බරක් පවතින්නේ චීනය වෙත” යනුවෙන් ඇය ප‍්‍රකාශ කලාය. “උතුරු කොරියාව සමග වෙලඳ ගනුදෙනු වලින් සියයට අනූවක් චීනය සමග සිදුවෙයි.” ඇය සංඥා කලේ ගුවන් සහ මුහුදු මාර්ග සබඳතාවත්, මුදල් ගනුදෙනු සහ උතුරු කොරියාවට තෙල් අපනයන වලට බලපාන මහා පරිමානයක නව සම්බාධක සාරාංශ ගත කරමින් ඉදිරි දිනවල නව යෝජනා තමා විසින් ඉදිරිපත් කරනු ඇත යන්නයි.

එවැනි ක්‍රියාවන් වලට සහය දැක්වීම චීනය ප‍්‍රතික්ෂේප කලහොත් මුහුන දිය හැකි ආර්ථික ප‍්‍රතිවිපාක ගැන තර්ජනය කරමින් හේලි ප‍්‍රකාශ කලේ; “එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා උල්ලංඝනය කරමින් උතුරු කොරියාව සමග වෙලඳ සබඳතා සඳහා ඉඩහරිමින්, උනන්දු කරන රටවල් පවා ඇත. ....... මෙවැනි රටවල් තමන්ගේ වෙලඳ සැලසුම් එ.ජ. සමග ද කරගෙන යාමට කැමැති වෙති. මෙය සිදුවිය නොහැකිය. ජාත්‍යන්තර ආරක්ෂක තර්ජන බරපතල ලෙස රටවල් නොසලකන විට වෙලඳ ගනුදෙනු ගැන අපගේ ආකල්ප වෙනස් වෙයි.”

හේලිගෙ ප‍්‍රකාශය පෙල ගැසුනේ පැය කිහිපයකට පෙර ට‍්‍රම්ප් විසින් යවන ලද ට්වීට් පනිවඩ දෙකක් සමගය. මේවා චීනයට එරෙහි ඝෝෂාබද්දයක් විය. පලමු එකේදී, එනම් වෙලඳ සැලසුම් පිලිබඳව යොමු කරමින්, ඔහු පැවසුවේ: “අපට සහය නොදක්වන රටවල් සමග මෙම ගනුදෙනු අප දිගටම කල යුත්තේ මන්ද?” දෙවැනි එකේදී, වඩාත් පැහැදිලි කරුනු දැක්වීමේදී, ඔහු ප‍්‍රකාශ කලේ: “පලමු කාර්තුව තුලදී, චීනය සහ උතුරු කොරියාව අතර වෙලඳාම සියයට 40 න් පමන වර්ධනය විය. අප සමග වැඩ කරන චීනය ගැන කිව හැක්කේ එයයි. නමුත් අප උත්සාහය අත නොහරින්නෙමු.”

එ.ජ. අවසාන නිවේදනයට චීන සහ රුසියානු එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ විවෘතව විරුද්ධ වූහ.

චීනය සහ රුසියාව යන දෙකම දකින්නේ උතුරු කොරියාව තම තමන්ගේ දේශසීමාවන් සහ ඇමරිකානු හමුදා බලයන්ට සත්කාර කරන ඇමරිකාව සමග පෙලගැසී සිටින දකුනු කොරියානු දේශසීමාවන් පවතින මූලෝපායික බෆරයක් ලෙසය. උතුරු කොරියාවේ ආර්ථිකය සහ දේශපාලනය කඩා වැටීම දකුනු කොරියාව ඇතුලූ කලාපයම අස්ථාවර කරයි. දශක ගනනාවක් චීනය ඉල්ලා සිටියේ 1950-53 අතර වූ කොරියානු යුද්ධය සමයේ පටන් අර්ධ ද්වීපය තුල ආතතීන් සමනය කල හැක්කේ අවසාන වශයෙන් නැගෙනහිර ආසියාවෙන් ඇමරිකාව ඉවත් වීමෙන් පමනක් බව ය.

එ.ජාතීන්ගේ චීන තානාපති ලිව් ජි ප‍්‍රකාශ කලේ “හමුදාමය මාධ්‍යයයන් විකල්පයක් නොවිය යුතු” බවයි. ඇමරිකානු ඉල්ලීම් වලට විරෝධය එල්ල කරමින් උපායශීලී විසඳුමක් යෝජනා කරමින් රුසියාව සමග හවුල් නිවේදනයක් ඔහු අත්සන් කලේ ය. බීජිනය සහ මොස්කෝව උතුරු කොරියාවෙන් ඉල්ලා සිටින්නේ තම තාපන්‍ය්ෂ්ටික සහ මිසයිල වැඩ සටහන් නවත්වන ලෙසය. මීට හිලව් වශෙයන් ඇමරිකානු යුද අභ්‍යාස නතර කිරීමත්, දකුනු කොරියාවේ ටී එච් ඒඒඞී මිසයිල ආරක්ෂන පද්ධතිය නැවැත්වීමත්, ඉන් පසුව දීර්ඝ-කාලීන සාකච්ඡාද ඉදිරිපත් කෙරේ.

රුසියානු නියෝජ්‍ය තානාපති ව්ලදීමීර් සෆොරොන්කොව් හේලි ගේ ප‍්‍රකාශනය වඩාත් සෘජුවම ඉවත දැමුවේ ය. ඔහු ප‍්‍රකාශ කලේ “හමුදා විසඳුමක් පිලිගත නොහැකි” බවත් සහ “මිලියන සංඛ්‍යාත මහජනතාවට දැවැන්ත මානුෂික ආධාර අවශ්‍ය නිසා උතුරු කොරියාව ආර්ථිකව හුස්ම සිර කිරීමේ ප‍්‍රයත්නය ඒලෙසම පිලිගත නොහැකි” බව ය.

ජී-20 සමුලුවේ පැවැතිය හැකි දූෂනය වූ වාතාවරනය ගැන සඳහන් කරමින්, හේලි චෝදනාත්මකව පිලිතුරු සැපයූයේ රුසියාව “(උතුරු කොරියානු නායක) කිම් ජෝන්-උන්ගේ අත් අල්ලාගෙන සිටින” බව ය. චීනය සහ රුසියාව ප‍්‍රබල සම්බාධක සඳහා සහය නොදෙන්නේ නම්, ඇය තව දුරටත් පැවසුවේ, ඇමරිකාව “අපගේම මාවතේ යන” බවත් සහ රටවල් දෙකටම එරෙහිව දන්ඩකාරක පියවරන් ගන්නා බව ය. අනුමාන වශයෙන්, ධවල මන්දිරය යුරෝපීය බලයන් ගෙන් ද ඉල්ලනු ඇත්තේ ඒ ආකාරයටම කරන ලෙසය. එනම්, ඇමරිකාවෙන් වඩ වඩාත් ස්වාධීන ආස්ථාන වර්ධනය කිරීමට ජර්මනිය මගින් මෙහෙයවනු ලබන ප‍්‍රයත්නයන් කපා දැමීමයි.

සැලකිය යුතු දුරකට, ජනාධිපති මැතිවරනය තුල දී ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂන ව්‍යාපාරය ගුනාංගීකරනය කරන ලද චීන-විරෝධී යුදවාදී ආස්ථානය වෙත ධවල මන්දිරය පෙරලා පැමිනීමකි මේ. බීජිනය “මුදල් උපාමාරුකරුවකු” ලෙසට හන්වඩු ගසමින් චීන භන්ඩ වෙත සමස්ත වශයෙන් බදු පැනවීමටත් ට‍්‍රම්ප් තර්ජනය කරයි.

පසුගිය මාස කිහිපය තුලදී, ඇමරිකානු මැතිවරනය තුල රුසියානු මැදිහත් වීම ගැන චෝදනා නිල ඇමරිකානු දේශපාලනය තුල බල පැවැත්වීමත් සමග චීනය සමග වෙලඳ යුද්ධයේ ගැටලුව ප‍්‍රධාන අවධානය වී නොතිබිනි. ඒ වෙනුවට ට‍්‍රම්ප් චීන ජනාධිපති ක්ෂි ජින්පින්ග් සමග සාකච්ඡා ද උතුරු කොරියානු මිසයිල පරීක්ෂන මෙල්ල කිරීම බීජීනයේ ප‍්‍රයත්නයන් ද ප‍්‍රශංසාවට ලක් කර තිබින.

එම කතා දැන් පසෙකට විසි කර දමනු ලැබ අතර ඒ වෙනුවට මෑත සති කිහිපය තුල චීනයට එරෙහිව එක්සත් ජනපදය විසින් උසිගැන්වුනු ප‍්‍රකෝපකරනයන් මාලාවක් යෙදවනු ලැබ ඇත. මෙම ප‍්‍රකෝපකරනයන් සමහරක් නම් දකුනු මුහුදේ චීනය අයිතිවාසිකම් කියන ප‍්‍රදේශය තුල දෙවරක් මිලිටරි ප‍්‍රවේශයන් කිරීම ද ඉන්දියානු චීන දේශ සීමා ගැටුමක් උසිගැන් වීම ද තායිවානයට ආයුධ විකිනීම ද ජපානයේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් මිල දී ගැනීමට තහනම් කරනු ලැබු ආක‍්‍රමනකාරී ආයුධ ජපානය විසින් ලබා ගැනීම ගැන සාකච්ඡා පැවැත් වීම ද වෙයි.

ඒ සමගම වොෂිංටනය විසින් ගෙන යන්නා වූ රුසියානු විරෝධී උද්ඝෝෂනයට ඉඩ දීමට ට‍්‍රම්ප් පාලනය විහින්ම කටයුතු කර ඇත. එය විසින් යුක්රේනය සම්බන්ධයෙන් නව සම්බාධක පනවනු ලැබ ඇත. රුසියාව, සිරියාව තුල කල මිලිටරි මැදිහත්වීමට එරෙහි දෙඩවීම් වැඩි කර ඇත.

දිනෙන් සිදුවන භූදේශපාලනික කැලඹිලි සහ විතැන්වීම් යනු පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ ආර්ථික සහ දේශපාලන පර්යායේ ප‍්‍රධාන යාන්ත‍්‍රනයන් කඩා වැටීම මගින් ගලා එන්නා වූ වඩාත් අති මූලික ප්‍රවාහයෝ ය.

1991 දී සෝවියට් සංගමයේ ඇදවැටීමත් සමගම ඇමරිකන් අධිරාජ්‍යවාදයේ මූලික අරමුන වී ඇත්තේ ලෝකය මත තමා පවත්වා ගෙන යන ආධිපත්‍යයට අභියෝග කල හැකි කිසිම තනි බලවතෙක් හෝ බලවතුන් කන්ඩායමක් ඉස්මතු වීම වැලැක්වීම යි. චීනය රුසියාව සමග තම සන්ධානය තහවුරු කර ගනිමින්, වොෂිංටනයෙන් දුරස්ථ වීමට මාන බලන්නා වූ ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් සමග සබඳතා ස්ථාවර කර ගැනීමේ හැකියාව තමන්ට ඇති බරපතල ම අන්තරාය බව ඇමරිකානු මූලෝපායඥයෝ වටහා ගනිමින් සිටිති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි “යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” යන 2016 පෙබරවාරි 18 ප‍්‍රකාශනයෙන් අවධාරනය කලේ.

“එරට ගෝලීය අනුහස වැඩෙත්ම බීජිනය, දැනට ඇමරිකාව විසින් අධිකාරය දරනු ලබන ආයෝජන හා වෙලඳාමේ ක්‍රියාමාර්ගයන්ට විකල්පයන් ප‍්‍රවර්ධනය කිරීමේ යෙදී සිටියි. ඒ සඳහා චීනය වොෂින්ටනයේ යුරෝපීය හා ආසියානු සහචරයන්ගේ ද සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. චීනයේ ආසියානු යටිතල ව්‍යුහ ආයෝජන බැංකුව හා යුරේෂියාව තුල “සේද මාවත” ව්‍යාපෘතිය වැනි වැඩ සටහන් වර්ධනය වීම මගින් ලෝක ආර්ථිකයේ සිය තත්වයට බෙහෙවින් වල කැපෙනු ඇතැයි ඇමරිකාව බියට පත්ව සිටියි.”

ප‍්‍රකාශනය අනතුරු ඇඟවූයේ “ඇමරිකානු පාලක පන්තිය න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා චීනය ප‍්‍රමාදවී නොව, ඉක්මනින්ම දනගැස්විය යුතුය යන නිගමනය කරා එලඹ සිටිති. වොෂින්ටනයේ අරමුන ඒ දෙරට අර්ධ යටත් විජිත රටවල තත්වයට ඇද දමා, “හදබිමේ” (යුරේෂියාවේ) පාලනය සියතට ගෙන ලෝකය පාලනය කිරීමයි.”

මෙම මූලෝපායික න්‍යාය පත‍්‍ර ලුහුබැඳ යාමේදී ඇමරිකානු අධිරාජ්‍යය තම ප‍්‍රති මල්ලවයන් අස්ථාවර කිරීමටත් යටින් වල කැපීමටත් කල හැකි සියලුම මාවත් සඳහා මාන බලයි: එනම්, ජර්මනිය වැනි තම නාමික සහකරුවන් වේවා රුසියාව වැනි තම ප‍්‍රතිමල්ලවයන් වේවා. කෙසේ වෙතත්, වොෂින්ටනයේ මෙම ඉවක් බවක් නැති සහ ගිනි අවුලවන සුලු පියවරයන් වලට එරෙහි ප‍්‍රතික්‍රියාවන් ඇවිලීම අනිවාර්යය වේ. 1914 ට පෙර පැවති වසර වල මෙන් මහා බලවතුන්ගේ වැයික්කි වල ඉරිතලා යාම් මතු වෙමින් තිබෙන අතර මේවා ලෝක යුද අනතුර මතු කරයි.

ජේම්ස් කෝගන්

Share this article: