වර්ජනයෙන් තැපෑල ඇනහිටියි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජූනි 15

තැපැල් සේවකයන් විසින් ඉල්ලීම් තුනක් මත 13 වෙනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කල පැය 48 ක සංකේත වැඩ වර්ජනය නිසා දිවයින පුරා තැපැල් සේවය මුලුමනින් ම වාගේ ඇනහිටියේය. නුවරඑලිය, මහනුවර සහ ගාල්ල නගර වල තිබෙන කෞතුක වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිනීම නතර කිරීම, සේවක ගැටලුවලට වහා විසඳුම් ලබාදීම හා කොලඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලය කොටුව ජනාධිපති මාවතේ යලි ස්ථාපිත කිරීම තැපැල් සේවකයන්ගේ මූලික ඉල්ලීම් වේ.

සේවක නිවාඩු අවලංගු කරමින් වර්ජනය කඩාකප්පල් කිරීමට ආන්ඩුව ගත් උත්සාහය නොතකා 22,000 කට ආසන්න තැපැල් සේවකයෝ වර්ජනයට සම්බන්ධ වූහ. වර්ජනය නිසා කොලඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ පමනක් ලිපි සහ වෙනත් තැපැල් භාන්ඩ ලක්ෂ තුනක් පමන ගොඩ ගැසී ඇති බව වාර්තා විය. වර්ජනය කැඳවුම් කලේ තැපැල් වෘත්තීය සමිති 28 ක එකතුවක් වන තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන විසිනි. ඉල්ලීම්වලට ස්ථීර විසඳුමක් නොලැබුනොත් 26 වෙනිදා සිට අඛන්ඩ වැඩ වර්ජනයකට යන බව සමිති පෙරමුන විසින් කියා ඇත.

ආන්ඩුවේ තර්ජන නොතකා උතුරු-නැගෙනහිර දෙමල කතාකරන තැපැල් සේවකයන් ද ඇතුලුව සමස්තයක් ලෙස තැපැල් සේවකයන් සියලු දෙනාම පාහේ වර්ජනයට සබන්ධවීම මගින් පෙන්නුම් කෙරෙන්නේ සිය රැකියා කොන්දේසිවලට එල්ල කෙරී ඇති ප‍්‍රහාරවලට සහ ආන්ඩුවේ පුද්ගලීකරන සැලසුම් වලට එරෙහිව තැපැල් සේවකයන් අතර පවතින බරපතල විරුද්ධත්වය හා තම අයිතීන් සඳහා සටන් කිරීමට ඔවුන් තුල පවතින අධිෂ්ඨානයයි.

සේවා කොන්දේසිවලට හා ජීවන තත්වයන්ට එල්ල කෙරී ඇති ප‍්‍රහාර ගැන මාතර තැපැල් කාර්යාලයේ තැපැල් සහායක සේවකයෙක් මෙසේ පැවසුවේ ය. “මගේ සේවා කාලය වසර 7ක්. නමුත් මූලික වැටුප තවමත් රුපියල් 13,000 යි. අතිකාල සහ අනෙකුත් දීමනා එක්ක මාසේ පඩිය රුපියල් 25,000 ක පමන වෙනවා. නමුත් නය වලට සහ අර්ථසාධක ඇතුලු දේවල් වලට කැපුනට පස්සේ අතට ලැබෙන්නේ අඩු මුදලක්. තැපැල් සහායක තනතුර හැදුවේ ශ්‍රේනි ගනනාවක් කප්පාදු කරලා. ඒකෙන් අපේ උසස්වීම් සහ පඩි වැඩිවීම් කප්පාදු කෙරුනා.”

වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අරගල ගනනාවක් කලත් විසඳුමක් ලැබුනේ නැති බවත් වැඩ ප‍්‍රමානය අසාමාන්‍ය ලෙස වැඩි කිරීම නිසා සේවකයන් අතර බරපතල කලකිරීමක් පවතින බවත් ඔහු කීවේ ය.

වසර 30 ක සේවා කාලයක් සහිත නිල ඇඳුම් කාර්යමන්ඩලයේ සේවකයෙකු ප‍්‍රකාශ කලේ මාසික වැටුප රුපියල් 40,000 ක් පමන වුවත් අඩුකිරීමවලින් පසුව අතට ලැබෙන්නේ රුපිය 10,000 ක පමන මුදලක් බවයි. “පසුගිය කාලයේ බලයට පත්වුන හැම ආන්ඩුවක් ම උත්සාහ කලේ තැපැල් දෙපාර්තමේන්තුව වහන්න. තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලැබීම සඳහා පවත්වාගෙන යන ආයතනයක් නෙමෙයි. පොදු මහජන සේවාවක්. ආන්ඩුව උත්සාහ කරන්නේ පාඩුයි කියල දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කරන්න. මොන ආන්ඩුව බලයට ආවත් කම්කරුවන්ගේ අයිතීන්ට තමයි පහර ගහන්නේ” යි ඔහු පැවසුවේ ය.

මාතර තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයෙකු ප‍්‍රකාශ කලේ 1998 පටන් ම තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කරන්න බලයට පත්වූ ආන්ඩු උත්සාහ කලත් සේවක විරෝධය නිසා එය මුලුමනින් ම කි‍්‍රයාවට දැමීමට නොහැකි වූ බවය. “නමුත් විදුලි සංදේශ අංශය තැපෑලෙන් වෙන්කලා. තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති මුදල් ඉතිරිකිරීමේ බැංකුව අහෝසිකරලා එය ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පැවරුව. පුද්ගලීකරනයට අදාල තවත් දෙවල් කරගෙන යනවා” යැයි ඔහු කීවේ ය.

යලිත් සංකේත වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුනේ පුද්ගලීකරනයට හා සේවක අයිතීන්ට පහර දීම සම්බන්ධයෙන් තැපැල් සේවකයන් අතර පවතින මෙම කැකෑරෙන විරුද්ධත්වය හා කෝපයයි. විරෝධතා වර්ජනයක් තුල එය දිය කර හැර සේවක නොසන්සුන්කම හා කෝපය යලිත් වාෂ්ප කිරීම ඔවුන්ගේ අරමුනයි.

පුද්ගලීකරන සැලසුම් ක‍්‍රමානුකුලව කි‍්‍රයාවට දැමීමට හා සේවක අයිතීන්ට කෙටීම සඳහා ආන්ඩුවලට පොට පාදා දුන්නේ මෙම සමිති නිලධරයයි. 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවෙන් පටන් ගෙන බලයට පත් ආන්ඩු විසින් රාජ්‍ය අංශයේ තවත් බොහෝ ආයතන මෙන් ම තැපල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීම ද සේවක අයිතීන්ට පහරදීම ද ඉදිරියට ගෙනවිත් ඇත. විදුලි සංදේශ අංශය හා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන ගිය ඉතිරිකිරීමේ බැංකුව අහෝසිකිරීමට අමතරව පුද්ගලික ඒජන්සි තැපැල් කාර්යාල පිහිටුවීමට අවසර දීමත්, 2000 ක් පමන වන පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම හා ශ්‍රේනි 18 ක් කප්පාදුකර ඒ සියල්ල තැපැල් සහායක නමින් නව ශ්‍රේනියකට සිඳවීමත් පුද්ගලීකරනයේ හා සේවක අයිතීන් වැනසීමේ සැලසුම්වල කොටස්්ය. දැන් නුවර-එලිය, මහනුවර සහ ගාල්ල පැරනි තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිනීම ද මේ කි‍්‍රයාවලිය තවදුරටත් පෙරට ගෙනයාමකි.

සමිති නිලධරය කලේ සේවකයන් අතරින් පැනනැගුන විරෝධය හුදු උද්ඝෝෂනවලට කොටුකර හා ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත් කොට දියකර හැරීම මගින් පුද්ගලීකරන සහ සේවක අයිතීන් වැනසීමේ සැලසුම් කි‍්‍රයාවට දැමීමට ආන්ඩුවලට සහයෝගයදීමය. වසර ගනනාවක් පුරාවට සමිති නිලධරය නිරතව සිටින්නේ මෙම ප‍්‍රතිගාමී භුමිකාවෙහි ය. පසුගිය වසරේ පමනක් විරෝධතා උද්ඝෝෂන දෙකක්-ජූනි සහ දෙසැම්බර් මාසවල- කැඳවුම් කල තැපැල් සමිති පෙරමුනේ නායකයෝ ආන්ඩුව දුන් පොරොන්දු පිලිගෙන ඒවා නතර කලහ. සුපුරුදු ලෙස ආන්ඩුව පොරොන්දු කැඞීමත් සේවකයන් අතර නොසන්සුන්තාව නව වටයකින් ඉස්මත්තට ඒමත් නිසා ඔවුන් යලිත් වතාවක් වර්ජනයක් කැඳවුම් කල අතර එය පැය 48 ක සංකේත වර්ජනයකට සීමා කිරීමට ද වගබලාගෙන ඇත.

මෙම සමිති නායකයෝ කලින් පැවති ආන්ඩුවලට අඩුවැඩි වසයෙන් පන්දම් ඇල්ලූ අතර සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමේදී තැපැල් සමිති පෙරමුනේ බහුතරයක් ඊට සහයෝගය දුන්හ.

ආන්ඩුව ඉල්ලීම් ඉටු නොකලොත් “අඛන්ඩ වර්ජනයකට” යන බවට සමිති පෙරමුනේ නායකයන් කර ඇති තර්ජනය ද හුදෙක් ආන්ඩුවට කල් ලබාදෙන පුහු තර්ජනයක් මිස පුද්ගලීකරනයට හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමේ අරමුනක් හෝ උවමනාවක් මෙම සමිති නිලධරයට නැත. ඇත්ත වසයෙන් ම, ඔවුන් එවන් අරගලයකට පරම ලෙස ම හතුරුය. වටිනාකමක් සහිත දෙපාර්තමේන්තුවේ පැරනි ගොඩ නැගිලි “ආර්ථික වසයෙන් වඩා ඵලදායි වන” කාර්යකට යොදා ගැනීම පිනිස ඒවා විකුනන බව තැපැල් ඇමති එම්.එච්.එම්. හලීම් වර්ජනය මැද්දේ කල ප‍්‍රකාශය ආන්ඩුව ඉල්ලීම් ඉටු නොකරනවා පමනක් නොව, පුද්ගලීකරනය නතර නොකරන බව ට ද කල පැහදිලි ඇඟවුමකි.

ගැඹුරුවන ලෝක ආර්ථික අවපාතයේ වාසුලියට හසුව, අපනයන ආදායම් බිඳවැටීමට මුහුන දී ඇති හා ගොඩ ඒ ගත නොහැකි නය බරකින් මිරිකී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට පුද්ගලීකරන සැලසුම්

කි‍්‍රයාවට දැමීමේ හා කම්කරු පන්තියේ අයිතීන් වැනසීමේ සැලසුම් නතර කල නොහැක. වත්මන් ආන්ඩුව රාජපක්ෂ ආන්ඩුව නතර කල තැනින් පටන් ගෙන පුද්ගලීකරනය හා කම්කරු පන්තියේ සමාජ අයිතීන් කප්පාදු කිරීමේ ජාත්‍යන්තර මූලය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීම වඩා වේගවත් කර ඇත. කම්කරු පන්තියේ විරෝධය නිසා මුළුමනින් පුද්ගලීකරනය කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීම හා ප‍්‍රතව්‍යූහගත කිරීම ආන්ඩුවේ පිලිවෙතයි.

ආන්ඩුවේ මෙම සැලසුම් එයට බලපෑම් දැමීමෙන් හෝ පුහු තර්ජනවලින් නතර කල නොහැකි බව ද සමිති නායකයන් නොදන්නවා නොවේ. පොලීසිය සහ හමුදාව මෙහයවමින් කම්කරු පන්තියේ විරෝධය මැඞීම සඳහා මෘග ප‍්‍රහාර එල්ල කිරීමට නොපැකිලෙන බව පසුගිය දිනවල පැවති කම්කරුවන්ගේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගලවලදී එය පෙන්නුම් කර ඇත.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ මෙම සැබෑ ආර්ථික න්‍යායපත‍්‍රය හා මර්දන සැලසුම් තැපැල් සමිති පෙරමුනේ නායකයන් මෙන් ම රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සෙසු සමිති නිලධරයන් විසින් ද කම්කරු පන්තියෙන් වසන් කරනු ලබයි. ඔවුන් සැබවින් ම පෙනී සිටින්නේ කම්කරු පන්තියේ උවමනාවන් වෙනුවෙන් නොව, ධනපති ආන්ඩුවේ, මහා ව්‍යාපාරිකයේ හා අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ය.

තැපැල් සේවකයන්ට හා පොදුවේ කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත හැක්කේ ලෝක ධනවාදී ලාභ පද්ධතියට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස ශී‍්‍ර ලංකාව තුල සැලසුම්ගත සමාජවාදී ආර්ථික පිලිවෙතක් කි‍්‍රයාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා කරන අරගලය තුලින් පමනි.

Share this article: