ඇමරිකාවේ මිසයිල් නාෂක අත්හදාබැලීම උතුරු කොරියාවට අනතුරු ඇවීමකි

US anti-missile test sends warning to North Korea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2017 මැයි 31

උතුරු කොරියාව සමග පැනනැගී ඇති තියුනු ආතතීන් හමුවේ ඇමරිකානු මිලිටරිය 30දා, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් අතර මැදදී විනාශ කිරීමේ සාර්ථක අත්හදා බැලීමක් පැසිෆික් සයුරට ඉහල අහසේදී සිදු කලේය. මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීමට මෙන්ම කුමන හෝ ප‍්‍රති ප‍්‍රහාරයක් සඳහා වන උත්සාහයක් මැඩ පැවැත්වීමට ද ඇමරිකාවට හැකි බව, උතුරු කොරියාවට මෙන්ම චීනයට ද පෙන්වා දීමකි, මෙම අභ්‍යාසය.

අභ්‍යාසය ගැන සුලු විස්තරයක් පමනක් පෙන්ටගනය විසින් නිකුත් කරන ලදී. මාෂල් දිවයින්වල ක්වාජලීන් අටල්ලේ ඇමරිකානු අභ්‍යාස සීමාවෙන් දියත්කල ඩමිය, කැලිෆෝනියාවේ වැන්ඩෙන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ යටි බිම් සිලෝවක සිට විදින ලද නාශක මිසයිලයක් මගින් විනාශ කරන ලදී. නාශකය විසින් දියත් කල “ගොදුරු වාහකය” විසින් පිපිරුමකට වඩා සෘජු ගැටුමක් මගින් මිසයිලය විනාශ කරන ලදී.

ඇමරිකානු මිසයිල් ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ වයිස් අද්මිරාල් ජිම් සිරිංග්, යටිබිම් මෙඩිකෝස් ආරක්ෂක පද්ධතියට “පුදුමාකාර ජයග‍්‍රහනයක් මෙන්ම එම වැඩසටහනේ තීරනාත්මක සැතපුම් කනුවක්” ලෙස ද සාර්ථකවූ අත්හදා බැලීම හුවා දැක්වීය. උතුරු කොරියාව ගැන නිශ්චිතව සඳහන් නොකර ඔහු පැවසුවේ, “සැබෑම අනතුරකට එරෙහිව විශ්වාසනීය වැලැක්වීමේ හැකියාවක් අප සතුව ඇති බව මේ අත්හදා බැලීමෙන් පෙන්නුම් කරන බවයි.”

පුරුද්දක් වශයෙන් ඇමරිකාව විස්තර කරන්නේ බැලිස්ටික් මිසයිල නාශක පද්ධතිය “ආරක්ෂාව” සඳහා බව නමුත් සත්‍යය එහි අනෙක් පැත්තයි. සාමාන්‍යයෙන් කොරියාවට එරෙහිව යොමුකර ඇතත් ඔවුන්ගේ සැබෑ අරමුන, චීනය හෝ රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයකදී පලමු ප‍්‍රහාරයෙන් ඇමරිකාව, සතුරු න්‍යෂ්ටික අවි මුලුමනින්ම විනාශ කිරීමට අපොහොසත් වුවහොත් යොදාගන්නා පෙන්ටගනයේ සැලසුමේ කොටසක් ලෙස මෙය යොදාගැනීමයි. මිසයිල් නාශක පද්ධතිය සැලසුම් කෙරෙන්නේ, ප‍්‍රති ප‍්‍රහාර ලෙස එල්ල කෙරෙන සතුරාගේ ඉතිරි මිසයිල වනසා දැමීමටයි.

පවතින නාශක පද්ධතිය විශාල මිසයිල ප‍්‍රමානයකට මුහුනපෑම සඳහා නොවේ. මේ අවස්ථාවේදී ඔවුන් සතුව ඇත්තේ නාශක මෙහෙයුම් මධ්‍යස්ථාන 36ක් පමනි. ඉන් 32ක් ඇලස්කාවේ ද ඉතිරි 4 කැලිෆෝනියාවේ ද පිහිටුවා ඇත. මේ වසර අවසානයේදී එය 44 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත.

අභ්‍යාවකාශයේ ඉතා ඉහල මට්ටමක ගමන් කරන අයිසීබීඑම් වාහකයක් හඳුනා ගැනීමටත්, කොටුකර ගැනීමටත්, විනාශ කිරීමටත් සම්බන්ධ තාක්ෂනික දුෂ්කරතා මගින්, ඩොලර් බිලියන 36ක වටිනාකමකින් යුත් එම පද්ධතිය වැසී ඇත. මිසයිල නාශක පද්ධතිය 2004 වන විට ක්‍රියාත්මක කල හැකි බව පෙන්ටගනය පවසා තිබුන ද 2014 ජූනියේ සිදු කල අවසන් පරීක්ෂනය ද ඇතුලු කලින් පැවැත්වූ නාෂක පරීක්ෂන 9න් මුලුමනින්ම සාර්ථක වුනේ 4ක් පමනි.

යටිබිම් නාශක පද්ධතිය ඇමරිකාවේ බැලිස්ටික් මිසයිල නාශක පද්ධතියේ එක් අංශයක් පමනි. පහල ආකාශයේ කෙටි දුර ඉලක්ක මිසයිල විනාශ කිරීමට සැලසුම්කල නාවික හමුදාවේ ඒජිස් පද්ධතිය ද තාඩ් නමින් හඳුන්වන අවි ද ගොඩබිම සවිකර ඇති පේට්‍රියට් මිසයිල ද ඊට ඇතුලත්ය. මේවා මතභේදයට තුඩුදී ඇති දකුනු කොරියාවේ සවිකරන තාඩ් හා ජපානයේ සවි කරන බලගතු එක්ස්-බෑන්ඩ් රේඩා පද්ධතීන් ද ඇතුලු, බෙහෙවින් ඒකාග්‍රිත ජාලයක කොටස්ය.

අලුතෙන් පත්වූ දකුනු කොරියානු ජනාධිපති මූන් ජේ, රට තුල ඇති ඇමරිකාවේ බැටරියට තවත් තාඩ් මුදාහැරීම් 4ක් එක් කිරීම පිලිබඳව තමාට දැනුම් දීමට ආරක්ෂක අමාත්‍යාංශය අසමත් වීම ගැන පරීක්ෂනයක් පැවැත්වීමට 30දා නියෝග කර ඇත. මැයි 9දා පැවති ජනාධිපතිවරන කාලයේදී මූන්, තාඞ් ස්ථානගත කිරීමේ විවේචකයෙක් ලෙස පෙනී සිටිය ද ඒවා ඉවත් කිරීමට පොරොන්දුවක් දුන්නේ නැත.

තාඩ් පද්ධතිය දකුනු කොරියාව තුල පුලුල් විරුද්ධත්වයක් පැනනංවා ඇත. ඒවා ස්ථානගත කිරීමෙන් රට, උතුරු කොරියාව හෝ චීනය සමග යුද්ධයට ඇමරිකාවේ සූදානම සමග තවත් සමීප ලෙස එකතු කරයි. චීන භූමිය තුල ගැඹුරට විනිවිදීමට ඇමරිකාවට ඉඩ සැලසෙන තාඩ් බැටරිය සමග ඒකාබද්ධ එක්ස් බෑන්ඩ් රේඩා පද්ධතිය ස්ථානගත කිරීමට බීජිනය යලි යලිත් විරුද්ධත්වය පලකොට ඇත. යුද්ධයක අවස්ථාවකදී චීන මිසයිල් මුදාහැරීමේ මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ තීරනාත්මක තොරතුරු මෙම රේඩා පද්ධතිය තුලින් සැපයෙන අතර ඇමරිකානු මිලිටරියට ඒවා වැනසීමේ හැකියාව අත්කර දෙයි. චීනය දැනටමත් ආර්ථික තලයේදී කොරියානු භාන්ඩ වර්ජනය කිරීම මගින් මීට ප‍්‍රතික්‍රියා දක්වා තිබේ.

ඇමරිකානු හෝ දකුනු කොරියානු මිලිටරිය, නව තාඩ් ස්ථානගත කිරීම් ජනාධිපති මූන් වෙත දැන්වීමට අසමත් වීමෙන් පෙන්නුම් කරන්නේ, රට වොෂින්ටනයේ මිලිටරි සැලසුම් වලට ඒකාග‍්‍ර කරගෙන ඇති තරමයි. උතුරු කොරියාව සමග යුද්ධයක අවස්ථාවකදී පෙන්ටගනය නිරායාසයෙන්ම, අති නවීන ගුවන්, නාවික මිසයිල් හා කාලතුවක්කු පද්ධතීන්ගේ පිටුබලය සහිත මිලියන තුනක් වන සාමාජිකයින්ගෙන් සමන්විත දකුනු කොරියානු මිලිටරියේ මෙහෙයුම් බලය සියතට ගනු ඇත.

දකුනු කොරියාව තුල තාඩ් පද්ධතිය මුලුමනින්ම ස්ථානගත කිරීමට පෙන්ටගනය යොදන උත්සාහය පසෙකින් සිදු කල යටිබිම් නාශක අත්හදාබැලීම, උතුරු කොරියාව සමග යුද්ධය සඳහා ඇමරිකානු මිලිටරිය ක්‍රියාත්මක කරන වැඩපිලිවෙලේ කොටසකි. පසුගිය සතියේ ඇමරිකානු නාවික හමුදාව නිවේදනය කලේ, කොරියානු අර්ධද්වීපය වටා දැනටමත් යොදවා ඇති ඇමරිකාවේ ප‍්‍රහාරක නාවික ඇනියේ ගුවන් යානා හාරක න්‍යෂ්ටික නැව් දෙක සමග එකතු වීමට යූඑස්එස් නිමිට්ස් නෞකාව ද පිටත්කරන බවයි.

කොරියානු දෙරට අතර යුද මුක්ත කලාපය ආසන්නයෙන් දකුනු කොරියානු ප‍්‍රහාරක ගුවන් යානා සමග ඇමරිකානු බී-1බී මූලෝපායික බෝම්බ හෙලන යානා දෙකක් පියාසර කරවමින් 29දා පැවැත්වූ ඒකාබද්ධ අභ්‍යාසය උතුරු කොරියාව විසින් හෙලාදකිනු ලැබින. පියොන්යෑනය එය “න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ” අභ්‍යාසයක් ලෙස හඳුන්වා දුන්න ද වාර්තාවී ඇති අන්දමට බී-1බී යානා දැනට සිදු කරන්නේ, සම්ප‍්‍රධායික බෝම්බ විශාල තොගයක් ගෙන යාමයි.

පෙනී යන පරිදි අභ්‍යාසය, උතුරු කොරියාව සඳුදා පැවැත්වූ අලුත්ම කෙටි දුර මිසයිල අත්හදා බැලීමට ප‍්‍රතිචාරයකි. ඇමරිකාව හා එරට සහචරයින් එය හෙලාදුටුවේය. උතුරු කොරියාව සතු කුඩා න්‍යෂ්ටික අවි තොගය, ඊනියා තර්ජනයක් යයි නිරතුරුව පුම්බා දක්වමින් ඇමරිකාව හා ජාත්‍යන්තර මාධ්‍යය, ඇමරිකානු න්‍යෂ්ටික අවි පද්ධතීන් අත්හදා බැලීමේ හා නවීකරනය කිරීමේ ක්‍රියාවලිය ගැන දක්වන්නේ අවිවේචනාත්මක ප‍්‍රතිචාරයකි. 30දා යටිබිම් නාශක පරීක්ෂනය ගැන මෙන්ම මේ මාසයේ මුල පැවැත්වූ මිනිට්මන් 3 අයිසීබීඑම් අත්හදා බැලීම ගැන දක්වන්නේ එවන් ප‍්‍රතිචාරයකි.

බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික අවි අත්හරින ලෙස තම උතුරු කොරියානු සහචරයාට බලකරන ලෙසට ට‍්‍රම්ප් පාලනයෙන් චීනයට යෙදෙන පීඩනය හමුවේ කොරියානු අර්ධද්වීපයේ ආතතිය උත්සන්න මට්ටමක පවතියි. ට‍්‍රම්ප්ගේ නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, කාලය කෙටි බවයි. චීනය අපොහොසත් නම් ඇමරිකාව උතුරු කොරියාව සමග ගනුදෙනු බේරාගනු ඇත. ඒ මිලිටරි මාධ්‍යයන් තුලිනි.

පීබීඑස් සමග කථාකරමින්, ඔබාමා පාලනයේ ජාතික ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ජේම්ස් ක්ලැපර්, කොරියානු අර්ධද්වීපයේ තත්වය පිලිබඳ අඳුරු තක්සේරුවක් ඉදිරිපත් කලේය. උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිලිවෙලින් ඉවත් වීමේ යථාර්තවාදී ඉඩක් පවතින්නේ දැයි අසන ලදුව ඔහු පැවසුවේ, “මා හිතන්නේ එවැන්නක් සිදු නොවනු ඇති බවයි. නිසැකවම මා සිතන්නේ අප, උතුරු කොරියානුවන් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි අත්හරිනු ඇතැයි සිතීම අයථාර්තවත් ය කියාය. ඒ ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ කාරනයකි.”

ඔහු සිතන හොඳම ප‍්‍රවිෂ්ටය කුමක් ද යනුවෙන් අසන ලදුව ක්ලැපර් පැවසුවේ, “හොඳයි මා සිතන්නේ සාකච්ඡාව බවයි, එසේම මා දන්නවා උතුරු කොරියානුවන් සමග සාකච්ඡා කිරීමේ දිග ඉතිහාසය සාර්ථක එකක් නොවන බව, ඒත් මා හිතන්නේ ව්‍යසනයක් විය හැකි මිලිටරි ගැටුමකට වඩා එය හුඟක් හොඳ විකල්පයක් කියාය.”

එහෙත් ට‍්‍රම්ප් පාලනය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ ද හරියටම මේ සාකච්ඡාය. සාකච්ඡා ඇරඹීමට පෙරම උතුරු කොරියාව, න්‍යෂ්ටික අවි හරනය සඳහා පියවර ගත යුතු බව ඔවුන් අවධාරනය කරයි. උතුරු කොරියාව දන ගැස්සවීමට චීනයට හැකි බවක් පිලිබඳ කිසිදු සලකුනක් නොතිබියදී ඇමරිකාව, විනාශකාරී යුද්ධයක් අවිලී යා හැකි ගැටුම් සහගත මාවතක් විචාරයකින් තොරවම ගනු ලබයි.

Share this article: