ව්‍යාජ වම්මු සයිටම් විරෝධතාවයට මුවාවී දක්ෂිනාංශික පෙරමුනක් ගොඩනගති

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූලි 17

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), තවත් දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් සමග එක්ව, ජූලි 10 වන දා, “සයිටම් විරෝධී ජනපවුර” නමින් ධනපති සන්ධානයක් පිහිටුවා ගත්තේය. මෙම සන්ධානයට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), මහින්ද රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂය”, ජාතික හෙල උරුමය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) ඇතුලත් වෙයි.

මෙම දක්ෂිනාංශික පෙරමුන වනාහී, පෙසප විසින් මෙහෙයවන අවිශිබම වටා තවත් ධනපති කන්ඩායම් පෙලගස්වා ගනිමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගෙන යන විරෝධතා දේශපාලනයේ බංකොලොත්භාවය වඩවඩාත් නිරාවරනය වෙමින් පවතින තතු තුල, ශිෂ්‍යයන්, කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන්, ධනපති ක‍්‍රමයට එරෙහිව පෙලගැසීම වැලැක්වීම සඳහා අටවන ලද තවත් උගුලකි.

අධ්‍යාපන අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩෙන ශිෂ්‍ය සටන්කාමීත්වය, රටපුරා ඇවිලී ඇති කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල සමග ඒකාග‍්‍ර වී ධනපති ක‍්‍රමයට එරෙහි ව්‍යාපාරයක් දෙසට වර්ධනය වෙතැයි බියට පත්ව සිටින පෙසප ඇතුලු ව්‍යාජ වම්මු ශිෂ්‍යයන් සහ කම්කරුවන් ධනපති සංවිධානවලට ගැටගසා තැබීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගනිති.

සන්ධානය ප‍්‍රකාශයට පත්කරමින් 10 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී, ධනපති ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම) නියෝජනය කල කේ.ඞී. ලාල්කාන්ත මාධ්‍ය වෙත නිවේදනය කලේ සයිටම් විරෝධී සියලු බලවේග ඒකරාශී කරගෙන ගොඩ නැගූ “සයිටම් විරෝධී ජනපවුර” හරහා ජාතික මට්ටමේ වැඩවර්ජනයක් සංවිධානය කරන බවත් එමඟින් ආන්ඩුව “දනගස්සවා” සයිටම් වසා දමන බවත්ය. පෙරමුන තුල ආන්ඩුවේම පාර්ශවකරුවකු වන ජාතික හෙල උරුමයද (ජාහෙඋ) සිටීමෙන් ම “ආන්ඩුව දැනගැස්සවීම” පිලිබඳ බොරු පූච්චානම හෙලිදරව් කෙරේ. අන්ඩුවේ ප‍්‍රධාන ඇමතිවරයෙකු වන ජහෙඋ ප‍්‍රධාන ලේකම් පාඨලී චම්පික රනවක කම්කරු පීඩිත මහජනතාවන්ගේ විරෝධතා වලට එරෙහිව මර්දනය ක‍්‍රියාත්මක කල යුතු බවට ප‍්‍රසිද්ධියේම උද්ඝෝෂනයේ යෙදෙන්නෙකි.

එමෙන්ම අධ්‍යාපනයේ පෞද්ගලිකරනය සම්බන්ධයෙන් කවර හෝ විරෝධයක් නොමැති බව නොයෙක් වර අවධාරනය කරමින් සයිටම් විරෝධී ව්‍යාපාරය තුල මූලිකත්වය ගෙන සිටින රවෛනිස, ආන්ඩුව පාර්ශවයෙන් ලැබෙන ප‍්‍රතිචාර “සාධනීය” බව පවසමින් වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන නතර කර දමා ඇත. පසුගිය 14 දා රවෛනිස නිකුත්කල ආසන්නතම මාධ්‍ය නිවේදනයේ පවා දැක්වෙන්නේ තම සංගමය අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සමඟ පැවැත්වූ සාකච්ඡා “ධනාත්මක” බැවින් “වැඩවර්ජනයකට යෑමේ අවශ්‍යතාවයක් නැති” බවයි.

අනෙක් පසින් මෙම පෙරමුනට එක්කරගෙන ඇති ඒකාබද්ධ විපක්ෂය යනු, අධ්‍යාපනයේ පුද්ගලීකරනය පෙරට ගෙන යමින් සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට පූර්න සහයෝගය ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවේ හිටපු මැති-ඇමතියන්ගේ සිංහල වර්ගෝත්තමවාදී දේශපාලන සංවිධානය යි. රාජපක්ෂ ආන්ඩුව, අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව අරගලයට පැමිනි සිසුන්ට එලව එලවා පහරදුන් අතර තම අයිතීන් ඉල්ලා හඬ නැගූ කම්කරුවන් දුසිම් භාගයක් මරා දැමූවේය. අද “ආන්ඩුව දැනගැස්සවීමට” සංවිධාන පිහිටුවීම ගැන කතා කරන ජවිපෙ රාජපක්ෂ ආන්ඩුවේ අන්තයටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වූ පාලනයට එරෙහිව මහජනතාව අතරින් මතු වූ විරෝධය ගසාකමින් වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලයට ගෙනඒම සඳහා සෘජුවම දර දිය ඇද්දේය.

පෙසප මෙම ප‍්‍රතිගාමීන් සමඟ එක පෙරමුනකට ගාල් වී ඇත්තේ පෙසපට ඔවුන් සමඟ පොදු එකඟතාවක් පවතින නිසාය. එය වනාහී, අධ්‍යාපනය ඇතුලු සියලු සමාජයීය හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ගේ මූලය වන ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් ඇති කිරීම සඳහා පවතින සතුරුකමයි.

පෙසපයේ මෙම දක්ෂිනාංශික ධනපති පෙරමුනු දේශපාලනය ජාත්‍යන්තර පරිමානවම ව්‍යාජ වම විසින් අනුයන ප‍්‍රතිගාමී දේශපාලන සූත‍්‍රයකින් නිර්නය කෙරී ඇත. එනම් ධනපති ආන්ඩුවල ප‍්‍රහාරයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් ශිෂ්‍යයන් හා දුගීන් කොටුකිරීමට ධනපති කන්ඩායම් ද සම්බන්ධ කරගත් ග‍්‍රීසියේ සිරිසා බඳු පෙරමුනක් ඇටවීමයි. පෙසප විසින් අවිශිබම යොදාගන්නේ එබඳු පෙරමුනක් ඇටවීමේ පිනුම් පිත්තක් ලෙසයි.

එහි පලමු පියවරක් ලෙස සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පෑම සඳහා අවිශිබම විසින් “සයිටම් විරෝධී සිසු-ජන පෙලගැස්ම” නමින් ධනපති සන්ධානයක් කැඳවුයේ ඉහත සියලු ප‍්‍රතිගාමීන් එහි වේදිකාවට කැඳවමිනි. අවිශිබමය ඒ හරහා අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයන් අතරින් පැනනැගී ඇති අව්‍යාජ විරෝධය මුලුමනින්ම ධනපති ව්‍යාපාරයකට කොටුකිරීමට වැඩ කලේය. ජුලි 5 වනදා නුගේගොඩදී සංවිධානය කෙරුනු “සිසු-ජන පෙලගැස්මේ” දෙවන රැලිය ඇමතූ පෙසප නායක දුමින්ද නාගමුව“ශිෂ්‍ය ව්‍යාපාරය ධෛර්ය සම්පන්න ලෙස සයිටම් විරෝධී අරගලය ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. ඒ වෙනුවෙන් මම ඔවුන්ට ආචාර කරනවා.” යනුවෙන් පසසනු ලැබුවේ අවිශිබම විසින් ඉටුකර ඇති මෙම ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපයයි.

එම ව්‍යායාමය වෙනත් තලයකින් පෙරට ගෙනයෑම සඳහා “සයිටම් විරෝධී ජන පවුර” හරහා පෙසප දැන් වැඩට බැසගෙන සිටියි. එහිදී කම්කරුවන් ස්වාධීන අරගලයකට අවතීර්න වීම වැලැක්වීම සඳහා ධනපති නියෝජිතයන් හා එක්ව පෙසප විසින් ඔවුන්ට යෝජනා කරන්නේ පරාජයන් මාලාවකට කම්කරු පන්තිය ඇදදමා ඇති වෘත්තීය සමිති ක‍්‍රියාමර්ගයයි. වෘත්තීය සමිති අද සෘජුවම ක‍්‍රියාත්මක වන්නේ ධනපති ආන්ඩුවල හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උපකරන ලෙසයි. ඒවා කම්කරු පන්තිය අතීත සටන් තුලින් දිනාගත් සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වනසා දමන ධනපති රාජ්‍යයේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ සමාජ ප‍්‍රතිවිප්ලවයට කම්කරු පන්තිය යටත් කරන සංවිධාන බවට පරිවර්තනය වී ඇත.

පෙසප ප‍්‍රමුඛ ව්‍යාජ වම සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහි විරෝධතා ව්‍යාපාරය තුල ආරම්භයේ සිටම ඉටුකර ඇති ක‍්‍රියාකලාපය තුලින් සනාථ කෙරී ඇත්තේ, එය වනාහී අධ්‍යාපන පෞද්ගලීකරනයද කොටසක් වූ සමස්ත ධනේශ්වර ක‍්‍රමයේම අර්බුදය ඉදිරියේ අරගලයට අවතීර්න වන කම්කරුවන් සහ තරුනයන්ට උගුල් අටවන දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපාරයක් බවයි. ඔවුන්ගේ මෙම දක්ෂිනාංශික ගමන් මාර්ගය ධනේශ්වර සංස්ථාපිතය සමඟ විවධ අවස්ථාවලදී සිදුකල පෙලගැසීම් මාලාවක් හරහා සටහන් වී ඇත.

පසුගිය ජනාධිපති මැතිවරනයේදී පෙසප තම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමින් මෛත‍්‍රීපාල සිරිසේනගේ ව්‍යාපාරයට විරුද්ධ බව මවා පෑමට තැත්කල නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතරට යෑමට සිරිසේනගේ උද්ඝෝෂකයින්ට වේදිකා තනාදීම සඳහා අවිශිබමය මෙහෙයවූයේය. එමෙන්ම ව්‍යාජ වාමවාදී වෙස් ගනිමින් ලෝකයේ අනෙකුත් රටවල කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ ධනේශ්වර විරෝධය ගසා කෑ ග‍්‍රීසියේ සිරිසා, ස්පාඤ්ඤයේ පොඩෙමෝස් ආදී ව්‍යාජ වාම ව්‍යාපාරයන් සහ එක්සත් ජනපදයේ පසුගිය ජනාධිපතිවරනයේදී ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට තරඟ වැදුනු බර්නි සැන්ඩර්ස්, බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් ආදී ධනපති නියෝජිතයන් පෙසප විසින් නිරන්තරයෙන් උත්කර්ෂයට නැංවේ. මේ සියල්ලකින්ම නැවත නැවතත් ප‍්‍රත්‍යක්ෂ කෙරෙනුයේ ව්‍යාජ වම යනු ධනපති ක‍්‍රමයට තදින්ම බැඳී සිටිමින් එය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින්නන්ගෙන් සමන්විත වූවක් බවයි.

ධනේශ්වර ප‍්‍රහාරයන්ට මුහුන දී සිටින කම්කරුවන් හා තරුනයන් කල යුත්තේ ලංකාව ඇතුලු දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී විප්ලවයට සටන් කිරීම සඳහා පෙසප හා එබඳු සංවිධානවල බොරු වාම මවා පෑම් ප‍්‍රතික්ෂේප කර ධනපති පන්තියේ සෑම කොටසකින්ම බිඳී සමාජවාදී සමානතා පක්ෂයට හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට බැඳී ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමයි.

Share this article: