ශී‍්‍ර ලංකාවේ ජලගැල්ම: ආන්ඩුව තවත් සමාජ ව්‍යසනයකට වගකිව යුතුය

Floods in Sri Lanka: Government responsible for another social disaster

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017ජූනි 5

පසුගිය සතියේ ඇතිවූ ව්‍යසනකාරී ගංවතුර හා නාය යෑම්වලට ශී‍්‍ර ලංකාවේ වැඩකරන ජනතාව යලි වතාවක් ගොදුරු විය. සිය ගනනක් මිනිසුන් මරුමුවට පත්ව අඩ මිලියනයකට වැඩි දෙනෙක් අවතැන්වීමට හා දුක්පීඩාවන්ට ලක්වීම හුදෙක් ස්වාභාවික විපතක ප‍්‍රතිපලය නොවීය. ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට කැපවුනු අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි දක්වන තුච්ඡු නොතැකීමේ ප‍්‍රතිපලය එයයි. එයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ද ඇතුලත්ය.

නිරිතදිග මෝසම ගෙන ආ ධාරානිපාත වර්ෂාව සමග පැමිනි අකුනු කුනාටුවෙන් ව්‍යසනය ඇති විය. සිදුව ඇති අලාභය දැවැන්තය. පසුගිය 1දා රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ මිය ගිය සංඛ්‍යාව අවසානයේ 300 දෙනෙක් වනු ඇති බවයි.

ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව (ආකම) 4දා වන විට විපතට පත් සංඛ්‍යාව 717,622කි. ඔවුන් අතර කාන්තාවන් 150,000කි. ගර්භනී කාන්තාවන් 7,600 ද ලමුන් 189,000 ද වේ. අඩුම තරමින් සිසුන් 25,000ට ඔවුන්ගේ පාසැල් පොත් හා ලිපි ද්‍රව්‍ය අහිමි විය. නිවාස 2,500ක් මුලුමනින්ම ද 12,500ක් අර්ධ වශයෙන් ද විනාශ විය. බොහෝ ප‍්‍රදේශ වලට ගංවතුර හා නාය යෑම් නිසා ගොඩබිමින් තවමත් ලඟා විය නොහැක. දේපොල වලට සිදුව ඇති අලාභය තවමත් ගනන් බලා නැත.

විපතට පත්ව දිවි බේරාගත් අය දැන් ගංවතුර ආශ‍්‍රිත ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අනතුරට මුහුනපා සිටින අතර මදුරුවන් නිසා ඇතිවන උන, පාචනය හා අතීසාරය ද සමේ රෝග ද ඒ අතර වේ.

2003 ගංවතුර හා නායයෑම් නිසා ජීවිත 264ක් අහිමිවී නිවාස 10,000ක් විනාශ වීමෙන් පසුව ඇතිවූ දරුනුම ව්‍යසනය මෙයයි. විපතට පත් බොහොමයක් දෙනා තේ හා රබර් වතු කම්කරුවන්, ගොවීන් හා කුඩා වැවිලිකරුවන්ය. ඔවුන් ජීවත් වන්නේ දිනකට ඩොලර් 1-2 අතර දරිද්‍රතා මට්ටමේ ආදායමකිනි. බොහෝ දෙනෙක් දැන් අනාථයන් බවට පත්විය හැකිය.

මේසා දැවැන්ත විනාශයකට වගකිව යුත්තේ කවුරුන් ද?

ධාරානිපාත වැසි ඇද වැටීමට පැය කිහිපයකට පෙර ආපදා කලමනාකරන ඇමති අනුර පි‍්‍රයදර්ශන යාපා මහ හඬින් කියා සිටියේ, මෙක්සිකෝවේ කැන්කුන්හි පැවැත්වුනු, “ආපදා අවදානම අවම කිරීම සඳහා වූ 2017 ගෝලීය සමුලුව”ට සහභාගී වෙමින් තම ආන්ඩුව කුමන හෝ ව්‍යසනයක බලපෑම අවම කිරීමට සූදානම් ව සිටි බවයි. “ජීවිත හානි, යටිතල ව්‍යූහයට සිදුවන හානි හා ආර්ථික හානි අවම කිරීම” සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව, මධ්‍ය කාලීන හා දිගු කාලීන ආපදා අවදානම පහත හෙලීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ සැලසුම් ඔහුගේ අමාත්‍යංශය සතුව තිබූ බව යාපා පැවසීය.

“අවදානම අවම කිරීමේ වැඩසටහනක් වර්ධනය කිරීමට වෙන් කෙරුනු අරමුදල්” සහිත “ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක්” සම්බන්ධයෙන් යාපා කයිවාරු ගැසීය. විනාශයට පෙර හෝ එය සිදුවූ වහාම මහජනතාව ඉවත් කිරීමේ සැලසුමක් නොතිබුන අතර, පෙර අනතුරු ඇඟවුමක් ද නොවී ය. අවතැන්වූ ජනතාවට මූලික අවශ්‍යතා කිසිවක් සපයා නොතිබුනි.

ධාරානිපාත වැසි වලින් පසුව වැලපෙන ජනාධිපති, අගමැති හා ඔවුන්ගේ ඇමතිවරු සිය ප‍්‍රහාර එල්ල කලේ ජනතාවට එරෙහිවයි. බලධාරීන් කල් තියා කල අනතුරු ඇඟවීම් ජනතාව ගනනකට නොගත් බව කී ඔවුහු ජල ගැලීමට ප‍්‍රධාන හේතුව අනවසර ඉදිකිරීම් බව පැවසූහ.

*රජයේ ආයතන කල් තියා අනතුරු ඇඟවීම් කල බවටත් ජනතාව ඒවා ගනනට නොගත් බවටත් ආන්ඩුව කරන ප‍්‍රකාශයන්, ව්‍යසනය වෙනුවෙන් ජනතාවට චෝදනා කිරීම සඳහා හිතාමතා ගොතන ලද ඒවාය. එවන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට රජයේ කිසිදු ආයතනයක් ආන්ඩුව විසින් සූදානම්ව තබා නොතිබුනි. “කුනාටුවල වේගය හා දිශාව නිවැරදිව පුරෝකථනය කිරීමට හැකි” ඩොප්ලර් රේඩා පහසුකම් හෝ සූක්ෂම උපකරන තම ආයතනය සතුව නොතිබූ බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල හෙලි කලේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. තුරෙයිසිංහම් පැවසුවේ, ජලගැලීම් පිලිබඳ අනාවැකි කීමට අවශ්‍යම සංවේදක තම දෙපාර්තමේන්තුව සතුව නැති බවයි. අවශ්‍ය උපකරන හිඟයෙන් පෙලෙන කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව ”අනතුරු ඇඟවූයේ” මිලිමීටර් 150ක වර්ෂාපතනයක් ඇතිවන බවයි. එය සාමාන්‍ය තත්වයක් ලෙස සැලකේ. එහෙත් වර්ෂාපතනය මිලිමීටර් 300-550 අතර විය. එය ඇදහැලුනේ අකුනු කුනාටු සමගිනි.

* ජලගැල්මට බලපෑ අනෙක් හේතුව ආන්ඩුවේ ඊනියා සංවර්ධන කි‍්‍රයාවලියේ කොටසක් ලෙස කෙරෙන එහි අතාර්කික, අවිද්‍යාත්මක ඉදිකිරීම් ය. වැඩි කොටසක් ජලගැලීමට හසුවන ප‍්‍රදේශයක් හරහා දිවෙන දක්ෂින අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ආන්ඩුව, පරිසර අධිකාරියේ තක්සේරුව නොතකා හලේය. 2010දී ප‍්‍රමුඛ ඉංජිනේරුවෙකු හා ගෘහනිර්මාන ශිල්පියෙකු වන සුරත් වික‍්‍රමසිංහ “නිරායාසයෙන් ජලය බැසයාම අවහිර කරන අධිවේගී සහ මහා මාර්ගයන්හි පස් වේලි ගංවතුර වැඩි කරන බවට” අනතුරු ඇඟවූයේ ය. වගුරු බිම් හා ඇලමාර්ග රක්ෂිත “හිතූමතේ ගොඩකිරීම” ද ජලගැලීමට හේතුවන බව ඔහු විසින් පෙන්වාදී තිබුනි. තාර්කික විකල්පයක් ලෙස ඔහු යෝජනා කලේ, මහාමාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීමේදී අත්‍යවශ්‍ය තැන්වල ඒවා කුලුනු මත ඉදිකල යුතු බවයි.

*අවසර නොලත් ඉදිකිරීම් පිලිබඳ ආන්ඩුවේ අනෙක් ප‍්‍රචාරය ද බොරුවකි. අධ්‍යයනයන් පෙන්වාදී ඇත්තේ, මුඩුක්කු නිවාස හා පැල්පත් යන ඊනියා නීති විරෝධී ඉදිකිරීම් පාංශු ඛාදනයට හා ජලගැලීමට ප‍්‍රධාන බලපෑමක් සිදුකරන්නේ නැති බවයි.

ආන්ඩුවේ මෙම ප‍්‍රචාර පිටුපස දුෂ්ඨ අරමුනක් පවතී. බස්නාහිර පලාතම ආවරනය වන පරිදි මහා නාගරිකයක් (මෙගාපොලිස් ) හා දකුනු ආසියාවේ වානිජ්‍යය හා මූල්‍ය මධ්‍යස්ථානය බවට කොලඹ නගරය පත් කිරීමේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩපිලිවෙලේ පරිමානය සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් පුලුල් කරනු ලැබ ඇත. ආන්ඩුව වානිජ්‍ය අරමුනු සඳහා රට පුරාම ඉදිකිරීම් සැලසුම් කරන අතර යහපත් විකල්ප නිවාස හෝ ජීවනෝපායන් නොසපයා පීඩිත ජනතාව පදිංචි තැන්වලින් ඉවත්කොට ඉඩම් අත්කරගැනීම ආන්ඩුවට අවශ්‍යව තිබේ.

ඇමති යාපා පැවසුවේ, නිති විරෝධී ඉදිකිරීම් සඳහා දඬුවම් පැමිනවීමට හැකි වන පරිදි වසර 100ක් පැරනි ජලගැලීම් කලමනාකරන පනත වෙනස් කිරීමට ආන්ඩුව කටයුතු කරනු ඇති බවයි. “සියලු නීතිවිරෝධී ඉදිකිරීම්, අගනුවර ඇති 10,000ක් ද ඇතුලුව, විනාශ කරන බව” ද ඔහු කියා සිටියේය.

ධනේශ්වර ක‍්‍රමයේ විරුද්ධවාදියෙක් නොවන සන්ඩේ ටයිම්ස් පුවත්පත 4දා සිය “අයිතීන් පිලිබඳ යොමුව” තීරුවෙහි කෙලින්ම පැවසුවේ, “අපි හොඳින්ම පැහැදිලි කර ගමු. ප‍්‍රශ්නය නීතිය නොවේ, එය දේශපාලන නායකත්වයේ විනිවිද පෙනෙන ඛේදනීය බෙලහීනත්වය හා සුවිශේෂිතව ආපදා කලමනාකරනය භාරවූවන්ගේ තකතීරුකමයි.”

ප‍්‍රධානකොටම පීඩිත ජනතාව එල්ල කරගනිමින් “නීතිවිරෝධී ඉදිකිරීම්” විනාශ කිරීමට නියෝග කරන සිරිසේන, විපතට පත් ප‍්‍රදේශවල සැරිසරමින් කිඹුල් කඳුලු හෙලයි. එසේම සිය ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සහන සේවා කඩිනම් කිරීම සඳහා යොමු කරයි. විපතට පත්වූවන්ට වන්දි ගෙවන බව ආන්ඩුව පවසයි. නය ආපසු ගෙවීම සඳහා මාස තුනක “සහන කාලයක්” මහ බැංකුව විසින් නිවේදනය කර ඇත.

මහ ජනතාව අතර පුලුල්ව පැතිර පවත්නා කෝපය ගංවතුර විනාශය මගින් වැඩිකරනු ඇතැයි යන උත්සුකයෙන් ආන්ඩුව තැතිගෙන ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන කි‍්‍රයාත්මක කරන ආන්ඩුව, සිය ජීවන තත්වයන්ට හා සමාජ කොන්දේසි වලට එල්ල කරන ප‍්‍රහාරයට එරෙහිව නගරබද මෙන්ම ගම්බද ද වැඩකරන ජනතාව දැනටමත් අරගලයට පිවිසෙමින් සිටිති.

මෙම විනාශයෙන් පසුව තමන් සදාකාලික අනාථයන් බට පත්වීම පිලිබඳව ජනතාව පලකරන්නේ යුක්ති සහගත බියකි. 2004 ආසියානු සුනාමිය ඔවුන් මුහුනපෑ දරුනුම “ස්වාභාවික විපත” යි. ඉන් 40,000ගේ ජීවිත අහිමිවී දහස් ගනන් නිවාස අතුගෑවින. බොහෝ දරුවන් අනාථ නිවාස වලට යැවුන අතර ඔවුන් කිසිදු ආධාරයක් ලබා නැත.

මෑතම ව්‍යසනයට සති පහකට පෙර කොලඹ ට තදාසන්න ප‍්‍රදේශයක් වන කොලොන්නාව මීතොටමුල්ලේ කුනු කන්ද කඩාවැටීමෙන් ජීවිත 32ක් අහිමිවුන අතර මිනිසුන් දහසකට පමන නිවාස අහිමි විය.

වසරකට පෙර හමුදාවේ සාලාව කඳවුරෙහි අවි ගබඩාව පුපුරාගියේ නිවැසියන් දුසිම් ගනනකට විනාශය ගෙන එමිනි.

එසේම පසුගිය වසර ගනනාව තුල ඇතිවූ නායයාම් ගනනාවකින් ජීවිත විශාල ගනනක් විනාශ විය.

කිසිදු ව්‍යතිරේකයකින් තොරව මේ සියලු විනාශයන්ට ධනවාදය සෘජුවම වගකිව යුතුය. පාලක පන්තිය හා එහි ආන්ඩු, කම්කරු පීඩිත ජනතාව මුහුනපා සිටින සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රශ්න කිසිවකට විසඳුම් දීමට තමන් අසමත් බව යලි යලිත් තහවුරු කොට තිබේ.

මෑතම ව්‍යසනය ගැන ජනතාවට අනතුරු ඇඟවීම සඳහාවත් ඩොප්ලර් රේඩා යන්ත‍්‍රයන් ආන්ඩුව විසින් මිලට නොගත්තේ ඇයි ද? යන ප‍්‍රශ්නය ඇසීම සාධාරනය. සැබෑව නම් ආන්ඩුව ජනතාවගේ ජීවිත පිලිබඳව කිසිදු තැකීමක් නොදැක්වීමයි.

පාලක පැලැන්තිය දෙමල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව 30 වසරක යුද්ධයක් ගෙන ගිය අතර වැඩකරන ජනතාව හා තරුනයින් මැඩ ධනපති පාලනය රැක ගැනීම සඳහා මිලිටරියට වාර්ෂිකව රුපියල් බිලියන සිය ගනනින් වැය කලේය. පවතින සීමිත සමාජ පිරිවැය පවා කපා දමමින් ආන්ඩුව වාර්ෂික අයවැයෙන් සියයට 16ක දැවැන්ත මුදලක් මිලිටරියට වෙන් කරයි. මෙම පාලක පන්තිය ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ සෘජු සේවය වෙනුවෙන් ලාභ පද්ධතිය රැකගැනීමට කැපවී කටයුතු කරයි.

අනෙකුත් බලවතුන් ශී‍්‍ර ලංකාවේ ඛේදවාචකය, දිවයින මත සිය භූ-දේශපාලන අනුහස ශක්තිමත් කර ගැනීම පිනිස ගසා කයි. “සහන සේවා” සඳහා උදව් කිරීමට ඉන්දියානු ආන්ඩුව කඩිමුඩියේම නාවික යාත‍්‍රා තුනක් සමග පුද්ගලයින් 300ක් හා කුඩා බෝට්ටු තොගයක් එවීය. ඇමරිකාවේ සමීප හවුල්කරුවෙකු හා චීනයේ එදිරිවාදියෙකු වන ඉන්දියාව, ආන්ඩුව සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට උනන්දුවක් දක්වයි. කොලඹ සමග ගැඹුරු දේශපාලන හා මිලිටරි බැඳීම් ඇති වොෂින්ටනය, රුපියල් මිලියන 350ක සොච්චම් ආධාරයක් පිරිනමා ඇති අතර පවිත‍්‍ර කිරීමේ වැඩ වලට උදව්කරනු පිනිස සෙබලු හා කැඩෙට් වරුන් එවා ඇත. චීනය නාවික හමුදා නැව් තුනක් මෙන්ම කුඩා යාත‍්‍රා ද වෛද්‍ය කන්ඬායම් ද එවා ඇත.

මාධ්‍ය වල ද උදව් ඇතිව ආන්ඩුව, ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස මිලිටරිය හුවා දක්වීම කැපී පෙනේ. හමුදාව, ගුවන් හා නාවික හමුදාව ගලවා ගැනීමේ කන්ඬායම් ලෙස දහස් ගනනක් සෙබලුන් යවා ඇත. ඒ නිශ්චිත අරමුනක් ඇතිවය. මිලිටරිය එහි යුද අපරාධ ද විරෝධතාකරුවන්ට තුවක්කු එල්ල කිරීම ද හේතුකරගෙන අපකීර්තියට පත්ව ඇත. 2013දී හමුදාව රතුපස්වල විරෝධතාවට පහරදී තරුනයින් තිදෙනෙක් මරා දැමීය. එලඹෙන කම්කරු පීඩිත ජනතාවගේ අරගලයන්ට එරෙහිව යොදාගැනීමේ අටියෙන් ආන්ඩුවට, ආරක්ෂක හමුදාවන්ට මානවවාදී ප‍්‍රතිරූපයක් ලබාදීමට අවශ්‍යවී ඇත.

ධාරානිපාත වැසි හමුවේත් ඉන් පසුවත් සාමාන්‍ය ජනතාව, විපතට පත්වූවන් ගලවා ගනිමින් ද සුරක්ෂිත තැන්වලට ඔවුන් ගෙනයමින් ද අවශ්‍ය බඩු භාන්ඬ සපයමින් ද සිය සානුකම්පිකත්වය පෙන්නුම් කලේය. කම්කරු පීඩිත ජනතාව මේ ඛේදජනක සිදුවීම් වලින් පාඩම් උකහාගත යුතුය. පාලක පන්තියේ කුමන කොටසක්වත් ඔවුන්ගේ ආන්ඩුවත් මෙම ගැටලු වලට විසඳුම් සපයනු නැත. වැඩකරන ජනතාව පාලනය සියතට ගත යුතුය. ඔවුන්ගේ සැබෑ මිතුරන් වන්නේ ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදරයින් හා සහෝදරියන්ය.

ජනතාවගේ බහුතරයකට සහන සැලසෙන පරිදි ආර්ථිකය තර්කාන්විත හා විද්‍යාත්මකව සැලසුම් කල හැක්කේ, ධනේශ්වර පාලනය අවසන් කරමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් කි‍්‍රයාවට නැගීම සඳහා කම්කරු පන්තිය, පීඩිත ජනතාවන්ගේ සහාය ඇතිව දේශපාලන බලය සියතට ගැනීමෙන් පමනි. මෙහි අර්ථය වන්නේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා සටනකට කම්කරු පන්තිය හා තරුනයින් මෙහෙයවමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම අරමුනු කරගත් අරගලයක් දියත් කල යුතු බවයි.

මෙම අරගලය ගෙනයාම සඳහා දැවෙන අවශ්‍යතාව වන්නේ, කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය, ගොඩනැගීමයි.

Share this article: