අවිශිබමයේ ක‍්‍රියාකාරීන් පස්දෙනා නැවත රිමාන්ඩ් කරයි

ඩී.ඒ. අංජන විසිනි, 2017 ජූලි 27

කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සඳහා නව මර්දන නීති හඳුන්වා දෙමින් පොලිස් රාජ්‍යයන් දෙසට වේගයෙන් පියවර තැබීම සෑම රටකම ධනපති පාලක පන්තියේ පිලිවෙත බවට පත්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලු වී රාජ්‍ය දේපල වලට අලාභ හානි සිදුකල බවට චෝදනා කරමින් ජූනි 23 වන දා සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුලු ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් පස්දෙනා ජුලි 19 වන දා අධිකරනය හමුවට පමුනුවන ලදුව අගෝස්තු 2 වන දා දක්වා යලි රිමාන්ඩ් ගත කෙරුනි.

වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මන්ඩලයේ නායක තම්පිටියේ සුගතානන්ද, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිනේෂ් මධුරංග, මොරටුව සරසවියේ ඉන්ජිනේරු පීඨයේ ෆයිසාන් අහමඩ් සහ රාගම වෛද්‍ය පීඨයේ දිමුත් ලක්ෂාන් යන අවිශිබම ක්‍රියාකාරීන් අධිකරනය හමුවට පමුනුවන ලද්දේ, පසුගිය ජූනි 21 වන දා සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලුවී කලහාකාරී ලෙස හැසිරෙමින් රජයේ දේපොල වලට රුපියල් ලක්ෂ 9 කට ආසන්න හානියක් සිදුකල බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විසින් මරදාන පොලීසිියට කල පැමිනිල්ලක් මතයි. මෙවැනි චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගන්නෙකු රුපියල් 100ක් හෝ අලාභය මෙන් තුන්ගුනයක දඩ මුදලකට යටත් කිරීම හෝ වසරකට වැඩි සහ වසර 20 කට නොවැඩි කාලයක සිරදඬුවමකට යටත් කල හැක.

මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනය රජයට පවරා ගැනීම, පාසල් තුල මුදල් අය කිරීම නතර කිරීම, අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 වෙන් කිරීම හා සෞඛ්‍ය අංශයේ පැන නැග ඇති ගැටලු විසඳීම යන ඉල්ලීම් මත, ජූනි 21 වන දා, පාගමනක යෙදුනු ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ පසුව සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලු වී උද්ඝෝෂනය කලහ. විරෝධතාවයේ යෙදුනු ශිෂ්‍යයන්ට පොලීසිය යොදා ම්ලේච්ඡ ලෙස පහරදුන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඉන් අනතුරුව දියත් කොට ඇති සිසු දඩයමේ කොටසක් ලෙස මෙම අත් අඩංගුවට ගැනීම සිදු කෙරුනි. සිසුන් පවසන්නේ තමන්ට පහර දුන් පොලීසිය අලාභහානි සිදුකර ඊට තමන් පැටලවීමට තැත් කරන බවයි.

මෙම පොලිස් දඩයම ශිෂ්‍යයන් කේන්ද්‍ර කරගත්තක් නොවේ. මෙය වනාහි, තම සමාජමය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙමින් පවත්නා ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් මගට අවතීර්න වෙමින් සිටින කම්කරුවන් ට සහ පීඩිතයන්ට ආන්ඩුව විසින් කල්බලා එල්ල කල විසකුරු තර්ජනයකි. එනම් සිය ධනපති පාලනයට එරෙහිව නැගෙන ඕනෑම විරෝධතාවක් රුදුරුම ආකාරයෙන් තලා දැමීමට ආන්ඩුව සූදානම් බවයි.

අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලා ‘සයිටම් විරෝධී ජන පවුර’ විසින් කොලඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ශාලාවේ දී ජූලි 20 වන දා පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු නිවෙස් බලායාමට සැරසුනු අවිශිබමයේ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම ද මෙම මර්දනයේ කොටසකි.

මේ ප‍්‍රහාරයන් ගලා එන්නේ ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුලිනි. මෙම අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ලොව පුරා පාලක පන්තීන් දියත්කොට ඇත්තේ කම්කරු පන්තියේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වනසා දමන සමාජ ප‍්‍රති-විප්ලවයකි. අතීත අරගලයන් මගින් දිනාගත් තම අයිතීන් නැවත උදුරා ගැනෙන තතුතුල එයට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සඳහා නව මර්දන නීති හඳුන්වා දෙමින් පොලිස් රාජ්‍යයන් දෙසට වේගයෙන් පියවර තැබීම සෑම රටකම ධනපති පාලක පන්තියේ පිලිවෙත බවට පත්ව ඇත.

මෑතකදී ජර්මනියේ බැවේරියා ප‍්‍රාන්තය විසින් පැරැනි මර්දන නීතියක් යලි බලාත්මක කිරීම මේ පිලිබඳ නිදසුනකි. එම නීතිය යටතේ අනාගතයේදී වරදකරුවකු වේ යැයි සැකකෙරන පුද්ගලයෙකු සාක්ෂි නොමැතිව අත් අඩංගුවට ගෙන මාස තුනක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසියට පැවරීමේ බලය විනිසුරුවරයෙකුට හිමිවෙයි.

අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට මෙන්ම ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් ඉහත ජාත්‍යන්තර සන්දර්භයෙන් වියෝකොට, ආන්ඩු වලට බලපෑම් දැමීමෙන් එම ප‍්‍රහාරයන් ආපසු හැරවිය හැකිය යන මිථ්‍යාව සිසුන්ට සහ කම්කරුවන්ට ගිල්වනු ලබන්නේ අවිශිබම, එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස) වැනි වෘත්තීය සමිති විසිනි.

රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීමට එරෙහිව රවෛනිස විසින් ජූලි 25 වන දා කැඳවා තිබූ වර්ජනයේ මූලික ඉල්ලීම් ද මෙම ප‍්‍රතිගාමී ඉදිරි දර්ශනය මත මුලුමනින්ම පදනම් වෙයි. පැහැරගෙන යාමට පැමිනි අයට එරෙහිව ‘නීතිමය පියවර ගැනීම’ සහ ‘එවැනි සිද්ධීන් මින් මතු සිදු නොවන බවට සහතිකයක් දීම’ වැනි ඉල්ලීම් ඒ අතරින් ප‍්‍රමුඛ වෙයි. දැනට අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් කවර හෝ ඉල්ලීමක් ඒ අතර නොවුනි. වර්ජනය නවතා දැමුනේ නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක සමග පැවති සාකච්ඡාවක දී ඔහුගෙන් ‘සතුටුදායක’ ප‍්‍රතිචාරයක් ලැබුනු බව පවසමිනි. මෙය වනාහි, ආන්ඩුවේ මර්දනයට එරෙහිව වෛද්‍යවරුන් සහ සිසුන් අතර පැන නැගි විරුද්ධත්වය දියකොට දැමීම සඳහා සිදු කෙරුනු මවාපෑමක් බව ඉතා පැහැදිලිය.

ආන්ඩුවල මර්දනය මෙවන් ඊනියා සහතික සහ පොරොන්දු මගින් ආපසු හැරවිය නොහැක. මර්දනය ඇතුලු ආන්ඩුවේ ප‍්‍රහාරයන් පරාජය කිරීමට නම් ආන්ඩුවටත් සමස්ත ධනපති ක‍්‍රමයටත් එරෙහි දේශපාලන අරගලයක්, එනම් කම්කරු පන්තියේ නායකත්වයෙන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ අරගලයක් අත්‍යවශ්‍යය.

Share this article: