අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් නිදහස් කරනු!
ශිෂ්‍ය මර්දනය නතර කරනු!

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප‍්‍රකාශය, 2017 ජූනි 27

ජුනි 21 දා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් විරෝධතාවයේ යෙදුනු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දකින සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස කියා සිටී.

ඉල්ලීම් ගනනාවක් මත විරෝධතාවයේ යෙදුනු ශිෂ්‍යයන් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුලුවී උද්ඝෝෂනයේ යෙදෙද්දී ආන්ඩුවේ නියෝගයෙන් ප‍්‍රහාරය එල්ල කල පොලීසිය දැන් මෙම දඩයම දියත් කර ඇත. මර්දනය දියත්වී ඇත්තේ අමාත්‍යාංශයට කඩාවැදීම හා රාජ්‍ය දේපලවලට අලාභහානි කිරීම පිලිබඳව චෝදනා කරමිනි. සිසුන් පවසන්නේ තමන්ට පහර දුන් පොලීසිය අලාභහානි සිදුකර තමන් ඊට පැටලවීමට තැත් කරන බවයි.

දඩයම උසි ගන්වා ඇත්තේ ආන්ඩුවයි. විරෝධතාව දක්වන සිසුන්ට ”දොස් නොකියන නමුත් ඔවුන් අශීලාචාර දේශපාලන සංස්කෘතියක ආනුභාවයට හසුවී ඇතැයි” ජනාධිපති සිරිසේන පැවසීය. පොලීසියේ මර්දනයට තමන්ගේ සඥාව දෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ ශිෂ්‍යයන් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුලූ වූයේ කෙසේදැයි වාර්තාවක් දෙන ලෙසට නීතිය හා සාමය පිලිබඳ ඇමතිට නියෝග කලේය. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ප‍්‍රකාශ කලේ සීසීටීවී කමරා මගින් අලාභ හානි සිදුකල සිසුන් හඳුනාගෙන දඬුවම් පමුනුවන බවයි.

මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය ආයතනය රජයට පවරා ගැනීම, පාසල් තුල මුදල් අය කිරීම නතර කිරීම, අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 වෙන් කිරීම හා සෞඛ්‍ය අංශයේ පැන නැග ඇති ගැටලූ විසඳීම සිසු උද්ඝෝෂනයේ ඉල්ලීම් විය.

වීරසේකරට අමතරව, අන්තර්-විශ්ව විද්‍යාල භික්ෂු බල මන්ඩලයේ නායක තම්පිටියේ සුගතානන්ද, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල සිසු සංගමයේ හිටපු සභාපති දිනේෂ් මධුරංග, මොරටුව සරසවියේ ඉන්ජිනේරු පීඨයේ ෆයිසාන් අහමඞ් සහ රාගම වෛද්‍ය පීඨයේ පලමු වසර ඉගෙනුම ලබන දිමුත් ලක්ෂාන් යන අවිශිබම කි‍්‍රයාකාරීන් දැනට අත්අඩංගුවට ගෙන ඇත. දඩයම තවත් පුලූල් කිරීමට නියමිත ය. පොලීසියේ බුද්ධි අංශය සිසුන් බිය වද්දමින් කි‍්‍රයා කරන බවට අවිශිබම චෝදනා කර ඇත. විරෝධතාවයට සම්බන්ධ සිසුන් සියයක් පමන හඳුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ කොට්ඨාශයේ කන්ඩායම් පහක් යොදා ඇති බවත් පොලීසිය පවසයි.

ආන්ඩුව හා එහි මැති ඇමතියෝ, රාජ්‍ය ගොඩනැගිලිවලට කඩා වැදුනු කඩාකප්පල්කාරීන් සේ විශ්වවිද්‍යාල සිසුන් හංවඩු ගසති. එහෙත් සැබෑ කඩාකප්පල් කාරීන් නම් නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කප්පාදු කරමින් සමාජ අයිතීන් උදුරා ගන්නා ආන්ඩුව හා ධනපති පන්තියයි.

ආන්ඩුව ප‍්‍රකාශ කරන අන්දමට සයිටම් ඇතුලූ පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කිරීම, කම්කරුවන්ගේ ගොවියන්ගේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා වැඩි වර්ධනය කිරීමේ ප‍්‍රයත්නයක් නොවේ. එය, තවදුරටත් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් එය ආයෝජකයන්ගේ ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීමට එල්ල කරන ප‍්‍රහාරයකි.

ශිෂ්‍ය විරෝධතා කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල සමග සමපාත වෙමින් ආන්ඩුවේ දේශපාලන අර්බූදය උග‍්‍ර කරතැයි ආන්ඩුව සලිත වී සිටියි. ශිෂ්‍යයන්ට එල්ල කල ම්ලේච්ඡු ප‍්‍රහාරය මෙන්ම සිසු දඩයමේ පරිමාව මගින් ආන්ඩුව පෙන්වා ඇත්තේ ඇවිලී යන ශිෂ්‍ය විරෝධතා තලා දැමීමට ආන්ඩුව තීන්දු කොට ඇති බව පමනක් නොවේ. එය වනාහි, අරගලයට එන කම්කරුවන් හා දුගීන් මැඞීමට පොලිස් මිලටරි විධික‍්‍රම යොදා ගන්න බවට නිකුත් කල අනතුරු ඇඟවීමකි.

ආන්ඩුවේ ප‍්‍රහාරයන්ගේ මූලය වන්නේ ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බූදයයි. එහි කොටසක් ලෙස වර්ධනය වන ලංකාවේ අර්බුදය තුල වත්මන් ආන්ඩුව රාජපක්ෂ ආන්ඩුව නැවතූ තැනින් එහාට යමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ* කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට කැප වී සිටින අතර වර්ධනය වන පන්ති සටන් මැඞීම සඳහා පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම් මත වාරු වී සිටියි. අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවා ඇති ලොව පුරා සෑම පාලක පන්තියක් ම දියත් කර ඇත්තේ කම්කරු පන්තියේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වනසා දමන සමාජ ප‍්‍රති-විප්ලවයකි.

මෙම කොන්දේසි තුල, ආන්ඩුවට හා ධනපතිවාදයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව කම්කරු පන්තියට, ශිෂ්‍යයන්ට හා අවශේෂ පීඩිත මහජනයාට තම අයිතීන් දිනා ගැනීමට හෝ රැුක ගැනීමට හෝ නො හැක.

ශිෂ්‍ය නායකයන් කොන්දෙසි විරහිතව නිදහස් කරන ලෙස බල කරන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි* , අවිශිබමට හා එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප* කිසිදු දේශපාලන සහයෝගයක් නොදෙයි. පෙසප, ඊට පෙර අවිශිබම මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ* මෙන්ම ශිෂ්‍ය සටන් හා ශිෂ්‍ය සටන්කාමිත්වය උත්කර්ෂයට නංවා ඔවුන් ආන්ඩුවලට විරෝධතා එල්ල කිරීමේ දේශපාලනයක කොටුකර ඇත. ධනපති ක‍්‍රමයට ගැට ගැසී සිටින මෙම පක්ෂයේ කි‍්‍රයා මාර්ගය ධනපති ක‍්‍රමය තුල විසඳුම් සෙවීමේ බංකොලොත් ජාතිකවාදයකි. එක්සත් සමාජවාදී පක්ෂය (එසප*, නව සමසමාජ පක්ෂයෙන් කැඩුනු”වමේ හඬ” වැනි ව්‍යාජ-වාම පක්ෂ, ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් වන ජවිපෙ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස* ඇතුලූ අනෙකුත් සමිති නිලධරය මෙම බංකොලොත් වැඩපිලිවෙල උත්කර්ෂයට නංවා ශිෂ්‍යයන් අවමංගත කිරීමට පෙසපට හා අවිශිබමට සහයෝගය දෙති.

අවිශිබම දේශපාලනය පෙන්නුම් කරමින් එහි වැඩබලන කැඳවුම්කරු සිසු දඩයම ගැන මෙසේ කියා ඇත: ”සිසු නායකයින් මෙසේ සියගනන් සිරගත කලත්, තවත් සිසු නායකයින් දහස් ගනන් මේ ශිෂ්‍ය ව්‍යාපාරයට පන පෙවීමට සිටි.” මෙබඳු හුදු සටන් කාමිත්වය පෙන්වීමෙන් හා වඩවඩාත් දැඩි සටන්කාමි කි‍්‍රයාවලට යාමෙන් ධනපති පන්තියේ ප‍්‍රහාර පරාජය කල නොහැක. පසුගිය වසරකටත් වැඩි කාලයක් අවිශිබම මෙම විරෝධතාවල සිසුන් සිර කිරීමෙන් දේශපාලන වාසිය ගෙන ඇත්තේ පාලක පන්තියයි.

ලාභ ගරන ධනපති ක‍්‍රමය තුල කම්කරුවන්ගේ, දුගීන්ගේ හා සිසුන්ගේ අයිතීන් තහවුරු කර ගත නොහැක. මෙම අයිතීන් රැුක ගැනීම හා වර්ධනය කිරීම කල හැක්කේ නිෂ්පාදනය අතලොස්සකගේ ලාභ සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතා ඉටු කිරීමට සමාජවාදී ආකාරයට ප‍්‍රතිසංවිධානය කිරීමෙනි. ධනපති ක‍්‍රමය තුල නිෂ්පාදන බලවේග කි‍්‍රයාත්මක කරන කම්කරු පන්තියටයි ඒවා අත්පත් කරගෙන මෙම විප්ලවවාදී ප‍්‍රති සංවිධානය කල හැකි වන්නේ. කම්කරු පන්තිය දුගීන්, අවශේෂ පීඩිතයන් හා සිසුන් ඇතුලූ තරුනයන් තමන් වටා බලමුලූ ගන්වා ගෙන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම, ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප‍්‍රහාරයට එරෙහිව ඇති එකම විකල්පයයි.

පෙසප අවිශිබමය යෙදාගෙන ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් කම්කරු පන්තිය වෙතට හැරී මෙම දේශපාලන අරගලයේ යෙදීම වැලැක්වීමටයි. සමාජවාදී සමානතා පක්ෂය (සසප* හා එහි තරුන අංශය වන සසජාතශි ඉහත දැක්වු සමාජවාදී විකල්පයට සටන් කරයි. සෑම සරසවියකම සසජාතශි ශාඛා ගොඩනගා ගනිමින් මෙම සමාජවාදී ඉදිරිදර්ශනයට සටන් කිරීමට එක්වන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: