නව ගුවන් යානා නෞකාවට එක්සත් ජනපදය බිලියන ගනන් නාස්ති කරයි

US squanders billions on new aircraft carrier

2017 ජුලි 25

එක්සත් ජනපද නාවික බලඇනියේ යූඑස්එස් ජෙරල්ඩ් ෆෝඩ් නම් වන රටේ 11 වන අධිසුපිරි යුද නෞකාව සඳහා පසුගිය සෙනසුරාදා ඩොලර් බිලියන 13 ක් පමන වියදම් කිරීම තවත් මහජන සම්පත් දැවැන්ත ලෙස නාස්ති කිරීමකි.

නෞකාවේ සහ එහි එෆ්-35සී ගුවන් ප‍්‍රහාරක යානාවල ඒකාබද්ධ මිල ඩොලර් බිලියන 30 ක් පමන වන අතර එය එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව ලෝක කුසගින්න අවසන් කිරීමට අවශ්‍ය වන වාර්ෂික වියදමට දල වශයෙන් සමාන වේ.

නෞකාවේ බෞතීස්මය නැරඹීම සඳහා බොහෝ ආරක්ෂක කොන්ත‍්‍රාත්කාර විධායකයින් ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානාවලින් පැමින රැස්ව සිටි බවටත් මෙම යෝධ අවශිෂ්ටයා සමග ප‍්‍රභූ සමාජශාලා සාමාජිකත්වය ලබා ගැනීමට මුදල් ගෙවු බවටත් අයවැයට වඩා ඩොලර් බිලියන 3 ක් පමන ඉන් පැමිනි බවටත් කිසිදු සැකයක් නැත. මෙම ව්‍යාපෘතිය තල්ලු කිරීමෙන් පසු “පෞද්ගලික අංශය” තුල ඉලක්කම් හතේ වැඩ දේශපාලනඥයින් කී දෙනෙක් ලබාගෙන තිබේද? කිසිවෙකු කවදාවත් දැන නොගනු ඇත.

ජෙරල්ඩ් ෆෝඩ් එක්සත් ජනපද නාවික හමුදාවේ දැවැන්ත ව්‍යාප්තියේ කොටසක් පමනක් වන අතර ට‍්‍රම්ප් ඔහුගේ එක්සත් ජනපද මිලිටරි වියදම් ඩොලර් බිලියන 54 කින් වැඩි කිරීමේ සැලසුම නිවේදනය කිරීම සහ නෞකා ප‍්‍රමානය 75 කින් ප‍්‍රසාරනය කිරීමට පෙර සිට ම එය ක‍්‍රියාත්මකව තිබුනි. ඊලඟ දශකය තුල නව ගුවන් යානා නෞකා කට්ටලයක් පමනක් නොව, නවීනතම පන්නයේ බැලිස්ටික් මිසයිල සබ්මැරීන්, ඩිස්ට්‍රෝයර්ස්, ප‍්‍රහාරක යානා, දිගු දුර බෝම්බ සහ න්‍යෂ්ටික මිසයිල ක්ෂේත‍්‍රයට එක් කිරීමට එක්සත් ජනපද මිලිටරිය සැලසුම් කර ඇත.

ඔබාමා හා ට‍්‍රම්ප් යන දෙදෙනා ම යටතේ මිලිටරි වියදම්වල මෙම දැවැන්ත ප‍්‍රසාරනය මාධ්‍ය තුලින් හමු වනු ඇත්තේ එක්කෝ උද්‍යෝගිමත්ව හෝ නැත්නම් නිශ්ශබ්දතාවය මගින් අනුමත කිරීමකි.

ගුවන් යානා නෞකාවක කාලය වසර තුනේ සිට හතර දක්වා පමන ක‍්‍රියාත්මක වන විට එය යල්පැන යනු ඇත. එක්සත් රාජධානිය සිය නවතම ගුවන් යානා නෞකාව වන එම්එස්එස් ක්වීන් එලිසබෙත් දියත් කරන විට රාජකීය එක්සත් සේවා ආයතනය විසින් සටහන් කල පරිදි රුසියාව, චීනය හා අනෙකුත් රටවල් විසින් ක්ෂේත‍්‍රගත කරනු ලබන ප‍්‍රති-නෞකා කෲස් මිසයිලවල වර්තමාන පරම්පරාව ඉදිරියේ දැවැන්ත නෞකාව අතිශයින්ම අනාරක්ෂිත බවයි.

“පවුම් මිලියන භාගයකටත් වඩා අඩු විය හැකි මිසයිලයකින් පවුම් බිලියන 3 කට වඩා වැය වන බ්‍රිතාන්‍ය ගුවන්යානා නෞකාවකට අවම වශයෙන් හානි කල හැකි ය,” යි එය තව දුරටත් කියා සිටියේ ය.

මෙම වාර්තාව පිලිබඳව අදහස් දක්වමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ බ්‍රිතාන්‍ය ගුවන්යානා නෞකාව “හුදෙක් විශාල පහසු නාවික ඉලක්කයක්” බවයි. එම ගුනවාචකය ම ජෙරල්ඩ් ෆෝර්ඩ් සඳහා ද අදාල කල හැකිය. සිරියාව හෝ චීනයේ සිට, එහෙමත් නැත්නම් කලිනින්ග‍්‍රෑඩ් වෙරලේ සිට සැතපුම් 400 ක් ඇතුලත ගමන් කලහොත් නාවිකයින් 4,300 ක් පමන, ගුවන් භටයින් සහ නිලධාරින් රැඳී සිටින මෙම විශාල වානේ නානඔරුව මිනිත්තුවකින් ගිල්ලවිය හැකි ය.

එහෙත්, ඇමරිකාවට මෙබඳු ඩයිනෝසෝරයන් 11 ක්ද, අනෙකුත් රටවල්වල ගුවන් යානා ප‍්‍රවාහක නෞකා මෙන් විශාල හෙලිකොප්ටර් ප‍්‍රවාහකයින් අටක් ද තිබේ. ලෝක ජනගහනයෙන් සියයට 5 ක් වෙසෙන එක්සත් ජනපදයට ලොව විශාලතම ටොන් නෞහාරයෙන් හතරෙන් තුනක් ම අයත් ය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් සෙනසුරාදා ප‍්‍රවාහක නෞකාව නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයේ දී උමතු තර්ජනවලින් පිරුනු, අර්ධ මායාකාරී කථාවක් පවත්වමින් එක්සත් ජනපදය උපරිමයටම සන්නද්ධ බව පෙන්නන්නාවූ චිත‍්‍රයක් ඉදිරිපත් කලේය.

එම නෞකාව “ලෝකයට පනිවුඩයක්” ලෙස හැඳින්වූ ඔහු “අන් කිසිවෙකුට දෙවෙනි නොවන ඇමරිකානු බලය සමග, අපි දිනෙන් දින විශාල, වඩා හොඳ හා ශක්තිමත් වන්නේය” යනුවෙන් ඔහු පැවසීය.

“අපේ සතුරන් බියෙන් වෙවුලනු ඇත. ඇමරිකාව අවතීර්න වන බව සියලූ දෙනා දැන ගනු ඇත.” මෙම සතුරන් කවුද යන්න (කලාෂ්නිකොව්ස් පන්නයේ තුවක්කුවලින් සන්නද්ධ ඉස්ලාම්වාදීන් නොවන බව අයෙක් ඒත්තු ගනු ඇත) පැහැදිලි කර නැත.

ට‍්‍රම්ප් තවදුරටත් මෙසේ පැවසීය. “සටනක් එනවා නම්, මෙම නැව එය සෑම විටම අවසන් කරනු ඇත්තේ එකම ලෙසිනි; ජය, ජය, අපි ජයග‍්‍රහනය කරන්නෙමු. අපි කවදාවත් නො පරදින්නෙමු. අපි දිනනවා.”

මිලිටරිය කෙරෙහි සිවිල් පාලනයේ මූලධර්මය පැහැදිලිවම උල්ලංඝනය කරමින්, නාවිකයින් හා එහි රැස්ව සිටි නිලධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ මිලිටරි වියදම් පුලුල් කිරීමට රජයට බල කිරීමට එක්වන ලෙස ය.

හිටපු දේපල සමපේක්ෂකයා මෙසේ සාරාංශ කලේ ය: “යුද්ධය සම්බන්ධයෙන් ගත්විට අපට සාධාරන සටනක් අවශ්‍ය නැත. අපිට ඕනේ එහි විරුද්ධයයි. අපි ඉල්ලා සිටින්නේ ජයග‍්‍රහනයයි, අපට සම්පූර්න ජයග‍්‍රහනයක් ලැබෙනු ඇත.”

ඔහුගේ ෆැසිස්ට් හිතවාදී උපදේශකයින් වූ ස්ටෙෆන් බැනන් සහ ස්ටෙෆන් මිලර්ගේ බලපෑම ප‍්‍රදර්ශනය කල ට‍්‍රම්ප්ගේ කතාව තුල, “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” යන වචනයට හෝ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් සම්ප‍්‍රදායිකව පිලිගනු ලැබ ඇති “ස්වයං ආරක්ෂාව” යන මූලධර්මය පවා නොමැත. ඉතිරිව තිබුනේ නග්න මිලිටරි බලය, තර්ජන සහ බලහත්කාරය ය.

ට‍්‍රම්ප් හා එක්සත් ජනපද මිලිටරි / බුද්ධි ඒකකයන් අතර සැලකිය යුතු වෙනස්කම් පවතින අතර, එක්සත් ජනපද ජනාධිපතිවරයා, ඓතිහාසික ප‍්‍රශ්නවලට විසඳුමක් ලෙස ප‍්‍රචන්ඩත්වය පිලිබඳ ඔහුගේ විශ්වාසයේ දී මිලිටරි බලය ප‍්‍රසාරනය කිරීම තුලින් එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යය පවත්වාගෙන යාමට උත්සාහ කරන ඇමරිකානු ප‍්‍රතිපත්ති කවයන්ගේ චින්තනය ව්‍යාප්ත වීම පෙන්නුම් කරයි.

එක්සත් ජනපදයේ ජෙරල්ඩ් ෆෝඩ් යනු ඇමරිකානු ධනවාදයේ දිගුකාලීන ඓතිහාසික පරිහානිය, තව තවත් තුවක්කු, තව තවත් නැව්, වඩ වඩාත් යුද්ධ හා ඝාතනවලින් හිලව් කල හැකිය යන අදහස ශාරීරිකව මූර්තිමත් වීමකි.

“ඇමරිකානු ශතවර්ෂය” එක්සත් ජනපදයේ ගුවන් බලයෙහි අතිමහත් ප‍්‍රබලත්වය මගින් සංලක්ෂිතව තිබේ. එක්සත් ජනපදය 1991 සිට අඛන්ඩව යුද්ධය පවත්වාගෙන ගොස් ඇති නමුත්, එකදු එක්සත් ජනපද සොල්දාදුවෙකු වත් දශක හයක් තිස්සේ සතුරු ගුවන්යානා මගින් ප‍්‍රහාරයට ලක්ව නැත.

එහෙත් එක්සත් ජනපදය, රුසියාව, චීනය හා එහි යුරෝපීය සගයන් සමග වඩ වඩාත් තියුනු ගැටුමකට ඇදී යන්නා සේම, එෆ්-22, එෆ් 35, බී-2 වැනි “රහස්” (රේඩාර් වලට දිස් නොවෙන) ගුවන් යානා හා ගුවන් යානා ප‍්‍රවාහක නෞකා ඇතුලු වඩාත්ම දියුනු ආයුධ පද්ධතිවලට, රුසියාව, චීනය හෝ ඊට අඩු බල ඇති ඉරානය ඇතුලු කලාපීය බලවතුන් කීප දෙනකු සමග ඇති වන උග‍්‍ර යුද්ධයක දී පවා සැලකිය යුතු අලාභයක් සිදුවනු ඇත.

මෙම යථාර්ථය පිලිගනිමින් ජෙනරල් මාර්ක් ඒ. මිලේ සඳහන් කලේ, “ප‍්‍රචන්ඩත්වයේ මට්ටම් ... . දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය දැක නැති ආකාරයේ අති දැවැන්ත විය හැකි” ගැටුම් සඳහා සූදානම් වීම එක්සත් ජනපදයට අවශ්‍ය වේ යනුවෙනි.

එක්සත් ජනපදය අවි ආයුධ සඳහා විශාල පරිමානයෙන් වියදම් කිරීම හා සිය මිලිටරි මෙහෙයුම් සමස්ත ලොව පුරා ලොමු දැහැගන්වන සේ පැතිර යාම තිබියදීත් එහි මිලිටරි, ආර්ථික හා භූ දේශපාලනික ආධිපත්‍යයේ කාලපරිච්ඡේදය අවසානයකට එලඹීම එන්ට එන්ටම අවිවාදිතය.

ඇමරිකානු දේශපාලන ආධිපත්‍යය “හුදෙක් පිරිහීම” නොව “බිඳවැටීම” ප‍්‍රකාශ කරන බව පසුගිය මාසයේ එක්සත් ජනපද හමුදා යුද විද්‍යාලය විසින් ප‍්‍රකාශයට පත්කල අධ්‍යයනයක නිගමනය වී තිබුනි.

“දෙවන ලෝක සංග‍්‍රාමයෙන් ප‍්‍ර‍්‍රථම වරට පැනනැගුන” එම පර්යාය “සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග ඒකධ‍්‍රැවීය පද්ධතියකට පරිවර්තනය විය ... සීතල යුද්ධයෙන් පසු වසර 17 ක කාල පරිච්ඡේදය .. ඇමරිකානු බලය මුලුමනින් ම අනභියෝගාත්මක වූ අද්විතීය කාල පරිච්ඡේදයක් විය,” එහෙත් “අපි නව යුගයක් තුලට ගමන් කරමින් සිටින්නෙමු.”

එහෙත් චීනය හා රුසියාව වැනි “සංශෝධනවාදී” බලවතුන්ගේ නැගීමත් සමග එක්සත් ජනපදය මෙලෙස දුර්වල වී තිබේ. “එයට අතීතයේ දී මෙන් තවදුරටත් තිරසාර දේශීය මිලිටරි ආධිපත්‍යය පරාසයක් ස්වයංක‍්‍රීයව උත්පාදනය කල නොහැකියි.”

ඉතිහාසඥ ඇල්ෆ‍්‍රඩ් ඩබ්ලිව්. මැක්කෝයි විසින් ලඟදී ම නිකුත් කරන ලද පොතෙහි එක් ඡේදයක මෙලෙස තක්සේරුවක් ප‍්‍රකාශ කරයි. “සියලු ආර්ථික, අධ්‍යාපන, තාක්ෂනික දත්ත පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදය ගෝලීය බලයට එලඹෙන විට, සෘනාත්මක ප‍්‍රවනතා 2020 ට වඩා ඉක්මනින් සමුච්ඡය විය හැකි අතර, 2030 වන්නට පෙර තීරනාත්මක ස්කන්ධයකට ලඟා විය හැකි බව ය. දෙවන ලෝක සංග‍්‍රාමය ආරම්භයේ දී ජයග‍්‍රාහී ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති ඇමරිකානු ශතවර්ෂය, 2025 වන විට මුලුමනින් ම කඩා වැටෙනු ඇති අතර, 2030 වන විට ඇඟිලි සලකුනු හැර කිසිවක් ඉතිරි නොවනු ඇත.”

එහෙත් එක්සත් ජනපදයේ සාපේක්ෂ පරිහානිය, සමහර ආකාරවලින්, එක්සත් ජනපද මිලිටරි යේ අවම කනස්සල්ලයි. යුද හමුදා විද්‍යාලය වාර්තා කරන්නේ, එක්සත් ජනපද ආධිපත්‍යයට යටත් වන ලෝක පර්යායේ බිඳවැටීමෙන් පසු “සියලුු ප‍්‍රාන්ත හා සාම්ප‍්‍රදායික දේශපාලන අධිකාරීත්ව ව්‍යුහයන් එන්න එන්නම වැඩිවන පීඩනයකට මුහුන දෙයි” එමෙන්ම “පශ්චාත් සීතල යුද්ධ ගෝලීය පද්ධතියේ බිඳී යාම ප‍්‍රායෝගිකව සියලු ප‍්‍රාන්තවල දේශපාලන, සමාජීය හා ආර්ථික නිර්මිතිය තුල අභ්‍යන්තර ලිහී යාම සමග අත්වැල් බැඳෙනු ඇත” යනුවෙනි.

“ආන්ඩු සහ ඔවුන් විසින් පාලිත පාලනයේ මූලික අයිතිය අතර අගාධය තව තවත් විවර වීම” පිලිබඳව අනතුරු ඇඟවූ පූර්ව වාර්තාවක් එය උපුටා දක්වයි. “දේශපාලන ගැලපුම් හෝ පක්ෂපාතීකම්වල ගනන් නැති විකල්ප මූලාශ‍්‍රයන්” ජනගහනය හමුවේ ඉදිරිපත්ව ඇති තතු තුල “අද සෑම ප‍්‍රාන්ත රාජ්‍යයක් ම සිය අධිකාරය, බලපෑම, ලඟාවීම සහ පොදු ආකර්ශනය තුල ක්ෂය වීමක් අත් විඳිති.”

එය නිගමනය කරන්නේ ප‍්‍රාන්ත රාජ්‍ය “සියල්ලන්ම දැන් එකිනෙකා සමග තරගකාරී අවශ්‍යතා මත පොරවැදී සිටින අතර තර්ජනයට ලක් ව මරුවැලක් මත සිටිමින්”, ජාතික ප‍්‍රතිමල්ලවයින්ගෙන් පමනක් නොව “බිඳෙන සුලූ සහ අවිනීත සමාජ පර්යාය මත රඳා පවතින” බව යි. මෙම කරුනේ දී, මරුවැලට උපමා වන්නේ යුද්ධයට, සමාජ අසමානතාවයට හා ධනවාදයට එරෙහිව වර්ධනය වන මහජන විරුද්ධත්වයේ වර්ධනය ය.

රට තුල හා විදේශයන්හී අර්බුදයන්ට මුහුන දී සිටින එක්සත් ජනපදය එක විට රුසියාව, චීනය, ඉරානය හා දැන් එහි නේටෝ අනුචරයින්ට පවා එරෙහිව සෑම තැනම පැටලී සිටී. ට‍්‍රම්ප් සිය ගුවන් යානා නෞකාව මෙහෙයවූ එම සති අන්තයේ ම නියෝජිත මන්ත‍්‍රී මන්ඩලය යුරෝපීය සමාගම්වලට රුසියාව සමග ආර්ථික ගනුදෙනු සඳහා සම්බාධක පැනවීමේ පනතක් අනුමත කලේ ය. යුරෝපීය සංගමයෙන් පිට වූ ලේඛනයකට අනුව, යුරෝපා සංගමය ඊට ප‍්‍රතිවිරෝධී පියවර “ඉදිරි දින” තුල ගෙන එනු ඇත.

මේ සියල්ල ම කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් සපයයි: එක්සත් ජනපදයේ පාලක ප‍්‍රභූව මුහුන දී සිටින ආර්ථික පල්වීම, භූ දේශපාලනික පරිහානිය හා රට තුල නීත්‍යානුකූල භාවයේ අර්බුදයක් හමුවේ, ලේ වැගිරීම් හා විනාශකාරී යුද්ධය සලකනුයේ, එහි ප‍්‍රශ්නවලට විසඳුමක් ලෙස ය. යුද්ධයට එරෙහිව නව, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම හැරෙන්නට මෙම වතාවේ එක්සත් ජනපදය විසින් උසිගන්වන තවත් මහා ලෝක මිලිටරි ගිනි ජාලාවක් පුපුරා යාම කිසිවකට වලක්වා ගත නොහැකිය.

ඇන්ඩෲ ඩේමන්

Share this article: