සාලමුල්ලේ මහල් නිවාසයන්හි පදිංචිකල මීතොටමුල්ල අවතැන්වූවෝ ලෝසවෙඅ ට කතා කරති

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 1

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී නිවාස අහිමිවූ සිය ගනනක් පවුල් අතරින් කොටසක් පදිංචි කරන ලද කොලොන්නාව, සාලමුල්ලේ ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්නයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ විපතට පත්වූවන් හමුවූහ.

ලබාදුන් ලිපිය

නිවාස සංකීර්නය පිහිටා ඇත්තේ කොලොන්නාව වගුරුබිම ආසන්නයේ ඇති පහත් බිමක අන්තරාදායක ලෙසය. නිවාස 400කට ආසන්න සංඛ්‍යාවක් ඇති එක ගොඩනැගිල්ලකට ඇත්තේ විදුලි සෝපාන දෙකක් පමනි. ඇතුලුවීමේ දොරටුව අසල ඇති විදුලි සෝපානයට ගොඩවීමට නිවැසියෝ දීර්ඝ පෝලිමක සිටිනු අප වර්තාකරුවන්ට දක්නට ලැබුනි.

මහල් එකොලහකින් යුතු තට්ටු නිවාසයේ, 9,10, හා 11 තට්ටුවල නිවාස 90 ක් පමන මීතොටමුල්ලෙන් අවතැන් වූ පවුල් වලට ලබා දී ඇත. වර්ග අඩි 400 කට අඩු, ඉතා කුඩා සාලයක්, නිදන කාමර දෙකක් හා කිසිසේත්ම ප‍්‍රමානවත් නොවන තීරුවක් බඳු මුලුතැන්ගෙයක් සහිත මේ නිවාස, ජීවත් වීමේ පහසුව අතින් මීතොටමුල්ලේ තමන් ජීවත් වූ නිවාස වල තත්වයට වඩා අතිශයින්ම පහල මට්ටමක පවතින බව ඔවුහු පැවසූහ.

තම වැඩිමහල් පුතුගේ වකුගඩු රෝගය සමබන්ධ වෛද්ය් වාර්තා පෙන්වන පද්මලතා

නව පදිංචිය හේතුවෙන් තම ජීවන තත්වය තවත් පහලට වැටුනු බව, පද්මලතා නම් ගෘහනියක් පැවසුවාය. ලබා දී ඇති නිවාස වල නීත්‍යානුකූල හිමිකමක් මෙතෙක් ඔවුනට පවරා නැත. නිවසේ යතුරු භාර දෙන විට ලබාදුන් ලිපියක් පෙන්වමින් පද්මලතා කියා සිටියේ, “ඒ තාවකාලික ලියවිල්ල වෙනුවට ඉක්මනින්ම ස්ථිර ඔප්පු ලබාදෙන බවට ආන්ඩුව කීවත් දැන් ඒ ගැන නිලධාරීන් නිශ්ශබ්ද” බවයි.

ඇය මෙසේ ද පැවසුවාය: “මේ ගෙවල් හරිම කුඩයි. රෙදි හෝදන්න තැනක් නැහැ, රෙදි වේලන්න තැනක් නැහැ. කුස්සියේ කිසිම බඩුවක් තියාගන්න ඉඩක් නැහැ. අපි හිටියේ මෙහෙම තත්වෙක නෙමෙයි. මම අවුරුද 15 ක් හිටියේ මීතොටමුල්ල දහම් පුරේ, ඒක මගේ මහත්තයාගේ උපන් ගම. ඒ ගෙවල්වලට ස්ථිර ඔප්පු තිබුන. ආන්ඩු එතෙන්ට කුනුදාල අපිව විනාස කලා. දැන් අපිව මේ තට්ටු ගෙවල් වල හිර කරල ස්ථිර අයිතියකුත් නැති තැනට ඇදල දාල”

ව්‍යසනයෙන් තම උන්හිටිතැන් හා බඩුභාන්ඩ අහිමිවූවන්ට ආන්ඩුවෙන් ලබාදෙන බව කී රු 250,000ක වන්දි මුදල තමන්ට නොලැබුනු බව පද්මලතාගේ සැමියා වන නලින් දර්ශන පැවසීය. තම දරුවන් කුනුු කන්ද නිසා නිතර අසනීප වූ බව සිහිපත් කල ඔහු තම දොලොස් හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා කලක සිට වකුගඩු රෝග තත්වයකින් පෙලෙන බවද ඔහු කීවේය.

“මේ ඔක්කොටම සල්ලි වියදම් කරගන්න බැරුව හිටපු අපිට ගේත් නැති උනා, බඩුමුට්ටුත් නැති උනා. දැන් අපි කොහෙන් පටන් ගන්නද කියල දන්නේ නැහැ”. තම දරුවන් ඉගෙනුම ලබමින් සිටි, කසල කන්ද අසල පිහිට රාහුල විද්‍යාලය දැන් එතනින් ඉවත් කොට, කොලොන්නාව ටෙරන්ස් විදුහලේ මඩුවක් තුල පවත්වාගෙන යාමට සිදුවී ඇති බවත්, එය වැස්සට තෙමෙන අවදානම් ගොඩනැගිල්ලක් බවත් ඔහු පැවසීය.

නලින් දර්ශන තම දරුවන් සමග

නලින් තවදුරටත් කියා සිටියේ, තමන් අවුරුදු ගනනාවක් කුනු කන්දට එරෙහිව උද්ඝෝෂනය කලත් ඉන් පලක් නොවූ බවයි. “ආන්ඩු වලට ඕන කරලා තිබුනේ එතනින් මිනිස්සු එලවාගෙන ඒ ඉඩම් නිදහස් කර ගන්න සමාගම් වලට විකුනන්න. මේ විපත හින්ද දැන් ඒ දේ ඉෂ්ට වෙලා තියනවා.” මහනගර සංවර්ධන වැඩපිලිවෙල යටතේ රජයට ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කොලඹ හා ඒඅවට අඩු ආදායම් පවුල් පලවා හැරීම ආන්ඩුවේ ඉලක්කයකි.

සියයකගේ පමන ජීවිත බිලි ගනිමින් සහ තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකරමින් පසුගිය දා ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයන්හි ඇතිවූ ගින්න පිලිබඳව ඔවුන් දැනුවත්ව සිටියහ. “ඒක රූපවාහිනියෙන් දැකල අපි භීතියටත් කම්පනයටත් පත් වුනා. අපිටත් මේ දේම වෙන්න පුලූවන්. මේ ගොඩනැගිල්ලේ ගින්නක් ගත්තොත් බේරෙන්න කිසිම ක‍්‍රමයක් නැහැ. අපි ලමයිත් එක්ක තට්ටු එකොලහක් බහින්නද? ගිනි නිවන්න මොනම ආම්පන්නයක්වත් අපිට දීල තියනවද?” නලින් ඇසුවේය. “මම මේ ගැන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහත්තුරුන්ගෙන් ඇහුවා. ඒගොල්ලන්ට උත්තර නැහැ. ඒගොල්ලෝ කියනව ගින්නක් හටගත්තොත් උඩම තට්ටුවට දුවන්නලු, හැබැයි, උඩ තට්ටුවට යන දොර ඉබ්බෙක් දාල වහල. කවදාහරි අපිටත් වෙන්නේ එංගලන්තේ ඒ අසරන මිනිස්සුන්ට වෙච්ච දේම තමයි.”

ව්‍යසනයට සතියකට පෙර කුනුකන්ද මතට හෙලන ලද දියරයක් සම්බන්ධයෙන් ඔවුන් සැක පහල කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන භික්ෂුවගේ මෙහෙයැවීමෙන් මෙම දියරය ඉසින ලද බවත්, ඉන් පසුව තම නිවාසවලත් පොලොවේත් තැනින් තැන ඉරිතැලීම් ඇති වූ බව නලින් සඳහන් කලේය. “අපි ඇහුව මොනවද මේ ගහන්නේ කියා, එතකොට කිව්වා, කුනු දිරන්න, කන්ද පාත් වෙන්න බෙහෙතක් ගහනව කියල.”

කේ.ජී. පොඩිහාමි

සමාජවාදී සමානතා පක්ෂය විසින් පවත්වනු ලබන මීතොටමුල්ල කුනුකන්ද නායයාම පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය පිලිබඳව මහජනයාගේ අවධානය යොමුවී ඇති අතර කුනු කන්දේ ඉතිහාසය පිලිබඳව 84 වියැති කේ. ජී. පොඩිහාමි මෙසේ කරුනු ඉදිරිපත් කලාය.

“මායි මගේ මහත්තයි දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඉඳල මෙතෙන්ට ආවේ ලෑලි ගෙයක් අටවාගෙන. එතොකොට ඒ හරියට කිව්වේ පන්සල් හේන කියලා. ඊට පස්සේ අපි කුඹුරේ කෑල්ලක් වැපිරුවා, පැත්තක කීර වැව්වා, එලවලු වැව්වා. අපේ ලමයි ලොකුමහත් කරගත්තේ එහෙමයි. ඊට පස්සේ 1980 ගනන් වල ආන්ඩුවෙන්මයි අපිට එතනම ගෙවල් හදල දුන්නේ. එහෙම තිබුනු තැන තමයි පස්සේ නගර සභාවෙන් කුනු දාල විනාශ කලේ” ඇය කීවාය.

අප්‍රේල් 14දා ව්‍යසනයෙන් පොඩිහාමිගේ ලේලියත් මිනිපිරියන් දෙදෙනෙකුත් මියගොස් ඇත. නිවාස පුපුරන්නට පටන්ගත්තේ කුනුකන්දට යම් දියරයක් ඉසීමෙන් පසුව බව පොඩිහාමිද ප‍්‍රකාශ කලාය. “කලිනුත් ගෙවල් පුපුරමින් තුබුනේ, නමුත් ඒකෙන් පස්සේ වැඩි වුනා. ඒත් අපිනම් හීනෙකින් වත් හිතුවේ නැහැ මෙහෙම විනාශයක් වෙයි කියල” ඇය කීවාය.

තිලකසිරි

නාගම්මුල්ලේ 101 වත්තේ පදිංචි වී සිටි තිලකසිරි පෙරේරා නැමැති 45 වියැති එක් දරු පියෙක් කතා කරමින් මෙසේ පැවසීය. “මම මීතොටමුල්ලට පදිංචියට ආවෙ 1990. භාරත ලක්ෂ්මමන් ප්‍රේමේචන්ද්‍රගේ උපදෙස් මත පර්චස් 5 ක් කොටු කරගෙන ගෙයක් සාදා ගත්තා.” නමුදු එහි හිමිකම පිලිබඳව ඔහුට ඇත්තේ ප්‍රේමචන්ද්‍ර ලබාදුන් ලිපියක් පමනි. කසල කන්ද එවිට නොතිබූ බවත් එම භූමියෙන් දර සහ එලවලූ කඩාගෙන පැමිනි බව ද ඔහු පැවසීය. දැනට කුඩා වී ඇති ඇල මුලදී අඩි විස්සක් පමන පලලට තිබී ඇත.

ඔහුට ද වන්දි ලෙස ලැබිය යුතු රු. 250,000 මෙතෙක් ලැබී නැත. විපතටපත් තමන්ට ආන්ඩුවෙන් කිසිවක් නොලැබුනු බවත් ආධාර ලැබුුනේ සාමාන්‍ය මහජනයාගෙන් බවත් ඔහු පැවසීය.

නව පදිංචිය ගැන කතා කරමින් ඔහු පැවසුවේ එය “හිරගෙයක්” බවයි. තමන්ගේ විනාශ වූ නිවස කාමර තුනකින්, සාලයකින් හා කුස්සියකින් සමන්විත වූ බව ඔහු පැවසීය. “අපිට තිබුනු රත්තරන් බඩු ඔක්කොම උකස් කරල ඒ ගෙය හදා ගත්තෙ. අනවසර පදිංචි කියල අපිට ඔප්පු දුන්නෙ නෑ. අපිත් පුරවැසියො නිසා අපිටත් බිම් අඟලක් හෝ අයිති වෙන්න ඕන. අපි මෙතෙන්ට කැමැත්තෙන් ආව නොවෙයි. අන්තිමට මේකත් නැතිවෙයි කියල බයට ආවෙ.”

Share this article: