මිල්ටරිය ශක්තිමත් කිරීමට දිවුරමින් ජනාධිපති සිරිසේන සූදානම් කරන්නේ ආඥාදායක පාලනයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජූනි 1

ලංකාවේ ත්‍රිවිධ හමුදාව තව දුරටත් ශක්තිමත් කරන බව මැයි 19 වන දා පැවති ඊනියා රනවිරු සමරු උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කලේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කරමින් 2009 මැයි 19 දා අවසන් කෙරුනු වර්ගවාදී යුද්ධයේ මිලිටරි ජයග‍්‍රහනය අනුස්මරනය කිරීමට කොලඹ ආන්ඩු විසින් වසරක් පාසා “රනවිරු සැමරුම” පවත්වනු ලැබේ. ඉතිහාසය විකෘත කරමින් සිරිසේන කල කතාව පෙන්නුම් කලේ ලංකාවේ පාලක පන්තිය මිලිටරිය මත දීන ලෙස යැපී සිටින ආකාරයයි.

දසක තුනකට ආසන්න කාලයක් ගෙන ගිය යුද්ධයේ දී උතුරු-නැගෙනහිර දෙමල සිවිල් ජනයා දස දහස් ගනනක් ඝාතනය කෙරුනි; තවත් දහස් ගනනක් අතුරුදහන් කෙරුනි; අඛන්ඩව පවතින සමාජ හා ආර්ථික ව්‍යසනයක් දෙමල ජනයා මත පටවා ඇත. දකුනු පලාත් ද ඇතුලුව කම්කරුවන් හා දුගීන් රුදුරු ලෙස මැඩලීමට මෙම යුද්ධය යොදා ගැනුනි. කම්කරුවන්ට, දුගීන්ට මේ යුද්ධයේ සමරන්නට දෙයක් නැත; මෙම යුද්ධය පාලක පන්තියේ යුද්ධයකි.

හිටපු ජනාධිපති රාජපක්ෂගේ පාලනය මෙන්ම දැන් රට කරවන සිරිසේන ආන්ඩුව ඇතුලු පාලක පන්තියේ සෑම කොටසක් ම, යුද්ධයේ විනාශයට වගකිව යුතු ය. ඔවුහු සියල්ලෝ ම තමන් ගෙන ගිය ම්ලේච්ච යුද්ධය යුක්ති සහගත කිරීම සඳහා එල්ටීටීඊයේ “ත‍්‍රස්තවාදය” සියල්ලට ම වගකිවයුතු යයි කියා සිටිති.

මිල්ටරිය “මාතෘභූමිය” නිදහස් කරගත් “ශ්‍රේෂ්ඨ රනවිරුවන්” ලෙස හුවා දක්වමින් මිල්ටරි ප‍්‍රහාරයේදී සිදු කල යුද අපරාධ යට ගසන සිරිසේන ඒවාට වගකිව යුතු ආරක්ෂක හමුදා නිලධාරීන් සහ දේශපාලන නායකයන් ආරක්ෂා කරයි. යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු හමුදා නිලධාරියෙක් අධිකරනයට ගෙන්වීමට හෝ සිරගත කිරීමට තමන් ඉඩ නොදෙන බව පසුගිය දිනවල ඔහු යලි යලිත් ප‍්‍රකාශ කලේ ය.

ජනාධිපති සිරිසේන ඔහුගේ කතාව ආරම්භ කලේ මෙසේය: “1948 බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස් කරගෙන, සාමකාමී ලෙස ඉතා ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙසින් ඉදිරියට යනකොට තමයි 70 දශකයේ මැද භාගයේ මේ රට දෙකඩ කරන්න ම්ලෙච්ඡ ඊලම් ත‍්‍රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කලේ. ඒ යුද්ධය වසර තිහක් පමන ඇදී ගියා.” එතැන් පටන් මිලිටරිය යුද්ධ කර වීරත්වයෙන් රට බේරා ගත් බව ඔහු කීවේය.

1948 “නිදහසින්” පසු ධනපති පන්ති පාලනය පටන් ගත් සැටි හා යුද්ධය ආරම්භවූ සැටි ගැන සිරිසේනගේ ප‍්‍රකාශ ඉතිහාසය ඔලුවෙන් හිටුවා දෙසා බෑ මුසාවන් ය. වර්ගවාදී යුද්ධය සම්බන්ධයෙන් මූලිකව ම වගකිව යුත්තේ කොලඹ පාලක පන්තියයි.

ලංකාවේ ධනපතියන් කිසිදාක විජිත පාලනයෙන් නිදහස ඉල්ලා හෝ ඒ සඳහා සටන් කර හෝ නැත. සිදුවූයේ දෙවන ලෝක යුද්ධයෙන් බැටකා සිටි බ්‍රිතාන්‍ය පාලකයන් පශ්චාත් යුද සමථයේ කොටසක් ලෙස ලංකාවේ ධනපතියන් අතට බලය මාරු කිරීමයි. බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ හෝ ලංකාවේ ධනපතියන් අතට බලය මාරු කිරීමෙන් පසු හෝ කිසිදාක “සාමකාමී” හෝ “ස්වයංපෝෂිත රාජ්‍යයක්” ලෙස ලංකාව පැවතී නැත.

යටත් විජිත පාලනයට එරෙහිව සිංහල හා දෙමල කම්කරුවන්ගේ අරගල වලින් තැති ගෙන සිටි මෙරට සිංහල පාලකයන් තමන් අතට බලය ලැබීමෙන් පසු අනුගමනය කලේ දුර්වල පන්ති පාලනය රැක ගැනීමට සිංහල-දෙමල වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය භේද කර පාලනය කිරීමේ ප‍්‍රතිගාමී පිලිවෙතකි.

විශේෂයෙන් ම, ට්‍රොට්ස්කිවාදී බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ ද ට්‍රොට්ස්කිවාදී යයි කියා ගත් ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) ද ආනුභාවය ලංකාවේ කම්කරු පන්තිය අතර පැතිර තිබීම හා ඒ යටතේ ගොඩ නැගී තිබුන එකමුතුව බිඳ දැමීම පිනිස වර්ගවාදී ඇවිස්සීම් විසකුරු දේශපාලන අවියක් ලෙස ධනපති පාලක පන්තිය විසින් යොදා ගැනුනි.

1948 පුරවැසි පනතෙන් දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කිරීම එහි ප‍්‍රථම පියවරයි. එතැන් පටන්, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ආන්ඩු, අර්බුදය ගැඹුරු වන තරමට, පන්ති අරගලය තියුනු වන තරමට, 1964 ලසසපයේ මහා පාවාදීම ද උපයෝගී කර ගනිමින් දෙමල විරෝධී වර්ගවාදය උත්සන්න කලහ.

1977 බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව 1983 කලු ජුලිය ඇතුලුව දෙමල ජනයාට එරෙහි ප‍්‍රකෝපකරනයන් මාලාවක් මගින් වර්ගවාදී යුද්ධයට පාර කැපීය. දැනුවත්ව සූදානම් කල මෙම ප‍්‍රකෝපකරනයන්ගේ එල්ලය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් නිර්දේශිත ආර්ථික කප්පාදුවේ හා විවෘත වෙලඳ පොල වැඩපිලිවෙලට එරෙහිව මතු වූ පන්ති අරගල මැඩීමයි.

සිරිසේන දැනුවත්වම ආවරනය කරන යුද්ධය ආරම්භයේ ඉතිහාසය සැකෙවින් එසේය. කම්කරුවන්ගේ හා දුගීන්ගේ මොනම සමාජ ප‍්‍රශ්නයක් වත් විසඳීමට ඓතිහාසිකව ම අසමත්ව සිටි අධිරාජ්‍ය ගැති ලංකාවේ කුජීත පාලක පන්තිය සිය පාලනය රැක ගත්තේ වැඩකරන ජනතාවන් ලෙයින් මැඩීම මගිනි. එවැනිම බෙලහීන අධිරාජ්‍ය ගැති දෙමල ධනපතියන් ද එල්ටීටීඊ ඇතුලු ඔවුන්ගේ සියලු ධනපති පක්ෂ ද තමන්ගේ පැත්තෙන් ප‍්‍රතිචාරය ලෙස වර්ගවාදය ඇවිස්සීම මගින් සිංහල පාලකයන්ට උඩගෙඩි දුන්හ.

යුද්ධය හුදෙක් දෙමල ජනයා මැඩීමේ ප‍්‍රහාරයක් පමනක් නොව එහි මූලික ඉලක්කය වූයේ කම්කරු පන්තිය මැඩීම බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) අවධාරනය කලේ යුද්ධයේ එම ඓතිහාසික වර්ධනය විභාග කරමිනි. කම්කරුවන්, තරුනයන් හා හිතන මතන ජනයා යුද්ධයේ මෙම පන්ති අන්තර්ගතය තේරුම් ගැනීම අවශ්‍ය ය. මෙම යුද්ධය “අපේ යුද්ධයක්” නොවන බවත් ඊට විරුද්ධ විය යුතු බවත් කියා සිටියේ සසප හා විකොස පමනකි. උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කිරීමට ද දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන් කොලඹ ධනපති පන්තියට හා දෙමල ධනපති පන්තියට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල මත එක්සත් කිරීමට ද අපි සටන් කලෙමු.

සිරිසේන මුසාවන් දෙඩුවේ නිකමට නොවේ. මිලිටරිය වන්දනාමාන කිරීම, ඉහලට ඔසවා තැබීම හා ශක්තිමත් කිරීම එහි යුද අපරාධ ආවරනය යන මේ සියල්ල පාලක පන්තියේ නිශ්චිත උවමනාවකින් පැන නංවනු ලැබ තිබේ. එය නම්, ජීවන තත්වයන් ට හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරු-පීඩිත ජනයා අතර වර්ධනය වන විරුද්ධත්වය තලා දැමීම සඳහා ආඥාදායක පාලනයක් කරා මාරුවීමේ උවමනාවයි.

පසු ගිය තිස් අවුරුදු යුද්ධය තුලදී මිලිටරිය මත වඩවඩාත් යැපුනු අනුප‍්‍රාප්තික ආන්ඩු ජාතික ආදායමෙන් එන්න එන්නම ඉහල යන පදාසයක් වියදම් කරමින් එය තරකර දේශපාලන තත්වය තුල තීරනාත්මක සාධකයක් බවට පත් කොට තිබේ. කම්කරු අරගල වැඩෙන තතු යටතේ, සිරිසේන, අප්‍රේල් 19 දා පැවති කැබිනට් රැස්වීමේදී හිටපු හමුදාපති හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් “රට විනය ගත කිරීම සඳහා” අවුරුදු දෙකකට භාර ගන්නා ලෙස ඉල්ලූ බව ප‍්‍රකට ය. සිරිසේන, වික‍්‍රමසිංහ ඇතුලු පාලක පන්තියේ කොටස් පැරනි ආකාරයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වහන්තරාවන් තබාගෙන පාලනය ගෙන යාම තව දුරටත් කල නොහැකි බව නිගමනය කර ඇත.

ආඥාදායක පාලන තන්ත‍්‍රයක අවශ්‍යතාවය ගැන ශ්‍රී ලංකාවේ පාලක පන්තිය මුලින් ම අවධානය යොමු කලේ කම්කරු පන්තියේ දැවැන්ත අරගලයක් පැන නැගෙමින් තිබුනු 1964 වසරේ දී ය. එහෙත් ඒ මොහොතේ කම්කරු පන්තිය සමග ගැටුමකට යාම දේශපාලන වසයෙන් අනතුරුදායක වියහැකි බව ගනන් බැලූ අගමැති සිරිමා බන්ඩාරනායක වාමාංශික නායකයන් සමග සභාගයකට යාම සුදුසු බව තීන්දු කලාය. ඒ අනුව ලසසප සහ ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) සමග සභාගයකට යාමෙන් කම්කරු පන්තියේ අරගලය පාගා දැමීමට ඇය සමත් වූවාය.

එහෙත් ලෝක ධනවාදයේ ගැඹුරුවන අවපාතය තුල 1964 වඩා බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදයකට ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය ඇද දමා තිබීම තුල තවදුරටත් ඒ ආකාරයෙන් පාලනය පවත්වාගෙන යාමට ධනපති පන්තියට හැකියාවක් නැත. ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක --එජාප හා ශ්‍රීලනිප-- පමනක් නොව, ධනපති දේශපාලන සංස්තාපිතය ම මහජනතාව ඉදිරියේ අපකීර්තියට පත් වී ඇත. ලසසප හා කොප හා ඒවා විසින් පාලිත සමිතිවලට කම්කරු පන්තිය මත තිබු බලපෑම අහෝසි වී තිබේ.

කම්කරු පන්තියේ අරගල තාවකාලිකව පසු පසට තල්ලු කිරීමට වෘත්තීය සමිති හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය (නසසප) බඳු ව්‍යාජ වාම පක්ෂ ක්‍රියා කරති. මෙම සංවිධාන මත දිගින් දිගටම රැඳී සිටීමට නොහැකි තතු යටතේ ඒවායේ ද ආවරනය යටතේ මෘග යාන්ත‍්‍රනයක අවශ්‍යතාවය ධනපති පාලක පන්තිය ඉදිරියේ මතු කරනු ලැබ තිබේ.

“රටේ සංවර්ධන කාර්යය තුල ඉතා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව වැනි කරුනු පදනම් කරගෙන සැමවිටම අපේ ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම” බව සිරිසේන ප‍්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කරන “නිදහස” හා “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සූරාකෑම සඳහා ධනපතියන්ට සහ ආයෝජකයන් ට ඇති නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි; “ජාතික ආරක්ෂාව” යනු ඒ සඳහා වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමීම යි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට දමා ගැනුනේ හිටපු ජනාධිපති රාජපක්ෂ තන්ත‍්‍රය හා චීනය අතර පැවති සමීප සම්බන්ධතා බිඳ කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකතාවයන් ආරක්ෂා කරන ගැනීමේ මූලෝපායට ශ්‍රී ලංකාව ගැට ගසා ගැනීම සඳහා වොෂින්ටනය හා නව දිල්ලිය විසින් සිදු කල තන්ත‍්‍ර මාරු මෙහෙයුමකිනි. එම මූලෝපායික මෙහෙයුම ජනාධිපතිවරනයෙන් ආවරනය කර ගැනුනි. එතැන් පටන්, සිරිසේන ආන්ඩුව අධිරාජ්‍යවාදී මූලෝපායට රට ගැට ගැසීම සිදු කරන අතර මිලිටරි සම්බන්ධතා තර කරයි. ඔහු “කලාපීය ආරක්ෂාව” නමින් හඳුන්වන්නේ මෙම වැඩපිලිවෙලයි.

“දේශපාලනඥයන් විවිධ වුවමනා නිසාත්, විදේශ බලපෑම් නිසාත් රනවිරුවන්” අමතක කරන්න හදන්නේ යයි චෝදනා කරමින්, එනමුත් තමන් නම් කිසිදාක ඔවුන් අමතක කරන්නේ නැතැයි කියමින් රාජපක්ෂ වෙනම “රනවිරු සැමරුමක්” පැවැත්වීය. ඉන් පෙන්නුම් කෙරුනේ ලංකාවේ සිරිසේන, රාජපක්ෂ ඇතුලු පාලක පන්තියේ සෑම කොටසක්ම මිලිටරිය මත රැඳී සිටින ආකාරයයි.

මූල්‍ය කතිපයාධිපතිත්වයේ නියෝජිතයා ලෙස ඇමරිකාව තුල ෆැසිස්ට් නැඹුරුවක් සහිත ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපති පදවියට පත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර හා ලෝක යුද සැලසුම් උග‍්‍ර කරමින් සිටියි. ප‍්‍රන්සයේ, ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ ආන්ඩු හා පාලක පන්තීහු මිලිටරිය ඉස්මත්තට ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර දෙමින් ආඥාදායක පාලනයන් ඇටවීමේ සැලසුම් සූදානම් කරති. පාලක පන්තීන්ගේ මෙම හැරීම අධිරාජ්‍යවාදී රටවල පටන් පසුගාමී ලංකාව අතුලු රටවල් හරහා සිදුවෙමින් පවතින වෙනස් කමකි. ඊට තුඩු දී ඇත්තේ ධනපතිවාදය ලෝක පරිමානව ගැඹුරු වන අර්බුදයක් තුලින් ගමන් කිරීමයි.

ලංකාව තුල පාලක පන්තියේ ආඥාදායක සැලසුම් පරාජය කල හැක්කේ කම්කරු පන්තිය ධනපති පක්ෂ හා ඒවා වටා එක්වී සිටින සියලු සංවිධානවලින් බිඳී ගම්බද දුගීන් හා තරුනයන් කැඳවා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මූලිකත්වය ගැනීමෙනි; එමගින්, දකුනු ආසියාවේ සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් එනම් ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමට කරන අරගලයක් තුලිනි.

Share this article: