චරිත හේරත්: රාජ්‍ය මර්දන යන්ත්‍රය දැඩි කිරීම ඉල්ලන, රාජපක්ෂ රෙජීමයේ වහලෙක්

විජේ ඩයස් විසිනි., 2017 ජූනි 20

චරිත හේරත් නැමැත්තෙකුගේ ලිපියක් ජූනි 11දා රාවය පත්‍රයේ පලකර තිබුනි. හේරත්, මේ වනවිට, පේරාදෙනිය සරසවියේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස බඩවියත සරිකරගන්නෙකි.

ඔහු එම තනතුරට පල්ලම් බැස්සේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී, මාධ්‍ය අමාත්‍යාංශයේ මහානුභාව සම්පන්න අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස වැජඹෙමින් සිට, එම රෙජීමය පරාජයට පත්වීමෙන් පසුව ය. රාජපක්ෂ ආන්ඩුව තුල හේරත් භාරගෙන තිබූ කටයුත්තවූයේ, රෙජීමයේ සියොලඟ නැහවුනු ලේ පැල්ලම් ඇපිල්ලීම යි.

මාධ්‍ය අමාත්‍යාංශයේ සිටි කාලයේදී ගොඩනගාගත් සම්බන්ධතා ජාලය පාවිච්චියට ගනිමින්, දැනුදු, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල මහා දේශපාලන පන්ඩිතයෙකු ලෙස පෙනී සිටීමට හේරත් ඉඩ පාදාගෙන ඇත. එක දිගටම රාජපක්ෂ පාලනයේ යහගුන හා කෙරුම්කාරකම් වගවර්නනා කිරීමට ඒ හැම අවස්ථාවක්ම ඔහු ප්‍රයෝජනයට ගනී.

වැල යන අතට මැස්ස ගැසීමේ ජඩ පුරුද්ද උරුමකොටගත්, රාවය නිර්මාතෘ වික්ටර් අයිවන්, දැන් දියත් කර ඇති ඊනියා පුනරුද ව්‍යාපාරයේ නව නැම්ම, මෙම ලිපිය පලකිරීමට හේතුව වන්නේ ය. එසේ සැලකිය හැක්කේ, රාජපක්ෂ තන්ත්‍රයට දරදිය ඇදීමේ පෙරමුන ගෙන සිටි රාවය, ඉනික්බිතිව, යහපාලනය බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට කරගැසීමෙන් පසුව, මෙතෙක් අනුගමනය කල පිලිවෙතේ පීලිමාරුකිරීමක් එයින් සටහන් වන නිසා ය.

හේරත්ගේ ලිපියට මාතෘකාව ලෙස යොදාගෙන ඇත්තේ, “මහින්දගේ ආන්ඩුව බුද්ධිමත්, මේ ආන්ඩුව මෝඩයි” යන්න ය. මේ මාතෘකා පාඨයමත් හෙලි කරන්නේ, මේ ලිපියේ ද හේරත්ගේ අනෙකුත් ප්‍රකාශවල ද අඩංගුවන, පන්ඩිතමානී ලෙස පෙනෙන එහෙත් සපුරා ම බොල් ස්වභාවය යි.

“මේ අන්ඩුව මෝඩයි” යන හේරත්ගේ කියමන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන යන පාලනය බලයට පත්කර ගැනීම සඳහා දරදිය ඇද, මේ වනවිට කුජීතව සිටින, සියලු යහපාලන වීරයන්ට අස්වැසිල්ලක් වනවා නිසැක ය. ඒ, ඔවුන්, මහජනතාව මුලා කිරීම සඳහා දියත්කල ව්‍යාපෘතියේ මුලුමහත් ගන්දස්කාරය ආන්ඩුව වටේට රඳවා, තම ධනේශ්වර ගැති ප්‍රතිගාමීත්වය වසංකර ගැනීමට තවත් කඩතුරාවක් ලෙස එය යොදාගත හැකිවන නිසා ය.

අයිවන්ගේ රාවය පත්‍රය කේන්ද්‍රකර ගනිමින් කඳවුරු බැඳගත් යහපාලනයේ දේශපාලන ප්‍රචාරක කසකරුවන්, 2014 වනවිට ආරම්භ කලේ මර ඇඳට ඇදෙමින් පැවැති ධනපති ක්‍රමය රැකදීමේ දුෂ්ඨ ව්‍යාපෘතියකි. මොවුන් විසින් හරස් කෙරුනේ, නිදහස් වෙලඳ කලාපයේදී, හලාවත ධීවර අරගලයේදී හා රතුපස්වල ජල උද්ඝෝෂනයේදී, තුවක්කු උන්ඩවලට මුහුන දෙමින්, රාජපක්ෂ රෙජීමය පමනක් නොව සමස්ථ ධනපති සංස්ථාපිතයම අභියෝගයට ලක්කරමින් වැඩී ආ මහජන ව්‍යාපාරයේ විප්ලවවාදී ගාමකය යි. එතැනදී, මහජනතාව දේශපාලනිකව අවමංගත කිරීමේ අපරාධකාරී අධ්‍යාශයක, රාවයේ ජනරංජන, වියන්ගොඩ, විජේසූරිය, ජයසිංහ සහ සංජීව යනාදීන් ඇතුලත් නඩය නිරතවූහ.

චරිත හේරත් එදා සිටියේ මහින්ද රාජපක්ෂගේ මිනීමරු රෙජීමය කඳවුරේ ය. යහපාලන ආන්ඩුව පිහිටුවීමේදී, ඒ කඳවුරේ කසල ශෝධකයන් හිරිකිතයකින් තොරව ඇමති මන්ඩලයට බඳවා ගැනුනාක් මෙන් ම, දැන් එම පාලනය මහජන අප්‍රසාදයට හා වෛරයට ලක්වෙමින් පවතිනවිට, රාජපක්ෂ රෙජීමයේ ප්‍රචාරක ලේකම්ලාගේ සේවය යහපාලන ගෝසාබද්ධන්ට නැතිවම බැරිවී තිබේ. රාවය කරා හේරත්ගේ ආගමනය පෙන්නුම් කරන්නේ මේ චලිතය යි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ජන-සතුරුභාවයට හේතුව එහි “මෝඩකම” යැයි කීම, එම ආන්ඩුව විසින් රැක දෙනු ලබන ධනපති ක්‍රමයේ ලෝක පරිමානයෙන්ම එලිදරව් කෙරෙමින් පවතින බංකොලොත්භාවය ද ප්‍රතිගාමීත්වය ද ආවරනය කිරීමට ඇති හොඳම ක්‍රමය යයි හේරත් කල්පනා කරයි. එසේම, එම විචක්ෂන ක්‍රමය හොයාදීම මගින්, රාජපක්ෂ ආන්ඩුවේ “බුද්ධිමත්භාවය” පිටුපස සිටි තමන් වැනි බඩජාරි විද්වතුන්ගේ සේවය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ “ගොඩඒම” සඳහා නැතිවම බැරි තුරුම්පුවක් බව කියාපෑමට හේරත් අමතක නොකරයි. රාවය පත්‍රය මේ ලනුව මහජනයාට ගිල්ලවීමේ කොන්ත්‍රාත්තුවට කරගසා සිටී.

ඈත හෝ මෑත ඉතිහාසය සම්බන්ධයෙන් වන විශ්ලේෂනයකට “බුද්ධිමතා හා මෝඩයා” පිලිබඳ න්‍යාය යොදාගැනීම, සමාජ විවරනය සඳහා, තුට්ටු දෙකේ චිත්‍රපට ඇතුලු ඊනියා කලාකෘතිවල වීරයා හා දුෂ්ටයා පිලිබඳ කතා ගොතා දැක්වීමට නොදෙවෙනියැයි නොකියාම බැරි ය. දර්ශනවාදී හේරත්ගේ ආන්ඩු සන්සන්දනයේ බංකොලොත්කමෙහි පදනම එය යි.

මේ ගොබ්බ න්‍යායට පන්ඩිතමානී බවක් ආරෝපනය කිරීමට හේරත් ආලවට්ටමක් ඈඳයි. ඒ නම්, පාලන බලය අත්පත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ අලංකාරික (රෙටොරික්) යොදා ගන්නේ ය යන්නත්, රාජපක්ෂ ඒ අලංකාරික වැඩකිඩ බවට පරිවර්තනය කල අතර අන් සියල්ලන් බලයට පැමිනීමෙන් පසු ඒවා අමතක කලේ ය යන්නත් ය.

හේරත් මෙසේ කියයි, “යහපාලනය කියන එක මම දකින්නේ (රෙටොරික්) හෙවත් අලංකාරිකයක් විදියට. මේ විදියේ දේශපාලන අලංකාරික නිරන්තරයෙන් අපේ සමාජයේ තිබුනා. ලංකාවේ බලය පිලිබඳ කාරනය දිගින් දිගටම ගමන්කලේ මේ විදියේ අලංකාරික හරහා..මහින්ද රාජපක්ෂ යුගය එන්නෙත් යුද්ධය පරාජය කරනවා කියන මතයත් එක්ක. නමුත් අපි ඒක ඉටු කලා.”

හේරත් මේ උපහැරනය ගෙනහැර පාන්නේ, ජේ.ආර්. ජයවර්ධන ධර්මිෂ්ඨ සමාජයක් යන අලංකාරිකයත් යූඇන්පී ආන්ඩුව පරාජය කිරීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග සාමය උදාවයි කියන අලංකාරිකයත් යොදාගෙන බලයට පත්වූවත්, ඒ අලංකාරික ඉටුකිරීමට ඔවුන්ගේ ආන්ඩුව අසමත්වූ ආකාරය උදාහරන ලෙස දක්වමිනු යි. යහපාලනය මෝඩ ආන්ඩුවක් යන නිගමනය ඔහු ඈඳන්නේ ඒ වැලට ය.

මහින්ද රාජපක්ෂ 2005දී බලයට පත්වීම සඳහා, යුද්ධය (එල්ටීටීඊය) පරාජය කරනවා කියන මතයක්, අලංකාරිකයක් ලෙස ඉදිරිපත් කලේය යන්න, තම ඊනියා න්‍යාය “ඔප්පු කිරීම” සඳහා හේරත් අතේ රෝල් කර ඇදබාන කෙප්පයකි. රාජපක්ෂගේ “මහින්ද චින්තනය” යන 2005 මැතිවරන ප්‍රකාශනයේ ඔහු පොරොන්දුවූයේ, සාමය ගෙනඒම සඳහා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග උතුරට ගොස් සාකච්ඡා කිරීමට පවා තමන් සූදානම් බව ය. රාජපක්ෂ පමනක් නොව, එල්ටීටීඊ ය මිලිටරිමය වසයෙන් 2009දී පරාජය කරන තුරුම මැතිවරනවලට මුහුනදුන් හැම ධනපති නායකයෙකුම පොරොන්දුවූයේ සාමය ගෙනඒම සඳහා සාකච්ඡා අරඹන බවට ය.

ඊට හේතුව, යුද්ධය ආරම්භවී ගතවූ වසරක් පාසාම එයින් සිදුවන ජනඝාතන මාලාව හා විලෝපනය අත්විඳි වැඩකරන ජනතාව එකලාව ප්‍රාර්ථනා කලේ, යුද්ධයේ නිමාවක් දක්නට වීම යි. යුද්ධය නිමා කිරීම සඳහා සාම සාකච්ඡා පොරොන්දු නොවී ඡන්දය ගරාගන්ට පුලුවන්කමක් ඒ තතු යටතේ පැවැතුනේ නැත.

ඡන්ද කොල්ලකෑම සඳහා බොරු පොරොන්දු දීම, රාජපක්ෂගේ සුවිශේෂ දුෂ්ට ව්‍යාපෘතියක් නොවී ය. එය, මැතිවරනවලට මුහුන දෙන හා පාලන බලය පතන හැම ධනපති පක්ෂයකටම පොදු ලක්ෂනයකි. ඒ පොරොන්දු ඉටු නොකරන බවත් එය ඡන්දය කොල්ලකෑම සඳහා කරන අමූලික වංචාවක් බවත් දැනදැනම, ධනපති පක්ෂ ඒ පිලිවෙතෙහි යෙදෙන්නේ, ධනපති ක්‍රමය පවත්වාගෙන යාම සඳහා ඔවුන් ඇත්තටම කරන දේ විවෘතව මහජනයා හමුවේ කියාපෑමට ඔවුන්ට නොහැකි නිසා ය; එසේ කිවහොත්, තමන්ට ලැබෙන්නේ ඡන්ද නොව ගල්මුල් බව ඔවුන් දන්නා නිසා ය. කෙසේවතුදු, බලයට පැන ගැනීමෙන් පසුව, මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයෙන් සන්නද්ධව, අද සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කරන්නා සේ හෝ ඊට පෙර පැවැති රාජපක්ෂ පාලනය ද ඇතුලුව සියලු ධනපති ආන්ඩු කලාක් මෙන්, මහජන වෛරයට ලක්වන පිලිවෙත් ක්‍රියාවට දැමීම ද ඊට එරෙහිව නැගෙන විරෝධතා ලෙයින් මැඩීමට රාජ්‍ය දඩබල්ලන් මුදාහැරීම ද හැම ධනපති ආන්ඩුවක ම පිලිවෙත බව, මෙරටත් එරටත් එකසේ ඔප්පු කෙරී ඇත.

මේ තත්වය මගින් ඇති කෙරෙන දේශපාලන අස්ථාවරත්වය හා ගොඩනැගෙන අර්බුදය ජය ගැනීම සඳහා ධනපති රාජ්‍යය ශක්තිමත් කිරීම පාලක පන්තියට ඇති විසඳුමයි. ඒ සඳහා ආන්ඩු මාරුකල යුතුවේ නම්, එය සිදුකිරීමට ඔවුන් පැකිලෙන්නේ ද නැත. මෙවිටදී, ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පංතිය ප්‍රමුඛ නගරබද හා ගම්බද වැඩකරන ජනතාව ද තරුනයින් ද විකල්ප විප්ලවවාදී මාවතකට යොමුවීම වැලක්වීමේ කොන්ත්‍රාත්තුව භාරගන්නේ ව්‍යාජ වාම හා වෘත්තීය සමිති වැනි ධනපති ක්‍රමයට බැඳීගත් සංවිධාන යි. ඔවුන්ට අවශ්‍ය උපදෙස් හා න්‍යායන් සම්පාදනය කරදීමට, ඊනියා බුද්ධිමතුන් හා රාවය වැනි ඊනියා රැඩිකල් පත්තර පඩංගු ඉදිරිපත් වෙති.

චරිත හේරත් තම දේශපාලන විග්‍රහයේ එක තැනකදී, රාවය පත්‍රය හා වික්ටර් අයිවන්, “බුද්ධිමත්ව” දේශපාලනයට මැදිහත්වූ අවස්ථාවක් සිහිපත් කරවයි.

චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙනඒම සඳහා කඹුරා, එහි අවසාන පාලන කාලයේදී තාලය මාරුකල රාවයේ හැසිරීම ගැන හේරත් මෙසේ කියයි: “ආන්ඩුව බිහිකලාට පස්සේ ආයෙමත් ආන්ඩුවෙන් ගැලවෙන්න අවශ්‍ය තැන වහාම හඳුනාගෙන රාවය කතෘවරයා රාවයේ මාර්ගය ඒ දිශාවට හැරෙව්වා”. වර්තමාන ව්‍යාජ වම්මුන්ට උපදෙස් දෙමින් හේරත් ඒ හුස්මට ම කියන්නේ, “සිවිල් සමාජය හා ජනමාධ්‍ය කරන්න අවශ්‍ය, එදා වික්ටර් අයිවන් කල දේ මිසක් වෙන මොකුත් නෙවෙයි,”යනුවෙනි.

රාවය පත්‍රයේ හා වික්ටර් අයිවන්ගේ අතීත චර්යාව හේරත්ගේ විග්‍රහයට හසුවන්නේ බාගෙට ය. ඒ දෙපොලම මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් අනුගමනය කලේ ද කුමාරතුංග කාලයේදී වැනිමවූ බඩ පිනුම් ක්‍රමය යි. රාජපක්ෂ වලව්වේ දංකුඩ කමින් ඔහුට කඹුරමින් සිටි අයිවන්, ඊට එරෙහි වන්ට පටන් ගන්නේ මහජන විරෝධයේ රැල්ල නැගෙන්ට පටන්ගත් විටදී ය. එහෙත් ඔහු බලයෙන් පහකර වෙනත් ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට මාරුවීමට ඔහු කලක් ගත්තේ ය. මාදුලුවාවේ සෝභිතගේ ව්‍යාපාරය හා පුරවැසි බලය සංවිධානය බල මාරුවක් ඉල්ලද්දී පවා, අයිවන් සිටියේ දෙගිඩියාවක ය. ඔහුට සේලයින් ලැබුනේ බලමාරු කුමන්ත්‍රනයට ඇමෙරිකාවේ ඔබාමා පාලන තන්ත්‍රය කෙලින්ම අතදමා ගැනීමෙන් ඉක්බිතිව ය. කුමාරතුංග-ක්ලින්ටන් සම්බන්ධතා සහ ඇගේ නිවසේ පැවති කුප්‍රකට සාකච්ඡා හරහා රාජපක්ෂට එරෙහිව සිරිසේන කෙලින් කරගැනීමෙන් පසුව ය, අයිවන් යහපාලන පෙරලියට කර ගැසුවේ.

දැන්, අධිරාජ්‍යවාදී ආර්ථික හා සමාජ ව්‍යසනයේ ද ලෝක යුද්ධ මූලෝපායේ ද රූල දිගේ අඩි තියන සිරිසේන-වික්‍රමසිංහ ප්‍රමුඛ ධනපති පාලනය, සිංහල, දෙමල හා මුස්ලිම් සියලු ජන කන්ඩායම් අතර සිටින කම්කරුවන්, දුගීන් හා තරුනයින් යන හැම කොටසකගේම වෛරයට ලක්වෙමින් පවතී. අතීත අරගලවල පාඩම් හා අත්දැකීම් මත පිහිටා මහජනතාව, විකල්ප සමාජවාදී වැඩපිලිවෙලක් මත, විප්ලවවාදී මාවතකට යොමුවීම වැලක්වීම පිනිස, මතු අටවන දේශපාලන උගුල කෙසේ, කවර රූපයකින් දොරට වඩම්මන්නේ ද යන්න ගැන කතිකාව දැන් වාම සංවිධාන හා ඊනියා බුද්ධිමතුන් අතර ඇරඹී ඇත. රාවය පත්‍රය වටේ වහවැටී ගත් ඊනියා රැඩිකලුන්ට හේරත් කිට්ටු කරන්නේ මේ තතු යටතේ ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයටත් පත් කිරීමට දහදිය හෙලූ ව්‍යාජ වම්මුන් හා සිවිල් සමාජකාරයන් හිරවී සිටින්නේ ආන්ඩුව, හොරුන් ඇල්ලීමට, ව්‍යවස්ථාව වෙනස් කිරීමට හා ජනමත විචාරයකට යාමට පැකිලෙන්නාවූත් කල්ගන්නාවූත් තත්වය පිලිබඳව මැසිවිලි නැගීමක ය. මේ අතරතුර, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යෙදී ගෙන සිටින්නේ, සමාජ ප්‍රතිවිප්ලවය සඳහා රාජ්‍ය නීති රාමුව හා මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැඩවල ය. හේරත් කියා සිටින්නේ, ඒවා කල්මරන මෝඩ වැඩ බවත් රාජපක්ෂ රෙජීමය කලාක් මෙන් නීතිය යකාට ගියාදෙන් කියා වැඩකිඩ පෙන්විය යුතු බවත් ය.

ජයවර්ධනගේ සිට කුමාරතුංග දක්වා වන ජනාධිපති රෑනම යුද්ධය කෙලවර කිරීමට අසමත්වූ බව කියන හේරත් මෙසේ ද කියයි: “නමුත් මහින්ද රාජපක්ෂ ආවා. ඇත්තටම යුද්ධය කලා. රිටොරික් එක නැවත්තුවා. රිටොරික් එක කතාවක් විදියට කියාගෙන ඒකෙන් ඡන්දෙ ගන්න එකයි, පොලවට බැහලා ඒ වැඩේ කරල විසඳන එකයි දෙකක්”. කොටින්ම කීවොත්, කල යුත්තේ, මරන්න වන සංඛ්‍යාව ගැන නොසිතා වැඩේ දෙන එකයි! මේ හේරත්ගේ න්‍යාය යි.

මහජනතාව ගැන අංශුමාත්‍ර හෝ තැකීමක් නැති, ආත්මාර්ථකාමී හා බඩජාරී මධ්‍යම පන්තික තට්ටුවක මානව විරෝධී දර්ශනයක කථිකයා ලෙස හේරත් නැගී සිටී. රාවය පත්‍රය, ඒ හඬට පිටු විවර කරදීම පෙන්නුම් කරන්නේ ව්‍යාජ වාම සංවිධාන ඒ හඬට කයිතාලම් ගැසීමට හැරෙමින් සිටින බව යි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, කුනුකන්දක් පිපිරුවත්, ගංවතුරක් ගැලුවත්, නායයාමක් සිදුවුනත් යනාදී හැම එකකටම නව නීති සම්මත කිරීමට තප්පු ලන්නේ ද හමුදා බලඇනි යොදවන්නේ ද මේ පිටුබලය සපයන්නන් ගැන විශ්වාසය තබාගෙන ය. වෙනෙකක් තබා සුසන්තිකා ජයසිංහ, තමන්ගේ පදක්කම විකුනන්ට බොරු තර්ජනයක් දැමූ විට ද, ආන්ඩුව එකවර මොරදෙන්නේ අලුත් නීතියක් සම්මත කිරීමට ය.

ආගම් අතර සංහිඳියාව අවුල් කරන පරිදි හැසිරෙන්නන්ට එරෙහිව, වඩාත් දැඩි අලුත් නීති ගෙන ඒමට අගමැති රනිල් වික්‍රමසිංහගේ පිටපොට ගැසීමට නොපැකිල සහාය පලකරන මාධ්‍ය ආමන්ත්‍රනයක් යූටියුබ් වෙබ් අඩවියට මුදාහැරීමට කඩිමුඩියේ පෙරට පැන ගනිමින්, නව සමසමාජ පක්ෂයේ වික්‍රමබාහු කරුනාරත්න, සියලු ව්‍යාජ වම්මුන් වෙනුවෙන් වැඩට බැස ගත්තේ මේ තතු යටතේ ය.

හැම අතකින්ම බුරුල්වූ වයර් ගැට ගසාගෙන, මර්දන යන්ත්‍රය ඉහවහා යන පදමින් මුවහත් කර නොගෙන, ඉදිරියේ එලැඹෙනු නියත කම්කරු-පීඩිත-තරුන ජන අරගලවලට මුහුනදීමේ මගක් නැති බව වටහා ගෙන සිටින පාලක පන්තියක සූදානම් කටයුතු එපරිදි විෂකුරු ය. වැඩකරන ජනතාව හා තරුනයින් ඉමහත් කැපකිරීම්වලට යොමුවෙමින්, නොබියව තර්ජනයට මුහුනදීමට සූදානම පෙන්නුම් කල ද ධනපති ක්‍රමය පෙරලා දමා, තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය දේශපාලන ඉදිරිදර්ශනයකින් හා නායකත්වයකින් තොරවීමේ දැවැන්ත අවාසිය ඔවුහු දරා සිටිති.

කම්කරු පන්තියට හා ගම්බද දුගීන්, තරුනයින් හා ශිෂ්‍යයන් ඇතුලු පීඩිත ජනකොටස්වලට නිවැරැදි දේශපාලන ඉදිරිදර්ශනයක් සම්පාදනය කරගත හැක්කේ, මාක්ස්වාදී ඓතිහාසික භෞතිකවාදී සමාජ විශ්ලේෂනයක පදනම මත ය. චරිත හේරත් හා යහපාලනයට කඹුරන ව්‍යාජ වම්මුන්, “බුද්ධිමතා හා මෝඩයා” පිලිබඳව කතා ගොතන්නේ, ඒ මාවත ගැනීමෙන් මහජනයා වැලකීමට ය. ලෝක ධනේශ්වර පද්ධතියම, ගොඩ ඒගත නොහැකි අර්බුදයක ගිලෙමින් පවතින තතු යටතේ, මානව වර්ගයාගේ ප්‍රගතිය සඳහා තීරනාත්මක වන්නේ, මර ඇඳේ හොවින පද්ධතියටම විකල්පව, සමාජවාදී ලෝක පර්යායක් ස්ථාපිත කරගැනීම ය.

මෙම කර්තව්‍ය සපුරාගනු වස්, මහජන ව්‍යාපාරය බලමුලු ගැන්වීමට අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයෙන් සන්නද්ධව විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාව දැන් මතුව ඇත්තේ අතිශය හදිසිභාවයකිනි. සමාජවාදී සමානතා පක්ෂයේ අරගලය යොමුව ඇත්තේ ඒ ගැටලුව විසඳීම සඳහා ය.

Share this article: