ශ්‍රී ලංකා ආන්ඩුව බෞද්ධ ප‍්‍රභූව සනසයි

Sri Lankan government appeases Buddhist hierarchy

කේ. රත්නායක විසිනි , 2017 ජුලි 11

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා මහනුවර දී ප‍්‍රධාන බෞද්ධ නායකයන් බැහැ දැක ඔවුන්ගේ එකඟතාවයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයන් නොකරන බවට සහතික විය. සිංහල බෞද්ධ අධිපතිවාදය ඇවිස්සීම එල්ල කරගත් ඉල්ලීම් මාලාවක් සියලුම බෞද්ධ කන්ඩායම්වල ප‍්‍රධාන පූජකයෝ පසුගිය අඟහරුවාදා නිකුත් කර තිබුනි.

“බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ඉදිරපත් කිරීම පමා කිරීම, මැතිවරන ක‍්‍රමය හැර නව ව්‍යවස්ථා සංශෝධනයන් නොකිරීම, දිවයිනේ උතුරු-නැගෙනහිර පලාත්වල බෞද්ධ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම සහ බෞද්ධයන්ගේ දුක්ගැනවිලි ගැන සොයා බැලීම පිනිිස විශේෂ කමිටුවක් පත්කිරීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුලත් විය.

සිරිසේන බෞද්ධ නායකයන් මුන ගැසුනේ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව වැඩෙන කම්කරුවන්ගේ, ගොවීන්ගේ, හා තරුනයන්ගේ අරගලවලින් තීව්ර කෙරෙන දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින තතු තුලය. වර්ධනය වන මහජන විරුද්ධත්වය භේද කිරීම පිනිස ආන්ඩුවමත් වර්ගවාදය උසිගැන්වීමට උත්සාහ කරයි.

පාලක පන්තිය දසක ගනනාවක් සිංහල ජාතිය ආරක්ෂා කිරීමේ නාමයෙන් ධනපති පන්ති පාලනය රැකීමේ දෘෂ්ටිවාදාත්මක මාධ්‍යයක් ලෙස අර්බුද කාලපරිච්ඡේද වල දී දෙමල විරෝධී ස්වෝත්තමවාදය යලි යලිත් ගසාකෑවේ ය. ඒ සඳහා වූ ප‍්‍රධාන උපකරන වලින් එකක් වන්නේ රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම ව්‍යවස්ථාව තුල තහවුරු කිරීමෙන් සැලකියයුතු වරප‍්‍රසාද අත්කර ගත් ප‍්‍රතිගාමී බෞද්ධ සංස්ථාපිතයයි.

සිරිසේන භික්ෂූන් මුන ගැසීමට යාමට පෙර, ආන්ඩුව බලහත්කාර අතුරුදහන් කිරීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැම්මේය. යමෙකු අත්අඩංගුවට ගන්නා හෝ පැහැර ගන්නා රාජ්‍යයේ අධිකාරි බලය හෝ සහයෝගය ඇතිව ක්‍රියාකරන රජයේ නිලධාරියෙක් හෝ යම් පුද්ගලයෙක් එය පිලිගැනීමට හෝ එකී අත්අඩංගුවට ගත් තැනැත්තා රඳවා සිටින තැන අනාවරනය කිරීමට අසමත්වීම බලහත්කාර අතුරුදහන් කිරීමේ සාපරාධි වරදක් වන බව පනත් කෙටුම් පතේ සඳහන් කර ඇත.

බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ට එරෙහි 26 අවුරුදු යුද්ධයේ දී මිලිටරිය, අර්ධ-මිලිටරි බලකායන් හා පොලීසිය දහස් ගනනක් මිනිසුන් අත්අඩංගුවට ගත්හ, නැතහොත් පැහැර ගත්හ. අතුරුදහන් වූවන්ගෙන් බොහෝදෙනෙකු වධදී ඝාතනය කෙරුනි.

ආන්ඩුව මෙම රැවටිලිකාර පනත යෝජනා කර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මවාපෑමක් හා අතුරුදහන් වූ සිය ඥාතීන් පිලිබඳව තොරතුරු ඉල්ලා උද්ඝෝෂනය කරන උතුරු-නැගෙනහිර දෙමල ජනයා අතර පවතින කෝපය සමනය කිරීමේ උත්සාහකයක් ලෙසය. එමෙන් ම, හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට ආන්ඩුව ඉඩ නොදෙන බව සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අවධාරනය කර ඇත.

පනතට විරෝධය ප‍්‍රකාශ කරමින්, එල්ටීටීඊයට විරුද්ධව යුද්ධ කල හමුදාවට දඬුවම් කිරීමට උත්සාහ කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ ආන්ඩුවට චෝදනා කලේ ය. කෙසේ නමුත්, “පනත අතීත සිද්ධීන්ට බල නොපාන බවටත් අනාගතයට පමනක් බලපාන” බවටත් මුදල් ඇමති මංගල සමරවීර ඉරිදා ප‍්‍රකාශයක් නිකුත් කලේය.

ආන්ඩුව පෙරලා යලි බලය අල්ලා ගැනීමේ උත්සාහයක යෙදී සිටින රාජපක්ෂ සහ ඔහුගේ පාර්ලිමේන්තු කන්ඩායම යුද අපරාධ චෝදනා වලට විරුද්ධව හමුදාවේ “රන විරුවන්” ආරක්ෂා කරන බව ප‍්‍රකාශ කරමින් සිංහල වර්ගවාදය අවුස්සමින් සිටිති. චීනය සමග පැවති ඔහුගේ සමීප සම්බන්ධතාවලට විරුද්ධ වූ එක්සත් ජනපදයේ සහයෝගය ඇතිව කෙරුන තන්ත‍්‍ර මාරුවක් මගින් 2015 ජනවාරි 8 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ බලයෙන් පහ කෙරුනි.

ආඥාදායක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව බලගන්වන බවට මැතිවරනය තුල දී පොරොන්දුවෙමින් රාජපක්ෂට විකල්පයක් ලෙස සිරිසේන පෙනී සිටියේය. සිදු කෙරෙන කිසියම් ව්‍යවස්ථා සංශෝධනයක කොටසක් ලෙස රටේ දෙමල ජනයාට බලය බෙදා හරින බවට ද ඔහු පොරොන්දු විය. ව්‍යවස්ථාව යලි කෙටුම්පත් කිරීම 2016 ජනවාරී මාසයේ ආරම්භ වූ නමුත් මේ දක්වා ලියවිල්ලක් සම්පාදනය කර නැත

සිකුරාදා හමුවීමෙන් පසු ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින්, කවර හෝ නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතක් සකස් කරන්නේ නම් ඔවුන්ගේ උපදෙස් ලබා ගන්න බවට සිරිසේන මහා සංඝයාට සහතික විය. ආන්ඩුව ඒකීය රාජ්‍ය හෝ ව්‍යවස්ථාව තුල බුද්ධාගමට දී තිබෙන ප‍්‍රමුඛත්වයේ වෙනසක් නොකරන බව ඔහු අවධාරනය කලේ ය. වෙනත් වචනවලින් කිවහොත්, සැලකිය යුතු බලය බෙදීමක්වත්, බුද්ධාගම රාජ්‍ය ආගම කරන ව්‍යවස්ථාගත වගන්තිය වෙනස් කිරීමක්වත් සිදු නොවේ.

සිරිසේන ගේ ප‍්‍රකාශය රාජපක්ෂ කන්ඩායමට පිලිතුරුදීම ක් ද විය. බලය බෙදීමේ ඉල්ලීමට යටත්වීමෙන් රට බෙදීමට උත්සාහ කරන බවට ත්‍රිකුනාමලේ දී රාජපක්ෂ නැවතත් ආන්ඩුවට චෝදනා කලේ ය. බුද්ධාගමට දෙන ප‍්‍රමුඛත්වය තහවුරු කෙරෙන වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට සැලසුම් කරන බව ද ඔහු ප‍්‍රකාශ කලේ ය.

බෞද්ධ සංස්ථාපිතය අස්වැසීමට ආන්ඩුව තීරනය කර ඇත්තේ ආර්ථික හා සමාජ ප‍්‍රශ්න ගැඹුරුවීම මධ්‍යයේ ය. අපනයන පහත වැටෙමින් තිබෙන අතර නය ඉහල යමින් තිබේ. ආන්ඩුවේ ප‍්‍රධාන ආදායම් මුලාශ‍්‍රයක් වන විදේශගත ශ‍්‍රමිකයන්ගේ ඉපයීම් පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 6.3 න් මෙම වසරේ මුල් කාර්තුව තුල පහත වැටුනි. කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ජීවනතත්වයන් ඛාදනය කරමින් අප්‍රේල් මාසයේ උද්දමනය සියයට 7.1 ඉහල ගියේය.

මාර්තු මාසයට නියමිත තිබු එහි සහන නය මුදලේ අවසන් වාරිකය දීම කල් දැමූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) බදු නීති සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියේ ය. වැඩකරන ජනයාගේ වැටුප් කෙරෙහි තියුනුව බලපාන නව නීති ආන්ඩුව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. මෙය පුද්ගලීකරනය සහ මිල සහනාධාර කැපීම ඇතුලු ජාමුඅ අනෙකුත් කප්පාදු පියවරයන් සමග ක්‍රියාවට දැමෙන්නකි.

කම්කරු පන්තියේ වර්ධනයවන අරගල ගැන ආන්ඩුව තැතිගෙන ඇත. වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් විදුලි බල කම්කරුවන් දහස් ගනනක් ජුනි 28 වෙනිදා කොලඹ පෙලපාලි ගියහ. පුද්ගලීකරනයට විරුද්ධව තැපැල් සේවකයෝ 22,000 ක් ජුනි 27 වෙනිදා අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල නමුත් වෘත්තීය සමිති නායකයෝ දින දෙකකට පසු වර්ජනය නතර කලහ. රැකියා විරහිත උපාධිධාරීහු රක්ෂා ඉල්ලමින් පසුගිය සතියේ පෙලපාලි ගියෝය. සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසාදමන ලෙස ඉල්ලමින් වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සිසුන්ගේ සහයෝගය ඇතිව වෛද්‍ය ශිෂ්‍යයෝ මාස පහක් පුරා දේශන වර්ජනය කරමින් සිටිති.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම පක්ෂ හා සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහයෝගය ඇතිව වෘත්තීය සමිති මෙම අරගල සීමාකර කඩාකප්පල් කරති. විරෝධතා මර්දනයට නව සම සමාජ පක්ෂය (නසසප) රිජුවම ආන්ඩුවට උඩගෙඩි දෙයි.

ආන්ඩුවේ ස්වෝත්තමවාදය ප‍්‍රවර්ධනය කිරීම සිදුවන්නේ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ප‍්‍රහාර එල්ල කිරීම තීව්ර කිරීම සමග එක පෙලට ය. ජුනි 21 සෞඛ්‍ය අමාත්‍යාංශය වාඩිලාගත් සිසුන්ට පහර දීමට ආන්ඩුව කැරලි මර්දන පොලීසියට නියෝග කලේ ය. පොලීසිය ශිෂ්‍යන් 60 දෙනෙකුට තුවාල කල අතර පසුව 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. එය කම්කරු පන්තියට කල බරපතල අනතුරු ඇඟවීමකි.

කවර විරුද්ධත්වයකට හෝ විරෝධතා උද්ඝෝෂනයකට එරෙහිව පොලිස් රාජ්‍ය විධික‍්‍රම උපයෝගී කරගනු ලබයි. පරිසරය දුෂනය වන ආකාරයට කසල බැහැර කිරීමට විරුද්ධ වන ජනයා මතට කඩා පැනීමට රාජ්‍ය බලධාරීන් විසින් හමුදා හා පොලිස් කන්ඩායම් මෙහෙයවා ඇත.

දේශපාලන සංස්ථාපිතයේ සියලුම කන්ඩායම් විසින් ප‍්‍රතිගාමී ස්වෝත්තමවාදය ඇවිස්සීම වනාහි ආර්ථික කප්පාදු පිලිවෙත් වලට හා ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාර තීව‍්‍ර කිරීම කෙරෙහි විරුද්ධත්වය මර්දනය කිරීමේ ආඥාදායක විධික‍්‍රම වලට ආන්ඩුව සහ සමස්ථයක් ලෙස පාලක පන්තිය හැරී සිටින බවට කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි.

Share this article: