දෙමල පක්ෂවල කා කොටාගැනීම ශ්‍රී ලංකාවේ ගැඹුරු දේශපාලන අර්බුදයේ ඇඟවුමකි

Infighting in Tamil party signifies deep political crisis in Sri Lanka

කේ.රත්නායක විසිනි, 2017 ජූනි 21

ටීඑන්ඒ විසින්, විශ‍්‍රාමික උපරිමාධිකරන විනිසුරුවරයෙකු වන විග්නේශ්වරන් 2013 පලාත් සභා මැතිවරනයේ ප‍්‍රධාන අපේක්ෂකයා ලෙස නම් කල අතර, ජයගැනීමෙන් පසුව, උතුරු පලාත් සභා මහඇමති ලෙස පත්විය. ඔහු ඊට පෙර සන්ධානයේ සාමාජිකයෙකු නො වුන ද ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් විසින් ඔහු සංවිධානය තුලට ගන්නා ලද්දේ, කොලඹ නායකයින් හා ජාත්‍යන්තර බලවතුන් විසින් ඔහු විශ්වාස කල හැකි පුද්ගලයෙකු යැයි සලකන ලද බැවිනි.

කෙසේ නමුත් විග්නේශ්වරන් විසින් දූෂන චෝදනා මත උතුරු පලාත් සභාවේ ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපා හැර තවත් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව ගිය සතියේ ධනේශ්වර ප‍්‍රභූව අතර වෙනස්කම් මතුපිටට පැමිනියේය. මෙම ඇමතිවරු හතරදෙනා ටීඑන්ඒ තුල ප‍්‍රධාන පක්ෂය වන ඉලංකෙයි ටැමිල් අරසු කච්චි (අයිටීඒකේ) සාමාජිකයෝ ය.

ආර්. සම්බන්ධන් හා එම්.ඒ. සුමන්දිරන් ඇතුලු ටීඑන්ඒ නායකයෝ ඇමතිවරුන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීම අත්තනෝමතික තීරනයක් යැයි පවසමින්, ප‍්‍රධාන ඇමතිගේ තීරනයට විරුද්ධ වූහ. අයිටීඒකේ සභිකයන් ප‍්‍රතිචාර දැක්වූයේ විග්නේශ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමිනි.

ඊට එරෙහිව දෙමල මහජන සභාව(ටීපීසී), දෙමල ශාස්ත‍්‍රාලිකයින් කන්ඩායමක් හා යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විග්නේශ්වරන්ට සහාය දක්වමින් යාපනය හා උතුරේ අනෙකුත් නගරවල විරෝධතාවක් කැඳවූහ. ටීපීසීයට ඇතුලත් ඊලම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුන(ඊපීආර්එල්එෆ්), දෙමල ඊලම් මහජන විමුක්ති සංවිධානය හා දෙමල ඊලම් විමුක්ති සංවිධානය(ටෙලෝ) වැනි පක්ෂ ටීඑන්ඒ හවුල්කරුවෝ ය. තවත් වර්ගවාදී පක්ෂයක් වන දෙමල ජාතික මහජන පෙරමුන ටීපීසියේ සාමාජිකයෙකි. විග්නේශ්වරන් සඳහා සහාය ගොනු කර ගැනීමට උත්සාහ කරමින් මෙම කන්ඩායම, දූෂනයට එරෙහි සටන්කරුවෙකු හා දෙමල ජනයාගේ අයිතීන් ආරක්ෂා කරන්නෙකු ලෙස ඔහු හුවා දැක්වූහ.

චෝදනා ලැබූ දූෂිත ඇමතිවරුන්ට එරෙහි විග්නේශ්වරන් ගත් පියවර මුල්කොටගත් ගැටුමට දෙමල ජනතාවගේ අයිතීන් සමග කිසිදු සම්බන්ධයක් නොමැති වුව ද එය පිලිබිඹු කරන්නේ, තම ආසක්තයන් මැනවින් ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න මත දෙමල ප‍්‍රභූව අතර පවතින උපක‍්‍රමික වෙනස්කම් ය. මෙම ගැටුම් පිටුපස ඇත්තේ, දිග්ගැස්සෙන මිලිටරි වාඩිලාගැනීම, මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයීතීන් මර්දනය කිරීම හා බියකරු ජීවන කොන්දේසි සම්බන්ධයෙන් ටීඑන්ඒ හවුලට එරෙහිව උතුරු හා නැගෙනහිර දෙමල කම්කරුවන් හා තරුනයන් අතර පවතින ගැඹුරු වූ ද වැඩෙමින් පවතින්නා වූ ද කෝපය යි.

කොලඹ තන්ත‍්‍රය හා උතුරේ මේ වන විටත් පවතින මිලිටරි වාඩිලාගැනීම් සම්බන්ධයෙන් සීමිත විවේචන කරන විග්නේශ්වරන්, මහජන කෝපය හා විරුද්ධත්වය වාර්ගික රේඛා ඔස්සේ හරවා යැවීමට උත්සාහ කරමින් සිටී.

කෙසේ නමුත් ටීඑන්ඒ කන්ඩායම්, ආන්ඩුව හා මිලිටරිය, විග්නේශ්වරන් හා ඔහුගේ ආධාරකරුවන් රට පුරා ගැඹුරු වෙමින් තිබෙන දේශපාලන අස්ථාවරත්වය වැඩි දියුනු කිරීම ගැන උත්සුක ය. උතුරු හා නැගෙනහිර හටගෙන තිබෙන පිපිරෙන සුලු නොසංසුන්තා හට ගන්නේ, රටේ දකුනු ප‍්‍රදේශය තුල කම්කරු පීඩිත ජනතාව හා තරුනයන් අතර ආන්ඩුව කෙරෙහි පලවන සතුරුකම වැඩි වර්ධනය වීමත් සමගිනි.

රට තුල ඇති මහ කොමසාරිස් හා තානාපති කාර්යාල කීපයක් “ප‍්‍රශ්නය මිත‍්‍රශීලීව විසඳා ගන්නා ලෙස ටීඑන්ඒ සංවිධානයෙන් ඉල්ලා” තිබූ බව ඊයේ ඬේලි මිරර් පත‍්‍රය වාර්තා කලේ ය. පුවත්පත ඒවා නම් නොකල අතර, එක්සත් ජනපද, යුරෝපා සංගම්, බ්‍රිතාන්‍ය හා ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයෝ ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන වර්ධනයක් ම ඉතා කිට්ටුවෙන් නිරීක්ෂනය කරමින් සිටිති. මෙම බලවතුන්, විශේෂයෙන් ම වොෂින්ටනය හා නව දිල්ලිය, චීනයට එරෙහි ඔවුන්ගේ යුද සැලසුම්වල කොටසක් ලෙස ශ්‍රී ලංකාව මත ස්ථිර මූලෝපායික ග‍්‍රහනය පවත්වා ගෙන යාමට උනන්දු ය.

මෙම ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දක්වමින් විග්නේශ්වරන්, ඇමතිවරුන් දෙදෙනාට එරෙහි තම අනිවාර්ය නිවාඩු නියෝගය ඉල්ලා අස්කර ගැනීමටත්, උතුරු පලාත් සභාවේ ඔහුගේ විරුද්ධවාදීන් සමග සම්මුතියකට ඒමටත් ඊයේ එකඟ විය. තමන්ගේ පැත්තෙන් ටීඑන්ඒ නායක ආර්.සම්බන්ධන්, ඇමතිවරුන් දෙදෙනාට එරෙහි දූෂන පරීක්ෂනයට මැදිහත් නො වීමට මෙන් ම විග්නේශ්වරන්ට එරෙහි සිය විශ්වාස භංග යෝජනාව ඉල්ලා අස් කර ගැනීමට ද පොරොන්දු විය.

2013 වසරේදී උතුරු පලාත් සභා මැතිවරනය සංවිධානය කෙරුනේ, එල්ටීටීඊයට එරෙහි යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පීඩනයකට මුහුන දෙමින් සිටියා වූ ද දෙමල ප‍්‍රභූව සැනසීමට අවශ්‍ය වූ ද ජනාධිපති මහින්ද රාපක්ෂ යටතේ ය. අනෙකුත් බටහිර බලවතුන්ගේ සහයෝගය ද ඇතිව වොෂින්ටනය ප‍්‍රධාන වශයෙන් උනන්දු වුනේ, දේශපාලනිකව හා ආර්ථික වසයෙන් ආන්ඩුව චීනයෙන් ඈත් කර ගැනීම සඳහා රාජපක්ෂට පීඩනය යෙදීමට යි.

2015දී, රාජපක්ෂ ඉවත් කිරීමට හා මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට වොෂින්ටනය විසින් මෙහෙය වන ලද තන්ත‍්‍ර මාරු මෙහෙයුමට ටීඑන්ඒ මුලුමනින් ම පිටුබලය දුන්නේ ය. සිරිසේන දෙමල ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව හා වඩා යහපත් සමාජ තත්වයන් ලබා දෙනු ඇතැ යි ව්‍යාජ ලෙස ප‍්‍රකාශ කරමින් ටීඑන්ඒ, සිරිසේනට ඡන්දය දෙන ලෙසට උතුරේ දෙමල ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා “සංහිඳියාව” යනුවෙන් දෙමල ජාතිකවාදීන් අදහස් කරන්නේ දෙමල කම්කරුවන් හා තරුනයන් කොල්ලකෑම සඳහා කොන්දේසි සකසන, කොලඹ තන්ත‍්‍රය සමග බලය බෙදා ගැනීමේ වැඩපිලිවෙලකි. කොලඹ තන්ත‍්‍ර මාරුවට පිටුබලය දෙමින් ටීඑන්ඒ, තව තවත් වරප‍්‍රසාද හිමිකර ගැනීමේ බලාපොරොත්තු ඇතිව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට දෙමල ප‍්‍රභූවේ දාසකම පිලිබඳ නව අවධියක් සලකුනු කලේය.

ගෙවී ගිය මාස 30 තිස්සේ ආන්ඩුව, කොලඹ විදේශ ප‍්‍රතිපත්තිය එක්සත් ජනපද හා ඉන්දියානු ඉල්ලීම් සමග එක පෙලට තබා ඇත. සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ මෙම රටවල් දෙක සමග ම තම බැඳීම් ශක්තිමත් කර ගෙන ඇත. රටේ කඳු ගැසෙන ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ද එය යහමින් ක්‍රියාත්මක කරයි.

සිරිසේන හා වික‍්‍රමසිංහගේ අස්ථාවර “එක්සත් ආන්ඩුවට” අමතරව ටීඑන්ඒ, පාර්ලිමේන්තුවේ තනි විශාල ම කන්ඩායම යි. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා වන සම්බන්ධන්, ආන්ඩුව පිලිබඳ මූන බේරා ගැනීමේ පුහු විවේචන ඉදිරිපත් කරන අතර එහි කප්පාදු හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්ට පිටුබලය දෙමින්, ටීඑන්ඒ ආන්ඩුවේ ප‍්‍රබල හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කර යි.

රටේ පැවති විනාසකාරී වර්ගවාදී යුද්ධය අවසන් වී අවුරුදු අටකට පසු ද ශ්‍රී ලංකා මිලිටරිය, සැබවින් ම උතුර හා නැගෙනහිර පාලනය කර යි. පවතින මිලිටරි වාඩිලා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර පවතින්නේ ගැඹුරු කෝපයකි. ටීඑන්ඒ ආන්ඩුවට මුක්කු ගසා මිලිටරියේ යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් අවහිර කිරීමේ උත්සාහයට පිටුබලය දී ඇත.

යුද්ධය අතරතුර දී මිලිටිරිය විසින් අල්ලා ගැනුනු ඉඩම් ආපසු දෙන ලෙස ද ගැටුම අතරතුර “අතුරුදහන්” වූවන්ගේ තොරතුරු ද ඉල්ලමින් උතුරු පලාතේ අඛන්ඩ පෙලපාලි පැවත්වේ. විරැකියාව උග‍්‍ර වන අතර යුද්ධයේ දී තම නිවාස විනාස වූ දහස් ගනනක් තවමත් තාවකාලික පැල්පත්වල දිවි ගෙවමින් සිටිති.

2015 අග භාගයේ තවත් කන්ඩායම් කීපයක් සමග විග්නේශ්වරන්, දෙමල මහජන කවුන්සිලය සංවිධානය කිරීමට එක්වූයේ, මෙම පුපුරන සුලු මහජන අසහනය වාර්ගික රේඛා ඔස්සේ හරවා යැවීමට ය. පසු ගිය සැප්තැම්බරයේ දී උතුරේ ද පෙබරවාරි මස නැගෙනහිර ද දෙමජ ජනතා කවුන්සිලය විසින් එෂුගා ටැමිල්ස් (පිබිදෙනු දෙමලුනි) සංවිධානය කරන ලද්දේ, දෙමල ජනයාගේ අපේක්ෂාවන් “ජාත්‍යන්තර ප‍්‍රජාව” අතර ප‍්‍රචලිත කිරීමේ ධජය යටතේ ය.

යුද්ධයේ දී මියගිය දෙමල ජනයා සිහිපත් කිරීමට මැයි මාසයේ පැවත් වූ රැස්වීමක දී, “හමුදාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මහජනයා පාරට බසින දවස වැඩි ඈතක නො වේ” යයි විග්නේශ්වරන් ප‍්‍රකාශ කලේ ය. මෙම වාචාල ආයාචනය, වර්ධනය වන්නා වූ විරුද්ධත්වය පිලිබඳ ව කොලඹට අනතුරු ඇඟවීමක් විය. “රන විරුවන්” සිහිපත් කිරීමේ රැස්වීමක දී සිරිසේන ප‍්‍රතිචාර දැක්වූයේ “හමුදාව ඉවත් කර ගන්නේ නැතැයි” පවසමිනි.

ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවතින පන්ති අරගලයේ පසුබිම යටතේ ධනේශ්වරයේ සෑම කන්ඩායමක් ම― සිංහල, දෙමල හා මුස්ලිම්―වාර්ගික රේඛා කපා යන කම්කරුවන්ගේ එක්සත් අරගලයක් පිපිරීමේ අනතුර ගැන තැතිගැන්මෙන් පසුවෙයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, රාජපක්ෂගේ විපක්ෂය මෙන් ම මිලිටරිය ද උතුරේ වර්ධනය වන්නා වූ අරගල පිලිබඳ භීතියෙන්, කම්කරු පන්තිය බෙදීම සඳහා සිංහල වර්ගවාදය තොරොම්බල් කරමින් සිටිති.

ටීඑන්ඒහි ද්‍රෝහි ක්‍රියාකලාපය ද දෙමල කම්කරුවන් හා තරුනයන්ගේ මූලික අයිතීන් හා ජීවන තත්වයන් සඳහා සටන් කිරීමට උනන්දුවක් නැති විග්නේශ්වරන් වටා කාන්ඩ ගැසීම ද දෙමල කම්කරුවන් හා තරුනයන් විසින් ප‍්‍රතික්ෂේප කල යුතු ය. එල්ටීටීඊය මෙන් ම මෙම කාන්ඩායම් ද උත්සාහ කරන්නේ, තම ජාතිකවාදී ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට හා ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ට ආයාචනය කරමින් තම වරප‍්‍රසාද වැඩි කර ගැනීමට ය.

වැඩකරන ජනතාවට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගත හැක්කේත්, සමාජ තත්වයන් වර්ධනය කර ගත හැක්කේත්, ජාතික ධනේශ්වරයේ සෑම කන්ඩායමකට මෙන් ම අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහිව සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත ඔවුන්ගේ සටන පදනම් කිරීමෙන් පමනි. මින් අදහස් කෙරෙන්නේ දකුනු ආසියාව තුල හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්, එනම් ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය යි. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Share this article: