රුසියානු නීතිඥයා හමුවීම එලිදරව් වීම වොෂින්ටනයේ දේශපාලන අර්බුදය තීව‍්‍ර කරයි

Revelation of meeting with Russian lawyer intensifies political crisis in Washington

2017 ජූලි 13

පුටින් ආන්ඩුව සහ රුසියානු කතිපයාධිපතියන් සමග සබඳතා ඇති මොස්කෝවේ නීතිඥයකු සමග 2016 ජුනි වල කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් මුන ගැසීම එලිදරව් වීම වොෂින්ටනය තුල දේශපාලන සංග‍්‍රාරාමය තීව්‍ර කරන නාභිය බවට පත් වී ඇත.

ඩිමොක‍්‍රටික්වරු සහ මාධ්‍යවල ප‍්‍රතිචාරවලින් යමෙකු සිතනු ඇත්තේ ට‍්‍රම්ප්ගේ පුතා මෙම මුන ගැසීම සංවිධානය කලේ ඇමරිකානු න්‍යෂ්ඨික රහස්‍ය සංකේත ක්‍රෙම්ලිනයට භාර දීමට බව යි. ඇත්තෙන්ම පෙනීයන්නේ තම පියාගේ උද්ඝෝෂන උපදේශකයා ලෙස සිටි කාලයේ කනිෂ්ඨ ට‍්‍රම්ප් හිලරි ක්ලින්ටන්ට හානි සිදුවන තොරුතුරු ලබා ගැනීම සඳහා නතාලියා වෙසල් නිට්ස්කායා හමු වී ඇති බවයි.

මෙවැනි වර්ගයේ “කුනු ඇවිස්සීම” ඇමරිකානු දේශපාලනයේ කිසිසේත්ම අසාමාන්‍ය නොවේ. ක්ලින්ටන්ගේ උද්ඝෝෂනයේ හවුල් කරුවෝ, වාර්තා කරන ලද පරිදි, ට්‍රම්ප්ගේ උද්ඝෝෂන සභාපති පෝල් මනෆෝර්ට් යම් මට්ටමකින් අප‍්‍රසාදයට පත්කල හැකි තොරතුරු සෙවීම සඳහා 2016 මාර්තු මස යුක්රේනියානු ආන්ඩුවේ නිලධාරීහු හමු වූහ. ක්ලින්ටන් තමන්ට ලෝක පරිමානව ආන්ඩු සහ බුද්ධි ඒජන්සි සමග පැවැති සබඳතා, ට‍්‍රම්ප් සමග පැවැති තරගය තුලදී තම වාසියට බලය යෙදීම සඳහා යොදා ගැනීමට උත්සාහ කර ඇති බවට සැකයක් නැත.

කුමන අයුරකින් සලකා බැලුවද රුසියානු නීතීඥවරියක සමග කනිෂ්ට ට‍්‍රම්ප් ගේ මොට්ට සබඳතාව 1968 ජනාධිපතිවරනයේදී නික්සන් වියට්නාම් යුද්ධය හදිසියේ නැවතුන හොත් තමාට චන්ද අහිමි වෙතැයි සිතා පැරිස් සාම සාකච්චා කඩාකප්පල් කිරීම හෝ 1980 දී මැතිවරන දිනයට පෙර ඇමරිකානු ප‍්‍රන ඇපකරුවන් නිදහස් නොකරන ලෙසට ඉරාන රෙජිමය කැමතිකරවා ගැනීමට ගත් රේගන් ගේ උත්සාහය හෝ තරම් බැරෑරුම් තත්වයක් නොවේ.

කෙසේවෙතත්, වොෂින්ටනයේ කෙරීගෙන යන බිහිසුනු දේශපාලන සංග‍්‍රාමයේ සන්දර්භය තුල ට‍්‍රම්ප් කුලුනේ හමුව පුපුරන සුලු වැදගත් කමක් අත්කරගෙන තිබේ. රුසියානු නීතිඥවරිය සමග වූ හමුව ට‍්‍රම්ප්-රුසියා විමර්ෂනයේදී “අතටම අසුවීමක්” ලෙස ඩෙමොක‍්‍රටික් හා රිපබ්ලිකන් දෙපාර්ශවයම ප‍්‍රකාශ කර තිබේ. ක්ලින්ටන් ගේ උපජනාධිපති අපේක්ෂකයා වූ සෙනෙට් සභික ටිම් කේන් පවසා සිටියේ මෙම හමුවත් සමග, අප දැන් යුක්තිය පසිඳලීමට බාධා කීරීමෙන් තව එහාට යමින් දිවුරා බොරුකීම, සාවද්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම හා රාජ ද්‍රෝහී වීමේ මට්ටමට පවා, පිවිසෙමින් සිටී යනුවෙනි.

ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීම හෝ තම සතුරන්ට සහය දක්වමින් “ආධාර සහ පහසුකම්” ලබා දීම ඇමරිකානු නීතිය අර්ථ දක්වනු ලබන ලෙස රාජද්‍රෝහි කම වන අතර මරන දඬුවම් දිය හැකි වරදකි. කේන්ගේ වචනානුසාරයෙන් ගතහොත්, 2016 ජනාධිපතිවරනයේ නියෝජ්‍ය ජනාධිපති අපේක්ෂකවරයා යෝජනා කරන්නේ වත්මන් ජනාධිපතිගේ පුතා මෙන්ම ජනාධිපතිමත්, මරන දන්ඩනයට තුඩු දිය හැකි අපරාධයක වරදකට හසුවීමේ විභවයක් පවතින අයුරිනි.

මෙම අති විශාල දේශපාලනික අභ්‍යන්තර ගැටුම ජනනය වූ කාරනාවන් සලකා බැලීම වැදගත් ය. ඩිමොක‍්‍රටිකයින් වත් ඔවුන්ගේ මාධ්‍ය සගයන්වත් ඉරාකයේ ජීවිත හානි හෝ අති බිහිසුනු විනාශයන් පිලිබඳව හෝ මිලියන සංඛ්‍යාත ඇමරිකානු මහජනතාවගේ සෞඛ්‍යසේවය කැපීමට ක්‍රියාත්මක වෙමින් පවතින සැලසුම් හෝ දහස් සංඛ්‍යාත සංක‍්‍රමනිකයන් වටලනු ලබමින් ආපසු යැවීම හෝ එක්සත් ජනපදයේ ඇදහිය නොහැකි මට්ටමක සම්පත් සංකේන්ද්‍රනය වෙමින් පවතින සමාජ අසමානතාවය ගැන කම්පිත තත්වයකට පත්වන්නේ නැත.

ගැටුම වඩාත්ම, මුලුමනින්ම කේන්ද්‍රගත වීම ඇත්තේ විදේශීය ප‍්‍රතිපත්ති පිලිබඳ ගැටුලු කෙරෙහි ය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ සහ (නිව්යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, සීඑන්එන් වැනි) ධනපති මාධ්‍යයන්වල වඩාත්ම බලගතු කොටස් වල ට‍්‍රම්ප් විරුද්ධවාදීන් අස්වාභාවික ලෙස ප‍්‍රකෝපකාරී වී ඇත. මක්නිසාදයත් ඔවුන්ට හමුදා-බුද්ධි යන්ත‍්‍රයේ විශාල පදාසයක සහය ලැබෙමින් පවතී.

ට‍්‍රම්ප් ගේ විරුද්ධවාදීන් ෆැසිස්ට් හිතකාමී ජනාධිපති වරයා රුසියාවේ හෝ අන් කවර විදේශ බලයක හෝ ඒජන්තයෙක් යැයි මොහොතකටවත් නොසිතති. එහෙත් ඔවුන්, ට‍්‍රම්ප් ගේ ව්‍යාපාර අධිරාජ්‍යය සහ පුද්ගලික වත්කම් පිලිබඳව ඇති තෘෂ්නාධික ගිජු කම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික සාරයන් හා ගැටෙතැයි බිය පත්ව සිටී. එහි යම් මට්ටමක සත්‍යයක් ද තිබේ.

ඇමරිකානු එක්සත් ජනපදය පාලනය වන්නේ මූල්‍ය - සමාගම් කතිපයාධිපතියන් විසිනි. එහෙත් ට‍්‍රම්ප් පරිපාලනය දූෂිත සහ ඥාති සංග‍්‍රහවාදී ගුනාංග සහිත කතිපයාධිපති ආන්ඩුවකි. ට‍්‍රම්ප්ගේ කැබිනට් මන්ඩලයේ අනෙකුත් බිලියනපති සාමාජිකයින් හා ට‍්‍රම්ප් අතර පවතින ගැඹුරු හා විනිවිදිය නොහැකි ව්‍යාපාරික අවශ්‍යතාවන් සහ පරිපාලන ප‍්‍රතිපත්තිය, සැකයන් මතු කර ඇත්තේ මෙම කතිපයාධිපති කල්ලිය තම තමන්ගේ පෞද්ගලික මුදල් ගැරීමේ සැලසුම් වලට මූලික අධිරාජ්‍යවාදී මූලෝපායික අවශ්‍යතාවන් යටත් කරයි ද යන්නය.

මේ නිසයි, මෙම ගැටුම තුලදී රුසියාව සමග ට‍්‍රම්ප්ගේ සහ විවිධ පවුල් වල සාමාජිකයින්ගේත් සබඳතාවන් පිලිබඳ විවිධ ගැටලු මෙතරම් වැදගත් සේ දැක්වෙන්නේ. එක්සත් ජනපදයේ බහුවිධ භූ මූලෝපායික අවශ්‍යතාවන් වලට මැදිහත් වන සතුරු බලයක් ලෙස රුසියාව සැලකෙන තතු යටතේ, ට‍්‍රම්ප් “පුටින් කෙරෙහි මෘදු” ය යන සියලුම සංඥා මහා පරිමානයක අනතුරු ඇඟවීමක් සිදු කරයි.

එහෙත් රුසියාවට යොදන ප‍්‍රතිපත්ති මත බෙදීම පවා, පාලක ප‍්‍රභූවය තුල පවතින දේශපාලන ගැටුමෙහි පුදුම සහගත මට්ටම මුලුමනින්ම පැහැදිලි නොකරයි. මෙය, ප‍්‍රතිපත්ති මත පවතින අර්බුදය ඉක්මවා ගිය එකකි. මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුන දී ඇති ගොඩ යා නොහැකි ආර්ථික, දේශපාලන සහ සමාජ ගැටලු වල මුල් බැස ඇති පන්ති පාලනයේ අර්බුදයකි.

ඇමරිකානු එක්සත් ජනපදයේ අධිපතිවාදී තත්වයෙහි දශක ගනනාවක් පුරා ඇති වූ හෝදාපාලුව සෝවියට් සංගමය දිය වී යාම මගින් තාවකාලිකව යටපත් කෙරින. මෙම දියවී යාම “ඉතිහාසයේ අවසානය” සහ අනභියෝගී එක්සත් ජනපදයේ ආධිපත්‍යයේ “ඒ්ක ධ‍්‍රැවික” බව යන විජයග‍්‍රාහී ඝෝෂා සමග සමපාත විය. කෙසේ වෙතත්, මැද පෙරදිගත්, මධ්‍යම ආසියාවත් කේන්ද්‍රීය කරගෙන අවසානයක් නැති සහ ව්‍යාප්තවන සියවස් කාර්තුවක සිදු කෙරීගෙන යන යුද්ධය නව ප‍්‍රතිමල්ලවයන් මතුවීම වැලැක්වීමට අපොහොසත් වී ඇත. ලෝකයේ තීරනාත්මක භූ මූලෝපායික කලාපවල තම පාලනය පවත්වාගෙන යාමේ අරගලය තම විශාල ප‍්‍රතිමල්ලවයන් සමග වඩාත්ම සෘජු ගැටුමකට එක්සත් ජනපදය ඇද දමා ඇත.

පසුගිය සතියේ ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති ජී 20 සමුලුවේදී පැහැදිලි වූයේ එක්සත් ජනපදයට සෘජුව සහ විවෘතව අභියෝග එල්ල වූ බව ය. ජර්මානු චාන්සලර්වරිය මර්කල් සහ චීන ජනාධිපති ක්ෂි අතර හමුව ද, ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියක් සඳහා ජර්මනිය තම අවධානය යොමු කල යුතු ය යන මර්කල්ගේ බල කිරීම ද එක්සත් ජනපදයේ ජාත්‍යන්තර බලපෑම හීන වී යාමේ යථාර්ථය හුවා දක්වයි.

ට‍්‍රම්ප්ගේ පාලක පන්තියේ විවේචකයින් ඔහුගේ ක්‍රියාවන් එක්සත් ජනපද ප‍්‍රතිපත්තිමය අර්බුදය උග‍්‍ර කරමින් සිටින බවට කනස්සල්ලට පත් වෙයි. බිල් ක්ලින්ටන් යටතේ භාන්ඩාගාර ලේකම් වූත් ඔබාමාගේ ආර්ථික උපදේශක වූත් ලෝරන්ස් සමර්ස් මෙම උත්සුකයන් සති අන්තයේ පල වූ තීරු ලිපියක ප‍්‍රකාශ කලේය. “දෙවැනි ලෝක යුද්ධය අවසානයේ සිට ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ කේන්ද්‍රීය පිලිවෙත” වී තිබුනු “ජාත්‍යන්තර ප‍්‍රජාව සඳහා එක්සත් ජනපදය නායකත්වය දිය යුතුයි යන අදහසට” ට‍්‍රම්ප් වල කපමින් සිටියි. ඔහුගේ “අස්ථීර” හැසිරීම “ඔහුගේ චර්යාව ඇමරිකානු ජාතික ආරක්ෂාවට වත්මනේ පවතින උපරිම තර්ජනය බවට විශ්වාස කරන අයගේ භීතිය” තහවුරු කරයි.

පාලක පන්තියට මෙම අර්බුදයෙන් ගොඩ ඒමේ සරල මාවතක් නැත. ට‍්‍රම්ප් ව ඉවත් කරමින් උප-ජනාධිපති මයික් පෙන්ස් පත් කිරීමේ සිද්ධිදාමය පිලිබඳව තිරය පිටුපස බොහෝ සාකච්ඡාවන් සිදුවන බවට කිසිදු සැකයක් නැත. මයික් පෙන්ස් මෑත සතිවලදී ඉහල රිපබ්ලිකානු මූල්‍ය දායකයන් මුන ගැසීම හෝ වෙනත් සිද්ධිදාමයන් සූදානම් කිරීමේ කටයුතුවල යෙදී සිටියේ ය. කුමන හෝ වර්ගයක “මාලිගා බල කොල්ලයක්” මගින් ට‍්‍රම්ප් නෙරපා හැරීමට ට‍්‍රම්ප් විවේචක පාලක පන්තිය සමත් වුවහොත්, ඒම තත්වය විසින් පරිහානියේත් කුනුවීයාමෙන් මූලික ගතිකය වෙනස් නොකෙරෙනු ඇත. තව දුරටත් සිදුවිය හැක්කේ ඔවුන් අවසානයේ තමන්ම ක්‍රියාත්මක කරන ලද දෙය ගැන කම්පා වීමයි.

පාලක ප‍්‍රභූවේ වඩාත් අති මූලික ගැටලුව වන්නේ ඉහල සියයට 10 ඉක්මවන ජනගහනයේ සහයෝගය ලබා ගැනීමේ දේශපාලන ක්‍රියා මාර්ගයක් නොමැති වීමයි. පක්ෂ දෙකම දැනට පවතින්නාවූ ධනය බෙදීමට බාධා වන කුමන හෝ දෙයකට උග‍්‍ර ලෙස සතුරු ය. අර්ධ ශතකයක සමාජ ප‍්‍රති විප්ලවය මගින් රාජ්‍ය ආයතනවල ජනප්‍රිය සුජාතභාවය මුලුමනින්ම ඛාදනය වී ඇත. රජයේ විවිධ කල්ලි එකිනෙකාට මඩ ප‍්‍රහාර එල්ල කර ගැනීමත්, වඩාත් ජරා ජීර්න සහ දූෂිත උපාමාරු යොදා ගැනීමත් මහජන සතුරුකම ගැඹුරු කරයි.

ඉතිහාසය උගන්වන්නේ පාලක පන්තිය තුල පවතින මෙවැනි ආකාරයේ ගැටුම් සෑම විටම විප්ලවාදී අර්බුද සමග බද්ධ වී පවතින බව ය. කෙසේ වෙතත්, කම්කරු මහජනතාවගේ සැබෑ උත්සුකයන් පාලක ප‍්‍රභූව බෙදීමට තුඩු දී ඇති කාරනාවන්ට මුලුමනින්ම වෙනස් වත් එරෙහිව වත් පිහිටා ඇත. යුද්ධයටත්, සෞඛ්‍ය පහසුකම් වලට එරෙහි ප‍්‍රහාරවලටත්, විශ‍්‍රාම වැටුප් විනාශ කිරීමටත්, වැටුප් එකතැන පල්වීමටත්, ආයු කාලය අඩුවීමටත් සහ පොලිස් හිංසනයටත් එරෙහිව මිලියන සංඛ්‍යාත ජනතාව වෛරවී සිටිති. මිලියන සංඛ්‍යාත ජනයා අරගල වලට යොමු කරන්නේ මෙම ප‍්‍රශ්නය.

තමාගේම වැඩ පිලිවෙල මත කම්කරු පන්තිය මැදිහත් වීම හදිසි අවශ්‍යතාවය ලෙස පවතී. පාලක පන්තියේ ගැටුම් වල ප‍්‍රතිඵලය දෙස නිශ්ක්‍රීයව බලා සිටීමට කම්කරු පන්තියට නොහැකිය. තමන් තමන්ගේ අවශ්‍යතාවයනුත්, තමන්ගේ විසඳුමත් වර්ධනය කල යුතුය. පසුගිය මස ඉදිරි දර්ශන තීරුවේ ප‍්‍රකාශනයට පත් කරන ලද “ මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය” හි අපි මෙසේ ලිව්වෙමු:

ඇමරිකා එක්සත් ජනපදය තුල මහා ජන අරගල න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව පවතී. විරෝධතා රැලි, පෙලපාලි සහ වර්ජන පොදු ජාතික පරිමාන ස්වභාවයක් අත්පත් කරගැනීම දෙසට වර්ධනය වනු ඇත. මෙම විෂ්ලේශනයෙන් පැනනගින දේශපාලන නිගමනය වන්නේ ට‍්‍රම්ප්ට සහ ඔහු නියෝජනය කරන සියල්ලටම එරෙහි කම්කරු පන්තියේ අරගලය, ධනේශ්වර ක‍්‍රමයට හා එහි රාජ්‍යයට එරෙහිවත්, රිපබ්ලිකානුවන්ගෙන් මෙන්ම ඩිමොක‍්‍රටිකයන්ගෙන් ද ස්වාධීනව සහ ඔවුන්ට විරුද්ධවත් වන මහජන දේශපාලන ව්‍යාපාරයක ඉක්මන් අවශ්‍යතාව කවරදාටත් වඩා හදිසි භාවයකින් ඉල්ලා සිටින බවයි. සමාජ වර්ධනයේ මෙම වෛෂයික ප‍්‍රවනතාව කම්කරු පන්ති අරගලයේ සවිඤ්ඤානික මූලෝපාය ලෙස වර්ධනය කල යුතුය. ධනවාදය යටතේ ජීවිතයේ සකල ශෝචනීය සමාජ කොන්දේසි වලට එරෙහි අරගලය, ට‍්‍රම්ප්ට සහ මහා ධනේශ්වරයේ පක්ෂ දෙකටම එරෙහි දේශපාලන අරගලය සමග, සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදකව, ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය, රටපුරා කම්හල් තුල, වැඩපලවල් තුල, කම්කරු පන්ති ප‍්‍රජාවන් තුල, පාසැල්වල සහ සරසවි තුල මතු කොට සාකච්ඡාවට භාජන කල යුතුය.

කම්කරු පන්තියේ ඉතාමත් වැදගත් අංශවල දේශපාලනික නායකත්වය ගොඩනැගීම, විප්ලවවාදී පෙරටුබල ඇනිය ගොඩනැගීම, සූදානම් කිරීමේ ගැටලුවේ තීරනාත්මක කාරනාව වෙයි. අප ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ පාඨකයන් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අරගලයන් සමග ඒකාබද්ධ වන ලෙසයි.

ජෝෂප් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්

Share this article: