එක්සත් ජනපද කොංග‍්‍රස් සභිකයෙකුට වෙඩි තැබීමේ ප‍්‍රහාරයේ දේශපාලනික අර්ථභාරය

The political significance of the shooting attack on US congressmen

2017 ජූනි 16

බදාදා උදෑසන, වොෂින්ටන නගරාසන්නයේ බේස්බෝල් ක‍්‍රීඩාපිට්ටනියක දී, ජේම්ස් හොජ්කින්සන් නම් තැනත්තා රිපබ්ලිකානු කොංග‍්‍රස් සභිකයන්, ප‍්‍රචාරකයින්, කාර්යමන්ඩලය හා පොලීසියේ කන්ඩාමකට එල්ල කල වෙඩි ප‍්‍රහාරයකින් රිපබ්ලිකානු බහුතර නායක සිටීව් ස්කාලිස් හා තවත් හතරදෙනෙකුට තුවාල සිදු කලේ ය. බර්නී සෑන්ඩර්ස්ගේ ප‍්‍රමුඛ ආධාරකරුවෙකු වූ හොජ්කින්සන්, පොලීසිය විසින් එම ස්ථානයේ දී ම වෙඩි තබා ඝාතනය කරන ලදී.

බරපතල තත්වයක සිටින ස්කාලිස් ශල්‍යකර්ම තුනකට භාජනය කර ඇත. මෙය දශකයකට අඩු කාලයක දී කොන්ග‍්‍රස් සභිකයෙකුට වෙඩි තැබූ දෙවන අවස්ථාව යි. 2011දී, දක්ෂිනාංශික ප‍්‍රහාරකයෙකු වූ ජයාඩ් ලෝව්නර් විසින් ඇරිසෝනාවේ කොන්ග‍්‍රස් සභිකාවක වූ ගේබ්‍රියලා ගිෆර්ඩ්ගේ හිසට වෙඩි තබන ලදී.

මේ ආකාරයේ සිදුවීමක් ඇති වන විට සාමාන්‍ය කාරනය වන්නා සේ, මාධ්‍ය දීර්ග ලෙස සදාචාරාත්මක කුහකත්වය ප‍්‍රදර්ශනය කරන අතර දේශපාලන විග‍්‍රහයක් ඇත්තේ ම නැත. නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය තම කුහක රුසියානු විරෝධයෙන් කාලය ඉවතට ගත්තේ ට‍්‍රම්ප්ට සහයෝගිත්වය දැක්වීමට ය. ඔහු මෙසේ පැවසීය: “බදාදා ප‍්‍රහාරයට පසු ජනාධිපති ට‍්‍රම්ප් හරියට ම නිවරදි දේ කියා ඇත: අපට අපගේ වෙනස්කම් තිබෙන්නට පුලුවන, නමුත් මෙවැනි අවස්ථාවල දී අප හොඳින් මතක තබා ගත යුත්තේ අපගේ ජාතික අගනගරයේ සේවය කරන සියලු දෙනා මෙහි සිටින්නේ, විශේෂයෙන් ම ඔවුන් අපගේ රටට ආදරය කරන නිසා බවයි. ඇමරිකානුවන් වීමට අප වාසානාවන්ත බව අප කවුරුත් පිලිගන්නා අතරම අපගේ ලමුන්ගේ වැඩීමට උචිත වන්නේ ආරක්ෂාවේ හා සාමයේ රටකි.”

මෙම ශුද්ධ අප‍්‍රභංශය ප‍්‍රසිද්ධ කෙරුනේ රුසියාව සමග චූදිත සම්බන්ධකම් පිලිබඳ විශේෂ උපදේශක රොබට් ම්‍යුලර්ගේ විමර්ශනයකට ට‍්‍රම්ප් ඉලක්ක කෙරෙන බව ටයිම්ස් පත‍්‍රය වාර්තා කල දිනයේ දී ම ය.

වොෂින්ටන් පෝස්ට් හොජ්කින්සන් “පිස්සෙකු” යැයි හෙලා දුටුවේ ය. මිසෝරි ප‍්‍රාන්තයේ ඩෙමොක‍්‍රටික් සෙනෙට් සභික ක්ලේරා මැකස්කිල් ප‍්‍රහාරය “වචනයෙන් කිව නො හැකි” විපතකැ යි හැඳින් වූ අතර ඔහියෝ ප‍්‍රාන්තයේ සෙනෙට් සභික ෂෙරෝඩ් බ‍්‍රවුන් “හිත්පිත් නැති ප‍්‍රචන්ඩ” ක‍්‍රියාවක් යැයි පැවසී ය. බදාදා සවස, ඔහුගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ හිටපු ස්වේච්ඡා සේවකයාගේ “නින්දනීය ක‍්‍රියාවෙන් තමා ලෙඩ වුනු” බව බර්නී සෑන්ඩර්ස් පැවසී ය.

දුෂ්ටයෙකු කෙසේ වෙතත්, හොජ්කින්සන් ව්‍යාකූල අයෙකු ලෙස ඉවතට දැමීම, බදාදා වෙඩි තැබීම සඳහා පහසු මෙන් ම ව්‍යාජ පැහදිලි කිරීමකි. මෙය දේශපාලනික පැහදිලි කිරීමක් අවශ්‍ය කෙරෙන සිද්ධියකි. සෑන්ඩර්ස් පැහදිලිව ම මෙම ක‍්‍රියාව ප‍්‍රතික්ෂේප කිරීම යුක්තිසහගත වන අතර, එය එසේ වන්නට ඉඩ ඇත්තේ මන් දැ යි විස්තර කිරීමට ඔහු උත්සාහ නො ගනී. ඊට වෙනස් ව, ඔහු හුදෙක් මෙම අවාසනාවන්ත මිනිසාගේ දේහය ගර්හාවට ලක් කරනවා පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය දේශපාලන නායකයින් හා ආන්ඩුවේ නියෝජිතයින්ට එරෙහි ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලට විරුද්ධවන්නේ, නොගැඹුරු සදාචාරාත්මක පදනම් මත නො ව, ස්ථීර දේශපාලන ප‍්‍රතිපත්ති මත ය. දීර්ගකාලීන ඓතිහාසික අත්දැකීම් පෙන්වා දී ඇත්තේ එවැනි ක‍්‍රියා කම්කරු පන්තියේ උත්සුකයන් ආරක්ෂා කිරීමට හෝ ඉදිරියට ගෙන යාමට ඉටු කරන දෙයක් නැති බව යි. ඊට විපරීතව, ඒවා නිෂ්ඵලය. ඒවා ව්‍යාකූලත්වය ඇති කරන අතර රාජ්‍ය මර්දනකාරී බලවේග ශක්තිමත් කිරීම සඳහා නිදහසට කරුනක් සපය යි.

ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ, තනි තනි දේශපාලන නියෝජිතයින් ඝාතනය කිරීමෙන් නොව, ඊට වෙනස් ව කම්කරු පන්තියේ දේශපාලන විඥානය ඉහල නැංවීම හා සමාජවාදය සඳහා සටන තුල දී එහි දේශපාලන බලය බලමුලු ගැන්වීමෙනි.

මෙම දේශපාලනික ක‍්‍රියාවට දේශපාලනික විශ්ලේෂනයක් සැපයීමේ දී, මෙය ක‍්‍රියාත්මක කල පුද්ගලයාගේ පසුබිම විපරම් කිරීම වැදගත් ය.

ජේම්ස් තෝමස් හොජ්කින්ස්ගේ කතාවට සමාජ ඛේදවාචකයක මූලිකාංග ඇතුලත් ය. ඔහුගේ ජීවිත චාරිකාව අද දින ඇමරිකානු ජීවිතය පිලිබඳවද ශිෂ්ට සම්පන්න මිනිසෙකු එවැනි ප‍්‍රචන්ඩ ක‍්‍රියාවකට පෙලඹුනේ කෙසේ ද යන්න පිලිබඳවද අන්තර්දෘෂ්ටියක් සපයයි. 1950 ඉප දී, “ටොම්” නමින් ඔහුගේ මිතුරන් අතර ප‍්‍රසිද්ධ, ඔහු ඇති දැඩි වුයේ මිසෝරිහි සාන්ත ලුයිස් ප‍්‍රාන්ත රාජ්‍ය රේඛාවෙන් ඔබ්බෙහි ඉලිනොයිස් ප‍්‍රාන්තයේ බෙලේවිල් නම් කුඩා නගරයේ ය.

බදාදා ප‍්‍රවෘත්තියට හොජ්කින්සන්ගේ මිතුරන් ප‍්‍රතිචාර දැක්වූයේ කම්පිතව ය. ලමා කාලයේ මිතුරෙකු වන ඩේල් වොල්ෂ් බෙලේවිල් නිව්ස් ඩිමොක‍්‍රට් පත‍්‍රයට පැවසුවේ හොජ්කින්සන් “විනෝදයට කැමති හාදයෙක්,” වූ බව යි, අවසාන දශකයේ දී වඩාත් නිශ්චිතව තිබුනු ඔහුගේ දේශපාලනික අවබෝධයෙන් ඔහු “කිසිදා පල්ලම් බැස්සේ නැත. ඔහු දුෂ්ටයකු නොවන බව මිනිසුන් දැන ගැනීම මට අවශ්‍යය”යි වොල්ෂ් පැවසී ය. “මම අනුමාන කරන්නේ ඔහු දේශපාලනයෙන් හෙම්බත් වුනා කියලා.”

1968දී ඔහු බටහිර බෙලේවිල් උසස් පාසලින් උපාධිය ලබා ගත් අතර, ඒ වසරේ දී ම අනිවාර්ය යුද සේවයට බඳවා ගැනීමට මෙන් ම සිදුවෙමින් පැවතුනු වියට්නාම් යුද්ධයේ දී සටන් කිරීමට පිටත් කර යැවීමේ ඉඩ කඩටද ඔහු මුහුන දුන්නේ ය. 1970 ගනන්වල මැද, ඔහු කුඩා ඉදිකිරීම් ව්‍යාපාරයක් ඇරඹු අතර, 1990 ගනන්වල නිවාස පරීක්ෂාවට (දේපල වෙලඳාම යටතේ) මාරු විය. මිලියන ගනනාවක් ඇමරිකානු පිරිමින්ට මෙන් ම හොජ්කින්සන්ට ද නීතිය සමග සුලු පැටලීම් තිබුනි.

ඔහු දරුකමට අනාථ දියනියන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට තීන්දු කිරීම ඔහුගේ උදාර ස්වභාවයේ සංඥාවක් බව ඔහුගේ කුඩා කල මිතුරෝ පෙන්වා දෙති. ඔහු හදා ගත් දියනියෝ 1990 හා 2000ස් ගනන්වල ගැඹුරු වූ සමාජ අර්බුදයේ නො මැකිය හැකි සලකුනු වූහ.

එකියක් 1996දී වයස 17දී සිරුරට ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තා ය. අනෙකා 2015දී වයස 25දී හෙරෝයින් අධිමාත‍්‍රාවක් ගැනීමෙන් ජිවිතක්ෂයට පත් වූවා ය. පෙර දී දසදහස් ගනනක් සටන්කාමී පතල් කම්කරුවන්ට ද ක‍්‍රියාකාරී සමාජවාදී ව්‍යාපාරයකට ද නිවස වූ, දරිද්‍රාපන්න දකුනු දිග ඉලිනොයිස් ප‍්‍රදේශය හෙරෝයින් හා අබිං අර්බුදයෙන් තදින් ම බැට කෑ අපිකේන්ද්‍රවලින් එකකි. බෙලේවිල් හි වර්තමාන වාර්ෂික ඒක පුද්ගල ආදායම යන්තම් ඩොලර් 18,990කි.

මෑත වසරවල දී, ඔහුගේ බිරිඳ සමග හොජ්කින්සන් ජීවත් වූයේ නගරයෙන් පිටත අපිරිසිදු මාවතක පිහිටි කුඩා නිවසක ය. ඔහුට සිටියේ අසල්වැසියන් කීප දෙනෙකි, ඔහු ගෙවතු වගාවට කැමති වූ අතර නිවස ආසන්නයේ නානා රැකියා කලේ ය. ඔහුගේ පසුගෙමිදුල වයඹ දිග හිස් තිරිඟු බිම් ඔස්සේ සැතපුම් භාගයක් ඈතට දිස්වුනි. මිඩ්වෙස්ට්හි ග‍්‍රාමීය ප‍්‍රදේශවලට හුරුපුරුදු ලෙස, ඔහු ඇතැම් විට ඔහුගේ තුවක්කුව රැගෙන කැලයට රිංගා ඉලක්කවලට හෝ ගස්වලට වෙඩි තැබී ය.

ඔහු ඉතිහාසය හා දේශපාලනය ගැන උත්සුකයක් ඇති කර ගත්තේ ය. විශේෂයෙන් ම, ඔහු යුද්ධයට හා සමාජ අසමානතාවට ගැඹුරින්ම විරුද්ධ විය. බුෂ් පාලනාධිකාරියේ අවසාන හරියේ දී ඔහු ප‍්‍රාදේශීය බෙලේවිල් නිව්ස්-ඩිමොක‍්‍රට් පත‍්‍රයට ලිපි ලිවීම ඇරඹී ය. මේවා ඔහුගේ දේශපාලන දෘෂ්ටිය ගැන අන්තර්ඥානයක් සපය යි.

2008 ජූලි 12වැනිදා හොජ්කින්සන් මෙසේ ලිවී ය, “යුද කාලයක දී ඔහුගේ ධනය වැඩි කර ගන්නා අයෙකු යුද්ධයෙන් ලාභ ගරන්නෙකු යැයි මම විශ්වාස කරමි, ඔවුන් වැනි අය එම චෝදනා මත උසාවියට ගෙන ආ යුතු ය. ජනාධිපති බුෂ්, උප ජනාධිපති චේනි, ඔවුන්ගේ කැබිනට් මන්ඩලයේ වැඩි දෙනා, හැලිබර්ටන් තෙල් සමාගාමේ සියලුදෙනා මෙන් ම තෙල් ව්‍යාපාරයේ ඕනෑ අයෙකු මෙයට ඇතුලත් වනු ඇත යි ද මම විශ්වසා කරමි.”

ඇමරිකානුවන් මිලියන ගනනාවක් මෙන් ම ඔහු ද මුල දී බරක් ඔබාමාගේ පත්වීමත් සමග බලාපොරොත්තු සහගත වූ නමුත් එකී පාලනාධිකාරය පොහොසතුන් මත බදු පැනවීමට අසමත් වීමත් සමග ඔහු කලකිරුනි. “ප‍්‍රගතියක් ඇති කිරීමට ඩිමොක‍්‍රටිකයන් විශේෂ බදු වෙනස්කම් යෝජනා නො කරන්නේ මන් දැ යි මම නො දනිමි. ඔවුන් වැඩ කරන ජනතාව ගැන ද උනන්දුවක් නැතිවා වන්නට පුලුවනැ”යි 2011දී ඔහු සඳහන් කලේ ය. “සුපිරි පොහොසතුන් ඔවුන්ගේ ඡන්දය ද දිනා ඇති බව යි පෙනෙන්නේ.”

මෙම කාලයේ දී, හොජ්කින්සන් ඔහුගේ ලිපි තුල නිතිපතා “කම්කරු පන්තිය” යන වචනය යෙදී ය. “මම පොහොසතුන්ට ඊර්ෂියා නො කරමි” යි ඔහු ලිව්වේ ය. “ඔවුන් අපගේ දේශපාලඥයින් මුදලට ගෙන ඇති ආකාරය මෙන් ම ඔවුන්ගේ වාසිය සඳහා අපගේ නීතිය අඹරා ඇති ආකාරයත් මම නීච කොට සලකමි.”

“සියලු මුදල් සුපිරි පොහොසතුන් අත තිබෙන අතර, ඔවුන් බංකොලොත් යයි පවසමින්, මෙම හාදයෝ මෙරට සියලු දෙනාට ම වංචා කරමින් සිටිති” යි ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

වෝල්වීදිය වඩිලාගනු ව්‍යාපාරයේ පිපිරීම හොජ්කින්සන්ගේ උද්යෝගය ඇවිස්සී ය. බෙලේවිල් නිවස්-ඩිමොක‍්‍රට් පත‍්‍රයට ඔහු මෙසේ ලිව්වේ ය, “නිව් යෝක්, බොස්ටන් හා අනෙකුත් ප‍්‍රධාන නගරවල විරෝධතාකරුවන් ඔවුන්ගේ හඬ ඇසීමට සලස්සනවා දැකීමට මම ආශා කරමි. මෙය ඉක්මනින් ම හැම තැන ම සිදුවිය යුතු ය.”

ඔහු ඩිමොක‍්‍රටිකයෙකු වී යැයි මාධ්‍ය ගෙන එන වාර්තාවලට වෙනස් ලෙස ඔහු තමා දේශපාලනිකව ස්වාධීන යයි ඔහු විසින් ම අනන්‍ය කර ගැනීමට පටන් ගත් අතර, 2012දී “බර්නී සෑන්ඩර්ස් දිගු කල් දිනේවා” යැයි සඳහන් කලේ ය.

2016 මැතිවරනයේ දී සෑන්ඩර්ස් සඳහා වූ හොජ්කින්සන්ගේ සහයෝගය හොඳින් වාර්තා ගත වී ඇත. “මම කිසිදා හිලරි ක්ලින්ටන්ට ඡන්දය නොදෙමැ යි” ඔහු ඔහුගේ මුහුනු පොතේ සඳහන් කලේ “හිලරි ක්ලින්ටන්ට නාම යෝජනා ලැබීම ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයකට සමාන වේ” යැයි ද පවසමිනි.

ට‍්‍රම්ප් ජය ගැනීම ඔහු කෝපයට පත් කර එපා කර වූ අතර එය ඔහු අස්ථාවර කිරීමේ සාධකය ද විය. මාර්තු මාසයේ දී පමන හොජ්කින්සන් වොෂින්ටන් නගරය බලා පිටත් වූ බව ඔහුගේ සොහායුරු මයිකල් නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයට පැවසී ය. බලාපොරොත්තු වූවාට වඩා ඔහු එහි රැඳී සිටියේ ය. මෑත දී හොජ්කින්සන් දුරකතනයෙන් කතා කර “ඇය සහ ඔවුන්ගේ බල්ලන් ඔහුට මග හැරුනු බැවින් ඔහු ඉක්මනින් ම ආපසු ගෙදර එන බව ඔහුගේ බිරිඳට පැවසූ” බව ඔහුගේ සොහොයුරා පැවසී ය.

අති විශාල පුද්ගලික දුෂ්කරතා මෙන් ම අවංමගත දේශපාලන කෝපයේ අන්තර්ඡේදනය මගින් පොලඹවන ලද ඔහු කරදරයට පත් මිනිසෙකු විය. ඔහු ඔහුගේ වෑන් රථයේ පිටුපස මෙට්ටයක් මත නිදා ගත් බවත් ප‍්‍රහාරයට ඔහු යොදා ගත් අර්ධ-ස්වයංක‍්‍රීය තුවක්කුව ඔහු තබා තිබුනේ එහි බවත් එන්බීසී නිව්ස් වාර්තා කලේ ය. සාක්ෂි ඇති පරිදි රිපබ්ලිකානු බේස් බෝල් කන්ඩායමක් සති ගනනාවක් පුහුනු වෙමින් සිටිනු ඔහු විසින් විපරම් කරමින් සිට ඇත. ඔහු වොෂින්ටනයේ ගත කල කාලය තුල, හා ප‍්‍රහාරයට පෙර දිනවල දිග හැරුනු දේශපාලන සිදුවීම් ඔහුගේ කෝපය සමනය නො කලේ ය.

දේශපාලන සංස්ථාපිතයේ බොහෝ දෙනා බදාදා සිදුවීම් පිලිබඳ කම්පාව හා අවිශ්වාසය ප‍්‍රකාශ කර ඇත. ඔවුන්ට පුදුමයට පත්වීමට අයිතියක් නැත. එවැනි සිදුවීම් දැන් ඇමරිකානු ජීවිතයේ පොදු ලක්ෂනයකි, 2016දී පමනක් බහුජන වෙඩිතැබීම් 372ක් වාර්තා වී ඇත.

ප‍්‍රචන්ඩත්වය හා අසමානතාව විසින් එක්සත් ජනපදය ග‍්‍රහනයට ගෙන ඇතත් රජයේ ආයතන, උසාවි, වෘත්තීය සමිති, සංගත මාධ්‍ය හා දේශපාලන පක්ෂ ඔස්සේ ඔවුන්ගේ සමාජ කෝපය ප‍්‍රකාශ කිරීමට අතිවිශාල බහුතරයට මාවතක් ඇත්තේ නැත.

වොෂින්ටනයේ දේශපාලන පොරය මහජනතාවගේ සැබෑ උත්සුකයන්ගෙන් අතිශයින් ම දුරස්ථ ය. ට‍්‍රම්ප්ගේ විදේශ ප‍්‍රතිපත්තියේ වෙනසක් ඇති කිරීම අරමුනු කෙරුනු උන්මාදී රුසියානු විරෝධී උද්ඝෝෂනය මත ඩිමොක‍්‍රටික් පක්ෂය තම සම්පූර්න ශක්තිය වැය කරන අවස්ථාවක, කම්කරු පන්තිය තුල මහජන කෝපය පොලඹවනු ලබන්නේ රුසියානු කුමන්ත‍්‍රනය පිලිබඳ මලානික ප‍්‍රකාශ මගින් නොව සමාජ අසමානතාව හා යුද්ධය විසිනි.

මෙහි උකහා ගත යුතු පාඩම් ඇත. සමාජ කෝපය සැබෑ වන අතර එය ගොඩනැගෙමින් පවතී. පුද්ගලික හා සමාජ ජීවිතයේ බෝහෝ ප‍්‍රශ්න විසඳීමට මිලියන ගනනාවක් කම්කරුවන් බලනු ඇත්තේ සමාජ අරගලයක වර්ධනය දෙස මිස පුද්ගලික ත‍්‍රස්තවාදය දෙස නො වේ. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කර්තව්‍යය වනුයේ ලෝක ආර්ථිකයේ සමාජවාදී ප‍්‍රතිසංවිධානය සඳහා වන මහජන දේශපාලන අරගලයක් තුල කම්කරුවන් හා තරුනයන්ගේ සියලු අසමාන අරගල එක්සත් කිරීම යි.

එරික් ලන්ඩන්

Share this article: