ඩේවිඩ් නෝර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාව 75,000 කට අධික පිරිසක් නරඹති

රුසියානු විප්ලවයේ ශත සංවත්සර අන්තර්ජාල දේශන මාලාව පිලිබඳ වර්ධනය වන උද්යෝගයක්

More than 75,000 view interview with David North Growing international interest in Russian Revolution Centenary online lecture series

2017 මාර්තු 01

රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වනු ලබන අන්තර්ජාල දේශන මාලාවට සහභාගී වීම සඳහා ලොව පුරා කම්කරුවෝ ද තරුනයෝ ද ලියාපදිංචි වෙමින් සිටිති.

දේශන මාලාව හඳුන්වා දෙමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව - ලෝසවෙඅහි ෆේස්බුක් පිටුවේ පල කෙරුනු සංස්කරනයත් ඇතුලත්ව - මේ වනවිට 75,000 ඉක්මවූ ජනකායක් නරඹා ඇත.

“රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ ඇයි?” යන මැයෙන් නෝර්ත් විසින් පවත්වනු ලබන දේශනයකින් දේශන මාලාව ඇරඹෙනු ඇත. එම දේශනය මාර්තු 11 වන සෙනසුරාදා පෙරදිග සම්මත කාලයෙන් ප.ව.5 සිට යූ ටියුබයෙන් සජීවීව විකාශනය කෙරෙනු ඇත. සති දෙකකට වරක් පැවැත්වෙන තවත් දේශන හතරක් මෙම දේශන මාලාවට ඇතුලත් වේ.

“අප දන්නා ලෝකය නිර්මානය කරන ලද්දේ රුසියානු විප්ලවය විසිනැ”යි නෝර්ත් වීඩියෝව තුල පැහැදිලි කරයි. “ප්‍රථම වරට කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීමක් සිදු වූ අවස්ථාව වූයේ එයයි.” “නිවැරදි නායකත්වය ඇති කල්හි, විප්ලවවාදී පක්ෂයක් පවතින කල්හි, කම්කරු පන්තියට ධනේශ්වර ක්‍රමය පෙරලා දමා බලයට පත්ව කම්කරු රාජ්‍යයක් තහවුරු කල හැකි බව” එම විප්ලවය විසින් පෙන්වා දෙන ලදී.

ලොසවෙඅ කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් රුසියානු විප්ලවය පිලිබඳ ඉදිරියේ පැවැත්වෙන දේශන මාලාව පිලිබඳව සාකච්ඡා කරයි.

ලෝක ගෝලයේ සෑම කොනකින් ම ජනතාව මෙම දේශන මාලාව සඳහා ලියාපදිංචි වී සිටිති. එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රන්සය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව හා ඔස්ට්‍රේලියාව යන රටවලින් සැලකිය යුතු කන්ඩායම් සහභාගී වීම සඳහා ඇතුලත් වී සිටිති.

මෙසේ ලියාපදිංචි වූවන් අතර ආර්ජෙන්ටිනාව, චීනය,බ්‍රසීලය, ෆීජි, ග්‍රීසිය, ඝානාව, රුසියාව, දකුනු අප්‍රිකාව, තුර්කිය, සැම්බියාව හා තවත් රටවල් ගනනාවක අය සිටිති.

“ධනේශ්වරයේ නිශේධනීය ප්‍රචාර නොතකා අවසානයේ දී කම්කරු පන්තිය යලිත් වරක් ලෝක පරිමානව සංවිධානය කෙරෙනු ඇතැ”යි කැනඩාවේ වර්නර් සිය ලියාපදිංචියේ දී ලියා ඇත. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බීපී සඳහන් කොට ඇත්තේ, “ඔක්තෝබර් විප්ලවය ඉන්දියාව මත ඇති කල බලපෑම පිලිබඳව ඇසීමට මම කැමැත්තෙමි” යනුවෙනි.

“මෙය සාරවත් දේශන මාලාවකි. ඊට සහභාගීවීමට ලැබෙන අවස්ථාව පිලිබඳව මම කෘතඥ වන්නෙමි” යැයි ඕස්ට්‍රේලියාවෙන් ලියාපදිංචි වූ කේට් සඳහන් කරයි. නේපාලයේ මර්තිකා “විශිෂ්ටයි” යනුවෙන් ලුහුඬින් සඳහන් කර ඇත.

පෙබරවාරි විප්ලවය පිලිබඳව දේශනයක් පැවැත්වීමට නියමිත එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් කිෂෝර් පැවසුවේ, දේශන මාලාව පිලිබඳ මෙම ඉමහත් ජාත්‍යන්තර ප්‍රතිචාරය සහ උද්යෝගය මඟින් ලෝකය පුරා කම්කරුවන්ගේ දේශපාලන රැඩිකලීකරනය පිලිබිඹු කරන බවයි. “අධිරාජ්‍යවාදී යුද්ධය, සමාජ අසමානතාව, ආඥාදායකත්වය හා මර්දනය: රුසියානු විප්ලවයට ජීවය දුන් සියලු හේතු කාරනා අද දවසේ ද අභිමුඛව පවතී” කිෂෝර් ප්‍රකාශ කලේය.

“ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරී පත්වීම හුදු එක්සත් ජනපදයේ පමනක් නොව සමස්ත ලෝකය පුරා පවතින ගැඹුරු දේශපාලන අර්බුදයක ප්‍රකාශයකැ”යි ඕස්ට්‍රේලියාවේ සසප ජාතික ලේකම් ජේම්ස් කොගන් පැවසීය. ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාදයන් පිලිබඳ දේශනය පැවැත්වීමට නියමිත කොගන් මෙසේ ද ප්‍රකාශ කලේය: “අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කිරීම සඳහා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැඟීම හදිසි අත්‍යවශ්‍යතාවයක් ව පවතී.”

“වර්ධනය වෙමින් පවත්නා විප්ලවවාදී අරගල සූදානම් කිරීමට ඉතිහාසයේ පාඩම්; අන් සියල්ලටමත් වඩා රුසියානු විප්ලවයේ පාඩම්; හැදෑරීම අත්‍යවශ්‍යයැ”යි කොගන් වැඩි දුරටත් පැවසීය.

මාර්තු 11 වන දින ආරම්භ කෙරෙන දේශන මාලාව සැලසුම් කොට ඇති දේශන මාලා දෙකක පලමුවැන්නයි. දෙවැන්න මේ වසරේ පසු කලෙක පැවැත්වීමට නියමිතය. මුල් දේශන මාලාව පහත දැක්වෙන දේශනවලින් සමන්විතය: “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ ඇයි?” (ඩේවිඩ් නෝර්ත්, මාර්තු 11); “1905 උරුමය සහ රුසියානු විප්ලවයේ මූලෝපාය” (ෆ්‍රෙඩ් විලියම්ස්, මාර්තු 25); “ලෝක යුද්ධය සහ විප්ලවය: 1914-1917” (නික් බීම්ස් අප්‍රේල් 8); “පෙබරවාරි විප්ලවය” (ජෝසප් කිෂෝර්, අප්‍රේල් 22); “ලෙනින් රුසියාවට ආපසු පැමිනීම හා අප්‍රේල් ප්‍රවාද” (ජේම්ස් කොගන්, මැයි 6)

වැඩිදුර තොරතුරු හා ලියාපදිංචි වීම සඳහා wsws.org/1917 වෙත අදම පිවිසෙන්න.

Share this article: