මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම - හතරවන කොටස: පොලීසිය හා සමාගම කම්කරුවන්ට එරෙහිව කුමන්ත‍්‍රනය කරති

The frame-up of the Maruti Suzuki workers—Part 4: The police and company conspire against the workers

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි , 2017 අප්‍රේල් 26

පසුගිය මාසයේ -අලුතින් සංවිධානය වූ මරුති- සුසුකි කම්කරු සමිතියේ (එම්එස්ඩබ්ලිව්යූ) සමස්ත සාමාජිකත්වය ද ඇතුලු ව උතුරු ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ පිහිටි මෝටර් රථ පිරිද්දුම් සිදුකරන මරුති සුසුකි මනේසාර් කම්හලේ කම්කරුවන් 13 දෙනෙකු ගොතන ලද මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ලැබී ය.

එම කම්කරුවන්, ජපානයට අයිති මෝටර් නිෂ්පාදන සමාගමේ, ඉන්දීය පොලීසියේ, උසාවියේ සහ දේශපාලන සංස්ථාපිතයේ නෛතික වෛරය පිරිමැසීමක ගොදුරු බවට පත් ව ඇත්තේ ආන්තික සූරාකෑමේ වැඩ කොන්දේසිවලට පවතින කම්කරු විරෝධය විරේක කිරීමේ එල්ලයක් සහිතවය. 2012 ජූලි 18 දිනට මාස 18කට පෙර කලමනාකාරීත්වය විසින් උසිගන්වන ලද කලහකාරීත්වයක් හා වැඩපොලින් දොට්ට දැමීමක් මෙම බොරු චෝදනා ගෙතීමට ව්‍යාජ නිමිත්ත බවට පත්කරගත් අතර, මනේසාර් කම්හල, ඉන්දියාවේ දිල්ලි අගනුවර පර්යන්තයේ පිහිටි සුවිසල් මනේසාර්-ගුර්ගඔන් කාර්මික තීරුවෙහි කම්කරුවන්ගේ විරෝධයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබුනි.

මෙම ලිපිය, සමාගම හා පොලීසිය අතර කුමන්ත‍්‍රනකාරී එකඟත්වය, ගොතන ලද හා පුරුදු කරන ලද සාක්ෂි යොදාගැනීම සහ චෝදනා ඔප්පු කිරීමේ බර චෝදකයා වෙතින් කම්කරුවන් මතට මාරු කල අධිකරනමය තීන්දු ඇතුලු බොරු නඩුවල මානය හෙලිදරවු කිරීම වෙනුවෙන් පලකරනු ලබන ලිපි මාලාවක හතරවන කොටස යි. පලමුවැනි කොටසට, දෙවැනිකොටසට, තුන්වන කොටසට පිවිසීමට.

නඩු විභාගයේදී, 2012 ජූලි 18 කොලාහලය හා ගින්න ගැන පොලිස් පරීක්ෂන “ව්‍යාජ, වංක, අභිප්‍රේරිත හිතා මතා ගොතන ලද” බවට කුමන්ත‍්‍රනයට ලක් වූ සමහර මරුති සුසුකි කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥ ව්රින්දා ග්‍රෝවර් විදහා දැක්වීය.

මුල සිටම, ජූලි 18 සිද්ධිය තෙක් දිග්ගැසුනු මාස 14 ක කාලය තුල මරුති සුසුකි කම්කරුවන් විසින් දියත් කල ක‍්‍රියාකාරකම් හා විරෝධතා මැඩ ලීමට දිගින් දිගටම යෙදවුනු පොලීසිය නීත්‍යානුකූල නොවන ආකාරයට සමාගම සමග දුස්සංධාන ගත විය. වැඩිදුරටත්, අවසානයේදී විනිසුරු ගෝයල්ට පවා පිලිගන්නට සිදුවූ අන්දමට කම්කරුවන්ට එරෙහිව පොලීසිය සාක්ෂි ගෙතුවේය. සුදුසු විමර්ෂන ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට අසමත් වූ ඔව්හු මූලික අධිකරන පරීක්ෂන සඳහා චෝදනා ලත් ආයුධ ඇතුලත් කම්කරුවන්ට එරෙහි වැදගත් “සාක්ෂි” කොටස් ඉදිරිපත් කිරීමට ද ක‍්‍රමානුකූලව අසමත් වූහ.

මනෙසාර් කම්හලෙහි ගැටුම හා ගින්න අවසන්ව පැයක් ඇතුලත, එනම් ජූලි 19 දින උදේ පාන්දර, අත් අඩංගුවට ගත යුතු කම්කරුවන්ගේ ලැයිස්තු දෙකක් මරුති සුසුකි කලමනාකරනය විසින් පොලීසියට ඉදිරිපත් කල අතර, පොලීසිය, ව්‍යාජ ස්වාධීන විමර්ෂනයක් පවා නොමැතිව, දැවැන්ත අත් අඩංගුවට ගැනීම් ආරම්භ කලේය.

සිර ගත කල කම්කරුවන් නඩු විභාගයට ගෙන යමින්

ඔහු සිද්ධිය ඇසින් දුටුවෙක් නොවුනත් හා නම් කරන ලද කම්කරුවන් කිසිවෙකුත් “පෞද්ගලිකව නොදන්නා” වුවත්, චෝදනා ලද ප‍්‍රහාරයට සහභාගී වූ කම්කරුවන් ගනනාවකගේ ලැයිස්තු තමන් පිලියෙල කල බව, අසල පිහිටි ගුරුග‍්‍රම් (ගුර්ගෝවන්) දෙවන මරුති සුසුකි කම්හලේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර කලමනාකරු, නිතින් සරස්වත් උසාවියේදී පිලිගත්තේය. “පොලිස් පරීක්ෂක ඕම් පර්කාෂ් වෙත ලබා දුන්” මෙම ලැයිස්තුවලට කම්කරුවන් 89 ක ගේ නම් ඇතුලත් ව තිබූ අතර පොලීසිය තමන්ගේ පලමු විමර්ෂන වාර්තාව එලි දක්වන විට මනෙසාර් කම්හලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන දීපක් ආනන්ද් එම නම් ගැන ඇඟවුම් කර නොතිබිනි.

මෙම 89 දෙනා අත් අඩංගුවට ගත් පසු, සමාගම සමග තමන්ගේ දුස්සංධානය ඉතා විනිවිද පෙනෙන සුලු නිසා පොලීසිය කලබල විය. ඔවුන්ගේ ප‍්‍රතිචාරය වූයේ සාක්ෂි ගෙතීමය. සමාගමේ හුදු කට වචනයක් මත කල දැවැන්ත අත් අඩංගුවට ගැනීම්වල සත්‍යය වසන් කිරීමට, 89 දෙනා ගැන ඇඟවුම් කරන “ඇසින් දුටු සාක්ෂිකරුවන්” සෙවීම ඔව්හු ආරම්භ කලහ. ඔවුනට එරෙහිව සාක්ෂි දීමට කොන්ත‍්‍රාත් සේවකයන් හතර දෙනෙක් පසුකාලීනව ඉදිරිපත් කිරීමට මරුති සුසුකි සමාගම් කලමනාකරනයේ ආධාරය ලැබුනු බවට සැකයක් නැත.

නඩු විභාගයේදී, මෙය අනාවරනය විය. යාද් රාම්, විරේන්දර්, අශෝක් රානා හා රාකේෂ් නම් වූ කොන්ත‍්‍රාත් සේවකයන් කිසිවෙකුට 89 දෙනාගෙන් කිසි කෙනෙක්ව හඳුනාගත නොහැකි බව ඔප්පු විය. වැඩිදුරටත්, කම්කරුවන් බරපතල අපරාධයක් කල බව අඟවමින් පොලීසිය ඔවුන්ගේ ප‍්‍රකාශ ගෙතූ බව පෙන්වා දීමට විත්තියේ නීතීඥයාට හැකි විය. කම්කරුවන්ගේ නම් අකාරාදියේ පිලිවෙලට ව්‍යාජ සාක්ෂිකරුවන්ට වෙන් කර දී තිබුනි. මරුති සුසුකි කලමනාකරුවන්ට පහර දුන් බවට සාක්ෂි දුන් යාද් රාම් දුටු කම්කරුවන්ගේ නම් Aසිට D තෙක් අකුරුවලින් පටන් ගත් නම් තිබූවන් විය. විරේන්දර් දැක තිබූ කලහකාරී කම්කරුවන්ගේ නම් ආරම්භ වූයේ K සිට P තෙක් අකුරුවලින් වූ අතර අශෝක් රානා R සිටS තෙක් අයවලුන් වූ අතර රාකේෂ් දුටුවේ ඉංග‍්‍රීසි හෝඩියේ අවසන් අකුරුවලින් ඇරඹුනු නම් තිබූ අය විය.

විශ්වාස කල නොහැකි සේ, කම්කරුවන් අකාරාදී පිලිවෙලට කලහකලේ යැයි පවසමින් පැමිනිල්ල එලෙස විස්තර කරන්නට සිතුවේය.

කෙසේවුවත්, පොලීසිය-සමාගම දුස්සංධානය හා සාක්ෂි ගෙතීම ගැන අදෝෂාභියෝගීකාරී ඔප්පුකිරීමකට මුහුන දෙමින්, පැමිනිල්ලේ එකම සාක්ෂිකරුවෙක් සැකකරුවන් හඳුනා නොගැනීම හෝ නිවැරදිව හඳුනා නොගැනීම මත විනිසුරු ගෝයල් 89 දෙනා හා අනෙකුත් කම්කරුවන් 28 දෙනා සම්පූර්නයෙන්ම නිදහස් කරනු හැර වෙනත් විකල්පයක් නොමැති බවට නිගමනය කලේය.

සිරගත කල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කම්කරුවන් විරෝධතාවයක

කම්කරුවන් ව්‍යාජව වරදෙහි පැටලවීමේ දී හා සාක්ෂි ගෙතීමේ දී මරුති සුසුකි කලමනාකරනය සමග පොලීසියේ දුස්සංධානය පෙන්නුම් කරන්නේ පොලීසියේ විමර්ෂනය අසත්‍ය බවත් සම්පූර්න නඩුව ම ඉවත දමන්නට හේතු සපයන බවත් යැයි විත්තියේ නීතීඥයෝ තර්ක කලහ.

මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අධිකරනමය මූලධර්ම උල්ලංඝනය කෙරෙන ව්‍යාජ තර්කනයන් මත පදනම් වෙමින් (ඊලඟ කොටසේදී අපි එම තර්කනයන් විග‍්‍රහ කරමු) විනිසුරු ගෝයල් විත්තිය බේරාගැනීමට ඉදිරිපත් විය. දහයියාවලින් තිරිඟු වෙන්කර ගන්නා සේ පොලීසියේ අනීතික ක‍්‍රියාකලාපයන් පැමිනිල්ලේ ඉතිරි කොටසින් වෙන්කර ගත හැකි යැයි ඔහු නියම කලේය.

පොලීසිය ප‍්‍රධාන සාක්ෂි පරීක්ෂා කරන්නට අසමත් වෙයි.

නඩු විභාගයේදී, සාක්ෂිවලට අවශ්‍ය ප‍්‍රධාන කොටස්වල අධිකරන පරීක්ෂන පවත්වන්නටත් හා එසේ නැතිනම් සම්මත විමර්ෂනාත්මක ක‍්‍රියාපිලිවෙලවල් අනුගමනය කරන්නටත් ඔවුන් අසමත් වුන බව පොලිස් සාක්ෂිකරුවෝ නොයෙක් විට පිලි ගත්තේය.

ගින්න ඇතිකිරීමට පාවිච්චි කලේ යැයි ඔවුන් අඟවන ගිනි පෙට්ටියෙහි ඇඟිලි සලකුනු ලබා ගන්නට පොලීසිය අසමත් විය. ඒ හා සමානවම, සමාගමේ කලමනාකරුවන්ට පහර දීමට කම්කරුවන් විසින් පාවිච්චි කලේ යැයි පොලීසිය හා පැමිනිල්ල ප‍්‍රකාශ කරන ආයුධ ඇඟිලි සලකුනු සඳහා ඉදිරිපත් නොකරන ලදී. ඒවායේ ලේ පැල්ලම් ඇත්දැයි පරීක්ෂා නොකෙරින.

ප‍්‍රහාරයේදී ප‍්‍රයෝජනයට ගත් බවට චෝදනා කල මෝටර් රථවල දොරෙහි බීම (beams) හා ෂොකර්ස් එකක්වත් අධිකරන පරීක්ෂන සඳහා භාජනය නොකල බව, විමර්ෂනයේ පෙරමුන ගත් පොලිස් පරීක්ෂක පර්කාෂ් ඇතුලුව පැමිනිල්ලේ පොලිස් සාක්ෂිකරුවන් වූ බ‍්‍රාහම් පාල්, ඥාන්ෂ්‍යාම් දාස්, ප‍්‍රාහම් පර්කාශ්, පලම් විහාර් හා රාම් ෆාල් යන සියල්ලෝම සාක්ෂි දුන්හ.

මෙම චෝදනාවට භාජනය වූ ආයුධ කම්කරුවන් ජීවත් වන නිවාසවලින් සොයාගනු ලැබුවේ ඔවුන්ව සිර ගත කිරීමෙන් පසුවය. එවන් සොයාගැනීම් ස්වාධීන පුද්ගලයන් විසින් සාක්ෂි දැරිය යුතු වුවත්, එම සොයාගැනීම් එසේ සාක්ෂි දැරීමට පොලීසිය ක‍්‍රමානුකූලව අසමත් විය.

පොලිස් නිලධාරියෙක් වූ බ‍්‍රහම්පාල් සිංගේ වාචික සාක්ෂියේ මූලික අංගයන් සාරාංශගත කරමින්, විනිශ්චයකාර ගෝයල් මෙසේ ලිවීය: “චූදිතයා විසින් සොයාගන්නා ලද ඇඳුම් විද්‍යාත්මක (අධිකරන) පරීක්ෂන සඳහා යවා නැත... සොයාගැනීමේ ක‍්‍රියාදාමය කුල කිසිඳු අවස්ථාවක කිසිම ස්වාධීන සාක්ෂිකරුවෙක් සහභාගී කර ගෙන නැත. පහරදීමට යොදාගත් ආයුධ පරීක්ෂන සඳහා ඔහු යවා නැත...”

ඒ හා සමානවම, පොලීසිය “අපරාධ ස්ථානයෙන්” සුදුසු ලෙස ද්‍රව්‍ය එකතුකිරීම හා ඒවා පරීක්ෂනය කලේ නැත. “මරුති සමාගමේ නිලධාරීන්ගෙන් සනාථ කරගනිමින් එම අලාභ වූ ද්‍රව්‍යවල ලැයිස්තුවක් (කලමනාකරන කාර්යාලයෙන් ලබා ගත්) සකස් කලේ නැති” බව පොලිස් පරීක්ෂක පර්කාෂ් පිලි ගත්තේය. පොලීසිය “ලැප්ටොප් වැනි පිලිස්සුනු ද්‍රව්‍ය තම භාරයට ගෙන නැත.”

පොලීසිය විසින් අත් අඩංගුවට ගත් කම්කරුවන්ගෙන් අඩකට වඩා නම් ඉන් අනතුරුව “ඈඳනු” ලැබුවේ ව්‍යාජ සාක්ෂිකරුවන්ට බැවින් කම්කරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට සහභාගී කර නොගැනීම පුදුමයට කාරනාවක් නොවේ. මෙම සත්‍යය විමසූ විට, කම්කරුවන් තමන්ට පහර දේ යැයි මරුති සුසුකි කලමනාකරුවන් හා කොන්ත‍්‍රාත් කරුවන් “දරුනු ලෙස බිය වී” සිටි නිසා, පොලීසිය කම්කරුවන් හඳුනාගැනීමේ එවන් පෙරෙට්ටුවකට ඔවුනට කතා නොකල බව පොලිස් පරීක්ෂක පර්කාෂ් ප‍්‍රකාශ කලේය.

මේවා පොලීසියේ “අඩුපාඩු” වලට වඩා වැඩි දෙයක් බව විනිසුරු ගෝයල් තම තීන්දුවේ සඳහන් කල යුතුව තිබුනි. ඇත්තටම මේ “අඩුපාඩු”, ඔවුන් ගෙතූ සාක්ෂි සැඟවීම පෙන්වන ආකාරය ස්ථාපනය කරන ක‍්‍රමානුකූල බවක් පෙනේ.

ජපාන හෝටලයේදී සිදුවූයේ කුමක් ද?

සැබැවින්ම සියලුම මරුති සුසුකි කලමනාකරුවන්ගෙන් ප‍්‍රකාශන ලබා ගැනීමට දින අටක් හා ඔවුන්ව රෝහලෙන් නිදහස් කිරීමෙන් පසු මුලු දින පහක් පොලීසිය පමා වූ බව නඩු විභාගයේදී ඉස්මතු විය. කෝලහාලය හා ගින්න සඳහා අපරාධ වගකීම කම්කරුවන් මත තබන්නට මෙම දිගු හා විස්තර කල නොහෙන පමාව, සමාගමට හා පොලීසියට පොදු කථාන්තරයක් හොඳින් ප‍්‍රබන්ධ කරන්නට ඉඩ සැලසුනු බව විත්තිය තර්ක කලේය.

සමාගම-පොලීසිය දුස්සංධානය ගැන තවදුරටත් ඔප්පු කිරීමක් ලෙස, පොලීසිය විසින් වාර්තා කල තමන්ගේ ප‍්‍රකාශන ලබාදීමට, පැමිනිල්ලේ සමහර ප‍්‍රධාන සාක්ෂිකරුවන් මරුති සුසුකි සමාගමේ අයිතිය ඇති ජපාන හෝටලයට ගිය බව ද ඔව්හු පෙන්වා දුන්හ. වික‍්‍රම් සරීන්, විකුම් ඛජාන්චි, පර්ඩීප් කුමාර් රෝයි, හා විරෙන්ද පර්ෂාද් මෙම ප‍්‍රධාන සාක්ෂිකරුවන්ට ඇතුලත් ය.

නඩු විභාගයේදී, සියලු සාක්ෂිකරුවන් ජපාන හෝටලයේදී පොලීසිය මුන ගැසුනේ ඇයි දැයි පොලිස් පරීක්ෂක ජසිවන්ත් සිං ගෙන් විමසන ලදී. ඔහු මෙසේ පිලිතුරු දුන්නේය. “මෙය ඉහල තලයේ නඩුවක්. සිද්ධියට හවුල් වූ අපරාධකරුවන් සොයා බොහෝ පොලිස් කන්ඩායම් සම්බන්ධ වී සිටිය නිසා, තමන්ගේ සාක්ෂිකරුවන් පොදු ස්ථානයකට යවන මෙන් පොලීසියේ ඉහල නිලධාරීන් මරුති සමාගමට හොඳින් මග පෙන් වූවා. එය අවශ්‍ය නොවන නිසා මෙම පිලිතුර පොලිස් දිනපොතෙහි සටහන් කලේ නෑ.” (අවධාරනය එක් කර ඇත.)

වංචනික වෛද්‍ය වාර්තා

ජූලි 18 කලහයේදී තුවාල වූ කලමනාකරුවන්ට මෙඩන්ටා හා කොලම්බියා ඒෂියා රෝහල් වල හා මරුති සුසුකි සමග ආයතනික වශයෙන් සබඳතා ඇති පුද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර කරන ලදී.

කලමනාකරුවන්ට සිදුවුනා සේ මවා පෙන්වූ අන්දමට බරපතල වූ බොහෝ තුවාල පැමිනිල්ල ඇති කල ඒවා වූ අතර හුදකලා මරනකරු හා කම්කරුවන්ට අනුකම්පාවක් දැක්වූ එකම කලමනාකරු වූ අවිනේෂ් දේව් හැරුනු විට වෙනත් කිසිවෙක් ජීවිතයට තර්ජනයක් වන තුවාල තබා බරපතල තුවාල හෝ ලැබුවේ නැත. තමන් විසින් පරීක්ෂා කරන ලද කලමනාකරුවන් හට සිදු වූ තුවාල ගැන විස්තර කරමින් දොස්තරවරු විසින් පුරවන ලද වෛද්‍ය-නෛතික සහතික පැමිනිල්ලේ ඔප්පු කිරීමට පාවිච්චි කෙරුනි.

කුමන්ත‍්‍රනය සිදු වූ අධිකරන ශාලාව

පොලීසියෙන් ලද විධිමත් ලිඛිත ඉල්ලීමකට ප‍්‍රතිචාර ලෙස එවැනි වෛද්‍ය-නෛතික සහතික කෙටුම්පත් කෙරින.

නඩු විභාගයේ හරස් ප‍්‍රශ්න ඇසීමේදී, පැමිනිල්ලේ ඉතා වැදගත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඇතුලත්ව සාක්ෂිකරුවෝ කිහිපදෙනෙක් තමන් රෝහලකට කිසිසේත් නොගිය බවත් තමන්ගේ නමින් ඇති වෛද්‍ය-නෛතික සහතික බොරු ඒවා බවත් පිලි ගත්හ.

මසුකස නායකයන් හා සමිතියේ ආධාරකරුවන් මාරාන්තික ප‍්‍රහාරයට සම්බන්ධ කරමින් පලමු විමර්ශන වාර්තාවට මුල පිරූ මරුති සුසුකි කලමනාකරු දිපක් ආනන්ද් හා නායක පොලිස් විමර්ෂක ඕම් පර්කාෂ් ඒ අතර විය.

ඔවුන් 2012 ජූලි 18 කෝලාහලය නතර කිරීමට හා ගිනි තබන බවට තර්ජනයට ලක් වූ කලමනාකරුවන් බේරා ගැනීමට මැදිහත් වන විට මරුති සුසුකි කම්කරුවන් ඔවුනට තුවාල සිදු කල බවට, අනෙකුත් පොලිස් නිලධාරීන් සමග, පර්කාෂ් ප‍්‍රකාශ කර තිබුනි. එහි ප‍්‍රතිපලයක් ලෙසට, මරුති සුසුකි කම්කරුවන්ට විරුද්ධව අමතර අපරාධ චෝදනා ගොනු කෙරින.

නමුත් මෙම චෝදනාව සනාථ කිරීමට ඉදිරිපත් කල සාක්ෂි - පර්කාෂ් හා අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ නමින් ඉදිරිපත් කල වෛද්‍ය-නෛතික සහතික - ව්‍යාජ බවට ඔප්පු විය. එනම්, ඒවා පොලීසිය විසින්ම නිෂ්පාදනය කල බවය.

පොලීසියේ අවනීතිය ගැන තවදුරටත් ඔප්පුවීම හමුවේ, විනිසුරු ගෝයල් පොලිස් නිලධාරීන් තුවාල කිරීම සම්බන්ධ චෝදනාවලින් කම්කරුවන් නිදහස් කිරීම ප‍්‍රකාශ කල යුතුව තිබිනි. නමුත්, පැමිනිල්ලේ කාරනාව බේරා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමින් හා කම්කරුවන් බොරු නඩුවලට පටලැවීමේ පොලීසි-සමාගම් දුස්සංධානය ගැන සාක්ෂි සිතාමතාම නොසලකා හරිමින්, ඔහු කඩිනමින් මෙසේ එකතු කලේය. “ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ව්‍යාජ වන නිසාම, පැමිනිල්ලේ සියලූ සාක්ෂිකරුවන්ගේ තුවාල ව්‍යාජ යැයි අදහස් නොවේ.”

Share this article: