සයිටම් අර්බුදය සහ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල

2017 මාර්තු 06

සසජාතශි ප‍්‍රසිද්ධ රැස්වීමක්:

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන හා ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), “සයිටම් අර්බුදය සහ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල” යන මැයෙන්, මාර්තු 16 දා සවස 3 ට, කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වන මාලඹේ පිහිටි දකුනු ආසියානු තාක්ෂන සහ වෛද්‍ය ආයතනයෙන් (සයිටම්) උපාධි ලබා පිට වන සිසුන් හට වෛද්‍ය වෘත්තියේ යෙදීමට අනුමැතිය දෙන ලෙස අධිකරනය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයට එරෙහිව ශිෂ්‍යයන්ගේ, රජයේ වෛද්‍යවරුන්ගේ සහ අවශේෂ මහජනතාවගේ විරෝධතා රටපුරා උත්සන්න වී පවතී. මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමයේ ආරම්භ කොට නීති ගත කල සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භයේ පටන්ම ශිෂ්‍ය සහ මහජන විරෝධයට ලක්වූවකි.

සයිටම් ආයතනය පිහිටුවීම හා එය පවත්වා ගෙන යාම පෙර රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද ක‍්‍රියාවට දමන අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කිරීමේ පිලිවෙතෙහි අත්‍යන්ත කොටසකි. ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදය හේතුවෙන් වඩාත් තීව‍්‍ර වන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් බලගතු ලෙස කප්පාදු කිරීමටත් පුද්ගලීකරනය වේගවත් කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආන්ඩුවට අන පනවා තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ඇතුලු මහජන සේවාවන් පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පිලිවෙත් නිර්නය කෙරෙන්නේ මෙම නියෝගයන් මතයි.

කෙසේ නමුත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සංවිධාන ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවේ මූලය වන ධනේශ්වර අර්බූදය වෙතින් සිසු හා මහජන අවධානය ඉවතට හැරවීමේ අරමුනෙන් “සයිටම් අහෝසි කරනු” යන හිස් ඝෝෂාවකට සිසුන් සහ වෛද්‍යවරුන් හිර කොට තිබේ. වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ජනතා විමුක්ති පෙරමුන සහ ව්‍යාජ-වාම නඩ මෙම පුහු ඝෝෂාවේ අනෙකුත් ප‍්‍රමුඛතම කොටස්කරුවෝ වෙති.

පවත්නා ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීම මගින් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කල හැකි ය යන්න පරිපූර්න මිථ්‍යාවකි. ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ නායකත්වය යටතේ ශිෂ්‍යයන් හා සෙසු පීඩිතයන් බලමුලු ගන්වා ගන්නා සමාජවාදී වැඩපිලිවෙල මත පාදක වූ ඒකාබද්ධ දේශපාලන අරගලයකින් තොරව අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගත නොහැක.

අවිශිබමයේ, වෛද්‍ය නිලධාරී සංගමයේ හා ව්‍යාජ-වාම පක්ෂවල ධනපති ගැති දේශපාලනය හෙලිදරව් කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡාවට භාජනය කෙරෙන මෙම රැස්වීමට සහභාගී වී අත්‍යවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගන්නා ලෙස අපි සියලු කම්කරුවන්ගෙන් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය හා වේලාව : මාර්තු මස 16 දින සවස 3 ට

ස්ථානය : කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරය

Share this article: