ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි කොලඹ දී පවත්වන පිකට් උද්ඝෝෂනය සහ රැස්වීම

2017 මාර්තු 30

පිකට් උද්ඝෝෂනය

දිනය සහ වේලාව: මාර්තු 31 වන දා සවස 4’00 ට

ස්ථානය: කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට

ප‍්‍රසිද්ධ රැස්වීම

දිනය සහ වේලාව: අප්‍රේල් 4 වන දා සවස 4.00 ට

ස්ථානය: කොලඹ මහජන පුස්තකාලය

බොරු නඩු අටවා සිරගත කොට ඇති ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) දියත් කොට ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් කොලඹ දී පිකට් උද්ඝෝෂනයක් සහ රැස්වීමක් පවත්වයි. මාර්තු 31 වන දා සවස 4.00 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනය පැවැත්වෙන අතර අප්‍රේල් 4 වන දා සවස 4.00 ට කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී රැස්වීම පැවැත්වෙයි.

උතුරු ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයට අයත් මනෙසාර් හි පිහිටි මරුති සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කම්හලට අනුබද්ධව සිටි කම්කරුවන් දහතුන් දෙනෙකු මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ඉන්දියානු අධිකරනයක් මගින් නියම කොට ඇත. එම කම්හලේ ම තවත් කම්කරුවන් 18 දෙනෙකු ඊට අඩු චෝදනා මත වසර පහේ සිට වසර තුන දක්වා වූ කාලයන්ට සිරගත කිරීමට එම අධිකරනයෙන්ම නියම කෙරුනි. මරුති සුසුකි කම්කරුවන්ට පනවා ඇති මෙම දරුනු අධිකරන නියෝගයන් වනාහි, කම්හල හිමි ජපන් සමාගම, පොලීසිය සහ අධිකරනය ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන පාලක හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) සහ කොන්ග‍්‍රස් පක්ෂයේ පූර්න සහයෝගය මත ක්‍රියාත්මක කල රුදුරු සැලැස්මක ප‍්‍රතිඵලයකි. මෙම කම්කරුවන් මෙලෙස කොටු කෙරුනේ ජපන් සංගතය විසින් පවත්වාගෙන යනු ලබන වහල්මය සේවා කොන්දේසි වලට එරෙහිව මරුති සුසුකි කම්කරුවන් විසින් ගෙනගිය වැඩ වර්ජන, කම්හල වාඩිලා ගැනීම් සහ විරෝධතා උද්ඝෝෂන ඇතුලු අරගල මාලාව තුල ඔවුන් ඉටුකල සටන්කාමී භූමිකාව හේතුවෙනි.

2012 ජූලි 18 වන දා කම්හල් කලමනාකාරිත්වය විසින් අවුලුවන ලද ගැටුමක් සහ සමාගමේ මානව සම්පත් කලමනාකරුවෙකු වූ අවනිෂ්කුමාර් දේව් මරනයට පත්කල ගින්නක්, මරුති-සුසුකි කම්කරුවන් කොටු කිරීමේ දී, සමාගම සහ පොලීසිය විසින් ඩැහැ ගන්නා ලදී. දේව් ගේ මරනය සම්බන්ධයෙන් චෝදනා ලද කම්කරුවන් දහතුන්දෙනා, වරදකරුවන් බවට තීන්දු කෙරුනේ, මරනයට ඔවුනගේ කවර හෝ සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති තතු යටතේ යි. කම්කරුවන් 31 දෙනාම වැරදිකරුවන් බවට තීන්දු කෙරුනේ, පොලීසිය සහ සමාගම සමග එක්ව වැඩකල බවට සහ ඉදිරිපත් කල සාක්ෂි ගොතන ලද ඒවා බවට අධිකරනය විසින්ම සොයාගත් කරුනු සිතාමතා නොතකා හරිමිනි.

මරුති සුසුකි කම්කරුවන් කුප‍්‍රකට ඉන්දියානු සිරගෙවල් වලට ඇද දැමීම මගින්, තමා මත පටවන රුදුරු සේවා සහ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් කවර හෝ විරෝධතාවයක් පැන නොනගින සේ රටපුරා කම්කරුවන් බිය වැද්දීමටත්, ඕනෑම මර්දන පියවරක් හරහා මෙම වහල්ශ‍්‍රම තන්ත‍්‍රය පවත්වාගෙන යාමට තමා සූදානම් බව දේශීය සහ විදේශීය ආයෝජකයන් ට යලි තහවුරු කිරීමටත් ඉන්දියානු පාලක ප‍්‍රභූව බලාපොරොත්තු වෙයි.

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි දඩයම පරාජය කිරීම සඳහා ඉන්දියාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ කාර්මික සහ ස්වාධීන දේශපාලනික ශක්තිය බලමුලු ගැන්වීම සඳහා හජාජාක සටන් වදී. බොරු නඩු අටවා සිරගත කෙරුනු කම්කරුවන් සියලු චෝදනා වලින් නිදහස් කොට වහාම මුදා ගැනීම සඳහා ගෙනයන සටන තම අතට ගන්නා ලෙස එය ජාත්‍යන්තර කම්කරු පන්තියට කැඳවුම්කර සිටී. ධනපති සංගත සහ ඔවුනට සේවය කරන ධනපති ආන්ඩුවල මෙවන් ඒකාබද්ධ ප‍්‍රහාරයන් පරාජය කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව මගින් පමනකි.

සසප/සසජාතශි රැස්වීමේදී, මරුති සුසුකි කම්කරුවන් නිදහස්කර ගැනීම සඳහා හජාජාක ගෙනයන උද්ඝෝෂනයේ අර්ථභාරය සහ එයට මග පෙන්වන දේශපාලන වැඩපිලිවෙල සහ ඉදිරි දර්ශනය සාකච්ඡා කෙරෙනු ඇත. හජාජාක උද්ඝෝෂනයට ආධාර කරන ලෙසත් අප්‍රේල් 4 වන දා පැවැත්වෙන ප‍්‍රසිද්ධ රැස්වීමට සහභාගිවන ලෙසත් කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ ලෝසවෙඅ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: