බෞද්ධ අන්තවාදීන්ට අනුග‍්‍රහය දෙන ආන්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීමට සැරසෙයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූනි 24

ලංකාව පුරා මුස්ලිම් විරෝධී ප‍්‍රහාර රැසකට නායකත්වය දුන් බවට චෝදනා ලැබ සිටින බෞද්ධ අන්තවාදීන්ගේ බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව බදාදා උසාවියට ඉදිරිපත් විය. මසක පමන කාලයක් තිස්සේ උසාවිය මඟහැර සිටි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම සහ කොටුව මහේස්ත‍්‍රාත් උසාවිවලින් වරෙන්තු නිකුත් කර තිබුනි.

පොලීසිය භික්ෂුවට ඇප ලබාදීම සම්බන්ධයෙන් කිසි විරෝධයක් දැක්වූයේ නැත. ඔහු මුදා හැරීමට පොලීසියේ තදියම කොතරම් නග්න ලෙස ප‍්‍රකාශයට පත්වූයේද යත් ඇප ලබාදීමට විරුද්ධ නොවන්නේ මන්දැයි උසාවියේ පෙනීසිටි පොලිස් නිලධාරියාගෙන් විමසා සිටීමට කොලඹ කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට සිදුවිය. “සැකකාර භික්ෂුව පොලිස් රාජකාරිවලට බාධා කරන බවටත්, පල්ලිවලට ගිනි තබන බවටත්, මුස්ලිම් පවුල් මරා දමන බවටත් භයානක ප‍්‍රකාශ සිදුකර ඇති බවට පොලීසිය මුලදී තමන්ට දැනුම් දී තිබූ බව” මහේස්ත‍්‍රාත්වරයා පැවසුවේය. තමන් “පොලීසිය විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වෙනස් ආකාරය ගැන කනගාටුවට පත් වන බව” ඔහු සඳහන් කලේය.

පොලීසියේ පමනක් නොව ආන්ඩුවේ ඉහලින් අනුදැනුමක් නැතිව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වැලකී මසක් පමන “සැඟවී” සිටීමට ඥානසාර භික්ෂුවට හැකියාවක් නැත. “දිගින් දිගටම සැලසුම් සහගත අයුරින් ආන්ඩුව අපහසුතාවට පත් කරමින් මුස්ලිම් වෙලඳසැල්වලට ප‍්‍රහාර එල්ල කිරීම මැඬලීමට පොලිසියට නොහැකිනම් හමුදාව යොදා හෝ එම තත්වය මැඬලන බව” යයි මසකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගිගුරුවේය.

පසුගිය සතියේ කැබිනට් මන්ඩලය නිකුත් කල නිවේදනයක් මගින් ආගමික අන්තවාදීන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබුනි. ඉන් නොනැවතී අගමැති රනිල් වික‍්‍රමසිංහ ද එම නියෝගය ප‍්‍රතිරාවය කරමින් ප‍්‍රකාශ නිකුත් කලේය. පොලීසිය මේ සියල්ලටම කලින් නිවේදනය කලේ කන්ඩායම් හතරක් යොදා ඥානසාර භික්ෂුව සොයන බවයි.

මේ නිවේදන හා ප‍්‍රකාශ නිකුත් කෙරුනේ, බොබසේ හා එහි නායකයාගේ නග්න ප‍්‍රකෝපකාරී මැදිහත්වීම් නිසා මහජනයා අතර විශේෂයෙන් ම මුස්ලිම් ජනයා අතර පැන නැගුනු විරෝධයන් මධ්‍යයේ උත්සුක වූ ආන්ඩුව තමාම මැදිහත්වී මේ අන්තවාදීන් මැඩීමට යන බවක් මවා පෙන්වීමටයි. පෙරේදා ඥානසාර භික්ෂුවට ඇප ලබා දීමෙන් මේ මවා පෑම කීතුවිය.

ඇප ලබා එලියට ආ ඥානසාර භික්ෂුව ඇතුලු ප‍්‍රකෝපකාරීන් රොත්ත උසාවි භූමියේ උද්දාමයෙන් නිදැල්ලේ සැරිසැරූහ. මෑත සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් භික්ෂුව අත්අඩංගුවට ගන්නා බවට පිටපොට ගැසීම ද අමු පචයක් විය. ඔහුට ඇප ලබා දුන් එක නඩුවක් වූයේ අවුරුදු හතරකට පෙර කොම්පඤ්ඤ වීදියේ මාධ්‍ය හමුවකට පැන සිදු කල ප‍්‍රකෝපකාරිත්වය ගැනයි. අවුරුදු හතරක් පොලීසිය ද අධිකරනය ද කාල් ගාමින් සිටියි. ඥානසාර ඇතුලු අන්තවාදීන්ට ලැබී ඇති වරප‍්‍රසාදය පෙන්වා දෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි බදාදා ප‍්‍රකාශ කලේ “පන්සලක සිටින බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම පහසු නැති” බවයි.

ඥානසාර උසාවියට ඉදිරිපත් වීමට පෙර දා, එනම් ජූනි 20 දා අස්ගිරිය පාර්ශවයේ නායක භික්ෂුව ප‍්‍රමුඛ කාරක සංඝ සභාව ප‍්‍රකාශයක් නිකුත් කලේය. සිංහල ජාතියට හා බුද්ධාගමට තර්ජන එල්ලවී ඇති බවද ආන්ඩුව මේ තත්වයට වගකිවයුතු බවද ඉන් ප‍්‍රකාශ විය. එහි මෙසේ ද සඳහන් කර තිබුනි : “අපි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස් ප‍්‍රකාශන ශෛලිය කිසිසේත් අනුමත නොකරන නමුත්, උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරමු”. මෙම ප‍්‍රකාශය ඥානසාරට හා අන්තවාදීන් ගෙනයන වැඩ පිලිවෙලට දුන් සහතිකයකි.

ආන්ඩුවේ, පොලිසියේ හා බෞද්ධ සංස්තාපිතයේ මේ ක්‍රියා කලාපය හුදෙක් ඥානසාර පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය පෝෂනය කර එහි ආධිපත්‍යයට මහජනයා යටකර තබා ගැනීමට ක්‍රියාකරන ලංකාවේ පාලක පන්තිය භික්ෂුන්ට මුලුමනින් ම පාහේ මුක්තිය ලබාදී ඇත. බෞද්ධ මහා නායකයන් තර්ජනාත්මකව ඉල්ලන්නේ බුද්ධාගමේ අධිපතිවාදී තත්වයට අත නොතබන ලෙසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මෙන්ම වත්මන් ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහගේ ආන්ඩුව බොබසේ ඇතුලු සිංහල අන්තවාදීන්ට නිදැල්ලේ ක්‍රියා කිරීමට අනුග‍්‍රහය දුන්නේය. ඥානසාර බොබසේ හදන තෙක්ම, වත්මන් ආන්ඩුවේ මෙන්ම රාජපක්ෂ පාලනයේද කොටස්කාරයෙක් වන අන්තවාදී ජාතික හෙල උරුමයේ නායකයෙකු විය. ඔහු අලුත්ගම මුස්ලිමුන්ට පහරදීම ඇවිස්සීමෙන් පසු රෝහල් ගතවූ බොබසේ ප‍්‍රකෝපකාරීන්ගේ සුවදුක් විමසීමට හෙල උරුමයේ නායක ඇමති චම්පික රනවක කලුතර නාගොඩ රෝහලට ගියේ ඔවුන්ට තම අනුග‍්‍රහය දැක්වීම සඳහාය.

වර්ගවාදී ප‍්‍රකෝපකරනයන් දඩමීමා කරගෙන දේශපාලන විරුද්ධවාදීන්, කම්කරු පන්තිය ඇතුලු කවර පාර්ශවයකින් වුව මතුවන විරෝධතා මැඩීමට ආන්ඩුව මාන බලමින් සිටියි. අගමැති වික‍්‍රමසිංහ ගිය සතියේ පැවසුවේ “ආගමික සහ වාර්ගික ප‍්‍රචන්ඩත්වය නතර කිරීම සඳහා අවශ්‍ය වුවහොත් නව නීති ගෙන එන” බවයි. ඉන් ප‍්‍රමුඛ මූලික පියවරක් ලෙස සමාජ ජාලා වෙබ්අඩවි නිරීක්ෂනය සඳහා නව පොලිස් ඒකකයක් පිහිටුවීම යෝජනා වී ඇත. සාමාජ ජාල වෙබ්අඩවි ආන්ඩුවට එරෙහි විරෝධය බහුලව ගොනු වන මාධ්‍යයකි. ආන්ඩුවේ ඉලක්කය වර්ගවාදී කන්ඩායම් නොවේ අරගලයට ඇදෙන කම්කරුවන්, තරුනයන් හා දේශපාලන විරුද්ධවාදීන් ය.

අධිකරන හා බුද්ධසාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු වන ලක්ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් කර ඇති කඩා පැනීම ආන්ඩුවේ දුෂ්ට සූදානම පෙන්නුම් කරයි. ලංකාවේ ඉවන්ජිලිකල් ක්‍රිස්තියානි පල්ලි 166 කට අන්තවාදීන් විසින් පහර දීම ගැන තොරතුරු ඇතැයි රූපවාහිනි වැඩ සටහනකදී ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශයක් “අසත්‍ය” බැවින් “පැය විසිහතරක් තුල සමස්ත ජාතියෙන් සමාව නොගතහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා දැමීමට කටයුතු කරන” බව රාජපක්ෂ ජූනි 17 දා මාන්කුලම්හි පැවති ප‍්‍රසිද්ධ රැස්වීමකදී තර්ජනය කලේය. ඔහු එය අසත්‍ය බව දැනගෙන ඇත්තේ කතෝලික පල්ලියට නායකත්වය දෙන කොලඹ අගරදගුරු මැල්කම් රන්ජිත්ගෙනි. පල්ලිවලට පහර දීම ගැන චෝදනා ඉවන්ජිලිකල් පල්ලියේ වෙබ් අඩවියක ද ප‍්‍රකාශ වී තිබු අතර එම චෝදනා එල්ල වී ඇත්තේ බොබසේටයි.

ආන්ඩුව ද ඇතුලුව පාලක පන්තියේ සෑම කොටසක් ම කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල වලට එරෙහිව රාජ්‍ය මර්දනය මෙන්ම ෆැසිස්ට්වාදී කල්ලි උසිගැන්වීම් සූදානම් කරන බව මෙම විසකුරු වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරේ.

Share this article: