රුසියානුවො එනවා! රුසියානුවො එනවා!

The Russians are coming! The Russians are coming!

2017 ජූනි 12

ඔබේ ගරාජයේ විදුලි දොරටුව අනහිටලා ද? ඔබේ සුනඛයා මධ්‍යම රාත‍්‍රියේ හිටිගමන් අවදිවී උඩුබුරලීමට පටන් ගන්නවාද? කාලගුනය අසාමාන්‍ය ආකාරයෙන් උනුසුම්, සීතල, සුලං සහිත, වියලි හෝ තෙත ස්වභාවයකින් යුක්ත ද? ඔබේ රූපවාහිනි (හෝ ශීතකරනය නැතිනම් ශ‍්‍රව්‍ය පද්ධතිය හෝ නිවසේ අනතුරු අඟවන සීනුව) අසාමාන්‍ය ලෙස ක‍්‍රියාත්මක හෝ ක‍්‍රියාවිරහිත වනවාද?

කෙනෙකු අවිවේචනාත්මකව සංගත-පාලිත මාධ්‍ය දෙස බලන්නේ නම් හා නිල වොෂිංටන්, විශේෂයෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂ ප‍්‍රකාශනයන්ගෙන් බොහොමයක් උඩින් මත්තෙන් විමසන්නේ නම්, ඉතා පහසුවෙන්වෙන්ම නිගමනය කල හැකි වන්නේ, උක්ත ප‍්‍රශ්නවලට පිලිතුර වන්නේ රුසියාව විසින් එය සිදුකල බව යි.

එක්සත් ජනපද දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය මානසික ව්‍යාධියකින් පෙලෙමින් සිටී. ඩොලර් ට්‍රිලියන 18ක්, එනම් ලෝක දල ජාතින නිෂ්පාදිතයෙන් සියයට 24.3ක්, ලෝකයේ විශාලතම මිලිටරිය සහ වඩාත්ම තාක්ෂනික සංකීර්නත්වයෙන් සමන්විත ඔත්තු සේවා යාන්ත‍්‍රනය මෙහෙයවන පාලක පන්තියක්, ලෝකයේ දොලොස්වැනියට විශාලතම (එනම් ලෝක දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.8ක් හෙවත් එක්සත් ජනපද ආර්ථිකයෙන් දාහතරෙන් එකකට සමාන) ආර්ථිකයකට හිමිකම් කියන සහ සිලිකන් නිම්නය පිහිටුවා පරම්පරාවකට පසුව පරිගනක යුගයට ඇතුලත්වූ ආන්ඩුවක පවතීයැයි කියන විශ්වව්‍යාපී ග‍්‍රාහක පිලිබඳව තැතිගෙන සිටී.

එක් ඇස්තමේන්තුවකට අනුව, එක්සත් ජනපදයට මිලියන 3.6ක පරිගනක වැඩසටහන් නිර්මානකරුවන් පිරිසක් එනම් ලෝකයේ සිටින එවන් අයගෙන් සියයට විස්සක් සිටී. ඒ හා සසඳන විට රුසියාව සතුව ඇත්තේ අඩමිලියනයක පරිගනක වැඩසටහන් නිර්මානය කරන්නන් පිරිසකි. එක්සත් ජනදය, ලෝකයේ බලගතුම මෘදුකාංග, දෘඩතැටි හා පරිගනක සමාගම්වල නිවස්නයි. රුසියාවේ එකදු තොරතුරු තාක්ෂන සමාගමක් ලෝකයේ දැවැන්තම සමාගම් සියය අතර නැත. එතෙකුදු වුවත්, 2016 එක්සත් ජනපද ජනාධිපතිවරනය අතරතුර රුසියාව ඡන්ද වංචාකිරීමේ යෙදුනේය යන චෝදනා මත එය ගෙනියන උද්ඝෝෂනයේදී ඇමෙරිකානු මාධ්‍ය විසින් සරසා ඇති කතාන්තරයට අනුව, රුසියානු සයිබර් යුද මෙහෙයුම් එක්සත් ජනපද තොරතුරු තාක්ෂන පද්ධතිය බටර් කුට්ටියක් කපාගෙන යන පිහිතලයක් මෙන් කපාගෙන ගොස් ඇත.

සේවයෙන් පහකල එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී බෘහස්පතින්දා සෙනෙට් බුද්ධිඅංශ කමිටුව ඉදිරියේ පෙනී සිටීම නව අදියරකින් රුසියානු විරෝධී උමතුව උත්සන්න කිරීමකට මග පෑදුවේ ය. එක්සත් ජනපද දේශපාලන පොලිසියේ හිටපු ප‍්‍රධානියා, එක්සත් ජනපදයේ මැතිවරනය තුලදී සිදුකලේයැයි කියන රුසියානු මැදිහත්වීම ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මාරක පහරක් ලෙස හෙලා දුටුවේ ය. “ඔවුන් තෝරා ගැනීමට කැමති ඕනෑම පක්ෂයක් වෙනුවෙන් ඉදිරියට ඒමටත් ඒ වෙනුවෙන් වැඩකිරීමටත් ඔවුන් එන්නයි හදන්නේ...” ඔහු අනතුරු ඇඟවූයේ ය. “ඔවුන් ආපසු ඒවි... ඔවුන් ඇමරිකාව කරා එන ගමන් ඉන්නේ.”

ඔහුව ප‍්‍රශ්න කල එකදු ධනපති දේශපාලඥයෙක්වත් රුසියාව එක්සත් ජනපදයේ මූලික සතුරෙක්ව සිටියේය හෝ රුසියානු පරිගනක අපහරනය එක්සත් ජනපද මැතිවරන පද්ධතියට ප‍්‍රධාන අනතුරක්වීය යන මතයට අභියෝග කලේ නැත. තවද, වෝල්වීදියේ අවශ්‍යතාවන් විසින් එක්සත් ජනපද මැතිවරනවලට ඩොලර් බිලියන ගනන් පොම්ප කිරීම ඇමරිකානු මහජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට වඩාත්ම අනතුරුදායක තර්ජනයක්වීය යන්න ගැන කිසිවෙකු ප‍්‍රශ්න කලේ ද නැත.

සතිඅන්ත මාධ්‍ය වාර්තාවන් තවත් බිහිසුනු අනතුරු ඇඟවීම් එක් කලේ ය. කොමී හා ට‍්‍රම්ප් අතර ඝට්ටනය, වඩාත්ම වැදගත් ප‍්‍රශ්නය වන එක්සත් ජනපදයේ මැතිවරන පද්ධතිය තුල රුසියානු මැදිහත්වීමෙන් “එක්සත් ජනපදයට ඇති කර තිබෙන බියකරු තර්ජනයක්” ඇතයි යන්න යටපත් නොකල යුතුයැයි ඉරිදා දින නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවක් අනතුරු ඇඟවුයේ ය.

ටයිම්ස් පුවත්පතට අනුව, “රුසියානුවන් ඔවුන්ගේ ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ පද්ධතියට ඇතුලුවී ඇතිබව සොයාගෙන තිබෙන ජාතික ආරක්ෂක ආයතනයේ ප‍්‍රධාන මධ්‍යස්ථානයේ සිට ප‍්‍රාන්ත රාජ්‍යවල අගනගර දක්වා පැතිර ඇති බිය දනවන කාරනාව වන්නේ, පසුගිය වසරේ රුසියාව ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විනකැටුවේ කෙසේ ද යන්න හා එය යලිත් සිදුවීම වලක්වන්නේ කෙසේද යන්න නිශ්චය කරගැනීමෙන් අවධානය වෙනතකට හැරේද යන්න යි.”

මොනයම්ම සත්‍ය සාක්ෂියක් නැති තත්වයක් තුල එක්සත් ජනපදයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ සැක සංකාවන් පමනක් උපුටා දක්වමින්, රුසියානු ආන්ඩුවේ පරිගනක අපහාරකයින් මැතිවරන වැඩසටහන්, විද්‍යුත් බල යන්ත‍්‍ර හා අනෙකුත් තීරනාත්මක යටිතල ව්‍යූහයන් සඳහා මෘදුකාංග සම්පාදනය කරන සමාගම් විනිවිද තිබේ යන කාරනය පිලිබඳව ලිපිය යෝජනා කරයි. “උග‍්‍ර කෙරුනු සයිබර් යුදකෙලියක්” පිලිබඳ අනතුරු අගවමින්, කොමීගේ අදහස් දැක්වීම් අතිශයෝක්තියට නැංවූ “විශේෂඥයන්ගෙන්” රුසියානු විරෝධී විවේචන මාලාවක් එය උපුටා දැක්වුයේ ය.

එයටත් වඩා කර්ශකවූයේ, “කොමී අමතක කරන්න: සැබෑ කතාව නම් ඇමරිකාව මත රුසියානු යුද්ධයයි” යන සිරස්තලය යටතේ politico.com පලකල විචාරයකි. ජෝර්ජියාව හා මොල්ඩෝවාහි රුසියානු-විරෝධී ආන්ඩුවලට හිටපු එක්සත් ජනපද උපදේශිකාවවූ මොලි කේ. මැක්කිවු ලිපියේ කතුවරිය යි.

“ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත එල්ල කෙරුනු දීර්ඝ කාලයක් ඇදී යන, ගැඹුරට ගමන් කරන, හොඳින් මෙහෙයවුනු හා බියකරු ලෙසම බලපෑම්සහගත රුසියානු ප‍්‍රහාරය කෙරේ උනන්දුවක් නැතිවීම” ගැන ජනාධිපති ට‍්‍රම්ප්ව විවේචනය කරන කතුවරිය, “එක්සත් ජනපදය හා එහි සගයන් මුහුනදී සිටින මහත්ම අනතුරට ප‍්‍රතිචාරයක් සැලසුම් කිරීමට අසමත්වීම” ගැන ධවල මන්දිරයට පහර දෙන තැනට ගමන් කරයි.

“රුසියාවේ ගෝලීය අධිරාජ්‍යවාදී කැරල්ල” ගැන ලියන මැක්කිවු, ලෝකයේ දැවැන්තම න්‍යෂ්ටික බලවතුන් අතර සන්නද්ධ ගැටුමකට නිසැකවම ඇදීයන “නව සීත යුද්ධයකට” එහා යන ක්‍රියාපිලිවෙතකට යාමට උපදෙස් දෙයි.

ඔබාමා පාලානාධිකාරියේ දෙවැනි ධුරකාල අතරතුර, විශේෂයෙන්ම 2014දී යුක්රේනය තුල එක්සත් ජනපදය පිටුබලය දුන් අන්ත-දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයේ සිට පවත්වාගෙන යන, මොස්කව්වලට එරෙහි විදේශ ප‍්‍රතිපත්ති ප‍්‍රහාරයට කැපවී ගන්නා ලෙස ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරයට බලකිරීමට ඩිමොක‍්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍ය රොත්ත විසින් පිටුබලය දෙන මිලිටරි-බුද්ධි අංශ යාන්ත‍්‍රනයේ වඩාත්ම බලගතු කොටසක් නියෝජනය කරන රුසියානු-විරෝධී මෙහෙයුමේ දේශපාලන ප‍්‍රශ්න ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් නැවතනැවතත් පැහැදිලි කර තිබේ.

රුසියානු-විරෝධී උද්ඝෝෂනය මෙහෙයවන පාලක පන්තියේ හා බුද්ධි ආයතනවල කන්ඩායම් විශේෂයෙන්ම කෝපගැන්වී ඇත්තේ, සිරියාව තුල කෙරී ගෙන යන නියෝජක සිවිල් යුද්ධය මුලුමනින්ම පාලන තන්ත‍්‍ර මෙහෙයුමක් බවට උත්සන්න කිරීමේ සැලසුම් රුසියාව එරට තුල මැදිහත්වීම දුෂ්කරතත්වයට පත් කර ඇති හෙයිනි. ඔවුනට අවශ්‍ය වන්නේ ලිබියාවේ ගඩාෆිට හා ඉරාකයේ සදාම් හුසේන්ට අත්වූ ඉරනමම සිරියාවේ අසාද් අත් විඳිනවා දැකීමය. පුටින් කෙරේ ඔවුන්ගේ උමතු වෛරය මගින් පෙන්නුම් කරන්නේ එවැනිම එල්ලයක් රුසියාවේ ජනාධිපති පිලිබඳව ද ඔවුන් ලඟ පවතින බවයි.

රුසියන් විරෝධී උද්ඝෝෂනයේ සමස්ත වැඩසටහනම ප්‍රෝඩාකාරී ය. මිලිටරි-බුද්ධි අංශ ආයතන, ඩිමොක‍්‍රටික් පක්ෂය හා මාධ්‍ය ගෙනයමින් සිටින්නේ, පූර්වයෙන් රිපබ්ලිකන් පක්ෂය විශේෂඥතාව ලබා සිටින ව්‍යාජ සෝලි නිර්මානය කිරීම පිලිබඳ යහමින් තහවුරු කර ඇති ආදර්ශයකි: ක්ලින්ටන්ගේ වයිට්වෝටර් සෝලිය, ඔබාමා නම් මුස්ලිම්වරයා, හිලරි ක්ලින්ටන් හා බෙන්ගාසි, මෙම සෝලිවලින් සමහරකි. මෙම ව්‍යාජ සෝලි චෝදනා මත පටන් ගත්තද අනතුරුව ඒවා ඒවාටම ආවේනික තර්කනකයකින් යුතු කුලු ගැන්වීමක් කරා ගමන් කරයි.

රුසියාව විසින් සිදුකලේයැයි කියන පරිගනක අපහරනය මගින් එක්සත් ජනපදයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට “වින කටියි” යන්න සමන්විත වන්නේ කුමකින් ද? සමස්ත ඡන්ද සංඛ්‍යාව වෙනස් කෙරී නැත. 2000 වසරේ ෆ්ලෝරිඩාවලදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය මගින් ඉස්මත්තට ගනු ලැබූ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී උද්ඝෝෂනයේදී මෙන් ඡන්ද ඉවත දැමුනේ ද නැත. ඒ වෙනුවට සිදුවූයේ, සත්‍යවාදී තොරතුරු නිර්නාමිකව විකිලීක්ස් වෙබ් අඩවියට මුදා හැරීම හා එය එම තොරතුරු හෙලිදරව් කිරීමයි: ඩිමොක‍්‍රටික් ජාතික කමිටුව බර්නි සෑන්ඩර්ස්ගේ මැතිවරන උද්ඝෝෂනයට වලකැපීමට වැඩකරමින් සිටි බව සහ නව ක්ලින්ටන් පාලනාධිකාරියක් මහාව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට අවනතව වැඩකරනු ඇති බවට වෝල් වීදියේ ශ‍්‍රාවකත්වයට ඇය ඒත්තු ගන්වා තිබූ බව එම තොරතුරුවලින් හෙලි කෙරිනි.

මෙකී හෙලිදරව් කිරීම් නිශ්චිතවම ක්ලින්ටන්ට හානි කරවූ නමුත් ඒ, ඇමරිකානු මහජනයා ඒ වනවිටත් දැන ගෙන සිටි කාරනයක් වන ඇය වනාහී මූල්‍යම කතිපයාධිකාරියේ දූෂිත ආවතේවකාරියක්ය යන්න ඒවා මගින් සනාථ කල හෙයිනි.

අනෙකුත් රටවල මැතිවරන තුල මැදිහත්වීම සම්බන්ධයෙන් ගත්කල, මෙය ඇමරිකානු පාලක පන්තිය වැඩිමනක් ව්‍යවහාරයෙන්ම සම්පූර්න කර තිබෙන භාවිතාවකි. එක් කාරනයක් විශේෂයෙන්ම සඳහන් කිරීම වටී: ඒ, බොරිස් යෙල්ට්සින් යලිබලයට තේරීපත්වීම සහතික කිරීම සඳහා 1996 රුසියානු මහමැතිවරනයේදී ධවල මන්දිරියේ උපදෙස් ලැබූ එක්සත් ජනපද මෙහෙයුම්කරුවන්ගේ මැදිහත්වීම යි. මැතිවරනය ආරම්භයේදී, තනි ඉලක්කම්වලට ඡන්ද ප‍්‍රමානය වැටෙමින් සිටි යෙල්ට්සින් වැඩෙමින් තිබූ මහජන විරුද්ධත්වයට මුහුන දෙමින් සිටියේ ය. 1996 ජූලි මස ටයිම්ස් සඟරාවේ කවරය සමන්විත වූයේ, උද්ඝෝෂනය පරිසමාපත්තියට ගෙන එමින් “යැන්කීන් දිවි ගලවයි: ජයග‍්‍රහනය සඳහා ඇමරිකානු උපදේශකයන් යෙල්ට්සින්ට උදව් කලේ කෙසේද යන්න ගැන රහස් කතාව” පාඨය යෙදූ එක්සත් ජනපද ධජයක් දරා සිටින යෙල්ට්සින්ගේ පින්තූරයකිනි.

හිලරි ක්ලින්ටන් 2016 ජනාධිපතිවරයෙන් පරාජයවූයේ, ඇය වෝල්වීදියේ හා මිලිටරි-බුද්ධි අංශ යාන්ත‍්‍රනයේ ඡන්ද අපේක්ෂිකාව වසයෙන් මැතිවරනයක් ගෙන යාමත් කම්කරු පන්තියේ අසන්තුෂ්ටියට ආමන්ත‍්‍රනය කිරීමට ඇය අසමත්වීමත් හේතුවිනි. දශක ගනනාවක් තිස්සේ ඇදෙමින් තිබූ ආර්ථිකය එකතැන පල්වීම, වැටුප් කැපීම් හා කප්පාදු ඔබාමා යටතේ තවදුරටත් උග‍්‍ර කෙරුනු හා සමාජ අසමානතාවේ වැඩිදුර වර්ධනයක් අත්දුටු වසර අටකින් අනතුරුව මෙය සිදු විනි. ට‍්‍රම්ප් පාලනාධිකාරියේ පලමු මාසවල ඩිමොක‍්‍රටික් පක්ෂයට එකදිගට මග පෙන්වුයේ මෙම දක්ෂිනාංශික හැඩගැස්ම යි.

ට‍්‍රම්ප් සෞඛ්‍ය සේවයට එල්ල කර ඇති ප‍්‍රහාරයට, සංක‍්‍රමනිකයන්ට ඔහු එල්ල කරන ප‍්‍රහාරවලට, ලෝකය පුරා ඔහුගේ මිලිටරි දාමරිකකම්පෑම්වලට හෝ මහජන ඡන්ද අහිමිවීමෙන් අනතුරුව මහජන වරමට හිමිකම් කීමට හැකියාවක් නැති සුලුතරයේ ජනාධිපතිවරයෙක් ලෙස ඔහුගේ තරාතිරමට යන මේ කිසිවකටත් එරෙහිව ඩිමොක‍්‍රටිකයන් අරගල කරන්නේ නැත. ඒ වෙනුවට, එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම දක්ෂිනාංශික ජනාධිපති වන ට‍්‍රම්ප් රුසියාව සමග මිලිටරි ඝට්ටනයකට යාමට අඩුවෙන් කැපවී සිටීම ගැන හෙලාදකිමින් දකුනේ සිට පහර දීමට ඩිමොක‍්‍රටිකයෝ වැඩට බැසගෙන සිටිති.

පැට්‍රික් මාටින්

Share this article: