රුසියානු විප්ලවයේ ශත සංවත්සරය පිලිබඳ දේශනය
1905 උරුමය සහ රුසියානු විප්ලවයේ මූලෝපාය

The Legacy of 1905 and the Strategy of the Russian Revolution

ෆ්‍රෙඩ් විලියම්ස් විසිනි, 2017 අප්‍රේල් 7

මෙම ලිපිය මාර්තු 25 දා 1905 රුසියානු විප්ලවයේ සම්භවය හා එහි අදාලත්වය පිලිබඳව අන්තර්ජාලයේ පවත්වන ලද දේශනයෙන් සැකසිනි. ඒ දේශනයේ සවන් පිටපත්, දිසි පිටපත් මෙතැනින් ඇතුලු වන්න.

දේශන මාලාව සඳහා wsws.org/1917 වෙත පිවිසෙන්න.

ලෙනින් 1905 විස්තර කලේ 1917 සඳහා පූර්ව රංගනය ලෙසටය. ට්‍රොට්ස්කි එය නම් කලේ, අනෙක් දේ අතර, “මහාර්ඝ පූර්වරංගයක්” ලෙස ය. දින කිහිපයකට පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් යලි පල කරන ලද ලිපියක් තුල ට්‍රොට්ස්කි එම සිතුවිල්ල යලි සිහිපත් කරමින් පවසා ඇත්තේ, කම්කරුවන් 1905 හදාරා පාඩම් ඉගෙන ගත යුතු බවයි. 1905 දී රුසියානු අධිරාජ්‍යය පාලනය කලේ සාර් කෙනෙකු වූ 2 වන නිකොලස් සාර් විසිනි. ඔහු පරම ආඥාදායකයෙකි. වංශාධිපති හා නිලධරයේ ස්ථරයන් මත පදනම් වෙමින් ඔහු දැවැන්ත රාජ්‍ය යාන්ත‍්‍රනය පවත්වාගෙන ගියේය. ඔහු රට පාලනය කලේ ආඥා මගිනි. රටේ ජාතික ධනයෙන් ඉමහත් කොටසක් කා දැමූ යෝධ මිලිටරිය පාලනය කලේ ද සාර් විසිනි.

ඒ කාලයේ රුසියාවේ කතා කිරීමේ නිදහසක් තිබුනේ නැත. පුවත් පත් නිදහසක් ද නොවීය. ඇත්තටම දැඩි ප‍්‍රවෘත්ති වාරනයකි තිබුනේ. රැස්වීමට අයිතියක් තියා සාර්ට පෙත්සමක් ඉදිරිපත් කිරීමේ නිදහස පවා තිබුනේ නැත. එසේ කිරීමට අයිතියක් තිබුනේ ඔහුගේ අමාත්‍යංශ තුල සිටි රදලයන් අතලොස්සකට පමනි. වැඩ වර්ජන කිරීමට අයිතියක් ද තිබුනේ නැත. වෘත්තීය සමිති හදන්ට අයිතියක් නොතිබුනි. පාර්ලිමේන්තුවක් තිබුනේ ද නැත. චන්ද අයිතියක් ද නැත. පැය 8 වැඩ දිනය ද නොවී ය. ඇත්තටම 19වන සියවස අවසානයේදී, බොහෝ කම්කරුවන් දිනකට පැය 14ක් වැඩ කල යුතු විය. පැය 12ක් වැඩකරන්නට ලැබුනොත් ඒ වාසනාවට ය. 1897 දී ‘මහකරුනාවක්’ පහලවූ සාර් වැඩ දිනය පැය 11 හමාර දක්වා අඩු කලේ ය. එහෙත් මෙය පවා බොහෝ කම්හල්වල ක‍්‍රියාත්මක නොවීය. සුලූ කරුනකට පවා කම්කරුවන්ට දඩ ගසන ලදී. පැය කාලකට වඩා පරක්කු වුවහොත් දවසක පඩි කපනු ලැබේ. නිෂ්පාදනයේ අඩුපාඩු තිබුනොත් ඊටත් වඩා පඩිය කපන ලදී. ඔවුන්ට ගෙවන ලද්දේ යුරෝපයේ අඩුම වැටුප් ය.

1905 උරුමය සහ රුසියානු විප්ලවයේ මූලෝපාය

රුසියානු අධිරාජ්‍යය සහමුලින්ම රුසියානු වූයේ නැත. ඇත්තටම රුසියානු ජනවර්ගයට අයත් අය සිටියේ අධිරාජ්‍යයේ ජනගහනයෙන් සියයට 50ක් පමනි. ජාතිකත්ව ප‍්‍රශ්නයට නූතන සමයේ දී හඳුනාගත හැකි ජාතිකත්වයන් 150 ක් ඇතුලත්ය. සමහර ජාතීන් වඩා මැනවින් පතලව ඇති අතර, වටහාගත හැකි වේ. උදාහරනයක් හැටියට රුසියානු අධිරාජ්‍යයේ පෝලන්ත ජාතිකයෝ වාසය කලෝ ය. පෝලන්තය 18වන සියවසේ අග දී බෙදන ලදී. පෝලන්ත ජාතිකයන් සාර්වාදී පාලනය විසින් රුසියානු කරනයට භාජනය කරන ලද අතර ඔවුන්ට, තම පාසැල්වල පෝලන්ත බසින් නොව රුසියානු බසින් උගෙනීමට බල කරන ලදී. ෆින්ලන්තය අධිරාජ්‍යයේ කොටසක් වූ නිසා ෆින් ජාතිකයින්ට ද මෙය සිදු විය. එකල්හි රුසියානු අධිරාජ්‍යය තුල වඩාත්ම පීඩනයට ලක්වූ යුදෙව් ජනතාවට ද මෙය අදාල විය. දල වශයෙන් මිලියන 5ක් වූ යුදෙව් ජනයාට ජීවත් විය හැක්කේ කොතනදැයි ඊනියා පදිංචි කිරීමේ කඩතුරාව යටතේ සීමා පනවා තිබුනි. බොහෝ රැකියා ඔවුනට තහනම් වී ය. සරසවිවලට ඇතුලු වීමේදී පංගු නියම කර තිබුනි. ඔවුන්ට චන්ද බලයක් තිබුනේ ද නැත. කලින් හිටපු 3 වන ඇලෙක්සැන්ඩර් සාර් ඝාතනය කරනු ලැබූ 1881න් පසු යුදෙව් ජනතාවට එරෙහිව ජන ඝාතන රැල්ලක් දියත් කරන ලදී. මෙවන් ජන ඝාතන සිදු කරන ලද්දේ සන්නද්ධ මැරවර කන්ඩායමක්, මූලික වශයෙන්ම පොලිසියේ දැනුවත් මෙහෙයුම යටතේ, අඩු ගනනේ පොලිසිය අහක බලා සිටිනා තතු තුල ය. ඔවුහු යුදෙව් නිවහන් ප‍්‍රදේශ තුලට කඩාවැදී, මිනිසුන් මරා, වධදී, නිවාස කොල්ල කා, ව්‍යාපාර වනසා දමා, තවත් නොඑකුත් දේ සිදුකොට කිසිදු කරදරයකට මුහුන නොපා පිටව යති. 1905 විප්ලවයට පෙර අතිශයින්ම අපකීර්තිමත් ජන සංහාර වලින් දෙකක් සිදු කරනු ලැබුවේ දැන් මොල්ඩොවාවේ පිහිටි කිශිනෙව් ප‍්‍රදේශයේ ය.

රුසියාව ගොවි රටක් විය. ඔවුන් බොහෝකොටම නූගත් හා දුප්පත් විය. තැන තැන විසුරුනු ගම් හා නියම්ගම් 500,000ක ය ගොවීන් ජීවත් වූයේ. ගොවීන්ගේ විසිරුනු ස්වභාවය විස්තර කරන ට්‍රොට්ස්කි, එය යෝධ දේශපාලන ප‍්‍රශ්නයක් වූ බව පෙන්නුම් කලේ ය. එවන් සුවිශාල රටක තැනින් තන විසිරී සිටි ජනයා කෙසේ එක්සත් කරන්න ද ?

ගොවි ජනයා සමාජ ව්‍යූහයක් ලෙස එක්සත්ව නොසිටියෝය. අතිශයින්ම පෝසත් ගොවියෝ ද වූහ. මහා ඉඩම් හිමියෝ බොහෝ විට ධනපති පන්තියට සමීප වූහ. කිසිවක් හිමිව නොසිටි අතිශයින් දුප්පත් ගොවියෝ සැබවින්ම කෘෂි කාර්මික කම්කරුවන් බඳු වූහ. ඔවුන්ට සිදු වූයේ සිය ශ‍්‍රම ශක්තිය ධනපතියන්ට නැතහොත් වෙනත් වඩා පෝසත් ගොවියන්ට විකිනීමට ය. 60,000ක් පමන ලොකු ඉඩම් හිමියෝ මිලියන 100ක් තරම් ගොවි ජනයාට අයත් වූ තරම් භූමිය අයත්කර ගත්හ. ඉතින් බොහෝ විට රදලයන් ලෙස සැලකුනු අතිශයින් ධනවත් ඉඩම් හිමියන් කුඩා ස්ථරයක් සිටි බව ඔබට දැක ගත හැකිය. 19 වන සියවසේ අවසානය වන විට අමාරු කාලයකට මුහුන දෙමින් සිටි රදලපෙල තම ධනය ධනපතියන්ට විකිනීම අරඹා තිබුනි. මෙය පුලුල් සමාජ ඝර්ෂනයකට හේතුවිය. කෙසේ වෙතත් රදලයෝ ගොවීන්ට වඩා බෙහෙවින් පෝසත්ව සිටියෝය.

බොහෝ සමානකම් තිබියේවී නමුත් මුලුමනින්ම වහලුන් නුවූ ප‍්‍රවේනි දාසයෝ 1861 දී නිදහස් කරනු ලැබූහ. එහෙත් ඒ නිදහස අතිශයින්ම සීමිත එකක් විය. එය ඔවුන් ඇද දැම්මේ ආන්තික නයගැති භාවයකටය. බොහෝ අවස්ථාවලදී ‘නිදහස ලත්’ ගොවීන්ට තම නය ගෙවීමට අවුරුදු 48ක් ගත විය. බර බදු ගෙවූ ඔවුහු මූලික වශයෙන් ගත කලේ කාලකන්නි ජීවිත ය. ඔවුන් ඉඩම් යලි බෙදීමක් ද නය බර අහෝසි කිරීමක් ද අවශ්‍ය මංමුලාසහගත තත්වයක පසු විය.

19 වන සියවස අවසන් වන විට කර්මාන්ත සෑහෙන වේගයකින් වැඩෙන්නට පටන්ගෙන තිබුනි. කර්මාන්ත සඳහා බොහෝ දුරට විදේශ නය, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය සහ ප‍්‍රන්ස නය යොදවනු ලැබූ අතර ජර්මන් නය ඊට අඩු මට්ටමකින් යොදා තිබුනි. මෙය ‘අසමාන හා ඒකාබද්ධ වර්ධනය’ යනුවෙන් ට්‍රොට්ස්කි නම්කල ප‍්‍රපංචයට තුඩු දුනි. රුසියාව බටහිර වඩාත් සංවර්ධිත බොහෝ රටවල් වලට පිටුපසින් ලැග සිටි නමුත්, බ්‍රිතාන්‍ය හෝ ප‍්‍රන්ස ධනපතියෙකුට රුසියාව තුල ආයෝජනය කිරීමට උවමනානම්, ඔවුන් එසේ කල අතර, ඔවුන්ට ප‍්‍රාග්ධනය සහ අතිශයින්ම නූතන තාක්ෂනය ද විශාල ෆැක්ටරි ද අලුත්ම කාර්මික යන්ත‍්‍ර යනාදිය ද රුසියාව තුලට ආනයනය කල යුතු විය. ඉතින් රුසියාව අනෙකුත් රටවල් විසින් පසුකර යා යුතුව තිබුනු සංවර්ධනයේ අතරමැදි අවධීන් ගනනාවකට උඩින් පැනීමට සමත් විය. මෙය 1000කට වැඩි කම්කරු සංඛ්‍යාවක් නියුතු විශාල කම්කරු සංඛ්‍යාවක් සහිත කම්හල් බිහි කලේ ය. (මෙය ඒ වනවිට මෙවන් කම්හල් නිර්මානය කිරීම පිලිබඳ ඉහලම ආදර්ශය වූ ඇමරිකා එක්සත් ජනපදය ද ඉක්මවා ගොස් තිබුනි) මේ අනුව රෙදිපිලි, ලෝහ, පතල්, දුම්කොල යනාදී කර්මාන්තවල නියුතු, ගම්බද සිට පැමිනි, තරුන කම්කරු පන්තියක් පැනනැග තිබුනි. සාමාන්‍යයෙන් නගර වලට සමීපව ජීවත්වූ ඔවුන් කාර්මික මධ්‍යස්ථානවලට තල්ලු කර දමන ලදී. මේ කම්හල් ස්වාභාවිකවම ඇතුලු නගර තුල වැඩී ආවා නොවේ.

පීටර්ස්බර්ග්, මොස්කව්, ඉවනොවෝ කියෙව් සහ අනෙකුත් නගරවල සිටි කම්කරුවන් මිලියන තුනක් හෝ පහක් ජාතික ධනයෙන් හරි අඩක් නිර්මානය කලෝ ය. මුලු කෘෂිකාර්මික අංශයම නිපයූ ප‍්‍රමානයට සමාන පංගුවකි. සංඛ්‍යාත්මකව කුඩාවුව ද කම්කරු පන්තිය, රුසියානු ආර්ථිකය තුල ඉටු කල කර්තව්‍යය අත්‍යන්ත විය. ඔවුන් දරන ලද සාපේක්ෂ සමාජ හා ආර්ථික බර දැවැන්ත විය.

මොස්කව් සහ පීටර්ස්බර්ග් අතර ප‍්‍රථම දුම්රිය මග විවෘත කලේ 1851 දී ය. ට්‍රොට්ස්කි කී පරිදි ඉන් පෙර රජකලේ ‘කොහෙත්ම මාර්ග නැති කමයි.’ රුසියාවේ පැවති පාරවල් බියකරු විය. වසන්තයේ සහ ශරදයේ වැසි සහිත කාලයේ, හිම දියවන කල්හි ඒවායේ ගමන් කල නොහැකි විය. උකුලක් මඬේ එරී යාගතහැකි වුවොත් ඒ අමාරුවෙනි. එම තතු තුල නගර සහ කාර්මික මධ්‍යස්ථාන අතර ප‍්‍රධාන පුරුක වූයේ දුම්රියයි.

විප්ලවයේ වසර වූ 1905 දී එතරම් සාතිශය වැදගත් දේශපාලන භූමිකාවක් ඉටු කල දුම්රිය කම්කරුවෝ ගනනින් 667,000ක් වූ හ. එය කම්කරුවන්ගේ හමුදාවක් වූ අතර අපට පසුව දක්නට ලැබෙන පරිදි, ඔවුන් තීරනාත්මක භූමිකාවක් ඉටුකලේය.

විශේෂයෙන්ම ගම්බද ප‍්‍රදේශවල මංමාවත්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා වෛද්‍ය කටයුතු පාලනයට, බොහෝවිට සෙම්ස්ට්වෝ යයි දන්නා ලද නිදහස් මතික ලිබරලුන් යම් ප‍්‍රමානයක් සම්බන්ධව සිටි නමුත් ඔවුහු බොහෝ දුරට ඒවාටම සීමිත වූහ. සංඛ්‍යාත්මකව කුඩාවූ ඔවුන්ට තිබුනේ සීමිත දේශපාලන අනුහසක් පමනි. පොදුවේ ගත් කල්හි නගරවල සුලු ධනේශ්වර ලිබරල්ලු ගනනින් අඩුවූ අතර, ඔවුන්ට තිබුනේ ද සීමිත දේශපාලන බල පෑමකි.

සාර් ගේ පාලනය පෙරලාදමා ධනේශ්වර සමූහාන්ඩුවක් පිහිටුවීමේ විප්ලවය බොහෝ දෙනා අපේක්ෂා කලහ. එහෙත් විශේෂයෙන්ම බටහිර යුරෝපයේ ආර්ථික වශයෙන් වැඩි දියුනු රටවල් හා සමකර බලන කල සමාජවාදය පිලිබඳ සිහිනය නම් පෙනීගියේ බොහෝ දුරස්ත දෙයක් ලෙස ය.

කෙසේ වුවත් මාක්ස්ගේ ප‍්‍රාග්ධනය 1872 දී රුසියානු බසට පරිවර්තනය කරන ලදී. මෙය වනාහි එම කෘතිය වෙනත් බසකට පරිවර්තනය කරන ලද මුල්ම වාතාවයි. එය සාර්ගේ වාරකයින්ගෙන් බේරී ගියේ, එය ආර්ථික සංඛ්‍යා හා දත්ත පිලිබඳ සාරසංග‍්‍රහයක් ලෙස ඔවුන්ට පෙනී ගිය නිසාය.

1870 ගනන් තුල බලවත්ව පැවති ජනතාවාදී ව්‍යාපාරය ගොවිජන කොමියුනයේ සාමූහික පදනම උඩ සමාජවාදය ආරම්භ කිරීමට යෝජනා කලේ ය. ගැමි ප‍්‍රදේශවල සාමූහික අයිතිය සමහර විට ධනේශ්වර සංවර්ධනය මුලුමනින්ම ඉක්මවා යනු ඇතැයි එය අපේක්ෂා කලේ ය. 1881 දී ඔවුහු මාක්ස්ට පවා මෙසේ ලියා යැවුහ. “අප රුසියාවේදී අපේක්ෂා කල යුත්තේ කුමක් ද ?” ගොවිජන කොමියුනයේ පදනම මත සමාජවාදය වැඞී එනු ඇතැ’යි අපේක්ෂා කිරීමට සුජාත පදනමක් තිබේ ද ?

ප‍්‍රථම රුසියානු මාක්ස්වාදී කන්ඩායම පිහිටුවන ලද්දේ 1883 දී ජිනීවා නුවරදීය.

ප‍්‍රථම රුසියානු මාක්ස්වාදී කන්ඩායම පිහිටුවන ලද්දේ 1883 දී ජිනීවා නුවරදීය. එයට ජෝර්ජි ප්ලෙඛානොව් (පින්තූරයේ මැද) ප‍්‍රමුඛ, පිටුවහලේ සිටි විප්ලවවාදීන් හය දෙනෙක් සම්බන්ධ වූහ. ප්ලෙඛානොව් ප‍්‍රමුඛ කෘතීන් පරිවර්තන කරමින් ද මාක්ස් ගේ මතවාද ජනප‍්‍රිය කරන ග‍්‍රන්ථ සම්පාදනය කරමින් ද 1889 යුරෝපයේදී පිහිටුවන ලද දෙවන ජාත්‍යන්තරයට සහභාගී වෙමින් ද වැදගත් ප‍්‍රතිපදානයක් කලේ ය. එම අවුරුද්දේ දී ඔහු පහත සඳහන් සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශය කලා. “රුසියාවේ විප්ලවවාදී ව්‍යාපාරය ජයගනු ඇත්තේ කම්කරු ව්‍යාපාරයක් ලෙසය. නැතහොත් එය කිසිසේත්ම ජයගනු නැත.” යෝධ ගොවි ජනතාවක් මැද්දේ සංඛ්‍යාවෙන් අඟුටුමිටි වූ කම්කරු පන්තියක් ගැන මෙවන් ප‍්‍රකාශයක් කිරීම ඔහුගේ විවේචකයන් බොහෝ දෙනෙකු විසින් දැකගන්නා ලද්දේ විකාරයක් ලෙසය.

උතුරු සංගමය, දකුනු සංගමය වැනි 1870 සහ 80 ගනන්වල දී ගොඩනගන ලද යම් කුඩා කම්කරු කාන්ඩායම් තිබුනි.

1895 දී කම්කරු පන්තිය විමුක්ත කර ගැනීම සඳහා අරගලයේ සංගමය පිහිටුවීය

කෙසේ වෙතත්, මීලඟ මහා පියවර එලඹුනේ 1895 දී පීටර්ස්බර්ග් නුවර “කම්කරු පන්තිය විමුක්ත කර ගැනීම සඳහා අරගලයේ සංගමය” පිහිටුවීමත් සමග ය. එම සංවිධානයේ ප‍්‍රධාන සාමාජිකයන් දෙදෙනක් නම්, පසු කලෙක ලෙනින් නමින් දන්නා ලද බෝල්ශෙවික් පක්ෂයේ නායකයා වූ ව්ලඩිමීර් උල්යානොව් සහ පසු කලෙක ප‍්‍රමුඛ මෙන්ශේවිකයෙකු වූ ඉයුල්ලි මාටෝව් ය. පින්තූරයේ දකුනු කොනේ මාටෝව් ද ලෙනින් මේසය ලඟ මැද ද සිටි.

පිටර්ස්බර්ග් නුවර සිතියම මෙහි දැක්වේ. ස්ලයිඩ්වල සලකුනු කර ඇත්තේ අරගලයේ සංගමයට සම්බන්ධතා පැවති හා දේශපාලන කටයුතුවල යෙදුනු කම්හල්ය.

අරගලයේ සංගමයෙහි වර්ධනය කෙරේ සැලකිය යුතු ප්‍රේරනයක් 1896 මැයි-ජුනි මාසවල රුසියානු අධිරාජ්‍යයේ අගනුවර වන පීටර්ස්බර්ග් නුවර රෙදිපිලි කම්කරුවන්ගේ වැඩ වර්ජනයෙන් ඇතිවිය. “ඉතින් කම්කරු පන්තිය විමුක්ත කරගැනීම සඳහා අරගලයේ සංගමය” ගොඩනැගු වහාම, රෙදිපිලි කම්කරුවන්ගේ අරගල මාලාවක් ඇරඹුනි. පිටර්ස්බර්ග් නුවර සිතියම මෙහි දැක්වේ. ස්ලයිඩ්වල සලකුනු කර ඇත්තේ අරගලයේ සංගමයට සම්බන්ධතා පැවති හා දේශපාලන කටයුතුවල යෙදුනු කම්හල්ය. එය මහා වැඩවර්ජනයක් වූ අතර රුසියාවේ කම්කරු අරගලයේ වර්ධනයට යෝධ ගැම්මක් ලබා දුනි.

මෙය හුදෙක් පීටර්ස්බර්ග් ප‍්‍රපංචයක් වූයේ නැත. කම්කරු විමුක්ති අරගලයේ සංගමයේ සාමාජිකයන්ට සම්බන්ධතා පැවති, පොත්පත් බෙදාහැරි, නිරන්තරව වැඩ කල විවිධ නගර කලු තිත් වලින් සලකුනු කර ඇත. මා අවධානය යොමු කිරීමට යන එක් ප‍්‍රයුක්තියක් නම්: කම්කරු පන්තිය සංවිධානය කලේ කවු ද? කම්කරු පන්තිය විප්ලවය කරා එලඹුනේ කෙසේද? යන්නයි. 1883 සිට ප්ලෙඛානොව් කර තිබුනු වැඩ ද 1890 ගනන්වල කරන ලද වැඩ ද විප්ලවවාදීන් විසින් ප‍්‍රධාන නගරවල කරන ලද වැඩ ද විප්ලවය කරා මං තැනූ පරමවශයෙන්ම බැහැර කල නොහැකි අංග විය.

සිතියම මෙහි දැක්වෙන්නේ, කම්කරු විමුක්ති අරගලයේ සංගමයේ සාමාජිකයන්ට සම්බන්ධතා පැවති, පොත්පත් බෙදාහැරි

මේ සියලු වැඩකටයුතු නීති විරෝධී වූ බව අප විසින් මතක තබාගත යුතු වේ. ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය නොහැකි විය. මුල් කාලයේ සිටම පවතත්වන ලද වාර්ෂික සිද්ධීන්ගෙන් එකක් වූ - මැයි දිනය පැවැත්වීමට උවමනාවී නම් රැස්වීමට සිදු වූ යේ සමහරවිට වන ලැහැබක හෝ සමහරවිට ගං ඉවුරක ය. ඔබට ශාලාවක් කුලියට ගැනීම කල නොහැකි ය, හිස් ගබඩාවක් සොයාගැනීමට පුලුවන් කම තිබුනි. හැමතැනම පොලිසිය, හැම තැනම ඔත්තුකරුවන්ය. ඔබ කතාකරන්නට පටන්ගෙන විනාඩි 10ක් හෝ 15ක් ගතවීමට පෙර කොසැක් භටයන් හෝ පොලිස් භටයන් කඩා පනිනු ඇත. මිනිසුන්ට බොහෝවිට වෙඩි තබන ලදී. ඔබ හිරේ විලංගුවේ වැටෙනු ඇත. ඔබ කම්හලක කම්කරුවෙක් නම් ඔබේ රැකියාව නැතිවනු ඇත. මේ මුල්කාලීන විප්ලවවාදීන් කටයුතු කලේ මුලුමනින්ම නීති විරෝධීවය. 1895 දෙසැම්බරය වනවිට ලෙනින් අත්අඩංගුවට ගනු ලැබ තිබුනි. කෙනෙකු අත්අඩංගුවට ගත් කල්හි ඔක්රානා හෙවත් සාර්ගේ රහස් පොලිසිය ඔහු සඳහා ලිපිගොනු වක් අරිනු ඇත, එහි ඡායාරූපයක්ද ඇතුලත් ය. ඔවුන් එය දිගටම පවත්වාගනු ඇත.

1898 දී රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ (ආර්.එස්.ඩී.එල්.පී.) ආරම්භක සම්මේලනය මින්ස්ක් නුවරදී පැවැත්විනි. එහි සම්පූර්න නියෝජිත සංඛ්‍යාවම එනම් නව දෙනාම දින කිහිපයක් ඇතුලත සිරභාරයට ගන්නා ලදී.

1900 දෙසැම්බරයේ දී කම්කරු පන්තියේ දේශ ව්‍යාප්ත විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමට උපස්ථම්භක වනු වස්, ඉස්ක‍්‍රා [ගිනිපුපුර] නම් සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුවත් පත විදේශයේ මුද්‍රනය කොට රුසියාවට හොර රහසේ ගෙන එන ලදී. මෙය සුලුපටු වැඩක් වූයේ නැත. යුරෝපයේ ප‍්‍රමුඛ නගරයක් වූ මියුනික්හි මුද්‍රනය කර ඉතා කුඩා තොග වශයෙන් රුසියාව තුලට රහසේ ගෙනයනු ලැබිනි. මෙය ඉතා දුෂ්කර කර්තව්‍යයක් විය. ඔව්, රහස්පොලිසිය හැම තැනකටම රිංගාගෙන සිටීම නිසා එය වඩාත් දුෂ්කර විය. පොලිසිය සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර ව්‍යාපාරය තුලට කාවැදී තිබුනි. සොයාගෙන තිබුනු කරුනක් නම්, අවුරුදු ගනනාවක්ම රුසියාව තුලට ඉස්ක‍්‍රා පත‍්‍රය හොරෙන් ගෙන ඒම බාරව සිටි තැනත්තා පොලිස් ඒජන්තයෙකු ය යන්නය. හැම දෙයක්ම යන්නේ කොතනට ද, සියලුම ලිපිනයන්, සියලුම සම්බන්ධතා දැන සිටි ඔහු රුසියාව තුලට පත‍්‍රය ගෙන ඒම ද සංවිධානය කලේ ය.

දහනව වන සියවස පුරා ම රුසියාව ප‍්‍රතිගාමිත්වයේ බල කොටුවක් ලෙස දක්නා ලද නමුත් යුරෝපයේ මාක්ස්වාදීන් අතර වඩාත්ම සංවේදී කෙනෙක් වන කාල් කෞට්ස්කි මෙම රුසියානු අධිරාජ්‍යය තුල අලුතින් යමක් සිදුවෙමින් පවත්නා බව 1902 දී පෙන්නුම් කලේ ය. එකල ඔහු මෙසේ ලිවීය: “මෙතෙක් කල් විප්ලවවාදී ආරම්භකත්වය ඉමහත් ප‍්‍රමානයක් බටහිරින් උකහාගත් රුසියාව දැන් විප්ලවවාදී බලශක්තියේ උල්පතක් ලෙස, එම බටහිරටම සේවය කිරීමට සැරසී සිටි.” [1]

රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවන (RSDRP) සම්මේලනය රුසියාව තුල පැවැත්වීමට නීතිමය වශයෙන් ඉඩක් නොතිබුනු හෙයින් 1903 ජූලි-අගෝස්තු මාසවල එය, බ‍්‍රසල්ස් නුවර සහ ලන්ඩන් නුවර පවත්වන ලදී. මෙම සම්මේලනයේ දී පක්ෂය තුල භේදයක් මතුවූ අතර එහි ප‍්‍රධාන පාර්ශවයන් වූයේ බෝල්ශෙවික් සහ මෙන්ෂේවික් යන දෙපිල ය. පක්ෂයේ බොහෝ සාමාජිකයන්ට භේදය පෙනීගියේ තාවකාලික එකක් හැටියට ය; එයට හේතු මුලුමනින්ම පැහැදිලි වුයේ ද නැත. ට්‍රොට්ස්කි කල්පනා කලේ කල්ගතවන විට දේශපාලන මතභේද ජයගත හැකි බවත් පක්ෂය එක්සත් කරගත හැකි බවත් ය.

1905 අද්දර රුසියාවේ පැවති තත්වය විස්තර කිරීමේ දී ට්‍රොට්ස්කි 2 වන සම්මේලනය දෙස ආපසු හැරී බැලුවේ ය:

පක්ෂ සම්මේලනය පවත්වන අතර රුසියාවේ සමස්ත දකුනු ප‍්‍රදේශයම මහා වැඩ වර්ජනයක ග‍්‍රහනයේ පැවතුනි. 1902 නොවැම්බර් සහ 1903 ජුලි දින වල දී එය සමස්ත කාර්මික දකුන හරහා පැතිර යමින්, කම්කරු පන්තියේ අනාගත සමස්ත ක්‍රියාවලියම පූර්වරංගනය කලේය. ගොවිජන විරෝධතා වඩ වඩාත් නිරන්තර විය. විශ්ව විද්‍යාල තිබුනේ කැකෑරෙමිනි. සුලු මොහොතකට රුසියානු - ජපන් යුද්ධය විසින් ව්‍යාපාරය ඇනහිටවිය. එහෙත් සාර්වාදය මුහුනදුන් යුද ව්‍යසනය විප්ලවයට බලගතු උත්තෝලනයක් සපයා දුනි. පුවත්පත් වඩවඩාත් නිර්භීත වන්නට ද ත‍්‍රස්ත ක්‍රියා වඩ වඩාත් නිරන්තර වන්නට ද පටන් ගති. ලිබරල්ලු නිදිගැට හරිමින් දේශපාලන උත්සව පටන් ගත්හ. විප්ලවයේ ඇති මූලික ප‍්‍රශ්න පෙරට ආවේ ය. [ට්‍රොට්ස්කි My Lifeමගේ ජීවිතය, 165පිටුව]

මම මෙම දේශනයේ දී ත‍්‍රස්තවාදය පිලිබඳව සවිස්තරව කතාකරන්නට යන්නේ නැත. එහෙත් ට්‍රොට්ස්කි ත‍්‍රස්තවාදීන් ගැන තැබූ සටහන් ගැන පමනක් කතා කරමි: නරෝද්නයා වොල්යා [ජනතා අභිප‍්‍රාය] නම් පැරනි ජනතාවාදී ව්‍යාපාරයේ සිට 1893 සිට 1917 දක්වා කාලයේ දී සමාජ විප්ලවවාදී පක්ෂයට ගිය ත‍්‍රස්තවාදීහු 12,000 පමන සාර්වාදී නිලධාරීන් ඝාතනය කලෝ ය. මෙම ඝාතන ශිෂ්‍යයෙකු හෝ තරුන කම්කරුවෙකු විසින් කරනු ලැබූ ඒවාය. ආන්ඩුකාරයෙකු, පොලිස් ලොක්කෙකු, හෝ ඉහල නිලධාරියෙකු ට ලංවී, ඒ තැනැත්තා වෙඩි තබා මරා දැමීය. සමහරවිට බෝම්බයක් විසිකර ප‍්‍රතිවාදියා වනසා තමන් ද විනාශ කර ගත්තේය. ඉතා ප‍්‍රමුඛ පුද්ගලයෝ මෙසේ මරා දමන ලද්දෝ ය. 1904දි රුසියාව පුරා පොලිස් වැඩ කටයුතු භාරව සිටි අභ්‍යන්තර අමාත්‍ය ප්ලෙහ්ව් මරා දැමීය. ඔහු කෑලිකර දැමුවේ තරුන විප්ලවවාදියෙකු විසිනි. සාර්ගේ මාමා ඝාතනය කැරිනි. ට්‍රෙපොව් වැනි තවත් බොහෝ දෙනා බේරුනහ. එහෙත් ඔවුන් සිටියේ තමන් මරාදමනු ඇතැයි යන නිරන්තර බියෙනි. මනේෂේවිකයෝද බෝල්ශෙවික් පක්ෂයද පුද්ගල ත‍්‍රස්තවාදය උපායක් ලෙස පිලි නොගත්හ. එය සාර් පෙරලා දැමීමට සෑහෙන්නේ නැති බව ඔවුන්ට වැටහිනි. එක් සාර්වාදී නිලධාරියෙක් මැරුව විට තව එකෙක්, ඊටත් වඩා නපුරු එකෙක් එතැන ගනු ඇත. එසේ වුව ද මෙය අප විස්තර කරන කාල පරිච්ඡේදය පුරාම පැතිර පැවති ප‍්‍රපංචයක් විය.

ට්‍රොට්ස්කි 1904 පෙබරවාරි මාසයේ ඇරඹි පැතිර ගිය රුසියානු-ජපන් යුද්ධය ට ද අවධානය යොමු කලේය: අධිරාජ්‍යවාදී යුද්ධයන්ගේ යුගය අඩුවශයෙන් 1898 ස්පාඤ්ඤ - ඇමරිකානු යුද්ධයෙන් ඇරඹී තිබනු අතර, 1899 සිට 1902 දක්වා සිදු වූ එක්සත් ජනපදය පිලිපීනයට එල්ලකල මෘග ආක‍්‍රමනය ද අධිරාජ්‍යවාදී කොල්ලකරු ලෙස මහා බ්‍රිතාන්‍යය දකුනු අප්‍රිකාවේ ගෙන ගිය බෝයර් යුද්ධය ද ඒ අතර විය.

ජපන් ශිෂ්‍යයෙකුට රුසියානු අධිරාජ්‍යය පෙනීගිය ආකාරය

මංකොල්ලය සහ භෞමික ප‍්‍රසාරනය අරමුනු කරගත් අධිරාජ්‍යවාදී යුද්ධ වලින් පිටවී සිටීමට රුසියානු අධිරාජ්‍යයට නො හැකි විය. මෙහි දැක්වෙන පින්තූරය පෙන්නුම් කරන්නේ එකල්හි රුසියානු අධිරාජ්‍යවාදය, රටවල් ගනනාවක් හිරකොට අඬුපඬු දික්කරගත් යෝධ බූවල්ලෙකු ලෙස ජපන් ශිෂ්‍යයෙකුට පෙනීගිය ආකාරයයි. ඉහල වමේ පෝලන්තයේ පටන්, තුර්කිය, පර්සියාව සහ ටිබටය තුලට අඬු විහිදී තිබේ. එක අන්ඩක් චීනයට විහිදී ඇති අතර තවෙකක් කොරියාව සමහරවිට ජපානය දක්වා විහිදී ඇත.

මෙහි පෙන්නුම්කර ඇත්තේ සාර් නිකොලස්ගේ හිතේ තිබුනු දේහි පිලිරුවකි. සාර්ට ජපානය යුද්ධයෙන් පරාජය කිරීමට උචමනාවී තිබුනේ, රුසියාව සහ ජපානය යන දෙ රටම මැන්චුරියාව හා කොරියාව අල්ලා ගැනීමට සැලසුම් කරගෙන සිටි නිසාය. බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය, ජර්මනිය සහ ඇමරිකා එක්සත් ජනපදය සමග චීනය කුට්ටි කර ගැනීමට රුසියාව තරඟ වැද සිටි නිසාය.

සාර් රජු අපේක්ෂා කලේ පහසු ජයග‍්‍රහනයන්ය, 1904

සාර් රජු අපේක්ෂා කලේ පහසු ජයග‍්‍රහනයන්ය. මෙහි ඇති පින්තූරයේ පල්ලෙහා දකුනු පැත්තේ සාර් නිකොලස් ජපන් සොල්දාදුවෙක් පිඹ ඉවත්කරනු පෙන්නුම් කෙරේ. ජපන් නාවුක හමුදාව වනසා දමා ඇති සෙයකි. පහරකෑ ‘ජපන් දරුවන්’ගේ රූප ද මීට ඇතුලත් වේ. ඔවුන් සනසන්නේ අන්කල් සෑම් සහ ජෝන් බුල් ය. ඒ රූප ටික කාලයකට ජපානයට සහාය දෙමින් සිටි බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය පෙන්නුම් කරයි.

මෙම සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ පදනම ලෙස රුසියාව, 1895 දී චීනයෙන් පෝර්ට් ආතර් වරාය දිග බද්දකට ගෙන, බිඳිය නොහැකියයි සිතනලද බලකොටුවක් සහ නාවුක කඳවුරක් ලෙස වේදිකාවක් ගොඩනගා ගත්තේ ය. එය උතුරු චීනයේ හාර්බින් නගරය හරහා දිවෙන දුම්රිය මාර්ගයක් සමග සම්බන්ධ විය. අන්තර් සයිබීරියානු දුම්රිය මාර්ගය තවමත් සම්පූර්නවී නොතිබුනු අතර මැන්චූරියාව හරහා වූ කොරිඩෝව පිලිබඳව සහතිකයක් ද නොවීය.

කෙසේ වෙතත් යුද්ධයේ ආරම්භක දවස් වලම ජපාන නාවික හමුදාව විසින් රුසියානු නාවික බලඇනිවලට සැලකියුතු පරාජයන් අත්කර දුන්නේ ය. දින 300ට වැඩි කාලයක් වටලනු ලැබ තිබුන පෝර්ට් ආතර් කඳවුර ජපනුන්ට යටත් විය. රුසියාවේ ශාන්තිකර නාවික බලඇනි වලින් වැඩි හරියක් වරායේදී විනාශයට පත් විය. ඒ මුහුදු සටන් වලදී නොව, වරායට ඉහලින් තිබුනු කඳුවැටිවල සිට එල්ල කල ෂෙල් ප‍්‍රහාර වලිනි.

පෝර්ට් ආතර් වරාය ජපානය යටත් කරගත් පසු, දෙසැම්බර් 1904- ජනවාරි 1905

පෝර්ට් ආතර් වරායේ මෙම කම්පාකාරී යටත්වීම, රුසියාව තුල සැලකිය යුතු නොසංසුන්තා වන්ට තුඩු දුන්නේය. සාර් හා ඔහුගේ හමුදා බල ඇනි දූෂිත හා බෙලහීන යයි වඩ වඩාත් පෙනී ගියේය. කම්කරු පන්තිය තුල පමනක් නොව සමහර ලිබරල් කව තුලත් යුද විරෝධී උද්ඝෝෂන පැතිර ගියේය.

1905 විප්ලවයට තුඩුදුන් ඊලඟ අවස්ථාව නොවැලැක්විය හැකි යයි පෙනී ගියේය. පීටර්ස්බර්ග් අසල පිහිටි පුටිලොව් කම්හලේ කම්කරුවන් සිව් දෙනෙකු දොට්ට දමනු ලැබීය. ඔවුන් යලි සේවයේ පිහිටුවීම සම්බන්ධ සාකච්ඡා අසාර්ථකවූ කල 1905 ජනවාරි 3දා වැඩවර්ජනයක් හට ගත්තේය.

ප‍්‍රමුඛ මෙන්ෂේවිකයෙකු වූ පියෝදෝර් ඩෑන් ( Dan) ප‍්‍රකාශ කල පරිදි, ෆැක්ටරියෙන් දොට්ට දමනු ලැබූ කම්කරුවන් හතරදෙනෙකුට යලි රැකියාව දිනා ගැනීම බඳු සුලුු අරමුනක්, සතියක් පමන කෙටි කාලයක් ඇතුලත මුලු අගනුවරම ග‍්‍රහනය කර ගනිමින් පීටර්ස්බර්ග් කම්කරු පන්තියේ දැවැන්ත [2] දේශපාලන ව්‍යාපාරයක් බවට ප‍්‍රතිවර්තනය වනු ඇති යයි කිසිවෙකුටත් අපේක්ෂා කල හැකි වූයේ නැත.

සතියක් ඇතුලත 9 වන ඉරිදා මහා ජන පෙලපාලියක් සැලසුම් කරන ලදී. එහිදී ගැපොන් පූජක වරයා, (පින්තූරය මැද කුරුසයක් පැලඳ) ‘සාර් පියා’ ගෙන් සහන ඉල්ලා කම්කරුවන්, ශිෂ්‍යයන්, ගැහැනුන් සහ ලමුන් ද ඇතුලු පෙත්සම්කරුවන් 150,000 හෝ 200,000ක පෙලපාලියක් මෙහෙයවනු ලැබීය.

ගැපොන් පූජක වරයා, ජනවාරි 1905
ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් වූ යේ: පැය අටක වැඩ දිනයක්, කම්කරුවන්ට හා ගොවීන්ට රැස්වීමේ නිදහස, කතාකිරීමේ නිදහස, පුවත්පත් නිදහස, ආගම රාජ්‍යයෙන් වෙන් කිරීම, යුද්ධය ඉවරකිරීම, නව පාර්ලිමේන්තු සමූහාන්ඩුවකට පදනම දැමීම සඳහා ව්‍යවස්ථාදායක මන්ඩලයක් කැඳවීම ය.

නගරයේ විවිධ තැන් වලින් ගමන් ඇරඹු පෙලපාලි සාර් විසූ මාලිගාව පිහිටි චතුරශ‍්‍රයේ දී ඒකරාශී වූහ. ජනතාව වින්ටර් මාලිගය ඉදිරිපිටට පැමිනිකල කොසැක් භටයෝ ඔවුන් වෙත කඩා පැන බොහෝ දෙනෙකුට කඩු වලින් පහරදුන් අතර බොහෝ දෙනෙකුට වෙඩි තබන ලදී. නිවැරදි ගනන් නැති නමුත් 1000ක් පමන මරා දමා 2000ට පමන තුවාල කරන ලදී. සමහර විට තුවාලකරුවන් ඊටත් වැඩි විය හැක. මල සිරුරු ඉවතට ඇද දමන ලදී. පොලිසිය ඒවා සමූහ මිනී වලවල් තුලට දැමූහ. එතැන් පටන් ජනවාරි 9දා ප‍්‍රකට වුනේ ‘මාරක ඉරිදා’ ලෙසයි.

මේ ජන සංහාරය රුසියාව පුරා කම්පන රැල්ලක් ජනනය කලේ ය. බොහෝ කාර්මික ප‍්‍රදේශවල කම්කරුවෝ වැඩ වර්ජනය කලෝ ය. ශිෂ්‍යයෝ බෙහෝ සරසවි වසා දැමූහ. ජෝර්ජියා, බාකු, ඔඩේසා, අයිවනොවා වෝස්නොසේන්ස්ක්, පෝලන්තයේ ලොඩ්ස්, නිෂ්නි-නොව්ගොරොද්, සොර්මොවෝ නගරවල දැවැන්ත පෙලපාලි රැල්ලක් පැනනැගුනි. සමහර මිලිටරි ඒකකයන් තුල ද පෘථුලව නොවුවත් හටගත් පෙලපාලි 1905 වසන්තය, ගිම්හානය, සහ ශරදය පුරා ද පැතිර තිබුනි.

ලිබරල් ධනේශ්වර බුද්ධිමත්තු සාර් ඝාතකයෙකු යයි හෙලා දුටහ. මුලදී නීත්‍යානුගත මාක්ස්වාදියෙකුව සිට දකුනට තල්ලුවී ගොස් ධනේශ්වර ලිබරලෙකු බවට පත්වූ ස්ටෘවේ සම්පාදනය කල Osvobozhdenie නම් පුවත් පතේ ශිර්ෂ පාඨය වූයේ “රුසියාව තුල විප්ලවය” යන්නයි. “ජනතාව ගේ ඝාතකයා” යන මාතෘකාව යටතේ එය සාර් හෙලා දුටුවේය. ඩීන් ජොරේස් විසින් පලකල ලිපියක ‘සාර්වාදයට මරනය’ යයි සඳහන් විය. ලිබරල්ලු පරමාධිපත්‍යයට විරුද්ධ වූහ. එහෙත් ඔවුන්ට සාර් පෙරලා දැමීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් හෝ අධිෂ්ඨානයක් නොවීය.

ලිබරල් බුද්ධිමත්තු “රුසියාව තුල විප්ලවය” සාර් හෙලා දකිමින් ,ජනවාරි 12, 1905

ඊලඟ මාස කිහිපය තුල ප‍්‍රධාන වැඩවර්ජන සිය ගනනක් පුපුරා ගියේය, ඉන් එකක් විශේෂ අවධානයට ලක්කල යුතුවේ.

මොස්කව් නුවර සිට කිලෝමීටර් 150ක් පමන දුර පිහිටි, විශාල රෙදිපිලි කම්හල් වලින් යුතු නගරයක් වූ ඉවනොවෝ-වොනොසේන්ස්ක් නගරයේ කම්කරුවෝ දවස් සියයකට වඩා කල් ඇල්ලූ වැඩ වර්ජනයක යෙදුනෝය. ලක්ෂ ගනන් කම්කරුවන් සම්බන්ධවූ මෙම වර්ජන වලින් අලුත් වර්ගයක සංවිධානයක් බිහි විය. වර්ජනයට නායකත්වය දීම සඳහා කම්කරුවන් විසින් තෝරාපත් කරනු ලැබූ සෝවියට් සභාවක් හෙවත් කම්කරු නියෝජිත මන්ඩලයක් බිහි විය. එහි බොහෝ ඉල්ලීම් ආර්ථික වූ අතර සාර් පෙරලා දැමීමේ ඉල්ලීමක් ද ව්‍යවස්ථාදායක මන්ඩලයක් තෝරාපත්කර ගැනීම ද වෙනත් දේශපාලන ඉල්ලීම් ද ඊට ඇතුලත් විය. පලමුවෙන්ම රුසියාවේ සෝවියට් සභාවක් [කම්කරු බලමන්ඩලයක්] පිහිටුවනු ලැබුවේ තමන් විසින් යයි ඉවනොවෝ කම්කරුවෝ පසුව කියාසිටියෝ ය. තාක්ෂනිකව මෙය නිවැරදි වුවත්, එහි භූමිකාව 1905 ඔක්තෝබරයේ පිහිටැවුනු පීටර්ස්බර්ග් සෝවියට් සභාව විසින් බෙහෙවින් ඉක්මවන ලදී. 1905 මැයි මාසයේදී ලැට්වියාව ද ඇතුලූ අධිරාජ්‍යයේ අනෙකුත් ප‍්‍රදේශ වල ද මහජන පෙලපාලි පැන නැංගේය.

අයිවනොවෝ වැඩවර්ජනය සිදුවන අතරතුරේම, යුද පෙරමුනෙන් තව තවත් නරක ආරංචි ගලා ආවේ ය. තවමත් සාර් සිතා සිටියේ ඔහුගේ නාවුක හමුදාව, ජපන් නාවුක හමුදාව පරාජය කිරීමට සමත්වනු ඇතිය කියාය. කෙසේ වෙතත් රුසියානු පැසිෆික් නාවික බලඇනි වලින් බොහොමයක් විනාශ කර තිබූ තතු හමුවේ ඔක්තෝබරයේදී බෝල්ටික් හමුදාවට අන ලැබුනේ, පෝර්ට් ආතර් වෙත යාත‍්‍රා කරන ලෙසය. ඔවුන් ඔක්තෝබරයේ සිට මැයි දක්වා කිලෝමීටර් 33,000ක් දුර ගමනේ යෙදී සිටි අතර එහිදී ඔවුන්ට අසන්ට ලැබුනේ, 1905 පෙබරවාරි මාර්තු අතර රුසියානු සෙබලු 90,000කගේ ජීවිත විනාශ කරමින් රුසියානු හමුදාව මුක්ඩෙන් සටනෙන් දරුනු මිලිටරි පරාජයකට මුහුන දුන් බවයි. නැව් වල පැවති දිරිසුන් භාවය නොතකා ඒවා ගමනේ යෙදුනි. නැව් ආපසු හරවන ලෙස බලකරමින් කැරලි ගැසීමට පෙලඹවීම් කල බොහෝ නාවිකයින් එල්ලා මරා දැමීමට අද්මිරාල් රොස්ඩෙව්ස්වෙන්ස්කිට සිදු විය. දිගටම ගමන් කලහොත් තමන් ව්‍යසනයකට මුහුන දෙන බව ඔවුන් දැන සිටියේය. එහෙත් අද්මිරාල් විසින් දිගටම යාත‍්‍රා කරන ලෙස නියෝග කල අතර නැවියන් ගනනාවක් මරා දැමීය.

ඉවනොවෝ-වොනොසේන්ස්ක් සෝවියට් සභාව, මැයි

සාර්ගේ නැව් වල ආරම්භක ගමන් අරමුනව තිබුනු පෝර්ට් ආතර් වරාය ජපනුන් විසින් අල්ලා ගෙන තිබුනු නිසා, ඊටත් උතුරින් පිහිටි ව්ලැඩිවෝස්ටෝක් වරාය කරා නැව් හමුදාව යොමු කෙරිනි. රුසියානු නැව් ජපානයට නුදුරු දූපතක් අසලින් ට්සුශිමා සමුද්‍ර සන්ධියට ලඟාවත්ම එයට හරස්කැපූ ජපන් නැව් හමුදාව 5,000කට අධික රුසියානු නාවුකයින් වනසා දැමූහ. පැය ගනනාවක් තුල මුලු නාවුක හමුදාවෙන්ම ඉතුරු වූයේ ප‍්‍රධාන නැව් තුනක් පමනි. ඉතින් මැයි 27-28 දිනවල රුසියානු බලඇනි සහමුලින්ම වාගේ විනාශකර දමන ලදී. රුසියානු ජනතාවගේ අති මහත් වැඩි කොටසකට යෝධ කම්පනයක් වූ මෙම ගැටුමේදී ජපනුන්ට නැතිවුයේ ටෝර්පිඩෝ බෝට්ටු තුනක් සහ භටයින් 116 පමනි. මේ සා විනාශයක් කෙසේ සිදුවී ද?

ට්සුශිමා සමුද්‍ර සන්ධියට ලඟාවූ රුසියානු බලඇනි සහමුලින්ම වාගේ විනාශක කෙරුනි, මැයි 27-28, 1905

ට්‍රොට්ස්කි ට්සුශිමා ව්‍යසනය පිලිබඳව ලියා පීටර්ස්බර්ග් කම්කරුවන් අතර බෙදන ලද පත්‍රිකාවක කොටස් මෙහි දක්වමි:

නිර්ලජ්ජිත ඝාතනය හෙලා දකිනු!

“ට්සුෂිමා දිවයිනේ පිලිකුල් සහගත සටනෙන් පසුව, රුසියනු නැව් හමුදාව තවත් ඉතුරුව නැත. සාර්ගේ අපරාධවල ගොදුරක් හැටියට අපකීර්තිමත්ව වැනසී ගිය රුසියානු යුද නැව්වල සිටි, අපගේ සොයුරන් දහස් ගනනක් ශාන්තිකර මුහුදු පතුලේ වලලා දැමුනි. ඒ සා දැවැන්ත වියදමකින් මිලයට ගැනුනු රුසියානු නැව් හමුදාව අවසාන ය. එතරම්ම වියදමක් දරා නිපදවූ රුසියානු නාවික බල ඇනිය තවත් ඉතිරිව නැත. හැම කුඹගසක්ම ද ඇන- මුරිච්චියක්ම ද සමග වැනසී ඇත්තේ රුසියානු වැඩ කරන ජනතාවගේ ලේ දහඩියයි. සෑම යුද නැවක්ම වසර ගනනාවක ගොවි පවුල්වල දහඩිය මහන්සියයි. සියල්ල මුහුද පතුලට ගිල්වනු ලැබ ඇත. අවාසනාවන්ත මිනිසුනුත්, ඔවුන්ගේ දෑතින් නිමවන ලද නිෂ්පල සම්පතුත් ගිල්වා දමා තිබේ. .... නිර්ලජ්ජිත ඝාතනය! යුද්ධයේ පලමු දිනයේ පටන්ම දේශපාලනිකව දැනුවත් කම්කරුවන් විසින් මතුකරන ලද, සියලු කම්කරුවන් හා අව්‍යාජ පුරවැසියන් අතර දැඩි සහායක් දිනාගත් සටන් පාඨය මතු කරනු.

රුසියානු යුද නැව් සමග අපකීර්තිමත් ලෙස වැනසී ගිලා බැස්ස සාර් ආන්ඩුව භංග වේවා!

“තුච්ඡ ඝාතනය අවසන් කරනු! ලේ නාගත් මිනීමරුවන් භංගවේවා. අප ඉල්ලන්නේ සාමය සහ නිදහසයි!” [3]

ඊ ලඟට අවධානය දිනාගත්තේ 1905 ජුනි මාසයේ ඔඩෙස්සා වාරයේ දී පොටෙම්කින් යුද නැවේ නාවුක භටයින්ගේ කැරැල්ලයි. එය සර්ජි අයන්ස්ටයින්ගේ 1925 චිත‍්‍රපටය විසින් අමරනීය කරන ලදී. 1905 පුරා නවුක හමුදාවේ බහුතරය සාර්ට පක්ෂපාති වූහ. කලු මුහුදේ නැව් හමුදාවෙන් හොඳම නැවක් තුල පැනනැගී කැරල්ල සෙසු සන්නද්ධ අංශ කරාත් පතිරෙනු ඇතැයි සාර් පාලන තන්ත‍්‍රය තුල බියක් දැනවීය. නැව් හමුදාවේ අනෙකුත් නැව් මගහැර ගෙන පොටෙම්කින් නැව කොන්ස්ටන්ටිනා නම් රුමේනියානු වරායට යාත‍්‍රා කල නිසා එම නැවේ නාවුක භටයන්ගෙන් වැඩි දෙනා පන බේරා ගැනීමට සමත් වූහ. මෙනිසා පොටෙම්කින් නාවුක කැරැල්ලේ සැබෑ නායකයන්ගෙන් සමහරෙක් එල්ලා මැරීමට සාර් සමත්වූයේ නැත.

1905 ජූනි 14 (27) ඔඩෙස්සාවේ පොටෙම්කින් නැවේ නාවුක භටයන්ගෙන් වැඩි දෙනා පන බේරාගැනුනි. Surviving sailors who led the mutiny on the battleship Potemkin in Odessa June 14 (27), 1905

මෙම විප්ලවකාරී වසරේ ඊලඟ ප‍්‍රධාන සිදුවීම: ඔක්තෝබර් මහා වැඩවර්ජනයයි. යම්තාක් දුරකට වර්ජනය සැලසුම්කර තිබුනේ නැත. කම්කරු ව්‍යාපාරයේ පක්ෂ නායකත්වය ලේවැකි ඉරිදා සංවත්සරය යෙදෙන 1906 ජනවාරියේ මහ වැඩවර්ජනයක් පැවැත්වීමට අදහස් කර තිබුනි. එහෙත් මොස්කෝවේ මුද්‍රනාලයක ඇතිවූ සාමාන්‍ය වර්ජනයක් සිදුවීම් වලට කල්තියා පන පෙවීය.

ට්‍රොට්ස්කි තමාගේ 1905 නමැති පොතේ මෙම සිද්ධීන් ගැන දල සටහනක් තැබුවේ මෙලෙස ය:

මොස්කව් හි සිටින්ස් පොත්සාප්පුවේ අකුරු අමුනන්නෝ සැප්තැම්බර් 19 දා වැඩ වර්ජනය කලෝ ය. ඔවුහු වඩාත් කෙටි වැඩ දිනයක් ද අමුනන ලද ප‍්‍රශ්න ලකුනු ද ඇතුලු හැම අකුරු 1000ටම ඉහල වැඩපංගු ගෙවීමක් ද ඉල්ලා සිටියෝ ය. අවසන් වුනේ පරමාධිකාරය අවසන් කරන ලෙස ඉල්ලමිනි. (85 පිටුව)

* සැප්තැම්බර් 24 සවස් වනවිට මුද්‍රන කම්හල් පනහක් වර්ජනයට සම්බන්ධවී තිබුනි. මොස්කව් නුවර පාන් පුලුස්සන්නෝ ද වර්ජනය කලෝ ය.

* ඔක්තෝබර් 2දා පීටර්ස්බර්ග් අකුරු අමුනන්නෝ සිය මොස්කව් සහෝදරවරුන්ට සහයෝගය පිනිස තුන්දින වර්ජනයකට එලඹුනහ.

* මුද්‍රන, ඉංජිනේරු, ලීබඩු නිෂ්පාදක සහ අනෙකුත් වෘත්තීන්හි කම්කරු නියෝජිතයෝ, මොස්කව් කම්කරුවන්ගේ පොදු මන්ඩලයක් [සෝවියට් සාභාවක්] තැනීමේ තීන්දුව අනුමත කලහ.

* ඔක්තෝබර් 7 දා මොස්කව් දුම්රිය මාර්ග කම්කරුවෝ වර්ජනයක් ආරම්භ කලහ.

* ඔක්තෝබර් 9වන දා පීටර්ස්බර්ග් දුම්රිය කම්කරුවෝ ද ඊට එකතුවූහ: ඔවුන් ඉල්ලා සිටියේ පැය 8 වැඩ දිනයක්, සිවිල් නිදහස, සියලු දේශපාලන සිරකරුවන්ට සමාව, සහ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ය.

* විප්ලවවාදී පන්ති ඉල්ලීම් විවිධ වෘත්තීන්ගේ ආර්ථික ඉල්ලීම්වල ට වඩා ඉහලින් ඉදිරිපත් කෙරිනි. එහි ප‍්‍රාදේශීය හා ආර්ථික සීමා ඉක්මවා යමින් වර්ජනය විප්ලවවාදී රූපයක් ගනිමින් තිබුනි. එය පෙර නොවූ විරූ සහායක් ද දිනා ගත්තේය.

* දුම්රිය සේවයේ සමස්ත ශ‍්‍රම හමුදාවම -මිලියන තුන්කාලක්- වැඩවර්ජනයට සම්බන්ධව සිටියහ.

* ඔක්තෝබර් 13 දා, පීටර්ස්බර්ග් නුවර කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභාව පිහිටුවන ලදී. [1905 පිටු 87-92]

වැඩ වර්ජනයේ ව්‍යාප්තිය විශ්මයාවහ විය. සකල ප‍්‍රමුඛ නගරයක්ම වසා දැමුනි. දුම්රිය අකර්මන්‍ය වීය; විදුලිපනිවුඩ හෝ තැපැල් සේවා, කම්කරුවන් අතට පත් විය.

වෝර්සෝ හි පෙලපාලි ය, ඔක්තෝබර් 1905

අධිරාජ්‍යයේ වෙනත් ප‍්‍රදේශ වල ද දැවැන්ත පෙලපාලි පැනනැගුනි. පෝලන්තයේ වෝර්සෝ, මධ්‍යම ආසියාව හෙවත් වර්තමාන උස්බෙකිස්තානයේ ටශ්කන්ට්, ෆින්ලන්තයේ මහා පෙලපාලියක්, මෙම ප‍්‍රදේශ තුනම මා කලින් සඳහන් කල පරිදි සාර්ගේ රුසියාකරන පිලිවෙත්වලට විරුද්ධ වූහ. සාර් කැපවී සිටියේ මා කලින් කි පරිදි සාර් වාදයේ එම නිල පිලිවෙතටය: ඒකාධිපතිත්වය, ජාති වාදය, එනම් මහා රුසියානු ජාත්‍යෝත්තමවාදය, රුසියානු ඔතඩොක්ස් පල්ලිය, ඒවා පැටවීම සඳහා අවශ්‍ය නම් බයිනෙත්තුව.

මහ වැඩ වර්ජනය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය පෙන්නුම් කලේය. එහෙත් වැඩවර්ජනයක් විප්ලවයකට කෙසේ නායකත්වය දෙන්න ද? දේශ පරිමාන නැගිටීමක් සංවිධානය කොට මෙහෙයවන්නට සමත් වන්නේ කව් ද? මෙහිදී පීටර්ස්බර්ග් සෝවියට් සාභාව ගොඩනැගීම තීරනාත්මක විය. එය අනාගත කම්කරුවන්ගේ ආන්ඩුවක් බිහිවිය හැක්කේ කෙසේ ද යන්න පිලිබඳ ආකෘතියක් පෙන්නුම් කලේය.

පීටර්ස්බර්ග් සෝවියට් සාභාවේ සාමාජිකයින් , ඔක්තෝබර් 13-දෙසැම්බර් 3, 1905

මහා වැඩ වර්ජනයක් පවත්වාගෙනයා හැක්කේ එක්තරා කාල සීමාවකට පමනක් බව ට්‍රොට්ස්කි පෙන්නුම් කරයි. ඔබ දුම්රිය මාර්ග වසා දැම්මොත් කිසිවක් නොසෙල්වෙනු ඇත. විදුලි පනිවිඩ වසා දැමුවහොත් සංනිවේදනය ඉවර ය. බේකරි වසා දැමුනු කල කෑම නොඉපදෙයි. ජනතාව කොතරම් කාලයක් අල්ලා හිටින්න ද? කෑම නැතිව, සන්නිවේදනය නැතිව, නගරාන්තර ගමන් බිමන් නැතිව ?

ට්‍රොට්ස්කි සිය 1905 කෘතියේ සෝවියට් සභාවක් යනු කුමක් දැයි විස්තර කලේ ය.

පීටර්ස්බර්ග් කම්කරු නියෝජිතයන් ගේ කමිටුවේ ඉතිහාසය වනාහි දින 50ක ඉතිහාසයයි. [සෝවියට් සභාව පැවතුනේ එපමන කලක් පමනි.] සෝවියට් සභාව පිහිටුවීමේ රැස්වීම ඔක්තෝබර් 13 දා පවත්වනලද අතර දෙසැම්බර් 3දා රැස්වීම ආන්ඩුවේ හමුදාව විසින් තහනම් කරන ලදී. සියලු දෙන සිරභාරයට ගත්තේය.

>සභාවේ ප‍්‍රථම රැස්වීම ට සහභාගි වූයේ දුසිම් කිහිපයකි. නොවැම්බරය වනවිට එහි සාමාජික සංඛ්‍යාව 562ක් විය. ඉන් 6ක් කාන්තාවන්ය. [1905, පි.250]

නියෝජිතයන් පිලිබඳව කිවහොත් මේ කාරනය වැදගත් ය: සෑම කම්කරුවන් 500 ම එක නියෝජතයෙකු බැගින් පත් කරගන්නා ලෙස ඉල්ලීමක් ෆැක්ටරි වලට යවන ලදී. මෙය හරියටම ක්‍රියාත්මක කරනු ලබුවා නොවේ; කිසියම් ෆැක්ටරියක කම්කරුවන් 20,00ක් සිටියා නම් ඉන් සෑම 500ම එක නියෝජිතයෙක් තෝරා ගැනෙනු ඇත. කිසියම් ෆැක්ටරියක සිටියේ කම්කරුවන් දෙසියයක් හෝ තුන් සියයක් නම්, එය 500 මායිමෙන් පිටවුවත් එක් නියෝජිතයෙකු තෝරා එවියහැකි විය.

ට්‍රොට්ස්කි මෙසේ කියයි

මේ අය කම්හල් 147ක් ද කුඩා කම්හල් 34ක් ද වෘත්තිය සමිති 16ක් ද නියෝජනය කලෝ ය. නියෝජිතයන්ගෙන් ප‍්‍රධාන බහුතරය -351 දෙනෙක්- ලෝහ කම්කරුවෝ වූ අතර ඔවුහු සෝවියට් සභාව තුල තීරනාත්මක භූමිකාවක් ඉටු කලෝය. රෙදිපිලි කර්මාන්තයෙන් 57ක්ද , මුද්‍රන සහ කඩදාසි කර්මාන්තයෙන් 32ක් ද , සාප්පු කම්කරුවන්ගෙන් 12ක් ද කර්යාල සහ බෙහෙත් ද්‍රව්‍ය වෙලඳාමෙන් 7ක් නියෝජිතයෝ එහි වූහ. විධායක කමිටුව සෝවියට් සභාවේ ඇමති මන්ඩලය ලෙස කටයුතු කලේය. ඔක්තෝබර් 17 දා ගොඩ නගන ලද එය ට පුද්ගලයන් 31ක් ඇතුලත් විය. කම්හල් නියෝජතයන් 22ක් , පක්ෂවලින් 9ක් [මීට සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී කන්ඩායම් වලින් 6ක් ද සමාජ-විප්ලවවාදීන්ගෙන් 3ක්ද] ඇතුලත් විය.

සෝවියට් සභාව දේශපාලන වැඩවර්ජන හා පෙලපාලි මෙහෙයවමින්. [තීරනාත්මක වූ පරිදි] කම්කරුවන් සන්නද්ධ කරමින් මහජනතාව අවිගත් ජාත්‍යෝත්තමවාදී මැරවර ප‍්‍රහාර වලින් ආරක්ෂා කලේ ය. [1905 පිටු 250-251]. [මෙය සිදුවීගන යන අතර, සාර් තම ප‍්‍රතිගාමී බලය සංවිධානය කරමින් ජත්‍යෝත්තමවාදී මැර බලකාය කම්කරුවන්ට එරෙහිව උසිගැන්වීය]

කම්කරුවන්ම ද ප‍්‍රතිගාමී ම මාධ්‍යය ද එයට ‘කම්කරු ආන්ඩුව’ යයි නම් කිරීම වනාහි සෝවියට් සභාව සැබවින්ම කම්කරුවන්ගේ ආන්ඩුවක බීජය ය යන්න පිලිබඳ ප‍්‍රකාශනයක් විය. සෝවියට් සභාව කම්කරු පන්තික ප‍්‍රදේශවල විප්ලවවාදී ශක්තිය විසින් බලය සහතික කෙරුනු තාක් දුරට බලය නියෝජනය කලේ ය. කම්කරු පන්තික දිස්ත‍්‍රික්කවල විප්ලවවාදී ශක්තියෙන් පිටුබලය ලත් තාක් දුරට සෝවියට් සභාව බලය හෙබවීය. බලය තවමත් මිලිටරි-දේශපාලන රාජාන්ඩුව අත රැඳී තිබුනු තාක් දුරට එයට, (සෝවියට් සභාවට) බලය සඳහා අරගල කිරීමට සිදුව තිබුනි. (1905, 251 පිටු)

මෙම අරගලයේදී යමෙක් දන ගැසිය යුතුව තිබුනි. සාර්වාදී බලවේග විසින් සෝවියට් සභාව කෙසේ ඉවසා සිටින්න ද ? ඔක්තෝබර් 17 දා සාර් තමාගේ ප‍්‍රසිද්ධ (කුප‍්‍රසිද්ධ) ප‍්‍රකාශය නිකුත් කර තිබුනි. එය වනාහි, රදල පන්තිය උනන්දුවූ තාක් දුරට මහවැඩ වර්ජනය ඉදිරියේ කම්පාකරී ලෙස යටත් වීමකි; එහෙත් එය රවටන සුලු එකක් විය.

සාර්ගේ ප‍්‍රකාශයට හරියට දින දෙකකට පෙර, ඔහුගේ මහජන මර්දනය බාරව සිටි අභ්‍යන්තර උප ඇමති ට්‍රෙපොව් ද වර්ජකයින් මර්දනය කල යුතුව ඇති බවට යෝජනා කලේ ය. කිසිදු සහනයක් දිය යුතු නැතැයි ද සරලවම වර්ජකයන්ට වෙඩි තැබිය යුතුය යි ද ඔහු නිර්දේශ කලේ ය. ඊලඟ දිනයේ මේ යෝජනාව යලි සලකා බැලූ හෙතෙම, කවුරුන් හෝ කවර කලෙකවත් අමතක නොකලයුතු අපකීර්තිමත් ප‍්‍රකාශය කලේ ය: “හිස් පතරොම් එපා උන්ඩ ඉතුරුකරගන්න එපා” [මෙහි අර්ථය වූයේ පෙලපාලිවලට වෙඩි තබන භටයින්ට ලබාදිය යුත්තේ උන්ඩ සහිත පතරොම් පමනක් ය යන්නයි.]

පොලිසිය හෝ හමුදාව හෝ කොසැක් භටයන් වැඩ වර්ජකයින්ට හෝ මහජන පෙලපාලියකට මුහුන දුන් විට සාමාන්‍යයෙන් කලේ, ජනතාවට කස වලින් පහරදීමය, කඩුවලින් කපා දැමීමය. ඊට පසු උන්ඩ නැති හිස් පතරොම් දමා රවුම් කිහිපයක් වෙඩි තබා ඔවුන් බියවැද්දීමට උත්සාහ කිරීමය. සෙනග හෙල්ලුනේ නැත්නම් භටයන් උන්ඩ සහිත පතරොම් දමා අන්තිමට ඔවුන්ට වෙඩි තැබීය. ට්‍රෙපොව් නියම කලේ හිස් පතරොම් නැතිව කෙලින්ම ජීව උන්ඩ යොදා කම්කරුවන්ට වෙඩි තබන ලෙසය.

සාර් ඔහුගේ ප‍්‍රකාශනය මුද්‍රනය කරමින් සිටියදී පීටර්ස්බර්ග් සෝවියට් සභාව එහි පුවත්පත වන ඉස්වෙස්ටියා පලකලේය. එය මුද්‍රනය කල අන්දම ගැන වචන කීපයක් කිව යුතුය. එය නීති විරෝධී විය. ඉතින් ඔවුන් කලේ කුමක් ද? ඔවුන්ගේම මුද්‍රනාලයක් තිබුනේ නැත. තිබුනා නම් සාර්ගේ පොලිසිය එය වහා අල්ලා ගනු ඇත. ඉතින් සෝවියට් සභාව ධනපති පන්තියට හෝ සාර්ට පක්ෂව පත‍්‍ර මුද්‍රනය කල නගරයේ මුද්‍රනාලයකට සමහරවිට රාත‍්‍රී දහයට පමන සන්නද්ධ කම්කරුවන් ගනනාවක් යවනු ලැබීය. “මෙම මුද්‍රන යන්ත‍්‍ර මීලඟ පැය ගනනකට අප සතු ය. ඔබ අපේ පත‍්‍රය මුද්‍රනය කර දිය යුතුයයි” ඔවුන් කී විට, මුද්‍රන කම්කරුවන් බොහෝදෙනා ඒවන විට සෝවියට් සභාවට හිතවත්ව සිටි නිසා ඊට සිය අනුකූලතාව පල කලහ. ‘ඔබ තුවක්කු අප වෙත මානා අපට පුවත්පත මුද්‍රනය කිරීමට බල කල’ බව පෙන්වන්න. දින කිහිපයකට පසුව ඔවුහු ඒ ආකාරයකට තවත් මුද්‍රනාලයක් අත්අඩංගුවට ගත්හ.

සාර්ට ද මුද්‍රන කටයුතු ප‍්‍රශ්නයක් විය. සියලුම මුද්‍රනාල වැඩවර්ජනය කර තිබුනි. වර්ජක කම්කරුවෝ සාර්ගේ- එනම් මහ සාර්තුමාගේ - ප‍්‍රකාශනය මුද්‍රනය කිරීම වර්ජනය කලහ. කෙසේ වුව ද අවසානයේ එය මුද්‍රනය කරවා ගන්නා ලදී. ඒ සඳහා හමුදාව යොදාගන්නට සාර්ට සිදු විය.

Tsar’s Manifesto, October 17, 1905

සාර්, යම් සීමිත චන්ද අයිතීන් ද අතිශයින් සීමිත බලයක් සහිත නීති සම්පාදක මන්ඩලයක් හෙවත් ඩූමාවක් ද පොරොන්දු විය. මෙය කෙරේ පලවූ ප‍්‍රතිචාර විවිධාකාරය. සමහර කම්කරුවෝ දුටු වහාම එය හෙලා දුටුවෝ ය. ඔවුහු ට්‍රෙපොව්ගේ ලේ වැකි හස්තය ද සහිතව පෝස්ටරයක් මුද්‍රනය කොට ප‍්‍රසිද්ධ කලෝ ය. පීටර්ස්බර්ග් සරසවියේ ශිෂ්‍යයෝ ඊලඟ දිනයේ වැඩවර්ජනය කලෝ ය.

එහෙත්, ලිබරල් ධනේශ්වරය උද්දාමයට පත් විය. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර ආන්ඩුවක් අත ලඟ යයි ඔවුහු සිතාගත්තෝය.

පීටර්ස්බර්ග් සෝවියට් සභාව දැක්වුයේ වෙනස්ම ප‍්‍රතිචාරයකි:

හොඳයි අපට ව්‍යවස්ථාවක් ලැබී ඇත. අපට රැස්වීමේ නිදහස ලැබී ඇත; එහෙත් අපගේ රැස්වීම් හමුදාව විසින් වටලනු ලබයි. අපට කතාවේ නිදහස ලබාදී තිබේ. එහෙත් වාරනය නොබිඳිය හැකිය. අපට අධ්‍යාපනයේ නිදහස ලබාදී තිබේ. එහෙත් සරසවි, භටයන්ගෙන් පුරවා ඇත. අපට පෞද්ගලික නිවාරනය ලබාදී ඇත. එහෙත් සිරගෙවල් සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. අපට විට් මහතා [ලිබරල් ප‍්‍රතිසංස්කරන පිලිබඳ පොරොන්දු දෙන අගමැති වරයෙක්] ලබාදී ඇත. එහෙත් පරමාධිපත්‍යය එලෙසම පවතී. සියල්ල ලබාදී ඇති නමුත් කිසිවක් ලබාදී නැත. ( 1905, 123 පි)

මේ තතු තුල කුමක් හෝ බිඳ වැටිය යුතු විය. සාර් පාලනය යෝධ මර්දනයක් සඳහා හමුදා සංවිධානය කරමින් සිටියේ ය.

සාර්ගේ ප‍්‍රකාශනය නිකුත්වී දිනකට පමන පසුව විලෝපනය දියත් කරනු ලැබූ අතර ඉන් භයංකරම එක සිදු වූයේ ඔඩෙස්සාවේ ය. කලු මුහුදේ වරායක් අසලය. ඔක්තෝබර් 18-20 දක්වා දින තුනක් බ්ලැක් හන්ඩ‍්‍රඩ් කල්ලි නගරයේ යුදෙව් පෙදෙස් සිසාරා මිනිසුන් මරමින් ද පහර දෙමින් ද වධදෙමින් ද ගෙවල් හා සාප්පු කොල්ලකමින් ද විලෝපනය සිදු කලෝ ය. හාර සියයක් මරා දමන ලද අතර 50,000 ට උන්හිටිතැන් අහිමි විය. කම්කරුවෝ යුදෙව්වන් ආරක්ෂා කිරීමේ සේනාංක සංවිධානය කලහ. එහෙත් මිනීමැරුම් නැවැත්වීමට ඒවාට හැකි වූයේ නැත. මෙහි ඡායාරූපයේ දැක්වෙන්නේ එම ආරක්ෂක සේනාංක වලින් එකකි. ඔවුන් මෙහි පෙනී සිටින්නේ තමන් ජීවත්වන ප‍්‍රදේශය ආරක්ෂා කිරීමට කටයුතු කරද්දී මරා දමන ලද සිය සහෝදරයින්ගේ මල සිරුරද සමග ය,

යුදෙව්වන් ආරක්ෂා කිරීමේ සේනාංක සංවිධානය ,ඔඩෙස්සාවේ ඔක්තෝබර් 18-20, 1905

සිදුවීම් පාලනය කරගත නොහැකි තත්වයක් උදාවෙමින් පැවතුනි. මොස්කෝවේ වර්ජනය ඔක්තෝබර් 19දා අවසන් කරන ලදී. පීටර්ස්බර්ග් සෝවියට් සභාව ඔක්තෝබර් 21 දා සිය වර්ජනය අවසන් කිරීමට තීන්දු කලේය. එහෙත් පීටර්ස්බර්ග් සෝවියට් සභාව සිය වැඩ කටයුතු නවත්වා ලූයේ නැත. පලල් වශයෙන් කියවනු ලැබූ ඉස්වෙස්ටියා පුවත්පතට අමතරව අලුත් පත‍්‍රයක් නොවැම්බර් 13 දා සිට දියත් කෙරිනි, නචාලෝ [ආරම්භය] නම් එහි මුල් පුවත ආඩම්බරයෙන් කියා සිටියේ, එය රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂයේ පුවත් පතක් බවයි. සෝවියටය පිහිටුවූ දිනට පසු දින එනම් ඔක්තෝබර් 14 දා රුසියාවට යලි පැමින සිටි ලියොන් ට්‍රොට්ස්කි එහි ප‍්‍රධාන ලේඛකයා, ඇත්තටම එහි කතෘ වූයේ ය. අනෙකුත් ලේඛකයින් අතර පාවුස්, මාටොව්, ඩෑන් හා තවත් අය සිටියහ. බෙහොමයක් මෙන්ෂෙවිකයන්ය. මෙම පුවත්පතේ කලාප 14කි පිටවූයේ. දෙසම්බර් 3 දා සෝවියට් සභාවම පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමග පත‍්‍රය ද වසා දමන ලදී.

ට්‍රොට්ස්කි පෙබරවාරි මාසයේ දී, විප්ලවයේ සිද්ධීන් දිගහැරෙමින් පවතිද්දී ෆින්ලන්තයේ සිට රුසියාවේ කියෙව් නගරය කරා පැමින තිබුනි. ඉක්බිති ඔහු පීටර්ස්බර්ග් කරා සේන්දු විය. පීටර්ස්බර්ග් නගරයේ පැවති මැයි දින පෙලපාලියකදී ඔහුගේ බිරිඳ නතාලියා අත්අඩංගුවට ගන්නා ලදී. එහෙයින් ට්‍රොට්ස්කිට රුසියාවෙන් පැන යාමට සිදුවිය. ඔහු අසල්වැසි ෆින්ලන්තයේ පිටිසර ගමක සැඟවී සිටියේය. නොනවතින විප්ලව න්‍යායේ සාරභූත අංගයන් ඔහු වර්ධනය කලේ එහි දී ය. පීටර්ස්බර්ග් සෝව්යට් සභාව පිහිටුවන ලද්දේ ඔක්තෝබර් 13 දාය. ට්‍රොට්ස්කි එයට සම්බන්ධවූයේ ඊට පසු දිනයේ ය.

සෝවියට් සභාව දැවැන්ත වැදගත් කමකින් යුතු තීන්දුවක් ගනිමින් සියලු කම්හල් සහ වැඩපොලවල් වහාම පැය 8 වැඩ දිනය ක්‍රියාත්මක කිරීමට තමන්ම පියවර ගත යුතු යයි කියා සිටියේ ය. කම්කරුවන්ට කව්රුන් හෝ පැය 8 වැඩ දිනය ලබා දුන්නා නොවේ. කම්කරුවෝ පැය 8 වැඩ කාලය හමාර වූ වහාම උපකරන බිම තබා පිටව යන්නට පටන් ගත් හ. හාම්පුත්තු, ලොක්කෝ, ධනපති ෆැක්ටරි හිමියෝ ලොකවුට් කිරීමකට මුහුන දුන්නෝය. එහෙත් කම්කරුවන්ට තාවකාලිකව පසුබැසීමට සිදුවිය. ට්‍රොට්ස්කි මෙසේ ලියයි: “ප‍්‍රාග්ධනයේ සංවිහිත ප‍්‍රතිරෝධයට මේ අයුරු මුහුන දුන් වැඩකරන ජනතාව, යලිත් විප්ලවයේ මූලික ප‍්‍රශ්නයට, එනම් සන්නද්ධ නැගිටීමක අනිවාර්යතාවයට, අවිආයුධ සඳහා වූ සාරභූත අවශ්‍යතාවයට මුහුන දුන්නෝය.” (1905, 186 පිටුව) ඊලඟට අප කරන්නේ කුමක් ද? මෙයට පිලිතුරු දිය යුතු විය.

විප්ලවයේ අවසාන අවධිය වූ මොස්කව් නුවර දෙසැම්බර් සන්නද්ධ නැගිටීමට මම දැන් පිවිසෙමි.

දෙසැම්බර් 4 දා මොස්කව් සෝවියට් සභාව පර්වුස් විසින් ලියනලද ‘මූල්‍ය ප‍්‍රකාශනයක්’ සම්මත කරගත්තේ ය. එය සාර්ගේ බදු ක‍්‍රමයට හා බැංකු ක‍්‍රමයට තර්ජනයක් විය. දෙසැම්බර් 6 දා, මොස්කව් හමුදාංකයේ බලවත් කැරලිකාරී තත්වයෙන් දිරිමත් කරනු ලැබ, ඒ වනවිට කම්කරුවන් 100,000 ක් නියෝජනය කල මොස්කව් සෝවියට් සභාව, විප්ලවවාදී පක්ෂ ද සමග එක්ව ඊලඟ දිනයේ එනම් දෙසැම්බර් 7 දා දේශපාලන මහා වැඩවර්ජනයක් දියත් කිරීමට ත් එය හැකිතාක් දුරට සන්නද්ධ නැගිටීමක් බවට පරිවර්තනය කිරීමටත් තීන්දු කලේ ය. මොස්කව් ඉස්වෙස්ටියා ප‍්‍රකාශනය මෙසේ සඳහන් කලේ ය.

”මොස්කව් කම්කරු නියෝජිතයන්ගේ කමිටුව ද රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ කන්ඩායම සහ කමිටුව ද සමාජ විප්ලවවාදීන්ගේ පක්ෂ කමිටුව ද මෙසේ නිර්දේශ කොට ඇත: “දෙසැම්බර් 7දා දවල් 12 සිට දේශපාලන වැඩවර්ජනයක් දියත් කොට, එය සන්නද්ධ නැගිටීමක් කරා පරිවර්තනය කිරීමට යත්න දැරිය යුතු ය.”

ප‍්‍රථමයෙන්ම වැඩ වර්ජනය කලේ මොස්කව් නගරයයි. ඒ 7දාය. ඊලඟ දිනයේ සාන්ත පීටර්ස්බර්ග්, මින්ස්ක් සහ ටගන්රෝග් ද 10දා ටිෆ්ලිස් ද 11 දා විනා, ඛර්කොව්, ඔඩෙස්සා හා රිගා ද 13දා කියෙව් සහ නිශ්නි නොව්ගොරෝද් ද 14දා ලෝඩ්ස් ද, 15දා වෝර්සෝ ද වර්ජනයට එකතු වූහ. අප මෙහි සඳහන් කලේ ප‍්‍රධාන නගර පමනි. සමස්තයක් වශයෙන් ගත් කල්හි දෙසැම්බර් වැඩ වර්ජනයට නගර 33ක් එකතු විය. ඔක්තෝබරයේදී 39ක් එකතුවී තිබුනි.

මොස්කෝව දෙසැම්බර් ව්‍යාපාරයේ මධ්‍යස්ථානය විය. පලමු දිනයේ ලක්ෂයක් වර්ජනය කලහ. දෙවන දිනය වන විට එය 150,000ක් කරා ඉහල නැංගේ ය. පොදු වැඩවර්ජනයක් බවට පත්වූ මොස්කව් වර්ජනය පිටිසර කර්මන්තශාලා වලට ද පැතිරුනි. සෑම තැනකම යෝධ රැස්වීම් පැවැත්විනි ඉක්මනින්ම බැරිකේඩ් ගොඩ නගන ලද අතර සටන් පැතිර ගියේය. නැගිටීම ආරම්භ විය.

මොස්කව්හි බැරිකේඩ් , දෙසැම්බර් 1905

මෙහිදී බැරිකේඩ් ඉදිකර තිබුනේ සන්නද්ධ කම්කරුවන්ට ඒවා පිටුපස සිට සටන් කිරීම සඳහා නොව, සාර්ගේ හමුදා නගරය හරහා පීරාගෙන යාම වැලැක්වීමේ අරමුනෙනි. සටන්කරුවන් ද සන්නද්ධ කම්කරුවන් ද බැරිකේඩ ඉදිකරගෙන තිබූ නමුත් ඒ සුලු සංඛ්‍යාවකි.

සටන් ගත්තේ කුමන ස්වරූපයක් ද? කම්කරුවන්ගේ පැත්තෙන් ගත් කල්හි එය බැරිකේඩ පිටුපස සිට කෙලින් වෙඩි තැබීමකට වඩා ගරිල්ලා අරගලයකට සමාන විය. ට්‍රොට්ස්කි සටන් සිදුවූ ආකාරය ගැන තවත් විස්තර ඇතුලත් කර තිබේ.

අපි මෙහි බොහෝ සිද්ධීන් පිලිබඳව උදාහරනයක් දක්වමු. සන්නද්ධ කම්කරුවන් (druzhinniki) 13 දෙනෙක්, පැය හතරක් තිස්සේ කාල තුවක්කු 3ක් ද මැෂින් තුවක්කු 2ක් ද අතැතිව, සොල්දාදුවන් 500ක් හෝ 600ක ගේ වෙඩි පහරට මුහුනදී ගෙන ගොඩනැගිල්ලක් අල්ලාගෙන සිටියෝය. සොල්දාදුවන්ට විශාල හානි සිදුකල ඔවුහු තම උන්ඩ සහ වෙඩි බෙහෙත් ඉවර වූ පසු එකදු තුවාලයක් වත් නොලබා ඉවත්ව ගියෝ ය. ඒ අතර සොල්දාදුවෝ ප‍්‍රහාරවලින් නගරයේ ගොඩනැගිලි ගනනාවක් විනාශ කොට, ගෙවල් ගිනිගන්වා, භීතියටපත් පුරවැසියන් දුසිම් ගනනක් මරා දැමූහ. ඔවුන් මේ සියල්ල කලේ විප්ලවවාදීන් දුසිම එලවා දැමීමටය. [ට්‍රොට්ස්කි, 1905, 241 පිටුව ]

මූලික වශයෙන්ම කම්කරුවන් සටන් කලේ ඒ ආකාරයෙනි. ඔවුන්ට උගන්වා තිබුනේ කුඩා කන්ඩායම් හැටියට, දෙදෙනෙක්, තුන්දෙනෙක්, සමහරවිට හතරදෙනෙක් ලෙස කාන්ඩ ගැසී, ඉහල සිට වෙඩිතබා එක තැන දිගින් දිගටම නොරැඳී මාරුවන ලෙසය.

මොස්කව් නැගිටීම මර්දනය කිරීම බාරව සිටි ඩුබාසොව් අගනුවරට වාර්තා කලේ, මොස්කව් හමුදාංකයේ 15,000කින් සටනට මෙහෙයවිය හැකි වූයේ සෙබලු 5,000ක් විතරක් බවය. ඉතිරි අය විස්වාසය තබා සටනට මෙහෙයවිය නොහැකිය. කෙලින්ම සාර්ට කතා කල ඔහු කියා සිටියේ සාර් තවත් බල ඇනි නොඑවන්නේ නම් “ඒකාධිපතිත්වය ඉතුරු නොවනු ඇති” බවය. ප‍්‍රභූ ස්මොලේන්ස්කි සේනාංකය වහාම මොස්කව් කරා යා යුතු යයි සාර් නියෝග කලේය. සැබෑ කාරනය වූයේ ඔවුන්ට ගමන් කල නොහැකි වීමයි. සමහර තැන්වල දුම්රිය මාර්ගය අවහිර කිරීමට කම්කරුවෝ උත්සාහ කලහ. එහෙත් හමුදාව ඔවුන් පලවා හැරි අතර සෙබලු ගමන් ගත්හ.

19 දා වනවිට වැඩ වර්ජනය අවසන් කලයුතු යයි සෝවියට් සභාව 16දා තීන්දු කලේ ය.

මොස්කව් නැගිටීමෙන් 1000ක් පමන මියගිය අතර එතරම්ම සංඛ්‍යාවක් තුවාල ලැබූහ. හේවායෝ සිය ගානක් මරුමුවට පත් විය.

සටනේ එක අවස්ථාවකදී ප්‍රෙස්න්‍යා ප‍්‍රදේශයේ කම්කරුවන්ට උදේ හයේ සිට සවස හතර දක්වා, මිනිත්තුවට හත ගනනේ නොනවතින කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල විය. සමහර කම්කරුවන් ආයුධ සන්නද්ධව සිටි නමුත් සිවිල් වැසියන්ගෙන් පිරි නාගරික පෙදෙසක් තුල මෙයින් සිදු කරන ලද විනාශය කොතරම් දැයි සිතාගත හැකි ය. ෂෙල්වෙඩි ප‍්‍රහාරයෙන් මුලු මහත් ප‍්‍රදේශයම විනාශ විය. කම්හල් ද ඒ අතර විය.

මෙහි දැක්වෙන පින්තූරයෙන් 1905 රුසියානු විප්ලවයේ යෝධ පරිමාව දැකගත හැකි වේ. සියලු කලු තිත් පෙන්නුම් කරන්නේ, එක්කෝ සන්නද්ධ නැගිටීමට නැතහොත් ජෙනරල් ස්ට‍්‍රයිකයට සම්බන්ධව සිටි නගරයන් ය.

1905 විශාල තම මොස්කව් නැගිටීම

මොස්කව් නැගිටීම විශාල තම එක වුවද අනෙක් ප‍්‍රදේශ ද සන්නද්ධ අරගලයට සම්බන්ධ විය. නගර බොහොමයක: ඔඩෙස්සා, නොවොරොසිස්ක්, කොස්ට්රොමා, යනාදී නගරවල සෝවියට් සභා පැන නැගුනි.

ඉක්බිති එලඹුනේ මහා මර්දනයේ කාල පරිච්ඡේදයකි. 1905 සිට 1907 දක්වා සාර් මහා මර්දනය දියත් කලේය. දුම්රිය කම්කරුවන් ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකල හෙයින් සාර් විශේෂයෙන්ම දුම්රිය මාර්ග දිගේ දඬුවම් ප‍්‍රහාරක ආක‍්‍රමන දියත් කර තිබුනි. දුම්රිය පොලකට කඩාවදින හමුදාව ඉවබව නැතිව දිගට හරහට දකින දකින සියලූ දෙනාටම: ගැහැනුන්, ලමයින්, දුම්රිය කම්කරුවන් යනාදී සියල්ලන්ට ම වෙඩි තැබුවෝය. මිනිසුන් බියගැන්වීම පිනිස සමහරුන් දුම්රිය මග දෙපැත්තේ එල්ලා දමන ලදී.

1905 සිට 1907 දක්වා මහා මර්දනය

මර්දනය ගැන ට්‍රොට්ස්කි මෙසේ ලිවීය.

“බෝල්කන් ප‍්‍රදේශයේ නැගිටීම මොස්කව් නැගිටීමට දෙසතියකට පෙර සිදුවිය. ලැට්වියාවේ කම්කරුවෝ වෙඩිතබා ද එල්ලා ද කස වලින් සහ පොලූවලින් පහර දී ද මරා දමන ලද්දෝය. සමහරවිට සොල්දාදුවන් දෙපේලියක් සෑදී කම්කරුවන්ට දුවන්නට නියමකොට මුගුරුවලින් තලමින් මෘග ලෙස මරා දැමීය. බෙහෙවින් අසම්පූර්න තොරතුරු අනුව බෝල්ටික් ප‍්‍රදේශවල මාස දෙකක් තුලදී 749 දෙනෙක් මරා දමන ලදහ. ගොවිපල 100ක් පුලූස්සා දැමිනි. බොහෝ දෙනෙකුට මැරෙනතෙක් කසයෙන් තලන ලදී. ඒ මාස දෙක තුලය.” [1905, 248 පිටුව ]

ජනවාරි 9ත් 1906 ප‍්‍රථම රාජ්‍ය ඩුමාව කැඳවු 1906 අප්‍රේල් 27 ත් අතර දල, එහෙත් අතිශයෝක්තියට නොනැංවූ සංඛ්‍යාලේඛන අනුව, සාර්ගේ ආන්ඩුව පුද්ගලයින් 14,000ට වැඩි සංඛ්‍යාවක් මරා දැමී ය. 1000ට මරන දඬුවම පැනවිය. 20,000කට අධික සංඛ්‍යාවකට තුවාල කරන ලද අතර (ඉන් වැඩි දෙනා තුවාල නිසා මරනයට පත් විය) 70,000 ට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන, පිටුවහල් කොට සහ හිරේ දමනු ලැබූ හ. සාර්ගේ පැත්තෙන් සලකන කල, පරදුවට තැබී තිබුනේ සාර්වාදයේම පැවැත්ම වීම නිසා, ගෙවූ මිල ඉහල එකක් නොවීය. (1905, 249 පිටුව)

සියලු දෙනාටම මරන දඬුවම පැනවූයේ නැත. මෙහි පින්තූරයේ දැක්වෙන පීටර්ස්බර්ග් සෝවියට් සභාවේ ප‍්‍රමුඛ සාමාජිකයන් - ට්‍රොට්ස්කි එහි දෙවන පේලියේ - 1906 දී අත්අඩංගුවට ගෙන නඩු අසා ‘හුදෙක්’ සයිබීරියාවේ ඈත ප‍්‍රදේශ වලට පිටුවහල් කරනු ලැබින.

සොලවාලනු ලැබූ නමුත් සාර්වාදී පාලන තන්ත‍්‍රය, සිය බලවේග ගොනුකරගෙන තන්ත‍්‍රය තහවුරු කරගැනීමට පියවර ගති. නැගිටීම තලා දමනු ලබා ඇති බවත් දැන් ඉතින් දේවල් සැබවින්ම පාලනය කිරීමට අවස්ථාව එලඹ ඇති බවත් රදලයෝ විශ්වාස කලහ.

පිටුවහල් කෙරුනු පීටර්ස්බර්ග් සෝවියට් සභාවේ ප‍්‍රමුඛ සාමාජිකයන් , 1906

1905 විප්ලවයට තුඩු දුන් කාල පරිච්චේදයේ දී ද ඉන් ඉක්බිත්තේ ද රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය තුල විප්ලවය පිලිබඳව උග‍්‍ර මත භේද මතුව තිබුනි. ප්ලෙඛානොව්, ලෙනින් සහ ට්‍රොට්ස්කි, විප්ලවය කෙසේ විකසිත වේ ද යන්න පිලිබඳව ප‍්‍රවාද තුනක් ඉදිරිපත් කර තිබුනි.

ප්ලෙඛානොව් කියා සිටියේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක් තුල ආධිපත්‍යය ගන්නා කම්කරු පන්තිය ලිබරල් ධනපති පන්තිය සමග සන්ධානයක් ගොඩනගා ගන්නා බවයි. එහි ඉලක්කය වනු ඇත්තේ සාර්වත්‍රික, සෘජු, සමාන, සහ රහසිගත සර්වජන චන්දය සහිත පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රයක් පිහිටුවීම ය. බටහිර යුරෝපයේ සමාජවාදී විප්ලවය සමග මෙය පෙරට යනු ඇත. ඔහු 1905 දෙසැම්බරයේ දී එම වසරේ අග මාසවල සිද්ධීන්, විශේෂයෙන්ම මොස්කව්හි සන්නද්ධ නැගිටීම පිලිබඳ තම මතය පලකරමින් මෙම ප‍්‍රකාශය කලේ ය: “කම්කරුවන් අවි නොගත යුතුව තිබුනි.” ඔහු මෙසේ කීමේ දී බොහෝ කම්කරුවන් ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ද ඉදිරියේ සැබවින්ම තමන් අපකීර්තියට පත් කරගත්තේ ය.

ලෙනින්ට තිබුනේ වෙනස් අස්ථානයකි. ඔහු කීවේ මෙයයි: ඔව් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය සම්පූර්න කල යුතුය. ඒ අතර ඔහු කැඳවුම් කලේ, “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර ඒකාධිපතිත්වයයි. ධනේශ්වර ලිබරලුන් සමග සන්ධානයක් නොතිබිය යුතුය. දිලිඳු ම ගොවීන් සමග සන්ධානයක් තුලින් විශේෂයෙන්ම කෘෂි ප‍්‍රශ්නයට රැඩිකල් විසඳුමක් ලබාගත යුතු ය.” බටහිර යුරෝපයේ සමාජවාදී විප්ලවය, රුසියාවේ විප්ලවයට ආධාරකයක් වනු ඇති බව වටහාගත් ලෙනින් මෙසේ කියා සිටියේ ය: “එය ඉටුකරන්නේ කෙසේදැයි ඔවුන් අපට පෙන්වනු ඇත.”

ට්‍රොට්ස්කි ගොවිජනතාවගේ සහාය ඇතිව කම්කරු පන්ති ඒකාධිපතිත්වයක් කැඳවුම් කලේය. ධනේශ්වර ලිබරලුන් සමග සන්ධානයක් තිබිය යුතු නැතැයි එකඟ වූ ඔහු එය, ධනේශ්වර විප්ලවයකින් නොනවතින, සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාත්මක කරන අඛන්ඩ හෙවත් නොනවතින විප්ලවයක් වනු ඇති බව කියා සිටියේය. රුසියාවේ සමාජවාදී විප්ලවය බටහිර යුරෝපයේ සමාජවාදී විප්ලවය අවුලුවනු ඇත. එහෙත් එය පිලිගනු ලැබූ දෘෂ්ටිය නොවීය.

ට්‍රොට්ස්කි පසුව 1922 ජනවාරියේදී නොනවතින විප්ලවය පිලිබඳ සිය අදහස් විස්තාරනය කලේ ය:

පසු කාලයේ ‘නොනවතින විප්ලවය’ පිලිබඳ න්‍යාය යයි නම් කරන ලද එම අදහස් කතුවරයාගේ සිත තුල ගොඩනැගුනේ හරියටම 1905 ජනවාරි 9 හා 1905 ඔක්තෝබර් වැඩ වර්ජනය අතර කාලය තුලය.

>මෙම තරමක් උච්ච ප‍්‍රකාශනය මගින් නිර්වචනය කෙරෙන්නේ, රුසියානු විප්ලවය සෘජුව ධනේශ්වර අරමුනු පිලිබඳව උත්සුක වුවත්, එය එම අරමනුු මත රැුඳී සිටීමට අසමත් බවය; කම්කරු පන්තිය බලයට පත් නොකොට විප්ලවයට, සිය ආසන්න ධනේශ්වර අරමුනු ජය ගැනීම කල නොහැකි බවය.

මෙයට ප‍්‍රතිකූලව කම්කරු පන්තියේ පෙරටු බලඇනියට සිය ජයග‍්‍රහනය සහතික කිරිම සඳහා, සිය පාලනයේ ආරම්භක අවධියේ පටන්ම හුදෙක් වැඩවසම් පමනක් නොව ධනේශ්වර දේපල තුලටද ගැඹුරු කඩා වැදීම් කරන්නට සිදුවනු ඇත. එසේ කිරීමේදී කම්කරු පන්තියට, විප්ලවවාදී අරගලයේ මුල් අධියරයන්හි තමන්ට සහයෝගය දී තිබුනු සියලුම ධනේශ්වර කන්ඩායම් සමග පමනක් නොව, තමන්ට ආධාර දුන් පලල් ගම්බද ගොවි ජන කොටස් සමග ද ගැටුමට එලඹෙන්නට සිදුවන්නේය. [1905, පි. vi]

මෙම පරස්පරය විසඳිය හැක්කේ කෙසේ ද ?

කම්කරුවන්ගේ ආන්ඩුවක් ද පසුගාමී රටක අත්‍යන්ත බහුතර ගොවිජනයා ද අතර ප‍්‍රතිඝතිතා විසඳිය හැකි වූයේ ජාත්‍යන්තර පරිමාවක ය, ලෝක කම්කරු විප්ලවයේ රනබිම තුලය. [1905, පි. vi-vii]

එහෙයින් මෙම පරස්පර විරෝධය හුදෙක් තනිකර රුසියාව තුල විසඳිය හැක්කක් නොවේ.

වෝර්සෝ නුවරදී අත්අඩංගුවට ගැනීමට පෙර 1905 විප්ලවයට ටික කලක් සහභාගිව සිටි රෝසා ලක්සම්බර්ග්, රුසියාවේ සිදුවුයේ කුමක්ද යන්න පිලිබඳව 1906 දී ලියන ලද සිය කෙටි විග‍්‍රහයේ දී, ජෙනරල් ස්ට‍්‍රයිකයේ භූමිකාව පිලිබඳව ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුල සාකච්චාවක් ඇති කල යුතුයයි ඉල්ලා සිටියාය. වෘත්තීය සමිති නායකයින් මෙයට සතුරු වූ අතර මේ පිලිබඳ වැඩිදුර සාකච්ඡා එම පක්ෂය විසින් තහනම් කරන ලදී. ලන්ඩනයේ පැවති 1907 රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්ෂ සම්මේලනයේ දී ඇය ට්‍රොට්ස්කිගේ විග‍්‍රහයට සහාය දුන්නාය.

1905 සිද්ධීන්ගේ පරිමාව අති මහත් විය. බොහෝ දෙනා එය අර්ධ ජයග‍්‍රහනයක් සහ අර්ධ පරාජයක් ලෙස විස්තර කලෝ ය. සාර්වාදය බලයේ රැඳී සිටියේ ය. එහෙත් මරනීය තුවාල සහිතවය. කම්කරු පන්තිය 20 වන සියවස ආරම්භයේදී බලවත්ම විප්ලවවාදී බලවේගය ලෙස ඉස්මත්තට පැමින තිබුනිි. අලුත් පක්ෂ, අලුත් ක්‍රියාමාර්ග සහ අලුත් සංවිධාන රූප පෙරට පැමිනියේය. කම්කරු පන්තිය සංවිධානය කර එයට නායකත්වය දීමට තමන් සමත්යයි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තහවුරු කරමින් සිටියේ ය. මහා වැඩ වර්ජනය ද සන්නද්ධ නැගිටීම සමග එයට පැවති සම්බන්ධතාව ද අධ්‍යයනය කොට එහි පාඩම් උකහාගත යුතුව තිබුනි.

ජාත්‍යන්තරව ගත් කල්හි මෙම සිද්ධි රටවල් තුනක, චීනයේ, තුර්කියේ සහ පර්සියාවේ (වත්මන් ඉරානයේ) විශේෂයෙන්ම බලගතු බලපෑමක් ඇති කලේ ය. ඇමරිකා එක්සත් ජනපදය තුල ලෝකයේ කාර්මික කම්කරුවන්ගේ [ඉන්ඩස්ට්‍රියල් වර්කර්ස් ඔෆ් ද වර්ඩ්- IWW] සංවිධානය ගොඩ නගන ලදී. ප‍්‍රන්සයේ සින්ඩිකල්වාදයට ලොකු තල්ලුවක් ලැබුනි.

1905 දී රුසියාවේ කම්කරු පන්තිය උගත් පාඩම් 1917 ඔක්තෝබරයේ විප්ලවය සුදානම් කිරීමේලා තීරනාත්මක සාධකයක් විය.

25ස් වසරකට පසු ට්‍රොට්ස්කි 1905 ගැන අවසාන නිගමනය සිය ස්වයංචරිතාපදානයේ මෙසේ ලියා තැබීය.

“ඔක්තෝබර් වර්ජනයේ අර්ධ ජයග‍්‍රහනය මා සඳහා දැවැන්ත න්‍යායික සහ දේශපාලන වැදගත් කමක් දරා සිටියේය. සාර් පාලනය ප‍්‍රථම වතාවට දනගස්වනු ලැබුවේ, ලිබරල් ධනේශ්වරයේ විරෝධතා වලින්වත්, ආරම්භක අවස්ථාවේ ගොවි ජන නැගිටීම් වලින්වත්, බුද්ධිමතුන්ගේ ත‍්‍රස්ත ක‍්‍රියා වලින්වත් නොවේ. කම්කරු පන්තියේ වැඩවර්ජන වලිනි. විප්ලවය පැහැදිලිවම කම්කරු පන්තියට බලය අල්ලා ගැනීමේ බලාපොරොත්තු ඇති කලේය. පසුව වහාම එලඹි වසර ගනනාවක ප‍්‍රතිගාමිත්වය මේ ආස්ථානයෙන් මා පසුබැස්වීමට සමත් වූයේ නොවේ. එහෙත් මෙම ආස්ථානයේ සිට මම බටහිර පිලිබඳ මාගේ නිගමනයට පැමිනියෙමි. රුසියාවේ යෞවන කම්කරු පන්තියට එතරම්ම ශක්තියක් පෙන්නුම් කල හැකි වූයේ නම්, වඩාත් දියුනු රටවල කම්කරු පන්තිය කෙතරම් දැවැන්ත විප්ලවවාදී බලයක් දරා සිටිනු ඇත් ද! [My Life 180 වන පිටුව]

උධෘත:

ලියොන් ට්‍රොට්ස්කි 1905 (1905 පිලිබඳව ට්‍රොට්ස්කිගෙන් ගත් උධෘත) , අන්යා බොස්ටෝක්ගේ පරිවර්තනය, වින්ටේජ් බුක්ස් 1971.

ලියොන් ට්‍රොට්ස්කි My Life, (මගේ ජීවිතය) උධෘත: (මැක්ස් ඊස්ට්මන් පරිවර්තනය, පාත්ෆයින්ඩර් 1970)

[1] කෞට්ස්කි: “ස්ලාව්වරු සහ විප්ලවය” Witnesses to Permanent Revolution (විට්නසස් ටු පර්මනන්ට් රෙවලූෂන්) නමති කෘතියෙන්, 2009, රිචඞ් ඬේ හා ඩැනියෙල් ගයිඩෝ සංස්කරනය, 64 පිටුව.

[2] තියඩෝර් ඩැන්, The Origins of Bolshevism (ඔරිජින්ස් ඔෆ් බෝල්ශෙවිස්ම්) ජොයෙල් කාමයිකල් විසින් පරිවර්තනය කර සංස්කරනය කරන ලදී :(Schocken Books, 1970), ෂොකන් බුක්ස් 1970, 299-300 පිටු.

[3] “An Anti-War Leaflet,” ”යුද විරෝධී පත්‍රිකාවක්,” The Russian Revolution of 1905: Change Through Struggle, Revolutionary History1905 රුසියානු විප්ලවය, චේන්ජ් ත්රූ ස්ට‍්‍රගල් රෙවලූෂනරි හිස්ට්‍රි, 9 වෙලුම, 85-87 පිටු

Share this article: