දරුනු කොන්දේසි පනවමින් අත්අඩංගුවට ගත් නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරී සමිති නායකයින්ට ඇප දෙයි

සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 ජූනි 7

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ ත‍්‍රිකුනාමලයේ උසාවියක්, එම පලාතේ රැකියා විරහිත උපාධිධාරී සංගම් නායකයන් හතරදෙනකු බරපතල ඇප කොන්දේසි මත මැයි 29දා නිදහස් කලේ ය. ඔවුන් මැයි 23 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ, උසාවිය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයක් නො තකා නැගෙනහිර පලාත්සභාව (ඊපීසී) ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම හේතුවෙනි. කලින් ශිෂ්‍ය නායකයන් වෙත ලබාදුන් උසාවි නියෝගය ඉරා දමන ලද්දේ යයි ඔවුන්ට දෝෂාරෝපනය කර තිබුනි.

එක් අයෙකුට රුපියල් 200,000ක් පුද්ගල ඇපයක් මත සිසුන් මුදාහල මහේස්ත‍්‍රාත්වරයා දැඩි ලෙස ඔවුන්ට අවවාද කලේ ය. මෙම උපාධිධාරීහු මාස තුනකට වැඩිකලක් තිස්සේ රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයේ යෙදෙති. ඇප මත මුදාහැර තිබුන ද, උසාවියට අපහාස කිරීම, රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම, මහජනයාට හිරිහැර වන සේ හැසිරීම හා අයුතු ජනරාසිය යන චෝදනාවන්ට මුහුන දීමට ඔවුන්ට සිදු වේ.

දින 100කටත් වැඩි කාලයක් තිස්සේ විරෝධතාවේ යෙදුනු මෙම ශිෂ්‍යයෝ, පීඩනය දැඩිකිරීමේ කොටසක් ලෙස ඊපීසීය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට තීරනය කර තිබුනි. එම විරෝධතාව තහනමට ලක්කල උසාවි නියෝගයක් ලබාගැනීමට පොලීසිය කටයුතු කලේ ය. පොලීසිය හා උසාවිය මෙලෙස මැදිහත්වීම, උපාධිධාරීන්ගේ විරෝධය මැඩීමට ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව ගන්නා පියවරවල කොටසකි.

ත‍්‍රිකුනාමල දිස්ත‍්‍රික් නීතිඥ සංගමය උපාධිධාරීන්ගේ ක‍්‍රියාවට එරෙහි වූයේ එය උසාවි නියෝගය උල්ලංඝනය කල බව කියමිනි. එම ආස්ථානයේ අර්ථය වන්නේ, උසාවියට අපහාස කිරීම පිලිබඳ පොලීසියේ කියාපෑමට පිටුබලය දීම යි. එහෙත් මාස ගනනක් තිස්සේ ඇදී යන තරුනයන්ගේ මෙම යුක්තිසහගත උද්ඝෝෂනයට මෙම නීතිඥයෝ සහාය නො දුන් හ.

දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) නායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් විසින් නායකත්වය දුන් නීතිඥ කන්ඩායමක් උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටිය හ. තමිල්වින්හි පල වූ වාර්තාවකට අනුව සුමන්දිරන් කියා ඇත්තේ, උසාවියට අපහාස කිරීම මහේස්ත‍්‍රාත්වරයෙකුට සලකා බැලිය හැක්කේ එය උසාවිය තුල ම සිදුවුවහොත් පමනක් බව යි. ශිෂ්‍ය නායකයන් තමන් අතින් සිදු වූ වැරදිවලට උසාවියේ දී “සමාව අයැදීමට” සූදානම් යයි ඔහු ආයාචනාත්මකව ප‍්‍රකාශ කලේ ය. දෙජාසට අවශ්‍ය වූයේ රාජ්‍යයේ අධිකාරය ආරක්ෂා කිරීම යි. එය කිසිවිටක රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවට සහයෝගය දුන්නේ නැත. සුමන්දිරන්ගේ මැදිහත්වීමේ ඉලක්කය වූයේ, විරෝධතාවේ යෙදෙන සිසුන් දේශපාලනිකව දෙජාස යටතට ගෙන උද්ඝෝෂනය දියකර හැරීම යි. ඊපීසීය දෙජාස හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් හවුලේ පාලනය කරනු ලබයි.

පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ සිටියත්, ආන්ඩුවේ නිල නො වන පාර්ශවකරුවෙක් ලෙස එය ක‍්‍රියාකරන්නේ, එක්සත් ජනපදයේ භූ දේශපාලනික අවශ්‍යතා සමග පෙලගැසීම්වලට, ජීවන කොන්දේසි හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත එය එල්ල කරන ප‍්‍රහාරයන්ට පිටුබලය දීමටයි. දෙජාස ආන්ඩුව ගැන මුහුන බේරා ගැනීමේ “විවේචන ද” ඉඳහිට ඉදිරිපත් කරයි.

පාර්ලිමේන්තුවේ දී දෙජාස නායක ආර්. සම්බන්දන් ඉදිරිපත් කල සංඛ්‍යාලේඛනවලට අනුව උතුරු පලාතේ 4,429ක් හා නැගෙනහිර පලාත තුල 4,500ක් රැකියා නොමැති උපාධිධාරීහු සිටිති. ඔවුන්ගේ රැකියා ඉල්ලා සිටින උද්ඝෝෂනය කරගෙන යන්නේ අනේකවිධ දුෂ්කරතාවන් මධ්‍යයේ ය.

දෙපිරිස ඒකාබද්ධ වී නැතත් යාපනයේ රැකියා විරහිත උපාධිධාරීහු ද එම ඉල්ලීම ම මුල්කරගෙන අඛන්ඩ විරෝධතා ව්‍යාපාරයක නිරත ව සිටිති. යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට වාඩිලාගත් විරෝධතාවක නියැලීමට පෙර, ඔවුන් ද උතුරු පලාත් සභා කාර්යාලයට ඇතුලු වීම අවහිර කරමින් පිකට් වැටවල් හා මිනිස් බාධක යෙදීම්වල නිරත විය.

මැයි 19දා කල සංචාරයකදී අගමැති වික‍්‍රමසිංහ කියා සිටියේ උපාධිධාරීන් 1,000කට ගුරු හා සංවර්ධන සහකාර පත්වීම් ලබාදීම ගැන ආන්ඩුව සලකා බලන බව යි. අනෙකුත් උපාධිධාරීන්ට අත්වන ඉරනම ගැන ඔහු කිසිවක් කීවේ නැත. උතුරු පලාතේ මහඇමති විග්නේස්වරන් ද වික‍්‍රමසිංහගේ වචන ප‍්‍රතිරාවය කලේ ය. එහෙත් පොරොන්දුව තවමත් ඉටු වී නැත.

උතුරු හා නැගෙනහිර පලාත්වල රැකියා විරහිත උපාධිධාරීන් තමන්ගේ ම විරෝධතාවල පාඩම් උකහාගත යුතු ය. ඔවුන් බලාපොරොත්තු වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, වික‍්‍රමසිංහ හා දෙජාස ඔවුන්ගේ යුක්තිසහගත ඉල්ලීමට ඇහුම්කන් දෙනු ඇති බව යි. එහෙත් තහවුරු වී ඇති දෙය වන්නේ, ආන්ඩුවට හෝ එහි සහකරුවන් වන දෙජාස හා අනෙකුත් දෙමල පක්ෂවලට පීඩනය යෙදීමෙන් උපාධිධාරීන්ට කිසිවක් දිනාගත නො හැකි බව යි.

නැගෙනහිර උපාධිධාරී සංගමයේ නායකයන් ව මර්දනය කිරීම, සයිටම් වෛද්‍ය විද්‍යාලයට හා නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට එරෙහි විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂනය මැඩලීමට ආන්ඩුව පොලීසිය මුදා හැරීම සමග සමපාත වේ. එම සිසුන් ව නිරන්තයෙන් කෲර පොලිස් ප‍්‍රහාර, අත්අඩංගුවට ගැනීම් හා උසාවියට ඇදගෙන යාම් ආදියට භාජනය කරනු ලැබේ.

බලයට පත් සියලු ආන්ඩු කරගෙන ගිය කෲර යුද්ධය හේතුවෙන් දරුනු මට්ටමක් අත්කරගෙන තිබුන ද, රැකියා නොමැති උපාධිධාරීන් පිලිබඳ ගැටලුව උතුරට හා නැගෙනහිරට පමනක් සීමා වූ දෙයක් නො වේ. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ඉන් කැඩී ගිය ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) උපාධිධාරී සංගම් දෙකක් අටවා ඇත්තේ ආන්ඩුවට පීඩනය යොදා රැකියා ඉල්ලීමේ වඳ උද්ඝෝෂනයන්ට සිසුන් ව මෙයෙවීමට යි.

උපාධිධාරීන්ගේ ද අනෙකුත් කොටස්වල ද අනවරත ව පවත්නා රැකියා නොමැතිකම පිලිබඳ ගැටලුව, ප‍්‍රගතිශීලී ආර්ථික වර්ධනයක් සම්පාදනය කිරීමට ධනපති පන්තියට නො හැකි කමේ ප‍්‍රතිඵලයකි. ශ‍්‍රී ලංකාව ලෝක ධනේශ්වර අර්බුදයෙන් මිරිකෙමින් තිබේ.

මුදල් අහේනියෙන් හා නය බරින් මිරිකී සිටින ධනපති පන්තිය හා එහි ආන්ඩුව, පිරිහෙමින් පවතින ආර්ථික වර්ධනයට හා අපනයන ඇදවැටීමට මුහුන දෙති. අර්බුදය වැඩ කරන ජනතාව මත පැටවීමට සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන කපාදැමීම හා පුද්ගලීකරනය හා ආන්ඩුවේ වියදම් කපාහැරීම ඇතුලු ප‍්‍රහාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා විරෝධතාවේ යෙදීම වඳ දෙයක් වන්නේ ඒ නිසා ය. උතුරේ හා නැගෙනහිරේ උපාධිධාරීන්, දකුනු පලාතේ තම සහෝදර සහෝදරියන් සමග එක් වී, ධනේශ්වර ක‍්‍රමය තුල විසඳනු ලැබිය නො හැකි තම ගැටලුවට සමාජවාදී විසඳුම සඳහා අරගලයට ඒකාබද්ධ විය යුත්තේ ඒ නිසා ය. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව මෙන් ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය හා ලොව සෑම රටක ම තරුන තරුනියන් මුහුන පා සිටින තත්ත්වය මෙය යි.

සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීම සඳහා, ආර්ථිකය ප‍්‍රගතිශීලී පදනමක ප‍්‍රතිසංවිධානය කලහැකි වන පරිදි ධනේශ්වර පද්ධතියට එරෙහි ව සමාජවාදී විප්ලවයකට නායකත්වය දියහැකි එක ම සංගතික විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය දෙසට හැරීම තීරනාත්මක ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි තරුන අංශය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්, එනම්, ශ‍්‍රී ලංකාවේ හා ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වදී. උපාධිධාරී රැකියා විරහිතයන් ඇතුලු තරුනයන්ගෙන් මෙම අරගලයට එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු.

Share this article: