ශී‍්‍ර ලංකාව: උතුරෙහි යලි යුද කාලයේ සෝදිසි මෙහෙයුම්

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ චන්ද්‍රසේකරන් විසිනි, 2017 ජූනි 5

ශී‍්‍ර ලංකාවේ පොලීසිය, රහස් පොලීසිය හා මිලිටරිය මැයි 19දා යුද්ධයෙන් ඉරිතැලී ගිය උතුරු පලාතේ යාපනය හා කිලිනොච්චි දිස්ති‍්‍රක්කවලට මායිම් වන පලෙයි ප‍්‍රදේශය තුල වටලෑම් හා සෝදිසි මෙහෙයුම් දියත් කල හ. යාපනය, මහනුවරට සහ කොලඹට යා කරන ඒ-9 මාර්ගය දෙපස පිහිටි කච්චර්වේලි, වෙම්පුඩුකානි සහ මුහමලේ ඇතුලත් ගම්මාන කීපයක් මෙම මෙහෙයුමට ලක් විය.

මෙම මිලිටරි-පොලිස් කි‍්‍රයාකාරකමට 100කට වැඩි සොල්දාදුවෝ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයෝ සහභාගි වූහ. අත්අඩංගුවට ගැනීම් සිදු නො වුනත් ප‍්‍රශ්න කිරීම්වලට භාජනය වීම නිසා මහජනයා භීතියට පත් වූහ.

මෙම මෙහෙයුමට ආසන්නත ම නිමිත්ත යයි කියන ලද්දේ නාඳුනන තුවක්කුකරුවකු විසින් මැයි 18දා මධ්‍යම රාති‍්‍රයේ පලෙයි අසබඩ කච්චර්වේලි ප‍්‍රදේශයේ දී පොලිස් වාහනයකට වෙඩි තැබීම යි. පොලීසිය ප‍්‍රකාශ කලේ, එම අවස්ථාවේ තමන් ඒ-9 මාර්ගයේ මුරසංචාරයේ යෙදෙමින් සිටි බවකි.

පසුදා හිමිදිරියේ මිලිටරි හා පොලිස් නිලධාරියෝ හිටිහැටියේ ප‍්‍රදේශයේ නිවෙස්වලට ඇතුලු වී පිරික්සීම් හා ප‍්‍රශ්න කිරීම් ආරම්භ කල හ. විශේෂයෙන් ම හිටපු එල්ටීටීඊ (දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය) කි‍්‍රයාකාරීන් ව රහස් පොලිස් කන්ඩායම් කිහිපයක ප‍්‍රශ්නකිරීම්වලට භාජනය කරන ලදී. මහජනයාට නිවෙස්වලින් පිටතට යාම තහනම් කරනු ලැබිනි. දරුවන්ට පාසල් යාමට වත් අවසර දුන්නේ නැත. එම ප‍්‍රදේශයන් තුල නිල නො වන ඇඳිරි නීතියක් පැවතුනි.

මහජනයා වෙඩිතැබීම ගැන දැනගත්තේ, පුවත්පත් වාර්තා හා ඡායාරූප පොලීසිය විසින් ඔවුන්ට පෙන්වීමෙන් පසුව පමනි. සිද්ධිය ගැන විමර්ශනය කිරීමට පොලිස් කන්ඩායමක් පත්කල ආන්ඩුව, එම ප‍්‍රදේශයේ සිට පොලීසියට පහර දීමට යමෙක් උත්සාහ කර තිබුනු බව කීවේ ය. මිලිටරිය හා පොලීසිය කිසිවක් සොයාගෙන නැතත් ප‍්‍රදේශය පුරා සෝදිසි කිරීම් නො නවත්වා කරගෙන යති.

පොලිස් වාහනයකට එල්ල වූවා යයි කියන ප‍්‍රහාරය බොහෝසෙයින් සැකසහිත ය. අප සමඟ සාකච්ඡා කල මහජනයා යුක්තියුක්ත ලෙස ම කල්පනා කලේ එවැනි සිද්ධියක් හටගෙන තිබුනත් එය හිතාමතා ම සිදුකල එකක් බව යි.

ආන්ඩුවේ හමුදාවල කි‍්‍රයාකාරකම්හි ඉලක්කය වූයේ එම ප‍්‍රදේශයේ අඛන්ඩ ව පවතින මිලිටරි වාඩිලාගැනීමට විරුද්ධ වන්නා වූත් රැකියා ඉල්ලමින්, යුද අපරාධ පිලිබඳ විමර්ශන සිදු කිරීම හා මිලිටරිය විසින් අල්ලාගෙන සිටින ඉඩම් පෙරලා ලබාදෙන ලෙස සාධාරන විරෝධතා ව්‍යාපාරවල නිරත උතුරේ මහජනයා ව භීතියට පත්කිරීම යි.

මෙම මිලිටරි-පොලිස් පිරික්සුම් අභ්‍යාසය එල්ටීටීඊයට එරෙහි යුද්ධයට පෙර හා යුද්ධය සමයේ සිදුකරන ලද වටලෑම් හා සෝදිසි මෙහෙයුම් වලට සමාන ය. ආරක්ෂක හමුදාවන්ගේ මෙම මැදිහත් වීම හරහා යලි වතාවක් පෙන්වා දුන්නේ, උතුරු හා නැගෙනහිර පලාත් යථා වසයෙන් මිලිටරි පාලනය යටතේ පවත්නා බව යි. “බැරැක්කවලට පමනක් සීමාවන මිලිටරිය” පරිපාලන කටයුතුවලට සම්බන්ධ නො වන බවට ආන්ඩුව කරන කියාපෑම්වලට විපරීත ව මෙම කි‍්‍රයාකාරකම් පිහිටයි.

මෙය වනාහි, මිලිටරිය ආපසු කැඳවාගත යුතු යයි මහජනයා අතර වර්ධනය වෙමින් පවතින මනෝගතීන්ගේ සන්දර්භය යටතේ, මිලිටරියට තම වාඩිලාගැනීම දිගට ම පවත්වා ගැනීම කෙරෙහි වූ තමන්ගේ ම උද්ඝෝෂනයක් තිබෙන බවට වන බොහෝ සිද්ධීන්ගෙන් එකක් පමනි.

මිලිටරිය විසින් අල්ලාගෙන සිටින ඉඩම් දැනට වගාකරමින් සිටින හිටපු එල්ටීටීඊ කි‍්‍රයාකාරීන් පිරිසක් අපේ‍්‍රල් මාසයේ 24, කිලිනොච්චිහි දී විරෝධතාවක් පැවැත්වූයේ එම ඉඩම් උතුරු පලාත් සභාවට නො දෙන ලෙස බලකරමිනි. මිලිටරි මැදිහත්වීමකින් තොර ව එවැනි විරෝධතාවක් සංවිධානය කරනු ලැබිය නො හැක. මෙම හිටපු එල්ටීටීඊ කි‍්‍රයාකාරීහු දැන් මිලිටරිය යටතේ සිවිල් ආරක්ෂක බලකායට සම්බන්ධ වී සිටිති. ඔවුන් පැවැත්වූ විරෝධතාව, ඉඩම් නිදහස් කරන ලෙස මහජනයා ගෙනයන අනවරත උද්ඝෝෂනයට සෘජු ව ම එරෙහි ව පිහිටයි. උතුරු පලාතේ රැකියා විරහිත උපාධිධරයෝ සහ අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීහු මාස ගනනක් තිස්සේ විරෝධතාවන්හි නිරත ව සිටිති.

පොලීසිය ද උතුරු පලාත තුල මර්දනය දියත් කරමින් සිටිති. මැයි 26දා සිදුකල එවන් සිද්ධියක දී යාපනය අසල කයිට්ස්හි පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ, හදිසි අනතුරක් හේතුවෙන් සිදු වූ මරනයකට විරෝධය පාමින් සිටිය දී ය.

උතුරේ හා නැගෙනහිරේ වැඩකරන ජනයා අතර වැඩෙන අසහනය දකුනේ ප‍්‍රදේශවල විරෝධතා සමඟ සමපාත වීමෙන් මතුකරන අන්තරාය ගැන ආන්ඩුව හොඳින් ම දැනුවත් ය. දිනපතා ම පාහේ කම්කරුවෝ, ගම්බද දුගී පුද්ගලයෝ සහ ශිෂ්‍යයෝ සහනාධාර කැපීම, පුද්ගලීකරනය, ඉඩම් පිලිබඳ ගැටලූ, වැටුප් ඉල්ලීම් හා අධ්‍යාපනය මත එල්ල කරන ප‍්‍රහාරවලට විරුද්ධ විරෝධතාවන්හි නියැලෙති.

ඕනෑ ම කැලඹිල්ලක් මර්දනය කිරීමේ එල්ලය ඇති ව ආන්ඩුව අවධාරනය කොට තිබෙන්නේ, තමන් උතුරින් හා නැගෙනහිරින් කිසිසේත් ම මිලිටරිය ඉවත් කර නො ගන්නා බව යි. එය, ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට පහර එල්ල කිරීමටත්, දකුනේ කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අරගල තලා දැමීම සඳහා ඒකාධිපති පාලනයකට මාරු වීමටත් මාන බලයි.

“එල්ටීටීඊ ත‍්‍රස්තවාදය” යලි හිස එසවීමට යත්න දරන්නේ යයි කියමින්, ආයුධ සොයාගැනීම සහ සැකකටයුතු ව්‍යාපාරවල නිරත බෙදුම්වාදීන්ගේ පෝස්ටර අලවා තිබීම ආදිය පිලිබඳ ප‍්‍රවෘත්ති විටින් විට ප‍්‍රචාරනය කරනු ලැබේ. මිලිටරිය, ආන්ඩුව හා ස්වෝත්තමවාදී කන්ඩායම් එවැනි ප‍්‍රචාරනයන් වහ වහා ම ගසාකන්නේ දෙමල-විරෝධී වර්ගවාදය ඇවිලවීම සඳහා ය. ආන්ඩුවට හා පාලක පන්තියට කම්කරු පන්තිය බෙදීම සඳහා එවන් ප‍්‍රචාරනයන් අවශ්‍ය කෙරේ.

කොලඹ ආන්ඩුවේ හා මිලිටරියේ චලනයන්හි ප‍්‍රධානතම සහකරුවා වන්නේ දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා අනෙකුත් දෙමල පක්ෂයන් ය. උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ආපසු කැඳවීමක් තමන් ඉල්ලා නො සිටින බව අවධාරනය කර ඇති දෙජාස, ඔවුන් ව බැරැක්කවලට සීමාකර තබන ලෙස ආන්ඩුවට ආයාචනා කරයි. කම්කරුවන් හා දිලිඳු ජනයා අතර වැඩෙන අසහනය ගැන භීතියට පත් ව සිටින ඔවුන්ට, ජනතාව මර්දනය කිරීම සඳහා එම හමුදාවන් තබාගැනීම අවශ්‍ය කෙරේ.

ශී‍්‍ර ලංකා හමුදාවන් දෙමල සිවිල් වැසියන් දහස් ගනනක් මරා, එල්ටීටීඊ නායකයන් හා කි‍්‍රයාකාරීන් ව සමූලඝාතනය කොට “යුද ජයග‍්‍රහනය” ප‍්‍රකාශයට පත්කල මුල්ලිවෛක්කාල්හි දී මැයි 18දා සැමරුම් උත්සවයක් පවත්වනු ලැබී ය. එහි දී කතාකල උතුරු පලාත් මහඇමති සී. වී. විග්නේස්වරන්, මිලිටරිය ආපසු කැඳවා ගන්නා ලෙස බලකරමින් උතුරේ ජනයා වීදිබසින දිනය වැඩි ඈතක නැතැයි වැලපුනි.

ඔහු එලෙස පැවසුවේ මහජනයාගේ අභිලාෂයන්ට ප‍්‍රකාශනයක් දීම සඳහා නො ව, එලඹෙන අන්තරාය ගැන ආන්ඩුවට අනතුරු ඇඟවීමට යි. “කාමරයක ඇති පරිගනකයක් ඉදිරියේ වාඩිවී සැක කටයුතු කි‍්‍රයාකාරකම් පිලිබඳව විමර්ශනය කිරීම වැනි නවීන තාක්ෂනික ක‍්‍රමවේදයන් යොදාගෙන” වෙනත් ස්ථානයක සිට මෙම විමර්ශන කටයුතු දිගට ම කරගෙන යා හැකි යයි ඔහු ආන්ඩුවට උපදෙස් දුන්නේ ය. ඔහු කියා සිටින්නේ මිලිටරි භටයන් සෑමවිට ම යුදබිමේ සිටීම අවශ්‍ය නො වන බව යි.

දෙජාස හා එහි මහඇමති විග්නේස්වරන් සේවය කරමින්නේ එක්සත් ජනපද -ගැති කොලඹ ආන්ඩුවේ අවශ්‍යතාවලට යි. එක්සත් ජනපද භූදේශපාලනික අවශ්‍යතාවලට පිටුබලය දීමේ කොටසක් ලෙස සිරිසේනට බලයට ඒමට උදව් කල දෙජාස, එහි පාලනය ආරක්ෂා කරමින් සිටී. ඔවුන් ආන්ඩුව හා එක්සත් ජනපදයේ අවශ්‍යතා සුරකින්නේ, සොච්චම් වරප‍්‍රසාද ටිකක් අපේක්ෂාවෙනි.

පලෙයි ප‍්‍රදේශය තුල ආන්ඩුවට එරෙහි සන්නද්ධ කන්ඩායම් නොමැති බව ප‍්‍රදේශයේ ජනයා ලෝසවෙඅ වාර්තාකරුවන්ට කියා සිටිය හ. මෙම ප‍්‍රහාරය පොලීසිය හෝ මිලිටරිය විසින් ම සූදානම් කරන්නට ඇතැයි තමන් සිතන බව බොහෝ දෙනා කීහ. “අපි හිතුවේ යුද්ධය ඉවරයි කියල. ඒත් දැන් ආයෙමත් හමුදා මර්දනයට මුහුන දෙන්න සිද්ධ වෙලා” යයි එක් පුද්ගලයෙක් කීවේ ය.

මෙම සිද්ධියෙන් පසුව මහජනයා අඳුර වැටුනු පසු එලියට බැසීමට බිය වී සිටිති. සවස හතෙන් පසු ඔවුහු නිවසින් පිටතට නො යති. මෝටර් බයිසිකල් හා ජීප් රථවලින් මිලිටරිය හා පොලීසිය රාතී‍්‍ර මුරසංචාරයේ යෙදෙන අතරේ මිලිටරි රහස් ඔත්තුකරුවෝ සිවිල් ඇඳුමින් සැරසී එම ප‍්‍රදේශ නිරීක්ෂනය කරති.

මෙම ප‍්‍රදේශවල ජනයා දෛනික වැටුපකට වැඩ කරන කම්කරුවන් හෝ ස්වයං-රැකියාවල නියුක්ත වන්නන් ය. යුද්ධය සමයේ අවතැන්වුනු ඔවුහු සරනාගතයන් ලෙස විවිධ තැන්වලට පලාගිය හ. යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 දී ඔවුන් ව යලි මුල් ගම්මානවල පදිංචි කරන ලදී. ඔවුන්ට ස්ථිර රැකියා හෝ ආදායම් මාර්ග නැත. සුදුසු පාසල් ද එහි නො පවතී. පොලීසියේ හා මිලිටරියේ කි‍්‍රයාකාරකම්වලින් සිදුවන්නේ ඔවුන්ගේ තත්ත්වයන් තව තවත් පහතට ඇද වැටීම පමනි.

Share this article: