උතුරු හා නැගෙනහිර උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගලයක නිරතවෙයි

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි,2017 මාර්තු 10

උද්ඝෝෂනයේ යෙදී සිටින උතුරු හා නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීයෝ

යුද්ධයෙන් විනාශ කෙරුනු උතුරු සහ නැගෙනහිර පලාත්වල, දහසකට වැඩි රැකියා විරහිත උපාධිධාරීහු රජයේ රැකියා ඉල්ලා සති තුනකට වැඩි කාලයක් සත්‍යග‍්‍රහයක නිරතව සිටිති. යාපනය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ කාරෛතීවූ යන ප‍්‍රදේශයන්හි මෙම විරෝධතාවයන් පැවැත්වෙන්නේ, සිරිසේන -වික‍්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදුවලට සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවරයන්ට එරෙහිව, දකුනේ කම්කරුවන්, සිසුන් හා ගොවීන් අඛන්ඩව ගෙනයන අරගලවලට සමාන්තරව යි.

ස්ත්‍රීන් ද ඇතුලු සිය ගනනක් උපාධිධාරීහු රජයේ කාර්යාල ඉදිරිපිට හා පොදු ස්ථානවල සත්‍යග‍්‍රහයේ යෙදී සිටිති. ඔවුහු වරෙක මිනිස් දම්වැල් නිර්මානය කරන අතර තවත් වරෙක විරෝධතා පෙලපාලිවල නිරත වෙති. එහි සිටින කාන්තා උපාධිධාරීහු තමා සමග රැඳී සිටින දරුවන්ගේ බඩගිනි නිවනුයේ එම ස්ථානයේම කෑම පිස ගනිමිනි. දරුවන් ඇතුලු සියලු දෙනා අව්වෙන් සහ වැස්සෙන් අධික ලෙස පීඩා විඳිති.

උපාධිධාරීන් සිය ගනනක් පෙබරවාරි 22 වන දින මඩකලපුව නගරයේ ගාන්ධි චතුරශ‍්‍රය ඉදිරිපිට ආරම්භ කල සත්‍යග‍්‍රහය අනුයමින් අනෙක් ස්ථාන දෙකෙහි ද සත්‍යග‍්‍රහ ආරම්භ විය. තරග විභාගවලින් තොරව, මධ්‍යම සහ පලාත් ආන්ඩුවල රැකියා අවස්ථා ලබා දෙන ලෙස ද, උපාධිධාරීන්ට රැකියා දෙන වයස් මට්ටම වයස අවුරුදු 36 සිට 45 දක්වා වැඩි කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

මොවුහු මෙම දීර්ඝ අරගලයේ යෙදෙන්නට තීන්දු කලේ, ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා රජයේ ඉහල පෙලේ නිලධාරීන් දුන් පොරොන්දු ඉටු නොකෙරුනු තත්වය තුලයි. නැගෙනහිර, උසස් ජාතික කාර්මික විද්‍යාලයේ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා ලංකා දෙමල ගුරු සංගමයේ ගුරුවරුන් උපාධිධාරීන්ගේ අරගලයට සහාය පලකරමින් උද්ඝෝෂනයේ යෙදුනි. නැගෙනහිර පලාතේ 5000 කට අධික රැකියා විරහිත උපාධිධාරීන් සිටින බව හා මඩකලපුව දිස්ත්‍රික්කයේ පමනක් රැකියා විරහිත උපාධිධාරීන් 1,500 කට වඩා සිටින බව වාර්තා වේ.

උතුරු පලාතේ 4500 කට අධික උපාධිධාරීන් විරැකියාවෙන් පෙලෙන අතර ඔවුහු උපාධිය ලබා අවුරුදු හතරකට වැඩි කාලයක් රජයේ පත්වීම් බලා සිටිති.

උපාධිධාරීන් පමනක් නොව 2009 දී අවසන් වූ වර්ගවාදී යුද්ධයේදී “අතුරුදහන්” වූ අය සොයා දෙන ලෙස ඔවුන්ගේ ඥාතීහු ද, යුද්ධය අවසන් වූ පසුවද, මිලිටරිය විසින් අයත් කරගෙන සිටින තම ඉඩම් ආපසු දෙන ලෙස ඉල්ලා තවත් ජන කොටසක් ද, සත්‍යග‍්‍රහයේ යෙදී සිටිති.

විපක්ෂයේ සිට ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා සහාය දෙන දෙමල ජාතික සංධානයේ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා, මෙම අරගලය නවතා දැමීමේ අටියෙන්, මාර්තු 4 දා යාපනය සංචාරයක් සඳහා ගිය ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දී විසඳුමක් දෙනබව පොරොන්දු විය. කෙසේ නමුත්, හය දෙනෙකුගේ කන්ඩායමක් එහි ගිය විට, ජනාධිපති පිටත්ව ගොස් ඇති බව ඔවුනට දැනගන්නට ලැබුනි.

උපාධිධාරීන් පමනක් නොව, යුද්ධයේ දී “අතුරුදහන්” කෙරුනු අයගේ ඥාතීහු ද ජනාධිපති හමුවීමට ආන්ඩුකාරවරයාගේ නිල නිවස අවට රැස්ව සිටියහ. ඔවුන් නොතකා හැරි ජනාධිපති, පසුපස දොරෙන් පිටව ගිය අතර, පොලිසිය විරෝධතාකරුවන් වට කරගෙන සිටියේ විරෝධතා තහනම් කෙරුනු අධිකරන නියෝගයක් ද ලබාගෙන යි.

පසුගිය සෙනසුරාදා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක හා රජයේ ඇමතියෙකු වූ රවුෆ් හකීම්, අම්පාර දිස්ත්‍රික්කයේ විරෝධතාවයේ යෙදී සිටින උපාධිධාරීන් මුන ගැසුනි. අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව ද, ඉක්මනින් රැකියා දීමට කටයුතු කරන බව ද හකීම් පොරොන්දු වූනේය. කෙසේ වෙතත්, ලිඛිත සහතිකයක් ලැබෙන තුරු සටන අත් නොහරින බව පවසමින් උපාධිධාරීන් දිගටම සත්‍යග‍්‍රහයේ යෙදී සිටී.

සටන නවතා දැමීම සඳහා ආන්ඩුව ගත් උත්සාහයන් අසාර්ථකවුනු තත්වයක් තුල, ආන්ඩුව එහි සංවිධායකවරුන්ට විරුද්ධව නීතිය යොදා ගැනීමට කටයුතු කලේය. මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ටී. ක‍්‍රිශාන්ත් සහ සමස්ත ලංකා රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සම්බන්ධීකරන නිලධාරී තැන්නේ ඥානානන්ද හිමි ඇතුලු සිව් දෙනෙකුට එරෙහිව පොලීසිය මඩකලපුව මහේස්ත‍්‍රාත් උසාවියේ නඩුවක් ගොනු කර තිබේ.

“මහජන සාමයට රාජ්‍ය කටයුතු වලට බාධා ඇතිවන ආකාරයෙන් ක්‍රියා කිරීමට උත්සාහ කල” බව ට ඔවුන් ට එරෙහිව චෝදනා ගොතා තිබුනි. රුපියල් විසි දහසක් බැගින් වූ ඇප පිට ඔවුන් සිව් දෙනා නිදහස් කල අතර, අප්‍රේල් 5 දා ඔවුන්ට එරෙහි නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

දෙමල ධනේශ්වරය නියෝජනය කරන දෙමල ජාතික සන්ධානය, මෙම අරගලවලට සහයෝගය දැක්වීමක් මූනිච්චාවට මවා පෙන්නුව ද, ඇමෙරිකානු-ගැති කොලඹ ආන්ඩුව සමග ගෙන යන ගනුදෙනුවට උපාධිධාරීන්ගේ සටන අවාසිදායක වෙතැයි ගනන් බලයි. වොෂින්ටනයේ සහයෝගය ඇතුව කොලඹ සමග බලය බෙදා ගැනීමේ ගනුදෙනුවක දෙමල ජාතික සන්ධානය යෙදී සිටී.

සේනාධිරාජා උපාධිධාරීන් අමතමින්, “ගැටලුවලට සටන් කරල විසඳුම් සොයාගත යුතුයි කියන අදහසට අපි එකඟ නැතැ” යි පැවසීය. 2015 දී උපාධිධාරීන් මෙවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කල අවස්ථාවේදී, දෙමල ජාතික සන්ධාන නායකයෙකු වූ හා උතුරු පලාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් උපාධිධාරීන් විවේචනයට ලක් කලේ, “සමහරු කන්න කෑම නැතත් රජයේ රැකියාවම ඕන කියනවා, ඔවුන් පෞද්ගලික අංශයේ තිබෙන රැකියා ගනන් ගන්නේ නැතැ” යි පවසමිනි.

කෙසේ වෙතත්, 2013 දී උතුරු පලාත් සභාවේ බලය දෙමල ජාතික සන්ධානය අත්පත් කරගැනීමෙන් පසු සහ එම සන්ධානයේ ද සහාය ඇතිව එක්සත් ජනපද හිතැති වත්මන් තන්ත‍්‍රය බලයට ගෙන ඒමෙන් පසු, තම ජීවන තත්වය තව තවත් පහත වැටෙන තතු තුල දෙමල කම්කරු හා පීඩිත ජනතාව අතර දෙමල ජාතික සන්ධානය පිලිබඳ විශ්වාසය තව තවත් බිඳී යමින් පවතී.

පසුගිය වසර ගනනාවක් තුල, උපාධිධාරීන් පමනක් නොව, උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්, සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයන් හා පිරිපහදු කම්කරුවන් ද රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කර ඇත. ඒ සෑම අවස්ථාවකම පොරොන්දු දී කම්කරුවන් ආපසු යවන ලදී.

මෙම අරගලයේ යෙදෙන අයගෙන් බොහෝ අය අපේක්ෂා කරන්නේ ගුරු පත්වීම් නමුදු ඔවුනට එම පත්වීම් ලබා නොදෙනුයේ උතුරු හා නැගෙනහිර පලාත්වල මහා පරිමාන ගුරු පුරප්පාඩු පවතින තත්වයක් තුලයි. නැගෙනහිර පලාත් මහ ඇමතිට අනුව නැගෙනහිර පලාතේ හාරදහකටත් වඩා ගුරු පුරප්පාඩු ඇත.

විරැකියාව පිලිබඳ ප‍්‍රශ්නය උතුරට හා නැගෙනහිරට පමනක් සීමාවී නැත. 2014 දී ගුරු පත්වීම් සඳහා විභාගයට පෙනී සිටි බස්නාහිර පලාත් උපාධිධාරීහු, පසුගිය සතියේ, තමන්ට පත්වීම් දෙන ලෙස ඉල්ලා බත්තරමුල්ලේ සිට පලාත් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පෙලපාලි ගියහ.

ගැඹුරු මූල්‍ය අර්බුදයකට මුහුන දෙන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිමහත් නය කන්දරාවක් ලබා ගෙන ඇත්තේ දැඩි කොන්දේසි මතයි. මෙම කොන්දේසි වලට, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා කප්පාදු කිරීම පමනක් නොව, ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය සහ තවත් බොහෝ එවැනි රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කර, සේවා ගාස්තු ඉහල දැමීමට සහ ශ‍්‍රම බලකාය කපා දැමීම ඇතුලත් වෙයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමඟ කතා කල උතුරු පලාතේ රැකියා විරහිත උපාධිධාරියෙකු මෙසේ පැවසීය: “සමාජයේ තැනක් හා ආර්ථික තත්ත්වයක් සහිත ජීවිතයක් බලාපොරොත්තුවෙන් අපි ඉගෙනගත්තේ. නමුත් දැන් පාරේ ඉන්නේ. ශ්‍රී ලංකාව තුල සෞන්දර්ය ක්ෂේත‍්‍රයට අදාල රැකියා නැහැ. අපි ඉගෙන ගන්න දේවල් සමාජයට ලබා දීම සඳහා ක‍්‍රමයක් ආන්ඩුව විසින් අපට ලබා දීල නැහැ. අවුරුදු හතරක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා උපාධිධාරීන් ලෙස එලියට ආපු අපිට, තරඟ විභාග, කුසලතා පරීක්ෂන පැවැත්වීම අසාධාරනයක්. එහෙනම් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම හරි නැද්ද?”

සුදීබන් නමැති තවත් උපාධිධාරියෙකුගේ අදහස මෙසේ විය: “මිතුරන් සමග අද සටනෙ යෙදිල ඉන්නෙ විරැකියාවෙන් පෙලෙන නිසා. අපි රෑ දවල් දෙකේම අනාථයන් වගේ මෙතන රැඳිල ඉන්නව. පිලිවෙලකට කෑමක් නැහැ. නින්දත් නැහැ. ඔබ සියලු දෙනා අප සමඟ එකට සටන් කරන්න ඕනෙ.”

උපාධි ලබා වසර පහක් ගතවුවද රැකියාවක් නොමැති මුකුන්තන්: ”2008 දී මගේ උපාධිය අවසන් කරන්න තිබුනෙ. නමුත් යුද්ධය නිසා මගේ අධ්‍යාපන කටයුතු නතර කිරීමට සිදු වුනා. කොහොමහරි 2012 දී සම්පූර්න කලා. ඊට පස්සේ ඩිප්ලෝමා දෙකක් තුනක්ම ගත්ත. ආන්ඩුව අපිට ස්වයං රැකියා කරන්න කියනවා. මොන ස්වයං රැකියා කරන්නද? අපි ඉගනගත්තේ ඒකටද?”

Share this article: