“ආන්ඩුවේ බර දැරිය යුත්තේ ජනතාව ද?”: බුද්ධිමතුන් කන්ඩායමකගේ අඳෝනාව ප‍්‍රකාශයට පත් කල සම්මන්ත‍්‍රනයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජුලි 20

“ආන්ඩුවේ බර දැරිය යුත්තේ ජනතාව ද?” යන මැයින් සිවිල් සංවිධාන සහ ශාස්ත‍්‍රාලිකයන් කන්ඩායමක් විසින් සංවිධානය කෙරුනු සම්මන්ත‍්‍රනයක් මෑත දී කොලඹ මහජන පුස්තකාල ශාලාවේ දී පැවැත්වුනි. සමාජ සමානතාවය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානය, ජනතා මෙහෙවර සඳහා රජයේ සේවකයන්ගේ සංවිධානය, දේශීය ව්‍යාපාරික නියෝජිතයන්, වෘත්තිකයන් හා මාධ්‍යවේදීන් මෙම එකතුවට ඇතුලත් විය.

කල් පසුවී වුවත්, ජුනි 13 වෙනිදා පැවැත්වුනු මෙම සම්මන්ත‍්‍රනය ගැන සටහනක් ලිවීම අවශ්‍යය. මන්ද යත්, ලංකාවේ ඔද්දල් වී ඇති ආර්ථික, දේශපාලන සමාජ හා සංස්කෘතික ප‍්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමේ නමින් මෑතක සිට ඉදිරිපත්වී සිටින විවිධ සංවිධානවල බුද්ධිමය හා දේශපාලන බංකොලොත්කම ද ධනේශ්වර ගැති ස්වභාවය ද මෙම සම්මන්ත‍්‍රනයෙන් මනාව ප‍්‍රදර්ශනය කෙරුනු හෙයිනි.

සම්මන්ත‍්‍රනයට සමාජ සමානතාවය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානයෙන් සහභාගී වූයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනිල් ජයන්ත සහ කැලනිය විශ්ව විද්‍යාලයේ අනුර කරුනාතිලක ය. රාජ්‍ය සේවකයන්ගේ සංවිධානයේ අශෝක පීරිස්, මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම, දේශීය ව්‍යාපාරිකයන් වෙනුවෙන් යයි විධායක නිලධාරියෙකු වන සූර්ය කුමාර පෙනී සිටියහ.

මෙම කන්ඩායම 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත්කර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම සඳහා ව්‍යාජ වාම සංවිධාන සහ පුරවැසි බලය, සාධාරන සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සමග පෙල ගැසී සිටියහ. සිරිසේන විසින් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීමට ද මේ සියලු දෙනා පක්ෂ වුහ.

රාජපක්ෂගේ දූෂිත හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය අහෝසිකර “යහපාලනක්” ස්ථාපිත කිරීමේ නමින් ධනපති පාලන මාරුව සඳහා ඉදිරිපත් කෙරුන මන්ත‍්‍රය පලිප්පු දමා ජප කලේ මෙම සංවිධාන හා පුද්ගලයන් විසිනි. මොවුන් එමගින් කලේ රාජපක්ෂගේ අධිපතිවාදී පොලිස් පාලනය කෙරෙහි වැඩකරන ජනතාව තුල පැන නැගී තිබුන කෝපය සිරිසේන, වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ධනපති කල්ලියක් පිටුපසට හරවා යැවීමයි.

තිස් මාසයක් ගෙවී යන තත්වය තුල ජනාධිපති සිරිසේන ගේ හා අගමැති වික‍්‍රමසිංහගේ ආන්ඩුව දුන් පොරොන්දු බිඳ දැමීම නිසා මෙන් ම, අලුත් ප‍්‍රහාර එල්ල කිරීම නිසා ද අපකීර්තියට පත්ව ඇත. ආන්ඩුව පවතින්නේ මහා දේශපාලන අර්බුදයක් අද්දර ය; ජීවිතය ගලවා ගැනීමට එය ප‍්‍රතිගාමී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය අවුස්සමින් පොලිස් ආඥාදායක පාලනයක් සුදානම් කරයි.

ආන්ඩුව බලයට ගෙන ඒමට කැප වූ වම්මු, රාජ්‍ය නොවන සංවිධාන හා ශාස්ත‍්‍රාලිකයන් ආදී පෙර කී කන්ඩායම් හා පුද්ගලයන් එකිනෙකාට අනුපූරක වන ආකාරයට ප‍්‍රතික්‍රියා දක්වන්නට පටන් ගෙන ඇත.

ඉන් එක කන්ඩායමක් නම් වික‍්‍රමබාහු කරනාරත්න සහ ඔහුගේ නව සම සමාජ පක්ෂය (නසසප) හා සමන් රත්නප්‍රිය නැමැත්තා විසින් මෙහෙයවන සමාජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරයයි. ඔවුහු ආන්ඩුවේ ආරක්ෂයන් ලෙස එහි විරුද්ධවාදීන් ට, විශේෂයෙන් ම, කම්කරුවන් ට හා ශිෂ්‍යන්ට එරෙහි පොලිස් මර්දනයේ පන්දම්කාරයන්වී සිටිති.

දෙවන කන්ඩායම වන මහාචාර්ය සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ, රාවය කතෘ ජන රංජන ඇතුලූ පුරවැසි බලයේ හා සාධාරන සමාජයක් සඳහා ව්‍යාපාරයත් ඒවා අස්සේ ගැලතීගත් නිර්මාල් රන්ජිත් දේවසිරි බඳු ශාස්ත‍්‍රාලිකයනුත් ආන්ඩුව ගැන කලකිරීම අඩුවැඩි වශයෙන් ප‍්‍රකාශයට පත් කරමින් එය ආරක්ෂා කරති. ගාන්ධිගේ පරාගතවාදය දේශනා කරමින් ආන්ඩුවේ හා ධනපති පන්තියේ සෘජු ආරක්ෂකයෙක් ලෙස වික්ටර් අයිවන් ක්‍රියා කරයි. ජුනි 13 වෙනිදා සම්මන්ත‍්‍රනයට දායක වූවන් මේ සියල්ලන් අතර තවත් කල්ලියකි

.

තුන්වන කල්ලිය, සිරිසේන බලයට ගෙන ඒමට වක‍්‍රව සම්මාදම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා සුමනසිරි ලියනගේ වැනි ශාස්ත‍්‍රාලික කරනම් කාරයන්ය. ආන්ඩුවේ ප‍්‍රහාර සමනය කර ගැනීම සඳහා ග්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොඩමෝස් ආකාරයේ පුලුල් මහ ජන ව්‍යාපාර ගොඩ නැගීමට ඔව්හු යෝජනා කරති.

මොවුන් තමන් අතර “වෙනස්කම්” ඇතැයි ප‍්‍රකාශ කලත් සාරභුත පොදු ලක්ෂනය නම් ධනේශ්වර ක‍්‍රමය තුල විසඳුම් ලබා ගැනීම පිලිබඳව ඔවුන් අතර පවතින එකඟතාවයයි.

ජුනි 13 වෙනිදා සම්මන්ත‍්‍රනය මෙහෙයවූ පුද්ගලයා “2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ ‘යහපාලන ආන් ඩුව’ අප විසින් බලාපොරොත්තු වූ ලෙස මහජන සුබසෙත සඳහා කටයුතු නොකරන” බව පැවසුවේ ය. අනෙක් කථිකයන් ප‍්‍රකාශ කලේ ද එයයි.

මෙම අඳෝනාවන්ගෙන් ප‍්‍රකාශයට පත් වන්නේ බුද්ධිමය බංකොලොත්කමේ හා දේශපාලන සට කපටකමේ සංකලනයකි. දැන් අකම්පාල වන මෙම “බුද්ධිමතුන්” සිරිසේනගේ හා වික‍්‍රමසිංහගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රතිගාමී දේශපාලන වාර්තාව දැන සිටියේ නැති ද? එම වාර්තාව තිබියදීම ඔවුන් වෙනස් ආකාරයකට ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කලේ කුමන ආර්ථික දේශපාලන කාරනා මත ද? මෙම ප‍්‍රශ්නවලට ඔවුන් පිලිතුරු සපයනු නැත.

පාලන තන්ත‍්‍රමාරුවට කර ගැසීම

ඉහත කී තුන් කට්ටිය රාජපක්ෂ පාලනයට දැක් වූ “විරුද්ධත්වය” සහ කම්කරුවන් හා දුගීන් එම පාලනයට එරෙහිවීම හරයෙන් ම එකිනෙකට වෙනස්ය.

ඉහල මධ්‍යම පන්තිය හා එහි ප‍්‍රාර්ථනාවන් නියෝජනය කරන මෙම කන්ඩායම්, විදේශ ආයෝජකයන් හා මහා ව්‍යාපාරිකයන් ලාබ තර කර ගනිද්දී, රාජපක්ෂ වටා පාලන කට්ටුවක් හා ඥාති-මිත‍්‍ර සංග‍්‍රහ ලබන කල්ලියක් සමෘද්ධිමත් වෙද්දී තමන් ආර්ථික හා දේශපාලන වසයෙන් කොන්වීම ගැන බරපතල ලෙස අතෘප්තියට පත් වූහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ තම ආදායම් සහ වරප‍්‍රසාද තර කර ගැනීමයි. රාජපක්ෂ පාලනයේ මානව හිමිකම් කඩ කිරීමට එරෙහිව සහ යහපාලනය සඳහා යයි ඇමරිකානු අධිරාජ්‍යවාදීන් උසි ගැන්වූ කුහක ව්‍යාපාරය සමග ලංකාවේ ධනපති පන්තියේ සැලකිය යුතු කන්ඩායමක් සමග “වාම” සහ සිවිල් සංවිධාන වහා පෙල ගැසුනාහ.

රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට වොෂින්ටනය මුලුමනින් ම සහයෝගය දුන්නේය. යුද්ධයේ අවසන් දිනවල ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන යෝජනා එජා මානව හිමිකම් කවුන්සිලය තුල එය ඉදිරිපත් කලේ බෙයිජිනය සමග රාජපක්ෂගේ සමීප සම්බන්ධකම් බිඳ ලංකාව චීනයට එරෙහි තම යුද මූලෝපායික සුදානමේ කක්ෂය තුලට ඇදගනීම සඳහා බලපෑම් කිරීමටයි. සිරිසේන ඒ සඳහා දියත් කෙරුන තන්ත‍්‍ර මාරු ව්‍යායාමයේ අක්ෂය විය. ඊට සහාය දෙමින්, ව්‍යාජ වම ප‍්‍රමුඛ කන්ඩායම් අධිරාජ්‍යවාදීන්ගේ කඳවුරට සේන්දු වුහ. සිරිසේන ඇමරිකාවට, ඉන්දියාවට හා යුරෝපීය බලවතුනට පක්ෂ වන ලෙස ලංකාවේ විදේශ පිලිිවෙත මාරු කරමින් ප‍්‍රථමයෙන් ම ඉටු කලේ මෙම උවමනාවයි.

සිරිසේන වටා ගොඩ නැගුනු ව්‍යාපාරය සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ රැලිවීම ප‍්‍රකාශයට පත් කරමින් කරුනාතිලක ඇතුලු කන්ඩායමක් 2015 ජනවාරි 3 වෙනිදා “අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරනාත්මක ලෙස වෙනසකට ක්‍රියාකාරී වෙමු” යන මැයින් නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය: “ජනවාරි 08 වැනි දා මැතිවරනයේ දී අප සියලු දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත.... අප අපේක්ෂා කරන සියලු වෙනස්කම් එක් රැයකින් හෝ හුදෙක් ආන්ඩු මාරුවකින් දිනාගත හැකියයි විශ්වාස නොකරන අපි මෙම එලඹෙන ජනාධිපතිවරනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ පාලනය, යහපාලනය සහ සමාජ සාධාරනය සම්බන්ධ ගැටලු ආමන්ත‍්‍රනයට කුඩා අවකාශයක් උදා කර ඇතැයි සිතමු.” සිරිසේනගේ ව්‍යාපාරය ඔසවා ගෙන සිටි කොඩිවල ලියා තිබුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ පාලනය, යහපාලනය සහ සමාජ සාධාරනය සූත‍්‍රයි.

කාලය ගත වෙද්දී කම්කරුවන්ගේ, දුගීන්ගේ හා සිසුන්ගේ අරගල පිපිරී එන තත්වයක සිය අපේක්ෂා භංගත්වයෙන් මෙම බුද්ධිමත්හු තැවෙති.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජයන්ත ප‍්‍රධාන කතාව කරමින් පල කල අදහස් සැකෙවින් මෙසේ ය: මහජනයා මන්ත්‍රීවරුන් පත් කරති. ඔවුන් බලතල ලබාගෙන දූෂනයේ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවල යෙදෙති. මහජනයා ද ඊට අනුග‍්‍රහය දක්වති. මහජනයා මැතිඇමතියන් බලයට ගෙන ඒමට ක්‍රියා කර නිශ්ශබ්දව ඔවුන් ට රිසිසේ ක්‍රියා කිරීමට ඉඩ නොදී මැදිහත් විය යුතුය.

පාලන ක‍්‍රමය දූෂනයෙන් තොරව පිරිසිදු කර ගැනීමේ තවත් දේශනාවක් අශෝක පීරිස් පැවැත්වූයේය. ඔහු ප‍්‍රකාශ කලේ “ආන්ඩුව විසින් කරනු ලබන මනෝරාජික හා මනඃකල්පිත වියදම්, දූෂනය හා නාස්තිය නිසා රටේ මුදල් පිටතට ගලා යාම හා ආකාර්යක්ෂම කලමනාකරනය නිසා” දුප්පතුන් හා පොහොසතුන් අතර “සමාජ අසමානතාවය වර්ධනය වී” ඇති බවය.

මොවුන් සමාජ අසමානතාවය ගැන කතාකරන විට ඇත්තට ම අවධාරනය කෙරෙන්නේ තමන්ට සිදුවී ඇති “අසාධාරනයක්” ගැනය. ඔවුහු ධනපති පන්තියේ දේපලවලට අස්වාමික කිරීමක් හා සමාජ සමානතාවය මත පාදක වූ සමාජ ක‍්‍රමයක් අපේක්ෂා නොකරති. ඔවුන් ඉල්ලා සිටින්නේ සමාජයේ ඉහල ම ආදායම ලබන සියයට 10 සමාජ ස්ථරයට නැග ගැනීමට ඉඩ ප‍්‍රස්තාවන් ලබා ගැනීමයි

.

විරැකියාව, දරිද්‍රතාවය හා සමාජ අසමානතාවය වඩ වඩා ගැඹුරු වන තතු තුල කම්කරු පන්තියට, ගැමි හා නාගරික දුප්පතුන්ට එල්ල වී ඇති ප‍්‍රහාර ගැන හෝ ඔවුන්ගේ අරගල ගැන රැස්වීම තුල වචනයක්වත් කතා නොකෙරුනේ අහම්බයකින් නොවේ. ඔවුන් මෙම ජනයාගේ අයිතීන් ගැන උත්සුක නොවන අතරම ඔවුන්ගේ අරගල ගැන භය බිරාන්තවී සිටිති.

කරුනාතිලක සඳහන් කලේ , පවතින ක‍්‍රමයේ ප‍්‍රධාන දුර්වලතාව වන්නේ බදු ආදායම, අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් හා සමාජ සංවර්ධනය සඳහා “නිසි කලමනාකරනයකින් පාවිච්චි නොකිරීම” හා රටේ පාලනය “පවුල හා හිතවතුන් නඩත්තු කරන යාන්ත‍්‍රනයක්” බවට පත් වී තිබීම බවයි.

එය වෙනස් කල හැක්කේ “සියලුදෙනා එකතුවෙලා කරන සමාජ ක්‍රියාකාරිත්වයකින් පමනක්” බවත් ඒ සඳහා ශ්‍රී ලංකා, යුඇන්පී පක්ෂවල පහල කොටස්, ජනතා විමුක්ති පෙරමුන සහ අනෙකුත් දේශපාලන පක්ෂ බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, කලාකරුවන් සම්බන්ධ කර ගත් “සමාජ ව්‍යාපාරයක්” ආරම්භ කල යුතු බවත් කරුනාතිලක කීවේය.

මෙය සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට විරුද්ධව වර්ධනය වන මහජන විරුද්ධත්වය තවත් ධනේශ්වර දේශපාලන ව්‍යාපාරයක් තුල දිය කර හරින හා ධනපති පාලක පන්තියේ ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය ප‍්‍රමුඛ මහජනතාවගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මතුවීම වලහන බහු පන්තික දේශපාලන උගුලකි.

බුද්ධිමය බංකොලොත්කමේ මූලයන්

කථිකයන්ගේ යෝජනාවන්ගෙන් එකක් පැහැදිලිය. එය නම්, ධනපති ක‍්‍රමය එහි නරක පැත්ත ඉවත් කර ශුද්ධපවිත‍්‍ර කර පවත්වා ගත යුතු බවයි. ධනපති ක‍්‍රමයේ “නරක අංශය නියාමනය කරනු!” යන්න ජාත්‍යන්තරවම නව ලිබරල් ධනවාදය විවේචනය කරන වාම හා ලිබරල් වෙස් ගත්තවුන්ගේ විවේචනය වී ඇත.

කාල් මාක්ස් 1847 තරම් ඈතදී සිය දර්ශනවාදයේ දරිද්‍රතාව නමැති කෘතියෙන් ප‍්‍රන්ස සුලුධනපති දාර්ශනිකයකුවූ පෘධොන් ගැන මෙසේ ලීවේය:

“හොඳ පැත්ත සහ නරක පැත්ත, වාසිය සහ අවාසිය එකට ගත් කල්හි, පෘධොන් මහත්මයාගේ ආර්ථික ප‍්‍රවර්ගයේ ප‍්‍රතිවිරෝධතාව සැදෙයි. ගැටලුව විසඳීමට නම් කල යුත්තේ, හොඳ පැත්ත තබාගනිමින් නරක පැත්ත ඉවත් කිරීමයි” (පිටුව 103)

පෘධොන් මහතා සහ වත්මන් පන්ඩිතයන් නොතකන දෙය නම් “නරක පැත්ත සහ හොඳ පැත්ත” යන දෙකම මුල්බැස තිබන්නේ ධනපතිවාදය තුලම බවයි.

ලෙනින් අධිරාජ්‍යවාදයේ නැගීමත් සමග පරපුටු මූල්‍ය කතිපයාධිකාරයක බිහිවීම පෙන්වා දුන්නේය. “මහා පරිමානයේ දූෂනය, අල්ලස හා සියලු ආකාරයේ වංචාවන්” පරපුටු ජරාජීරන ධනවාදයේ ලක්ෂනයන්ය. මෙම පැහැදිලි කිරීම් වලින් සියවසක් ගෙවී එම වර්ධනයන් ද අලුත් ඉහලකට නැගී ඇත. මෑත කාලය ගත්කල, 2008 ලෝක මූල්‍ය බිඳ වැටීමෙන් පසු ඇමරිකාව ඇතුලු ප‍්‍රධාන ධනපති රටවල ආන්ඩු බැංකු ගලවා ගැනීමේ නමින් දැවැන්ත මුදල් පොම්ප කිරීමක් සිදුකලේ අනෙක් අතින් සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රතිපත්ති මගින් කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් තලා දමමිනි. පාලන බලයෙන් ධනවත්වන වන්සක්කාර පැලැන්තියක් ද (ක්ලෙප්ටෝක්‍රසි) භා ඥාති සංග‍්‍රහය ද ඉහවහා ගොස් ඇත. ලංකාව වැනි පසුගාමී රටවල ප‍්‍රකාශයට පත්ව ඇත්තේ මෙම වර්ධනයන්ය.

රාජපක්ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී දුෂ්ටකම් හා දූෂනය නැති කිරීමට සිරිසේනගේ හා වික‍්‍රමසිංහගේ ආන්ඩුව ගෙන ඒමට ආවැඩූ “බුද්ධිමතුන්” දැන් ඒවාම කෙරෙන්නේ නොවේදැයි කම්මුලේ අත තබා ගනිති. නාහෙට එහා නොපෙනෙන බුද්ධිමය දරිද්‍රතාවයෙන්, හීනත්වයෙන් හා දීනත්වයෙන් අඩුවැඩි වශයෙන් පෙලෙන මොවුහු ධනපති ක‍්‍රමය ශුද්ධ කර තබා ගැනීමේ වඳ ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරති. ඔවුන්ට ධනපතියන්ගෙන් හා ධනපතිවාදයෙන් වෙනස්වූ ක‍්‍රමයක් ගැන සිතන්ටවත් බැරිය.

සෝවියට් සංගමය බිඳ වැටීම “සමාජවාදයේ බිඳවැටීමක්” ලෙස අනන්‍ය කරමින්ද “ධනවාදයේ විජයග‍්‍රහනයක්” යැයි හඬ තලමින් ද කෙරුනු දෘෂ්ටිවාදාත්මක ප‍්‍රහාරය වැලඳ ගත් මධ්‍යම පන්තික බුද්ධිමතුන්ගේ දේශපාලන දැක්ම ධනවාදය සමග බැඳී ඇත. එහෙත් සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් ගතවී ඇති සියවස් කාර්තුවක කාලය තුල සිදුව ඇත්තේ 2008 මූල්‍ය අර්බුදයෙන් කුලුගැන්වී ධනවාදයේ බිඳවැටීමක කාල පරිච්චේදයක් නිර්මානය වීමයි. ප‍්‍රමුඛ ධනපති විශ්ලේෂකයන් පවා දැන් උදාවී ඇත්තේ 1914 ලෝක යුද්ධය පිපුරුනු අර්බුදයට සමාන තත්වයක් බව පිලිගනිති. ඇමරිකාව ප‍්‍රමුඛ බලයන් තම ලෝක ආධිපත්‍යය සඳහා ධාවනයක යෙදෙන තතු තුල ලෝක මහජනතාවන් දැන් සිටින්නේ තුන්වන න්‍යෂ්ටික යුද්ධයක් අබියස ය. මෙම අර්බුදයම, අනෙක් අතට, කම්කරු පන්තියේ නව විප්ලවවාදී අරගලයන්හි කාල පරිච්චේදයක් අරඹා ඇත.

ජුනි 13 සම්මන්ත‍්‍රනය පැවැත්වූවන් ඇතුලු “බුද්ධිමතුන්ට” වගේ වගක් නැති වුවත් ලංකාවේ දේශපාලන තත්වය තීන්දුවී අත්තේ මෙම ලෝක වර්ධනයන්ගෙනි. ඔවුහු ජාතිකවාදී පැලැස්තර දමා වැහැරුනු ධනපති ක්‍රමය පවත්වා ගැනීමේ බංකොලොත් යෝජනා හා පෙරමුනු ඉදිරිපත් කරමින් කම්කරුවන් හා තරුනයන් සිර කර තබා මෙම විනාශයන්ට ගොදුරු කිරීමට ක්‍රියා කරති.

රුසියානු විප්ලවයේ ශත සංවත්සරය එලැඹී ඇති මේ වසරේ කම්කරුවන් තරුනයන් හා සිතනමතන බුද්ධිමතුන්, මෙම උගුල් ප‍්‍රතික්ෂේප කරමින්, එදා මහා අර්බුදය තුල සමාජවාදී විප්ලවය අරඹමින් දියත් කල අරගලය වෙත හැරිය යුතුය. එම විප්ලවය කල හැකිවූයේ ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් බෝල්ශෙවික් පක්ෂය මගිනි. ලංකාවේ සමාජවාදී විප්ලවයේ පක්ෂය ගොඩ නැගීමට සමාජවාදී සමානතා පක්ෂය වෙත හැරෙන ලෙස අපි කම්කරුවගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Share this article: