මීතොටමුල්ල ව්‍යසනයෙන් තුන්මසකට පසු: ආන්ඩුව විපතට පත්වූවන් අත්හැර දමයි

2017 ජූලි 18

පසුගිය සිකුරාදාට මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී තුන් මසක් ගත විය. ඉන් පීඩාවට පත් ජනතාව, තම ඤාතීන්ගේ ජීවත විනාශ කිරීම ගැන ආන්ඩුවට ඍජුව චෝදනා කරන අතර, බලධාරීන් මේ සිදුවීම යොදාගනිමින් කලින් සැලසුම් කරගෙන සිටි ලෙසට තමන්ව ප‍්‍රදේශයෙන් එලවා දැමීම ගැන දැඩි කෝපය පල කරති.

මීතොටමුල්ල ව්‍යසනයේ, මරන සංඛ්‍යයාව නිලවශයෙන් 32ක් යයි සඳහන් වුවත්, අටදෙනෙක් තවමත් “අතුරුදහන්” ය. ප‍්‍රදේශවාසින් පවසන්නේ, නිල ලියකියවිලි කිසිවක් නැති, අන්ත දුගීන් ගනනාවක් කිසිදු සාක්ෂියක් නොමැතිව පනපිටින් වැලලී ගිය බැවින් සැබෑ මරන සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩි විය හැකි බවය. ආරක්ෂක අංශ මැදිහත් වී සිදුකල ගලවාගැනීමේ මෙහෙයුම් දින කීපයක් ඇතුලත “අවසන්” කරන ලදී. සිද්ධියෙන් නිවාස 146 කට බරපතල හානි සිදුවූ අතර පවුල් 198ක 1000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන් පීඩාවට පත් විය.

මීතොටමුල්ලේ ස්වභාවික තෙත්බිම් කඩක අනතුරුදායක ලෙස කසල බැහැර කිරීම ආරම්භ කලේ 1987 තරම් ඈතදීය. ඉන්පසුව අක්කර 22 පුරා පැතිර යමින් අඩි දෙසීයකට වඩා උස දැවැන්ත කුනුකන්දක් ගොඩ ගැසෙන තුරු සියලු අනුප‍්‍රාප්තික ආන්ඩු මෙය පවතාගෙන ගියහ. සමහර විශේෂඥයින් පසුව විග‍්‍රහ කල පරිදි, දුර්වල තෙත්බිම් පස මත ගොඩගැසුනු මේ අධික බර කිඳා බැසීමට හේතුකාරක විය.

කසල කන්දෙන් තම සෞඛ්‍යයට එල්ල වී ඇති තර්ජනය හා එය කඩා වැටීමේ අනතුර පෙන්වා දෙමින් ජනතාව එකක් පසුපස එකක් උද්ඝෝෂන සිදු කලහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පොලිස් ප‍්‍රචන්ඩත්වය එල්ල කරමින් මේ උද්ඝෝෂන මර්දනය කලහ.

මෙය ආන්ඩුව විසින් සිදු කරන ලද අපරාධයකි. රාජපක්ෂට එරෙහිව නැගෙමින් තිබුනු ජනතා වෛරය ගසාකමින් බලයට ඒමට කටයුතු කරන විට මීතොටමුල්ල ප‍්‍රශ්නයද “විසඳන” බවට සිරිසේන පොරොන්දු විය. නමුත් බලයට ඒමෙන් පසුව ඔහුගේ ආන්ඩුවට ද අවශ්‍ය වූයේ කොලඹ හා තදාසන්න ප‍්‍රදේශ වලින් දුගී ජනයා පලවා හරිමින්, ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීමටයි.

අඩු ආදායම් නිවාස වලින් පවුල් 70,000ක් පන්නා දැමීම රාජපක්ෂ ආන්ඩුව ආරම්භ කලේ කොලඹ, දකුනු ආසියාවේ වානිජ හා මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සැලසුම් වල කොටසක් ලෙසය. 2011 සිට මීතොටමුල්ලේ ජනතාවට ප‍්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබිනි. වර්තමාන ආන්ඩුව මෙගාපොලිස් ව්‍යාපෘතිය නමින් මේ වැඩසටහන ඉදිරියට ගෙනගිය අතර, ඒ යටතේද මීතොටමුල්ල “ඉහල වටිනාකමක්” ඇති ප‍්‍රදේශයක් ලෙස සටහන්කර ගෙන තිබිනි.

ආන්ඩුවේ හා මාධ්‍ය ප‍්‍රචාරක යාන්ත‍්‍රන මේ සත්‍ය උදක්ම වසන් කර ඇත. ඒමගින් පතුරවා හරින ලද බොරුව නම්, මේ විනාශය සිදුවන තුරු ප‍්‍රදේශය අතහැර නොගිය ජනතාවම එයට වගකිව යුතු බවයි. මේ ඛේදවාචකයේ සැබෑ හේතු වසන මේ ප‍්‍රයත්නයක යෙදෙමින් ජනාධිපති සිරිසේන ඒ ගැන “පරීක්ෂන” කිරීමට යයි කියමින් ඒකපුද්ගල කමිටුවක් පත්කොට ඇත.

අනතුර සිදුවූ ප‍්‍රදේශයට දැන් ජනයාට ඇතුලු වීම තහනම්ය. පීඩාවට පත්වූවන්ට විකල්ප වාසස්ථාන ලබා දෙන්නේයැයි කියමින් අවතැන් වූවන් ක‍්‍රමානුකූලව විසුරුවාහැරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් ඇත, කිසි සේත්ම නොසෑහෙන රු. 50,000 - 150,000 දීමනාවක් දෙමින්, මුලින් ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් කරන ලදී.

වහාම යලි පදිංචි කරවන්නේ යයි මවා පෙන්වමින් සමහර පවුල් වලට අසල ඇති “අඩු ආදායම් ලාභී” මහල් නිවාසයක දහවන හා එක්ලොස්වැනි මහල් වලින්, පහසුව ජීවත් වීමට කිසිසේත්ම නුසුදුසු, ඉතා කුඩා නිවාස ලබා දී ඇත. එයද කිසිදු නීතිමය අයිතියක් නොමැතිවය.

අනිත් පවුල්, තමන්ගේ නිවාස හා ඉඩම් වලට සරිලන වන්දි මුදලක් ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් අසල නිවාස වල කුලියට ජීවත් වෙති. කුඩා ලෑලි ගෙවල් වල ජීවත් වූ බොහොමයක් දුප්පත් පවුල් වලට ආන්ඩුවෙන් තක්සේරු කර ඇති මුදල, අලුතින් ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීම සඳහා කිසිසේත්ම නොසෑහේ.

මීතොටමුල්ල ව්‍යසනයෙන් පසුව, මහනුවර-ගුහාගොඩ, හැටන්, හා මොරටුව-කරදියාන වැනි ප‍්‍රදේශ වල පිහිටා ඇති එවැනිම අනාරක්ෂිත කසල බැහැරලන ස්ථාන වලට එරෙහිව මහජන විරෝධතා පැන නැගිනි. මේ උද්ඝෝෂනවලට ද ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වුයේ සාහසික පොලිස් ප‍්‍රහාර වලිනි.

මීතොටමුල්ල ව්‍යසනය හදිසි අනතුරක් හෝ තනි සංසිද්ධියක් නොවේ.

බංකොලොත් ශ්‍රී ලාංකීය ධනපති පන්තිය කිසි දිනෙක වැඩකරන ජනතාවගේ සමාජීය හෝ ප‍්‍රජාතාන්ත්‍රික ගැටලු විසඳීමට සමත් වුයේ නැත. අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සීමිත සමාජ අයිතීන් පවා දිනාගැනුනේ කම්කරු පන්තික අරගල තුලිනි.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුව යටතේ දශක හතරකට පෙර නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති ආරම්භ කිරීමෙන් පසු සමාජ ගැටලු තවතවත් නරක අතර හැරිනි. මේ ප‍්‍රතිපත්ති ගෙන ආවේ ලංකාවේ ධනපතියන්ගේ ජාතිකවාදී වැඩපිලිවෙල කඩාවැටෙන තතු යටතේ, පහල වැටෙන ලාභ මට්ටම් ආරක්ෂා කරගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් ලාභ ශ‍්‍රම සූරාකෑමේ කොන්දේසි ඉල්ලමින් කල බලපෑමට ප‍්‍රතිචාර වශයෙනි.

පසුගාමී රටවල පමනක් නොව, අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන වලද, අති සුලුතර ධනවත් ප‍්‍රභූවකගේ අවශ්‍යතා වෙනුවෙන්, දශක ගනනාවක් පුරා සමාජ ජයග‍්‍රහන අතුගා දැමීමට දියත් කල ප‍්‍රතිපත්ති නිසා, මෙවැනිම ව්‍යසනයන් නිර්මානය කර තිබේ. ජුනි 14 දා ලන්ඩනයේ ධනවත්ම ප‍්‍රදේශයක පිහිටි, දුප්පත් කම්කරු පවුල් ජීවත් වූ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ඇතිවූ විනාශකාරී ගිනිගැනීම මෙවැනි ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිපලයකි.

1970 ගනන් අග සිට ශ්‍රී ලංකාවේ අනුප‍්‍රාප්තික ආන්ඩු සිදුකල සමාජ වියදම් කප්පාදුව මගින් පැවති සීමිත පොදු සේවාද අබලන් කර ඇත. 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව, ජාත්‍යන්තර මූුල්‍ය අරමුදල ලංකාවේ සමාජ වියදම් තවදුරටත් කපාහරිමින් කප්පාදු වැඩපිලිවෙලක් දියත් කිරීම සෘජුවම මැදිහත් විය. 1948-70 කාලයේ සෞඛ්‍ය සඳහා වැයකල දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් වූ සොච්චම ද දැන් සියයට 1.2 දක්වා අඩු කර ඇත.

මෑත දශක වලදී, කොලඹ නගරය අදායම් මට්ටම් අනුව බෙදා වෙන්කර, විශාල භූමි ප‍්‍රමානයන් පුද්ගලික ආයෝජාන සඳහා විවෘත කරමින් දුප්පතුන් මුඩුක්කු කලාප වලට පලවා හැර ඇත. පුද්ගලික ආයෝජන ඇදගැනීම සඳහා නගරයේ කේන්ද්‍රීය ප‍්‍රදේශ හා ධනවත් තදාසන්න ප‍්‍රදේශ “අලංකරනය” කිරීම වැඩපිලිවෙල ලෝක බංකුව මගින් සෘජුව දිරිමත් කෙරෙයි.

කොලඹ ලංකාවේ සමාජ ධ‍්‍රැවාන්තගත වීමේ සංකේතය බවට පත්වී ඇත. බ්‍රිතාන්‍යයේ නයිට් ෆ‍්‍රෑන්ක් ආයතනය මගින් නිකුත් කල 2016 ආදායම් පිලිබඳ වාර්තාවට අනුව, කොලඹ ඩොලර් මිලියන 10 ඉක්මවූ වත්කම් ඇති ධනවතුන් 170ක් සිටින අතර මුලු රටපුරාම එවැනි ධනවතුන් 5000ක් පමන සිටිති. ජුලි 1 දා, “වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්” ආයතනය, සුඛෝපභෝගී නිවාස, හෝටල් කාමර හා සාප්පු වලින් සමන්විත තට්ටු 117ක ආසියාවේ උසම ගොඩනැගිල්ල කොලඹ ඉදිකිරීමට ගිවිසුම් අත්සන් තැබීය.

අනෙක් අතින්, ඩෙංගු වසංගතය රටපුරාත් කොලඹත් සීඝ‍්‍රයෙන් පැතිර යාමෙන් පෙන්නුම් කර ඇත්තේ අනුප‍්‍රාප්තික ආන්ඩු මගින් කම්කරු පීඩිත ජනතාවට නිර්මානය කර දීඇති විනාශකාරී සමාජ තත්වයයි. පසුගිය සෙනසුරාදා වන විට ඩෙංගු රෝගය හේතුවෙන් මේ වසරේ මෙතෙක් සිදුවූ නිල මරන සංඛ්‍යාව 290ක් වූ අතර 90,000 අධික පිරිසක් රෝගයට ගොදුරු වී ඇත.

මේ විපත්තිකර සමාජ තත්වයට එරෙහිව කැකෑරෙන මහජන වෛරයට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රතිචාරය වී ඇත්තේ මිලිටරිකරනය උත්සන්න කිරීමයි. අනතුරදායක කසල බැහැරලන ස්ථාන වලට එරෙහිව පැවති උද්ඝෝෂන වලදී විරෝධතා කරුවන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබිනි. ජුනි මාසයේ අවසන් සති දෙක තුල පමනක්, තැන තැන කුනු දැම්මේය යන වරදට පුද්ගලයින් 1200ක් පමන අත්අඩංගුවට ගෙන ඇත. නිවාස හා වතු වල මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීමට ඒකාබද්ධ පොලිස් හා හමුදා කන්ඩායම් නගර සභා නිලධාරීන් සමග වීදි බස්සවා ඇත්තේ, ක්ෂනික දඩ ගැසීමට විශේෂ බලතල ද සහිතවය.

කම්කරු පීඩිත මහජනතාව ගැන ආන්ඩුවට ඇති තුච්ච නොතැකීම පසුගිය මැයි මාසයේ 300 කට අධික ගනනකට ජීවිත අහිමි කරමින් ඇති වූ ගංවතුර උවදුර මගින් තවත් අවධාරනය විය. ජනතාවට ජීවිත ගලවා ගැනීම සඳහා අනතුරු හැඟවීම් කිරීමටවත් අවශ්‍ය සම්පත් අදාල ආයතන වලට ලබාදීමට ආන්ඩුව අපොහොසත් වී ඇත.

මීතොටමුල්ලෙදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඉටුකල ක්‍රියාකලාපය වැඩකරන ජනතාවට ව්‍යාජ වම විසින් ගෙන දියහැකි විනාශකාරී ප‍්‍රතිවිපාක පෙන්වා දුන්නේය. පෙසප ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ නායකයින් සමග එක් පෙරමුනකට එමින්, මුලින් රාජපක්ෂ ආන්ඩුවෙනුත් පසුව වර්තමාන පාලකයන්ගෙනුත් විසඳුම් ඉල්ලා උද්ඝෝෂන සංවිධානය කලේය. මේ සම්පූර්න ප‍්‍රවේශයම පදනම් වී ඇත්තේ විනාශය නිර්මානය කල ධනපති පන්තියෙන් හා ආන්ඩුවලින්ම විසඳුම් ඉල්ලා සිටීමේ බංකොලොත් සංකල්පය මතය. පෙසපයේ දැන් කාර්ය වී ඇත්තේ ආන්ඩුවේ අතරමැදියෙකු ලෙසින් ක්‍රියාත්මක වෙමින් “හොඳම” වන්දිය ලබාදීමට බලකරන මුවාවෙන් මහජන වෛරය පීලිපැන්වීමයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කල වැඩ පිලිවෙලට පෙසප එකහෙලා විරුද්ධ විය. සසප කියා සිටයේ මීතොටමුල්ල සිද්ධියෙන් අනතුරට හා අවදානමට ලක්වූ සියලු දෙනාටම කොන්දේසි විරහිතව සියලූ මූලික පහසුකම් සහිත යෝග්‍ය නිවාස ලබාදී හා ආදායම් මාර්ග යලි සුරක්ෂිත කල යුතු බවය. නිවැසියන්ගේ මේ අරගලය, ආන්ඩුවේ ප‍්‍රහාරයන් පරාජය කරමින් බැංකු, වතු හා මහා සමාගම් ජනසතු කර, විදේශ නය අහෝසි කිරීම සඳහා ගෙනයන කම්කරු පන්තියේ පෘථුල සමාජවාදී අරගලයක් හා බැදී ගත යුතු බව සසප පෙන්වා දුන්නේය. සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා පලමු පියවර වන්නේ කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ මේ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමයි.

මේ ව්‍යසනයට වගකිව යුත්තන් හෙලිදරවු කර දඬුවම් දිය යුතුය. මේ ඛේදවාචකයට හේතු නිරාවරනය කරගත යුතුය. මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් සසප ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවා ඇත්තේ එබැවිනි. මේ පරීක්ෂනයට සහාය දෙනමෙන් අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අගයන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. පරීක්ෂනයන්ට සහය දීමට අදම ඉදිරිපත් ඉදිරිපත් වන්න!

විජිත් සමරසිංහ

Share this article: