ආන්ඩුව කසල අර්බුදය විසඳීමේ මුවාවෙන් හමුදාව වීදියට කැඳවයි

විලානි පීරිස් විසිනි, 2017 ජූනි 29

පසුගිය සති කීපය පුරා කොලඹ හා තදාසන්න ප‍්‍රදේශ ගනනාවක මග දෙපස කසල ගොඩ ගැසීම හේතුවෙන් මහජනතාව ඉමහත් දුෂ්කර තත්වයට මුහුන දී සිටිති. මේ සම්බන්ධයෙන් වැඩෙන මහජන විරෝධය හමුවේ, ආන්ඩුව කසල අර්බුදය විසඳීමේ මුවාවෙන් හමුදාව වීදියට කැඳවා ඇත.

මීතොටමුල්ල ව්‍යසනයත් සමගම, තම නිවස්නා ප‍්‍රදේශයන්හි කසල රඳවනයන් පවත්වාගෙන යාමට එරෙහිව දිවයින පුරා විවිධ ස්ථානයන්හි මහජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් ආන්ඩුවේ කසල කලමනාකරන අර්බුදය වඩාත් උග‍්‍ර විය. ආන්ඩුව විසින්, උග‍්‍ර වී ඇති අර්බුදය පිලිබඳව වරද පටවා ඇත්තේ මහජනතාවටය.

අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් කරන ලද කප්පාදු හේතුවෙන් දශක ගනනාවක් පුරා සිදුකල කසල දුර්කලමනාකරනයක ප‍්‍රතිඵලයක් ලෙස මීතොටමුල්ල ව්‍යසනය සිදු වූ බව හෙලිදරව් වන තතු තුල දිවයින පුරා කම්කරු මහජනතාවගේ විරෝධය ඊට එරෙහිව වැඞීයාම ආන්ඩුවේ භීතියට හේතුවී ඇත.

ඩේලි මිරර් පුවත්පත ජූනි 16 දින වාර්තා කරනු ලැබූයේ කොලඹ මහ නගර සභාව, යුද හමුදාව හා පාරිසරික පොලිසිය සමග කොලඹ නගර සීමාව තුල කැලි කසල දමන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා රාත්‍රී කාලයේදී මුර සේවයක යෙදෙනා බවය.

කොලඹ මහනගර සභාවේ කොමසාරිස් වී.කේ. අනුර ප‍්‍රකාශ කරන පරිදි ජූනි 19 දින වන විට පුද්ගලයන් 37 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත

.

කොලඹ කසල බැහැර කිරීම අධීක්ෂනය කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කල බව ජූනි 18 දින සිරස රූපවාහිනී සේවය වාර්තා කලේය.

මේ අතර, පලාත් පාලන ආයතනයන්හි කසල ප‍්‍රවාහනය කරන රථවල හැර අන් කිසිම අයුරකින් කසල ප‍්‍රවාහනය කිරීම තහනම් කෙරෙන නීතියක් අද සිට ක්‍රියාත්මක වන බව බස්නාහිර පලාතේ ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය ඊයේ මාධ්‍ය හරහා ප‍්‍රකාශ කලේය.

වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රයද ඇතුලත් මෙතෙක් පැවති ආන්ඩු විසින් මුලුමනින්ම වගකිවයුතු කසල අර්බුදයේ වගකීම මහජනතාව මත පටවමින් ගනු ලබන මෙම පොලිස්-මිලිටරි පියවරයන්, සමස්ත කම්කරු පීඩිතයන්ට එරෙහිව සිදු කෙරීගෙන යන මිලිටරීකරනය සමග බැඳී පවතී. කම්කරු අරගල වැඩෙන තතු යටතේ, “රට විනය ගත කිරීම සඳහා” අවුරුදු දෙකකට භාර ගන්නා ලෙස හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ජනාධිපති සිරිසේන ඉල්ලා සිටි බව ප‍්‍රකට ය.

තමා පීඩාවට පත්කල අන්තරායකාරී කුනුකන්දට එරෙහිව 2011 සිට උද්ඝෝෂන කල මීතොටමුල්ල මහජනතාවට පොලිසිය ලවා කඳුලූ ගෑස්, ජල ප‍්‍රහාරයන් හා බැටන් ප‍්‍රහාරයන් එල්ල කරමින් කුනුකන්ද දිගටම පවත්වාගෙන ගිය රාජපක්ෂ ආන්ඩුව හා වත්මන් ආන්ඩුව මෙම විනාශයට වග කිව යුතුය.

මීතොටමුල්ල ව්‍යසනයෙන් ඇවිලූනු මහජන කෝපය හමුවේ කොලඹ කසල, දොම්පේ හා කරදියාන කසල රඳවනයන් කරා ගෙනයාමට ආන්ඩුව ගත් තීන්දුවට එරෙහිව එම පලාත්වාසීන් අතර වර්ධනය වූ උද්ඝෝෂනයන් මැඩලූයේ පොලීසිය යොදා පහර දීමෙන්ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන මහේෂ් ජයවීර ප‍්‍රකාශ කර තිබුනේ මොරටුව-කරදියාන, මහනුවර-ගොහාගොඩ වැනි රට පුරා පිහිටි කසල කඳු ද මීතොටමුල්ල මෙන්ම අනතුරු දායක බවය. මෙම කාරනා පිලිබඳ කිසිදු තැකීමකින් තොරව ආන්ඩුව එම කසල කඳු ද දිගටම පවත්වාගෙන යයි. මුතුරාජවෙල කසල බහාලීමට එරෙහිව ඒ අවට නිවැසියෝ උද්ඝෝෂනය කලහ. කොලඹ මහ නගර සභාව විසින් තම ප‍්‍රදේශයේ කසල බහාලීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් එම නිවැසියන් ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ඉදිරිපත් කර ඇත.

කසල බැහැර කිරීම මගින් තම ප‍්‍රදේශයේ කුඹුරු වලට ජලය සපයන ඇල මාර්ගයන්හි ජලය දූෂනය වී ඇති බවත් ලිං ජලයේ ආම්ලික තාවය ඉහල ගොස් ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි. එම ප‍්‍රදේශයේ නිවාස 6500 ක 25000ක පමන ජනයා ජීවත් වෙති.

කසල අර්බුදයට මූලික හේතුව අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය සහ ගෙනයන කප්පාදු බව මහජනතාව වටහා ගනිිමින් පවතී. සමාජවාදී සමානතා පක්ෂය ප‍්‍රකාශයට පත්කර ඇති මීතොටමුල්ල කුනු කන්ද නායයාම පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය සඳහා කරුනු දක්වමින් කොලඹ මහ නගර සභා කම්කරුවකු කියා සිටියේ තමන් මුහුන දෙන දුෂ්කරතා කසල ඉවත් කිරීම සීමා වීමට බලපානා බවය.

ඔහු පැවසූයේ, කසල ඉවත් කිරීමේ දී භාවිතා කෙරෙන ආරක්ෂක උපකරනයන් වන අත් වැසුම්, බූට්ස් පෙරමෙන් අවශ්‍ය ප‍්‍රමානයට නොලැබෙන බවයි. කසල සමග වැඩ කිරීම හේතුවෙන් අත් වැසුම් සහ බූට්ස් ඉක්මනට ගෙවී යන බවත්, සමහර විට ඉරුනු අත්වැසුම් සහ බූට්ස් සමග වැඩ කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය. “කුනු සමග ගැවසෙන නිසා අපිට නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. වීදුරු කටු කකුල්වල ඇනිල තුවාල පවා සිදු වෙනව. මේ වගේ තත්වයකදී කසල නිසි පරිදි ඉවත් කිරීම කරන්න බෑ.”

කොලොන්නාව නගර සභාවේ ලේකම් ඒ. පියදාස මාධ්‍යයන්ට කියා සිටියේ දිනකට ටොන් 35-40 ක් කුනු කසල රුස්කර ගැනීම හා ඉවත් කිරීමට ප‍්‍රමානවත් වාහන තම ආයතනයට නොමැති බවයි. කුනු කූූඩ, හා ප‍්‍රවාහනය සඳහා අවශ්‍ය තරම් වාහන ලබා දෙන ලෙස බස්නාහිර පලාත් සභාවෙන් සහ පලාත් පාලන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති නමුදු මෙතෙක් නොලැබුනු බව ද ඔහු පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුනසිංහ පැවසුවේ කුනු කසල දැමීම සඳහා එම අධිකාරියට අයත් ඉඩම් ලබා නොදෙන බවය. ඔහුට අනුව, ශ්‍රේෂ්ඨාධිකරනයේ නියෝග මත මුතුරාජවෙල අක්කර 20 ක ඉඩමේ අක්කර දෙකක් පමනක් වෙන්කර දී ඇත.

කොලඹ පමනක් නොව දිවයින පුරා කසල අර්බුදය ඉහල යමින් පවතී. හැටන් නගරයේ මහ මග දෙපස කසල එකතු වීමට එරෙහිව ජූනි 19 දා මහජන උද්ඝෝෂනයක් පවැත්විනි. නුවරඑලියේ ද, කසල අර්බුදය උග‍්‍ර වී ඇත. කඳපොල-රාගල ප‍්‍රධාන මාර්ගයේ සෞඛ්‍යයට අහිතකර එලවලු කසල ගොඩගැසී ඇත.

Share this article: