මීතොටමුල්ල ව්‍යසනය: විද්‍යාත්මක මූලධර්ම නොතකා දිගුකාලීනව සිදුකල කසල දුර් කලමනාකරනයක ප‍්‍රතිඵලයක්

විජිත් සමරසිංහ විසිනි, 2015 ජූනි 15

පසුගිය අපේ‍්‍රල් 14 වනදා 32 දෙදෙනෙකුට ජීවිත අහිමි කරමින් හා සිය ගනනක් අවතැන් කරමින් කොලඹ මීතොටමුල්ල කසල කන්දේ සිදුවු කිඳා බැසීමට හේතුවුයේ ආන්ඩුව හා මාධ්‍ය මගින් අඟවන ආකාරයේ ඒ හෝ මේ කලමනාකරන දෝශයක් නොව, අනුප‍්‍රාප්තික ආන්ඩු සහ පලාත් පාලන පරිපාලනයන් විසින් දශක ගනනාවක් පුරා, විද්‍යාත්මක මූලධර්ම මුලුමනින්ම නොතකා සිදුකල කසල (දුර්) කලමනාකරනයක ප‍්‍රතිඵලයක් බව කෘතහස්ත විද්වතුන් ගනනාවක් මෑතදී කල කරුනු දැක්වීම වලින් පැහැදිලි වෙයි.

ආන්ඩු ගනනාවක් යටතේ, වසර 30කට ආසන්න කාලයක්, මීතොටමුල්ලේ කසල බැහැර කර ඇත්තේ ප‍්‍රදේශයේ භූ-විද්‍යාත්මක ලක්ෂන, පසේ ස්වභාවය හෝ දේශගුනය පිලිබඳ මොනම තැකීමකින් තොරව බවත්, නූතන ඝන අපද්‍රව්‍ය කලමනා කරන මූලධර්ම කිසිවක් එහිදී අනුගමන කර නැති බවත් මේ විද්වතුන් කරන විශ්ලේෂන වලින් සනාථ වෙයි. තවද, මේ තත්වය මීතොටමුල්ලට පමනක් විශේෂිත නොවේ, ලංකාව පුරාම අපද්‍රව්‍ය බැහැරලන ස්ථාන අතිබහුතරයක් මගිනුත්, මෙවැනිම ආපදා, සෞඛ්‍ය ගැටලු හා පරිසර දූෂනය පිලිබඳ අවදානම බරපතල ලෙස මතුකර ඇත. විද්වතුන්ගේ අදහස් වලින් තවදුරටත් පැහැදිලි වන්නේ, ආන්ඩුව කසල ප‍්‍රශ්නයට කඩිමුඩියේ ගෙන එන විසඳුම් බොහොමයකට ද කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.

කසල කන්ඳ ගිලා බැසීමට ප‍්‍රධාන හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ, තෙත්බිමක් වූ මේ ස්ථානයේ ස්වාභාවිකව පවතින පීට් හා දියලු පස් වලට දරාගත නොහැකි තරම් පීඩනයක් කසල කන්දේ බර මගින් ඇති වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ, නායයාම් අධ්‍යන අංශයේ ප‍්‍රධානියා වන ආර්. එම්. එස් බන්ඩාර පැහැදිලි කලේ ඉතා අඩු දරා ගැනීමේ ශක්තියක් ඇති පීට් ස්තරය “කුනුකන්දේ අධික බර හා පතුලේ ඇති තද පාංශු ස්ථරය අතර තෙරපීම” නිසා අඩුම ශක්තිය ඇති පස්තට්ටුව පිහිටි නිවස්නා ප‍්‍රදේශය හරහා පුපුරා ගිය බවයි. ඇමරිකානු භූ-භෞතික වේදින්ගේ සංගමයේ විද්‍යාඥයෙකු වන ඩේව් පැටලී, බන්ඩාරගේ අදහස තහවුරු කරමින් ප‍්‍රකාශ කර තිබුනේ ප‍්‍රදේශයේ පවතින තෙත් මෝසම් දේශගුනය නිසා කන්ද තුල ගැබ්වන ජලය මගින් ඇති කරන “විවර පීඩනයද” මේ පුපුරා යාම තවත් තීව‍්‍ර කල බවයි. “මේ කසල කන්දේ උස හා ආනතිය පැහැදිලිවම තවදුරටත් දරා ගත නොහැකි මට්ටමක” පැවති බවද ඔහු සඳහන් කර තිබිනි.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු හා මෙගාපොලිස් වැඩසටහනට සම්බන්ධ විශේෂඥයෙකු වන මහේෂ් ජයවීර ප‍්‍රකාශ කර තිබුනේ මොරටුව-කරදියාන, මහනුවර-ගොහාගොඩ වැනි රට පුරා පිහිටි කසල කඳුද මේ ආකායෙන්ම අනතුරු සහිත බවයි.

නූතන ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කලමනාකරනයේ මූලධර්ම පැහැදිලි කරමින්, ලෝක බංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය ප‍්‍රකාශ කර තිබුනේ, කසල බැහැර කරලීම ඝන අපද්‍රව්‍ය කලමනාකරනයේ අවසන්ම පියවර වියයුතු බවයි. “අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙර, ඉන් යලි භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීකරනය කලහැකි සියල්ල ඉවත්කරගෙන, ඓන්ද්‍රීය කොටස කොම්පෝස්ට් කර, අපද්‍රව්‍ය මගින් බලශක්ති ජනනයට යොමුකල හැකි ද්‍රව්‍ය ඒ සඳහා ද යොමුකල යුතු බව” පිලපිටිය තවදුරටත් ප‍්‍රකාශ කලේය.

සනීපාරක්ෂිතව අපද්‍රව්‍ය බැහැරලන ස්ථානයක් (sanitory landfill) වෙත ගෙනයා යුත්තේ මේ සියලූ පියවර ගැනීමෙන් පසුව ඉතිරිවන, මුල් අපද්‍රව්‍ය පරිමාවෙන් 10-20% වූ ප‍්‍රමානයකි. පිලපිටිය හා ජයවීර පෙන්වාදෙන ආකාරයට, සනීපාරක්ෂිත අපද්‍රව්‍ය බැහැරලන ස්ථානයක් යනු, භූගත ජලයට අපද්‍රව්‍ය මිශ‍්‍ර නොවීම, සුරක්ෂිතව මෙතෙන් වායුව රැස්කොට දවාලීම හා අපද්‍රව්‍ය වලින් වායු දූෂනය සිදු නොවීම සඳහා නිවැරදි තාක්ෂනික පියවර යොදා ඇති ස්ථානයකි.

මේ කුමන ක‍්‍රියාවලියක්වත් මීතොටමුල්ල කසල කන්දේ භාවිතා නොවූ බව ලෝක සමාජවාදී වෙබ අඩවිය අපේ‍්‍රල් 14 ව්‍යසනයට පෙර සිටම කල විමර්ශන වලින් පැහැදිලි කර ඇත. ප‍්‍රදේශවාසින් ප‍්‍රකාශ කලේ විවිධ පලාත් පාලන ආයතන වලින් හා සමහර පුද්ගලික සමාගම් වලින් ගෙන එන අපද්‍රව්‍ය, කිසිදු වෙන් කිරීමකින් තොරව කන්දට බැහැරලූ බවයි. කර්මාන්තශාලා වලින් හා වැඩබිම් වලින් ගෙන එන අන්තරායකර අපද්‍රව්‍යද මීට ඇතුලත් විය.

ප‍්‍රතිචක‍්‍රීකරනය කලහැකි අපද්‍රව්‍ය වෙන්කිරීමේ සීමිත පහසුකම් සහිත මධ්‍යස්ථානයක් මීතොටමුල්ලේ කෙටිකලකට ක‍්‍රියාත්මක වූ නමුත්, දිනකට රැගෙන එන අපද්‍රව්‍ය ප‍්‍රමානය සීග‍්‍රයෙන් ඉහලයාමත් සමග එය සම්පූර්නයෙන්ම අකර්මන්‍ය වී, පසුව ඒ සඳහා ඉදිකල සමහර ගොඩනැගිලිද කසල ගොඩට යටවී ගිය බව, ප‍්‍රදේශවාසිහු හා කම්කරුවෝ ප‍්‍රකාශ කලහ.

මීතොටමුල්ල පමනක් නොව, ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය බැහැරලන ප‍්‍රධාන මධ්‍යස්ථාන කිසිවක් සනීපාරක්ෂිතව නිර්මානය කර නැති බව පෙන්වා දෙන ජයවීර සඳහන් කරන්නේ දොම්පේ ප‍්‍රතිචක‍්‍රීකරන මධ්‍යස්ථානයේ පමනක් තරමක් දියුනු ලක්ෂන අඩංගු බවයි. නමුත් වසර 10-15ක කාලයක් තුල කසල මෙටි‍්‍රක් ටොන් 20,000ක් බැහැරලීම සඳහා නිර්මානය කර ඇති දොම්පේ මධ්‍යස්ථානය, දිනකට අපද්‍රව්‍ය ටොන් දහසක් ඉක්මවා ජනනය වන කොලඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පලාත් පාලන ආයතන වල අපද්‍රව්‍ය බැහැර කිරීමට මොනම අයුරකින්වත් ප‍්‍රමානවත් නැත.

ව්‍යසනයෙන් පසුව පවා ආන්ඩුව ඉදිරිපත් කරන විසඳුම් ද මුලුමනින්ම අයථාය, ව්‍යාජය. මෙම විසඳුම් වනාහි මහජන කෝපය ඉවතට හැරවීමේ ප‍්‍රලාපයන් ය. මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව පොරොන්දු වන්නේ, මීතොටමුල්ලෙන් කසල කන්ද ඉවත් කර, ඒ කසල වෙනත් තැනකට ගෙනයන බවයි. විද්‍යාත්මකව සැලකූ කල එය කිසිදු ආකාරයකින් යථාවක් බවට පත්කල හැක්කක් නොවේ. සුමිත් පිලපිටිය ප‍්‍රකාශ කරන්නේ, මේ ස්ථානය සම්බන්ධයෙන් දැන් ගතහැකි එකම විද්‍යාත්මක පියවර වන්නේ “කන්ද ස්ථාවර හා සුරක්ෂිතකර එය ඉදිරි අවුරුදු 15-20 තුල ස්වාභාවිකව ප‍්‍රතිස්ථාපනය වීමට ඉඩ හැරීම” බවයි.

එලෙසම ඝන අපද්‍රව්‍ය අර්බුදයට විසඳුම වශයෙන් වර්තමාන ආන්ඩුව මගින් තොරොම්බල් කරන මුතුරාජවෙල ප‍්‍රදේශයේ පුද්ගලික ආයෝජනයෙන් ඉදිකිරීමට නියමිත අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක ශක්‍යතාවද විද්වත්හු ප‍්‍රශ්න කර සිටිති. මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් ප‍්‍රකාශකලේ, තමන් අපද්‍රව්‍ය දහනය කිරීම කිසිසේත්ම විසඳුමක් ලෙස නොදකින බවයි. “එය විසඳුමක් නොවෙයි, අවසානයේ අපිට කසල දහනයට ඉන්ධනත් වැය කරලා, එයින් සිදුවන දැවැන්ත වායු දුෂනයටත් පිලියම් යොදන්න වෙනවා” යි අල්විස් ප‍්‍රකාශ කලේය.

මේ පිලිබඳව අදහස් දැක්වු පිලපිටිය කියා සිටියේ අපද්‍රව්‍ය දහනය කලත් ඉන් පසුව ඉතිරිවන ටොන් ගනනක් වූ අලු වන රක්ෂිතයක් හා ස්වභාවික කලපුවක් ආශ‍්‍රිතව පිහිටා ඇති මුතුරාජවෙල ප‍්‍රදේශයේ බැහැර කරලීමේදී යලිත් මීතොටමුල්ලේ ඇතිවූ ආකාරයේ අනතුරු දායක තත්වයන් මෙන්ම ඉතා බරපතල පරිසර ගැටලුද ඇතිවිය හැකි බවයි. දැනටමත් කේ.සී.ටී.එච් ලංකා ජෑන් නමැති සමාගමට මුතුරාජවෙල කසල දහන ව්‍යාපෘතිය පවරා ඇත්තේ ලාභා ගරන ආයෝජනයක් ලෙසය.

කෙසේ නමුත්, විද්‍යාත්මක සහ තාර්කික ක‍්‍රමයකට කසල කලමනාකරනය වැඩි දියුනු කරනු වෙනුවට පසුගිය දශක කීපය තුල එය වඩවඩාත් පරිහානියට පත්වෙමින් අර්බුදකාරී තත්වයකට පත්වූයේ මන්ද යන්න සමාජ-ආර්ථික සහ දේශපාලනික වශයෙන් විශ්ලේෂනය කර ගැනීම අත්‍යවශ්‍යය.

1980 ගනන් වල මුල් භාගයේ සිට මහ කොලඹ නාගරික ප‍්‍රදේශයේ ජනගහනය සීග‍්‍රයෙන් ඉහල යද්දී අනුප‍්‍රාප්තික ආන්ඩු මගින් පොදුසේවා සඳහා වූ ප‍්‍රතිපාදන දැවැන්ත ලෙස කපා දැමීම, කොලඹ නගරය තුල ජල සැපයුම, අපජල පරිවහනය, ඝන අපද්‍රව්‍ය කලමනාකරනය යන අංශ අන්තරායකාරී ලෙස බිඳ වැටීමට ප‍්‍රධානතම හේතුවයි. 1980 ගනන්වල මුල සිට ධනේශ්වර පද්ධතිය තුල ගෝලීය වශයෙන් ඇති වූ ලාභ රේට්ටු කඩා වැටීමේ ප‍්‍රවනතාවට ප‍්‍රතිචාරී වශයෙන්, රටක් රටක් පාසා පාලක පන්තීහු ධනපතියන්ගෙන් අය කෙරෙන බදු මුදල් දැවැන්ත ලෙස කපා දැමීම හේතුවෙන්, රාජ්‍ය ආදායම වේගයෙන් පහත වැටෙන්නට විය. මෙහි ක්ෂනික ප‍්‍රතිඵලය වූයේ මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය ඇතුලු මහජන සේවාවන් දැවැන්තව කපා දැමීමයි. ලෝක ධනේශ්වර පද්ධතිය බිඳ වැටීමක් තුලින් ගමන් කරන තතු යටතේ මෙම මහජන සේවා කප්පාදුව වඩාත් වේගවත් කෙරී ඇත. වටහාගතයුතු කරුන වන්නේ මෙම කප්පාදු වනාහි හුදෙක් ඒ හෝ මේ පාලකයාගේ දුබලබවේ හෝ සාවද්‍ය තීන්දුවල ප‍්‍රතිඵලයක් නොව ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික නොහැකියාවේ ප‍්‍රතිඵලයක් බවයි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, මුලුමහත් දේශපාලන සංස්ථාපිතයමත්, ප‍්‍රධාන මාධ්‍ය ආයතන වලත් සම්පූර්න සහාය ඇතිව, මීතොටමුල්ල ව්‍යසනයට හේතුවූ සමාජ-දේශපාලන සාධකයන් මෙන්ම එහි විද්‍යාත්මක පසුබිම ද සැඟවීමේ ප‍්‍රයත්නයක යෙදී සිටි. ව්‍යසනයට හේතු වූ කරුනු සෙවීමට යයි පත්කල ඒකපුද්ගල ජනාධිපති කොමිසම යනු, ව්‍යසනය සම්බන්ධයෙන් ආන්ඩුවේ වගකීම සහ ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික නොහැකියාව වසන් කර ජනතාවගේ අතෘප්තිය වෙනතකට හැරවීමේ වහන්තරාවක් පමනි.

සමාජවාදී සමානතා පක්ෂය විසින් මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳව දියත්කර ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනය, ඊනියා ජනාධිපති කොමිසමේ පරීක්ෂනයට මුලුමනින්ම ප‍්‍රතිකූලය. එම පරීක්ෂනයේ අරමුන වන්නේ, මීතොටමුල්ල ව්‍යසනයේ විද්‍යාත්මක හේතු විශ්ලේෂනය කරන අතරම එයට හේතු වූ වඩාත් ගැඹුරට දිවයන ආර්ථික හා දේශපාලන මූලයන් මතුකර ගනිමින්, ඝන අපද්‍රව්‍ය කලමනාකරනය ඇතුලු මහජන සේවාවන් නගාලිය හැකි විප්ලවවාදී විසඳුමක් කම්කරු පන්තිය හමුවේ තැබීමයි.

Share this article: