වැලිකඩ සිරකරුවන් ඝාතනය පිලිබඳ පරීක්ෂනය: ආන්ඩුවේ මුහුන බේරා ගැනීමේ තැතක්

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි , 2017 ජූලි 31

රජයේ ආරක්ෂක හමුදා විසින්, 2012 දී, වැලිකඩ බන්ධනාගාරය තුල සිරකරුවන් පිරිසක් වෙඩිතබා ඝාතනය කිරීම පිලිබඳව යලි පරීක්ෂනයක් කරන ලෙස ආන්ඩුව රහස් පොලීසියට නියෝග කර ඇත.

2012 නොවැම්බර් 9-10 යන දිනයන් හි සිදු වූ මෙම වෙඩි තැබීම් වලින් සිරකරුවන් 27 ක් මිය ගොස් 43 ක් තුවාල ලැබුහ. ඇසින් දුටු සාක්ෂිවලට අනුව, 9 වන දා බන්ධනාගාරයට ඇතුලු වූ හමුදා භටයන් එල් සහ චැපල් වාට්ටු වල රැඳවියන් ට පහර දී රැඳවියන් වාට්ටු තුල සිටියදීම කඳුලු ගෑස් ප‍්‍රහාර එල්ල කර ඇත. ප‍්‍රකෝපවූ සිරකරුවන් මර්දනය කිරීම සඳහා එදින මධ්‍යම රාත‍්‍රියේ කැඳවන ලද දහසක් පමන හමුදා භටයන් ද යොදා ගනිමින් පසුදින අලුයම වන තුරු ප‍්‍රහාරය එල්ලකොට තිබේ.

ඝාතනය ලක්වූවන් අවිදරා සිටිබව ඔප්පු කිරීමට ඝාතනයෙන් පසු ඔවුන් අසලට අවි දමා තිබු බව ද සාක්ෂි කරුවෝ කියති. ප‍්‍රහාරය නවත්වන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා එස්ටීඑෆ් භටයන්ගෙන් ඉල්ලා ඇතත් එය නොතකා ප‍්‍රහාරය දිගටම සිදුවී ඇත. ප‍්‍රකෝප වූ සිරකරුවන් එස්ටීඑෆ් භටයන්ට ගල් වලින් පහර දී තිබේ. පසුව සිරකරුවන් කන්ඩායමක් බන්ධනාගාර අවි ගබඩාවේ අවි වලින් එස්ටීඑෆ් ප‍්‍රහාරකයන්ට පහරදුන් බව ද සාක්ෂිකරුවෝ පවසති. සිරකරුවන් විසින් අවිගබඩාව බිඳ අවි ගත්තා ද නැතහොත් ඔවුන්ට අවි ලබාගත හැකිවනසේ කලින් ම එය විවෘත කර තිබුනේ ද යන්න ගැන නිශ්චිත නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩුව මෙන් ම වර්තමාන ආන්ඩුව ද මෙම දුෂ්ට මිනිස් ඝාතනය පිලිබඳ සත්‍යය වසර පහකට ආසන්න කාලයක් දැනුවත්ව යට ගසා ඇත. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් පත්කල කමිටුවක් විසින් මෙම ඝාතනය පිලිබඳව පරීක්ෂන හතරක් පවත්වා ඇතත් ඒ කිසිම වාර්තාවක් මෙතක් ප‍්‍රසිද්ධ කර නැත.

ධනපති ආන්ඩු, ජනමාධ්‍ය හා ඒවායේ කුලීකාර ලියන්නන් පින්තාරු කර ඇති ආකාරයට එය සිරකරුවන්ගේ “කැරැල්ලක්” නිසා සිදුවූවක් නොවේ. දැනටමත් හෙලිදරව් වී ඇති කරුනු මගින් සනාථ කෙරෙන්නේ රජයේ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද එම ඝාතනය, කලින් සැලසුම් කොට හිතාමතා නිර්මානය කල ප‍්‍රකෝපකරනයක් හරහා සිදු කල එකක් බවය. නම සඳහන් නොකල බන්ධනාගාර නිලධාරියෙක්, එය “එස්ටීඑෆ් නිලධාරීන්ගේ ක‍්‍රියාවන් තුලින් අනවශ්‍ය ලෙසින් ඇති කල ප‍්‍රකෝපකාරී තත්වයක්” බව මාධ්‍යට ප‍්‍රකාශ කර තිබුනි.

9 වෙනිදා දහවල් බන්ධනාගාරය තුලට පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (එස්ටීඑෆ්) හා ත‍්‍රස්ත විමර්ශන අංශයේ (ටීඅයිඩී) නිලධාරීන් සිය ගනනක් ඇතුලු වී ඇත්තේ රැඳවියන් ලඟ ගිනි අවි, මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන තිබේ දැයි පරීක්ෂා කිරීමේ මුවාවෙනි. බන්ධනාගාර පනතට අනුව රජයේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ විධිමත් අවසරයකින් හෝ අධිකරන නියෝගයකින් තොරව ඊට ඇතුලු විය නොහැක. විශේෂයෙන්ම ආයුධ සන්නද්ධව ඇතුලුවීම තහනම්ය. බන්ධනාගාර බුද්ධි අංශයේ ප‍්‍රධාන ජේලර් ඉන්දික සම්පත් ඇතුලු බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සමග බලහත්කාරයෙන් බන්ධනාගාරයට ඇතුලු වූ එස්ටීඑෆ් භටයන් ගිනි අවි හා කඳුලු ගෑස් වලින් සන්නද්ධව සිට ඇත.

සිද්ධිය ඇසින් දුටු සිරකරුවෙකු වන සුදේශ් නන්දිමාල්, ප‍්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් පවත්වන ලෙස අපරාධ දෙපාර්තමේන්තුවට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරනයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ ප‍්‍රකාශ කර ඇති පරිදි මිය ගිය 27 දෙනාගෙන් සමහරෙකු ඝාතනය කර ඇත්තේ තෝරා ගත් ලැයිස්තුවකට අනුවය. ඒ. ජෝතිපාල, පී. හර්ෂ ශ‍්‍රී මනිකීර්ති පෙරේරා, නිර්මාල් අතපත්තු, මොහොමඞ් විජේරෝහන, ටී.එච්. ලෙස්ටර් සිල්වා, තුෂාර චන්දන, කේ.මලින්ද නිමේන්ද්‍ර, හා මලික් සමීර පෙරේරා ඒ අතර වෙති. මොවුන්ගෙන් ඇතැමෙකු මරන දඬුවම නියම වුවන් වන අතර සමහරුන් මත්ද්‍රව්‍ය චෝදනා මත සිර ගත කර සිටියවුන්ය. ලැයිස්තුව තිබී ඇත්තේ හමුදා නිලධාරීන් සමග පැමිනි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු අතේය. ඔහුගේ නම රංගජීව බව දැනගන්නට ලැබුනේ යයි නන්දිමාල් කියා ඇත.

මනිකීර්ති පෙරේරා යනු රන්කඩුවක් පැහැර ගැනීම සඳහා කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂුන් දෙදෙනෙකු ඝාතනය කල බවට චෝදනා ලබා සිටියෙකි. ඔහු ඊට සම්බන්ධ නැති බවත් ඒ සම්බන්ධයෙන් පාපෝච්චාරනයක් කිරීමට සුදානමින් සිටින බවත් ඉන් පසු “ලොක්කන්ගේ” පටි ගැලවෙනු ඇතැයි බන්ධනාගාර නිලධාරීන් සමග කියා තිබුන බවත් වාර්තාවෙයි.

ලැයිස්තුවට අනුව ඝාතනයට ලක්වූවන්ගෙන් බොහෝ දෙනෙකු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක එම්. රංගජීව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා වැලිකඩ හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන් ලමාහේවාගේ යන අයට එරෙහිව මානව හිමිකම් කොමිසමට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබු අය බව ද නන්දිමාල් කියා ඇත.

බිම දිගේ ඇදගෙන ගොස් බන්ධනාගාර ගේට්ටුව ලඟදී තුෂාරට වෙඩි තබන අයුරු තමා දුටු බව නන්දිමාල් සිය පෙත්සමේ කියා ඇත. එමෙන් ම මලික් පෙරේරා හෙවත් කොන්ඩ අමිල මාන්චු දමා ගෙන ගිය බවත් පසුව ඔහු ඝාතනය කල බව තමන් දැනගත් බව ත් ඔහු එහි දී වැඩි දුරටත් කියා තිබේ. නන්දිමාල්ට සහ ඔහුගේ නීතිඥ සේනක පෙරේරාට මරන තර්ජන එල්ල වූ බවට ඔවුන් පොලීසියට පැමිනිලි කර ඇති නමුදු මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

මෙම ඝාතනයන්ට අන දුන්නේ එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨභය රාජපක්ෂ විසින් බවට චෝදනා එල්ල වී තිබේ. ඔහු එය ප‍්‍රතික්ෂේප කරන අතරේම ඝාතන සම්බන්ධයෙන් කවර හෝ පරීක්ෂනයක් කිරීමට තමා විරුද්ධ බව ද කියා ඇත. “පරීක්ෂනයක් අවශ්‍ය නැහැ .... සිරකරුවන් අවි ගබඩාව කඩා ආයුධ අරගෙන වෙඩි තියන්න පටන් ගත්තා. එස්ටීඑෆ් එක ක‍්‍රියාකරලා තියෙන්නේ ඔවුන් ක‍්‍රියා කලයුතු ආකාරයට. එය මෙරටේ සාමාන්‍ය ක‍්‍රියා පටිපාටිය” බව ද රාජපක්ෂ ඩේලි මිරර් පත‍්‍රයට කියා තිබුනි.

වැලිකඩ ඝාතනය පිලිබඳ පරීක්ෂනයක් ඉල්ලීම වනාහි, “එන්ජී ඕ නඩවල හා සිංහල කොටින්ගේ” නාඩගමක් ලෙස හුවා දැක්වීමට රාජපක්ෂලා සමග පෙල ගැසී සිටින සිංහල වර්ගවාදී හැඩි රැල සහ ඔවුන් වෙනුවෙන් කුලී ලියන්නෝ තැත් කරති. එවන් කුලී ලියන්නෙකු වන සමන් ගමගේ 2015 පෙබරවාරි 22 ඉරිදා දිවයින ට මෙසේ ලියා තිබුනි.

“වැලිකඩදී එදා අපේ රනවිරුවන් මිනිස් ඝාතකයන් වූයේලු. සොය සොයා සිරකරුවන් මැරුවේලු. පිටින් ආ ඝාතකයන් බන්ධනාගාරය තුලට පැමින මිනී මැරුවේලු. ‘නරි සඳ දුටු කල හූ කියන්නාක්’ පරිදි මේ සියල්ල කියනුයේ අද දවසේ ඩොල්ර් කුට්ටි හමුවේ සදාකාලිකවම මේ රටට සතුරුවූ එන්ජී ඕ නඩ සමඟ එකතුව දේශපාලන රැකවරන ගෙන විදෙස්ගත වීමේ සූදානමක සිටින සහ දැනටමත් එසේ රටින් පිටවී සිටිනා සිංහල කොටි ත‍්‍රස්තයන්ය.”

එතනින් නොනැවතුනු ඔහු වැලිකඩ ඝාතනය ගැන පරීක්ෂනයක් ඉල්ලන “සිංහල කොටින්” මරා දමන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා ඇත. “එන්ජී ඕ නඩ සමග එක්ව රනවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උන්ඩයකින් නොලැබුන පිලිතුර මෙදාවත් ලබාදිය” යුතුයැයි ඔහු ලියා පවසයි.

වැලිකඩ ඝාතනය අහම්භයක් නොවේ. සිරකරුවන්ට විරුද්ධව ප‍්‍රකෝපකරනයන් නිර්මානය කර ඔවුන් ඝාතනය කිරීම, වදදීම හා යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ පාලක පන්තිය හා ආරක්ෂක හමුදා කුප‍්‍රකටය. ජේ.ආර් ජයවර්ධන ආන්ඩුව විසින් 1983 ජුලි මාසයේ දෙමල ජනයාට එරෙහිව මුදා හල ලේවැකි විලෝපනය මධ්‍යයේ, බන්ධනාගාර නිලධාරීන් විසින් දෙමල දේශපාලන සිරකරුවන්ට එරෙහිව සිංහල සිරකරුවන් උසිගැන්වීම මගින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සෙල්වරාජ් යෝගරාජන් හෙවත් කුට්ටිමනී ඇතුලු දෙමල සිරකරුවන් 52 ක් මරා දැමුනි. එතැන් පටන් ඇරැඹුනු දශක තුනක සිවිල් යුද්ධයේ දී හමුදාව සහ පොලීසිය විසින් මෙම රුදුරු ක‍්‍රමෝපායන් වර්ධනය කරමින් ඒවා මහජනතාවට එරෙහිව, විශේෂයෙන් ම පීඩිත දෙමල ජනතාවට එරෙහිව නිරන්තරව යොදා ගැනුනි.

මෙම තතු තුල වැලිකඩ ඝාතනය ගැන “අපක්ෂපාතී” පරීක්ෂනයක් පවත්වන බවට 2015 ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන දුන් පොරොන්දුව වනාහි, රාජපක්ෂ තන්ත‍්‍රයට එරෙහිව වැඩී තිබූ මහජන වෛරය ගසා කෑම සඳහා යොදාගත් ප්‍රෝඩාකාරී හා වංචනික මැතිවරන පොරොන්දු මාලාවෙන් එකකි. මෙම ආන්ඩුව විසින් ඒ සම්බන්ධයෙන් 2015 පෙබරවාරි මාසයේ පත් කල කොමිසමේ වාර්තාව එම වසරේ ජුනි මාසයේ අගමැතිට හා අධිකරන ඇමතිට භාර දුන් නමුත් මෙතෙක් එය හමස් පෙට්ටියේ දමා තිබුනි. ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන්ගේ හා මානවහිමිකම් සංවිධානවල උද්ඝෝෂනයන් මධ්‍යයේ “පරීක්ෂනයක්” පවත් වන්නට එම වාර්තාව පොලිස්පතිට භාර දී ඇත. එස්ටීඑෆ් භටයන් විසින් වැලිකඩ දී “කිසියම් අනවශ්‍ය ඝාතනයක්” කර ඇත්දැයි පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැවරු බව පොලීසිය කියයි.

මෙම මෘග ඝාතනය සම්බන්ධයෙන් සාධාරන පරීක්ෂනයක් සහ වරදකරුවන්ට දඬුවම් පැමිනවීමක් ධනපති ආන්ඩුවෙන් අපේක්ෂා කිරීම බරපතල මිත්‍යාවකි. එය හුදෙක් ම, ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය මහජනයා ඉදිරියේ වඩ වඩා එලිදරව් වන තත්වය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රකින බවට කරන මවා පෑමක් හා ආන්ඩුවේ මුහුන බේරා ගැනීමේ තැතකි.

ආන්ඩුවේ ආර්ථික කප්පාදු පිලිවෙත්වලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩලීමට එරෙහිව මහජන විරෝධය හා වැඩකරන ජනතාවගේ, ශිෂ්‍යන්ගේ හා ගම්බද දුගීන් ඇතුලු අවශේෂ ජනයාගේ අරගල වර්ධනය වන තතු තුල ආන්ඩුව වඩ වඩා නැඹුරු වෙමින් පවතින්නේ මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රුදුරු ලෙස මැඩලන පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයක් දිසාවටය.

Share this article: